“ජිහාද්” නමින් ත්‍රස්ථවාදය හා ඉස්ලාමීය ඉගැන්වීම

0

ජිහාද් හෝ වෙනයම් යුධමය ක්‍රියාදාමයන් සඳහා ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට උනන්දු කරනවා ද?

මෙම විෂය මීට පෙර ඉදිරිපත් කළ ලිපි තුලද දීර්ඝ ලෙස කථා කළ මාතෘකාවකි. නැවතත් එම කාරණය වෙත වෙනත් කෝණයකින් අවධානය යොමු කලේ නම්, “ජිහාද්” යන වචනය ඇසූ විගස මුස්ලීම් සමාජයේ සමහරක් පිරිසට විශේෂයෙන් තරුණ පිරිසට ඇති වන්නේ නව ජවයකි. මුස්ලීම් නොවන සමාජයට ඇති වන්නේ අමිහිරි සිතුවිලි රාශියකි. ඒ අද සමාජය එයට ලබා දී ඇති ප්‍රතිරූපය හා එය මිනිස් සමාජයට සිදු කොට ඇති බලපෑම හේතුවෙනි. මෙවන් මොහොතක මෙවැනි යුධමය ක්‍රියාදාමයන් පිළිබඳව ඉස්ලාම් කුමක් පවසනවා ද? යන්න විමසා බැලීම කාලීන මෙන්ම මුඛ්‍ය වගකීමකි.

ඉස්ලාම් ආගමික මූලාශ්‍ර පදනම් කරගෙන මෙම කාරණය විමසා බැලුවේ නම්, එලෙස යුධමය ක්‍රියා මාර්ගයන් අවධාරණය කරන ශූද්ධ වූ කුර්ආන් වාක්‍යයන් කිහිපයක් අපට දක්නට ලැබේ. (එම වාක්‍යයන් එකින් එක ඉදිරියේ දී මෙම අඩවිය තුල සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමි) එවන් එක් වාක්‍යයක් වන්නේ ශුද්ධ වූ කුර්ආනයේ 9-5 හි සඳහන් පහත වාක්‍යයයි. එනම්,

“ශුද්ධ වූ මාසය ගෙවී ගියේ නම් සමානයන් තබා අදහනවුන් දුටු තැන කපා දමනු. ඔවුන්ව සිරගත කරනු…”

ඉහත වාක්‍යය දෙස බැලූ විට එහි මුස්ලීම් නොවන (අල්ලහ්) දෙවියන්ට වෙන කිසිවක් සමාන කරන පිරිස් “දුටු තැන කපන්න” යනුවෙන් පැවසෙන බව සැබෑවකි. එමෙන්ම මෙම වාක්‍යය ශුද්ධ වූ කුර්ආනයේ සඳහන් ව පැවතීමත් සැබෑවකි. මෙම වාක්‍ය ඛණ්ඩය එක්තරා සිංහල භාෂාමය බ්ලොගයක (blog) උපුටා දක්වමින් ශ්‍රී ලාංකීය සමාජය නොමඟ යැවීමට උත්සාහ කරන  ලද දිර්ඝ ලිපියක් ද මාගේ නෙත ගැටුණි. එම කාරණය මෙම ලිපියට අදාළව පවතින නිසා ඒ පිළිබඳව ද කෙටි අවධානයක් යොමු කිරීම කාලීන යයි සිතමි. එම විග්‍රහය පහත ආකාරයට වේ. එනම්,

“සෑම මුස්ලීම් වරයෙක්ම කුරාණය අකුරටම පිළිපදියි. නමුත් කුරානය 9:5 වර්ස් එකේ දැක්වෙන පරිදි නොම්බි වලට පසුව ඔවුන් අන්‍යාගමිකයින් වන බෞද්ධයින්ව සහ හින්දුන්ව නොමරන්නේ තවමත් ලංකාවේ බෞද්ධයින් බහුතරය බැවින් එසේ කළහොත් වැඩ වරදින බැවිනි…”

ඉහත 9-5 වාක්‍යය වෙත අවධානය යොමු කිරීමට මත්තෙන් ඉහත බ්ලොග්කරුට කෙටි පිලිතුරක් ලබා දෙන්නේ නම්, එම බ්ලොග්කරු සූක්ෂම ලෙස මෙම උපවාස සමයේ ශ්‍රී ලාංකීය සමාජය නොමඟ යැවීමට “නොම්බිවලට පසුව” යන වචනය යොදා ඇත්තේ තම සැඟවුණු න්‍යාය පත්‍රය මනාව පිළිඹිබු කරමිනි. තවදුරටත් ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව තුල මුස්ලීම්වරුන් නැඟී නොසිටින්නේ  “…තවමත් ලංකාවේ බෞද්ධයින් බහුතරය බැවින් එසේ කළහොත් වැඩ වරදින බැවිනි…” යනුවෙන් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කරයි. ඔහුගේ එම ප්‍රකාශය තුල බෞද්ධයන් වන අප  “මුස්ලීම්වරුන් දුටු තැන කපන්න” සූදානම් යන පණිවුඩය නොකියා පවසයි. ඔහුගේ මෙම විකෘති මානසිකත්වය වඩාත් හොදින් පිළිඹිබු කරන විග්‍රහය නම් “නොම්බි වලට පසුව ඔවුන් අන්‍යාගමිකයින් වන බෞද්ධයින්ව සහ හින්දුන්ව නොමරන්නේ තවමත් ලංකාවේ බෞද්ධයින් බහුතරය බැවින්” යන්න පැවසීමයි. ඒ තුල උපවාස සමය අවසන් වූ විගස ලොවපුරා ජීවත්වන සුළුතර අන්‍ය ආගමිකයන් මුස්ලීම්වරුන් අතින් ඝාතනය වන බව සූක්ෂම ආකාරයට පවසයි. මෙහිදී ඔහුගෙන් විමසන්නට ඇත්තේ සරල ප්‍රශ්නයකි. එනම් වසරක් පාසා උදාවන මේ උපවාස සමය (මාසය) අවසන් වීමෙන් අනතුරුව සිදු කරන ලද එවන් ඝාතන පසුගිය වසර කිහිපයක සංඛ්‍යා ලේඛන හැකිනම් සාක්ෂි ඇතුව ඉදිරිපත් කරන්න. මෙවැනි මුසාව මූලික කරගත් මඩ ව්‍යාපාරයන් තුලින් තම දහමට කිසියම් මහිමයක් ගොඩනඟන්න උත්සාහ කරන පිරිස් පසුගිය කාලය පුරාවට යහමඟ අඩුවකින් තොරව ශ්‍රී ලාංකීය සමාජය තුල දුටුවෙමි. මොහුද එවන් තවත් එක් පුද්ගලයෙකු පමණි. ඔහුටත් සුපුරුදු පරිඳි පවසන්නට ඇත්තේ “බුදුදහම වෙනුවෙන් මුසාවන් ගොතමින් දහම් ප්‍රචාරයේ යෙදෙනවාට පන්සිල් පදය තුලින් ඔබේ ජීවිතයට ළඟා කරගත යුතු බොහෝ දෑ තවම ඉතිරිව ඇති බවයි.”  (ඔහුගේ සම්පූර්ණ ලිපියට ඉතා ඉක්මණින් මෙම අඩවිය තුල පිළිතුරු ලිපියක් ඉදිරිපත් කරමි.) දැන් ඉහත 9-5 වාක්‍යයේ විග්‍රහය වෙත අවධානය යොමු කරමු.

මෙම විෂය පිළිබඳව කථා කිරීමේදී ශ්‍රී ලාංකිකයන් ලෙස කිසියම් පැහැදිලි කිරීමක් ප්‍රථමයෙන් සිදුකර ගැනීමට අවශ්‍යය. එනම්, ශ්‍රී ලංකාව බෞද්ධ දර්ශනය පිලිපදින බහුතරයක් ජීවත් වන රටකි. එම නිසා ඉස්ලාම් දහම දෙස ද එම පිරිස් බොහෝ විට බලන්නේ බෞද්ධ දර්ශනයට සාපේක්ෂවමය. මෙය සම්පූර්ණයෙන් වැරදි දෘෂ්ඨි කෝණයකි. අද බෞද්ධ දර්ශනය මෙන්ම තවත් බොහෝමයක් දර්ශනයන් ලොව තුල ප්‍රකාශ වී ඇති බව සාමාන්‍යයෙන් ඔබ දන්නා කාරණයකි. එම දර්ශනයන් මිනිස් දිවියේ කිසියම් ක්ෂේත්‍රයක් හෝ ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය කරන නමුත් ප්‍රායෝගික දිවියට අවශ්‍ය පරිපූර්ණ ජීවන සැලැස්මක් එම දර්ශනයන් තුල දක්නට නොවන බව තිත්ත වූ සත්‍යයකි. එක් දර්ශනයක් වතාවත් හා ඇදහිලි දේශනා කරයි, තවත් දර්ශනයක් ලෞකික දිවිය නොසලකා ලෝකොත්තර විමුක්තිය දේශනා කරයි, තවත් දර්ශනයක් භෞතික වාදය දේශනා කරයි, තවත් දර්ශනයක් දේශපාලන න්‍යායයන් දේශනා කරයි… මේ ආකාරයට විවිධ දර්ශනයන් ඒ ඒ ක්ෂේත්‍ර තුලින් විවිධ මඟපෙන්වීම් ඉදිරිපත් කරයි. මේ අනුව මෙතෙක් ලොව ප්‍රකාශ වූ කිසිදු දර්ශනයකට “මෙය මිනිස් දිවියට ප්‍රායෝගික වූ පරිපූර්ණ වූ දර්ශනයක්” යයි කිසිදු දර්ශනයට වාද කළ නොහැක. මෙම තත්වය වඩාත් හොදින් අවබෝධ කර ගැනීම පිණිස පහත අවස්ථාවන් සදහා එම දර්ශනයන් තුල විසදුම් සොයන්න. එවිට එය අවබෝධ කරගත හැකිවනු ඇත. එනම්,

  • රටක රාජ්‍යයක පරිපාලන නීති, (රටක් පාලනයට අවශ්‍ය ව්‍යවස්ථාව, පාලකයෙකු පත් කිරීම, පාලකයන් සතු ගුණාංග, ආක්‍රමණිකයන් හට ප්‍රතිචාර දැක්වීම, බහු ජාතීන් ජීවත් වන රටක් නම් එහි ක්‍රියාත්මක විය යුතු නීති…. යනාදී)
  • සිවිල් නීති (ආරවුල්, ගැටුම්, දේපල බෙදීම, ඒ සඳහා දඩුවම් කිරීම, වන්දි තීන්දු කිරීම…. යනාදි)
  • රටේ සහා සමාජ යහපත උදෙසා එහි පුරවැසියන් ක්‍රියා කළ යුතු ආකාරයන්
  • අන්‍ය ආගමික පිරිස් හට දක්වන ප්‍රතිචාරය හා ආගමික නිදහස
  • පුද්ගල අයිතීන් කොතරම් ආරක්ෂා කරනවා ද? යන්න
  • පුද්ගල මූලික අවශ්‍යතාවයන් පිළිබඳව කොතරම් සැලකිලීමත් වනවා ද? යන්න
  • එහි ප්‍රකාශිත සියල්ල සර්ව කාලීන හා ප්‍රායෝගික ද යන්න

මේ ආකාරයට දීර්ඝ ලෙස පෙලගැසීමට පුළුවන. ඉහත කරුණු අතුරින් එකක් හෝ කිහිපයක් කිසියම් දර්ශනයක් තුල පැවතීමට පුළුවන. නමුත් මෙහි සඳහන් හා සඳහන් නොවූ සියලු අවශ්‍යතාවයන් නිසි ආකාරයට සම්පාදනය කරන දර්ශනය තමා සැබෑ ප්‍රායෝගික දර්ශනය වන්නේ, එවන් දර්ශන තමා පරිපූර්ණ ජීවන සැලැස්මක් වන්නේ, ඒ අනුව “ඉස්ලාම්” දහම මෙම සියලු අවශ්‍යතාවයන් සපුරා ඇත. ඒ අනුව ඉස්ලාම් සම්මත දර්ශනයන්ගෙන් ඔබ්බට ගිය දිව්‍යමය මඟපෙන්වීමක් පදනම් කරගත් ජීවන සැලැස්මක් යන්න ප්‍රථමයෙන් අවබෝධ කර ගත යුතු වේ.

ඉහත කාරණය හොඳින් මතකයේ රදවාගෙන නැවතත් මාතෘකාවට යොමු වුනේ නම්, ඉහත 9-5 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුලින් “දුටුතැන කපන්න” යනුවෙන් පැවසෙන බවත්, එම වාක්‍යයට එක්තරා බ්ලොගයක ලබා දී තිබූ විග්‍රහයත් අපි විමසා බැලුවෙමු. ඉහත 9-5 වාක්‍යය හා එයට ලබාදී ඇති එම බ්ලොග් විග්‍රහය දකින ඉස්ලාමීය ඉගෙන්වීමන් පිළිබඳව නිසි අවබෝධයක් නොමැති ඕනෑම කෙනෙකු හට ඉස්ලාම් දහම පිළිබඳව ඇති වන්නේ මා පෙර සඳහන් කළා සේ අමිහිරි හා පිලිකුල් සහගත සිතුවිල්ලකි. නමුත් සැබැවින්ම මෙම 9-5 වාක්‍යයෙන් පවසන්නේ කුමක්ද? යන්න නිසි ආකාරව අවබෝධ කරගත්තේ නම් එවන් වැරදි සහගත සිතුවිලි ඇති නොවනු ඇත. ඒ සඳහා ගැඹුරු අධ්‍යනයන්හි නිරතවීමට අවශ්‍ය නොවේ. කළ යුතු ඇත්තේ ශුද්ධ වූ කුර්ආනයේ සඳහන් ඉහත 9-5 වාක්‍යය සම්පූර්ණයෙන් කියවීම පමණි. මෙහිදී සඳහන් කළ යුතු තවත් විශේෂ කාරණයක් ඇත. එනම් කිසියම් විෂයක් පිළිබඳව ශුද්ධ වූ කුර්ආනය තුල අධ්‍යනය කරන විට එක් වාක්‍යයක් පදනම් කරගෙන තීන්දු තීරණ ගැනීම නිවරුදි ක්‍රමවේදය නොවේ. කිසියම් විෂයක් පිළිබඳව අධ්‍යනය කරන විට එම විෂයට අදාළ සියලු වාක්‍යයන් අධ්‍යනය කිරීම අත්‍යාවශ්‍යය. අඩුම තරමින් එකම විෂය පිළිබඳව කථා කරන ආසන්න වාක්‍යයන් පිළිබඳව හෝ සැලකිලීමත් විය යුතු ය. මෙම කාරණය පිළිබඳව මෙපමණ දුරකට මා පවසන්නේ අද බොහෝ පිරිස් ශුද්ධ වූ කුර්ආනයේ සඳහන් පාඨයන් උපුටා දක්වමින් එයට එරෙහිව විවිධ වාදයන් ගොඩනඟන්නේ ඉහත ආකාරයට වන බැවිණි. එවන් ක්‍රියාවකට ඉහත 9-5 වාක්‍යය ද එක් නිදසුනකි. එය වඩාත් හොඳින් අවබෝධ කරගැනීම පිණිස එම වාක්‍යය සම්පූර්ණයෙන් පහතින් ඉදිරිපත් කරමි. එම වාක්‍යයන් මෙසේ ය.

“ඔබ ගිවිසුම් ඇති කර ගත් මෙම සමානයන් තබා අදහන්නන්ගෙන් කවුරුන් (තම ගිවිසුමෙන්) කිසිවක් අඩුවක් නොකර ද ඔබට විරුද්ධව කිසිවකුටත් උදව් නොකර සිටියෝ ද ඔවුනට ඔවුනගේ ගිවිසුම එහි නියමිත කාලය අවසන් වනතුරු (කිසිම අඩුවක් නොකර) පූර්ණ කරනු. ඇත්තෙන්ම අල්ලාහ් (දෙවියන්) බියබැතියන් ප්‍රිය කරන්නේ ය. (4) ශුද්ධ වූ මාසය ගෙවී ගියේ නම් සමානයන් තබා අදහනවුන් දුටු තැන කපා දමනු. ඔවුන්ව සිරගත කරනු. ඔවුන් සැඟවෙන සැම තැනම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිනු. ඔවුන් ඔවුන්ගේ අපරාධයෙන් පසුතැවිලි වී වැළකී, (ඉස්ලාමය පිලිගෙන) සලාතය (පස්වේල වන්දනය) ද සකාතය (දුළිදු ජනයා සදහා ගෙවිය යුතු අනිවාර්‍ය බද්ධ) ද ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි  අත් හරිනු. ඇත්තෙන්ම අල්ලාහ් (දෙවියන්) සමාව දෙන අතර ඉතා කරුණාවන්ත ය.(5) සමානයන් තබා අදහනවුන්ගෙන් කවුරුන් හෝ (නබිතුමණි) ඔබගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ ආයාවන් (වාක්‍යයන්) ඔහු සවන් දෙනතුරු ඔහුට ආරක්ෂාව දෙනු. (ඔවුන් සවන් දී එය විශ්වාස නොකළහොත්) ඔහුව ඔහුට ආරක්ෂාව දෙන ස්ථානයකට යවනු මැනව!, මන්දයත් ඇත්තෙන්ම ඔවුන් නුවණ නැති ජනතාවක් වශයෙන් සිටින්නෝ ය.” (6)

ශුද්ධ වූ කුර්ආනය 9- 4, 5 හා 6

(මෙම වාක්‍යය පිළිබඳව පැහැදිලි කිරීමක් මීට ඉහත මෙම අඩවිය තුල සිදුකොට ඇත.)

ඉහත 9-5 වාක්‍යයට අමතරව ශුද්ධ වූ කුර්ආනයේ මෙවැනි දඬුවම් පිළිබඳව පැවසෙන වාක්‍යයන් ඇති බව මා ඉහතින් ද සඳහන් කළෙමි. (එවන් වාක්‍යයන් කුමක්ද? යන්නත් ඒ වාක්‍යයන් තුලින් අවධාරණය කරන කාරණය කුමක්ද? යන්නත් ඉදිරියේ දී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමි. අද මෙහි දී සිදුකරන්නේ එවන් වාක්‍යයන් පිළිබඳව පොදු වූ විමසුමකි.) එම වාක්‍යයන් දෙස බලන විට එනම්, මුස්ලීම් නොවන පිරිස් කපන්න, මරන්න, සිරගත කරන්න, දඬුවම් කරන්න… යනාදී පැවසීම තුලින් මුස්ලිම් සමාජයට ඉස්ලාම් දහම කෘරත්වයක් අණ කරන බව ඔබට පෙනී යනු ඇත. මෙම වාක්‍යයන් තුලින් ඉස්ලාම් පවසන කාරණය නිසි අයුරින් අවබෝධ කර නොගැනීම තුල ප්‍රධාන ගැටළු දෙකක් ඇති වේ. එනම්,

  • ආගමික ඉගැන්වීමන් පිළිබඳව නිසි අවබෝධයක් නොමැති මුස්ලීම් නොවන ප්‍රජාව “ඉස්ලාම් කෘරරත්වයක් මුස්ලිම් සමාජයට අවධාරණය කරයි” යනුවෙන් අවබෝධ කරගෙන ඉස්ලාම් දහම පිලිකුල් සහගත ලෙස බැලීමක් සිදු වේ.
  • ආගමික ඉගැන්වීමන් පිළිබඳව නිසි අවබෝධයක් නොමැති සමහරක් මුස්ලීම්වරුන්ට (විශේෂයෙන් තරුණ පිරිසට) ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් හි සඳහන් කරුණු විකෘති කොට පවසමින් වැරදි මඟපෙන්වීමක් සිදු කරමින් “ජිහාද්” නමින් ත්‍රස්ථ ක්‍රියාවන්ට මුස්ලීම් සමාජය මෙහෙයවීම ද සිදු වේ.

මේ දෙපාර්ශවයේම අනවබෝධ ඉලක්ක කරගෙන කරුණු දැක්වීම් සිදු කිරීම කාලීන අවශ්‍යතාවයකි. ඒ අනුව මෙතැන් සිට කරුණු දැක්වීම් සිදු කිරීමට අදහස් කරන්නේ ඉහත දෙපාර්ශවයම ඉලක්ක කරගෙනය. මා ඉහතින් සඳහන් කළ කාරණය නැවතත් පවසනවා නම් ඉහත 9-5 ශුද්ධ වූ වාක්‍යය මෙන්ම එවැනි තවත් වාක්‍යයන් ශුද්ධ වූ කුර්ආනයේ අන්තර්ගත යන්නත්, එය දිව්‍යමය වදන් යන්නෙහිත් කිසිදු මුස්ලීම්වරයෙකු හට විරුද්ධ මතයක් නැත. නමුත් මෙම වාක්‍යයන් හි වාක්‍ය ඛණ්ඩ උපුටාගෙන එයට එරෙහිව වාදයන් හා විවේචනයන් උනන්දුවෙන් ඉදිරිපත් කළ සමාජයට එම ශුද්ධ වූ කුර්ආනයේ ම සඳහන් මෙම විෂයට බද්ධ තවත් ක්ෂේත්‍ර දෙකක් නෙත නොගැටුණේ මන්ද? යන ගැටළුව මෙහිදී පැන නැඟේ. එය සැබැවින්ම අතපසු වූවා ද? නොඑසේ නම් හිතා මතා අතපසු කළා ද? යන්න තීරණය කිරීම ඔබට භාරය. ඒ අතපසු වූ විෂයන් දෙක වෙත දැන් අවධානයක් යොමු කලේ නම්,

  1. ඉවසීම
  2. හිජ්රත්

ඉහත විෂයන් දෙක නොසලකා කිසිවකු “ජිහාද්” යන විෂය කථා කරන්නේ නම්, එය පැහැදිලිවම ඉස්ලාම් දහමේ කොටසක් පිලිගෙන තවත් කොටසත් ප්‍රතික්ෂේප කිරීම බදුය. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 4-150 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවියන්) පවසන ආකාරයට ශුද්ධ වූ දහමේ කොටසක් පිලිගෙන කොටසක් ප්‍රතික්ෂේප කිරීමේ දහම ප්‍රතික්ෂේප කිරීම බදු වේ. ඒ අනුව ඉහත විෂයන් තුනම පිලිගැනීම අත්‍යාවශ්‍ය වන අතර එය අවබෝධ කරගත යුත්තේ තමන්ට අවශ්‍ය ආකාරයට හෝ තම බුද්ධියට හැඟෙන ආකාරයට නොව ඒ  ඒ අවස්ථාවන්ට අනුකූලව ඉස්ලාම් එය යෝජනා කරන ආකාරයටය. එසේ නම් එය ක්‍රියාවට නංවන්නේ කෙසේ ද? යන්න දැන් විමසා බලමු.

ඉවසීම

මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළා සේ 9-5 වැනි වාක්‍යයන් තුලින් මරන්න, කපන්න, දඩුවම් කරන්න… යනාදී වශයෙන් නියෝග කරන ශුද්ධ වූ කුර්ආනය තමා ඉස්ලාම් විරෝධීන්ගේ හිංසන, හිරිහැර, බාධක… යනාදිය  මධ්‍යයේ ඉවසීමෙන් ක්‍රියා කරන ලෙස අණ කරන්නේ. ඒ පිළිබඳව සඳහන් ආගමික ඉගෙන්වීමන් කිහිපයක් මූලාශ්‍රයන් පදනම් කරගෙන විමසා බැලුවේ නම්,

ශුද්ධ වූ කුර්ආනය තුල,

2-249, 8-46, 20-130, 22-35… යනාදී වාක්‍යයන් සඳහන් කළ හැක. මීට අමතරව,
නබිතුමාණන්ගේ ආදර්ශය හෙවත් “හදිසය”න් තුල,

  • (ඉස්ලාම් විරෝධීන්ගේ හිංසනය හමුවේ ඔවුනට එරෙහිව සටන් කිරීමට අවසර පතා නබිතුමාණන්ගෙන් විමසූ විට) “නුඹලාට පෙර විසූ නබිවරුන් ඝාතනයට ලක් වුණා. ඔබලා ඉවසන්න” යනුවෙන් පැවසූ හදීසය බුහාරී ග්‍රන්ථයේ සඳහන් වේ.
  • (ඉස්ලාම් විරෝධීන්ගේ හිංසනය හමුවේ ඔවුනට එරෙහිව සටන් කිරීමට අවසර පතා නබිතුමාණන්ගෙන් විමසූ විට) “නුඹලාට පෙර ජනයා ඉස්ලාම් දහම වැලඳ ගැනීම හේතුවෙන් දෙකඩ කොට මරා දැමුවා. ඔබලා ඉවසන්න”යනුවෙන් පැවසූ හදීසය බුහාරී ග්‍රන්ථයේ සදහන් වේ.
  • ආගමික වතාවත් හි නිරත වන විට නබිතුමාණන්ගේ බෙල්ල රෙදි කඩකින් ඉස්ලාම් විරෝධියකු තද කළ අවස්ථාවේදී අබුබක්කර් (රලි) එතුමා එතුමාව බේරා ගත් විට එතුමාණන් ඉවසීමෙන් ක්‍රියා කළා මිස ඔවුනට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලේ නැති බව බුහාරී ග්‍රන්ථයේ සදහන් තවත් හදීසයක් අනාවරණය කරයි.
  • අබුදුර්රහ්මාන් ඉබුනු අවුෆ් (රලි) තුමා වරක් මෙසේ පවසන ලදී “නබිතුමණි, මේ ඉස්ලාම් දහම වැලඳ ගැනීමට පෙර මේ මක්කාව තුල ඉතා ගාම්භීර ලෙස හා විරත්වයෙන් මා ජීවත් වුණෙමි. නමුත් මේ ඉස්ලාම් දහම වැලඳ ගැනීමත් සමඟ සියලු දෙනාගේ හිංසනයට ලක්වන දුර්වලයෙකු තත්වයට පත් වී ඇත්තෙමි” යනුවෙන් පැවසූ හදීසය අහමද් නම් හදිස් ග්‍රන්ථයේ සඳහන් වේ.
  • නබිතුමාණන් වන්දනයෙහි නිරතව සිටිය දී ඔටුවකුගේ මළ අපද්‍රව්‍ය එතුමාණන්ගේ ශරීරය මත ගෙනත් දැමූ විටත් ඉතා අපහසුවෙන් නැඟිට ඉවසීමෙන් ක්‍රියා කළා මිස ඔවුන් හා යුධ ප්‍රකාශ කලේ නැති බව තවත් බුහාරී හදීසයක් අනාවරණය කරයි.
  • අබූදර් අල් කිෆ්ෆාරී (රලි) තුමාණන් හට මක්කාවාසී ඉස්ලාම් විරෝධින් සිහිසුන් වන තරමට දැඩි ලෙස පහර දෙන විටත් නබිතුමාණන් ඒ සියල්ල ඉවසා අබූදර් (රලි) තුමාණන්ට අවවාද කළා මිස එම ඉස්ලාම් විරෝධීන් හා යුධ ප්‍රකාශ කළේ නැති බව බුහාරී ග්‍රන්ථයේ සඳහන් වේ.
  • මීට ඉහත සදහන් කළ නබිතුමාණන් “තායිෆ්” හි ලක් වූ හිංසනයන්ට ප්‍රතිචාර දැක් වූ ආකාරයත් මීට හොද නිදසුනකි.
  • බිලාල් (රලි) තුමාණන් හට (යකඩයෙන් තනන ලද) යුධ ඇදුමක් අන්දවා ගිනියම් කාන්තාරයේ දමා වද හිංසනයන් කරන විටත් නබිතුමාණන් ඔවුන් හා යුධ ප්‍රකාශ නොකොට ඉවසීමෙන් ක්‍රියා කළ බව ඉබුනු මාජා නම් හදීස් ග්‍රන්ථයේ සඳහන් වේ.

මෙලෙස වධ හිංසනයන්ට ගොදුරු වූ මුස්ලීම් සමාජය හමුවේ නබිතුමාණන් “යන්න ගිහින් ඔවුන් කපා දමන්න” නොඑසේ නම් “රමලාන් මාසය අවසන් වූ විගස මුස්ලීම් නොවන සියල්ල ඝාතනය කරන්න” යනුවෙන් කිසි විටෙකත් පැවසුවේ නැත. එවන් වචනයක් ඔවුන් හමුවේ ප්‍රකාශ වුයේ නම් එය ඒ මොහොතේ ක්‍රියාවට නැංවීමට බලා සිටි විටෙක ඒ සඳහා අවසර පැතූ සහාභාවරන් ද ඒ සමාජයේ සිටින ලදී. අබ්දුර්රහ්මාන් ඉබුනු අවුෆ් (රලි) තුමා එවැනි එක් සහාභිවරයෙකි. නබිතුමාණන්ගේ අසීමිත ඉවසුම හමුවේ සමහරක් සහාභාවරුන් “ඇත්තෙන්ම ඔබ අල්ලාහ් (දෙවියන්)ගේ දූතයා ද?” යනුවෙන් ප්‍රශ්න කරන ලද අවස්ථාවන් ද? දක්නට ලැබේ. මේවා සියල්ල තුලින් යුදමය ක්‍රියාදාමයන්ට වඩා “ඉවසීම” කොතරම් ඉස්ලාම් අවධාරණය කරනවා ද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. මේ කාරණයන් නොසලකා “ඉස්ලාම් ත්‍රස්ථවාදයට අනුබල දෙනවා” යනුවෙන් චෝදනා කිරීම කොතරම් අන්තවාදී ක්‍රියාවක් ද?. මේ ආකාරයටම ඉස්ලාම් මිනිස් සමාජයට දේශනා කරන දෙවන කාරණය වෙත අවධානය යොමු කලේ නම්,

හිජ්රත්

ඉස්ලාම් යුධමය ක්‍රියාවලියක් සදහා මුස්ලීම් සමාජය පොළොඹ වනවා යනුවෙන් චෝදනා කරන පිරිස් ශුද්ධ වූ කුර්ආනයේ සඳහන් පහත වාක්‍යයන් පිළිබඳව ද විවෘත මනසින් විමසා බැලිය යුතු ය. විටෙක කපන්න, මරන්න යනුවෙන් අණ කරන ඉස්ලාම් තවත් අවස්ථාවක ඉවසීමේන් ක්‍රියා කරන ලෙස අවධාරණය කළ ආකාරය ඉහතින් විමසා බැලුවෙමු. එම ශුද්ධ වූ කුර්ආනයේ ම අවස්ථා කිහිපයක “හිජ්රත් කරන්න” (උපන් බිම අතහැර පලා යන්න) යනුවෙන් පැවසීම මුස්ලීම් මෙන්ම මුස්ලීම් නොවන සමාජයේ බහුතරයකගේ නෙත නොගැටීම පුදුමයට කාරණයකි. එවැනි ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ඔබගේ අවධානයට යොමු කරන්නේ නම්,

“අල්ලාහ් (දෙවියන්)ගේ නියෝගයන් ක්‍රියාවට නොනංවා ක්‍රියා කලේ ද ඔවුන්ගේ ප්‍රාණය මලාඉකාවරුන් (දේව දූතයන්) අත්පත් කර ගන්නා විට (මරණයට පත් කරවන මොහොතේ) ‘නුඹලා කවර තත්වයක ජීවත් වුයේ ද?’ යනුවෙන් විමසනු ලැබේ. එයට ඔවුන් ‘අප භූමියෙහි (විවිධ වදහිංසනයන්ට ලක්වන) දුර්වලයන් ලෙස සිටියෙමු.’ යනුවෙන් පැවසෙනු ලැබේ. එයට ‘අල්ලාහ් (දෙවියන්)ගේ භූමිය විශාල නොවේ ද? එහි උපන් බිම (හිර්රත්) අතහැර පලා නොගියේ මන්ද?’ යනුවෙන් විමසනු ලැබේ. එසේ නොකළ නුඹලා (අවසානයේ) රැදෙන තැන අපායයි. එය ඉතා නරකම තැන වේ.”

ශුද්ධ වූ කුර්ආනය – 4-97

ඉහත වාක්‍යයන්ට අමතරව ශුද්ධ වූ කුර්ආනයේ තවත් බොහෝ තැන්වල එවැනි වාක්‍යයන් දක්නට ලැබෙන අතර එවන් වාක්‍ය කිහිපයක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්, 4-89,90, 4-97, 8-22, 60-10, 16-41… යනාදිය සඳහන් කළ හැක. මෙවන් වාක්‍යයන් නොසලකා “ඉස්ලාම් ත්‍රස්ථවාදය සඳහා මුස්ලීම්වරුන් පොළොඹ වනවා” යනුවෙන් චෝදනා කිරීම කොතරම් නුවණකාරී ක්‍රියාවක්ද? යන්න තීරණය කිරීම ඔබට ම භාර  කරමි.

බුද්ධිමත්ව විමසා බලන්න…

ශුද්ධ වූ කුර්ආනයේ එකම මිනිස් සමාජ උදෙසා විකල්ප 03ක් යෝජනා කරන බව ඉහත කරුණුවලින් පැහැදිලිව පෙනේ. මේ පිළිබඳව විමසා බැලීමට පෙර සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම් කිසියම් කාරණයක් සම්බන්ධයෙන් ඉස්ලාමීය විග්‍රහය අධ්‍යනය කරන විට එය අපගේ ස්වමතය හෝ බුද්ධිය පදනම් කරගෙන සිදු කළ නොහැක. ඒ පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ ආගමික මූලාශ්‍රයන් හි සදහන් කරුණු පදනම් කරගෙනය. ඒ අනුව ඉස්ලාම් මිනිස් සමාජයට යෝජනා කරන ඉහත විකල්ප 03 දැන් විමසා බලමු

මෙම ලිපිය තුලින් ඉදිරිපත් කළ පලමු කාරණය එනම් “යුද්ධ කරන්න” යන අණ කිරීම සැලකූ විට ඒ තුල දෙවන කාරණය වන “ඉවසන්න” යන්න ප්‍රතික්ෂේප කිරීමට සිදු වේ. මන්ද යුද්ධය හා ඉවසීම යන කාරණා දෙක එක විට ක්‍රියාවට නැංවීමට නොහැකි බැවිණි. තෙවන කාරණය වන “හිජ්රත් කරන්න” (උපන් බිමින් පලා යන්න) යන්න සැලකූවිට එහි දී “යුද්ධය” හා “ඉවසීම” යන කාරණා දෙකම ප්‍රතික්ෂේප කිරීමට සිදු වේ. මේ අණ කිරීම් තුනම දේව නියෝග වන නිසා එකක් පිලිගෙන අනික් දෑ ප්‍රතික්ෂේප කළ නොහැකි බව ඉහතින් විමසා බැලුවෙමු. එසේනම් ඔබට දැන් ගැටළුවක් මතු වෙනු ඇත. ඒ ඉස්ලාමීය ඉගෙන්වීමන් පරස්පරද? යන්නයි. පැහැදිලිවම දිව්‍යමය මඟපෙන්වීමන් හි පරස්පරතාවයන් ඇතිවිය නොහැක. මන්ද පරස්පරතාවයන් ඇති වීම යන්න සැලැස්මහි දුර්වලතාවයකි. දුර්වලතාවයන් සියල්ලෙහිම පාරිශුද්ධ අල්ලාහ් (දෙවියන්) හට එවන් දුර්වලතාවයක් ඇති විය නොහැක. එසේ ඇති වන්නේ නම් එහි දිව්‍යමය ශක්තිය අභියෝගයට ලක් වේ. ඒ අනුව එවන් වූ සියලු දුර්වලතාවයන්ගෙන් සුවිශූද්ධ අල්ලාහ් (දෙවියන්) විසින් මිනිස් සමාජයට දායාද කළ මේ දහම තුල පරස්පරතාවයන් නැත. ඒ අනුව මෙහිදී අවබෝධ කරගත යුතු කාරණය නම් ඉහත අවස්ථා 03 සඳහා ඉස්ලාම් වෙන වෙනම කොන්දේසි පනවා ඇති බවයි. එම කොන්දේසිවලට යටත්ව මුස්ලීම් සමාජය තින්දු තීරණ ගත යුතු ය. මෙයට සරල හා ජනප්‍රිය නිදසුනක් ගෙනහැර දක්වන්නේ නම් ඉස්ලාමීය දණ්ඩ නීතිය අනුව සොරකම් ඔප්පු වුයේ නම් එම සොරාගේ මැණික් කටුව ළඟින් කැපිය යුතු ය. මෙය ඉස්ලාම්, මුස්ලීම් සමාජයට අවධාරණය කරන නියෝගයක් වුවද එය ශ්‍රී ලාංකීය සමාජයේ කිසියම් මුස්ලීම්වරයෙකු සිදු කරන සොරකමක් වෙනුවෙන් ක්‍රියාවට නැංවිය හැකි ද? යන්න විමසා බැලුවේ නම් එසේ සිදු කළ නොහැක. මන්ද ඉස්ලාමීය නීති ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා ඉස්ලාමීය රාජ්‍ය පාලනය අත්‍යාවශ්‍යය. එසේ නොවේ නම් පවතින රජය මඟින් ඒ සදහා අවසර ලබා දි තිබිය යුතු ය. එවන් අවසරයන් කිහිපයක් වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය තුල මුස්ලීම්වරුන්ට ලබා දී ඇති බව මෙහිදී සඳහන් කිරීමේ යුතුකමක් ඇත. එයින් කිහිපයක් පවසනවා නම්, දේපල බෙදීම, විවාහය හා දික්කසාදය… ඉන් කිහිපයකි. නමුත් ඉහත වරදට දඩුවම් ලබා දීම සඳහා ලාංකීය රජය අවසර ලබා දී නොමැති තත්වය යටතේ කිසිවකු එවැනි දඩුවමක් ක්‍රියාත්මක කලේ නම් එය ඉස්ලාමීය දෘෂ්ඨි කෝණය අනුව ද වරදක් වේ. මේ පිළිබඳව වැඩි විස්තර සදහා මෙම අඩවිය තුල ඇති “ජිහාද් පිළිබඳව විමසුමක්” හා “ඉස්ලාම් මුස්ලීම් නොවන පිරිස් ඝාතනයට අණ කරන්නේ ද?” යන ලිපිය කියවන්න. මේ අනුව ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනය මඟින් මිනිස් සමාජයට අවධාරණය කරන්නේ කුමක්ද? යන්න ඔබට අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ඉහත සියල්ල අල්ලාහ් (දෙවියන්) සාරාංශ කොට පවසන තවත් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කලේ නම්,

“ආගමික (කරුණු) සම්බන්ධ කටයුතුවල දී නුඹලා සමඟ සටන් නොමෙහෙයවාත්, නුඹලාගේ නිවෙස්වලින් නුඹලාව බැහැර නොකොටත් සිටියේ නම් (මුස්ලීම් නොවන) ඔවුනට නුඹලා යහපතක් සිදු කිරීමෙහිත්, ඔවුනට සාධාරණය ඉටු කිරිමත් අල්ලාහ් (දෙවියන්) නුඹලාට වලක්වා නැත. නියත වශයෙන්ම සාධාරණය ඉටුකරන්නන් අල්ලාහ් ප්‍රිය කරන්නේය.”

ශුද්ධ වූ කුර්ආනය 60-8

මනුෂ්‍යාගේ අවශ්‍යතාවයන් හොදින් අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් විවිධ නීති රිති සම්පාදනය කරමින් ඔහුගේ සාර්ථක දිවියට අවශ්‍ය පහසුකම් සලසා දෙන ඉස්ලාම් දහමේ යම් යම් ඉගෙන්වීමන් සඳහා විකෘති විග්‍රහයන් ලබාදෙමින් ඉස්ලාම් කරුණාවක් නොහදුනන කෘර දහමක් බවට පෙන්වා දීමට උත්සාහ කිරීම අනවබෝධයට වඩා අන්තවාදීත්වයකි. ආගමික කටයුතුවලම නියැලෙන කාන්තාවක් තම පූසා හට නිසි පරිදි ආහාර පාන ලබා නොදීම හේතුවෙන් අපාගත වන බවත්, පිපාසිතව සිටි බල්ලෙකු සඳහා ජලය ලබා දීම හේතු කොටගෙන ගණිකාවක් ස්වර්ගයට පිවිසෙන බවත් පවසමින් සතුන් කෙරෙහි කරුණාව දක්වන්න උනන්දු කරවන ඉස්ලාම් දහම මුස්ලීම් නොවීම එකම හේතුව කරගෙන මනුෂ්‍යා මරා දැමීමට අණ කරනවා යයි චෝදනා කිරීම සැබැවින්ම අන්තවාදී මෙන්ම ඉස්ලාම් දහම හා මුස්ලීම් සමාජය කෙරෙහි ඇති වියරුවක් පමණි. එය අවබෝධ කර ගැනීමට ඉහත 60-8 වාක්‍යය පමණක් වුවද ප්‍රමාණවත් වනු ඇත. ඉස්ලාම් දහම මනුෂ්‍ය වර්ගයා තුලින් අපේක්ෂා කරන මිනිසා දෙවියන් හට කළ යුතු යුතුකම් හා මිනිසා මිනිසාට කළ යුතු යුතුකම් යන කාරණා දෙක සැලකූ විට මිනිසා මිනිසාට කළ යුතු යුතුකම් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන බව මීට ඉහත මෙම අඩවිය තුල සාකච්ඡා කර ඇත. මේවා සියල්ල තුලින් පැහැදිලි වන එකම කාරණය නම් නිරපරාදයේ මනුෂ්‍ය ජීවිතයක් බිලිගැනීමට කිසිවකුටත් අයිතියක් නොමැති බවයි. එසේ නමුත් රාජ්‍ය පාලනයක් තුල පරිපාලන අවශ්‍යතාවය උදෙසා සහා රටේ ජනතාවගේ ආරක්ෂාව උදෙසා යම් යම් නීති ක්‍රියාත්මක කිරීම මඟින් මරණ දඬුවම් ලබාදීමත්, යුධමය ක්‍රියාවලියක් තුලින් සිවිල් ආරක්ෂාව සැලසීමත් ඉස්ලාම් උනන්දු කරවන කාරණයකි. අපේ රටේ බෞද්ධ ප්‍රජාව ඉස්ලාම් දහමට ඉහත ආකාරයට චෝදනා නැඟුවත් පසුගිය සමයේ එනම් “එල්ටීටීඊ” යුධ සමයේ අප රට ද සිදු කලේ මිනිස් ඝාතනයයි. එය කිසිවකු බුදුදහම හා හින්දු දහම අතර පවතින සටනක් ලෙස පෙන්වීමට උත්සාහ කලේ නැත. එයට ප්‍රධාන හේතුවක් ඇත. එනම් එම දහම තුල විශේෂයෙන් බුදුදහම තුල එම විෂය සදහා ගත යුතු ක්‍රියා මාර්ගයන් පිළිබඳව කථා නොකිරීමයි. නමුත් ඉස්ලාම් එසේ නොවේ. එය පරිපූර්ණ ජීවන සැලැස්මකි. එහිදී රටේ සිවිල් ආරක්ෂාව සලසන්නේ කෙසේ ද? යන්නත් ශුද්ධ වූ කුර්ආනය තුල සදහන් කරයි. මෙවැනි නීති දකින ඉහත පිරිස් තම දහමට සාපේක්ෂව ඉස්ලාම් දහම දෙස බැලීම නිසා ඉස්ලාම් කෘරරත්වය අවධාරනය කරන දහමක් ලෙස පෙනේ. මේ හේතුව නිසා ඉස්ලාම් දහම මුස්ලීම් නොවන සමාජයේ චෝදනාවන්ට පාත්‍ර වේ. මේ අනවබෝධය තුලින් ද පිලිඹිබු වන්නේ ඉස්ලාම් පරිපූර්ණ දහමක් යන්න පමණි.

අවසාන වශයෙන් මෙතෙක් සාකච්ඡා කළ කරුණු එනම් ජිහාදය, ඉවසීම හා හිජ්රතය යන කරුණු 03 වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය පදනම් කරගෙන කෙටි විමසුමක් සිදු කලේ නම්, එනම් වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය තුල මුස්ලීම්වරුන්ගේ ස්ථාවරය කුමක් විය යුතු ද යන්න කෙටි විමසුමක් සිදු කලේ නම්, එහි රාජ්‍ය තාන්තික වශයෙන් ඉස්ලාමීය නීති ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවද ආගමික කටයුතුවලට සම්පූර්ණ නිදහස නිසි ආකාරව අදටත් ආරක්ෂා කර දී ඇත. එවන් පසුබිමක් තුල මුස්ලීම්වරුන් ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? යන්න ඉස්ලාමීය මූලාශ්‍රයන් තුල විමසා බලන විට ඒ සඳහා පැහැදිලි ආදර්ශයක් අපට පලමු හිජ්රතය තුල හමු වේ. එනම් මක්කාවේ මුස්ලීම්වරුන්ට එරෙහිව ඉස්ලාම් විරෝධින් නොයෙක් ආකාරයේ වධ හිංසනයන් ක්‍රියාත්මක කරන විට නබිතුමාණන් එම මුස්ලීම්වරුන් පිරිස “හබෂාව” (වර්තමාන ඉතියෝපියාව, ඇබීසීනියාව හා සෝමාලියාව අයත් භූමිය) ට පිටත් කර හරින ලදී. එම හබෂා දේශය එදා පාලනය කලේ නජ්ජාෂි නම් මුස්ලීම් නොවන පාලකයෙකු විසිනි. ඉස්ලාම් නොවන පාලනයක් එම භූමියේ පැවතුනත් එහි මුස්ලීම්වරුන්ට ආගමික නිදහස හිමිවන බව කලින් ම දැන සිටී නබිතුමාණන් එවන් හිජ්රතයක් සදහා මුස්ලීම් සමාජය උනන්දු කිරීම තුල හබෂා රටේ සමාජ තත්වය ඉස්ලාම් අනුමත කළ බව පැහැදිලිය. එම හබෂා රටට සමාන සමාජ තත්වයක් පවතින ශ්‍රී ලංකාව තුල මුස්ලීම්වරුන්ට සම්පූර්ණ ආගමික නිදහස හිමිව පවතී. ඒ අනුව මෙහි දී මුස්ලීම්වරුන්ට “ජිහාද්” වැනි ක්‍රියාදාමයකට හෝ හිජ්රත් වැනි ක්‍රියාදාමයකට ඉස්ලාම් දහම තුල කිසිදු අවසරයක් නැත. එවැනි ක්‍රියාවකට කිසියම් මුස්ලීම්වරයෙකු පෙළඹෙන්නේ නම් ඔවුනට විරුද්ධ ව මුස්ලීම් සමාජය නැඟී සිටීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් බවත් එය ඉස්ලාමීය ඉගැන්වීම බවත් මුස්ලීම් සමාජය මෙන්ම මුස්ලීම් නොවන සමාජය ද පැහැදිලිව වටහා ගත යුතු ය.

(මීට ඉහත පල කල “මුස්ලීම්වරුන් සමූල ඝාතනයක් සදහා සැලසුම්” යන මැයෙන් පල කල නෝර්වේ 2011/07/22 සිදුවීම පදනම් කරගත් ලිපියෙහි දෙවන කොටස ලෙස මෙම ලිපිය මෙලෙස ඉදිරිපත් කරමි. )

වැඩි දුර කියවීමට මෙම ලිපිය කියවන්න.

අබූ අර්ෂද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *