සමානාත්මක බව ජීවිතයේ යථාර්තය වේද?

0

වත්මන් ලෝකය අද ජීවිතයේ යථාර්තය අවබෝධ කරගෙන ජීවත් වනවා වෙනුවට සුන්දර තේමා පාඨයන් හා තර්ක විතර්ක තුල කොටු වී යථාර්තවාදී නොවන ඉසවක් වෙත පියනඟන්නත් ඒ තුල ජීවත් වන්නත් වෙරදරමින් සිටී. ඒ අතර විද්වතුන් යයි පවසා ගන්නා සමහරක් “සමානාත්මකතාවය“ වැනි තේමාපාඨයන් සමාජය හමුවේ තබමින් සමාජය නොමග යවමින් සිටී. මේ හේතුව නිසාම ජීවිතයේ බොහෝ කරුණු යථාර්තවාදී ලෙස දැකීමට වත්මන් සමාජය අපොහොසත් වී සිටී. මෙවන් අවධියක මේ සමානාත්මකතාවය පිලිබදව ඉස්ලාමීය දැක්ම ඔබ හමුවේ තබන්නට මා අදහස් කරමි.

අතීතයේ පටන් අද දක්වාත්, අනාගතයටත් මිනිස් සමාජ පැවැත්මේ රහස සැවීග වී ඇත්තේ මේ අසමානාත්මකතාවය යන්න තුල බව ප්‍රථමයෙන් වටහා ගතයුතුය. මනුෂ්‍යයන් අතර අසමානාත්මකතාවය ඇති කොට, එකින් එකා අතර සහයෝගයන් හා අවබෝධයන් ඇති කොට, ඔවුන් ඒ තුල කොතරම් දුරකට කටයුතු කරනවාද? යන්න විමසා බැලීමයි මේ බුද්ධිමත් මානවයා මිහිමත ස්ථාපනය කිරීමේ මූලික අරමුණ. මෙය ශුද්ධ වූ කුර්ආනය 2-155, 156 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) ඉතා අලංකාර ලෙස මෙසේ පවසයි.

තරමක බියෙන්ද, කුසගින්නෙන්ද, වස්තූන්, ජීවිත හා (පළතුරු යනාදී) භෝග විනාශ කිරීමෙන්ද අප ඔබ පරීක්ෂා කරන්නෙමු. එය විඳදරා ගෙන ඉවසා කටයුතු කරන පිරිසට (නබිතුමණි!,) ඔබ සුභාරංචි පවසන්න. ඔවුන් තමන්ට කොපමණ විපත් හා අලාභහානී සිදුවුවද ‘ඇත්තෙන්ම අපි අල්ලාහ් වෙනුවෙන්ම සිටින්නෙමු. ඇත්තෙන්ම අපි ඔහු වෙතම යළි පිවිසෙන්නෙමු’ යයි කියන්නෝය.

ශුද්ධ වූ කුර්ආනය 2-155, 156

ඉස්ලාම් දහම කිසිදු අවස්ථාවක මේ මිහිමත වෙසන මානවයා හට සමානාත්මක ලෙස සලකන බවට පොරොන්දු ලබාදුන්නේ නැත. ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනය පුරාවට පවසන්නේ ‘මෙලොව ජීවිතය යනු මතු ලොව විමූක්තිය උදෙසා නුඹලාව පරීක්ෂා කරන මණ්ඩපයක්’ යන්න පමණි. එවැනි ශුද්ධ වූ කුර්ආන් පාඨ බොහෝමයක් ශුද්ධ වූ කුර්ආනයේ දක්නට තිබුණද ඔබගේ දැන ගැනීම සදහා එයින් කිහිපයක් මෙලෙස ඉදිරිපත් කරමි.

එනම් 68-17, 7-168, 21-35, 10-30, 47-31, 7-163, 5-48, 6-165… යනාදී එයින් කිහිපයකි.

ශුද්ධ වූ කුර්ආනයේ පමණක් නොව නබිතුමාණන් ද තම දිවිය තුල මෙම කාරණය දැඩි ලෙස සමාජගත කරන්න වෙහෙසුණි. එයට එක් නිදසුනක් ගෙනහැර දක්වන්නේ නම්,

නබිතුමාණන් සැතපීමට පාවිච්චි කලේ රටඉදි අතුවලින් සකස ගන්නා ලද පැදුරකි. මේ මත නබිතුමාණන් නිදාගන්නා විට එතුමාණන්ගේ ශරීරය පුරා එම රටඉදි අතුවල නාරැටි අච්චු සටහන් වී තිබෙනු දුටු සහාභාවරුන් (හෙවත් සමකාලීන අනුගාමික පිරිස්). ‘අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාණෙනි!, ඔබ තුමා අපට අවසර දෙන්නේ නම්, මෙම පැදුර මත එලාගත හැකි සුවපහසු (සුමුදු) ඇතිරිල්ලක් ගෙන දෙන්නෙමු. එය ඔබ තුමාගේ ශරීරය ආරක්ෂා කරනු ඇත’  යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘මා හා මෙලොව අතර ඇති සම්බන්ධය කුමක්ද?  දීර්ඝ ගමනක නිරත වන මගියෙකු ඔහුගේ ගමන් විඩාව නිවාලන්න එක්තරා ගසක් පාමුල නතරවන්නේද. එම ගස හා මඟියා අතර ඇති සම්න්ධයයි මා හා මෙලොව අතර ඇති සම්බන්ධය’ යනුවෙන් පවසා එය ප්‍රතික්ෂේප කරන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි, ඉබුනු මාජා, අහමද්

ඉහත සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් තුලින් මෙන්ම හදීසය තුලින් ද පැහැදිලි වන්නේ මනුෂ්‍යයෙකුගේ  අරමුණූ ලෞකික කාරණයන් පදනම් කරගත් එකක් නොවනවා යන්නයි. ඔහුට මේ ලෝකය යනු මතු ලොවෙහි විමුක්තිය සදහා සූදානම් වන නැවතුම් පොළක් පමණි. ඒ සදහා ඔහුට දෙවියන් මඟපෙන්වූම් පුස්තකයන් ලබා දී ඇත. වක්තෘවරුන් මඟින් පැහැදිලි කිරීමන් හා ආදර්ශයන් පෙන්වා දී ඇත. මේ සියල්ල බුද්ධිමත් ලෙස විමසා තීන්දු තීරණ ගැනීමේ අයිතිය හා නිදහස මනුෂ්‍යා හට දෙවියන් ලබාදී ඇත. එලෙස ඔහු ජීවිතයේ යථාර්තය අවබෝධ කොට සධාතනික දිවිය සදහා සූදානම් වන අතර තුර දෙවියන් විසින් ද ඔහු නන්අයුරින් පිරික්සන බව ඉහත 2-155,156 වාක්‍යයන් මඟින් ඔබට අවබෝධ වනු ඇත. එහිදී බිය ගැන්වීම, කුසගින්න, වස්තූන් උදුරා ගැනීම, ජීවිත පවා බිලිගැනීම… වැනි උපක්‍රම දෙවියන් භාවිතා කරන බව ද ඔබට අවබෝධ වනු ඇත.

ඒ අනුව මේ සියළු විෂමතාවයන් හොදින් අවබෝධ කරගෙන ඒ සියල්ල හමුවේ නොසැලී දේව අවනතභාවයෙන් යුතුව ක්‍රියා කරන පුද්ගලයායි ජීවිතයේ සැබෑ ජයග්‍රාහකයා වන්නේ. එවැනි පිරිසටයි අල්ලාහ් (දෙවි) 2-156 වාක්‍යය මඟින්  සුභාරංචි පවසන්නේ. එසේනම් පුහු වාදයන් තුල තවදුරටත් මංමුලා නොවී යථාර්ථයට මුහුණ දෙන සැබෑ දේව භක්තිකයන් වන්නට අල්ලාහ් (දෙවි) අප සියළුදෙනා හට ආශිර්වාද කරත්වා!.

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *