ජාතිවාදය හමුවේ මුස්ලීම්වරුන්

2

ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් වර්ථමානයේ පසු කරමින් සිටින්නේ එතරම් සුභවාදී කාලවකවානුවක් නම් නොවේ. විශේෂයෙන් ජාතිවාදී ව්‍යාපාර ප්‍රසිද්ධීයේ හා අප්‍රසිද්ධියේ විවිධ වූ කුමණ්ත්‍රන දියත් කරමින් මුස්ලීම් සමාජයේ ඉදිරි ගමනට එනම්, ව්‍යාපාරික කටයුතුවලට, ආගමික අයිතීන්වලට හා සංස්කෘතික වශයෙන් ඔවුන්ගේ නිදහසට කරන බලපෑම සුළුපටු නොවේ. අද මෙම තත්වය කොතරම් උග්‍ර තැනකට යොමුව තිබෙනවාද? යන්න පවසනවා නම්, අද සමහරක් දේශපාලන පක්ෂවල ජනප්‍රිය තේමාපාඨ ලෙස ජාතිවාදී ප්‍රකාශ ඉදිරිපත් කරන තැනට කටයුතු කරමින් ඇත. ඔවුන්ට සමාජය තුල ඉදිරි පැවැත්ම උදෙසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙවැනි ‘ජාතිවාදී ව්‍යාපාර‘ සදහා අනුබලදීමටත් ඔවුනට පක්ෂව ප්‍රකාශ නිකුත් කිරීමටත් සිදුව ඇත. එපමණක් නොව අද සමාජයේ බහුතරයක් තුල මෙම ‘ජාතිවාදය‘ විනෝදජනක විෂයක් මෙන්ම තම ජාතික හැඟීම සමාජයට ප්‍රදර්ශනය කරන ප්‍රධාන මාධ්‍යයක් බවට ද පරිවර්ථනය වී ඇත. මේ තුල තවත් සමහරක් නිහඬව සියල්ල බලා සිට කාලකන්නි සතුටක් හා වින්දනයක් ලබමින් ඇත. ඒ අතුරින් එම සමාජයේම ඉතා සුළු පිරිසක් සාධර්ණය අගයමින් අසාධාර්ණයන්ට එරෙහිව හඬ නඟමින් අවසානයේ ජාතිද්‍රේහීන් ලෙසත්, දේශද්‍රේහීන් ලෙසත් ලේබල් ගැසෙමින් සමාජය තුල අසරණ වී ගොස් ඇත.

එවන් වූ ශ්‍රේෂ්ඨයන් හමුවේ මුස්ලීම් සමාජ ලංසුවට තබා වැජඹෙන සුවිශේෂි පිරිසක් පිලිබදව ද මෙහි වචනයක් දෙකක් නොපවසාම බැරිය. ඔවුන් ගැන කිසිවක් නොලියවෙන්නේ නම් එය ලොකු අඩුවක් ද වනු ඇත. ඒ මුස්ලීම් සමාජයට නායකත්වය ලබාදෙන බව පවසමින් කටයුතු කරන සමහරක් මුස්ලීම් දේශපාලඥයන් හා විද්වතුන්ය. ඔවුන් වර්ථමාන මුස්ලීම් සමාජය මුහුණපාමින් සිටින ගැටළුවේ සැබෑ ස්වරූපය අවබෝධ කරගන්නවා වෙනුවට එයට විසදුම් සොයනවා වෙනුවට ‘දැන් සියල්ල හරි’ යනුවෙන් ප්‍රකාශ නිකුත් කරමින් වගකිවයුතු පාර්ශවයන්ට සුදුහුණුගාන්න උත්සාහ කරමින් ඇත. ඒ තුල තම දේශපාලන භූමිකාව ස්ථාවර කරගන්නටත් වරදාන ලබා ගනිමින් තම වටාපිටාව සරු කරගන්නටත් කටයුතු කරමින් ඇත. මේ ආකාරයට මුස්ලීම් සමාජය බිල්ලට දී ක්‍රියා කරන මොවුන් ඉහතින් සදහන් ජාතිවාදීන්ට වඩා භයානක පිරිසක් බව මෙහිදී මුස්ලීම් සමාජය පැහැදිලිව අවබෝධ කරගත යුතුය.

මෙවන් සමාජ පසුබිමක ‘මුස්ලීම්වරුන් වන අප කුමක් කලයුතු ද?‘ මෙයයි අද ‘යහමඟ‘ අඩවිය තුල විමසා බලන විෂයයේ සාරංශය වන්නේ. මෙතැනදී මුස්ලීම්වරුන් වන අප සැබෑවටම කුමක් කලයුතු ද? යන්න පිලිබදව මුස්ලීම් සමාජයේම විවිධ පාර්ශවයන්ට විවිධ වූ ස්ථාවරයන් පැවතිය හැක. කෙනෙකුට ‘මොනවා කරන්නද?’ යයි සිතන විට තවත් කෙනෙකුට ‘මේවා බලා ඉන්නට අවශ්‍ය නැහැ අපිත් එකට එක කරන්න ඕන’ යනුවෙන් සිතෙන්නට පුළුවන. තවත් පිරිසකට මීට වඩා වෙනස් මතයන් ද පැවතිය හැත. නමුත් මෙතැන දී මේ තත්වය ‍මුස්ලීම්වරයෙකු විමසා බැලිය යුත්තේ තම හැඟීමන්ට වහල්ව ආවේගකාරී ලෙස හෝ මෙවැනි අවස්ථාවල අනිකුත් ජාතීන් හෝ ජන සමුහයන් ක්‍රියා කරන ආකාරය ආදර්ශයට ගෙන ගෙන නොව. එසේම මේ සියල්ල විඳදරාගෙන නොඑසේ නම් බියගුළුවන්ත ලෙස ඉවසා මුළුගැන්විය යුතුයි යනුවෙන් නොව මෙවැනි තත්වයන් හමුවේ ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න පදනම් කරගෙනය.

මුස්ලීම්වරයෙකු කවර ක්‍රියාවක නිරත වූවත්, කවර ආකාරයේ තීන්දු තීරණවලට එළඹුණත් එය ඉස්ලාමයට අනුකූලව වියයුතු යන්න ඉස්ලාමීය මූලික ඉගෙන්වීමයි. එහිදී ‘හුදෙයිබියා ගිවිසුම‘ වැනි මුස්ලීම් සමාජයේ තාවකාලීක පසුබෑමන් මෙන්ම බද්ර් සටන වැනි විශිෂ්ඨ වූ ජයග්‍රාහණයන් ද අපට කියා‍පාන ප්‍රබල ආදර්ශයන් දෙකකි. ඉස්ලාම් දහම සැමවිටම අපේක්ෂා‍ කරන්නේ සියල්ල ජයග්‍රාහී ලෙස නිමාකරනවාට වඩා සියල්ල සාධාර්ණ ආකාරයට නිමා කලයුතු යන්නයි. ඒ අනුව මුස්ලීම්වරයෙකු හට ඉස්ලාමීය විනයෙන් ඔබ්බට ගොස් ක්‍රියා කිරීමට ඉස්ලාම් දහම තුල කිසිදු ඉඩක් නැත. මුස්ලීම්වරුන් යනු කිසියම් ප්‍රතිපත්තියක් පිලිගෙන ඒ අනුව කටයුතු කරන සමාජයකි. ඔවුන් තම සිතුවිල්ල තුල වුවත්, ක්‍රියාවන් තුල වුවත් අන්තවාදී නොවී මධ්‍යස්ථ ලෙස ක්‍රියා කිරීම අත්‍යඅවශ්‍යය. මෙය ශූද්ධ වූ කුර්ආනය පවා මෙසේ අවදාරණය කරයි.

…නුඹලාව මධ්‍යස්ථ වූ සමාජයක් ලෙස නිර්මාණය කොට ඇත

ශුද්ධ වූ කුර්ආනය 2-143

ජාතිවාදී පිරිස් හා සංවිධාන සැලසුම් සහගත ලෙස සහ සූක්ෂම ලෙස මේ රටේ මුස්ලීම් සමාජයට එරෙහිව ජාතිවාදී ව්‍යාපාර දියත් කරමින් සිටින මේ වකවානුවේ අපද ඒවාට කලබල වී ආවේගකාරී හෝ පලිගැනීමේ ඡේතනාවෙන් නොයෙක් වූ තීන්දු තීරණවලට යැම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. කවදත් දුර දක්නා නුවණින් හා පැහැදිලි මනසින් ප්‍රශ්නයක් දෙස බැලීම අත්‍යඅවශ්‍යය. එය ඉස්ලාමීය මඟපෙන්වීම ද වේ. එම සීමාව නිසිලෙස අවබෝධ කර නොගෙන කටයුතු කරන්නට යන්නේ නම් අප ද ඒ ජාතිවාදී ව්‍යාපාරයේ තවත් එක් පාර්ශවයක් වනවා යන්න පහත ශුද්ධ වූ නබිවදනින් පැහැදිලි වේ. එනම්,

‘කිසිවකු තම සමාජය කෙරෙහි දක්වන සෙනෙහස උනන්දුව ජාතිවාදයක් වේද?‘ යනුවෙන් නබිතුමාණන්ගෙන් (සමකාලීන අනුගාමිකයන් වන) සහාභාවරුන් විමසූ විට එයට මුහම්මද් (සල්) තුමාණන් ‘නැත, තම සමාජය සිදුකරන අසාධාර්ණයන්ට සහය දැක්වීම (හා සාධාර්ණීකරණය කිරීම) ජාතිවාදය වේ.‘ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්තාක්

ඉස්ලාම් දහම ‘ජාතිවාදයට‘ දෙන ඉහත විග්‍රාහය සමස්ථ සමාජයේ දැඩි අවදානයට ලක්විය යුත්තකි. තම සමාජය එසේත් නැත්නම් ජාතිය නියෝජනය කරන කෙනෙකු කුමන ආකාරයක පහත් ක්‍රියාවක නිරත වුවත් එය සාධාර්ණීකරන කරන්නත්, ඒ වෙනුවෙන් පෙනීසිටින්නත් සහ එයට සහය දක්වන්නත් ඉදිරිපත් වන සියළු පාර්ශවයන් මේ පිලිබදව බුද්ධිමත්ව විමසා බැලිය යුතුමය. සමාජය තුල තම ජාතිය පමණක් විසිය යුතු බවත්,  අනිකුත් ජාතීන් මේ සමාජයෙන් තුරන්විය යුතු බවත් සිතීම හා ඒ සදහා ක්‍රියා කිරීම පැහැදිලි ජාතිවාදයයි. විවිධ කාලවල විවිධ ස්වරූපගත් ජාතිවාදී කෝලාහල හා කුමණ්ත්‍රන ගණනාවක් දැක ඇති අපට මෙම තත්වයන් අලුත් එකක් නොවේ. මෙවැනි තත්වයන් තුල පැහැදිලිව සදහන් කලයුතු එක් සත්‍යයක් ද ඇත. එනම්, මේ සියල්ල තුල ජාතියක් ලෙස හෝ රටක් ලෙස අමිහි කරගත් දෑ මිස දිනාගත් කිසිවක් නැත යන්නයි. නමුත් මේ කිසිවකින් සෑහීමකට පත්නොවූ ජාතිවාදී පිරිස් අද වනවිට තම අරමුණූ සංවිධානාත්මක ලෙස වර්ධනය කර ගනිමින් හා ඒවා පුළුල් කර ගනිමින් අවාසනාවන්ත ඉසව්වක් කරා රටම මෙහෙයවමින් සිටින මේ මොහොතේ මුස්ලීම්වරුන් වන අප ක්‍රියා කලයුත්තේ කෙසේද? යන්න විමසා බැලීමේ දී මුස්ලීම්වරුන් වන අප අනිවාර්‍යයෙන් අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග රාශියක් ඒ තුල ඇත.ඒවා නම්,

  • සෑම මුස්ලීම්වරයෙකුම, මුස්ලීම් මෙන්ම මුස්ලීම් නොවන සමාජය සමඟ ඉතා සාධාර්ණව කටයුතු කලයුතුය. ඕනෑම අවස්ථාවක කුමන පාර්ශවයක් සත්‍යය හා සාරධාර්ණය වෙනුවෙන් පෙනි සිටින්නේද ඔවුන් වෙනුවෙන් හඬනඟන්නන් ලෙස මුස්ලීම්වරුන් ක්‍රියා කලයුතුය. එසේ නොමැතිව තමන් නියෝජනය කරන ජන සමූහය හෝ ජාතිය අසාධාර්ණවල නියලෙද්දීත්, අසත්‍ය වෙනුවෙන් ක්‍රියා කරද්දීත්, සීමාවන් ඉක්මවද්දීත් ඒ වෙනුවෙන් පෙනීසිටින්නන් නොවිය යුතුය. මෙය ශුද්ධ වූ කුර්ආනය පවා මෙසේ අවදාරණය කරයි.

විශ්වාසවන්තයණි!, අල්ලාහ් (දෙවි)ට අවනත වී, සාධාර්ණය වෙනුවෙන් සාක්ෂිකරුවන් වන්න!, එක් සමාජයක් කෙරෙහි පවතින නොසතුට, නුඹලා (ඔවුන් හට) සාධාර්ණයක් නොකරන්න උනන්දු නොකරත්වා!, සාධාර්ණ වන්න!, එය තමා දේව අවනැතියට ඉතා සමීප (ක්‍රමවේදය) වන්නේ. අල්ලාහ්ට බියවන්න!, අල්ලාහ් නුඹලා කරන සියල්ල හොදින් දන්නේය.

ශුද්ධ වූ කුර්ආනය 5-8

මෙතැනදී ජනප්‍රිය ශුද්ධ වූ නබිවදනක් ද ඔබේ මතකයට ගෙන එන්නේ නම්, ‘කිසියම් පුද්ගලයෙකු අසාධාර්ණයට ලක් වූ විට ඔහු මුස්ලීම් ද?නොවේද? යන්න අල්ලාහ් (දෙවි) හමුවේ වැදගත් සාධකයක් නොවේ. ඔහු මුස්ලීම් වුවත්, නොවුවත් ඔහුගේ ප්‍රාර්ථනාව හා අල්ලාහ් (දෙවි) අතර කිසිදු බාධකයක් නැත.‘ මේ නබිවදන (හදීසය) අනුව ‘අප මුස්ලීම්වරුන් නිසා අප කුමක් කලත් අල්ලාහ් (දෙවි)ගේ සහය අපට ලැබෙනු ඇත. එය ඉස්ලාම් අනුමත කරනු ඇත.‘ යයි කිසියම් මුස්ලීම්වරයෙකු සිතන්නේ නම් එය අනවබෝධයකි. නියත වශයෙන්ම අසාධාර්ණයට ලක්වුවන් කෙරෙහි අල්ලාහ් (දෙවි)ගේ සහය හා ආශිර්වාදය හිමි වන අතර අසාධාර්ණ ක්‍රියාවේ නියලෙන්නාට එරෙහිවද අල්ලාහ් (දෙවි) ක්‍රියා කරන බව මුස්ලීම්වරුන් අමතක නොකලයුතුය.

  • අප දිව්‍යමය මඟපෙන්වීම වන ‘ඉස්ලාම්‘ දහම ජීවිතයට ආදර්ශ කරගත් මුස්ලීම්වරුන්. එම නිසා අපගේ ක්‍රියාවන් තුලින් මෙන්ම වදන් තුලින් ද ඉස්ලාමීය යහගුණාංග පිළිඹිබු වියයුතුය. අපගේ ව්‍යාපාර, ගනුදෙනු, හා අනෙකුත් පොදු කටයුතුවල දී ඉස්ලාම් දහමේ අලංකාර ආදර්ශයන් පිලිඹිබු වියයුතුය.
  • යහකටයුතුවලදී සහයෝගයෙන් ද අසාධාරණයන් හමුවේ එයට විරුද්ධව ද ක්‍රියා කලයුතුය. මුස්ලීම් නොවන සහෝදර ජනයා මුස්ලීම්වරුන් වන අපට එරෙහිව සීමාව ඉක්මවා අසාධාර්ණ ලෙස ක්‍රියාකලත් අප ඔවුන් සමඟ යහපත් අන්දමින් කටයුතු කලයුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මන්ද අයහපත් ක්‍රියාවක් අයහපතින් වැලැක්විය නොහැක. අයහපත් ක්‍රියාවක් වැලැක්විය හැක්කේ යහපත් ක්‍රියාවක් හෝ ක්‍රමවේදයක් තුලින් පමණක් යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මෙයද ශූද්ධ වූ කුර්ආනය මෙසේ පවසයි.

ශුද්ධ වූ දේවස්ථානය වෙත යෑම කෙරෙහි ඔබව වැලැක් වූ සමාජයක් කෙරෙහි තිබෙන තරහ, සීමාව ඉක්මවා ක්‍රියා කරන තැනට නුඹලාව නොපෙළඹෙත්වා!, යහකටයුතුවල දී හා දේව විශ්වාසයෙහි එකින් එකා අතර සහයෝගයන් ඇති කරගන්න!, පාප ක්‍රියාවන් හා සීමාව ඉක්මවීමන් හි එකින් එකා අතර සහයෝගයන් ඇති කර නොගන්න!. අල්ලාහ්ට බිය වන්න!. ඔහු දැඩිව දඬුවම් කරන්නෙකි.

ශුද්ධ වූ කුර්ආනය 5-2

කෙනෙකු මුස්ලීම් වුවත් එසේ නොවුවත් ඔහුට උපකාර, සහයෝග ලබාදිය යුත්තේ යහකටයුතුවල පමණි. අයහපත් නොඑසේ නම්, පාපක්‍රියාවන් හි කිසිසේත් සහය නොදැක්විය යුතුය. තම ජාතිය, පවුල, සමාජය… යනාදී ලෙස අයහපත් කටයුතුවල පවා සහය දැක්වීම ‘ජාතිවාදය‘ යන්න මේ වනවිටත් අප ඉහතින් විමසා බලා ඇත්තෙමු.

  • මුස්ලීම් නොවන සමාජයක් වූවත්, ඔවුන්ගේ ආගමි සිද්ධස්ථානවලට මෙන්ම ඔවුනටද ගරුකල යුතු යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. මෙයට නබිතුමාණන්ගේ ජීවිත කාලය තුල සිදුවූ එක් සිදුවීමක් වර්ථමාන මුස්ලීම් සමාජයට අලංකාර ආදර්ශයක්ව ඇත. එනම්,

වරක් යූදෙව්වරයෙකුගේ මෘතදේහය මාර්ගයේ රුගෙන යනවා දුටු නබිතුමාණන් තම අසුනින් නැඟී සිටගත්තේය.මේ පිලිබදව (සමකාලීන අනුගාමිකයන් වන) සහාභාවරුන් විමසූ විට ‘එයත් එක් මනුෂ්‍ය ආත්මයක් නොවේද?‘ යනුවෙන් පිලිතුරු දෙන ලදී.

මූලාශ්‍ර – හදීස්

ඒ ආකාරයටම (ඉස්ලාමීය ඉතිහාසයේ තෙවන) ජනාධිපති උමර් (රලි) තුමා බයිතුල් මුකද්දස් (පලස්තීනයේ ඇති ශුද්ධ වූ දේවස්ථානය) ඉස්ලාම් විරෝධීන්ගෙන් මුදවා ගැනීමෙන් පසු එහි යතුරු ලබාදීමට යුදෙව් පූජකවරුන්ගෙන් ආරාධනාවක් ලබා එහි යන අතර තුර (දිනපතා ඉටුකරන පස්වෙල්) ‘සලාත්‘ වේලාව උදාවිය. එවිට එහි තිබූ කිතුණූ දේවාස්ථානයක තම ආගමික කටයුතු කරගන්නා ලෙස ඔවුන් ආරාධනා කලත් උමර් (රලි) එය ප්‍රතික්ෂේප කල ආකාරයත්, තවත් අවස්ථාවක සිඟමන් යදින වයෝවෘද්ධ යූදෙව්වකු දැක ඔහු මියදෙන තුරු භාණ්ඩාගාරයෙන් වස්තූන් ලබාදීමට කටයුතු සලසා දුන් ආකාරයත් හොද නිදසුන් දෙකකි. ලෝක ඉතිහාසයේ එදා මෙදාතුර මෙතෙක් පහල නොවූ තරමට සාර්ථක මෙන්ම ශ්‍රේෂ්ඨ පාලකයෙකු මෙන්ම ඉස්ලාමීය ආදර්ශයන් තුලින් දේව විශ්වාසයේ ඉනිපෙත්තට ගිය උමර් (රලි) තුමාගේ ආදර්ශය සැබැවින්ම වර්ථමාන මුස්ලීම් සමාජයට ද ආදර්ශයකි.

  • මව්බිම කෙරෙහි ආදරයක් හා කැක්කුමක් පැවතීමත්, එහි දියුණුවට සාර්ථකත්වයට සහයෝගයක් වන ආකාරයට කටයුතු කිරීමත් ඉස්ලාම් පෙන්වාදෙන යහගුණාංගයක් මෙන්ම සර්වකාලීන අවශ්‍යතාවයක් ද වේ. එසේ නොමැතිව මේ පොළොවට බරක් වන ආකාරයට කිසිදු මුස්ලීම්වරයෙකු ක්‍රියා කලයුතු නොවේ. මේ පිලිබදව ‘යහමඟ‘ තුල මීට ඉහත ද ‘සමාජ වගකීම් හා ඉස්ලාම්‘  යන ලිපිය තුලින් කරුණූ සාකච්චා කොට ඇති නිසා මෙහිදී ද දීර්ඝ ලෙස ඒ පිලිබදව කරුණු කථා කිරීමට අදහස් නොකරමි.

ඉහතින් සදහන් ආකාරයට මුස්ලීම් සමාජය කෙරෙහි ඉස්ලාම් පවරන යුතුකම් හා වගකීම් දීර්ඝ ලෙස පෙලගැසීය හැක. ආකල්ප වශයෙන් මෙන්ම ක්‍රියාවන් තුල ද ප්‍රබල වෙනස්වීමන් මුස්ලීම් සමාජය තුල සිදුවීමේ අවශ්‍යතාවය ඇත. අද රටේ සමහරක් ජාතිවාදී ව්‍යාපාර මෙතරම් දුරකට සාර්ථක වීමට අප තුල ඉහත කරුණූ සම්බන්ධයෙන් පවතින දුර්වලතාවයන් ද එක් හේතුවක් යන්න මුස්ලීම් සමාජය අමතක නොකලයුතුය. මේ හේතුව නිසා ඉස්ලාමීය විනයක් තුල අප කටයුතු කිරීමට අප දැන්වත් උනන්දු වියයුතුය. විශේෂයෙන් ඉහතින් සදහන් කරුණූ 05 සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයේ දැඩි අවධානය යොමු වියයුතුය. එය අද අප රටේ කාලීන අවශ්‍යතාවයක් යන්න ද මුස්ලීම් සමාජය අමතක නොකල යුතුය.

මේ ආකාරයට සමාජීය වශයෙන් මුස්ලීම් සමාජය තුල යම් යම් වෙනස්වීමන් සිදුවෙන අතර තුර පුද්ගලයන් වශයෙන්ම අප තුල ගොඩනැඟීය යුතු යහපත් වෙනස්වීමන් රාශියක් ඇත. වර්ථමාන සමාජය තුලින්  එවැනි කරුණූ කිහිපයක් ගෙනහැර දක්වන්නේ නම්,

  • සමාජ විරෝධි ක්‍රියාවන්ට මුස්ලීම්වරුන් මැදි නොවිය යුතුය. මත්ද්‍රව්‍ය භාවිතය හා අලෙවිය, පොලී ගැනීම හා ලබාදීම, මත්පැන් අලෙවිය හා පානය කිරීම… යනාදී කටයුතුවල සමහරක් මුස්ලීම්වරුන් ද නියලී සිටිනවා යන්න මාධ්‍යයන් තුල පවා විටින් විට වාර්ථා වන පුවතකි. මෙවැනි සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් මුස්ලීම් සමාජය සම්පූර්ණයෙන් මිදිය යුතුය.
  • නාස්තිකාර සමාජයක් බවටත්, ආඩම්බර ලීලාවෙන් කටයුතු කරන ජාතියක් ලෙසටත් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් ප්‍රබල චෝදනාවක් ඇත. ඉස්ලාම් දහම පවා දැඩිව පිලිකුල් කරන එවන් නාස්තියෙන් හා ආඩම්භර ක්‍රියාවන්ගෙන් මුස්ලීම් සමාජය සම්පූර්ණයෙන් මිදීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි.
  • දුගී කමින් පීඩාවිදින සමාජයක් මධ්‍යයේ ජීවත්වන එසේම සකාත් හා සදකා වැනි යහපත් කටයුතු සදහා ඉස්ලාමීය මඟපෙන්වීමන් ලද ධනවත් මුස්ලීම් ප්‍රජාව මේ පිලිබදව තව තවත් උනන්දු වියයුතුය. එහිදී මුස්ලීම් ද? මුස්ලීම් නොවේද? යන සාධකය කිසිසේත් පදනම් කර නොගතයුතුය.
  • තමන් කරනු ලබන වැරදි ක්‍රියාවන් සාධාර්ණීකරනය කිරීමට මුස්ලීම් නොවන සමාජයේ සමහරක් පිරිසකගේ ක්‍රියා කලාපයන් කිසිසේත් පදනම් කර නොගතයුතුය.
  • අන්‍ය ආගමිකයන්ගේ ආගමික මතවාද ගරු කලයතු අතර ඔවුන්ගේ ආගමික විශ්වාස අපහසයට හෝ උපහාසයට ලක් නොකලයුතුය.
  • තම ජාතිය ආගම කෙරෙහි තිබෙන භක්තිය හෝ බැදීම සමාජයට පෙන්වීමට තවත් ජාතියක් ආගමක් විවේචනය කරන තැනට කටයුතු නොකලයුතුය.
  • විශේෂයෙන් ක්‍රිඩා තරඟ හා දේශපාලන ව්‍යාපාරවලට ජාතිවාදී හෝ ආගම්වාදී මුහුණූවරයන් ලබාදීමට ක්‍රියා නොකල යුතුය.

මෙතෙක් කථා කල සියල්ල සාරාංශ කොට නැවත පවසනවා නම්, මෙවැනි තත්වයන් හමුවේ සමාජයේ සියළු පාර්ශවයන් මධ්‍යස්ථ ක්‍රමවේදයක් අනුගමනය කිරීම ඉතා වැදගත්ය. එසේ නොමැතිව කෙනෙකු හෝ සමාජයේ සුළු පිරිසක් ආවේගශීලී ලෙස කරන ක්‍රියාවක් සමස්ථ සමාජය මත පටවා විවේචනය කිරීම හෝ ඔවුන් නියෝජනය කරන දහම මත පටවා එම දහම විවේචනය කිරීම කිසිසේත් බුද්ධිමත් හෝ සාධාර්ණ වූ ක්‍රියාවක් නොවේ. මන්ද ඒ තුල නිවරුදිකරුවන් මෙන්ම ඉහත ක්‍රියාවන් අනුමත නොකරන පිරිස් පවා වැරදිකරුවන් ලෙස තීන්දු වන බැවිණි. මේ තුලින් පැහැදිලි වන තවත් සත්‍යයක් ඇත. එනම්, ජාතිවාදී ව්‍යාපාරයේ නියලෙන පිරිස් දැන හෝ නොදැන තම ජන සමූහය ජාතිවාදී පිරිසක් ලෙස ලෝකයා ඉදිරියේ මතවාදයක් නිර්මාණය කිරීමයි. මෙය අද ශ්‍රී ලාංකීය සමාජය පවා අත්විදින සත්‍යයකි. එසේනම් එවැනි වැරදි මතවාදයක් ලෝකයා තුල නිර්මාණය වීමට හැර තවදුරටත් නිහඬව බලා සිටිනවාද? යන්න බුද්ධිමත් සමාජය දැන්වත් තීන්දු කලයුතු කාරණයකි. විශේෂයෙන් ඒ ඒ සමාජ තුල වෙසෙන සාධාර්ණ අගයන පිරිස්  මේ ජාතිවාදී ව්‍යාපාරයන්ට එරෙහිව අවදි වියයුතුය. විශේෂයෙන් එහි ආගමික පූජකවරුන්, විද්වතුන් හා දේශපාලඥයින් හට ප්‍රබල වගකීමන් පැවරී ඇත.

මෙහිදී මුස්ලීම් සමාජයට ද කිවයුතු කාරණයක් ඇත. එනම්, වර්ථමානයේ අප රට තුල මුස්ලීම්වරුන්ට එරෙහි වූ ජාතිවාදී ව්‍යාපාර මෙතරම් සාර්ථක වීමට දැන හෝ නොදැන සමහරක් මුස්ලීම්වරුන් හා ඔවුන්ගේ ක්‍රියාකලාපයන් හේතු වී ඇත, යන්න තිත්ත වූ ඇත්තකි. විශේෂයෙන් ඉහතින් ඉදිරිපත් කල ආගමික රාමුවෙන් බැහැරව තම හැඟීමන්ට වහල්ව තීන්දු තීරණ ගෙන කටයුතු කිරීමත්, ජාතිවාදී ව්‍යාපාරයන් පූර්වාදර්ශ ලෙස ගෙන ඔවුනට එකට එක කිරීමට යාමත් එයට ප්‍රධාන හේතුවකි. ඉදිරියට මෙවැනි තත්වයන් ඇති නොවීමට මුස්ලීම් සමාජය ඉස්ලාමීය රාමුවක් තුල කටයුතු කිරීම ඉතා වැදගත් අවශ්‍යතාවයකි. ඒ කරා මුස්ලීම් සමාජය මෙහෙයවීම ඉස්ලාම් ආගමික පූජකවරුන්ට හා විද්වතුන්ට පැවරෙන්නේ ඉමහත් වගකීමකි. අල්හම්දුලිල්ලාහ් !, මෙතැනදී ඔවුන්ගේ මෙහෙවර කිසිසේත් අවතක්සේරු කිරීමක් කල නොහැක. මන්ද වර්ථමාන රටේ තත්වය හමුවේ ඉස්ලාම් දහමේ ආරක්ෂකයන් ලෙස කටයුතු කරන ආගමික විද්වතුන් හා පූජකවරුන් අනිකුත් සමාජවල සමහරක් පූජකවරුන් මෙන් වියරුවාදී ක්‍රමවේදයන්ට යොමු නොවී ඉස්ලාමීය විනයක් තුල ඉවසීමෙන් කටයුතු කරමින් මුස්ලීම් සමාජය ඉස්ලාමීය විනයක් තුල රදවා ගැනීමට ඔවුන් ගන්නා උත්සාහය හා මෙහෙවර සුළුපටු එකක් නොවේ. ආගමික දේශන, වැඩමුළු, මාධ්‍ය සාකච්චා, මූද්‍රිත මාධ්‍යය… යනාදී ලෙස සියළු ක්ෂේත්‍රයන් තුල ඔවුන්ගේ මෙහෙවර සාර්ථකව ඉටු කරමින් ඇත. කෙසේ වෙතත් මේ කිසිවක් තුල පාලනය නොවූ සමාජය තුල වීරයන් වන්නට උත්සාහ දරණ ඒ සදහා සමස්ථ සමාජය ලංසුවට තබන මානසික දුර්වලාතාවයන්ගෙන් පෙලෙන සමහරක් පිරිස් ද නැතුවා නොවේ. මේ පිරිස් පිලිබදව මුස්ලීම් සමාජය අවදියෙන් හා අවබෝධයෙන් කටයුතු කලයුතුව ඇත. සමාජය තුල ජාතිවාදය වපුරන්නට උත්සාහ දරණ පිරිසට අභියෝගයක් ලෙස ඔවුනට එකට එක කිරීමට මෙය ඡන්ද ව්‍යාපාරයක් හෝ ඔළුගෙඩි ගණන පිලිබදව ගැටළුවක් නොවේ. ඉස්ලාමීය විනය හා විනය විරෝධි ක්‍රියාවන් අතර පවතින අරඟලයකි. එය ඉහතින් සදහන් ආකාරයට යහපත් ක්‍රමවේදයන් තුලින්ම නිරාකරණය කරගන්නවා මිස මඩ ව්‍යාපාර තුලින් හෝ පදනම් විරහිත විවේචන තුලින් දිනාගත හැකි එකක් නම් නොවේ.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ වර්ථමාන රටේ තත්වය හමුවේ මුස්ලීම් සමාජය කිසිදු අන්තයක් නියෝජනය නොකොට මධ්‍යස්ථව ක්‍රියා කිරීමටත්, හරි දේ, හරි ලෙස දැකීමටත්, වැරදි දේ වැරදි ලෙස දැකීමටත් මැලි නොවිය යුතුය. එසේ වූ විට හරි හෝ වැරැද්ද සාධාර්ණව විනිශ්චය කිරීම ද අපහසු නොවේ. මෙසේ විනිශ්චය කිරීමෙන් පමණක් සියල්ල නොවිසදේ සමාජ යහපත වෙනුවෙන් ගතයුතු පියවරයන් ඉස්ලාමීය විනයක් තුල නොපමාව ගතයුතුව ද ඇත. මේ සියල්ලටම වඩා ‘යාඅල්ලාහ්!‘ (දෙවියනේ!) යනුවෙන් දෙවියන් හමුවේ ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් උදෙසා පමණක් නොව ලෝක වාසී සියළු මුස්ලීම්වරුන්ගේ විමුක්තිය නිදහස උදෙසා ප්‍රාර්තනාවන් එක්කල යුතුව ඇත. විශේෂයෙන් ඉස්ලාමයටත්, මුස්ලීම්වරුන්ටත් එරෙහිව එදිරිවාදිකම් කරන පිරිසට මේ දහමේ ඉගෙන්වීමන් අවබෝධ කරගන්න තරම් මනස විවෘත වේවා! යනුවෙන් ප්‍රාර්ථාන කලයුතුව ඇත. ලොවපුරා මුස්ලීම්වරුන් සතු ප්‍රබලම ආයුධය වන මේ ප්‍රාර්ථනාව සදහා උචිතම කාලවකවානුවක් අප මේ පසුකරමින් සිටින්නේ එසේනම් උපවාසයෙන් මිදෙන සෑම මොහොතකම ශ්‍රී ලාංකීය සමාජයටත් ලෝකවාසී ජනයාටත් අපගේ ප්‍රාර්ථනාවන් එක්සිතින් එක්ක එක්කරමු.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 2 යි.

  1. පොළොන්නරුවෙ හිමි 2013-08-07 at 01:58

    අක්කරෙයිපත්තුව මොට්ටියාගල දාගැබ,සාගම දාගැබ, පොතුවිල් මුහුදු මහා විහාරය, අනුරපුර සෙනෙවි රත් පිරිවන, කූරගල, දෙවනගල, දඹුල්ල, ආදි වෙහෙර විහාර බිදිම අල්ලා ගැනිම මුස්ලිම් අනතවාදි ක්‍රියාකාරීන්ගේ ක්‍රියාවලට සිංහලයා තවම හරිහැටි පෙළ නොගැසුණහ. මුස්ලිම් සමාජය දැනගතයුතු දේ මෙය සිංහල රටක් බවය.එකී සංස්කෘතියට අනුව ජීවත් වීමට වගබලාගත යුතුය.බහුතරයක් ප්‍රශ්න ඇත්තේ මුස්ලිමුන්ට නොව සිංහලයන්ටය.ඔවුනට පිහිට වීමට රජෙක් පවා නැත්තේය.බන්න උන් බල පෙරේතකම නිසාවෙන් බටුවියයුතු බොහො දේ නොකරයි.එක නීතියක් මේ රටේ නැත.ඔනෑතරම් සිංහලයා පෙලන කරුණු කාරණා කිව හැක.තම උපන් භුමියේම අසරන වී ඇත්තේ කවුද.සැබවින්ම අපය

    • අබූ අර්ශද් 2013-08-08 at 17:33

      ‘පොළොන්නරුවේ හිමි’ ලෙස මෙම ප්‍රතිචාරය ඉදිරිපත් කරන්නේ භික්ෂූන් වහන්සේ නමක් වියයුතුය. එම පදනමේ හිද ඉහත ප්‍රතිචාරය වෙත අවදානය යොමු කරන්නේ නම්,
      ඔබ වහන්සේ පෙලගස්සන ලද ස්ථාන පිලිබදව ඉතිහාසමය පැහැදිලි අවබෝධයක් මාහට නැත. නමුත් එම ස්ථාන පිලිබදව ජාතීන් අතර මතභේද පවතින බව නම් මා අසා ඇත්තෙමි. කෙසේ වෙතත් මේවා බෞද්ධ ජනයාගේ උරුමයන් නම් එය නීත්‍යානුකූලව විසදා ගැනීම පිලිබදව යහමඟ ට විරුද්ධ මතයක් නැත. එවැනි ස්ථාන මුස්ලීම් ජනයා ආක්‍රමණය කර ඇත්නම් එය ඉස්ලාම් දහමට අනුව ද වරදක් යන්නෙහි සැක නැත.
      ඔබ වහන්සේ පවසන දෙවන කාරණය වන ‘මුස්ලීම් ජනයා දැනගතයුතුයි මේක සිංහල රටක්’ යන ප්‍රකාශයට ද යහමඟ විරුද්ධ නොවෙමි. මන්ද රටක බහුතර ජාතිය, ‘මෙය තමාගේ රට බවත්, මෙහි වෙසෙන සුළුතරය තමන්ට අවනතව හා යටහත්ව ජීවත් වියයුතු බවත්’ ප්‍රකා‍ශ කිරීම හා ඒ වෙනුවෙන් ක්‍රියා කිරීම ලොව බොහෝ රටවල දකින්නට තිබෙන සම්ප්‍රදායකි. එම කාරණයේ දී ශ්‍රී ලංකාව ද එයින් මිදී නැත. නමුත් ඔබ වහන්සේ පවසන මීළඟ කාරණය වන ‘අපේ සංස්කෘතියට අවනත වියයුතුයි’ යන්න පිලිබදව යහමඟට එකඟ විය නොහැක. මන්ද ලොව ඕනෑම ජාතියකට ආගමකට ආවේනික සංස්කෘතීන් ඇත. මේවා ඒ ඒ ආගම හා බැඳුනු ලෙස ද පවතින අවස්ථාවන් ඇත. විශේෂයෙන් මුස්ලීම් සමාජය සැලකූවිට ඔවුන් කුමණ රටක ජීවත් වූවත් ඔවුන්ගේ සංස්කෘතිය හා ඉස්ලාම් දහම වෙන්කොට කථා කල නොහැක. මන්ද ඉස්ලාමීය සංස්කෘතියත් ඉස්ලාම් ම වන බැවිණි. අනික් කාරණය මුස්ලීම් සමාජයට සමහරක් බෞද්ධයන් තම සංස්කෘතිය බලෙන් පටවන්නට උත්සාහ කිරීමට පෙර සැබෑ බෞද්ධ සංස්කෘතිය හා වර්ථමාන බෞද්ධයා තුල ගොඩනැඟී ඇති සංස්කෘතිය අතර ඇති පරස්පරතාවය අවබෝධ කරගන්නේ නම් යහපත් යයි සිතමි.
      මීළඟට ඔබ වහන්සේ පවසන ‘නීතිය සාධාර්ණ නොවනවා’ යන කාරණය සම්බන්ධයෙන් මා දීර්ඝ ලෙස කථා කරන්නට යන්නේ නැත. සැබෑවට ම මේ රටේ සුළු ජනයාගේ ගැටළු විශේෂයෙන් මුස්ලීම් ජනයාගේ ගැටළු හා ඔවුනට එරෙහිව දියත් වන කුමණ්ත්‍රන හමුවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය රටම දන්නා ප්‍රසිද්ධ කාරණයකි.
      අවසාන වශයෙන් ඔබ වහන්සේ පවසන ‘තම උපන් භුමියේම අසරන වී ඇත්තේ කවුද?’ යන පැනයට පිලිතුරු ලබාදීමට ප්‍රථම ඔබ වහන්සේගෙන් මා ද පැනයක් විමසන්නට කැමැත්තෙමි. ඒ ‘ ඔබ වහන්සේ අවබෝධ කරගෙන සිටින ආකාරයට ශ්‍රී ලාංකීය මුස්ලීම් ජනයාගේ උපන් බිම කොහිද?’ යන්නයි. ඇත්තටම අපේ උපන් බිමත් ශ්‍රි ලංකාව ම යන්න අමතක නොකරන්න. එසේම ඔබ වහන්සේ පවසනවා සේ ‘තම උපන් භුමියේම අසරන වී ඇත්තේ කවුද?’ යන්නට පිලිතුර මෑතක සිට අප ර‍ටේ ක්‍රියාත්මක ජාතිවාදී ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය මනාව කියාපායි.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *