ජාති ආගම් නාමයෙන් කොයිබටද? 3 – මෙය බුද්ධාගමට එකඟද?

6

(ජාතියේ හා ආගමේ නාමයෙන් රට රැගෙන යන්නේ කොයිබටද?)

මුස්ලිම් විරෝධී ප්‍රවේශය බුද්ධාගමට එකඟද?

හැම ආගමක් තුළම එම ආගමේ ශාස්තෘවරයා, එතුමාගේ ඉගැන්වීම් පිළිබඳව වෙනස් මත තිබීම ඉතාමත් ස්වාභාවිකය. ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව හා එතුමාගේ ඉගැන්වීම් පිළිබඳව ක්‍රිස්තු භක්තිකයන් අතර නිර්වචනයන් වෙනුවට නිර්වචන ගණනාවක් ඇත්තේය. ඒ අනුව බෙදුණු විවිධ නිකායන් හා ශාඛාවන්ද ඇත්තේය. මෙම ධර්මතාව සියලු ආගම්වලට පොදුය. මුස්ලිම් ආගම තුළ පවා ශාස්තෘවරයා හා එතුමාගේ ඉගැන්වීම් පිළිබඳව එක නිර්වචනයන් වෙනුවට නිර්වචන රාශියක් පවතී. මෙම ආගම්වලට පමණක් නොව ඕනෑම මතවාදයකට ආවේණික පොදු ධර්මතාවකි. බුදුන් වහන්සේ ගැන පවා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිර්වචනය, සුචරිත ගම්ලත්ගේ නිර්වචනය හා ගණේගම සරණංකර හිමිගේ නිර්වචන එක සමාන නැත. මෙම ධර්මතාව කාල් මාක්ස්ටද අදාළය. ඔහු පිළිබඳ නිර්වචන එකක් නොව රාශියක් පවතී. මාක්ස්වාදීන් අතර පවා වෙනස් මත පවතී. කිසියම් ආගමක හෝ මතවාදයක ශාස්තෘවරයා හෝ එතුමන්ලාගේ ඉගැන්වීම් නිර්වචනය කිරීමේ බලය තමන් වෙත පවරා ගනිමින් වෙනස් නිර්වචන ඉදිරිපත් කරන්නන් ද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව බාහු බලය යොදාගන්නා ප්‍රතිපත්තියක් යහපත් නොවනවා සේ ම එය නවීන විද්‍යාවට පමණක් නොව බුද්ධාගමටද පටහැනිය. බුදුන්වහන්සේ ඉපදුණේ ඉන්දියාවේ නොව ලංකාවේ වන නිසා ඉන්දියාව කෙරෙහි අප බැඳීමක් ඇති කරගත යුතු නැතැ’යි කියන අදහස එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මේ මෑතකදී පළ කළේය.  එය හාස්‍යයට මිස විශ්වාසයට හේතුවන ප්‍රකාශයක් නොවුවද එසේ කීමේ අයිතිය උන්වහන්සේට තිබිය යුතුය. ඒ මතය ඛණ්ඩනය කිරීමට අවශ්‍ය නම් එය සිදුවිය යුත්තේ බාහු බලයෙන් නොව මතවාදී අරගලයක් මගින් පමණය.

බුදුන් වහන්සේ තරම් සිතීමේ නිදහසට, ප්‍රකාශ කිරීමේ නිදහසට හා සැක කිරීමේ නිදහසට ගරු කළ වෙනත් ආගමික ශාස්තෘවරයකු නැති තරම්ය. උන්වහන්සේ කේසපුත්ත නැමති ගමට වැඩම කළ අවස්ථාවේදී ඒ ගමේ විසූ කාලාමයෝ උන්වහන්සේ වෙත අපූරු ප්‍රශ්නයක් ඉදිරිපත් කළෝය.

ඒ ගමට එන ඇතැම් මහණ බමුණන් තමන්ගේ වාදයන් විස්තර කරන බවත් අනුන්ගේ වාදයන් හෙළා දකින බවත් ඉන්පසු වෙන මහණ බමුණන් පැමිණෙන බවත් ඔවුන්ද තමන්ගේ වාද විස්තර කරන බවත් අනුන්ගේ වාද හෙළා දකින බවත් ඒ පින්වත් මහණ බමුණන්ගෙන් කවරකු ඇත්ත කියන්නේද කවරකු බොරු කියන්නේද යන්න පැහැදිලි නැති බවත් කියා සිටියේය.

එහිදී උන්වහන්සේ කාලාමයන්ට බුද්ධ ධර්මයේ නිදහස් චින්තනයට තිබෙන ඉඩේ තරම පෙන්නුම් කරන අපූරු පිළිතුරක් දුන්නේය. ධර්ම ග්‍රන්ථවල තිබෙන නිසා හෝ සම්ප්‍රදායෙන් එන නිසා හෝ තර්කානුකූල බව පෙනෙන නිසා හෝ යහපත් බව පෙනෙන නිසා හෝ දෘෂ්ටියට ගැළපෙන නිසා හෝ කිසිවක් පිළිනොගතයුතුයැ’යිද ශ්‍රාවකයන් විසින් තථාගතයන් පවා විමසා බැලිය යුතුය’යිද, ශාස්තෘවරයා සම්‍යක්සම්බුද්ධද, නැද්දැ’යි වටහාගතයුත්තේ එසේ කිරීමෙන්යැ’යි ද උන්වහන්සේ වදාළහ.

සහනශීලීභාවය බුද්ධාගමේත්, බෞද්ධ සංස්කෘතියේත් එන වැදගත්ම ලක්ෂණයකි. බුදුන් වහන්සේට තමන්ගේම වන විශේෂ දහමක් තිබියදීත් අන් දහම්වලටද ගරු කළෝය. අන් සියලු දහම් නැති භංග කොට තමන් වහන්සේගේ දහම පමණක් තිබිය යුතුයැ’යි  විශ්වාස නොකළෝය.

නිඝණ්ඨ නාථපුත්තයන් ( ජෛන ආගමේ ශාස්තෘවරයා වූ මහාවීරයන්) විසින් උන්වහන්සේගේ ශ්‍රාවක වූ උපාලි නැමැති ධනවත් ගෘහපතිවරයෙකු නාලන්දාවේදී බුදුන් වහන්සේ හමුවීමට පිටත් කර යවන ලද්දේය. මහාවීරයන් වහන්සේ එසේ කළේ කර්මවාදයන් පිළිබඳව බුද්ධ මතය ස්වකීය මතයට පටහැනි වූ නිසා ඒ ගැන තර්ක කොට බුදුන්වහන්සේ පරාජය කිරීමේ බලාපොරොත්තුවෙනි. එහිදී වූ වාදයෙන් සිදුවූයේ බුදුන්වහන්සේගේ මතය හරි බවත් තම ශාස්තෘවරයාගේ මතය වැරදි බවත් උපාලි ගෘහපතියා පිළිගැනීමය. තමා උපාසකයකු හැටියට පිළිගන්නා ලෙස උපාලි ගෘහපතියා බුදුන්වහන්සේගෙන් ඉල්ලා සිටියේ ය. බුදුන්වහන්සේ මහාවීරයන්ට එරෙහිව උපාලි ගෘහපතියා පාවිච්චි කිරීමට උත්සහ නොකළෝය. ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයකු ඉක්මනින් තීන්දුවක් නොගත යුතු බව ප්‍රකාශ කරමින් ඒ ගැන නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටියෝය. තමාට බුදුසව්වකු වීමට අවශ්‍ය බව උපාලි තෙමේ තරයේ කියා සිටී විට එසේ වුවත් පෙර පරිද්දෙන්ම එම පූර්ව ශාස්තෘවරයාට සත්කාර සම්මාන කළයුතුයැ’යි උන්වහන්සේ ඔහුට අවවාද කළහ.

සහනශීලීත්වය

බුදුන්වහන්සේගේ ඉගැන්වීම්වල එන මෙම සහනශීලීත්වය රාජ්‍ය පාලනයට එකතු කළ රාජ්‍ය පාලකයා ලෙස සැලකිය හැක්කේ ක්‍රි.පූ. තුන්වන ශතවර්ශයේදී ඉන්දියාවේ රජ කළ අශෝක අධිරාජ්‍යයාය. ඔහු සිය සුවිශාල අධිරාජ්‍යයේ පැවති සියලු ආගම්වලට ගෞරව සත්කාර කළේය. එතුමාගේ පර්වත ධර්ම ලිපියක මෙසේ සඳහන් වේ.

“තම ආගමට ගෞරව කරමින් සෙසු ආගම්වලට ගර්හා කළයුතු නොවේ. සෙසු ආගම්වලටද යම් යම් කරුණු නිසා ගෞරව කළ යුතුය. මෙසේ කරනුයේ තම ආගම් දියුණු කරයි. සෙසු ආගම්වලටද උපකාර කරයි. මෙසේ නොකරනුයේ තම ආගමට හානියක් කරයි. සෙසු ආගම්වලටද අපහාස කරයි. තම ආගමට පූජා කරමින් සෙසු ආගම්වලට ගර්හා කරනුයේ “මගේ ආගම දීපනය කරමි” යන අදහසින් එසේ කරයි. එහෙත් තම ආගමට ඔහුත් හානියක් කරයි. එහෙයින් සමගියම යහපත්ය. සියල්ලෝ සෙසු ධර්මවලටද සවන් දෙත්වා”

වල්පොළ රාහුල හිමියන් එම සහනශීලිත්වය විග්‍රහ කොට ඇත්තේ මෙසේය.

“මානසික ආධ්‍යාත්මික කරුණුවලදී පමණක් නොව මනුෂ්‍ය සම්බන්ධතාවලදීද මෙය මෙසේය. උදාහරණයක් නම් කිසියම් මිනිසකු දකින අප ඔහු මිනිසෙකැ’යි නොසලකා සිංහල, දෙමළ,ඉංග්‍රීසි,ප්‍රංශ, ජර්මන්, ඇමෙරිකානු, යුදෙව් ආදී යම්කිසි නමක් ඔහුට ආරූඪ කොට අපේ සිතේ ඒ නම ගැන පවත්නා නොයෙක් හැඟීම් අනුව ඔහු ගැන කල්පනා කිරීමය. ඔහු සතුව ඇතැ’යි මෙහි අප කල්පනා කරන ගතිගුණ එකකුදු ඔහු තුළ නොපවතිනවා විය හැකිය.

මෙවැනි ප්‍රභේදකාරී නම්වලට මිනිසුන් කොතරම් කැමැතිද කිවහොත්, හැමදෙනාටම සාධාරණ මනුෂ්‍ය ගතිගුණවලටද ඔවුහු එබඳු නම් යොදති. නිදසුනක් නම් ඇතැමුන් බෞද්ධ ගුණධර්ම, ක්‍රිස්තියාණි ගුණධර්ම, ආදී වශයෙන් නොයෙක් වර්ගවල ගුණධර්ම ගැන කථාකිරීමයි. ගුණධර්ම කිසියම් පක්ෂයක, සම්ප්‍රදක ඒකාධිකාරයක් විය නොහැකිය. ක්‍රිස්තියාණියැයි, බෞද්ධයැයි හෝ හින්දුයැයි හෝ ඉස්ලාමිකයැ’යි  හෝ විශේෂ ගුණධර්ම ජාතියක් නැත. මවක තම දරුවා කෙරෙහි දක්වන ස්නේහය බෞද්ධ ස්නේහයක් හෝ ක්‍රිස්තියාණි ස්නේහයක් නොවේ. එය මාතෘ ස්නේහයයි. ස්නේහය, ආදරය, පරිත්‍යාගය, කරුණාව, ක්ෂාන්තිය, මිත්‍රත්වය, ආශාව ක්‍රෝධය, වෛරය, අහංකාරය, යනාදී හොඳ නරක මනුෂ්‍ය ගතිගුණවලට විශේෂ පක්ෂයක හෝ සම්ප්‍රදායක නාමයක් වුවමනා නැත. ඒවා කිසියම් විශේෂ ආගමකට අයිතිද නැත.

කිසියම් අදහසක් ලැබුණේ කාගෙන්ද, කොතැනින්ද, යන්න සත්‍ය සොයන්නාට වැඩක් නැත. අදහසක මුල සහ එය වැඩුණු සැටි සෙවීම ශාස්ත්‍රීය පර්යේෂණයකි. සැබවින්ම කිසියම් ඉගැනිවීමක් කිසියම් ධර්මයක් බුදුන්වහන්සේගේද, නැතහොත් වෙන කෙනෙකුගේදැ’යි දැනගැනීම සත්‍යය තේරුම් ගැනීම සඳහා අවශ්‍ය නොවේ. අවශ්‍ය වනුයේ එය දැන තේරුම් ගැනීමය.”

බුදුන්වහන්සේ සිය ධර්මය සලකන ලද්දේ වැඳුම් පිඳුම් කළයුතු දෙයක් නොව ග‍ඟෙන් එතෙරවීම සඳහා යොදාගත යුතු පවුරක් ලෙසය. උන්වහන්සේ මෙසේ වදාළහ.

“ මහණෙනි මවිසින් දෙසන ලද ධර්මය පසුරකට උපමා කළහැකිය. එය එතෙර යෑම සඳහාය. දැඩිකොට ගැනීම සඳහා නොවේ. මහණෙනි, ධර්මය පසුරක් වැනියැ’යි දන්නා ඔබ විසින් (ධම්ම) පවා හළ යුතුය. නරක දේ (අධම්ම) ගැන කියනු කවරේද?”

කිසියම් පුද්ගලයකු පුද්ගල කණ්ඩායමක් හෝ ජන කණ්ඩායමක් කෙරෙහි වෛරසහගත ආකාල්පය ඇති කිරීම බුදුන්වහන්සේගේ ඉගැන්වීම්වලට මුළුමනින් පටහැනිය. ඒ වැරැද්ද අනගාරික ධර්මපාල අතින්ද සිදුවිය. ඔහු දමිළයන්ට හා මුස්ලිම්වරුන්ට එරෙහිව සිංහල බෞද්ධයන් අතර වෛරසහගත හැඟීම් ඇති කළේය. 1915 සිංහල – මුස්ලිම් කෝලාහලයට ඔහු විසින් වපුරන ලද වෛරසහගත හැඟීම් පුපුරන ලද අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. වර්තමානයේ බුද්ධාගමේ නාමයෙන් මුස්ලිම්වරුන්ට එරෙහිව පතුරුවමින් තිබෙන වෛරසහගත හැඟීම්ද බුදුන්වහන්සේගේ ඉගැන්වීම්වලට පටහැනිය. මුස්ලිම්වරුන් අතින් වැරදි සිදුවී නම් කළ යුතුව තිබෙන්නේ ඔවුන් භීතියට පත් කිරීම නොව ඔවුන්ට ඒ වැරදි පෙන්වාදීමය. බුදුන්වහන්සේ වදාළ පරිදි, වෛරයෙන් වෛරය නොසංසි‍‍ඳේ. වෛරය අවෛරයෙන්ම සංසිදේ.

 

උපුටා ගැනීම – රාවය 2013 අප්‍රේල් 14 වැනිදා ඉරිදා.

කතෘ – වික්ටර් අයිවන්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 6 යි.

  1. Dixie H. Nolan 2013-05-07 at 07:50

    පොලිය ගැනීම, පොලියට දීම, ඒ සඳහා ඇපකරුවෙක් හැටියට පෙනීසිටීම, පොලිය ගණන් බැලීම, ඊට උපකාර කිරීම යන සියල්ලම ඉස්ලාමයේ තරයේ තහනම් කර ඇත. රත්රන්, රිදී, සහ ඒවායේ නිමි භාණ්ඩ වෙළඳාම අත්පිට මුදලට පමණක් කලයුතුය. එසේ නොකලොත් එයත් පොලී ගණයට අයත් වේ. රන් හෝ රිදී නොවන භාණ්ඩයක් මුදල් පසුව ගෙවීමේ කොන්දේසියට යටත් කර විකුණු අවස්ථාවකදී නියම කල දිනයේදී ගැනුම්කරුට එම මුදල ගෙවාගැනීමට නොහැකි වූයේ නම් එම දිනය දීර්ඝ කිරීම පුන්‍යකර්මයකි. එහෙත් එම දිර්ඝ කිරීමත් සමග විකුණන ලද භාණ්ඩයේ මිල සංශෝදනය කලේ නම් එයද පොලිය ගැනීමට සමානය.

  2. rizwan 2013-04-14 at 10:24

    හැබයි මෙහෙම ලිපි දාන ඔබ, මම දැක්කා පාන්දරට අපි අදාන් කියන් එක ගැන කෙනෙක් අහපු ප්‍රශ්නෙට උත්තර දීලා තිබ්බ විදිය. මට නම් පේන්නේ ඔක්කොම කපටි. තමන්ගේ ආගම පතුරවා ගන්න අනෙකාට වලක් කපනවා. ඒක බෞද්ධ අයත්, මුස්ලිම්වරු වන අපත් එකසේ කරනවා. අපිට එයිරීවිදියට හසිරෙන එක ආගමින් තහනම් මිසා සහ අපේ ප්‍රමානය අඩු නිසා මෙහෙම ඉවසනව මිසක් නත්තන් මේ වෙනකොටත් පන්සල් ගිනි තියල. පල්ලීවල ඒවගේ දෙවලුත් නොකියා කියනව. සිකුරාදට වැඩිපුරම කියන්නේ ව්‍යාපාර ගැන. ආගමික යටත් බවට වඩා. මට නම් අපී ආගමික නායකයො ගැනත් දැන් කලකිරීම තියෙන්නේ.

    • අබූ අර්ශද් 2013-04-14 at 15:22

      ප්‍රථමයෙන් කිවයුතුව ඇත්තේ ඔබ ‘යහමඟ’ මෙහෙවර වැරදි ආකාරයට අවබෝධ කරගෙන ඇති බවයි. ඉහත ලිපිය සමස්ථ ජාතියේ විශේෂ අවදානයට යොමු වියයුතු යයි මා සිතූනිසා මෙම අඩවිය තුල එම පුවත්පත් ලිපිය උපුටා පල කල නමුත් ඒ තුලින් තවත් ජාතියකට අපහසුතාවයක් හෝ ඉස්ලාම් දහමට මහිමයක් එක්කරගැනිමට අපේක්ෂා කලේ නැත. අනික ඔබ පවසන පෙර අදහස් දැක්වීම මෙහි තවත් ප්‍රතිචාරයක් ලෙස පහතින් උපුටා දක්වමි නැවතත් බුද්ධිමත්ව එය විමසා බලන්න
      දෙවනුව ඔබ පවසන කාරණය අපි බහුතරය වුවානම් පන්සල් ගිනිතියාවි යන්න සම්පූර්ණයෙන් වැරදි අවබෝධයක් ඔබ මුස්ලීම්වරයෙක් නම් ඉස්ලාම් දහම තුල එවැනි වැරදි ආදර්ශයක් පෙන්වන්න. අද ලෝකය පුරා අවිහිංසාවාදය ගැන කථා කරන පිරිස් තරම් විනාශයක් මුස්ලීම්වරුන් කර නැහැ. ලෝක ඉතිහාසය මොහොතක් හොදින් විමසා බලන්න. විශේෂයෙන් ඉන්දියාවේ බබර් මස්ජිදය මූලික කරගෙන කරන ලද විනාශය දැන් මියන්මාරය තුල සිදුවන විනාශය මොහොතක් විමසා බලන්න
      තෙවන කාරණය සිකුරාදා පල්ලිවල පවසන දේශන පිලිබදව ඔබ කරුණු දක්වල තිබුනා ඒ පිලිබදව මට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා මුල්ම කාරණය මොන පල්ලියේද තවත් ආගමක් ආගමික ස්ථානයක් අපහස කරණ ආකාරයට හෝ විනාශ කරන්නට කථා කරන්නේ මෙවැනි කරුණු ඔබ කුමන පදනමින් ඉදිරිපත් කරනවාද? යන්න මට නොතේරේ ඔබ නම්ගම් ඇතුව එවැනි තැන් පවසදනවා නම් ඒ පිලිබදව වමිසා බැලිය හැක.
      අනික් කාරණය මේ දිනවල ව්‍යාපාර පිලිබදව සිකුරාදා දේශනවල වැඩියෙන් කථා කරනවා යන්න. මෙහි වරදක් මා දකින්නේ නැහැ. මොකද සිදුරාදා දේශනය යනු කාලීන වැදගත් මාතෘකාවන් කථා කරන වේදිකාවක්. අද ශ්‍රි ලංකාව තුල මුස්ලීම්වරුන්ගේ ව්‍යාපාර පිලිබදව ප්‍රබල ගැටළුවක් ඇත. ඉතින් මේ පිලිබදව වැඩි වශයෙන් කථා කලයුතුයි. එය කාලීන අවශ්‍යතාවයක්.
      අවසාන වශයෙන් කියන්නට ඇත්තේ ජාතීන් අතර, ආගම් අතර සහජීවනය යන්න අපේ සියළු අයිතීන් අහිමි කරගෙන ගොඩනඟන සහජීවනය නොව එකිනෙකා අතර ජාති ආගම් වශයෙන් අවබෝධයෙන් හා ගෞරව කිරීම තුලින් ගොඩනැ‍‍ෙඟෙන සහජීවනයයි. එතැනටයි සමාජය මෙහෙයවිය යුත්තේ.

      • අබූ අර්ශද් 2013-04-14 at 15:39

        අසාන් සම්බන්ධ ප්‍රහ්නයට මාගේ පිලිතුර…

        මෙහිදී මූලික වශයෙන් කාරණ කිහිපයක් අවබෝධ කරගත යුතුයි. පලමුව, ශ්‍රි ලංකාව තුල ශබ්ද විකාශන යන්ත්රත උපයෝගි කරගෙන ආගමික කටයුතු සිදුකරන එක දහම ඉස්ලාම් දහම පමණක් නොවේ. එපමණක් නොවේ අනිකුත් ආගමික කටයුතුවලට සාපේක්ෂව ශබ්ද විකාශන යන්ත්ර උපයෝගි කරගෙන ඉස්ලාමීය ආගමික කටයුතු (අසාන් පැවසීම හා සිකුරාදා දේශනය) අඩුවෙන්ම සිදුකරන්නේ මුස්ලීම්වරුන්. දෙවැන්න මේ රටේ දශක ගණනාවක් මුළුල්ලේ ක්රිායාත්මකව පවතින මේ ආගමික නිදහස රටේ නීතිය තුලින් ද ආරක්ෂා කර දී ඇති නිදහසකි. එම නිසා අද මෙය අළුත් අර්බුදයක් හෝ ගැටළුකාරී තත්වයක් විය නොහැක. අනික් කාරණය මේ රටපුරා බොහෝ ප්රුදේශවල මෙම අසාන් පැවසීම මේ ආකාරයට ම සිදුකලත් ඒ සියළු තැන්වල ඔබ පවසන ආකාරයේ මෙවැනි තත්වයන් නිර්මාණය නොවීම තුල පැහැදිලි වන්නේ ඔබ පවසන එම ප්රුදේශයේ ජාතීන් අතර තිබෙන ආගමික අනවබෝධය හා අසමඟිය යන්න මාගේ සැකයයි. මේ සියල්ලට වඩා ඉස්ලාම් මේ අසාන් ආදර්ශය හදුන්වාදීමේ අරමුණ හොදින් අවබෝධ කරගතයුතුය. සලාතය සදහා කැදවීමක් කරන මෙම අසානය ශබ්ද විකාශන යන්ත්රව උපයෝගි කරගෙන සිදුකිරීම ඉස්ලාමීය දෘෂ්ඨීකෝණයෙන් වරදක් නොවේ.
        ඉස්ලාම් මේ සදහා අවසර ලබා දී ඇති නිසා පොදු ජනතාවට හිරිහැරයක් වන ආකාරයට වුවත් මෙවැනි දෑ සිදුකල හැකිද? යන්න කිසිවකු සිතන්නේ නම් ඒ සදහා ඉස්ලාම් දහම තුල අවසර නැත. නමුත් එයින් මෙම ක්රියාවලිය සම්පූර්ණයෙන් නතර කලයුතු යන්න අදහස් නොකෙරේ. මෙහිදී හැකිතාක් දුරකට පොදු ජනයාට සිදුවන හිරිහැරය අවම කරගතයුතුය. ඒ ගල්මුල් ප්රොහාරවලට බයේ හෝ වෙනත් බලපෑමක් නිසා නොවේ එය ඉස්ලාම් අවදාරණය කරන නිසාය. එසේ නොමැතිව වර්ථමාන ජාතිවාදී ව්යාලපාර පලිහක් කරගෙන ක්රිතයාත්මක අන්තවාදී පිරිසගේ බලපෑමට අද අසානය නැවැත් වුවා කියා ඔවුන්ගේ ව්යාාපාර නතර වන්නේ නැහැ. එය රටටම වැරදි පූර්වාදර්ශයක් වනු ඇත. මෙම තත්වය අපි හලල් විරෝධි ව්යාාපාරය තුල දැක්කනේ, හලාල්වලින් පටන්ගත් ව්යාශපාර අද කොයිබටද යොමුවෙලා තිබෙන්නේ කියා. එම නිසා මුස්ලීම්වරුන් වන අප මේ ප්රිශ්නය දිහා බැලිය යුත්තේ මෙයට විරුද්ධව ක්රිකයා කරන පිරිසගේ දෘෂ්ඨයෙන් නොව යථාර්තවාදී දෘෂ්ඨියෙන් පමණි.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *