ජාති ආගම් නාමයෙන් කොයිබටද? 2 – මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය

1

(ජාතියේ හා ආගමේ නාමයෙන් රට රැගෙන යන්නේ කොයිබටද?)

මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය

සිංහලයන් වියළි කලාපයේ අනුරාධපුරය හා ඉන්පසුව පොළොන්නරුව අගනුවර බවට පත් කරගෙන සිටි කාලයේදී පවා අරාබි වෙළෙන්දෝ ලංකාවට පැමිණියෝය. ඉන් සමහරෙක් මෙහි පදිංචි වී වෙළෙඳාමේ යෙදෙන මෙරටේම ජීවත් වන පිරිසක් බවට පත්වූහ. ඉතා වැදගත් දේ ආරම්භයේ සිට අරාබියේ සිට පැමිණ මෙහි පදිංචි වූ කිසිවෙකු අරාබි කාන්තාවන් සමග මෙහි නොඒමය. ඔවුහු විවාහ කොට ගත්තෝ සිංහල හෝ දෙමළ කාන්තාවන්ය. සිංහලයෝ වෙළෙඳාම පහත් කොට සැලකූහ. ඒ නිසා රටේ වෙළෙඳාමේ ඒකාධිකාරය හිමි කරගෙන සිටියෝ මුස්ලිම්වරුය. මහනුවර යුගයේදී එහි ජීවත් වූ මුස්ලිම්වරුන් අනුයුක්ත කර තිබු‍ණේ මඩිගේ හෙවත් ප්‍රවාහන කාර්යාංශයටය. රැල්ෆ් පීරිස්ට අනුව ඔවුන් උඩරට සිංහල කුල ක්‍රමයට ඇතුළත් නොකරගත්තේ ඔවුන් තමන් ඇදහූ මුස්ලිම් ආගම අත්නොහැරීම නිසාය.

පෘතුගීසින් ලංකාවට පැමිණීමත් සමග මුස්ලිම්වරුන්ට එතෙක් වෙළෙඳාමේදී හිමිව තිබූ ඒකාධිකාරී අයිතිය අ‍‍හිමිවීම නිසා ඔවුහු පෘතුගීසීන්ට එරෙහිව සටන් කරන තැනකට ගියෝය. 1517 දී මුස්ලිම්වරු පෘතුගීසීන්ගේ කොළඹ කොටුව වටලා පහර දුන්නෝය. ඉන් අවුරුදු 100කට පසුව එනම් 1617දී පෘතුගාලයේ රජතුමාගේ ආඥාවක් අනුව කොන්ස්ටන්නෝ ද නොරොඤ්ඤා නැමැති ලංකාවේ පෘතුගීසි පාලන ප්‍රදේශවල ප්‍රධානියා ලෙස ක්‍රියා කළ පෘතුගීසි කපිතාන් ජනරාල්වරයා, සිය පාලන ප්‍රදේශවලින් සියලු මුස්ලිම්වරුන් පලවා හැරියේය. ඔවුහු රැකවරණය සොයාගෙන ගියෝ උඩරට සිංහල රාජධානියටය. උඩරට රජතුමා එහි පැමිණි මුස්ලිම්වරුන්ගෙන් එක් පිරිසක් මහනුවර අවට ප්‍රදේශවල පදිංචි කරවා ඉතිරි පිරිස උඩරට රාජධානියට අයත්ව තිබූ මඩකළපුවේ වෙරළබඩ ප්‍රදේශවල පදිංචි කරවිය. බී. එච්. ෆාමර්ට අනුව එය බොහෝ දුරට ජනශූන්‍ය ප්‍රදේශයක් පැවති වියළි කලාපය ජනාවාස කිරීමේ ආරම්භය විය.

පෘතුගීසීන්ගෙන් පසු එළැඹෙන ලන්දේසි යුගයද මුස්ලිම්වරුන්ට යහපත් නොවීය. හේතුව ඔවුන්ගේ පාරම්පරික වෘත්තිය වූ වෙළෙඳාමට ලන්දේසීන් අවහිර කිරීමයි. ඒ තත්ත්වය වෙනස්වන්නේ බ්‍රිතාන්‍ය පාලන යුගයේදීය. වෙළෙඳාම සඳහා මහා පරිමාණයෙන් ඉඩ ප්‍රස්ථා විවර වන්නේ ද ඒ යුගයේදීය. බ්‍රිතාන්‍යයන් ආනයන අපනයන වෙළෙඳාමේදී තමන් අත තබාගත්තේ තෝරාගත් අංශ කිහිපයක් පමණය. අනෙක් අංශවල වෙළෙඳාමේ නිරතවීමේ අයිතිය ඒ ගැන උනන්දුවක් දක්වන වෙනත් අයට දුන්නේය. සිංහලයන් වෙළෙඳාමට නැඹුරු වූයේද වතු ආර්ථිකයක් ඇතිවීමත් සමගය. එහෙත් ඔවුන් වෙළෙඳාමට අධුනිකයන් වූ නිසාත් වෙළෙඳාම මුස්ලිම්වරුන්ගේ ඇ‍ඟේ තිබුණු දෙයක් වීම නිසාත් ස්වදේශීය වෙළෙඳුන් අතර ප්‍රමුඛ තත්ත්වයක් හිමිකර ගත්තෝ මුස්ලිම් වෙළෙන්දෝය. එහෙත් ආගමික හේතු නිසා මුස්ලිම්වරුන් අරක්කු වෙළෙඳාමට අත නොගැසීම හේතුකොට ගෙන අරක්කු වෙළෙඳාමේදී පමණක් සිංහල වෙළෙන්දෝ ප්‍රමුඛ වූහ. මුස්ලිම්වරු අධ්‍යාපනය නොවැදගත් කොට සැලකූ අතර වැදගත් කොට සැලකුවෝ වෙළෙඳාමය. එහෙත් සිංහලයන් සේ ම, ඊටත් වඩා දමිළයෝ අධ්‍යාපනය වැදගත් කොට සැලකූහ. උතුරේ දමිළයන්ට දියුණුවීමට ඒ ප්‍රදේශවල ව්‍යාපාරික මාර්ග විවෘත නොවීම ඔවුහු දියුණුව කරා යන ප්‍රධාන මාර්ගය බවට පත්කරගත්තෝ අධ්‍යාපනයයි. කුමාරි ජයවර්ධනට අනුව 20 සියවස ආරම්භ වනවිටත් මහා පරිමාණ වෙළෙඳ කටයුතුවල යෙදී සිටියේ සිංහල හා දෙමළ පුද්ගලයන් කිහිපදෙනෙකු පමණය. මහා පරිමාණයේ වෙළෙඳාම යුරෝපීයයන්ට, විවිධ ඉන්දියානු ජාතිකයන්ට හා දේශීය වශයෙන් මුස්ලිම්වරුන්ට සීමාවූ දෙයක් වී තිබුණි. සිංහල වෙළෙඳුන්ගෙන් බහුතරය සිල්ලර වෙළෙඳාමේ යෙදුනු සුළු වෙළෙන්දෝ වූහ. යු‍රෝපීයයන්ගේ වෙළෙඳ කේන්ද්‍රය පිහිටා තිබුනේ කොළඹ කොටුවේය. යුරෝපීය නොවන වෙළෙඳ කේන්ද්‍රය පිහිටා‍ තිබුණේ පිටකොටුවේය. පිටකොටුව වෙළෙඳාමේ අධිපත්‍යය හිමිකරගෙන සිටියෝ හෙට්ටි වෙළෙන්දෝ හා මුස්ලිම් වෙළෙන්දෝය.

වෙළෙඳාමේදී මුස්ලිම්වරුන් හිමි කරගෙන සිටි ආධිපත්‍යය සිංහල වෙළෙඳුන්ගේ ඊර්ෂ්‍යාවට සේ ම විරෝධයටද හේතුවී තිබුණි. වෙළෙඳාම මුස්ලිම්වරුන්ගේ ඇ‍ඟේ තිබුණු දෙයක් වීම නිසාත් සිංහලයන් වෙළෙඳාමට අලුතෙන් එකතු වී තිබුණු පිරිසක් වීම නිසාත් වෙළෙඳාමේදී මුස්ලිම්වරුන් හා තරඟ කිරීමේ ශක්තියක් සිංහල වෙළෙඳුන්ට නොතිබුණේය. එහෙත් වෙළෙඳ තරඟයෙන් මුස්ලිම්වරුන් ඉවත් කොට ඔවුන්ගේ වෙළෙඳාම තමන් වෙත හිමි කරගැනීමේ වුවමනාවක් සිංහල වෙළෙඳුන්ට තිබුණු අතර ඒ නිසා මුස්ලිම් විරෝධී මතවාද පතුරුවන ආගමික හා ජාතික ව්‍යාපාරවලට ඔවුහු නිර්ලෝභීව මුදලින් ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමය කළෝය. එය 1915 සිංහල මුස්ලිම් කෝලාහලය කෙරෙහි බලපෑ වැදගත් සාධකයක් වීයැ’යි කිව හැකිය. 1915 ඇතිවූ මුස්ලිම් කෝලාහලයෙන් අවුරුදු 98කට පසුව දැන් ඇතිවී තිබෙන මුස්ලිම් විරෝධී මතවාදී ව්‍යාපාර කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකය ලෙස සැලකිය හැක්කේද එයමය. සිංහල මුස්ලිම් වෙළෙඳ තරඟයේ අවලස්සන ඵලයක් ලෙස සැලකිය යැකිය.

රට අවුලෙන් අවුලට යැවීම

මෙම මුස්ලිම් විරෝධී මතවාදී ව්‍යාපාරය මෙහෙයවනු ලබන බව පෙනෙන්නේ භික්ෂූන් කණ්ඩායම් කිහිපයක් විසින් විවිධ නම්වලින් පවත්වාගෙන යන සංවිධාන කිහිපයක් මගිනි. එම සංවිධාන මගින් ප්‍රකාශ කෙරෙන අදහස් පොදුවේ භික්ෂූ සමාජය දරන අදහස් ලෙස සැලකිය නොහැකිය. සාම්ප්‍රදායික භික්ෂූ නායකත්වය මෙම අන්තවාදී ප්‍රවණතාවලට එකඟ නැති බව පෙනෙන්නට ඇතත්, උන්වහන්සේලාට එම මතවාදයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනීසිටීමට ආත්ම විශ්වාසයක් නැති බවද පෙනෙන්නට තිබේ.

මෙම ප්‍රවණතාව මුස්ලිම් විරෝධීවීමකට සීමා නොවී හරි බුද්ධාගම කුමක්ද, හරි බෞද්ධයන් කවුද යන්න තීරණය කරන්නක් ලෙසද ක්‍රියාකරමින් සිටින්නේය. ඒ මගින් දැනුවත්ව නොදැනුවත්ව වර්ග හා ආගම් අතර පමණක් නොව සිංහල වර්ගයා හා බුද්ධාගම තුළද භේද හා අවුල් ඇති කරන්නක් ලෙස ක්‍රියාකරමින් තිබෙන්නේයැ’යි කිව හැකිය. ලංකාව දැනටත් ඉන්නේ අවුල් ජාලයකය. ජාත්‍යන්තර වශයෙන් පමණක් නොව දේශීය වශයෙන්ද ඉන්නේ මහා අවුලකය. දේශීය ජනවර්ගයක් ‍ලෙස සැලකිය හැකි දෙමළ ජනතාව ඉන්නේ අතෘප්තිමත් තත්ත්වයකය. සිංහලයන් වශයෙන් අප ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණත්වය ඉටුකර නැතැ’යි කියන බලවත් හැඟීමක් අපේ ළඟම අසල්වැසියා වන ඉන්දියාවේ පමණක් නොව ලෝක මට්ටමෙන් ද පවතී. එම තත්ත්වය අප රට විශාල අවුල්සහගත තත්ත්වයකට තල්ලු කිරීමට හේතු වී තිබේ. එසේ තිබියදී මුස්ලිම් විරෝදී කෝලාහලයක් ඇතිවන තත්ත්වයක් ඇතිවුවහොත් ඉන් රටට විය හැකි විනාශය අතිවිශාලය. ප්‍රභාකරන්ගේ වෙනම රාජ්‍යයක් පිළිබඳ ව්‍යාපෘතියට නැගෙනහිර මුස්ලිම් ජනයාගේ සහාය ලබාගැනීමට ප්‍රභාකරන් සමත් වී නම් එය යථාර්ථයක් වන්නට ඉඩ තබුණු බව සිංහලයන් අමතක නොකළ යුතුය. වර්ගවාදී හෝ ආගම්වාදී හැඟීම් ඇවිස්සවීම පහසුය. එහෙත් ඒවා ඇති කරන ප්‍රතිඵල කාගේවත් යහපතට හේතුවන්නේ නැත. මේ රටේ ජීවත් වන සියලු ජනවර්ග විටින් විට ආක්‍රමණිකයන් හා සංක්‍රමණිකයන් වශයෙන් පැමිණි පිටස්තරයන් බව අප අමතක නොකළ යුතුය. වෙනස්කම් තිබිය හැක්කේ එසේ පැමිණි කාලවකවානුවල පමණය. ලංකාව මව්බිම කොටගෙන මෙහි වෙසෙන සියලු ජනවර්ග සමාන අයිතිවාසිකම් ඇතිව එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් හා ගෞරවයෙන් ජීවත්වන තත්ත්වයකට නොගොස් එකිනෙකා කෙරෙහි ක්‍රෝධයෙන් හා වෛරයෙන් යුතුව ජීවත් වන තත්ත්වයකට ගියහොත් මේ රටේ කාලකණ්ණිභාවය දීර්ඝකාලීන දෙයක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම නිසා ඒ මොහොතේ සිංහල ජනයා මහත් අමන්දානන්දයට පත්වන්නට ඇතත් සිංහල තරුණ පරපුර සිංහලට පමණක් සීමාකිරීමෙන් සිදුවූයේ ඔවුන්ගේ ජීවිත කාලකණ්ණි කිරීමයි. එහෙත් සිංහල පමණක් ව්‍යාපාරයට නායකත්වය දුන් කිසිවෙකු ඒ ගැන සිය කනගාටුව පළකර නැත. අප දේවල් කළ යුත්තේ ඒ මොහොතේ ලැබෙන වාසිය සලකා බලා නොව ඒවා අනාගතය කෙරෙහි බලපාන්නේ කවර ආකාරයටද යන්න සලකා බලාය.

මෙම ලිපියේ තෙවන කොටස…

ජාති ආගම් නාමයෙන් කොයිබටද? 3 – මෙය බුද්ධාගමට එකඟද?

 

උපුටා ගැනීම – රාවය 2013 අප්‍රේල් 14 වැනිදා ඉරිදා.

කතෘ – වික්ටර් අයිවන්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp