තරුණයනි! කැරකිලා නොව නැගිටලා එන්න

0

රටක ජාතියක පැවැත්මෙහි ජීවනාලිය වන්නේ එම රටේ තරුණ පරපුරයි. ඔවුන් රටේ කොදුනාරටියයි. ඔවුන් රටේ ශ‍්‍රම හමුදාවයි. එවන් වු එම තරුණ පරපුර වල්මත් වු කල්හි එම රටට, සමාජයට හා ජාතියට තවදුරටත් පැවැත්මක් නැත. වර්ථමාන එම අභිමානවත් තරුණයා අද පානගමින් සිටින්නේ කොයිබටද? ඔහුට ඔහු අවට සමාජයෙන් කරන ඇරයුම කුමක්ද? ඒ තමා වර්ථමාන සමාජයේ බහ තෝරන කුඩා දරුවන් පවා මුමුණන,

“එන්න මල්ලි එන්න නංගි කැරකිලා…”

මේ ආමන්ත‍්‍රණය කරන්නේ රටක, ජාතියක හෙට දවස භාරගන්නට සිටින අභිමානවත් තරුණයා වෙත නොවේද? මෙවැනි වකවානුවක තාරුණ්‍යයේ මහිමය පිලිබදවත් ඔහු ගෙවා දමන කාලය පිලිබදවත් මුළු මහත් සමාජයේම අවධානය යොමු කිරීමේ වගකීමක් සෑම ජාතියකටම පැවරී ඇත. මන්ද මෙම ගීතයෙන් තරුණයා හට “කැරකිලා” එන ලෙස ආරාධනයක් කලත් නැතත් මේ අභිමානවත් තරුණයා අද කැරකෙමින් හා විසිවෙමින් සිටින බැවිණි. විශේෂයෙන් තාරුණ්‍යයේ මහිමය හා එහි වටිනාකම පිලිබදව දැඩිව අවධාරනය කරන දහමකට උරුමකම් කියන මුස්ලීම්වරුන් වන අප මේ පිලිබදව වඩ වඩාත් අවධානය යොමු කලයුතුවේ. මේ තරුණ අවධිය පිලිබදව ඉස්ලාම් බොහෝ කරුණු කථා කලද ඉන් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කලේ නම්,
එක්තරා අවස්ථාවක නබිතුමාණන් මෙසේ පවසන ලදි.

“මිනිසුන්ගෙන් බහුතරයක් (මුලාවට පත්ව ඔහුට හිමිව පවතින) භාග්‍යයන් දෙකක් අහිමි කරගන්නේය.” එනම්,

  • නිරෝගි බව
  • විවේකය

දන්වන්නේ :- ඉබුනු අබ්බාස් (රලි)
ග‍්‍රන්ථය :- බුහාරී

නිරෝගිමත්කම හා කාලයෙහි වැදගත්කම ඉහත නබිවදනින් මනාව පැහැදිලි වේ. තාරුණ්‍යය යනු ඉතා නිරෝගිමත්, කාර්‍යක්‍ෂම මෙන්ම නව පිබිදුමක් හා ජවයක් රැඳි අවදියකි. ඕනෑම කාර්‍යයක් සාර්ථකව ඉටුකිරීමට තරම් ආත්ම ශක්තියක් හා ජවයක් ඇති ඕනෑම අභියෝගයක් අභියෝගාත්මකව බාරගන්න ප‍්‍රිය කරන අවදියකි. එවන් වු අභිමානවත් තාරුණ්‍යය රටක ජාතියක අභිවෘද්ධිය සදහා මෙහෙයවනවා වෙනුවට බුද්ධිමත් ලෙස ක‍්‍රියා කරන බවට තමාව තමන්ම රවටාගෙන තාරුණ්‍යයේ වටිනා කාලය නිෂ්පල ක‍්‍රියාවන්වල ගෙවා දමමින් සිටි. මෙම තරුණ අවදිය විනෝද වෙන්නටත්, නිෂ්පල ක‍්‍රියාවන් මගින් ගෙවා දමන්නටත් මිස වෙන කිසිවක් සදහා නොවන බව ඔවුන්ගේ ක‍්‍රියාවන් තුලින් සමාජයට අවධාරනය කරමින් සිටී. ඔවුන්ගේ අදහස සමාජ වගකීම් හා යහක‍්‍රියාවන් යනු යම් වයස් සීමවකින් පසු කලයුතු කාර්‍යයක් මිස තරුණවියේ කරන කාර්‍යයක් නොවේ යන්නයි. එනම් එය මහළු අවදියට උරුම වු තරුණ්‍යයට නොගැලපෙන කාර්‍යයක් යන්නයි.

අභිමාණවත් තරුණයනි, වාදයකට ඔබ පවසන ආකාරයට තමා එය කලයුත්තේ යයි උපකල්පනය කලත් අප එම අවදිය පසුකරාවි යන්නට අපට ඇති සහතිකය කුමක්ද?. අපටම උරුම වු මරණය අපව කොයි මොහොතේ ඩැහැගනීවිද යන්න කවරෙකුට නම් පැවසිය හැකිද?. මේ පිලිබදව එනම් මිනිස් ජීවිතයේ ඔහු පසු කරන විවිධ අදියරයන් හා එහි ස්වභාවය පිලිබදව පැහැදිලිවම ශුද්ධ වු අල්කුර්ආනයේ 22:5 වාක්‍යයෙන් අල්ලාහ් දෙවියන් මෙසේ පවසයි,

“…පසුව නුඹලාව බිළිදන් ලෙස බිහි කරන්නෙමු. පසුව නුඹලාට නුඹලාගේ තරුණ අවධිය ලබන්නට හරින්නෙමු. තවද ඒ අතරතුර (ඔවුන් අතුරින්) මරණයට පත්වන්නන් ද සිටී. (ජීවත් වී) බුද්ධිය ද ලබා කිසිවක් නොදන්න (දුර්වල) පිරිසක් බවට පත්වන මහල්ලන් දක්වා ජීවත් වන්නට ඉඩ හැරී පිරිස ද සිටී.”

ඉහත දේව වාක්‍යයෙන් අපට පැහැදිලි වන්නේ කුමක්ද? මරණයට නිශ්චිත වයස් සීමාවක් නොමැති බව නොවේද? අප මෙය අවට සමාජයේම කොතරම් දැක තිබෙනවාද? “මේ හිටියා මේ මැරුණා” යන කියමන කොතරම් නම් අසා තිබෙනවාද? ඉතින් කෙසේද යහක‍්‍රියාවන් සදහා මහළු වනතුරු බලා හිදින්නේ. මරණය අභියස සිටින අප නීරෝගිව සිටින මොහොතේ ලෞකික හා ලෝකොත්තර ජීවිතය ජය ගන්නට කටයුතු කරනවා වෙනුවට විනෝදයටත් නිෂ්පල කාර්‍යයන්වලටත් පමණක් මැදිකොට තරුණ අවදිය ගෙවා දැමීම කොතරම් අනුවනක්කාර ක‍්‍රියාවක්ද? මේ ආකාරයට ගෙවීයන්නේ වටිනා තරුණ අවධිය පමණක් නොවේ. නැවත කිසිදු දිනෙක යලි අප මුණ නොගැසෙන කාලය ද මේ සමඟ අපෙන් ගිලිහී යයි. මේ ආකාරයට මිනිස් ජීවිතයේ මිල කල නොහැකි වටිනාම සම්පත් දෙක වන තරුණ්‍යය හා කාලය අප මේ වනවිටත් අහිමි කරගනිමින් සිටින්නෙමු.

එදා ඉස්ලාමයේ ආරම්භක තරුණ සහාභාවරුන් තම තරුණ ජවයත්, ශ‍්‍රමයත්, කාලයයත් ඉස්ලාම් දහමේ උන්නතිය තකා කැප කොට ඉස්ලාමීය දහම මේ පොලොව මත යලි කිසිදු දවසක විනාශ නොවන ආකාරයට ස්ථාපනය කරන ලදී. ඒ බොහෝ දෙනෙකුගේ කැපවීමන් හා පරිත්‍යාගයන් මැද ආරක්‍ෂා වී අපට ලබාදී ඇති මේ දහම කෙරෙහි වගකීමන් හා යුතුකම් එදා ජීවත් වු ඔවුන්ට මෙන්ම අපට ද ඇත. එදා ඔවුන් ඉටුකල එම මෙහෙවර අද අප උරට ගතයුතුයි. තාරුණ්‍යයත්, කාලයත් තමන්ටත්, ජාතියටත්, රටටත් පලදායි ආකාරයට යෙදවිය යුතුයි. මන්ද මේවා ජීවිතයේ ආපසු කිසිදු දිනයක යලි ලබාගත නොහැකි භාග්‍යයන් එය ඉතා පරිස්සමෙන් හා නුවනක්කාරීව සිදුකල යුතුයි. හරියට ලෝභියෙකු තම ධනය වැය කරන ආකාරයට. ලෝභියෙකු තමා වැය කරන හැම සතයක් පිලිබදවම හොද අවබෝධයකින් සිටී. එසේම ඒ වැය කරන හැම සතයකින්ම කුමක් හෝ වාසියක් බලාපොරොත්තු වේ. එසේම අරපිරිමැස්මෙන් හා පරිස්සමෙන් මුදල් පරිහරණය කරයි. ඒ ආකාරයට සෑම තරුණයෙකුම තම තරුණ්‍යය හා කාලය කළමණාකරණය කරගත යුතුය. තමා ගෙවා දැමුවත් එසේ නොකලත් තමාට අහිමී වී යන ඒ වටිනා කාලයත් තාරුණ්‍යයත් තමන්ට පලදායි ආකාරයට පත්කරවා ගත යුතුය. මිනිසුන් අතුරින් බොහෝ දෙනෙකු තමා පසුකල ඒ වටිනා තරුණ අවධිය පිලිබදව පසුතැවෙන්නේ කිසිවක් කර කියාගත නොහැකි මහළු අවධිය ලැබීමෙන් අනතුරුවයි. එවන් තත්වයකට අප ද පත්වියයුතු නොවේ.

මේ පිලිබදව වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී. එනම්,

“කිසිදු මිනිසෙක් (විනිශ්චය දිනයේ දී) ලෞකික ජීවිතයේ දී තම ජීවිත කාලය කොයි ආකාරයට ගතකලාද? යන්නත් තම තරුණ අවදිය කොයි ආකාරයට ගතකලාද? යන්නත් ප‍්‍රශ්නවලට පිළිතුරු නොදී කියාමත් (විනිශ්චය) දිනයේ තමා සිටින ස්ථානයෙන් එක් අඩියක් වුවද සෙලවිය නොහැක.”
ග‍්‍රන්ථය :- තිර්මිදි

මෙනිසා මිනිසා කාලයේ මහිමය අවබෝධ කරගෙන කාලයට සමාන්තරව ඉලක්කයන් ද ගොඩනගා ගෙන එම ඉලක්කයන් කරා ගමන් කලයුතුවේ. එසේ තම ජීවිතය සකසා ගන්නේ නම් මෙලොව මෙන්ම පරලොව ජීවිතය ද මිනිසාට යහපත් වනු ඇත. ඔහුගේ ජීවිත සැලැස්ම වාහනයක ගමන් කරන මගියෙකුගේ බදු විය යුතුය. උදාහර්ණයක් ලෙස දුම්රියක ගමන් ගන්නා මගියෙකු හට තම අවට ඇති ගස්කොලන් හා අනිකුත් භාහිර වස්තූන් ගමන් කරන්නා සේ පෙනෙනු ඇත. ඒ අනුව කිසිවකු තමා ගමන් කලේ නැති බවත් ගස්කොලන් තමා ගමන් කලේ යයි කිසිවකු සිතයි නම් එය මුලාවකි. ඒ ආකාරයට අප ජීවිත ගමනේදීත් මුලා නොවී සත්‍යය අවබෝධ කරගෙන ක‍්‍රියා කරන්නේ නම් කාලයට සමාන්තරව අප ද ගමන් කලයුතු වේ. ඉස්ලාම් කාලය වටිනාම කාරණයක් ලෙස සලකයි. එය කොතරම් වැදගත් කාරණයක් ලෙස සලකනවාද යන්න පවසනවා නම් දෙවියන් සමහරක් කරුණු ශුද්ධ වු අල්කුර්ආනයේ පැවසීමේ දී “කාලය මත දිවුරා කියමි…” යනුවෙන් කාලය මත දිවුරයි. යමක් මත කව්රුන් හෝ දිවුරන්නේ නම් ඒ දිවුරන කාරණය ඉතා වටිනා කාරණයක් වියයුතුයි යන්න මා අමුතුවෙන් පැහැදිලි කලයුතු නොවේ. එතරම් සුවිශේෂ වු කාලය මේ මොහොතේදීත් අපෙන් ගිලිහෙමින් පවතී.

මේ අනුව තාරුණ්‍යයෙත් ඒ තාරුණ්‍යය ගෙවන කාලයෙත් වටිනාකම හොදින් පැහැදිලය. එසේ නම් ඒ තාරුණ්‍යයත්, කාලයත් උපරිම ආකාරයට අප ජීවිතයට පලදායි කරගත යුතුය. එසේම මෙලොව ජීවිතය පරලොව දී සාරථක අස්වැනු නෙලන විමුක්තිය ළගා කරවන වගාබිමක් බවට පත්කරගත යුතුය. මෙලොව ජීවිතය යනු මිනිසාට දෙවියන් ලබාදෙන ලොකුම භාග්‍යයකි. එය කොයි ආකාරයට සඵල කරගත යුතුද යන්නත් ශුද්ධ වු අල්කුර්ආනයේ 28:73 වාක්‍යයෙන් අල්ලාහ් දෙවියන් පැහැදිලි කරයි. එනම්,

“තවද ඔහු (අල්ලාහ් දෙවියන් මිනිසාට) කල භාග්‍යය නිසා නුඹලාට රාත‍්‍රියද දහවල ද නිර්මාණය කොට ඇත. (රාත‍්‍රිය) නුඹලා විඩාව නිවනු පිණිසත් (දහවල) නුඹලා එහි භාග්‍යයන් සොයනු පිණිසත් නිර්මාණය කලේය (ඒ වෙනුවෙන්) නුඹලා කෘතගුණ වන්නේද?”

එසේ නම් ඉහත භාග්‍යයන් දිනාගැනීමටත් තාරුණ්‍යයේ මහිමය හොදින් අවබෝධ කරගෙන තමන්ටත්, ජාතියටත් රටටත් අභිමානවත් තරුණ පරපුරක් ලෙස “කැරකිලා” නොව “එන්න මල්ලි එන්න නංගි නැගිටලා…” යනුවෙන් ආරාධනා කරමින් මේ ලිපිය අවසන් කරමි.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *