තාපස දිවිය හා මිනිසාගේ මූලික අවශ්‍යතාවයන්

0

මානව වර්ගයාගේ ආරම්භයේ පටන් ඔහුගේ විමුක්තිය උදෙසා විවිධ මාර්ගයන් හා මඟපෙන්වීමන් සමාජය තුල නිර්මාණය කරගන්නා ලදී. මේවා දේව විශ්වාසයන් පදනම් කරගත් ආගම් වශයෙන් ද කිසියම් පුද්ගලයකු තුල ඇති වූ සුවිශේෂි ඥානයන් පදනම් කරගත් දර්ශනයක් වශයෙන් ද ප්‍රකාශ විය. ඉහත ආකාර දෙකට අමතරව විවිධ ඇදහිලි, මනක්කල්පිත විශ්වාස, මිත්‍යාමත… යනාදී තවත් බොහෝ අනුකන්ඩයන් ද අතීතයේ පටන් සමාජයේ ක්‍රියාත්මක වූ බව ඉතිහාසය මෙන්ම වර්ථමානය ද තහවුරු කරන සත්‍ය්‍යකි. මේ සියල්ල තුලින්ම මිනිසා අපේක්ෂා කලේ ජීවිතයේ විමුක්තියයි. ඒ අනුව ඔවුන් ලෞකික ජීවිතය කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදැක් වූ අතර ඔවුන්ගේ සම්පූර්ණ ඉලක්කය වුයේ මරණයත් සමඟ අත් වන ඉරණමට යහපත් අයුරින් මුහුණදීමයි. ඒ සදහා ඉහත පිරිස් ලෞකික දිවියෙ හි විශාල කැපකිරීමන් සිදු කරමින් තාපස ජීවිතයක් තෝරාගන්නා ලදී. එවන් තාපස ජීවන ක්‍රමයන් හි දක්නට ලැබූ පොදු ලක්ෂණ කිහිපයක් ඇත. එනම්,

  • වස්ත්‍ර නොහැද නිර්වස්ත්‍රව ජීවිතය ගෙවා දැමීම
  • ජීවිතයේ වැඩි කොටසක් නිරාහාරව ගතකිරීම
  • වනගතව (සමාජයෙන් ඈත්ව) හුදෙකලාව ජීවත්වීම
  • ශරීරයට වදවේදනා ඇති කර ගැනීම (රත් වූ ගල්තල මත සැතපීම, ශරීරය තුවාල කරගැනීම, ශරීරයේ මඩ හා දූවිලි තවරාගැනීම… යනාදී)
  • සාමාන්‍ය ජනතාවට අප්‍රසන්න අයුරින් තම දින චර්‍යාව සකසා ගැනීම

යනාදීය මින් කිහිපයකි. මෙවන් පිරිස් ඔවුන්ගේ සුවිශේෂි ලක්ෂණයන් පදනම් කරගෙන ඒ ඒ පිරිස් විවිධ වූ නම්වලින් අතීතයේ පටන් හදුන්වන ලදී. උදාහර්ණයක් ලෙස කිහිපයක් පවසන්නේ නම්,

  • නිරුවත් සාධුවරුන් ලෙස කටයුතු කල පිරිස් පරිබ්‍රාජකයෝ ලෙස හැදින්විය.
  • ශරීරයට විවිධ වූ වදහිංසන පමුණුවමින් ජීවත් වූ නිඝණ්ඩනාථ පුත්ත මහාවිරයන්ගේ ශ්‍රාවකයෝ නිඝණ්ඩයන් ලෙස හැදින්විය
  • ඉහත ආකාරයටම ජීවත් වූ හිසට ජටාවක් බැදි තාපස පිරිස ජටිලයන් ලෙස හැදින් විය.
  • එක් සළු කැබැල්ලක් පමණක් හැද ජීවත් වූ තාපස පිරිස ඒකසාටක ලෙස හැදින්විය.
  • ශරීරයට දැඩි දුක්දීම තුලින් තමා විමුක්තිය ලබාගත හැකි බව විශ්වාස කල තාපස පිරිස අත්තකිලමතානුයෝගය ලෙස හැදින්විය (ආරම්භ කාලයේ ගෞතම බුදුන් මෙම තාපස ක්‍රමය පිලිගෙන තමා දුෂ්කර ක්‍රියාවන් හි නිරත වූයේ)

මේ ආකාරයේ වූ තවුස්දම් රකින සමාජයක් අතීතයේ පමණක් නොව වර්ථමානයේත් ලොව විවිධ ප්‍රදේශවල ජීවත් වෙනවා යන්න නොරහසකි. මෙහි ඔබ පුදුම කරවන වැදගත් කාරණයක් වන්නේ ඉහතින් සදහන් ලක්ෂණ සියල්ල අඩංගු තාපසවරුන් ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ ලාංකීය සමාජය තුලම ජීවත්වීම යන්නයි. මේ පිලිබදව කල හෙලිදරව්වක් 2009 ඔක්තෝම්බර් මස 18 වන ඉරිදා දිවයින පුවත්පතෙහි “දෙවියන් වූ කාසි මලුකාරයා!” යන ලිපිය තුලින් දක්නට තිබුණි. මේ තත්වය එනම් මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් පවා අහිමි කරගෙන විශාල කැපකිරීමන් සිදුකරමින් විමුක්ති ජීවිතයක් සොයන ක්‍රමය දක්නට ඇත්තේ තවුස් ජීවිත වල පමණක් නොවේ. වර්ථමානයේ ලොව පවතින බොහෝ ආගම් හා දර්ශනවලද දක්නට ඇත. මේවා එකින් එක ගෙන කථා කිරීම යන්න ප්‍රායෝගික නොවන කාර්‍යයකි. නමුත් ශ්‍රි ලාංකීකයන් ලෙස ලාංකීය සමාජය පදනම් කරගෙන ඉහත විමසුම සිදුකලේ නම්, ඉස්ලාම් දහම හැර අනිකුත් සියළු ආගම් හා දර්ශනයන් සෘජුව හෝ වක්‍ර ආකාරයට ඉහත තවුස් ජීවිතය හෝ එහි සමහරක් අංගයන් අනුමත කරනවා යන්න අවිවාදයෙන් තොරව පිලිගතයුතු කාරණයකි.

මෙය වඩාත් පහසුවෙන් අවබෝධ කරගැනීමට ශ්‍රි ලාංකිකයන් අතුරින් බහුතරයක් පිලිපදින බුදුදහම කෙරෙහි බුද්ධීමත් අවධානය යොමු කලේ නම්, ආරම්භයේ ගෞත බුදුන් අත්තකිලමතානුයෝගය හෙවත් දුෂ්කර ක්‍රියාවේ නිරත වී ඉන් පලක් නොවන බව අවබෝධ කරගැනීමෙන් අනතුරුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන ලදී. මෙම මධ්‍යම ප්‍රතිපදාවද තාපස දිවියේ එක් සංධිස්ථානයක් යන්න පිලිබදව කිසිදු බෞද්ධයකු හට විවාදයක් නැත. නමුත් එය අධික ලෙස ශරීරයට දුක්දීමක් හෝ අධික ලෙස ශරීරයට සැපදීමක් නොවූ මධ්‍යස්ථ වූ ක්‍රමයක් විය. එය අදටත් බෞද්ධයන් හට බුදුදහම අවදාරණය කරන විමුක්තිය උදාකර ගතහැකි පහසුම මාර්ගය. මෙය අත්තකිලමතානුයෝගය තරම් මිනිස් ශරීරයට වදහිංසන ලබානොදුන්න ද මේවා තුල ද කැප කිරීම් රාශියක් විය. එය අපට ගෞතම බුදුන්ගේ ජීවිතය තුල දක්නට තිබුණි. ඉන් කිහිපයක් පවසනවා නම්,

  • දෙමාපියන්ගෙන් ඈත්වීම
  • බිරිදගෙන් ඈත්වීම
  • දරුවන් ‍‍ගෙන් ඈත්වීම
  • සැප සම්පත්වලින් දුරස්වීම

ඉහත අංශ 04 මිනිස් ජීවිතයේ ඉතා වැදගත් සංධිස්ථානයන්ය. මේවායින් මිදී ජීවත්වීම යනු මිනිසා විසින් ආයාසයෙන් හා විශාල කැපකිරීමන් මගින් පමණක් ළඟා කර ගතහැකි තත්වයකි. එසේම මෙය විටෙක සාධාරණී කරණය කරන පුද්ගලයන්ට පවා ප්‍රායෝගික නොවන තත්වයකි. මෙම තත්වය ලාංකීය බුදුදහමේ පමණක් නොවේ. කිතුණු දහමේ ද දක්නට ඇත. කිතුණු දහමේ යම් යම් නිකායන් එහි පූජකවරුන් ට (පියතුමන්ලාට, කන්‍යාවීන්ට) විවාහය තහනම් කිරීම තුලද, ලොකික සැප සම්පත්වලින් දුරස් කිරීම තුලද ඉහත තවුස් දිවියේ අංග ලක්ෂණයන් එහි අන්තර්ගතව තිබෙනවා යන්න මනාව පිලිඹිබුවේ.

මේ අනුව ඉහත තත්වයන් සියල්ල සාරංශ කොට පවසන්නේ නම් ශරීරයට දැඩි දුක්දීම සහා අවම පහසුකම් භුක්තිවිදීම තුලින් තමන් මෙතෙක් සිදුකර ඇති පාපකර්මයන් ගෙවීයන බවත්, තවදුරටත් තාපස ජීවිතයේ තම ජීවිතය ගෙවාදැමීම තුල අළුත් පාපයන් සිදු නොවන බවත්, දැහැම් ජීවිතයක් ගතකරන නිසා කුසල් පමණක් රැස්වන බවත්, ඒ තුලින් තම ශරීරය හා ආත්මය පාරිශුද්ධත්වයට පත්ව ජීවිතයේ විමුක්තිය ලබන බවත් ඔවුන්ගේ මූලික විශ්වාසයයි.

එසේ නම් ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද?

ඉහත සදහන් ආකාරයේ ජීවන රටාව ඉස්ලාම් අනුමත නොකරයි. දිව්‍යමය මඟපෙන්වීම් පදනම් කරගත් ඉස්ලාම් මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. මනුෂ්‍ය ශක්තිය ඉක්ම වූ දර්ශනයක් ඉස්ලාම් අන නොකරයි. ඉස්ලාම් පවසන සියල්ල සියළු දෙනාට ප්‍රායෝගිකය. එය ඉස්ලාමයේ මූලික ලක්ෂණයකි. ඒ අනුව මුස්ලීම්වරයෙකු තම ජීවිතයේ විමුක්තිය ලඟාකර ගැනීමට නම් ඔහු ඉස්ලාම් මඟපෙන් වන ආකාරයට ක්‍රියා කලයුතු මිස දහම නමින් තම ශරීරයට හිංසනයන් සිදුකර ගනිමින් හෝ තම ශරීරයට තමා විසින් ඉටු කලයුතු හා තමා විසින් තම පවුලේ අයට හා තමා අවට පිරිසට කලයුතු යුතුකම් පසෙකලා ඒ තුලින් ලබාගත හැකි විමුක්තියක්, ජයක් ඉස්ලාම් දේශනා නොකරයි. මෙය වඩාත් හොදින් අවබෝධකර ගැනීම සදහා ඉස්ලාමීය මූලාශ්‍රයන් හි සදහන් කරුණු කිහිපයක් කෙරෙහි දැන් අවධානය යොමු කරමු.

  • “දිනක් නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ නිවසට පැමිණි එතුමාගේ පරිවාරක (සහාභාවරුන්) තිදෙනෙකු (එතුමා නිවසේ නොසිටි නිසා) එතුමාගේ බිරිද (ආයිෂා (රලි) තුමිය)ගෙන් නබිතුමාගේ දෛනික ජීවිතය පිලිබදව විමසන ලදී. එයට එතුමිය ‘එතුමා විටෙක උපවාසය රකිනවා විටෙක රාත්‍රිය පුරාවට වදිනවා තම බිරින්දෑවරුන් සමඟ හොදින් කාලය ගත කරනවා’ යයි පවසන ලදී. එයට පැමිණ සිටී තිදෙනා පහත ආකාරයට පවසන ලදී.
    • පළමු වැන්නා – ”මම මින් ඉදිරියට ජීවිතකාලය පුරාවටම උපවාසය රකිමි.”
    • දෙවැන්නා – ”මම මින් ඉදිරියට ඉතිරිව ඇති ජීවිත කාලයේ රාත්‍රිය පුරාම වන්දනාවෙහි නිරත වෙමි.”
    • තෙවැන්නා – “මා කිසිදු දිනක විවාහපත් නොවී මුළු ජීවිත කාලයේම වන්දනාමානවල පමණක් නිරත වෙමි.”

මෙසේ ඔවුන් පවසන විට එම ස්ථානයට නබිතුමාණන් පැමි‍ණෙන ලදී. එම ස්ථානයට පැමිණී නබිතුමාණන් ඔවුන් පවසන ලද කරුණු පිලිබදව විමසා දැනගැනීමෙන් අනතුරුව මෙසේ පවසන ලදී.

“මා නුඹලාට වඩා දෙවියන් කෙරෙහි බිය වන්නෙකි. එසේ තිබිය දී මා උපවාසය රකින්නකු ලෙසද සිටිමි එසේ නොකරන්නෙකු ලෙසද සිටිමි (අඛණ්ඩව නොකල බව පවසයි). රාත්‍රිය පුරාවට වදින්නෙකු ලෙසද සිටිමි. එසේ නොකරද සිටිමි (මෙය ඉස්ලාම් ශ්‍රේෂඨ වූ වන්දනයක් ලෙස අවධාරනය කරන්නකි – එයත් අඛණ්ඩව නොකල බව පවසයි). මා විවාහපත්ව බිරින්දෑවරැන් සමඟ යහපත් ජීවිතයක් ගතකරමි. මේවා සියල්ල මාගේ ආදර්ශයන් වේ. (නබිතුමාණන්ගේ ආදර්ශයන් යනු ඉස්ලාමයේ ප්‍රධාන අංගයක් වන අතර මෙය ”හදීස්” නමින් හදුන්වයි) කව්රැන් එය ප්‍රතික්ෂේප කරන්නේ ද ඔවුන් මාව ප්‍රතික්ෂේප කරන ලද්දෙකු (ඔහු මුස්ලීම් නො)වන්නේය”

ග්‍රන්ථය බුහාරී 4675

ඉහත හදීසයෙන් කරුණූ කිහිපයක් පැහැදිලි වේ. ඒවා එකින් එක බලන්නේ නම්,

උපවාසය– ඉස්ලාම් අනිවාර්‍ය කරුණු 05ක් අතුරින් තුන්වන ස්ථානය හිමිවන උතුම් වූ සත්ක්‍රියාවක් තමා උපවාසය, නමුත් එය කොතරම් උතුම් කාර්‍යයක් වුවත් අඛණ්ඩව සිදුකරමින් තම ශරීරයට කලයුතු යුතුකම්වලට කිසියම් හානියක් සිදුකරන්නේ නම් එයට ඉස්ලාම් අවසර ලබා නොදෙනවා පමණක් නොවේ එසේ කිරීම ඉස්ලාමයෙන් බැහැරවන තරම් බරපතල වරදක්, පාපයක් ලෙස ඉස්ලාම් අවධාරනය කරයි.

රාත්‍රි වන්දනය– මෙය ඉස්ලාම් සෑම මුස්ලීම්වරයෙකුටම උනන්දු කරවන උතුම් කුසල් ක්‍රියාවකි. මන්ද මුළු ලොවම නින්දෙහි පසුවන ඒ මොහොතේ කිසිවකු අවදිව දෙවියන් වන්දනා කරයි නම් ඒ මොහොත ඔහු හා දෙවියන් අතර සමීපතම මොහොත බවට ඉස්ලාම් පවසයි. එවන් වූ සත්ක්‍රියාවක් අඛණ්ඩව කිරීම තුලින් මිනිසා තම ශරීරයට හා තම බිරිදට කලයුතු යුතුකම් අතපසු වේ. එමනිසා එයත් ඉස්ලාම් පාපයක් ලෙස දකී. මේ පිලිබදව වරක් නබිතුමාණන් පැවසීමේ දී ”නුඹලා මිනිසුන් වශයෙන් ඇසට, ශරීරයට හා බිරිදට කලයුතු යුතුකම් ඇත. නුඹ ඇසට කරන යුතුකම තමා එයට නින්ද ලබාදීම නුඹ බිරිදට කරන යුතුකම තමා ඇයගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම…” යනුවෙන් මිනිසාගේ යුතුකම් පැහැදිලි කරන ලදී.

විවාහය– අද බොහෝ ආගම් හා දර්ශනයන් මිනිස් දිවියේ විමුක්තියට ලොකුම බාධකයක් ලෙස දකින එසේම ප්‍රතික්ෂේප කරන ප්‍රධාන අංගයක් තමා විවාහය. නමුත් ඉස්ලාම් ”තරැණයණේ!, නුඹලා විවාහපත් වයස ලබා ඇත්නම් විවාහයට ඉක්මන් වන්න” යයි එය දැඩිව අවධාරනය කරයි. එසේම මුස්ලීම්වරයෙකු විවාහ වීමද කුසල් ලැබෙන අනිවාර්‍ය අංගයක් ලෙස පවසයි. නමුත් ඉස්ලාමය ප්‍රකාශ වූ ආරම්භ සමාජයේ විවාහය වර්ථමානයේ මෙන්ම කුසල් රැස්කිරීමට බාධා පමුණුවන කාර්‍යයක් ලෙස සලකා ඇති බව පහත නබිවදනින් අවබෝධ වේ.

“උස්මාන් ඉබුනු මව්දූන්(රලි) තුමා මුහම්මද් (සල්) තුමාණන් හට ඉතා ප්‍රියමනාප පරිවාරක (සහාභිවර)යෙකි. නබිතුමාණන්ට පෙර මියගිය මොහුගේ ශරීරය භූමදානය කල නබිතුමාණන් ගලක් ගෙන එහි සලකුණක් තබන ලදී. ඉන්පසු මෙසේ පවසන ලදී ‘මාගේ පවුලේ කිසිවකු මියගියේ නම් ඒ අය මොහු සමීපයෙහි භූමදානය කරමි’. ඒ තරම් ශ්‍රේෂ්ඨ සහාභිවරයා දිනක් නබිතුමාණන් හමුවට පැමිණ,

‘මට විවාහයක අවශ්‍යතාවය තිබේ නමුත් මා විවාහපත් වුවා නම් නිසි ආකාරව කුසල් කටයුතුවල නිරතවීමට නොහැකි වේදෝ යන බියක් මා තුල ඇත. එම නිසා මාගේ කාමුක හඟීමන් සතුන්ගේ මෙන් ඉවත් කරගැනීමට නබිතුමණි මට අවසර ලබාදෙන්න’ (මෙවැනි ක්‍රමයක් වර්ථමානයේත් ගවයින් සදහා භාවිතා කරන නමුත් එදා මනුෂ්‍යයන් සදහා කුමණ ආකාරයේ ක්‍රමයක් එම සමාජයේ භාවිතයේ තිබුණාද යන්න පිලිබදව පැහැදිලි තොරතුරක් සොයාගත නොහැකි විය. නමුත් මෙම නබිවදන තුලින් ඉස්ලාම් එය අනුමත නොකලත් එවැනි ක්‍රමයක් එම සමාජය තුල පැවත ඇති බව ‍තහවුරු වේ) යයි විමසන ලදී. එය අසා දැඩිලෙස කොපයට පත් වූ නබිතුමාණන් ‘එයට අවසර නැහැ අවශ්‍ය නම් උපවාසය රකින්න’ යයි පවසන ලදී.”

ග්‍රන්ථය බුහාරී 4685

ඉහත නබිවදනින් පැහැදිලි වන්නේ කුමක්ද? කුසල් රැස්කිරීම මිනිසාගේ විමුක්තියට අත්‍ය අවශ්‍ය අංගයක් වුවත් එය මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වන විවාහ අවශ්‍යතාවය මැඩපවත්වමින් සිදු නොකලයුතු බව නොවේද? මේවා තුලින් ඉස්ලාම් මිනිසාගේ අවශ්‍යතාවයන් කොතරම් ගැඹුරින් අවබෝධ කරගෙන එය ආරක්ෂා කර දෙනවාද? යන්න පැහැදිලි වනවා නොවේද? මෙය තවදුරටත් හොදින් අවබෝධ කර ගැනීමට තවත් නබිවදනක් කෙරෙහි අවධානය යොමු කලේ නම්,

  • “හිජ්රත් (මක්කාවෙන් මදීනාවට සහාභාවරැන් පැමිණීම) සිදුවූ දවසේ අබුදර් (රලි) තුමාණන් සමඟ සල්මාන් ෆාරිස් (රලි) තුමාණන් සහෝදර බැදීමක් ලෙස නබිතුමාණන් නම්කර ඔවුන් දෙදෙනා එක් කරන ලදී. එම සල්මාන් ෆාරිස් (රලි) තුමාණන් දිනක් නිවසට එනවිට අබුදර් (රලි) තුමාගේ බිරිද කිලුටු ඇදුමින් හා නිසි ආකාරව කොණ්ඩය පවා නොපීරා දුක්මුසු අයුරින් සිටිනු දැක විශ්මයට පත් සල්මාන් ෆාරිස් (රලි) තුමා ‘ඇයි ඔබ මෙලෙස සිටින්නේ’ යයි විමසන ලදී. එයට ඇය. ‘අබුදර් (ස්වාමියා) ලෞකික කාරණයන් හි කිසිදු තැකීමක් නොකොට රාත්‍රිය පුරාවට වන්දනාමානවල නිරතවේ. දහවල පුරාවට උපවාසය රකී. මට කලයුතු යුතුකම් කිසිවක් ඔහු ඉටු නොකරයි.’ යයි පවසන ලදී. එසේ පවසන විට එතැනට පැමිණි අබුදර් (රලි) තුමා, සල්මාන් ෆාරිස් (රලි) තුමා හට දහවල් ආහාර ගෙනත් දී එය කන ලෙස පවසන ලදී. එවිට සල්මාන් තුමා ‘ඔබත් මා සමඟ කෑමට ගැනීමට එන්න’ යයි පවසන ලදී. එයට අබූදර් තුමා ‘මම උපවාසයේ සිටිමි’ යයි පවසන ලදී එයට සල්මාන් තුමා ‘නුඹ අනුභව නොකරන්නේ නම් මාද අනුභව නොකරමි’ යයි පවසන ලදී. අවසානයේ අබුදර් තුමා උපවාසය අත්හැර ඔහු සමඟ ආහාර ගන්නා ලදී. ඉන්පසු එදා රාත්‍රියේ අබුදර් (රලි) තුමා වන්දනා මානවල නිරතවීමට සූදානම් වූ විට සල්මාන් ෆාරිස් (රලි) තුමා එයට බාධා කරමින් ඔහුව නිදි කරවන ලදී. ඉන්පසු අළුයම සල්මාන් ෆාරිස් (රලි) තුමා නැගිට. අබූදර් (රලි) තුමාවද නැඟිට්ටුවා අළුයම සලාතය දෙදෙනාම එක්ව ඉටුකිරීමෙන් අනතුරුව සල්මාන් ෆාරිස් (රලි) තුමා අබුදර් (රලි) තුමාට ‘ඔබ දෙවියන්ට මෙන්ම ඔබේ බිරිදටත් ඔබේ ශරීරයටත් කලයුතු යුතුකම් තිබේ’ යයි පවසන ලදී. නමුත් සල්මාන් ෆාරිස් (රලි) තුමාගේ ක්‍රියාවෙන් කෝපයට පත් අබුදර් (රලි) තුමා උදෑසනම නබිතුමාණන් හමුවට පැමිණ රාත්‍රිය පුරාවටම සිදුවූ සිද්ධීන් විස්තර කරමින් සල්මාන් ෆාරිස් (රලි) තුමාට චෝදනා කරන ලදී. එයට නබිතුමාණන් ‘සල්මාන් සත්‍යයම තමා පවසා ඇත්තේ’ යයි එම ක්‍රියාව අනුමත කරන ලදී.”

ග්‍රන්ථය බුහාරී 2337, 5674

ඉහත නබිවදන මා අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇත. ලොව සෑම දහමක්ම දර්ශනයක්ම ඇදහිලි හා වතාවත් කෙරෙහි පමණක් උනන්දු කරවන විට ඉස්ලාම් කුමක් පිලිබදව කථා කරන්නේද? මනුෂ්‍ය‍ාගේ මූලික අවශ්‍යතාවයන් නිසි ආකාරව නොසපුරා ඔහුට දැහැම් ජීවිතයක් ගත කරන්න යයි පැවසීම ප්‍රායෝගික නොවන කාරණයකි. කෙටි කාලීනව යම් යම් ප්‍රථිපලයන් තිබුනද, නියත වශයෙන්ම දීර්ඝ කාලීනව එහි ඇත්තේ සමාජ පරිහානියක් පමණි. එය අන්‍ය ආගමික පූජකවරුන් සම්බන්ධයෙන් දිනපතා පුවත්පත් හා මාධ්‍ය්‍යන් හරහා ප්‍රකාශ වන ප්‍රවෘත්ති තුලින් මනාව පිලිබිඹු වේ. එම නිසයි මනුෂ්‍යයා පිලිබදව පුර්ණ අවබෝධයක් ඇති දෙවියන් ප්‍රථමයෙන් ඔහුගේ දුර්වලතාවයන් සදහා අවස්ථාව සලසා දෙන්නේ. මෙය තවදුරටත් වටහා ගැනීමට පහත නබිවදන ඔබට ප්‍රයෝජනයක් වනු ඇත.

  • “දිනක් නබිතුමාණන් තම පරිවාරකය (සහාභාවරැ)න් හමුවේ මෙසේ පවසන ලදී. ‘නුඹලා නුඹලාගේ බිරින්දෑවරැන් සමඟ ලිංගිකව එක්වීම හේතුවෙන් දෙවියන් නුඹලාට කුසල් ලබාදෙයි’ එය අසාසිටී එක් සහාභාවරයෙක් ‘නබිතුමණි! අප අපගේ අවශ්‍යතාවයන් සංසිදුවා ගැනීමට එසේ කරන්නෙමු එයටත් පිං (කුසල්) ලැබෙනවාද?’ යයි විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඔව්, එසේ නුඹලා නොකොට එය වැරදි මාර්ගයකින් (අනියම් සම්බන්ධතාවයන්, සමලිංගික ඇසුර…) ඉටු කලේ නම් එයට පව් (අකුසල්) සිදුවනවා නොවේද? එසේ නොකොට දෙවියන් අනුමත ආකාරයට නුඹලා ක්‍රියා කිරීම නිසා නුඹලාට කුසල් හිමිවේ.’ “

ග්‍රන්ථය මුස්ලීම් 1674

එසේ නම් මනුෂ්‍යාගේ මුලික අවශ්‍යතාවය කොතරම් වැදගත් අංගයක්ද යන්න පිලිබදව ඔබට දැන් අවබෝධයක් ඇතැයි සිතමි. එසේම ඉස්ලාම් අවධානය යොමු කරන්නේ මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් වන විවාහ ජීවිතය හා ඒහා බැදුණු කාරණයන් සදහා පමණක් නොවේ. පහත නබිවදන කෙරෙහි ඔබේ බුද්ධිමත් අවධානය යොමු කරන්නේ නම්,

  • “වරක් නබිතුමාණන් හමුවට පැමිණි සහාභිවරයෙක් මෙසේ විමසන ලදී. ‘මම සංචාරයක නිරත වූ අවස්ථාවේ එක්තරා සුන්දර සාරවත් ප්‍රදේශයක් දුටුවෙමි. මට අවසර දෙන්න එම ස්ථානයේ රැදී කුසල් ක්‍රියාවන් හි පමණක් නිරතව මාගේ ඉතිරි කාලය ගෙවා දමන්නට’ එයට නබිතුමාණන් ‘මා නුඹලාට යුදෙව් හෝ කිතුණු දහමක් ගෙන නොආවෙමි එයට ඉස්ලාමයේ අවසර නැත’ යයි පවසන ලදී.”

ඉස්ලාම් තාපස දිවිය ප්‍රතික්ෂේප කරනවා යන්න තහවුරු කරන ප්‍රබල සාක්ෂියක් තමා ඉහත හදීසය (නබිවදන). මනුෂ්‍යන් වශයෙන් තම අවට සමාජයට කලයුතු යුතුකම් කොටසක් ඇත. ඉන් බැහැරවීමට කිසිදු මුස්ලීම්වරයෙකුට අවසර නැත. එය ඉහත හදීසය මනාව පෙන්වා දෙයි. අනික මිනිස් වාසයෙන් බැහැරව හුදෙකලාව ජීවත්වීම යන්න ජීවිතයේ කරන විශාල කැප කිරීමක් නොවේ. කිසිදු වරදක් සිදුවීමට අවස්ථාවක් නොමැති තැනක සිටගෙන ”මා කිසිදු අවස්ථාවක වරදක් නොකරන කෙනෙකි” යයි පැවසීම විහිළුවකි. වරදට පොළොඹවන සියළු තත්වයන් අප අවට තිබිය දී වරදක් නොකර ජීවත්වීම තමා සැබෑ හික්මීම හා කැපකිරීම වන්නේ. ඒ අනුව මිනිස් වාසයෙන් බැහැරව ආගමික කටයුතුවල පමණක් නිරතව ජීවත් වීම ඉස්ලාම් පෙන්වා නොදෙන එසේම ප්‍රතික්ෂේප කරන කාරණයකි.

මේ අනුව විවාහ ජීවිතයේ වැදගත්කමත් සමාජ වගකීම් පිලිබදවත් ඉහත හදීසයන් හෙවත් නිබිවදන් තුලින් පැහැදිලි කරන ඉස්ලාම් අද ලොව බොහෝ ආගම් හා දර්ශනය අවදාරනය කරන තම ශරීරයට හිංසනයන් සිදුකර ගැනීම තුලින් දෙවියන්ට සමීපවීම හා විමුක්තිය ලබාගැනීමේ ක්‍රමය ප්‍රතික්ෂේප කරයි. මෙය වඩාත් හොදින් අවබෝධ කර ගැනීම සදහා පහත නබිවදන හෙවත් හදීසය කෙරෙහි කෙරෙහි දැන් අවධානය යොමු කරමු.

  • “අබූ ඉස්රාඊල් (රලි) තුමා නැමැති සහාභාවරයෙකු සිකුරාදා දිනක දේවස්ථානය ඉදිරිපිට අව්වෙහි සිටගෙන තම දේශනයට සවන්දෙනවා දුටු නබිතුමාණන් ‘ඔහු ඇයි අව්වෙහි සිටින්නේ?’ යයි විමසන ලදී. එයට එතැන සිටි වෙනත් සාහාභාවරයෙකු ‘ඔහු භාරයක් වී තිබෙනවා අව්ව තිබෙන හැම මොහොතේම අව්වේ ඉන්නවා කියා’ යයි පවසන ලදී. එයට නබිතුමාණන් ඔහුව දේවස්ථානය තුලට කැදවා එතැනට රැස්ව සිටී පිරිසට ‘මොහු කරන මෙම ක්‍රියාව අල්ලාහ්ට (දෙවියන්ට) කිසිදු ආකාරයක අවශ්‍යතාවයක් නැති ක්‍රියාවකි’ යයි පවසන ලදී.”

ග්‍රන්ථය බුහාරී 6210

  • “අනස් (රලි) තුමා මදීනාවේ සිට මක්කාවට (සැතපුම් 300ක් පමණ) පයින්ම ගොස් හජ් වන්දනය (ඉස්ලාමීය අනිවාර්‍ය යුතුකම් 05න් පස්වැන්න) ඉටු කිරීමට භාරයක් වූ බව නබිතුමාණන් දැන එය වලක්වන ලදී.”

ග්‍රන්ථය බුහාරී 6207

  • “අබ්දුල්ලා ඉබුනු අම්ර් (රලි) තුමාහට නබිතුමාණන් මෙසේ අවවාද කරන ලදී ‘ඔබ රාත්‍රිය පුරාවට වැද දහවල් පුරාවටම උපවාසය රකින බව මට දැනගන්නට ලැබුණි. එසේ නොකරන්න ඔබ ඔබේ ශරීරයට කලයුතු යුතුකම් රැසක් ඇත. ඇසට කලයුතු යුතුකම් ඇත. ඔබේ බිරිදට කලයුතු යුතුකම් රැසක් ඇත.’ එයට ඔහු ‘නබිතුමණි! එසේ කිරීමට මට ශත්කිය තිබේ’ යයි පවසන ලදී. නමුත් ඔහුගේ එම ක්‍රියාවට නබිතුමාණන් අවසර ලබාදුන්නේ නැත.”

ග්‍රන්ථය මුස්ලීම් 1973

ඉහත නබිවදන් තුනෙන් පැහැදිලි වන ප්‍රධාන කාරණා දෙකක් ඇත. එනම් තම ශරීරයට හිංසනයන් පමුණුවා ගනිමින් ඒ තුලින් විමුක්තියක් ලඟාකර ගැනීමේ සිරිතක් වර්ථමානයේ මෙන්ම එම සමාජයේ පැවත ඇති බවයි. අනෙක් කාරණය එය ඉස්ලාම් දැඩිව ප්‍රතික්ෂේප කලා යන්නයි.

ඒ අනුව මනුෂ්‍යාගේ මූලික අවශ්‍යතාවයන් කඩවන හෝ එය ආරක්ෂා නොවන කිසිදු ක්‍රියාවලියක් සදහා ඉස්ලාම් අවසර ලබා නොදේ. මන්ද ඉස්ලාම් මිනිස් චින්තනවලින් බැහැර වූ දේව සැලැස්මක් මත පදනම් වූ දහමක් වූ බැවිණි. මේ අනුව ඉස්ලාම් දහම තුල තවුස් දිවියක් හෝ වෙනයම් ආකාරයක මනුෂ්‍ය අයිතීන් හෝ අවශ්‍යතාවයන් උදුරාගන්නා ආකාරයේ මඟපෙන්වීමන් නොමැත. ඉස්ලාමීය ඉගෙන්වීම වන්නේ මිනිසා තම ජීවිතයට මනුෂ්‍යත්වය තුල හිද මුහුණ දී, දෙවියන්ට අවනතව තම යුතුකම් හා වගකීම් නිසි ලෙස හදුනාගෙන ඉටුකොට ඒ තුලින් තම විමුක්තිය හා ජය ලඟාකර ගතයුතු යන්නයි.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *