ත‍්‍රස්ථවාදය හා ජිහාද්

0

වර්ථමානයේ ලොව තුල මුස්ලිම්වරුන් ට එරෙහිව එල්ලකරන ප්‍රධාන චෝදනාවක් තමා ජිහාද් නමින් ත‍්‍රස්ථ ක‍්‍රියවෙහි නියලෙනවා යන්න. එපමණක් නොවේ මේ මුස්ලීම් ප්‍රජාව ත‍්‍රස්ථවාදීන් යයි හේතුගැන්වීම සදහා එම පිරිස් දිවා රෑ වෙහෙසෙති. මෙසේ මුස්ලීම් ජනතාවට ඇඟිලි දිගුකරන විද්වතුන හට බොස්නියාව, චෙච්නියාව, පලස්තීනය අෆ්ගන්ස්ථානය, ඉරාකය, ලෙබනනය… වැනි ඉස්ලාමීය රටවල මුස්ලීම්වරුන්ට විරුද්ධව සිදුවන ත‍්‍රස්ථ ක‍්‍රියාවන් නොපෙනේ. මේ මොහතේදී පවා විශාල වශයෙන් මුස්ලීම් ජනතාව ඝාතනය කරමින් ඒ ඝාතන තුලින් සතුටක් මෙන්ම විවිධ ලාභ ප‍්‍රයෝජන ලබන ඇමරිකාව ඇතුලූ බොහෝමයක් යුරොපීය රටවල්වල ක‍්‍රියා කලාපය ත‍්‍රස්ථ ක‍්‍රියාවක් යයි ඇගිල්ල දිගු කිරීම නොව පැවසීමටත් මැලිවෙති. එයට හේතුව අන් කිසිවක් නොවේ මේ ආකාරයට ප්‍රහාරයන්ට හා හිංසනයන්ට ලක්වෙන්නේ ඉස්ලාමීය රටවල්ය. මොවුන්ගේ යුද්ධය ක්‍රියාත්මක වන්නේ ඉස්ලාම් දහමට එරෙහිවය. මේ ආකාරයට මුස්ලීම්වරුන් මැඩලීමේ ක‍්‍රියාවේ ඇමරිකාව හා ඇමරිකාවේ සුරතලා වන ඊශ්‍රායිලය ඇතුළු තවත් රටවල් කිහිපයක් නියලී සිටියත් එයට විරුද්ධව කිසිදු රටක් එරෙහි නොවන්නේ එම පහත් කි‍්‍රයව අනුමත කරමින් ඒ දෙස බලා කාලකන්නි සතුටක් ලබන බැවිණී. මේ ආකාරයට ජාත්‍යන්තර මට්ටමින් අසරණ මුස්ලීම් ජනතාව මැඩලමින් ත‍්‍රස්ථවාදයේ ඉනිපෙත්තේ සිටින ඔවුන් මුස්ලීම්වරුන්ට ත‍්‍රස්ථවාදීන් යයි චෝදනා කිරීම හාස්‍ය උපදවන අබූත චෝදනාවක් නොවේද?

ත‍්‍රස්තවාදය යනු කුමක්ද?

එහි වචනාර්ථය ගත්විට එහි තේරුම “බියගැන්වීමි” යන්නයි. යම් පුද්ගලයකුගේ බියට හේතු වු පුද්ගලයා බියවු පුද්ගලයාහට ත‍්‍රස්ථවාදියකි. මේ අනුව “ත‍්‍රස්ථවාදියා” යයි පැවසීමෙන් පමණක් එය සමාජ සාධාර්ණද, සමාජ අසාධාර්ණද යන්න තීරණය කල නොහැක. එම ක‍්‍රියාවට හේතුව හා අරමුණු අධ්‍යනය කිරීම අත්‍ය අවශ්‍ය වේ. එසේ අධ්‍යනය කිරීමෙන් පමණයි නිවරැදි තීරණයකට එළඹිය හැක්කේ. ඒ අනුව ඕනෑම ක්‍රියාවක හේතු හා අරමුණ පදනම් කරගෙන ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට එය බෙදිය හැක. එනම,

  • ත‍්‍රස්ථවාදී සටන
  • විමුක්තිකාමී සටන

ඉහත කරුණ දෙක සදහා සරල උදාහරණයක් පවසන්නේ නම්, ලංකාවේ නිදහස වෙනුවෙන් සටන්කල සටන්කාමීන් පිලිබදව අවධානය යොමු කලේ නම්, ඔවුන්ව යටත්විජිත වාදීන් හැදින්වුයේ ත‍්‍රස්ථවාදීන් ලෙසයි. නමුත් ලාංකිකයින් ඔවුන් හැදින්වුයේ විමුක්තිකාමී වීරයින් ලෙයසි. එකම පිරිස ඔවුන්ගේ අරමුණ හා පදනම මුල් කරගෙන විවිධ කෝණවලින් දකී. මෙයට හොද නිදසුනක් පසුගිය කාලෙක එනම් 2006.10.02 දින බී.බී.සී (BBC) ගුවන් විදුලි ප‍්‍රවෘත්ති විකාශනයේ පැවසුණි. එනම්,

“1816 දී ඉංග‍්‍රීසි ජාතිකයින් දේශ ද්‍රෝහීන් යයි නම් කල වයඹ පළාතේ මාතලේ දිස්ත‍්‍රික්කයේ පවුල් 280 ක් රණවිරු පවුල් වශයෙන් නම් කරන්න රජය තීරණය කර ඇත”

යනුවෙනි. මේ ආකාරයට එකම ජන කොට්ඨාශයකගේ එකම ක‍්‍රියාව දෙපිරිසක් දෙවිදියකට හදුන්වනු ලබයි. පිරිසක් ඔවුන් ත‍්‍රස්ථවාදීන් ලෙස හදුන්වන විට තවත් පිරිසක් ඔවුන් නිදහස වෙනුවෙන් සටන්කල විමුක්තිකාමීන් ලෙස ගරුකරයි. ලංකාව ආක‍්‍රමණය කරන්න සුද්දන්ට අයිතියක් ඇතැයි සිතන කෙනෙකුට ඔවුන් ත‍්‍රස්ථවාදීන් විය. සුද්දන්ට ලංකාව ආක‍්‍රමණය කරන්න කරන්න අයිතියක් නැතැයි සිතන පුද්ගලයින් හට ඔවුන් විමුක්තිකාමීන් විය. මේ ආකාරයටම ඇමරිකාවේ ජනාධිපතිගේ දැක්ම අනුව ඔසාමා බින් ලාදන් ත‍්‍රස්ථවාදියෙකි. නමුත් අෆ්ගන්ස්ථානයේ ජනතාවට ඔහු විමුක්තිකාමියෙකි, ඊස්රායිලයේ දැක්ම අනුව හිස්බුල්ලා සංවිධානය ත‍්‍රස්ථවාදීන්ය. නමුත් ලෙබනනයේ ජනයාහට ඔවුන් විමුක්ති කාමීන්ය. මේ අනුව පුද්ගලයෙක් හෝ සංවිධානයක් සම්බන්ධයෙන් නිවරුදි නිගමනයකට එලඹීමට පෙර එම ක‍්‍රියාවලියට හේතු සාධකය කුමක්ද? යන්න වීමසීම, අවධානය යොමුකිරීම අත්‍ය අවශ්‍යවේ. දෙපාර්ශවයේම හේතු හා අරමුණු සොයාබලා අවසානයේ තීරණයතට එළඹීය යුතුයි. එසේ නොමැතිව මුස්ලිම් ජනතාව නියෝජනය වන සටන්කාමී සංවිධාන සියල්ල නිරතව සිටින්නේ ජිහාද් නැමති ශුද්ධවු සටනේ යයි පැවසිම අනවබෝධයකි.

මෙවැනි මතයක් එනම් මුස්ලීම්වරුන් ත‍්‍රස්ථවාදීන් යන මතය සමාජය තුල වැපීරීමට විශාල මෙහෙවරක් මාධ්‍යයන් සිදු කරයි. මෙයට හොද උදාහර්ණයක් පසුගිය කාල වකවානුවේ අප දුටුවෙමු. එනම් මුස්ලීම්වරුන් තම ප‍්‍රාණයට වඩා ඉහලින් ගරු කරන මුහම්මද් (සල්) තුමාණන් යුද්ධය ප්‍රි‍්‍රය කල ලෝක ත‍්‍රස්ථවාදියෙක් බවට හුවාදක්වමින් ඉදිරිපත් කල කාටුන් චිත‍්‍රයන්ය සදහන් කල හැක. මෙයට ලබාදුන් මාධ්‍ය ප‍්‍රචාරය සුඑපටු නොවේ. මෙම කාර්‍ය සදහා ඩෙන්මාර්ක් රජයේ මෙන්ම ලොව බොහෝ රටවල පුර්ණ අනුග‍්‍රහයද ලැබුනි. සමහරක් රටවල් වක‍්‍ර ආකාරයෙන් මෙයට එකගතාවය පලකල අතර තවත් රටවල් මුනිවතරකින ලදී. ඒ අතර විද්වතුන් යයි පවසාගන්නා පිරිසක් මේවා මාධ්‍ය නිදහස, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස, මානව අයිතිවාසිකම් යයි තර්ක විතර්ක ඉදිරිපත් කරමින් තප්පුලන ලදී. මීට වඩා සියගුනයකින් මෙම සීමා ඉක්මවීම් මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් සිදුවෙද්දී ඉහත සදහන් විද්වතුන් අන්ධයන්, බිහිරීන් හා ගොලූවන්සේ මුනිවතරකී. මෙවැනි පහත් ක‍්‍රියාවන්වල ඉස්ලාම් විරෝදීන් නියැලූනු ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. ඈත අතීතයේ සිටම විශේෂයෙන්ම කුරුස යුද්ධ සමයේ පටන් විවිධ කාලවල විවිධ ආකාරයෙන් මෙවැනි උත්සාහයන්වල ඔවුන් නිරන්තරයෙන්ම නියලෙන ලදී. ජාත්‍යන්තරය එසේ ක‍්‍රියා කරද්දී ලාංකීය සමාජය ද ඊට දෙවැනි නොවේ. මේ වනවිට ලංකාව තුල පවා ඉස්ලාම් දහමට විරුද්ධව විශාල වශයෙන් පොත්පත් මුද්‍රණය වෙමින් පවතී. මේවා සියල්ල ඉස්ලාමයේ මුලික ඉගැන්වීම් පිලිබදව පවා කිසිදු අවබෝධයක් නොමැතිව ඉදිරිපත් කල ප‍්‍රකාශනයන්ය. මේවා සියල්ල මුස්ලීම් සමාජය පදනම් කරගෙන ඉස්ලාම් දහමට කරන චෝදනාවන් මිස ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන කරන චෝදනාවන් නොවේ. මොවුන්ගේ අඩිපාරේ ගොස් හෙට දවසේ බෞද්ධ සමාජය දෙස බලා කවරකු හෝ බුදුදහම විවේචනය කලා නම් එය බුද්ධිමත් ක‍්‍රියාවක් ලෙස බෞද්ධයින් පිලිගනීද?. මේවා සමාජයට දෙන වැරදි ආදර්ශයන් බව මතක් කර දෙන්නට කැමැත්තෙමි. ඔබට දැන් ගැටඑවක් මතුවිය හැක වර්ථමානයේ මුස්ලීම්වරුන් එකතුවී කරනු ලබන සටන ජිහාද් නොවේ නම් එය හදුන් වන්නේ කෙසේද?.

ජිහාද් යනු කුමක්ද?

ජිහාද් යන්න අරාබි වචනයකි. එය “ජහද” යන මුල් වචනයෙන් බිදී එන්නකි. එහි අරුථ “උත්සාහ කිරීම”, “සටන් කිරීම” යන්නයි. එක් ශිෂ්‍යයෙකු විභාගය සමත්වීම සදහා උත්සාහ කරයි නම් ඔහු විභාගය සමත්වීම සදහා ජිහාද් කරනවා යයි පැවසිය හැක. එසේම කම්කරුවෙක් තම හාම්පුතා තෘප්තිමත් කරන්න උත්සාහ කරනවා යන්න සැලකුවේ නම්. එය නිවරුදි ආකාරයට කලත්, වැරදි ආකාරයට කලත් එය හදුන්වන්නේ ජිහාද් යන නමිනි. ශුද්ධ වු කුර්ආනයේ 31-15 වන වාක්‍යයෙන් “අල්ලාහ් දෙවියන්ට සමාන තවත් දෙවියන් ඇතයි මුස්ලීම්වරුන්ට හේත්තු ගැන්වීම සදහා ඉස්ලාම් විරෝදීන් උත්සාහ කලබව එනම් ජිහාද් කල බව” පවසයි. එසේම ශුද්ධ වු කුර්ආනයේ විශ්වාසවන්තයින් දෙවියන්ගේ මාර්ගයේද විශ්වාස නොකරන්නන් (ඉස්ලාම් විරෝධින්) නපුරන්ගේ එනම් ශෙයිතාන්ගේ මාර්ගයෙද ජිහාද් කරන බව පවසයි. එසේනම් ඉස්ලාමීය ඉගැන්වීමට අනුව ජිහාද් යයි කියු පමණින් එය “ශුද්ධ වු සටනක්” යයි කිව නොහැක. මන්ද ඉහත අල්කුර්ආන් වාක්‍යට අනුව වැරදි මාර්ගයේ උත්සාහයන්වල නිරත වුවත් එයද ජිහාද් යයි හදුන්වන බැවිනි. මීලග ප‍්‍රශ්නය වන්නේ මෙම ජිහාද් යන වචනයට “ශුද්ධ වු සටන” යයි අර්ථ දියහැකිද? යන්නයි. මෙම “ජිහාද්” යන වචනයට කිසිසේත් එවැනි අරුථක් දිය නොහැක. මන්ද ජිහාද් යන අරාබි වචනයට එවැනි අරුථක් නැත. මෙම “ශුද්ධවු සටන” යන වාක්‍ය මුලින්ම ලොවට ඉදිරිපත් වන්නේ කුරුස යුධ සමයේ එම යුද්ධයේ නියළුනු ක‍්‍රිස්තියානි හමුදාවේ යුද්ධය වරණනා කිරීම සදහා සහා ඔවුන් දිරිගැන්වීම සදහාය. වර්ථමානයේ එම වාක්‍ය මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් උපයෝගි කරනු ලබයි. ශුද්ධ වු සටන යන්නෙහි අරාබි වචනය ජිහාද් නොව “හර්බුල් මුකද්දසා” යන්නයි. මෙම වාක්‍ය එනම් හර්බුල් මුකද්දසා යන්න ඉස්ලාමයේ නීති මාලාව වන ශුද්ධ වු කුර්ආනයේ හෝ හදීසයේ කිසිදු තැනක සදහන් නොවේ. සටන යන්නට අරාබි භෂාවෙන් පවසන්නේ “කිත්තාල්” යනුවෙනි. මෙම ජිහාද් යන වචනය බහු අරුථ ඇති වචනයකි. ඒ අනුව ජිහාද් යන වචනය තුල කිත්තාල් යන වචනයද අන්තර්ගතය. එය යොදාගන්නා අවස්ථාව අනුව මෙහි අරුථය වෙනස්වේ. එසේනම් ඔබට දැන් තවත් ගැටලූවක් මතුවනු ඇත. එනම් “ඉස්ලාම් දහම තුල සටන යන අදහසින් ජිහාද් යන වචනය යොදාගෙන තිබේද?” යන්නයි. මෙයට දියහැකි කෙටිම පිලිතුර “තිබේ” යන්නයි. එසේනම් ඊළගට මතුවන ප‍්‍රශ්නය “ඒ ජිහාදයන් කුමක් සදහාද?” යන්නයි.

ප‍්‍රථමයෙන් අද ලොව සිදුවන හා සිදුවු යුද්ධයන් කුමක් සදහාද? යන්න අවදානය යොමු කලේ නම් ඒවා බොහෝමයක් රටක් එසේත් නැත්නම් එම රටේ භූමියෙන් කොටසක් ආක‍්‍රමණය සදහාය. තවත් සමහර යුද්ධ රටක පවතින සම්පත් තමන් සතුකර ගැනීම සදහාය. තවත් සමහර යුද්ධ පලිගැනීම සදහාය. තවත් සමහර යුද්ධ ආගමට හැරවීම සදහාය… මේ ආකාරයට විවිධ ලාභ ප‍්‍රයෝජනයන් සදහා අතීතයේත්, වර්ථමානයේත් ලොව යුද්ධයන් පවතිනවා අප දකින්නෙමු. මෙවැනි තත්වයක මුහම්මද් (සල්) තුමාණන් ඇතුඑ මුස්ලීම්වරුන් සටන් මෙහෙය වුයේ කුමක් සදහාද? මෙයයි මෙහිදී සාකච්චාවට බදුන් කල යුත්තේ.

මුහම්මද් තුමාගේ කාලයේ සිදුවු යුද්ධයන් කුමක් සදහාද?

ඉස්ලාමය ආරම්භ කාලයේ මුහම්මද් (සල්) තුමාණන් තම උපන් බිම වන මක්කාවේ ජීවත් වන ලදී. ඉස්ලාම් දහම ප‍්‍රචාරය කිරීම ආරම්භනවාත් සමග මුහම්මද් (සල්) තුමාණන් ඇතුලූ එතුමාගේ අනුගාමිකයින් හට විවිධ වදහිංසා කිරීමට ඉස්ලාම් විරෝධින් කටයුතු කලහ. මේවා ඉතා දරුණු වදහිංසාවන් විය. එනම් ගිනිගොඩට දැමීම, ඔටුවන් කකුල්වල බැද දෙපැත්තට දුවවා දෙකඩ කිරීම, යකඩ ඇදුම අන්දවා ගිනිඅව්වවේ තැබීම… මේ ආකාරයට විවිධ වදහිංසා හමුවේ ඉවසිය නොහැකි අනුගාමිකයින් මුහම්මද් (සල්) තුමාගෙන් ඔවුන් සමඟ යුද්ධ කිරීම සදහා විටින් විට අවසර ඉල්ලීය. අවසානයේ දේව නියෝගයට අනුව මුහම්මද් (සල්) තුමා ඇතුඑ තම අනුගාමිකයින් ද රුගෙන තම උපන්බිම අතහැරයාමට තීරණය කර මදීනාවට පලායන ලදී. මෙම ගමන “හිජ්රත්” නමින් හදුන්වයි. මෙම මදීනාව මක්කාවේ සිට සැතපුම් 300ක් පමණ ඈතින් පිහිටා ඇත. මුහම්මද් (සල්) තුමා ඇතුඑ තම අනුගාමිකයින් මදීනාවට ගියවිට එම රටේ ජනතාව එතුමා ආදරයෙන් පිලිගෙන එම රටේ පාලන බලය ද එතුමාට ලබාදෙන ලදී. මෙසේ එම රටේ යහපාලනයක් පිහිටුවා මුස්ලිම්වරුන් නිදහසේ ජීවත් වන විට විවිධ ආකාරයේ යුද්ධයන්ට එතුමාහට මුහුණදීමට සිදුවිය. එම යුද්ධයන් සදහා විවිධ හේතුන් ද තිබුණි. ඒ පිලිබදව විස්තරාත්මකව අවධානය යොමු කලේ නම්, මෙම යුද්ධයන් හි අරමුණ අවබෝධ කරගත හැකි වනු ඇත.

පළමු කාරණය – ආත්ම ආරක්‍ෂාව

  • මුහම්මද් (සල්) තුමාගේ කාලයේ සිදුවු ප‍්‍රථම යුද්ධය “බද්ර් සටන” නමින් හැදින්වේ. මුහම්මද් (සල්) තුමා මදීනාව පාලනය කරමින් හා දහම ප‍්‍රචාරය කරමින් මදීනාවේ ජීවත් වන විට මක්කාවේ සිටී ඉස්ලාම් විරෝධින් මදීනාවට පැමිණ මුස්ලීම්වරුන් විනාශ කිරීමට තීරණය කර සියළුූ යුද උපකරණවලින් සන්නද්ධව සෙබඑ 1000ක පමණ සේනාවක් සමග මදීනාව කරා පැමිණෙන ලදී. මෙය දැනගත් මුහම්මද් (සල්) තුමා තම අනුගාමිකයින් 313ක් රුස්කර තත්වය පැහැදිලි කොට නිසි යුද ආයුද නොමැතිව යුද්ධයට සුදානම් වී නගරය තුල සටන සිදුවුයේනම් හානිය වැඩිවන නිසා නගරයෙන් බැහැරව යාමට තීරණය කර පිටත්වන ලදී. මෙසේ පිටත් වු සේනාව හා ඉස්ලාම් විරෝධි සේනාව “බද්ර්” නම් ස්ථානයේ දී හමුවන ලදී. විරුද්ධ පක්‍ෂයේ සේනාව දුටු මුහම්මද් (සල්) තුමා දෙවියන්ගෙන් “දෙවියනේ, මේ යුද්ධයෙන් අප සියල්ල විනාශ වුයේ නම් මේ පොළොව මත නුඹව වන්දනාමාන කිරීමට කිසිවකු ඉතිරි නොවනු ඇත. එමනිසා මේ යුද්ධය සදහා ඔබගේ සහාය ලබාදෙන්න” යනුවෙන් අඩමින් ප‍්‍රාර්ථනා කරන ලදී. පසුදා යුද්ධය ඇරඹු අතර එහිදී මුස්ලීම්වරුන් ජය අත්වු අතර ඉස්ලාම් විරෝධින් ආපසු හැරී පලායන ලදී.

මෙම සටන සිදුවුයේ බද්ර් නම් ස්ථානයේය. එය මක්කාවේ සිට සැතැප්ම 220ක් හා මදීනාවේ සිට සැතැප්ම 80ක් දුරින් පිහිටා ඇත. මේ දුර අපට කුමක්ද? කියාපාන්නේ යුද්ධයේ අවශ්‍යතාවය කාහටද යන්න නොවේද? එසේනම් මෙම යුද්ධයේ අවශ්‍යතාවය තිබුණේ කාටද? මුහම්මද් (සල්) තුමාගේ අරමුණ මක්කාව ආක‍්‍රමණය කිරීම හෝ ඔවුන් පලිගැනීම නම් දුවන එම ඉස්ලාම් විරෝධින් පිරිස එලවා ගොස් පහරදී ඔවුන් සියල්ල ඝාතනය කොට මක්කාව තම භාරයට ගන්නට තිබුණි. එසේ කිරීමට මුහම්මද් (සල්) තුමා නොපෙළඹු ඒ සදහා ඉස්ලාම් අවසර ලබාදී නැත. එය ශුද්ධ වූ කුර්ආන් 5-6 වාක්‍යෙයන් මෙසේ අවධාරණය කරයි.

“විශ්වාස කල අයවලූනේ, අල්ලාහ්ට කීකරු වී සාධාර්ණයට සාක්‍ෂි දරන්නෝද වවු. එක් සමුහයක් කෙරෙහි තිබෙන ක්‍රෝධය ඔවුන් කෙරෙහි අසාධාර්ණයක් කිරීමට නොපෙළඹේවා.”

ඒ අනුව මෙම බද්ර් සටන තුල රටක් අක‍්‍රමණය කිරීම, මිනිසුන් පලිගැනීම හෝ දහම ප‍්‍රචාරය කිරීම වැනි පටුවු අරමුණු කිසිවක් නොතිබුණු බවත් එකම අරමුණ ආත්ම ආරක්‍ෂාව පමණක් බවත් පැහැදිලි වේ.

  • ඉස්ලාම් දහමේ සිදුවු දෙවන යුද්ධය උහුද් සටන නමින් හැදින්වේ. මෙය උහුදු නම් ස්ථානයේ සිදුවු නිසා මෙයට උහුද් සටන යයි පවසයි. මෙයද ඉහත සදහන් සටන මෙන් මුහම්මද් (සල්) තුමා පදිංවි ප‍්‍රදේශයට සොයා ඇවිත් පහරදීමකී. මෙම උහුද් නම් ස්ථානය මදීනාවේ සිට සැතැපුම් 5ක් දුරින්ද මක්කාවේ සිට සැතපුම් 300ක් දුරින්ද පිහිටා තිබේ. මේ දුර අනුව පෙනීයන්නේ ඉහත ආකාරයටම මුහම්මද් (සල්) තුමා යුද්ධය සොයා නොගිය අතර ඉස්ලාම් විරෝධින් සොයාවිත් පහරදීමට උත්සාහ කර ඇතිබවයි. මේ අනුව මෙම සටනත් ආත්ම ආරක්‍ෂාව සදහාම කල සටනක් බව තහවුරු වේ. මෙවැනි පිරිසක් සමග වුවද සටන් නොකල යුතුයයි කිසිවෙකු පවසයි නම් එය ඔහුගේ තිබෙන බියගුලූකම හෝ අන්තවාදීත්වයක් මිස සාධාර්ණ වු බුද්ධිමත් තර්කයක් නොවේ. මෙම යුද්ධයට මුස්ලීම්වරුන් ගියත් නැතත් ඔවුන් ඝාතනය කිරීමයි ඉස්ලාම් විරෝධී එම කන්ඩායමේ අරමුණ එම නිසයි මුහම්මද් (සල්) තුමා ඇතුළු ඒ අනුගාමිකයින් බියගුල්ලන්ව මිය යනවාට වඩා යුද්ධ කර ඉස්ලාමය වෙනුවෙන් වීරයින් ලෙස මියයාම උතුම් බව සලකා යුදබිමට පිවිසියේ. මෙයයි අල්කුර්ආනයද 9-13 වාක්‍ය මඟින් මෙසේ අවධාරණය කරන්නේ,

“නුඹළා සමග වු දිවුරුම් කඩකොට, රසුල්වරයාද (උපන්බිමින්) නෙරපන්නට සැලසුම් කල එම පිරිසම නුඹලා සමග යුද්ධය ආරම්භ කර ඇති මොහොතේ ඔවුන් සමග නුඹලාද සටන් නොකරන්නේ මන්ද? ඔවුන්ට බියවන්නෙහිද? නුඹලා සැබෑ මුස්ලීම්වරුන් නම් බියවීමට සුදුස්සා අල්ලාහ් දෙවියන් පමණි.”

දෙවන කාරණය – අනවසරයෙන් රටක් ආක්‍රමණය කිරීම හා ඇතුල්වීම

එදා පටන් ලොව පවතින පොදු නියමයක් තමා රටකින් තවත් රටකට ඇතුල්වීමේ දී අවසර ලබාගැනීම. රටකින් තවත් රටකට ඇතුල්වීමේ දී එම රටෙන් අවසරය පැතිම අනිවාර්‍ය වේ. මේ පිලිබදව වැඩිදුර පැහැදිලි කිරීම අනවශ්‍යය මන්ද මෙම නීතිය අද සෑම රටකම ඉතා දැඩිව ක‍්‍රියාත්මක වන බැවිනි. එදත් ඒ ආකාරයට මෙය ක‍්‍රියාත්මක වු අතර මේ නිසා මුහම්මද් (සල්) තුමා ඇතුඑ පිරිස වරක් “හජ්” වන්දනය කිරීමට ගොස් එම ප‍්‍රදේශයට ඇතුල්වීමට අවසරය නොලැබුණු නිසා ආපසු හැරී එන ලදී. එම මොහොතේ මුහම්මද් (සල්) තුමාගේ අනුගාමිකයින් “ආපසු හැරීයාමට අනවශ්‍ය බවත් සටන්කර හෝ ඇතුල්විය යුතුබවත්” පවසා සිටින ලදී. නමුත් ඒ අනුගාමිකයින්ගේ විරෝධතාවය මධ්‍යයේ වුවද මුහම්මද් (සල්) තුමා ආපසු පැමිණියේ ඉහත හේතුව නිසාය. මේ ආකාරයට මක්කාවාසීන් හා වෙනත් විදේශික පිරිස විටින් විට මදීනාවට ඇතුල්වීමට උත්සාහ කල මොහොතේ දී කුඩා පරිමාණයේ සටන් කිහිපයක් ඇති වී ඇත. මේවා ආගම නමින් සිදුවු ඒවා නොවන අතර එම නීතිය ආරක්‍ෂා කිරීම රටක පාලකයෙකුගේ අනිවාර්‍ය වගකීමක් නිසාත් එදා මදීනාවේ පාලකයා මුහම්මද් (සල්) තුමා නිසාත් එතුමාහට මෙයට මැදිහත් වන්නට සිදුවුවා මිස එම ක‍්‍රියාව තුල රටක් ආක‍්‍රමණය කිරිම, පලිගැනීම හෝ ආගම් ප‍්‍රචාරය කිරීම වැනි පටු අරමුණු තිබුණේ නැත.

තුන්වන කාරණය – රටක අභ්‍යන්තර ප‍්‍රශ්නයට මැදිහත් වීම

එක් රටක අභ්‍යන්තර ප‍්‍රශ්නයට තවත් රටක් මැදිහත් නොවිය යුතු යන්න ලොවම පිලිගත් නියමයකි. ලෝකය තුල සාමය පවතින්න මෙය අනිවාර්‍ය වේ. එසේ වුවත් ඒ සදහා සීමාවක්ද ඇත. අද ලාංකාවේ කොටි ප‍්‍රශ්නය සැලකුවත් එසේය ආරම්භ කාලයේ ලාංකීය රජය මෙම ගැටඑව විසදා ගැනීමට උත්සාහ කලත් අවසානයේ විදේශ රටවල සහය පැතීමට සිදුවිය. මෙය ලංකාවේ පමණක් නොවේ ලෝකේ සෑම රටකම අප දකින්නේමු. ඒ අනුව එක් රටක පාලකයෙක් එම රටේ ජනතාවට විවිධ ආකාරයේ තාඩන පීඩන වදහිංසා කරමින් පාලනය ගෙනයයි නම්. එසේම එම රටේ ජනතාව ඔහුගෙන් මිදීමට මං සොයමින් ලතවෙයි නම් එවැනි මොහොතක එම ජනතාව බේරාගැනීම සදහා වෙනත් රටක් ඉදිරිපත්වීම ඉස්ලාමය අනුමත කරයි. මෙසේ මැදිහත් වන ලෙස කුර්ආනයේ 4-75 වාක්‍ය මගින් දෙවියන් මෙසේ අවධාරණය කරයි.

“අපගේ ස්වාමිණි, අපරාධකරුවන් වසන මේ ගමින් අපව බැහැර කරව, ඔබගේ සන්නිධානයෙන් ආරක්‍ෂකයෙකු පිහිටට එවනු මැනව, ඔබගේ සන්නිධානයෙන් උදව්කරුවෙකුද සලස්වව්, කියමින් සිටින දුර්වල වු පුරුෂයින්, ස්ත‍්‍රීන් හා ළදරුවන් මුදවාගැනීම සදහා යුද්ධ නොකරන්නේ මන්ද?”

මෙවැනි ක‍්‍රියාදාමයක ප‍්‍රථිපලයක් වශයෙන් තමා වර්ථමාන බංගලිදේශය බිහිවුයේ. එදා පකිස්ථානයේ භූමි ප‍්‍රදේශයක්ව පැවතී මෙහි විශාලවශයෙන් සම්පත් පැවතුනි. එම සම්පත් මෙම ප‍්‍රදේශයෙන් සූරාකෑමකට ලක්වීමේ දී එයට විරුද්ධව නැගීසිටී මුජීබුර් රහ්මාන් නැමැත්තා විසින් ඉන්දීය රජයේ සහය ඇතුව බංගලිදේශය නමින් රටක් ස්ථාපනය කරන ලදී. එසේම මාලදිවයින එක්පිරිසක් යටත් කරගත් මොහොතේ ඉන්දියානු හමුදාව මැදිහත් වී නැවත එම රට මුදවාදෙන ලදී. මෙම කාරණය පවසමින් තමා ඇමරිකාව, ඉරාකය ආක‍්‍රමණය කලේ මෙයට බහුතරයක් රටවල් විරුද්ධ නොවුයේ එය ලොවම පිලිගත් නියමයක් බැවිනි. මේ ආකාරයට එදා මක්කාවාසීන් ඉස්ලාම් දහම වැලදගැනීම නිසා විවිධ වු වදහිංසාවලට හා සමහරුන් ඝාතනයට පවා ලක්විය. මෙම හිරිහැරයටන් ඉවසීමට නොහැකි ජනයා මදීනාවේ පාලකයා වශයෙන් සිටී මුහම්මද් (සල්) තුමාගෙන් උදව්පැතීය. මේ මොහොතේ මුහම්මද් (සල්) තුමාගේ උපන්බිම මෙන්ම එතුමාගේ අනුගාමිකයින් බහුතරයකගේ උපන්බිම වෙත, මක්කාවාසීන් බහුතරයකගේ ඉල්ලීම මත සේනාව මෙහෙයවන ලදී. එසේ ගොස් කිසිදු සටනකින් තොරව මක්කාවද තම පාලන ප‍්‍රදේශයට නතුකරගන්නා ලදී. මෙය “මක්කා ජයග‍්‍රහණය” යනුවෙන් හදුන්වයි. මෙම ක‍්‍රියාවලිය අන්තවාදී ආකාරයට විවේචනය කරන්නන් සිටියත් මක්කාව අත්පත් කරගැනීමේදී කිසිදු ලේ වැගිරීමක් සිදුනොවීම තුල එය එදා මක්කාවාසීන් බහුතරයකගේ පැතුම වී තිබු බව අවබෝධ කරගත හැක. වාදයකට මක්කාව මුහම්මද් තුමා යුද්ධයකින් ආක‍්‍රමණය කලායයි. උපකල්පණය කලත් එම ආක‍්‍රමණයෙන් පසු මුහම්මද් (සල්) තුමාගේ ක‍්‍රියා කලාපයන් කෙසේ පැවතුණේද? යන්න අධ්‍යනය කිරීමෙන් ඉහත චෝදනාවේ අවලංගුභාවය පහසුවෙන් අවබෝධ කරගත හැක.

එදා විසු ඉස්ලාම් නොවන මක්කාවාසීන් අතර පිළිම වන්දනයට ප‍්‍රධාන තැනක් හිමිව තිබුණි. නමුත් එය ඉස්ලාම් ප‍්‍රතික්ෂේප කරන මහා පාපයකි. මන්ද මිනිස් මැවීමන්ට වන්දනය කිරීම ඉස්ලාම් අනුමත නොකරයි. එසේම මක්කාව තුල විශාල වශයෙන් ක‍්‍රිස්තු දේවස්ථාන හා යුදෙව්වරුන්ගේ දේවස්ථාන ද දක්නට ලැබුණි. මේවා සම්බන්ධයෙන් මක්කා ජයග‍්‍රහණයෙන් පසු මුහම්මද් (සල) තුමාගේ ක‍්‍රියා කලාපය කුමක්ද?. මක්කාව ආක‍්‍රමණය කිරීමේ අරමුණ දහම පැතිරවීම නම් එදා බහුතරය හා බලය තම අත පැවතී එම මොහොතේ එම පිලිමයන් හා දේවස්ථානයන් පොළොවට සමතලා කරන්නට තිබුණි. නමුත් මුහම්මද් (සල්) තුමා එසේ නොකොට ඔවුන්ගේ අයිතිය ඔවුන්හට ලබාදෙන ලදී. මෙය ශුද්ධ වු අල්කුර්ආනයේ ද “මිනිසුන්ගේන් කොටසක් මගින් තවත් කොටසක් වැලැක්වුයේ නැත්නම් ක‍්‍රිස්තු හා යුදෙව් දේවස්ථානයන් මෙන්ම ඉස්ලාමීය දේවස්ථානයන්ද විනාශවන්නට තිබුණි” යනුවෙන් පැවසීම තුල කිසිදු දේවස්ථානයක් විනාශ නොකල යුතු යන්න අල්කුර්ආනයද අවධාරනය කරන බව අවබෝධ කරගත හැක. එපමණක් නොවේ ඊට වඩා පියවරක් ශුද්ධ වු කුර්ආනය ඉදිරියට තබමින් 6-108 වාක්‍යෙයන් මෙසේ ද අවධාරණය කරයි.

“අල්ලාහ් නොවන ඔවුන් වන්දනා කරන එම වස්තූන්ට බැන නොවදින්න.”

මෙසේ ඉස්ලාම් ඔවුන්ගේ ආගමික අයිතිය සදහා පුර්ණ ආරක්‍ෂාව ලබාදී තිබේ. ඉස්ලාම් දහමේ විශ්වාසයට අනුව බහුදේව විශ්වාසය හා බහුදේව වන්දනය මහා පාපයකි. එවැනි තත්වයක වුවද අන්‍ය ආගමිකයින්ගේ දේවස්ථානයන් විනාශ කිරීම තබා එම වන්දනාමාන කරන වස්තූන්ට බැනවැදීම පවා පාප ක‍්‍රියාවක් යනුවෙන් ඉස්ලාම් අන කිරීම තුල ඔවුන්ගේ අයිතිය හ නිදහස සම්පුර්ණයෙන් ලබාදී ඇති බව අවබෝධ වනවා නොවේද? එසේනම් මේ කරුණු කාරණා තුල ආගම් ප‍්‍රචාරය කිරීමේ පටු අරමුණක් කොහිද?

ඉහත කරුණුවලට අනුව ඉස්ලාම් යුද්ධය අවධාරනය කරන්නේ කුමන ආකාරයේ කාරණාවන් සදහා ද යන්න දැන් පැහැදිලිය. ඉහත ආකාරයට යුද්ධයක් සදහා කොන්දේසි ඉදිරිපත් කල ඉස්ලාම් දහම යුද පිටියක දී අනුගමනය කලයුතු කරුණු පිලිබදව ඉස්ලාම් දැඩි නීතිරීති පනවයි. එනම්,

  • කාන්තාවන් හා කුඩා දරුවන් යුධ පිටියක වුවද ඝාතනය නොකල යුතුයි. මෙය අල්හදීස් බුහාරී 3014 , 3015 සදහන් වේ.
  • වෙනත් ආගම් වල පුජකයින් ඝාතනය හෝ වදහිංසා නොකලයුතු බව අල්හදීස් හි සදහන්ය.
  • මහල්ලන් ඝාතනය නොකල යුතුයි. අල්හදීස් මුඅත්තා 858 හි සදහන් වේ.
  • සියදිවි හානි කරගැනීම නොකල යුතුයි. මෙය අල්හදීස් බුහාරී 1364 , 1365 සදහන් වේ.
  • යුද්ධයේ මියගිය මෘත දේහයට වදහිංසා නොකල යුතුයි යන්න අල්හදීස් හි සදහන්ය
  • යුද්ධයට සම්බන්ධ නොවු පොදු ජනයා ඝාතනය කිරීම නොකල යුතුයි. අල්හදීස් මුස්ලීම් 5177 සදහන්ය.

ඉහත සදහන් ආකාරයට යුද්ධයක් සදහා තිබිය යුතු මුලික හේතූන්ට අමතරව යුද පිටියක අනුගමනය කලයුතු අනිකුත් කොන්දේසි පිලිබදව හොදින් අධ්‍යනය කලේනම්, ඉස්ලාම් දහම කොතරම් මානුෂිකව හා සාධාර්ණව ගැටඑ සදහා විසදුම් ලබාදෙන්නේ ද යන්නත්, එය කොතරම් ප‍්‍රායෝගිකද යන්නත්, අන්තවාදී නොවී බලන ඕනෑම කෙනෙකුහට පහසුවෙන් අවබෝධ කරගත හැක. මේ අනුව ඉස්ලාම් දහම තුල ජිහාද් යන්න රටක් ආක‍්‍රමණය කිරීම සදහා එසේත් නැත්නම් රටක පාලනයක් ලබාගැනීම සදහා කරන යුද්ධයක් නොව හුදෙක් එය පීඩිත ජනතාවගේ අයිතීන් හා සමාජ යහපත සදහා පමණක් කරන සටනකි. ඒ අනුව පීඩිත සමාජයක් වෙනුවෙන් පෙනීසිටින විමුක්තිකාමීන් පිඩනයට ලක්කරන්නන් හට ත‍්‍රස්ථවාදියෙක් නම් එවැනි ත‍්‍රස්ථවාදීන් අද සමාජයේ අවශ්‍යතාවකි. එසේම ඉස්ලාම් හි ඉගෙන්වීම්, හුදෙක් වචනයට අලංකාර, කනට මිහිරි ප‍්‍රායෝගික නොවන මනක්කල්පිත කථා නොවේ. අද සමාජයේ ආගම් නමින් බොහෝවිට දක්නට ඇත්තේ විවිධ පුද්ගලයින්ගේ මන:ක්කල්පිත අදහස්ය. ඒවා කනට මිහිරිය, රසවත්ය නමුත් ප‍්‍රායෝගික නොවේ. මේ නිසා සමහරක් දහමන්වල මූලික ඉගෙන්වීම් පවා පිලිපැදීමට, ආරක්‍ෂා කිරීමට නොහැකිව එහි අනුගාමිකයින් විවිධ අපහසුතාවයන්ට පත්වෙනවා අප එදින් එදා සමාජයේ දකින්නෙමු. මෙවැනි ප‍්‍රායෝගික නොවන මන:ක්කල්පිත දහමන් හමුවේ ඉස්ලාම් ඔවුනට අභියෝගයකි.

ඉස්ලාම් සාමය, සමාදානය අවදාරනය කරන දහමකි. “ඉස්ලාම්” යන වචනය “සලාම්” යන අරාබි වචනයෙන් බිදී එන්නකි. සලාම් යන්න “ශාන්තිය, සමාදානය” යන අරුථ වේ. මෙසේ ඉස්ලාම් සාමය, සමාදානය අවධාරනය කරන ගමන් එම සාමය, සමාදානය ලොව ස්ථාපනය කිරීම සදහා අවශ්‍ය වන්නේ නම් යුද්ධ කිරීමට ද අවසරය ලබාදෙන බව ඉහතින් අවබෝධ කරගත්තෙමු. යුද්ධ කිරීම කෲර, තිරිසන් වු ක‍්‍රියාවක් බව වචනයට පැවසිය හැක. එය කනටද රසවත්ය නමුත් ප‍්‍රායෝගික නොවේ. උදාහර්ණයකට ලාංකීය සමාජයේ පැවතී යුද්ධය බුදුදහමට විරුද්ධ බව පවසමින් සමහරුන් උද්ඝෝෂණවල පවා නිරත විය. නමුත් රටේ ඒකීයභාවය ආරක්‍ෂා කිරීම සදහා රජයට යුධමය ක‍්‍රියාදාමයකට යන්නට සිදුවේ. මෙය බුදුදහමේ මුලික ඉගෙන්වීම්වලින් බැහැරව සිදුකරන්නක් බව සමහරුන් රජයට චෝදනා කරති. නමුත් එදා එම යුද්ධය රාජ්‍ය පාලනයේ අවශ්‍යතාවයකි. ඉස්ලාම් මෙවැනි තත්වයක ගතයුතු ක‍්‍රියාමාර්ගය කුමක්ද? යන්න පිලිබදව පැහැදිලිවම පැවසීම තුල එය ප‍්‍රායෝගික දහමක් බව තහවුරු කර තිබේ. එම ප්‍රායෝගික ජීවිතයේ පන්නරය ලද පාලකයන්ගේ ආදර්ශයන්ද අපට ඉතිහාසය කියාපාන අවස්ථාවල් දක්නට ඇත. එවන් ඉතිහාසයෙන් බිදක් ගෙනහැර දක්වන්නේ නම්,

  • ඉන්දියාව අවුරුදු 1000ක් මුස්ලීම් රජවරුන් පාලනය කරන ලදී. එදත් අද මෙන්ම මුස්ලිම්වරුන් ඒ රටේ සුළුතරයකි. මෙපමණ කලක් ඉන්දියාව පාලනය කිරීමට හැකි වුයේ එය සාධාර්ණ වු පාලනයක් නිසා මිස කඩුවෙන් කල පාලනයක් නිසා නොවේ. කඩුවෙන් නම් එදා පාලනය සිදුවුයේ ඒ මොහොතේම රටේ බහුතරය විසින් පාලකයින් නෙරපන්නට තිබුණි.
  • ස්පාඤඤය අවුරුදු 800 ක් මුස්ලීම්වරුන් පාලනය කරන ලදී. ඒ වකවානුවේ ඔවුන්ට අවශ්‍ය නම් කඩුව උපයෝගි කරගෙන දහම ප‍්‍රචාරය කරන්නට තිබුණි. නමුත් සිදුවුයේ ක‍්‍රිස්තියානිවරුන් කුරුස යුද්ධය නමින් යුද්ධයක් මෙහෙයවා සියලූම මුස්ලීම්වරුන් ඝාතනය කිරීමයි. අද එම රටේ මුස්ලීම්වරුන් ඉතා සුඑතරයකි. ලක්‍ෂ ගනනින් එදා මුස්ලීම්වරුන් ඝාතනය විය.
  • මැදපෙරදිග ජීවත් වන අරාබිවරුන්ගෙන් එක්කෝටි 40 ලක්‍ෂයක් පමණ පාරම්පරික ක‍්‍රිස්තියානිවරුන් වේ. පසුගිය වසර 1400ක පමණ කාලයක සිට මෙම අරාබි දේශය මුස්ලීමිවරුන් පාලනය කරයි. එසේ වුවත් අදටත් එම භූමියෙහි අන්‍ය ආගමිකයින් ජීවත් වේ. ආගමට හරවා ගැනීමේ ක‍්‍රියාවලියක් එදා පටන් සිදුවුයේ නම් අද එකදු අන්‍ය ආගමිකයෙකු එම භූමියේ ජීවත් නොවි සියල්ල ඉස්ලාම් භක්තිකයින් විය යුතුය.
  • ඉන්දුනීසියාව හා මැලේසියාව අද ලොව පවතින රටවල්වලින් වැඩිම මුස්ලීම් ජනගහනයක් ජීවත්වන රටවල්ය. මෙපමණ ප‍්‍රමාණයක් ඉස්ලාම් දහමට හැරවිමට ක‍්‍රියාකල එම හමුදාව කුමක්ද?

මේ ආකාරයට ඉතිහාසය පිලිබදව මධ්‍යස්ථව හිද බැලීමේදී පෙනීයන්නේ ඉස්ලාම් දහම තුල ආගමට හැරවීම සදහා හෝ වෙනයම් කරුණක් සදහා සාමාන්‍ය ජනයාහට කිසිදු බලකිරීමක් සිදු කොට නොමැති බවයි. ඒ අනුව බලහත්කාරයෙන් දහමට හරවා ගත්තා යන තර්කය ඉතිහාසය විසින්ම අසත්‍යයක් බවට පත්කොට ඇත. එයයි ඉතිහාසඥයකු වන De Lacyo තම Islam at the Cross Roads කෘතියෙහි “සටන්කාමී මුස්ලීම්වරුන් විසින් අසිපත් තුඩින් ලොවපුරා ඉස්ලාමය බලයෙන් කාවද්දන ලදැයි ඉතිහාසඥයන් නොකඩවා කළ ප‍්‍රකාශය බැරැරුම් මුසාවක් වන වග කෙසේ හෝ ඉතිහාසයෙන් ම සනාථ වේ” යනුවෙන් ප‍්‍රකාශ කලේ. වාදයකට මුස්ලීම්වරුන් එසේ කලායයි උපකල්පනය කලත් එයට ඉස්ලාම් දහමට වගකිව නොවේ. මන්ද බෞද්ධයින් කරන සියළු වැරදි බුදුදහමට පැවරිය නොහැක්කා සේම, ක‍්‍රිස්තියානිවරුන් කරන සියළු වැරදි කිතුදහමට පැවරිය නොහැක්කා සේම, මුස්ලීම්වරුන් කරන සියළු වැරදි ඉස්ලාම් දහමට පැවරිය නොහැක. ඉස්ලාම් දහමට ඇගිල්ල දිගු කිරීමට නම් දෙවියන්ගේ නියෝගයන් (ශුද්ධ වු අල්කුර්ආනයේ) හෝ මුහම්මද් තුමාගේ දේශනයන්, ක‍්‍රියාවන් හා අනුමතකිරීම් (අල්හදීසයේ) එය සදහන්ව තිබිය යුතුවේ. ඒ අන්ව ඉස්ලාම් යුධමය ක්‍රියාදාමයක් හෝ ත්‍රස්ථවාදී ක්‍රියාදාමයක් අනකරනවා යන්න මුසාවක් බව ඉහත කරුණූවලින් තහවුරු වේ.

මෙම ඉස්ලාමීය ඉගෙන්වීමන් දෙස අන්තවාදී ආකාරයට නිරීක්‍ෂණය කොට ඉස්ලාම් ත‍්‍රස්ථවාදය අන කරයි, මුහම්මද් තුමා ත‍්‍රස්ථවාදය අවධාරනය කරයි, යනුවෙන් ඉස්ලාමීය මුලික ඉගෙන්වීම් පිලිබදවත් නිසි අවබෝධයක් නොමැතිව චෝදනා එල්ල කරන බව ඉහතින් පෙන්වුයෙමු. තවදුරටත් මෙවැනි චෝදනා කරන පිරිස සදහා අවසාන වශයෙන් පැවසිය හැක්කේ, රටක් ආක‍්‍රමණය කිරීමට, රටක සම්පත් මංකොල්ල කෑමට එසේත් නැත්නම් දහම ප‍්‍රචාරය කිරීමට යන පටු අරමුණුවලින් බැහැරව හුදෙක් පීඩිත ජනතාවගේ අයිතීන් සදහා මෙන්ම සමාජ සුභසිද්ධියතකා කරන යුද්ධය කෲර ක‍්‍රියාවක් එසේත් නැත්නම් ත‍්‍රස්ථ ක‍්‍රියාවක් නම් මෙවැනි කෲර පාලකයින් හා ත‍්‍රස්ථවාදීන් අද සමාජයේ අවශ්‍යතාවයක් යන්නත්, පීඩිත ජනයා වෙනුවෙන්, ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන්, ඔවුන්ගේ නිදහස වෙනුවෙන් ඉදිරිපත් වු මුහම්මද් (සල්) තුමා කෲර නායකයෙකු නම් එවැනි නායකයින් අද සමාජයේ අවශ්‍යතාවයක් යන්නත් පවසා එදා එම සමාජයේ නිදහස, යහපත, දියුණුව තකා මුහම්මද් (සල්) තුමාණන් කල ඒ මෙහෙවර අද අපට ඉටුකිරීමට ශක්තිය, ධෛර්‍ය හා දෙවියන්ගේ ආශිර්වාදය හිමිවේවා, යයි ප‍්‍රාර්ථනා කරමින් මෙම ලිපිය අවසන් කරමි.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp