දික්කසාදය නීති පිලිබද විමසුමක් II

1

කාන්තා නිදහස ලාංකීය සමාජය පවා වචනයට පමණක් සීමා කොට ඇති බව මනාව සනාථ කරයි. මෙවන් සමාජ පසුබිමක ඉස්ලාම් කාන්තාවට ලබාදී ඇති නිදහස අභියෝගයට ලක් කරන පිරිස එය කොතරම් අනවබෝධයෙන් කරනවාද? යන්නට මෙම අඩවිය තුල මීට පෙර සාකච්චා කල පහත ලිපියන් හොදම නිදසුනකි.

එම ලිපියන්ට අමතරව මෙම ලිපිය ද ඉස්ලාම් කාන්තාවට ලබාදී ඇති ස්ථානය ඔබට තවත් හොදින් තහවුරැ කරනු ඇත.

ඉස්ලාම් දහම තුල දෙවියන් අකමැත්තෙන් අනුමත කල අවසරයක් තිබේ නම් එය මෙම දික්කසාදය පමණි. මනුෂ්‍යයා අනිකුත් ජීවින් මෙන් නොව ඔවුනට හුදෙකලාව ජීවත්වීම මෙන්ම බහු බැදීම් සහිත ජීවත්වීම ප්‍රායෝගික නොවේ. ඔහු යුගල් (ජොඩු) වශයෙන් ජීවත් වන ජීවි කොට්ඨාශයකි. එසේ නම් දික්කසාදය යන්න එම ස්වාභාවික නීතිරීතිවලට පටහැනිය. ජීවිත කාලය පුරාවට සහයෝගයෙන් හා එකමුතුවෙන් ජීවත්වීමට තීරණයකරගත් (විවාහ) ගිවිසුම අවලංගු කරගැනීම මිනිසා නිර්මාණය කරනු ලැබූ ස්වභාවයට පටහැනි වීමකි. එසේ නම් ඒ තුල පුද්ගල පරිහානි මෙන්ම සමාජ පරිහානියන් නිර්මාණය වන යන්නෙහි විවාදයක් නැත. විවාහයක් දික්කසාදයක් දක්වා යාමේදී එයින් අසරණ වන්නේ එම යුවල පමණක් නොව ඔවුන්ගේ දූදරුවන් පවා මෙයින් අසරණභාවයට පත්වේ. මේ නිසා තමා මා ඉහතින් සදහන් කලේ මේ තුල සමාජ පරිහානියක් සිදුවන බව.

නමුත් විවාහක යුවලක් අතර කිසිදු ආකාරයකට නිවරැදි කල නොහැකි ගැටළුවක් පැනනැඟෙන්නේ නම් එවැනි අවස්ථාවක ගනු ලබන තීරණය කුමක්ද?. තවදුරටත් අපහසුවෙන් අකමැත්තෙන් ඇය හෝ ඔහු හා ජීවිතය ගෙවනවාද? නැත්නම් විකල්ප විසදුමක් සොයනවාද? මේ තත්වය නිවරැදිව හදුනාගත් ඉස්ලාම් ඒ සදහා ගතයුතු ක්‍රියා මාර්ගය “දික්කසාදය” යන්න පැහැදිලිව සදහන් කරයි. ඉස්ලාම් එය හුදෙක් අනුමැතියක් ලෙස ලබානොදී විවිධ නීතිරීති හා කොන්දේසිවලට යටත් කොට එම අවසරය ලබාදීම ඔබගේ අවධානයට යොමු කලයුතුම කාරණයකි. කිසියම් අඹුසැමි යුවලක් අතර නිසි බන්ධනයක් නොපවතී නම් ඔවුන් ගිවිසුමකට යටත් කොට තවදුරටත් එක්කොට තැබීම නිෂ්පල කාරණයකි. එවැනි දෑ තුලින් සිදුවන්නේ එහි තත්වය තව තවත් සංකීර්ණ වීම පමණි. මේ හේතුව නිසා තමා ඉස්ලාම්, (සර්ව ඥාන දෙවියන්ගෙන් පහල වූ දිව්‍යමය දහමක් ලෙස) දික්කසාදය සදහා කොන්දේසි සහිතව අනුමැතිය ලබාදෙන්නේ. ඉහතින් මා සදහන් කලාසේ මනුෂ්‍ය ස්වභාවයට පරස්පර වූ මෙම තීන්දුව ඉස්ලාම් යහපත් ක්‍රියාවක් ලෙස නොසලකයි. මේ හේතුව නිසා තමා වරක් මුහම්මද් (සල්) තුමාණන් මෙසේ සදහන් කලේ “දෙවියන් වහන්සේ අනුමත කළදේ අතරින් උන් වහන්සේ ප්‍රිය නොකරන්නේ ‘දික්කසාදය’ යන්න පමණි”. මේ අනුව දික්කසාදය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය පැහැදිලිය. නමුත් දිව්‍යමය දහමක මනුෂ්‍යයන් අතර නිර්මාණය වන සියළු ගැටළු සදහා එහි විසදුම් පැවතිය යුතු යන්න මුස්ලීම්වරැන් වන අපගේ විශ්වාසයයි. ඒ අනුව අසාර්ථක යුගදිවියක දී ඒ සදහා ද ඉස්ලාම් අනිවාර්යයෙන්ම විසදුමක් යෝජනා කලයුතුමය. එහි දී පවතින්නේ විකල්ප දෙකක් පමණි. එනම්,

  • අකමැත්තෙන් වුවද අවසානය දක්වා එක්ව ජීවත්වීම
  • දෙදෙනා වෙන්ව නිදහස් තීරණ ගැනීම

ඉහත විකල්ප දෙක අතුරින් කුමක් තීරණය කලත්, එය මනුෂ්‍යයන් වශයෙන් අප හදවතට සුන්ද හෝ ප්‍රියමනාප තීරණයක් නොවේ. නමුත් මේ දෙකෙන් එකක් තෝරාගැනීම හැර වෙන විකල්පයක් නැත. එසේනම් අපගේ සංවාදය මෙතැන් පටන් ගොඩනැඟිය යුත්තේ මේ දෙකෙන් කුමක් තෝරාගන්නවාද? යන්න පිලිබදවයි. එහිදී ඉහත තීරණ දෙක සංසන්දනාත්මකව මෙන්ම බුද්ධිමත් ලෙස අධ්‍යනය කරන විට පළමු තීරණයට වඩා දෙවන තීරණය යහපත් තීරණයක් යන්න ඔබට අවබෝධ වනු ඇත. මෙහි දෙවන තීරණය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ දී එහි තවත් යහපතක් ඇත. එනම් විවාහ ගිවිසුමකින් බැදෙන දෙනදනෙකු දීර්ඝ කාලයක් එක්ව ජීවත්වීමේ දී ඔවුන් අතර විවිධ මත ගැටුම් ඇතිවීම කිසිවිටෙකත් වැලැක්විය නොහැක. නමුත් එවැනි අවස්ථාවල දෙපාර්ශවයම එකින් එකා පිලිබදව අවබෝධයෙන් පරස්පර සහයෝගයකින් හා කැපකිරීමන් සහිතව කටයුතු කරන විට එය බොහෝදුරට සමතයකට පත්කරගත හැක. එසේ නොවන අවස්ථාවල එවැනි පවුල් ජීවිත බොහෝ දුරට දෙදරායාමට ලක්වේ. එහි දී දික්කසාදය වැනි දැඩි තීරණවලට යොමු වන පිරිසද ඒ අතර සිටී. මෙවැනි බොහෝ කරැණූ හේතුකොටගෙන “දික්කසාදය” නැමැති නිගමනයට එළඹෙන පිරිස් සදහා ඉස්ලාම් විවිධ කොන්දේසිවලට යටත්ව එම අවසරය ලබා දේ. දැන් ඒ පිලිබදව විමසා බලමු.

දික්කසාදය පිලිබදව ඉස්ලාමීය විග්‍රහය

එකට ජීවත් වන කාලයට වඩා වෙන්වීයාමක දී දෙදෙනෙකු අතර අති වන ආකර්ශනය අවබෝධය වැඩිය. එසේම මෙවැනි බැරෑරුම් කාරණයන් හිදී කාන්තාව හා පිරිමියා තීරණ ගන්න ආකාරයද එකින් එකට වෙනස්ය. විශේෂයෙන් දික්කසාදවීම වැනි තීරණයක් ගැනීමේ දී පිරිමියාට සාපේක්ෂව කාන්තාව බොහෝ දුරට ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරනවා යන්න අප සමාජය තුල නිරන්තරයෙන් දකින කාරණයකි. එහෙත් පිරිමි පාර්ශවය ඉතා සුළු කාරණයන් සදහා පවා ක්ෂණිකව දැඩි තීරණවලට යොමු වීමද අප සමාජය තුල දිකින කාරණයකි. එය කොතරම් ද යයි පවසනවා නම් බත් පිඟානයේ තිබෙන ගලක් වුවද ඔවුනට ප්‍රමාණවත්ය. නමුත් දික්කසාදය වැනි ජීවිතයේ තීරණාත්මක තීරණයක් ගැනීමේ දී එය හැඟීම්බරව හා ආවේගාත්මක ගැනීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. මේ දෙපාර්ශවයට උපතින් උරුම මේ ගුණාංගය හා ස්වභාවය හොදින් හදුනාගත් ඉස්ලාම් මීට දශක කිහිපයකට පෙර ඉහත සදහන් ආකාරයේ (ශ්‍රී ලාංකීය සමාජයේ ක්‍රියාත්මක වූ) නීති පවතින සමාජයක නොව මීට වසර 1400  කට පෙර සමාජයක ඉස්ලාම් දික්කසාද නීති හදුන්වා දෙන්නේ වර්ථමාන සමාජය පවා මවිත කරවමිනි. මෙය ඉස්ලාම් දිව්‍යමය දහමක් යන්න පමණක් නොව කාන්තා නිදහස වෙනුවෙන් කිඹුල් කදුළු සලන සමාජයකට ඉස්ලාම් සැබෑ කාන්තා නිදහස තහවුරැ කරන තවත් අවස්ථාවකි. එය වචනයෙන් නොව ප්‍රායෝගිකව හා ආදර්ශමත් ලෙස සමාජයට තහවුරැ කරමිනි. (මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී එය ඔබට මනාව අවබෝධ වනු ඇත).

විවාහය තුලින් ඇති වන බැදීම වඩාත් හොදින් තහවුරු කිරීම සඳහාත් දික්කසාදය හැකි තරම් වළක්වාලීම සඳහාත් ඉස්ලාම් උපක්‍රමශීලිව කටයුතු කරන බව මා ඉහතින් සදහන් කලෙමි. දික්කසාදයක් සඳහා තීරණ ගැනීමේ දී එම තීරණ ගැනීමේ අයිතිය (මනාලයා හා මනාලිය යන) දෙපාර්ශවයටම සමසේ ඉස්ලාම් ලබාදෙයි. නමුත් දික්කසාද වීමට තීරණය කල මොහොතේ පටන් මේ දෙපාර්ශවය සදහා නීති ක්‍රියාත්මක වන ආකාරය තුල විවිධ වෙනස්කම් කිහිපයක් පවතී. විශේෂයෙන් දික්කසාදය සදහා මුල්ම තීරණය ගන්නා පාර්ශවය අනුව එහි නීතිරීති තවදුරටත් වෙනස් වේ. ඊට බොහෝ හේතුන් ඇත මා පෙර සදහන් කලාසේ මෙය බුද්ධිමත්ව හා වගකීමක් ඇතුව ගතයුතු තීරණයක් මිස එය හැඟීම්වලට හෝ අවේගවලට වහල්ව ගතයුතු තීරණයක් නොවේ. එය මා මීට වඩා ඔබට විග්‍රහ කිරීමට අවශ්‍ය නොවනු ඇත. විශේෂයෙන් මෙහිදී කාන්තාවට එල්ලවන සමාජ බලපෑම හා මේ අඹූසැමි යුවලගේ දරැවන්ට මින් ඇති වන බලපෑම කිසිසෙත් සුළුකොට තැකිය නොහැක.

කාන්තා පුරැෂ සම අයිතිය කථා කරන කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැකි කාරණයක් තමා ස්ත්‍රිය හා පුරුෂයා අතර පවතින මූලික වෙනස්කම් යන්න. එය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. එනම්,

ශාරීරික වශයෙන් ඇති බාහිර වෙනස්කම්,

අභ්‍යන්තර වශයෙන් ඇති (බුද්ධිමය, ශක්තිමය, සංවේදීමය, හැඟීම්… යනාදී මත වූ) වෙනස්කම්,

මෙහි දී ප්‍රථමයෙන් අවබෝධ කරගතයුතු කාරණය නම් මෙම වෙනස මානවයාගේ පැවැත්ම සදහා අත්‍යඅවශ්‍ය අංගයක් යන්නයි. වෙනස් ආකාරයකට පවසනවා නම් මානවයාගේ පැවැත්ම තීරණය වන්නේ මෙම වෙනස මතය. මෙම වෙනස හොදින් අවබෝධ කරගෙන කටයුතු කරන ඉස්ලාම් විවාහය සමාජය තුල බෙහෙවින් ම උනන්දු කරමින් ඊට පිවිසෙන මාර්ගය ද ලිහිල් කරදෙන අතර ඉන් බැහැරවීමට ඇති එනම් දික්කසාදයට යන මාර්ගය කටුක හා දුෂ්කර එකක් බවට පත්කර ඇත. ඒ තුලින් ඉස්ලාම් අපේක්ෂා කරන්නේ ඔවුන් දෙදෙනා අතර පවතින බැදීම වඩාත් තහවුරැ කිරීම පමණි. නමුත් මා ඉහත සදහන් කලාසේ වර්ථමාන විවාහ බන්ධන බිදීයාම දෙස බලන විට එහි බොහෝවිට මූලික වී ඇත්තේ පිරිමි පාර්ශවය වීමත් ඒ සදහා ඔවුන් පවසන හේතූන් (මා ඉහතින් සදහන් කලාසේ) සරල කාරණයන් වීමත් මීට සියවස් ගනනාවකට පෙර අවබෝධ කරගත් ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනයේ 4-19 වාක්‍යයෙන් මෙසේ අවධාරණය කරන ලදී.

පුරුෂයිනි !, ඔබලාගේ භාර්යාවන් සමග කරුණාවෙන් හා යුක්ති සහගතව කටයුතු කරන්න. ඔබ ඔවුන්ගෙන් යමක් ප්‍රිය නොකරන්නේ නම් ඔබට දෙවියන් වහන්සේ ආශීර්වාද කිරීමට එම කරුණම හේතු වන්නට පුළුවන.

ඉහත වාක්‍යයෙන් දෙවියන් ආමන්ත්‍රණය කරන්නේ “පුරුෂයිනි !” යනුවෙනි. ඊට පසුව පවසන්නේ තම බිරිද සමඟ කරුණාව, දයාව හා සාධාරණව කටයුතු කරන්න යන්නයි. ඊටපසුව පවසන කාරණය වඩාත් වැදගත් කාරණයකි. එනම් “…ඔබ ඔවුන්ගෙන් යමක් ප්‍රිය නොකරන්නේ නම්….” යන්නයි. අද බොහෝ පවුල් ජීවිත දෙදෙරායාමට බලපාන සාධකයක් තමා මෙය.  එනම් පිරිමියෙකු තම බිරිදගේ කිසියම් නොහැකියාවක්, දුර්වලතාවයක් හේතුවෙන් ඔහු දික්කසාදයක් දක්වා යොමු වේ. ඒ මොහොතේ ඇය හමුවේ ඉතා හොද ගුණාංග බොහෝමයක් තිබෙන්නට පුළුවන නමුත් ඒ සියල්ල පසෙක දමා සුළු කාරණයක් හේතු කොටගෙන ඔහු දැඩි තීරණවලට යොමුවේ. මෙම දුර්වලතාවය හදුනාගත් ඉස්ලාම් ඉහත 4-19 මඟින් එවැනි පටු තීරණවලට යොමු නොවන ලෙස සමාජයට අවධාරනය කරයි. මේ ආකාරයට පිරිමි ස්වභාවය අවබෝධයට ගෙන ඔවුනට අවවාද කරන ගමන් කාන්තාවගේ කැපකිරීමේ හා ඉවසිලිවන්ත වීම වැනි විශේෂ ගුණාංගය පිලිබදව නිසි අවබෝධයක් ඇති ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනයේ 4-128 වාක්‍යය මඟින් ඇයට ද මෙසේ පවසයි.

ස්වාමි පුරුෂයා වෙතින් අකාරුණික බවක් හෝ අලස කමක් දුටුවිට තමන් අතර සමථයක් ඇති කර ගැනීම වඩා හොඳ ය. මන්ද සාමය වඩාත් හොඳ ය.

ඉහත 4-19 හා 4-128 වාක්‍යයේ සදහන් ආකාරයට කටයුතු කිරීම ද අසාර්ථක වන්නේ නම් එහිදීත් ඔවුන් දික්කසාදයට යොමු නොකොට තවත් විකල්පයක් ඉස්ලාම් යෝජනා කරයි. එය ශුද්ධ වූ කුර්ආනයේ 4-35 වාක්‍යයේ මෙසේ පවසයි.

“ඔවුන් අතර භේද ඇති විය හැකි යැයි ඔබ බියවන්නෙහු නම් පුරුෂයාගේ ඥාතීන්ගෙන් (විශ්වාසවන්ත) කෙනෙකු හා ස්ත්‍රියගේ ඥාතින්ගෙන් (විශ්වාසවන්ත) කෙනෙකු පත් කරන්න. එම මධ්‍යස්ථ දෙදෙනා සාමකාමී විසඳුමක් සඳහා කටයුතු කරන්නේ නම් අල්ලාහ් එම දෙපළට ආශිර්වාද කරන්නෝ ය.

ඉස්ලාම් දහම කිසිදු පදනමකින් තොරව හා පූර්ව නිගමනවල හිද විවේචනය කරන පිරිසට මා පවසන්නේ “බලන්න ඉස්ලාම් දහම මනුෂ්‍ය හැඟීම් සමඟ කොතරම් සමීපව කටයුතු කරන දහමක්ද?” යන්න පමණි. මෙවැනි ආදර්ශ කුමණ ආගමේවල ද දර්ශනවල ද තිබෙන්නේ. “ආදර්ශමත්” කියු පමණින් ආගමක් ආදර්ශමත් වන්නේ නැත. එහි පවසන කරුණු බුද්ධියට ගෝචර ප්‍රායෝගිකව පහසුවෙන් ක්‍රියාවට නැංවිය හැකි මනුෂ්‍ය හැඟීම් ගරුකරන ආකාරයට පැවතිය යුතුය. බලන්න විවාහ දිවියක දී මතුවන ගැටළුවල දී ඉස්ලාම් මිනිස් සමාජයට පෙන්වාදෙන ආදර්ශය. මේ කාරණයම ප්‍රමාණවත් නොවේද ඉස්ලාම් දිව්‍යමය දහමක් බව අවබෝධ කරගන්නට. ඉහත 4-19 හා 4-128 යන ක්‍රමය ක්‍රියාවට නැංවීම අසාර්ථක නම් 4-35 යෝජනා කරන්නේ ඒ යුවල අතර තවදුරටත් සාකච්චාවන් ගොඩනැඟීම පලක් නොවන නිසා ඒ දෙදෙනා වෙනුවෙන් නියෝජිතයන් දෙදෙනෙකු පත් කලයුතුය යන්නයි. එහි ද කොන්දේසියක් ඇත. එනම් පත්කරන දෙදෙනාම ඔවුන්ගේ ඥාතීන් වියයුතුය. ඒ දෙදෙනා මේ දෙදෙනා අතර ඇති ප්‍රශ්නය සමථයකට පත්කිරීම පිණිස උපරිමයෙන් හා විශ්වාසනීයව කැප වී සාකච්චා කලයුතු ආකාරයේ පිරිස් වියයුතුය. (…නැවතත් ඔබේ අවධානයට මා පවසන්නේ…) මොහොතක් මේ තත්වය සිතා බලන්න විවාහක යුවලක් අතර කිසියම් මත ගැටුමක් නිර්මාණය වුයේ නම් එහි දී (4-19 හා 4-128 ආකාරයට) ඉවසිලීවන්තව හා අන්‍යයෝන්‍ය සහයෝගයෙන් ක්‍රියා නොකරන විට ඒ දෙදෙනා අතර කුමණ ආකාරයේ සංවාදයක් ඇති වුවත් එහි ප්‍රථිපලයක් අත් නොවේ. කිසියම් සාකච්චාවක් ගොඩනැඟුව ද ඉන් සිදුවන්නේ මෙම තත්වය තව තවත් සංකීර්ණ වීම පමණි. එම දුර්වලතාවය නිසි තැන හදුනාගත් ඉස්ලාම් 4-35 මඟින් යෝජනා කරන විකල්පය සැබැවීන්ම ආදර්ශමත් නොවේද?. මා මෙහිදී ලොව සෑම දහමකටම දර්ශනයකටම අභියෝගයක් කරන්නට කැමැත්තෙමි. ඒ “අප පවසන මාර්ගය තමා ආදර්ශමත් මාර්ගය වන්නේ” යයි පවසන පිරිස පුළුවන්නම් මෙවැනි අවස්ථාවක මීට වඩා හොද ආදර්ශයක් යෝජනා කරන්න. ඉස්ලාම් දික්කසාදය යෝජනා කිරීමට මත්තෙන් එම විවාහ බැදීම ආරක්ෂා කරගන්න ගනු ලබන උත්සාහය බුද්ධිමත් ඔබ බුද්ධිමත් ලෙස දැකිය යුතුය.

දෙපාර්ශවයම නියෝජනය වන ලෙස පත්වන ඥාතී පාර්ශවකරැවන් දික්කසාදය වලක්වා ඔවුන් තවදුරටත් එක්ව ජීවත්වීමට අවශ්‍ය පරිසය උදාකරදීම සදහා ඔවුන් අතර මතු වී තිබෙන හේතු කාරකය දෙස විශ්ලේෂණාත්මකව සොයා බලා ප්‍රායෝගිකව දෙපළ අතර පවතින ආවේග, සෙනෙහස පරාර්ථකාමී බව, ඉවසිලිමත් බව, අවංකභාවය, සහයෝගය හා අන්‍යයෝන්‍ය අවබෝධය පිලිබදව සැලකිලිමත් වියයුතුය. එහිදී ඔවුන්ගේ ඉතා පුද්ගලික රහස්‍ය කරැණු පිලිබදව (ලිංගික ජීවිතය වැනි) පවා ඉහත පාර්ශවකරුවන් සැලකිලිමත් වියයුතුය. එසේ ක්‍රියා කොට මොවුන් අතර සමථයක් ඇති කිරීමට කටයුතු කලයුතුය. මේ උත්සාහයන් සියල්ල අසාර්ථක වූ කල වෙනින් විකල්පයක් නොවූ නිසා දික්කසාදය පිළිබඳව තීරණයකට එළඹීමට අවසර ලැබේ.

ඉස්ලාම් 4-19, 4-128 හා 4-35 මඟින් කරන ලද උත්සාහයන් අසාර්ථක වුයේ නම් දික්කසාදය සදහා ඉස්ලාම් අවසර ලබාදෙයි. එහිදී අවසරයක් ලබාදීමට පමණක් සීමා නොවී ඒ දෙදෙනාට කොන්දේසි රාශියක් ද එතැන් පටන් පැනවෙයි. එනම්,

  • දික්කසාදයේ දී ඒ සදහා සාක්ෂිකරැවන් දෙදෙනෙකු සිටිය අත්‍යඅවශ්‍ය බව,
  • ස්ත්‍රීන්ගේ ඔසප් (මාස් ශුද්ධිය) කාලය තුල දී දික්කසාද සිදු කිරීම තහනම් යන්න,
  • දික්කසාදයක් සිදුවූ පසු ස්ත්‍රිය වෙනත් කෙනෙකු විවාහ නොවී සිටීමේ කාල පරිච්ඡේදයක් ලෙස මාස හතරක් පමණ වූ “ඉද්දා” නම් කාලයක් ඉස්ලාම් පනවයි එය නිසිලෙස පිලිපැදීම,
  • මෙකී ඉද්දා කාලය අවසන් වනතුරු (තමා මෙතෙක් ජීවත් වූ) නිවසේ (ස්වාමියා සමඟ) ගතකලයුතු අතර ඉන් බැහැර කිරීමට ස්වාමියාට අයිතියක් නොමැති බව අන කිරීම,
  • දික්කසාදය සදහා තීරණය කරන පාර්ශවය (ස්වාමියාද? / බිරිදද? යන්න) අනුව අමතර කොන්දේසි කිහිපයක්ද ඇත.

පිරිමි පාර්ශවයේ (ස්වාමියාගේ) යොජනාව මත විවාහයක් අවලංගු කිරීම

පිරිමියගේ (ස්වාමියාගේ) අවශ්‍යතාවය මත දික්කසාදය සිදුවන්නේ නම් එහිදී එකවර විවාහ ගිවිසුම අවලංගු නොවේ. එම විවාහ ගිවිසුම අදියර කිහිපයක් යටතේ අවලංගුවීම සිදුවේ. මෙම කරුණු ශුද්ධ වූ කුර්ආනයේ 65-1 වාක්‍යයෙන් මෙසේ පැවසේ,

“තාවකාලික දික්කසාදය – නැවත ඉන් මිදී විවාහ බන්ධනයට එක්විය හැකි දික්කසාදය – සිදු වූ පසුව ඉද්දා සමය තුළ ස්ත්‍රීය ප්‍රසිද්ධ වරදක් කළහොත් මිසක් ඇය නිවසින් පිටට නොකරන්න. ඇය ද නිවසින් බැහැර නොයන්න. මෙම අල්ලාහ් විසින් පවසනු ලබන පනත් වේ. අල්ලාහ්ගේ පනත් උල්ලංගනය කරන තැනැත්තා තමනට ම හානි කරගන්නේ ය. දික්කසාදය කරන ඔබ ඉන් පසු අල්ලා විසින් එම තත්ත්වය වෙනස් කරන යමක් බිහිකරනු ඇතැයි නොදන්නෙහිය.”

පළමු ප්‍රකාශය

තම විවාහ ගිවිසුම අවලංගු කිරීම සදහා අදියර කිහිපයක් යටතේ ස්වාමියා විසින් විවාහය අවලංගු කිරීමේ ප්‍රකාශය (මෙය අරාබි භාෂාවෙන් “තලාක්” යනුවෙන් හදුන්වයි) කලයුතුය. ස්වාමියා විසින් කරන පලමු දික්කසාද ප්‍රකාශයෙන් අනතුරුව බිරිද හා ස්වාමියා යන බැදීමේන් මිදී එකම නිවසේ ජීවත්වීම සිදුවිය යුතුය. (මෙම කොන්දේසි පිලිබදව ඔබේ බුද්ධිය මෙහෙයවන්න එය ඔබ මවිත කරවනු ඇත)එහිදී ක්‍රියාත්මක වන්නේ තාවකාලික දික්කසාදයක් එසේත් නැත්නම් අවලංගු කළ හැකි දික්කසාදයක් පමණි. එහිදී බිරිද ඉද්දාව ඇරඹිය යුතුය. එම ඉද්දා සමය තුල ස්වාමියා විසින් තම තාවකාලික දික්කසාද තීන්දුව අවලංගු කරගැනීමට සිතුවේ නම්, ඒ සදහා කිසිදු චාරිත‍්‍රයක් හෝ විශේෂිත ක්‍රියාවලියක් අවශ්‍ය නොවේ. තම කැමැත්ත ප්‍රකාශ කර ස්වාමියා විසින් බිරිදට කරන ඉඟියක් ඒ සදහා ප්‍රමාණවත් වේ. නමුත් ස්වාමියා විසින් මෙම විවාහ ගිවිසුම අවලංගු කිරීමේ තිරණයේ තවදුරටත් සිටියේ නම් ඔහු ඔහු විසින් දෙවන වරටත් විවාහය අවලංගු කිරීමේ ප්‍රකාශය කලයුතුය. මෙය “තලාක්” යනුවෙන් හදුන්වයි

දෙවන ප්‍රකාශය

දෙවන වර ස්වාමියා විසින් කරන ප්‍රකාශය පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ 2-229 මෙසේ සදහන් කරයි.

“දික්කසාදය දෙවතාවක් පමණක් කිරීමට අවසර දෙනු ලැබේ. ඉන් අනතුරුව දෙපළ යහපත් අයුරින් එකතු වී සිටිය හැකිය. නැතිනම් කාරුණිකව වෙන් වී යා හැකිය. දේව නියමයන් රැකීමට (යහපත් අයුරින් ජීවත්වීමට) අපහසු වනු ඇතැයි දෙපාර්ශ්වයම බිය වූ විට මිස, පුරුෂයා විසින් ස්ති‍්‍රයට ලබා දුන් (මහර් තොගය) දායාදයෙන් කොටසක් හෝ ලබා ගැනීම නීතිවිරෝධිය. එහෙත් ඇය විසින් විවාහ බන්ධනයෙන් නිදහස් වීම සඳහා සිය කැමැත්තෙන් කොටසක් ලබා දීම හා එය ලබා ගැනීම වරදක් නොවේ. මේවා දේව කියමන් නිසා, ඒවා උල්ලංඝනය නොකරන්න. මන්ද එසේ කිරීමෙන් ඔබලා ඔබලාට සෙසු අයට ද පීඩන ඇතිකර ගන්නෙහුය.”

ඉහත වාක්‍යයට අනුව අවබෝධ කරගත යුතු කරැණු කිහිපයක් ඇත. එම වාක්‍යය අල්ලාහ් (දෙවියන්) අරඹන්නේ “දික්කසාදය දෙවතාවක් පමණක්…” යන්න පවසමිණි. ඉස්ලාමීය දික්කසාද නීතියට අනුව දෙවන වර ස්වාමියා විසින් දික්කසාද යෝජනාව ඉදිරිපත් කලත් ඔහු සිතුවේ නම් එය අවලංගු කොට නැවත බිරිද සමඟ (ඇයගේ කැමැත්ත අනුව) එක්විය හැක. නමුත් එය අළුතින් සිදුවන විවාහයක් සේ සියළු නිතිරීති පිලිපදිමින් (විශේෂයෙන් මහර් තොගයක් බිරිදට ලබාදෙමින්) එම විවාහ ගිවිසුම සිදුකල යුතුය. නමුත් මෙම විවාහය අසාර්ථක බව හැඟීයන්නේ නම් දික්කසාදය ඉදිරයටත් ක්‍රියාත්මක කලයුතු අතර එය තවදුරටත් පවතින්නේ තාවකාලික දික්කසාදයක් ලෙසය. මෙහිදී සදහන් කලයුතු තවත් විශේෂ කාරණයක් ඇත. එනම් ස්වාමියාගේ යෝජනාව අනුව නම් දික්කසාදය සිදුවන්නේ එහිදී විවාහක අවස්ථාවේ ස්වාමියා විසින් අනිවාර්යයෙන්ම බිරිදට ලබාදෙන වස්තූන් (“මහර්”) තොගය නැවත ඉල්ලීමට කිසිදු අවසරයක් ස්වාමියාට නැත. නමුත් බිරිද කැමති නම් එය ලබාදිය හැක. මෙය ඉහත 2-229 වාක්‍යය ද අවධාරණය කරයි. මේ ආකාරයට පවතින තාවකාලිකව දික්කසාදය නීත්‍යානුකූල ස්ථීර දික්කසාදයක් වීම සදහා ස්වාමියා විසින් තෙවන වරටද දික්කසාද යොජනාව “තලාක්” යොජනාව ප්‍රකාශ කලයුතුය.

තෙවන ප්‍රකාශය

තෙවන වර කරන ප්‍රකාශය ඉතා බරපතල වූ ප්‍රකාශයකි. මෙය ඉහත 2-229 මඟින් අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි.

“දික්කසාදය දෙවතාවක් පමණක්…”

තෙවන වර කරන ප්‍රකාශයත් සමඟ එම විවාහ ගිවිසුම සම්පූර්ණයෙන් අවලංගු වී යන අතර ඉන් අනතුරුව ඒ දෙපලට යලි එක්වීම යන්න ප්‍රායෝගිකව ඉතා දුෂ්කර වූ කාර්යයක් බවට පත්වේ. එනම් එම ස්ත්‍රිය ස්වභාවික යොජනාවක් මත වෙනත් කෙනෙකු විවාහ වී කිසියම් සාධාර්ණ හේතුවක් මත එම විවාහය ඉහත සදහන් ආකාරයට අවලංගු වීමෙන් අනතුරැව මොහු විසින් ඇයට කරන මංගල යොජනාවකට ඇයගේ කැමැත්ත හිමිවේ නම් නව විවාහයක් ලෙස එහි සියළු නීතිරීති පිලිපදිමින් එය සිදුකල යුතුය. මෙය සැබැවින්ම ප්‍රායෝගික නොවූ කාර්යයකි. මේ නිසා තමා ශුද්ධ වූ කුර්ආනයේ 2-229 අල්ලාහ් (දෙවියන්) “දික්කසාදය දෙවතාවක් පමණක්…” යනුවෙන් පවසන්නේ. මෙය තමා ස්වාමියාගේ (පිරිමි පාර්ශවයේ) යෝජනාවක් මත විවාහ ගිවිසුමක් අවලංගු වී යයි.

ස්ත්‍රී පාර්ශවයේ (බිරිදගේ) යොජනාව මත විවාහයක් අවලංගු කිරීම

පිරිමියාගේ කැමැත්ත අනුව දික්කසාද යෝජනාවක් ඉදිරිපත් වූ විට ඉහත අදියර සියල්ල පසුකිරීම අනිවාර්ය වූ කාරණයක් වුවද එම යොජනාව ස්ත්‍රී පාර්ශවයෙන් ඉදිරිපත් වන්නේ නම් එහිදී එම විවාහ ගිවිසුම ඒ මොහොතේම අවලංගු වී යයි. ඒ සදහා හේතු විමසීමක්ද අවශ්‍ය නොවේ. නමුත් එවැනි අවස්ථාවල දී තම ස්වාමියා විසින් තමාහට ලබාදුන් “මහර්” (විවාහයේදී ලබාදුන් වස්තූන්) තොගය ලබාදීම සිදුකල යුතු අතර ඇය ඉද්දා කාලයද සම්පූර්ණ කලයුතු වේ.

ඉස්ලාම් කාන්තාවට අසාධාරණයන් සිදුකරනවා යයි පවසන සියළු දෙන මෙම කාරණය ද බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුය. මධ්‍යස්ථ ලෙස ඔබ ඔබේ බුද්ධියෙන් විමසා බැලුවේ නම් මෙහිදී පිරිමි පාර්ශවයට බලවත් අසාධාරණයක් සිදුවන බවට ඔබට පැහැදිලි වනු ඇත. නමුත් සියළු කාරණා පිලිබදව පූර්ණ ඥානයක් ඇති අල්ලාහ් (දෙවියන්) ස්ත්‍රී හා පුරැෂ හැඟීම්, ඔවුන් සිතන පතන ආකාර, ශරීර ස්වභාවය, අවශ්‍යතාවයේ විශමතාවය, තීන්දු තීරණ ගැනීමේ ස්වභාවය වැනි කරුණුවල ඇති විවිධත්වය අවබෝධ කරගෙන ඉහත ආකාරයට නීතිරීති පැනවීම ඉස්ලාම් දිව්‍යමය දහමක් යන්න තවතවත් තහවුරු කරන්නකි.

කෙසේ වෙතත් මෙහි පවසන දික්කසාද නීතිරීත ඉස්ලාම් පවසන කරුණූ අතුරින් සරල විග්‍රහයක් පමණි. මෙහි සදහන් කරුණු (හා මෙම ලිපියට පරිභාහිරව ඉස්ලාමීය ආගමික මූලාශ්‍රයන්වල සදහන් කරුණු ද(මෙම ලිපියෙහි දීර්ඝ වීම සැලකිල්ලට ගෙන මූලාශ්‍රයන් වලින් අවම කරුණූ ප්‍රමාණයක් පමණි මෙහි ඉදිරිපත් කොට ඇත්තේ)) හොදින් අධ්‍යනය කලේනම්, මේ දික්කසාදය මිනිස් සමාජය තුල අවම කරගැනීම සදහා ඉස්ලාම් යොදන උපක්‍රම ඔබට මනාව අවබෝධ කරගත හැකි වනු ඇත. එසේම අල්ලාහ් (දෙවියන්) දික්කසාදය තුල පනවා ඇති විවිධ සීමාවන් බුද්ධිමත් ලෙස බැලුවේ නම් එය ඔබ මවිත කරවනු නොඅනුමානය.

අවසාන වශයෙන් ඉස්ලාම් ප්‍රායෝගික වූත් සැමට ගැලපෙන්නා වූත් නීති මාලාවක් යන්නත්, දික්කසාදය එහි විශිෂ්ඨ සැලසුම් කරණයක් යන්නත් ප්‍රකාශ කරන විද්වත් අදහසකින් මෙම ලිපිය අවසන් කරමි. එනම් විද්වතෙකු වන වෝල්ටේයාර් මහතා මෙසේ පවසයි. “ඉස්ලාමයට පෙර පැවැති යුගයේ පුරුෂයින් අසීමිත සංඛ්‍යාත්මක භාර්යාවන් සරණ පාවා ගෙන ස්ත්‍රීන් වහල් ජීවිතයක් ගත කළ විට, මුහම්මද් නබිතුමා විසින් කෙනෙකුට විවාහ විය හැකි භාර්යාවන් සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා සීමා කෙරුණි. ලෝකයේ  ඕනෑම යුගයක සිටි ආගමික, දේශපාලන හා සමාජ විද්වතුන් හා අධිකාරීන් විසින් සම්පාදනය කරනු ලැබූ නීති හා ප්‍රතිපත්තිවලට වඩා, එතුමන් විසින් විවාහය සහ දික්කසාදය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ නීති රීති ඉතා ශ්‍රේෂ්ඨ හා සම්පූර්ණ එකක් විය.”

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. mohamaed 2015-06-12 at 09:12

    තමන් තමගේ බිරිඳක් එක්ක තියෙන මත ගැටුමක් නිසා තලාක් වෙනවා. ඉද්දා කාලයත් ඉවරයි. හරියට මාසේකට වගේ පස්සේ (ඉද්දා ඉවර වෙලා) මිනිහට මිනිහගේ පැත්තෙන් වැරදි තේරුම් යනවා. ඊට පස්සේ එයා එක්ස් බිරින්දට කනගාටුව ප්‍රකාශ කරනවා.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *