ජාතිවාදී සංවිධාන හා කුමන්ත්‍රණ

0

ශ්‍රි ලාංකීය ඉතිහාසය හොදින් අධ්‍යනය කරන විට එහි රටක් ලෙස ජාතික ගැටළුවල දී සියළු ජාතීන් එකාමෙන් අත්වැල් බැදගෙන සමඟියෙන් හා සහයෝගයෙන් ක්‍රියා කල බව සදහන් වේ. නමුත් අද එම ජාතීය (විවිධ ජාතිවාදී සංවිධානවල ක්‍රියාකාරීත්වයන්ට හසූවී) විවිධ කොටස්වලට බෙදී දුර්වල ජාතියක් ලෙස වර්ථමානයේ ජීවත් වනවා යන්න තමා තිත්ත වූ ඇත්ත. මෙවැනි බෙදීම් සදහා ආගම, කුලය, භාෂාව… යනාදී විවිධ දෑ ඔවුන් පදනම් කරගෙන ඇත. දකුණු ආසියාවේ ආශ්චර්‍යයක් කරන්නටත්, ප්‍රෞඩ ඉතිහාසයක් තුලින් ලෝකයට ආදර්ශයක් දෙන්නටත් පෙරුම්පුරන ශ්‍රී ලාංකීය ජාතියේ පැතුම දේශපාලන වේදිකාවට පමණක් සිමා වී පවතින මිස ඉන් ඔබ්බට ගොස් නැතැයි මා පැවසුවේ නම් එය පුදුම වන්නට කාරණයක් නොවේ. විශේෂයෙන් සමහරක් දේශපාලඥයින් ඔවුන්ගේ පැවැත්ම උදෙසා ජාතිවාදී සංවිධාන හා කරට කර සිට ජාතීන් අතර වෛරය හා ක්‍රෝධය නිර්මාණය කරමින් ශ්‍රී ලාංකීය ජාතිය තවත් භේදබින්න කලාට වඩා කිසිවක් කර නැත. මෙහිදී සමහරක් ආගමික පූජකවරුන් හා විද්වතුන් ද දැන හෝ නොදැන මෙම අවාසනාවන්ත තත්වයට දායක වී ඇත යන්න තවත් තිත්ත වූ සත්‍යයකි. ඔවුන් තම ආගමේ උගන්වන යහපත් ඉගෙන්විමන් තුලින් මිනිස් සමාජය තුල මනුෂ්‍යත්වය ගොඩනඟනවා වෙනුවට කර ඇත්තේ අනිතුක් ආගමික මතවාද නොරූස්සන මනුෂ්‍යත්වය වෙනුවට ආගමික වියරුව සමාජයට ආදේශ කිරීම පමණි. මේ නිසා අද ආගම් ප්‍රචාරය නමින් දක්නට ඇත්තේ තවත් ආගමක්, ආගමික විශ්වාසයක්, එම ආගම නියෝජනය කරන ජන සමාජයේ ක්‍රියාකලාපයක් හෝ කිහිපයක් ගැරහීමට ලක්කිරීම පමණි. තම ආගම් තුල තිබෙන යහපත් ඉගෙන්විමන් මිනිස් සමාජයට දේශනා කොට ඒ තුලින් තම දහමේ මහිමය මිනිස් සමාජයට තහවුරු කරනවා වෙනුවට අද සිදු කරන්නේ අනිකුත් දහමන් හා එය පිලිපදින සමාජය පහත් අයුරින් විවේචනය කරමින් ඒ තුලින් තම දහමේ මහිමය තහවුරු කිරීමට උත්සාහ කිරීමයි. මෙවැනි දෑ දෙස බලනවිට ඔවුන් පිලිපදින ආගම් තුල “මීටවඩා යමක් අන්තර්ගත වී නැතුවා දෝ…” යන්න සිතෙන වාර අනන්තය.

ශ්‍රී ලාංකීය සමාජය තුල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙම තත්වය නිදසුන් සහිතව තහවුරු කරන ලිපි බොහෝමයක් මෙම යහමඟ අඩවිය තුල මීට ඉහත සාකච්චා කල බව පාඨක ඔබට මතකයේ ඇති. එම ලිපිවලින් සලකුණු කොට පෙන්වූ කරුණුවලට අමතරව වර්ථමානයේ එවැනි මඩ ව්‍යාපාරයන් හි නියලෙමින් ඒ තුලින් තම දහමට කිසියම් මහිමයක් හෝ උතුම්බවක් ගලපන්නට වෙරදන (වැදි බණ දෙසන) blog අඩවීන් ද බොහෝමයක් අන්තර්ජාලයේ දක්නට තිබීම මා පවසන එම කාරණය වඩාත් හොදින් තහවුරු කරණ සාධකයක් නොවේද?. මා මෙසේ පවසන විට කෙනෙකුට “එය කිසියම් අන්තවාදී පුද්ගලයෙකුගේ ක්‍රියාවක් මිස ඒ තුලින් සමස්ථ සමාජය හෝ දහම නියෝජනය කරන්නේ නැහැ” යනුවෙන් සිතෙන්නට පුළුවන. එසේ කිසිවකු සිතන්නේ නම් එහි වරදක් නොවේ. මන්ද එවැනි මානසික විකෘතිතාවයෙන් කටයුතු කරන පිරිස් ඕනෑම සමාජයක සිටිය හැකි බැවිණි. නමුත් අවාසනාව කියන්නේ මෙලෙස ලියන සෑම බ්ලොග්කරුවෙකුගේම මෙහෙවර එකසමාන වීම හා ඔවුන් සංවිධානාත්මක ලෙස ක්‍රියා කිරීමයි. (අන්තර්ජාලයේ සැරිසරන පිරිසට මෙය පහසුවෙන් දැකගත හැක) මෙය වර්ථමාන ලාංකීය සමාජයේ (පහත් වින්දනයක් ලබන පිරිසට) විනෝද ජනක එසේම විශිෂ්ඨ හා උතුම් මෙහෙවරක් ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් ඒ තුලින් දිනෙන් දින සිදුවන්නේ ජාතීන් අතර සමඟිය පළුදුවීම හා වෛරයක් ගොඩනැඟීම පමණි. ඕනෑම දහමක ඉගෙන්වීමන් ගත්විට එහි අනිකුත් ආගමික පිරිසට එකඟවිය නොහැකි එසේම තම දහම තුල දක්නට නොමැති යම් යම් ඉගෙන්වීමන් පැවතිය හැක. නිදසුනක් ලෙස ඉස්ලාම් පවසන බහුවිවාහය, චර්ම ඡේදනය, මාංශ අනුභවය… යනාදීය සදහන් කලහැක. මෙම කාරණා ජාත්‍යන්තරයේ පවතින අනිකුත් ආගම් පදනම් කරගෙන විමසා බලන විට එය අළුත් එසේම ප්‍රබල කාරණයක් නොවුවද (මෙම සම්ප්‍රදාය ලොව අනිකුත් ආගම්වල ද දක්නට ලැබේ) ශ්‍රී ලාංකීය බුදුදහම පදනම් කරගෙන විමසා බැලූවිට එය බෞද්ධයන් හට නුහුරු ඉගෙන්වීමක් යන්න සැබෑවකි. මේ හේතුව නිසා එම ඉස්ලාමීය ඉගෙන්වීමන්ට එරෙහිව බුද්ධිමත් ආකාරයට හා සංවාදශීලී ආකාරයට තර්ක විතර්ක කිරීම වරදක් නැත. නමුත් පහත වචන මාලාවන් උපයෝගි කරගෙන උපහාසාත්මක ලෙස අදහස් පලකිරීම ශිෂ්ඨසම්පන්න සමාජයක් හෝ ශිෂ්ඨසම්පන්න ආගමක් අනුමත කරන්නේ නැත. මේ හේතූව නිසා තමා ශුද්ධ වූ කුර්ආනයේ එක්තරා වාක්‍යයක් මුස්ලීම් සමාජයට මෙලෙස පවසන්නේ,

කිසියම් ජන කොට්ඨාශයක් කෙරෙහි තිබෙන නොසතුට එම ජන කොට්ඨාශයට අසාධාරණයන් සිදුකරන තැනට නුඹලා නොපෙලඹේවා. සාධාරණව ක‍්‍රියා කරව!

ඉස්ලාම් දහමට එරෙහිව කොතරම් ගල්මුල් හා මඩ ව්‍යාපාර දියත් වුවත්, මුස්ලීම්වරුන් ඒවා සියල්ල සංයමයකින් දරාගෙන බුද්ධිමත් ලෙස සංවාදයන්ට එලඹෙන්නේ ඒ විවේචකයන් අදහන ආගම් තුල අපහසාත්මකව හෝ උපහාසාත්මකව කථා කිරීමට කිසිවක් නොමැති නිසා නොව ඉස්ලාම් ඒ සදහා මුස්ලීම්වරුන්ට කිසිදු ඉඩක් ලබානොදෙන නිසාය. නබිතුමාණන්ගේ බහුවිවාහය එසේත් නැත්නම් මුස්ලීම්වරුන් සිදුකරන චර්ම ඡේදනය අසභ්‍ය කාරණයක් ලෙස හුවාදක්වමින් අපහසාත්මකව කථා කරන පිරිසට ඔවුන්ගේ ආගමික ලියවිලිවල පවතින අසභ්‍ය කරුණු මුස්ලීම් සමාජය උපුටා දැක්වුයේනම් ඔවුන් ඉස්ලාමයට ඉදිරිපත් කරන තර්ක මොනවාද? යන්න ඔවුනටම සිතෙනු ඇත. (අභියෝග කරන්නේ නම් ඉදිරිපත් කරන්න සූදානම්) ඔවුන් ක්‍රියා කරනවා සේ වෙනත් ආගමක් හෝ එහි අනුගාමිකයන් අපහස කිරීමට හා ඔවුනට අසාධාරණයන් සිදුකිරීමට ඉස්ලාම් දහම තුල අවසර ලබාදී නැත. එය ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් ඔබට පැහැදිලි වනු ඇත. මෙයට තවත් සරල නිදසුනක් මුහම්මත් (සල්) තුමාණන්ගේ කාලයෙන් උපුටා දැක්විය හැක. එම හදීසය මෙසේය,

දිනක් (මුස්ලීම් නොවන) කෙනෙකු ඉස්ලාමීය දේවස්ථාන තුලට පැමිණ එහි මූත්‍රා කිරීමට පටන්ගත්තේය. මෙය දුටු මුස්ලීම්වරුන් ඔහුට (දැඩි ලෙස) බැණවදින්නට හා එලවන්නට සැරසුනේය. එම මොහොතේ නබිතුමාණන් “ඔහුව අත්හරින්න!, ඔහු මූත්‍රා කල ස්ථානයේ වතුර බාල්දියක් වත්කර හරින්න!, ඉතා යටහත් අයුරින් ක්‍රියාකිරීමට තමා නුඹලාට (මුස්ලීම්වරුන්ට) ඉස්ලාම් අනකොට ඇත්තේ!, දැඩි (දරදඬු) අයුරින් ක්‍රියා කිරීමට (ඉස්ලාම්) නුඹලාට අනකොට නැත.!” යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

මුස්ලීම් නොවන සමාජය පමණක් නොව මුස්ලීම්වරුන් ද ඉහත හදිසය මොහොතක් බුද්ධිමත්ව විමසා බැලිය යුතුය. එහිදී මෙම සිදුවීම සිදුවන්නේ කොතැනදී ද?, කව්රුන් අභියසදී ද?, එම ස්ථානයේ මුස්ලීම්වරුන්ගේ බලය කොතරම්ද?… යනාදී කරුණු ඉතා වැදගත් වේ. ශුද්ධ වූ භූමියෙහි තිබෙන ශුද්ධ වූ දේවස්ථානය තුල අල්ලාහ් (දෙවියන්)ගේ වක්තෘවරයාණන් මෙන්ම එම භූමියේ භාරකරු අබියස මෙවැනි ක්‍රියාවක් සිදුවන විට නබිතුමාණන්ගේ ප්‍රතිචාරය කුමක්ද? මුස්ලීම්වරුන්ට දෙන අවවාදය කුමක්ද? මේ සියළු කාරණයන් හොදින් විමසා බැලුවේ නම්, “ඉස්ලාම් කෘර වූ දහමක්” යයි පවසමින් බටහිර ඉස්ලාම් විරෝධින්ට කඩේ යන අපේ blog ඔස්තාර්ලාට යථාර්තය අවබෝධ වනු ඇත. (මෙම කාරණය පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත ද සාකච්චා කොට ඇත) ලාංකීය සමාජය තුල ඉස්ලාම් දහම ප්‍රබල මඩ ව්‍යාපාරයන්ට හා අපහසයන්ට ලක්වෙද්දී පවා ඉතා ඉවසුමෙන් සංයමයකින් මුස්ලීම් සමාජය ක්‍රියා කිරීමේ රහස ඉහත ඉගෙන්වීමයි. මෙවන් සමාජ පසුබිමක “පිනුම් ගසන” සමහරක් බ්ලොග් ඔස්තාර්ලා පිලිබදව සදහන් කලයුතු තවත් කාරණා කිහිපයක් ඇත.

එනම් අන්තර්ජාලය තුල සැරිසරන විට ඉහතින් මා සදහන් (ඉස්ලාම් දහම් විරෝධි) ආකාරයේ බ්ලොග් ඔස්තාර්ලාගේ බොහෝ blog අඩවීන් දක්නට ඇත. ඒවා කියවන සමහරක් පිරිසට “කටඋත්තර නැතිවෙන්න ලියලා” යනුවෙන් සිතෙන්නට පුළුවනි. කිසියම් කෙනෙකු හට එසේ සිතෙයි නම් ඒ සමඟ ම ඔහු සිතා බැලිය යුතු කාරණා කිහිපයක් ඇත. එනම්,

  • මෙවැනි ක්‍රියා මාර්ගයක් සදහා තමන් අදහන දහම තුල අවසර තිබෙනවාද? යන්න,
  • මෙවන් ක්‍රියාවන් වින්දනයක් ලබන්නට තරම් කාරණයක්ද? යන්න,
  • තමන් විවේචනය කරන ආකාරයේ හෝ ඊටත් වඩා ප්‍රබල කාරණයන් තමන් අදහන ආගම් තුල නොතිබෙනවාද? යන්න,
  • තමන් අදහන දහම පිලිබදව තමන්ට කොතරම් අවබෝධයක් තිබෙනවාද? යන්න,
  • රටේ සුළුතරය මුස්ලිම්වරුන් නොවුනා නම් මෙවැනි දෑ සිදුවේද? යන්න.

රටේ සුළු ජාතියක් වූ නිසාම “තැලෙන යකඩය උඩ පැන පැන තලන” න්‍යාය අනුගමනය කරන ඉහත පිරිස් අතර බෞද්ධ සමාජය ප්‍රමුඛතැනක් ගන්නා නිසා ඔවුන්ගේ ආගමික පුස්තකය වන ත්‍රපිටකයේ සදහන් යම් යම් කරුණු හා ඉහත සදහන් බ්ලොග්කරුවන්ගේ බ්ලොග් පූර්වාදර්ශයට ගෙන එනම් පහත් අන්දමේ භාෂා ශෛල්‍යයන් උපයෝගි කරගෙන මඩ ව්‍යාපාරයන් හි මුස්ලීම් සමාජය නියලුනේ නම් එහිදී බෞද්ධයන් ලෙස ඔබට ඇති වන හැඟීම මොහොතක් සිතා බලන්න. එවිට මෙවැනි ක්‍රියාවන් හි නියලීම යහපත්ද? අයහපත්ද? යන්න ඔබටම පහසුවෙන් තීරණය කරගත හැක. (නමුත් ඒ සදහා ඉස්ලාම් දහම මුස්ලීම්වරයෙකුට ඉඩ නොමැති බව ඉහතින් පැහැදිලි කලෙමි. එවැනි ව්‍යාපාරයක කිසියම් මුස්ලීම්වරයෙකු නියලී සිටී නම් ඔහු පිලිබදව යහමඟ දැනුවත් කරන්නේ නම්, ඔහුට එරෙහිව ක්‍රියා කරන්න යහමඟ සූදානම් යන්නත් පාඨක ඔබට මෙහිදී දන්වා සිටිමි) ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට පනවා ඇති මෙම තහංචිය අවස්ථාවක් කරගෙන “පාලුගෙදර වලං බිඳින” පිරිසට විශේෂයෙන් බ්ලොග් ඔස්තාර්ලාට අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මෙවැනි ක්‍රියාදාමයන් තුලින් ජාතියක් වශයෙන් හෝ ආගමක් වශයෙන් අහිමිකරගත් දෑ මිස දිනාගත් හෝ දිනාදුන් කිසිවක් නොමැත යන්න පමණි.

ඉස්ලාම් දහමට එරෙහිව ක්‍රියාකරන බව සිතාගෙන විශේෂයෙන් ඉස්ලාම් දහම ලාංකීය සමාජයෙන් තුරන් කරන්න සිතාගෙන සිදුකරන උත්සාහයන් තුලින් ඉස්ලාම් දහමට යහපතක් මිස සිදුවූ අයහපතක් නැත. අද ලාංකීය සමාජයේ නොව ලෝකයා ඉදිරියේ ප්‍රබල විවේචනයන්ට හා අපහසයන්ට ඉස්ලාම් දහම ලක්වෙද්දී එම දහම ලොව සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන දහම බවට පත්වී ඇත. ඒ අන්කිසිවක් නිසා නොව ඉස්ලාම් දහම මනුෂ්‍ය චින්තනවලින් පරිභාහිර වූ සාර්ථක එසේම දිව්‍යමය සැලැස්මක් නිසාම පමණි. එහි සාර්ථකත්වය නිසා තමා ශුද්ධ වූ කුර්ආනයේ 9-32 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවියන්) මෙසේ විමසා සිටින්නේ,

“ඔවුන් අල්ලාහ්ගේ (දහම නම්) ආලෝකය මුවින් (පිඹ) නිවන්නට අදහස් කරන්නෝය. එහෙත් එම ප්‍රතික්ෂේප කරන්නන් අකමැති වුවද අල්ලාහ් ඔහුගේ (දහම නම්) ආලෝකය පරිපූර්ණ නොකර නොහරින්නේය”

ඉහත ආකාරයට ශුද්ධ වූ කුර්ආනය සමස්ථ සමාජයට අභියෝග කරන මේ මෙහොතේ නැවතත් වර්ථමාන ලාංකීය සමාජය තුල සුළු ආගම් හා ජාතීන්ට එරෙහිව නිර්මාණය වෙමින් පවතින තත්වය පිලිබදව අවධානය යොමු කලේනම්, එහිදී මා ඉහතින් සදහන් කලසේ “මේවා කිසියම් පුද්ගලයෙකුගේ පුද්ගලික ක්‍රියාවක්” යනුවෙන් තර්කයක් ඉදිරිපත් කලහැක. නමුත් එසේ පැවසීමට නොහැකි තරමට මෙවැනි දෑ ලාංකීය සමාජයේ සංවිධානාත්මක ලෙස සිදුවන බව මෙහිදී පැහැදිලිවම සදහන් කලයුතුව ඇත. එවැනි එක් සංවිධානයක් තමා “සිංහලය සුරැකීමේ සංවිධානය” යන්න. දශක කිහිපයක් කොටින්ගේ හිංසනයට ලක් වූ මුස්ලීම් ජනතාවට “මෙය තවත් ජාතිවාදී කල්ලියක් දෝ?” (ඔවුන්ගේ ලාංඡනය දකින විටද ඔබට අපේ රටේ අමිහිරි ඉතිහාසය සිහියට නැගෙනු ඇත) යන්න සිතෙන ආකාරයට ඔවුන්ගේ ක්‍රියාකලාපයන් පිහිටා තිබේ. මුස්ලීම ප්‍රජාව සම්බන්ධයෙන් වියරුවෙන් ක්‍රියා කරන ඔවුන්ගේ ආවේගකාරී හා ජාතිවාදී ක්‍රියා කලාපයට හොද නිදසුනක් පහතින් ඉදිරිපත් කරමි. ඊට ප්‍රථම සදහන් කලයුතු තිත්ත වූ සතත්‍යයක් ද ඇත. එනම් මෙම ඉස්ලාම් විරෝධි ව්‍යාපාරවල නියලෙන පිරිස් මේ වනවිට ලාංකීය ප්‍රබල ජාතිවාදී හා ආගම්වාදී දේශපාලඥයින්ගේ “අත දරුවන්” බවට පත්ව ඔවුන් හා සමීප සම්බන්ධතාවයන් පවත්වන බවට කරුණූ අනාවර්ණය වී ඇත. කෙසේ වෙතත් ජාතිවාදී දේශපාලඥයින්ගේ ආශිර්වාදය මත ඉතා සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක වන ඉහත පිරිස තම සැබෑ මුහුණු ජාතියටම නිරාවර්ණය කර තිබු ආකාරයයි මේ,

සිංහලය සුරැකීමේ සංවිධානයේ නිවේදනය

(මෙම පොස්ටරය සිංහල අවුරුද්දට මසකට පමණ රටපුරා බෙදාහැර මා අතටත් පත්වුවත් මෙවැනි ලිපියක් තුලින් එම පෝස්ටරය එදා ප්‍රසිද්ධ කලානම් එයින් මුස්ලීම් ව්‍යාපාරිකයන් හට කිසියම් අවාසියක් වන්නට පුළුවන් යයි හැඟුණු නිසා එය ප්‍රමාද කොට අද පලකරමි.)

ඉහත ආකාරයේ සංවිධානයන් මගින් ලාංකීය සමාජය තුල මුස්ලීම්වරුන්ට එරෙහිව ඉතිහාසයේ කිසිදු දිනක දක්නට නොලැබුණු ආකාරයේ බොළද තර්කයන් පසුගිය දශක දෙක තුල සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. එයින් කිහිපයක් පවසන්නේ නම්,

  • මුස්ලීම් ජනතාවගේ මව්බිම ශ්‍රී ලාංකාව නොවේ,
  • මුස්ලිම් ජනතාව තම ජනගහනය සීඝ්‍රයෙන් වර්ධනය කරමින් සිටිනවා,
  • මුස්ලීම් ජනතාව තම කාන්තාවන් උපයෝගි කර ගනිමින් බෞද්ධයන් තම දහමට හරවා ගන්නවා,
  • මුස්ලීම්වරුන් බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරනවා

ඉහත ආකාරයට මුස්ලීම් සමාජයට එරෙහිව බෞද්ධ සමාජයේ නොසතුට හා පිලිකුල නිර්මාණය කරමින් එදා වැපුරු බීජය අද වනවිට ජාතිවාදී රූස්ස ගසක් ලෙස වැඩෙමින් පවතී. ජාතියක් ලෙස නැඟීසිටීමේ අවශ්‍යතාවය හා ඒ සදහා පිඹුරුපත් සකසන විද්වතුන්ගේ හා (ජාතිවාදී නොවන) දේශපාලඥයින්ගේ අවදානයට මෙම කාරණය ලහිලහියේ දැඩිලෙස යොමු විය යුතුව ඇත. රටේ සුළු ජාතිය මෙලෙස හුදෙකලා කොට ඒ තුලින් ජාතියක් ලෙස ගොඩනැඟිය හැකි යහපත් කුමක්ද?. යන්නත්, රටේ 8% වන මුස්ලීම් ප්‍රජාවට එරෙහිව මහා ජාතිය මෙලෙස සංවිධානය වීම රටක් වශයෙන් කොතරම් අවාසනාවන්ත තත්වයක්ද? යන්නත් සිතා බැලීම කාලීන අවශ්‍යතාවයකි. පිවිතුරු බුදුදහම පවතිනවා යයි පවසාගන්නා එසේම බුදුන්ගේ දේශය බවට හදුන්වා ගන්නා මේ ලක්බිම තුල රටේ බහුතරයක් සුළු ජාතීන්ට අත්කරන්නට පෙරුම් පුරණ ඉරණම දෙස බලන කල මෙවන් කුතුහලයන් ද මතුවේ. එනම්,

  • මේ බුදුන් පෙන්වාදුන් බුදුදහමේ ආදර්ශයක්ද?
  • මේ බුදුහම පිලිබදව තිබෙන අනවබෝධයක්ද?

ඉහත පිරිසගේ ක්‍රියා කලාපයන් අනිවාර්‍යෙයන්ම මෙම කරුණූ 02 ට අදාල වියයුතුය. ඊට පරිභාහිර වෙනත් හේතුවක් පැවතිය නොහැක. එසේනම් මෙම පෝස්ටරය මඟින් ශ්‍රී ලංකාවේ තිබෙන විශාලතම සංවිධානය කරන යෝජනාව කොතරම් අනුවනවකාරී යෝජනවාක්ද? යන්න හේතු ගැන්වීම සදහා දීර්ඝ පැහැදිලි කිරීමන් අවශ්‍ය නොවේ. ජාතියක් ලෙස කරන මෙම යෝජනාව පූර්වාදර්ශයක් ලෙස ගෙන ජාත්‍යන්තර මට්ටමින් රටවල් ක්‍රියාවට නැංවුයේනම් සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේම ඉරණම මොහොතක් සිතා බලන්න. වර්ථමානයේ ස්වයං පෝෂිත ආර්ථික රටාවක් තුල පවා රටක් තුල ක්‍රියාවට නැංවිය නොහැකි මෙවැනි ප්‍රතිපත්ති රටේ සුළු ජාතියකට එරෙහිව යෝජනා කරන්නේ නම් හා එය ජාතියක් ලෙස අනුමත කරන්නේ නම් එම ජන සමාජය කොතරම් විකෘති මානසිකත්වයකින් හා ජාතී වියරැවකින් පෙලෙනවාද? යන්න වටහාගැනීම අපහසු නොවේ.

මෙහි සදහන් පොස්ටරය තවත් එක් නිදසුනක්ද? නොඑසේ නම් එකම එක නිදසුනක්ද? යන්න තම හදවතට එකඟව තීරණය කිරීමේ අයිතිය බුද්ධිමත් ලාංකීය පොදු ජනතාවට භාරය. එසේම මුස්ලීම් සමාජයට ද කිවයුතු කාරණයක් ඇත. එනම් මෙවැනි විකෘති මානසිකත්වයෙන් කටයුතු කරන පිරිසගේ කුමන්ත්‍රණවලට අප සැලෙන්න අවශ්‍ය නොවේ. මෙම තත්වය මුස්ලීම්වරුන් අභියෝගයක් ලෙස භාර ගතයුතුය. ඔවුනට සිංහලයා සුරකීමේ අයිතිය ඇතිබව සැබෑවක් වුවත් මුස්ලීම් ජනතාව විනාශ කිරීමේ අයිතිය ඔවුනට නැත. එසේම මුස්ලීම්වරුන් යනු වියරුවෙන් හා පටු අරමුණුවල හිද කටයුතු කරන ජන සමාජයක් නොවේ. පාරිශුද්ධ දහමක ආභාෂ‍ය ලද අප මෙවැනි පිරිසගේ ක්‍රියාවන් පිලිබදව කලබල වියයුතු නොවේ. මෙහිදී කලයුතුව ඇත්තේ ඉස්ලාම් පෙන්වාදෙන සැබෑ මුස්ලීම්වරයෙකු ලෙස මෙම ගැටළුවට මුහුණදීම පමණි.

අවසාන වශයෙන් සමස්ථ ලාංකීය සමාජයටම සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, මෙවැනි ක්‍රියාදාමයන් තුලින් ඉදිරියටත් අප රට තුල තවත් බෑන් කි මූන්ලාට ඉඩ සලසා දෙනවාද යන අභියෝගය දේශපාලඥයින්ට භාරය. තම දහමේ ආදර්ශමත් ඉගෙන්වීමන් සමාජයට දායාද කොට යහපත් සමාජයක් ගොඩනඟනවාද? නොඑසේ නම් ආගම් නමින් වියරුව හා වෛරය දේශනා කරමින් මනුෂ්‍යත්වය නොහදුනන කාලකණ්නි සමාජයක් බිහිකරනවාද? යන්න තීරණය කිරීම ආගමික විද්වතුන්ට භාරය.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp