ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

1

(දහමක මූලාශ්‍රයකට තිබිය යුතු ගුණාංගයන්, එය ආරක්ෂා විය යුතු ආකාරය හා මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන “කුර්ආනය” ග්‍රන්ථාරෑඪ වූ ඉතිහාසය පිළිබඳව “ආගමික මූලාශ්‍ර හා එහි වලංගුභාවය” යන මාතෘකාව ඔස්සේ මෙම වෙබ් අඩවිය තුල කතා කළෙමු. එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලාංකීය ආගම්වල මූලාශ්‍රයන් ග්‍රන්ථාරෑඪ වූ ඉතිහාසය මෙහි දී විමසා බලනු ලැබේ.

ඒ අනුව බෞද්ධයන්ගේ ආගමික මූලාශ්‍රය වන ක්‍රිපිඨකය ග්‍රන්ථාරෑඪ වූ ඉතිහාසය මෙහි දී ඉදිරිපත් කරන අතර එහි දී, මෙය තවත් දහමක මූලාශ්‍රයක් පිළිබඳව කතා කිරීමක් නිසා මාගේ පුද්ගලික කරුණු දැක්වීමෙන් වැළකී “2009 නොවැම්බර් 22 සිළුමිණ” පුවත්පතේ පල වූ ලිපියක් ඔබේ අවධානයට යොමු කරමි. එම ලිපිය තුල සදහන් කරුණු වලට ඔබගේ බුද්ධිමත් අවධානය යොමු වෙනු ඇතැයි සිතමි.)

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ ඓතිහාසික මාතලේ අළු විහාරයට එම සත් කාර්ය සඳහා වැඩම කළ රහතුන් වහන්සේ වැඩ විසූ බවට සැලකිය හැකි ගල් ලෙන් 25 කට වැඩි ප්‍රමාණයක් අළු විහාර විහාරස්ථානයට යාව පිහිටි කඳුවැටියෙන් සොයා ගැනීමට හැකි වී ඇත.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 454 කට පසුව එතෙක් කාලයක් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආ ත්‍රිපිටක බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම සිදු වූයේ මාතලේ අළුලෙන් විහාරයේදී බව.

 

බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

මේ සඳහා රහතුන් වහන්සේ 500ක් දෙනා සහභාගී වූ බවටත් උන්වහන්සේ තුන් අවුරුදු තුන් මස් තුන් සතියක් මුළුල්ලේ සිදු කළ ග්‍රන්ථාරූඪ කිරීම වෙසක් පුන් පොහෝ දිනයක අවසන් කළ හෙයින් එවකට රට පාලනය කළ වළගම්බා රජතුමාගේ සහාය ඇතිව විශාල උත්සවයක් පැවැත්වූ බවත්, එදා ලක්දිව සියලු විහාරස්ථානවල පහන් පූජා පැවැත්වූ බවත්, විශේෂයෙන් අළුලෙන් විහාරය අවට ප්‍රදේශය පහන් දල්වා ආලෝකමත් කළ බවත් ඉතිහාසයෙහි සඳහන් වේ.

මෑතකදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ ස්ථානය වෙනත් තැනකදී බවට මතයක් පළවීම නිසා අළුවිහාර විහාරවාසී අළුවිහාරේ සරණංකර හිමියන් විසින් ප්‍රදේශයේ ග්‍රාමනිලධාරි වරයා ඇතුළු ප්‍රදේශවාසීන් සමඟ කළ ගවේෂණයකදී මෙම ගල්ලෙන් සොයා ගැනීමට හැකිවී ඇත.

උන්වහන්සේ මේ පිළිබඳව අදහස් පළකරමින්

“ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කොට ඇත්තේ මාතලේ අළුවිහාරේ අළු ලෙන් විහාරයේදී බවට කිසිදු සැකයක් නැහැ. එදා වළගම්බා රජ දවස සිදු වූ මෙම අසිරිමත් සිද්ධිය උඩු යටිකුරු කිරීමට එක්තරා මතයක් පළ කිරීම පුදුම සහගතයි. එදා, රහතුන් වහන්සේ 500ක් දෙනා විහාරස්ථානයට යාව පිහිටි කඳුවැටියේ ඇති ලෙන්වල වැඩ වසා ඇති බව පැහැදිලියි. එම ගල්ලෙන්වල ජලය ඇතුළට රූරා නොබසින ලෙසට කටාරන් කොටා ඇති බව පෙනෙන්නට තිබෙන නිසා ඒවායේ යම් පිරිසක් වාසය කළ බවට සැකයකින් තොරව ඔප්පු වෙනව‍ා.

අවට ජනතාවගෙන් ලද තොරතුරු මත අළුවිහාරය වසම බාර ග්‍රාම නිලධාරී රත්වත්තේ මහතා සමඟ දින ගණනාවක් තිස්සේ කළ ගවේෂණයකදී ලෙන් 18ක් ‍සොයා ගැනීමට හැකි වුණා. ඉන්පසුව ඊට යාව පිහිටි බීරිදෙවෙල කඳුවැටියන් ද තවත් ලෙන් 8ක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.”

“මේ නිසා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ අළුවිහාරේ අළු ලෙන් විහාරයේදී බවට යම් යම් කරුණු මත සැකයකින් තොරව ඔප්පු වී ඇති අතර ඊට ඌණ පූර්ණයක් ලෙස එම ඓතිහාසික සිද්ධියට සම්බන්ධ වූ රහතුන් වහන්සේ එම ගල්ලෙන් හි වැඩ වාසය කළ බවට සැලකිය හැකියි.”

මෙහි ඇතැම් ලෙන්හි 100කට පමණ කරදරයකින් තොරව වාසය කරන්නට ඉඩකඩ ඇති අතර විවේකී අවස්ථාවලදී භික්ෂූන් විදර්ශනා වඩමින් භාවනානුයෝගීව කල්ගත කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.

අළුවිහාර විහාරස්ථානයට කිට්ටු ස්ථානයක පිහිටි “රාජාංගනය” නමැති දැලිවල ඔයේ විශාල ගල්ලෙනක් අසල ඇති නිල්වලට බසින්නට ගලේ පඩිපෙළක් කොටා ඇති අතර රහතුන් වහන්සේ ස්නානය සඳහා එම ස්ථානයට පැමිණ ඇති බව ජනප්‍රවාදයෙන් පැවසේ.

එම ගම් ප්‍රදේශය “රහතුන් හැදූ තොට” රහත්තොට වී අද වන විට රත්තොට බවට පත්වී ඇතැයි ද කියැවේ.

මාතලේ අළුවිහාරයේ අළු ලෙන් විහාරයේදී සිදු කළ ධර්ම සංගායනාව 5 වැනි සංගායනාව ලෙස බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව (ඉන්දියාවේ) ජම්බුදීපයෙහි අජාසත්ත රජතුමාගේ අනුග්‍රහයෙන් හා මහාකාශ්‍යප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සංගායනාව ප්‍රථම සංගායනාව ලෙස දැක්වේ.

ඉන්පසුව කටවහරින්ම පවත්වාගෙන ආ බුදුදහම හා ධර්ම විනය ආනන්ද තෙරුන් වහන්සේ විසින් අනිකුත් සංඝයා වහන්සේට සජ්ඣායනා කොට ඇත. බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වරයා වූ ආනන්ද හිමියෝ මුල සිටම පිරිනිවන් පාන අවස්ථාව දක්වාම බුදුන් වහන්සේ ළඟින්ම සිටි නිසා පළමුවැනි ධර්ම සංගායනාවේ විනය සජ්ඣායනා කිරීමේ වගකීම පැවරි තිබිණ.

ආනන්ද හිමියන් සජ්ඣායනා කළ ධර්ම විනය රැස්ව සිටි මහා සංඝරත්නය සිත්හි ධාරණය කරගත් අතර බුදුරජාණන් වහන්සේගෙන් විනය පිළිබඳ අග්‍ර තනතුර හිමිකරගෙන සිටි උපාලි මහ තෙරුන් වහන්සේ හා ආනන්ද මහ තෙරුන් වහන්සේගේ සිට පරම්පරාවෙන් පරම්පරාවට කටවහරින් ගෙන ආ බුදු දහම දෙවැනි වරට සජ්ඣායනා කිරීම විශාලා නුවර දී සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිය වසරකට පසුව කාලාශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් සබ්බකාමී මහරහතුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. එය දෙවැනි ධර්ම සංගායනාව ලෙස සැලකේ.

මෙහිදී ථේරවාදී බුදු දහම එලෙසින්ම තහවුරු කරගත් අතර සම්බුද්ධ පරිනිර්වාණයෙන් 235 වසරකට පසුව ඇති වූ ශාසන අර්බුදයක් නිසා පැලලුප් නුවර ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තෙවැනි ධර්ම සංගායනාව පවත්වා මුලින් සම්මත වූ ථේරවාදී බුදු දහම එලෙසින් ම අනුමත කරගන ඇත.

මෙසේ සංගායනා තුනකින් සම්මත වූ බුදු දහම ඊට වසරකට පසුව සිරිලකට වැඩිය මිහිඳු හිමියන් වෙතින් අර්ථ කතා සහිතව දැන උගෙන ධාරණේ කරගත් අරිට්ඨ මහරහතුන් වහන්සේ ප්‍රධාන සිංහල භික්ෂු සමූහයා මෙරටින් බිහි වූ අතර වැඩි කලක් යෑමට පෙර දෙවැනි පෑතිස් රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන මිහිඳු මා හිමිපාණන් ඉදිරියේ දී බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පැවැත් වූ සිව්වැනි ධර්ම සංගායනාව ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේදී පවත්වන ලදී.

ඉන් පසුව වසර 218ක කාලයක් කටවහරින් බුදු දහම පවත්වාගෙන ආ අතර වලගම්බා රජතුමාගේ පාලන සමයේ දී ශාසන ඉතිහාසයේ අර්බුදකාරී තත්ත්වයක් පැන නැඟීමත්, වසර 12ක කාලයක් පැවැති බැමිණිතියා සාය නම් වූ දුර්භික්ෂය නිසා බුදු සසුනට මහත් බලපෑමක් එල්ල වීම නිසා මෙතෙක් කාලයක්ම කට වහරින් පවත්වාගෙන ආ බුදුදහම විනාශ වී යෑමට ඉඩ නොදී පවත්වාගෙන යෑම සඳහා ධර්ම සංගායනාවක් පැවැත්වීමටත් ධර්ම විනය ග්‍රන්ථාරූඪ කිරීමටත් මහා සංඝයා වහන්සේ තීරණය කළහ.

එම තීරණයත් සමඟ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම කල් ගියේ ඉඩකඩ ඇති ස්ථානයක් සොයා ගැනීමේ අපහසුව නිසා ය.

පසුව ඒ සඳහා ඉඩකඩ ඇති ස්ථානයක් ලෙස මාතලේ අළුලෙන් විහාරය තෝරාගෙන ඇත්තේ රහතුන් වහන්සේට පහසුකම් සැලසිය හැකි ලෙන් රාශියක් තිබූ නිසාය.

ඒ අනුව අනුරාධපුරයේ ථූපාරාමවාසී (තුන්තගත්ත) තිස්ස මහා ස්ථවිර ප්‍රමුඛ තෝරාගත් ත්‍රිපිටක ධාරී රහතුන් වහන්සේ 500ක් දෙනා මාතලේ බාරව සිටි ජනපද අධිපති මන්ත්‍රීවරයාගේ අනුග්‍රහය ලබා ගෙන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලද බව පැවසේ.

දඹදෙනි යුගයට අයත් “පූජාවලියේ” ගම්පොල යුගයට අයත් “නිකාය සංග්‍රහයේ” ශාසනික හා අප්‍රකට තොරතුරු රැසක් ඉදිරිපත් කරන මහනුවර යුගයට අයත් ‘අස්ගිරි තල්පතේ’ සඳහන් කරුණු අනුව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සිදු කළේ මාතලේ අළුවිහාරේ පිහිටි අළු ලෙන් විහාරයේදී බව නිසැකවම කිව හැකි බව අළුවිහාරේ සරණංකර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

මේ සම්බන්ධයෙන් කළ විමසුම කදී මාතලේ දිසා ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතා දැනට සොයාගෙන ඇතැයි කියන ලෙන් පිළිබඳව සොයා බලා වාර්තාවක් සපයන ලෙස සංස්කෘතික අංශයට දැන්වීමෙන් අනතුරුව ඔවුන් කණ්ඩායමක් අළුවිහාරයේ කඳු මුදුනට ගොස් කළ විමර්ශනය අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දන්වා යවා ඇති බවත්, එම දෙපාර්තමේන්තුව නුදුරේ දිනකදී පැමිණ ඒ ගැන සොයා බලනු ඇතැයි ද පැවැසීය.

(ඓතිහාසික තොරතුරු “ඓතිහාසික මාතලේ” කෘතියෙනි.)

  • (මෙම ලිපියෙහි තද පාටින් සලකුණු කරන කරැණූ පිලිබදව ඔබගේ දැඩි අවධානය යොමු වෙනු ඇතැයි සිතමි. මෙම විෂය සම්බන්ධයෙන් මෙවැනි විද්වත් අදහස් ඉදිරියටත් කතා කිරීමට බලාපොරොත්තු වන්න… )

 

අබූ අර්ෂද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. zaman 2013-03-27 at 06:02

    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කලේ වලගම්බා රජුගේ කාලයේ නමුත් එතුමාම නොවේද ප්‍රථමයෙන් සංග සංශෝදනය ඇති කලේ එම නිසා ත්‍රිපිටකයට මහායානා බලපෑම් එල්ලවීමට ඇති අවස්ථා තිබුනා නේද…
    එම නිසා ත්‍රිපිටකයේ සදහන් සමහර කරුනු වෙනස් වීමට ඉඩතිබුනා නේද?

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *