දිවා රාත්‍රි උදාව හා කුර්ආනය පවසන ග්‍රහමණ්ඩල චලිතය

0

පසුගිය දිනක එක්තරා සිංහල භාෂාමය Blog එකක “තාරකා විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත” යන මැයෙන් ලිපියක් පලවී තිබුණි. එහි ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුර්ආනයේ විද්‍යාවට පරස්පර වූ කරුණු පවතින බව පවසමින් එය තහවුරු කිරීම සදහා චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කොට තිබුණි. ශුද්ධ වූ කුර්ආනයේ පරස්පරතාවයක් හෝ නොගැලපීමක් පවතින්නේ නම් එය ශුද්ධ වූ ග්‍රන්ථයක් නොවේ යන්නෙහි කිසිදු මුස්ලීම්වරයෙකු හට මතභේදයක් නැත. නමුත් පරස්පරතාවයන් හෝ නොගැලපීමන් පවතිනවා යයි පැවසූ පමණින් එය පිලිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට තරම් මුස්ලීම්වරුන් අන්ධ භක්තිකයන් ද නොවේ. මුස්ලීම්වරුන් එලෙස ක්‍රියාකිරීම අවශ්‍ය යන්න ඉස්ලාම් දහමේ අපේක්ෂාවද නොවේ. ඉස්ලාමීය ඉගෙන්වීම වන්නේ අවබෝධය තුලින් පිලිගෙන පිලිපැදිමය. එය ශුද්ධ වූ කුර්ආනයේ 47-24 වාක්‍යය මඟින් මෙසේ පවසයි,

“තවද ඔවුන් මෙම කුර්ආනය අධ්‍යනය නොකරන්නේ ද? එසේ නොකිරීමට ඔවුන්ගේ සිත් හි අගුල් දමලාද?”

ඒ අනුව ඉස්ලාම් දහම පදනමකින් තොරව පූර්ව නිගමනවල හිද විවේචනය කරන ඉහත Blog කරුවාට හෝ ඔහු වැනි පිරිස් සදහා ඉහත විෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය බුද්ධිමත් ආකාරයට පැහැදිලි කිරීමේ අනිවාර්ය වගකීමක් මුස්ලීම්වරුන්ට ඇත. කවදත් එම මෙහෙවර නිවරැදිව හදුනාගෙන ඉටුකරන යහමඟ අඩවිය ඉහත එම චෝදනාවන් සදහා ද පිලිතුරු ලබාදීමට අදහස් කරමි. ඒ අනුව එම චෝදනාවන් මොනවාද? එය කොතරම් දුරට වලංගුද? යන්න දැන් එකින් එක විමසා බලමු.

…හා දිවා කාලය රාත්‍රිය හෝ රාත්‍රිය දිවා කාලය අභිබවා නොයන බවත්.

…දෙවැනි වැරද්ද තමයි දිවා කාලය හා රාත්‍රිය එකිනෙකා අභිබවා නොයන බව කීම. නමුත් ආක්ටික් වෘත්තයට උතුරෙනුත්, ඇන්ටාක්ටික් වෘත්තයට දකුණිනුත් වෙච්ච ප්‍රදේශවලට අවුරුද්දේ සමහර කාල වල සදාකාලික දවලක් හා සදාකාලික රැයක් පවතිනවා. සෞම්‍ය රටවලත් ගිම්හානයට දිවා කාලය දිග වැඩියි. ශිශිරයට රාත්‍රිය දිග වැඩියි. එනිසා රාත්‍රිය හා දවාල එකිනෙකා පරයා නොයන බව කියන කුරාණයේ කරුණත් වැරදියි.

ඉහත චොදනාව ඉදිරිපත් කරන එම ලිපියෙහි කතෘ තම ලිපිය තුල දැන හෝ නොදැන වරදක් සිදුකොට ඇත. ඒ ශුද්ධ වූ කුර්ආනයේ 36-40 වාක්‍ය ඉදිරිපත් කරමින් කුර්ආනයට එරෙහිව තර්කයන් ගොඩනඟා ඇත්තේ ධ්‍රැව ප්‍රදේශවල රාත්‍රිය හා දහවල උදාවෙන ආකාරය පදනම් කරගෙනය. මෙය වාදයක් ගොඩනැගීමේ නිවරැදි ක්‍රමයක් නොවේ. කිසියම් වාදයක් ගොඩනඟන විට ඒ සදහා පදනම් කරගත යුත්තේ සම්මත සමාජය මිස එම සමාජයේ පවතින අසාමාන්‍ය තත්වයන් නොවේ. මෙහිදී ශුද්ධ වූ කුර්ආනයේ පවසන පොදු සංසිද්ධියක් අසාමන්‍ය තත්වයකට ගැලපීම සාධාරණ වූ ගවේෂණයක් නොවේ. මෙයට සරල උදාහරණයක් ගෙනහැර දක්වනවා නම් බෞද්ධයන්ගෙන් බහුතරය (ඉහත ලිපියෙහි කතෘ ඇතුළුව) බුදුදහම සත්ව ඝාතනය පාපක්‍රියාවක් ලෙස සලකන බව පවසයි. දැන් උත්තර ධ්‍රැවයේ ජීවත්වන කෙනෙකුගේ ප්‍රධාන ආහාරය කුමක්ද? ඔහුට මාංශ හා මත්සයන් හැරැණු කල වෙනත් ආහාරයක් නැත. එපමණක් නොව ඔහුගේ ශරීර උෂ්ණත්වය පාලනය කිරීමට එය අත්‍යඅවශ්‍යය. මෙම තත්වය වාදයකට ගෙන “සත්ව ඝාතනය බුදුදහම ප්‍රතික්ෂේප කිරීම ප්‍රායෝගික නොවේ” යයි ම‍ා පැවසුවා නම් එය නිවරැදි වාදයක් ලෙස පිලිගන්නට ඉහත කතෘ සූදානම්ද? මේවා සුවිශේෂි අවස්ථාවන් ඒවා වාදයක් සදහා මූලික පදනමක් ලෙස ගත නොහැක. මෙයින් අදහස් කරන්නේ නැහැ එවැනි අවස්ථා සදහා ඉස්ලාමයේ පිලිතුරු නොමැති බව, එවැනි සුවිශේෂි අවස්ථාවල් තුල මනුෂ්‍ය සමාජය ක්‍රියා කලයුතු ආකාරය ඉස්ලාම් පැහැදිලිවම පෙන්වා දී තිබේ. මා පවසන්නේ වාදයක් ගොඩනැඟීමේ නිවරැදි ආකාරය එය නොවන බවයි. ඒ අනුව දැන් ඉහත චෝදනාව වෙත අවධානය යොමු කරමු.

ඉහත චෝදනා දෙස අවධානය යොමු කිරීමට මත්තෙන් ශුද්ධ වූ කුර්ආනය පරිශිලිනය කරන පිරසගේ අවධානයට කරුණු කිහිපයක් යොමු කිරීමට කැමැත්තෙමි. එනම් මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුර්ආනය විද්‍යා කෘතියක් නොවේ. එනමුත් විද්‍යාව ඇතුළු සියළු කේෂත්‍රයන් පිලිබද බොහෝ අනාවරණයන් මෙම ශුද්ධ වූ කුර්ආනය තුලින් කියවෙන බව හා එහි අන්තර්ගත බව එය තරමක් ගැඹුරින් අධ්‍යනය කරන ඕනෑම කෙනෙකුහට පැහැදිලි වනුඇත. එවන් වූ අනාවරණයන් මෙම ග්‍රන්ථය තුල අන්තර්ගත නිසා තමා එදා විප්ලවීයමය මත පලකල චාල්ස් ඩාවින්, නිකලස් කොපර්නිකස් වැනි පිරිසගේ අභියෝගාත්මක වාදයන් ඊටත් සියවස් ගනනාවකට පෙර ඔවුනට වඩා පැහැදිලිව හා නිරවුල්ව පවසන්නට ශුද්ධ වූ කුර්ආනයට හැකි වුයේ. නමුත් මෙහි දී සදහන් කලයුතු තවත් සුවිශේෂි කාරණයක් ඇත. විද්‍යා හෝ අනිකුත් ක්ෂේත්‍රයන්ට අදාල කොපමණ සත්‍යයන් මෙම කුර්ආනයේ අන්තර්ගතව පැවතුන ද එය අවබෝධ කරගැනීම සදහා ඒ ඒ ක්ෂේත්‍රය පිලිබදව ද දැනුම හා අවබෝධයක් අත්‍යඅවශ්‍ය වේ. එසේ නොමැතිව “අන්ධයා ඇතා දුටුවා සේ” මෙහි අන්තර්ගතය අවබෝධ කරගැනීම සැබෑ ගවේෂණයක් නොවේ. උදාහරණයක් ලෙස තාරකා විද්‍යාවට අදාලව ශුද්ධ වූ කුර්ආනයේ අන්තර්ගත කරුණු කිසිවකු විසින් ගවේෂණය කරන්නේ නම් ඔහුහට එම විෂය (තාරකා විද්‍යාව) පිලිබදව කිසියම් අවබොධයක් තිබිය යුතුය. එසේ නොමැතිව තරකා විද්‍යාව පිලිබදව තමන් කිසියම් පූර්ව නිගමනයකට බැස එය පදනම් කරගෙන ශුද්ධ වූ කුර්ආනයේ අන්තර්ගතයන් විවේචනය කිරීම බුද්ධිමත් ක්‍රියාවක් බව සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකු පවා කිසිවිට නොපිලිගනු ඇත. ඉහත කතෘගේ එවැනි ගවේෂණ කිහිපයක් අප මීට ඉහත කථා කලෙමු. එවැනිම තවත් “ඇතා දැකීමක්” තමා ඉහත චෝදනාව.

ශුද්ධ වූ කුර්ආනයේ අන්තර්ගත විද්‍යාත්මක හෙලිදරව්වන් පිලිබදව සලකා බලන විට තාරකා විද්‍යාව තරම් අන්කිසිදු විෂයක් කථා නොකොට ඇති තරම්ය. තාරකා විද්‍යාවට ඒ තරම් සුවිශේෂ තැනක් හිමිව ඇති බව කුර්ආනය හොදින් පරිශීලනය කරන ඕනෑම කෙනෙකුට හොදින් අවබෝධ වේ. එවැනි අනාවරණයක එක් අවස්ථාවක් තමා ඉහතින් කතෘ චෝදනාවක් ලෙස ඉදිරිපත් කරන 36-40 වාක්‍යය. මෙම වාක්‍යය නුතන විද්‍යාවේ අභියෝගාත්මක සොයාගැනීම් කිහිපයක් ඊට සියවස් ගනනාවකට පෙරම අනාවරණය කිරීමකි. එම (36-40) වාක්‍යය මෙසේය,

“සූර්යයා හ‍ට චන්ද්‍රයා අභිබවා යා නොහැක. රාත්‍රියට දහවල පසුකර යා නොහැක. සෑම එකක්ම තම තමන්ගේ මාර්ගවල පිහිනා (යමින්) පවතින්නේය”

ඉහත වාක්‍යයේ “සූර්යයා චන්ද්‍රයා අභිබවා යාම…” යන වාක්‍යය තුල සැඟවී තිබෙන විද්‍යාත්මක අණාවර්ණය මීට පෙර ලිපියෙහි පැහැදිලි කරගත්තෙමු. එවැනිම තවත් විද්‍යාත්මක හෙලිදරව්වක් තමා ශුද්ධ වූ කුර්ආනය එම වාක්‍යයේම පවසන “රාත්‍රියට දහවල පසුකර යා නොහැක…” යන්න. ඒ පිලිබදව දැන් අවධානය යොමු කරමු.

රාත්‍රියට දහවල පසුකර යා නොහැකද?

ඉහත මාතෘකාව පිලිබදව කථා කිරීමට මත්තෙන් මෙම මාතෘකාව හා බද්ධ වන රාත්‍රිය හා දහවලෙහි උදාව පිලිබදව පවසන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යක් වෙත මුලින්ම අවධානය යොමු කරමු. එනම්,

  • “පසුබැස යන රාත්‍රිය මත දිව්රමි!…” (74-33)
  • “රාත්‍රියට දහවල පසුකර යා නොහැක…” (36-40)

ඉහත වාක්‍යයන් බැලූ බැල්මට එකින් එකට පරස්පර ආකාරයට පවතින බවත්, ඒවා තුල කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවත් සිතෙනු ඇත. සියල්ල මතුපිටින් බලා නිගමනයන්ට එළඹෙන පිරිසට එලෙස සිතෙන්නටත් ඒ නිසාම මේවා තුල අන්තර්ගත බොහෝ කරුණු කාරණා අවබෝධ කරගැනීමට නොහැකි වී යයි. එසේ මතුපිටින් බලා සරල නිගමනයන්ට නොගොස් ඉහත වාක්‍යයන් දෙස බුද්ධිමත් ලෙස අවධානය යොමු කලේ නම්, ඉහත වාක්‍යයන් තුලින් පවසන්නේ කුමක්ද?, ඒ අනුව “රාත්‍රියට දහවල පසුකර යා නොහැක…” යන්න තුලින් අල්ලාහ් (දෙවියන්) පවසන්නට යන කාරණය කුමක්ද? යන්න අවබෝධ කරගැනීමට හැකිවනු ඇත.

ශුද්ධ වූ කුර්ආනයේ කථා කරන තාරකා විද්‍යාවේ ගැඹුරු බව ගෙනහැර දක්වන දිව්‍යමය වාක්‍යයක් තමා ඉහත 74-33 වාක්‍යය. එය මෙසේය,

…පසුබැස යන රාත්‍රිය මත දිව්රමි!…” (74-33)

ඉහත 74-33 වාක්‍යය රාත්‍රියෙහි සුවිශේෂ ගුණාංගයක් ගෙනහැර පෙන්වයි. ඒ “රාත්‍රිය යනු පසුබැසීමේ ගුණාංගයකින් සමන්විතය” යන්නයි. මෙය වඩාත් හොදින් අවබෝධකර ගැනීමට නම් “පසුබෑම” යන වචනය මෙහි දී නිවරැදිව අවබෝධ කරගතයුතු වේ. එනම් යම් ක්‍රියාවලියක් කිසියම් දිශාවකට ක්‍රියාත්මක වනවිට එයට විරුද්ධ දිශාවකට වෙනත් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වීමට නොහැකිව මුල්ක්‍රියාවලියේ දිශාවටම එම ක්‍රියාවලියත් සිදුවීම “පසුබෑම” යනුවෙන් සරලව හැදින්විය හැක. ඒ අනුව “රාත්‍රියේ පසුබෑම” යනු කුමක්ද? යන්න දැන් විමසා බලමු. මෙහිදී ශුද්ධ වූ කුර්ආනයට ඉහත කතෘ චෝදනා කරන ආකාරයට ඉස්ලාමීය විශ්වාසය පෘථිවි කේන්ද්‍ර කරගත් සූර්ය චලිතයක් නම්, ඒ අනුව රාත්‍රියේ හා දහවලේ උදාව පැවතිය යුත්තේ කුමණ ආකාරයටද? යන්න දැන් විමසා බලමු. මේ මොහොතේ ඉන්දියන් සාගරයේ ශ්‍රි ලංකාවට ඉර මුදුන් වී ඇතැයි උපකල්පනය කලේ නම් ශ්‍රී ලංකාවට විරැදිධ පසින් පිහිටා ඇති ඇමරිකාව වැනි රටවල් අයත් අර්ධ වෘත්තය අඳුරින් වැසී රාත්‍රිය උදාවී තිබෙනු ඇත. මේ අනුව ආසන්න වශයෙන් එක් අර්ධයක් අඳුරින් හා අනෙක් අර්ධය ආලෝකමත්ව පවතිනු ඇත. දැන් සූර්යයා පෘථිවිය වටා ගමන් කරන්න ඇරඹුවේ නම් එම දිශාවටම රාත්‍රිය හා දහවලද පෘථිවිය මත ගමන් කිරීම අරඹනු ඇත. මෙහිදී සියල්ල එකම දිශාවකට ගමන් කරන නිසා 74-33 පවසන ආකාරයේ පසුබෑමේ ක්‍රියාවලියක් ඇතිවීමට කිසිදු අවස්ථාවක් නැත. ඒ අනුව ශුද්ධ වූ කුර්ආනය පවසන “පසුබෑම” කුමණ ආකාරයේ එකක් වුවත් පැහැදිලිවම එය ඉහත පෘථිවි කේන්ද්‍ර චලිත තත්වයක් නොවන බවත්, ඉහත ලිපියෙහි කතෘ චෝදනා කරනවා සේ (මුහම්මද් ජීවත් වන කාලයේ විශ්වය ලෙස පිලිගත්තේ භූ කේන්ද්‍රීය ප්ලේටෝ ගේ නියමයන්. නමුත් අද අපි දන්නවා සූර්ය ග්‍රහ මණ්ඩලය සූර්ය කේන්ද්‍රීයයි කියල. නමුත් ප්ලේටෝගේ වැරදි මත හොරකම් කරපු මුහම්මද් (එහෙම නැතිනම් අල්ලා) කිවුවේ පෘතුවිය හෙල්ලෙන්නේ නැති වෙන්න අල්ලා අල්ලාගෙන ඉන්න බවක්…) එය මීට පෙර සමාජවල සදහන් වූ මතවාදයක් උපුටා දැක්වීමක් නොවන බවත් පැහැදිලිය. මා මෙසේ පවසන විට සමහරක් පිරිසට “හරි මේකෙන් කොහොමද කියන්නේ එහෙම නෙවෙයි කියා ඒ වගේම කුර්ආනය කියන මේ පසුබෑම මොකක්ද?” යනුවෙන් ප්‍රශ්නයක් මතුවිය හැක. දැන් ඒ පිලිබදව අවධානය යොමු කරමු.

පසුබැස යන රාත්‍රිය

අප ඉහතින් ලබාගත් නිගමනය සූර්යයා (පෘථිවියට සාපේක්ෂව) නිශ්චලව පවතිනවා යන්නයි. ඒ අනුව පෘථිවියෙහි භ්‍රමණය හා පරිභ්‍රමණය යන චලිත දෙක සිදුවේ. දැන් ශුද්ධ වු කුර්ආනය පවසන “පසුබෑම” අවබෝධ කරගැනීම සදහා පෘථිවිය මත කිසියම් භූමි ප්‍රදේශයක් පදනම් කරගෙන එහි රාත්‍රි හා දහවලේ උදාව පිලිබදව අවධානය යොමු කරමු. එම භූමිය ශ්‍රි ලංකාව ලෙස සැලකුවේ නම්, ආසන්න වශයෙන් පැය 12ක් පමණ රාත්‍රිය පසුකරන ශ්‍රී ලංකාව එක් තරා අවස්ථාවක ඉර උදාවන ස්ථානයේ දහවල තුලට ඇතුල්වන්නේය. එතෙක් ශ්‍රී ලංකාව තුල පැවතී රාත්‍රියෙහි හැසිරීම දැන් කුමක්ද? මෙයයි මෙහි දී අවධානය යොමු කලයුතු කාරණය.

පෘථිවි පරිභ්‍රමණය හේතුවෙන් ආසන්න වශයෙන් පැය 12 ක පමණ රාත්‍රි කාලයක් පසුකරන ශ්‍රී ලංකාව ඉර උදාවත් සමඟ (පෘථිවිය තවදුරටත් එම දිශාවටම භ්‍රමණය වුවත්) රාත්‍රියට සිදුවන්නේ කුමක්ද? එතෙක් ශ්‍රී ලංකාව සමඟ ගමන්කල රාත්‍රිය ඉර උදාවන මොහොතේ පටන් එහි දිශාව දහවලේ දිශාවට විරුද්ධ දිශාවට ක්‍රියාත්මක වන්නට පටන් ගනී. එනම් තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට නොහැකි රාත්‍රිය පසුබැසීම අරඹයි. දහවල හමුවේ පසුබසින රාත්‍රිය ලංකාවෙන් බැහැරව අප්‍රිකාවට දෙසට යයි. නමුත් පැය කිහිපයකින් එම භූමිය ද දහවල ආක්‍රමණය කිරීම අරඹන නිසා එම භූමියෙන් ද රාත්‍රිය පසුබසී. මේ ආකාරයට දිගින් දිගටම රාත්‍රිය පසුබෑමකට ලක්වේ. මේ අනුව ශුද්ධ වු කුර්ආනය පවසන “පසුබසින රාත්‍රිය මත දිව්රා…” යන්න වාක්‍යය තුල කොතරම් බලවත් විද්‍යාත්මක සත්‍යයක් අන්තර්ගතද? එවන් වූ වාක්‍යයක් දෙස බලාගෙන මෙය ප්ලේටෝගෙන් උපුටා දැක්වීමක් මෙය භූ කේන්ද්‍ර වාදයක් යයි පැවසීම කොතරම් අනවබෝධයක්ද?

ඒ අනුව කවදත් පූර්ව නිගමනවල හිද අන්තවාදීව ඉස්ලාම් දහම විවේචනය කරන ඉහත ලිපියෙහි කතෘගේ චෝදනාවට පැහැදිලි පිලිතුරක් මේ තුල ඇත. එනම් ශුද්ධ වූ කුර්ආනයේ 74-33 වාක්‍යයට අනුව රාත්‍රිය යන්න දිගින් දිගටම පසුබෑමට ලක්වෙමින් දක්වන චලිතයක් තුල එම රාත්‍රිය අභිබවා යාමේ හැකියාව දහවලට නොමැති බව පැහැදිලිය. ඒ අනුව ශුද්ධ වූ කුර්ආනයේ 36-40 වාක්‍යයෙන් පවසන

“රාත්‍රියට දහවල පසුකර යා නොහැක…” (36-40)

යන්න මුළු මිනිස් සමාජයම මවිතකරව කුර්ආනීය හෙලිදරව්වක් මිස ඉහත කතෘ පවසනවා සේ එය ශුද්ධ වූ කුර්ආනය තුල පවතින වරදක් හෝ වෙනත් කිසිවකුගේ මතවාදයක් උපුටා දැක්වීමක් නොවේ. එසේ චෝදනා කිරීම ඔහුගේ අනවබෝධයක් හෝ අන්තවාදිත්වයක් මිස අන්කිසිවක් ද නොවේ.

ඒ අනුව ශුද්ධ වූ කුර්ආනයට මේ ආකාරයට පදනම් විරහිත ප්ලේටෝගේ මතවාදයන් උපුටා දැක්වීමේ අවශ්‍යතාවයක් නොමැත. මන්ද එය මීට සියවස් 14 කට පෙරම නිකලස් කොපර්නිකස් වැනි පිරිසට පවා පාඩම් කියාදෙන ආකාරයට මෙම විෂය පැහැදිලිවම ප්‍රකාශ කොට ඇති බැවිණි. එයට ඉහත ශුද්ධ වූ කුර්ආනයේ 74-33 යන වාක්‍යයෙන් පවසන “පසුබැස යන රාත්‍රිය” යන්න හා 36-40 යන වාක්‍යයෙන් පවසන “රාත්‍රියට දහවල පසුකර යා නොහැක” යන්න පැවසීම හොදම සාක්ෂි දෙකකි. එසේම මෙම කුර්ආනය මනුෂ්‍ය චින්තනවලින් එහා ගිය දිව්‍යමය වචන යන්නට ද ඉහත 74-33 හා 36-40 වාක්‍යයන් හොදම සාක්ෂියක් වේ.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp