දුල්කර්ණයින් තුමාගේ ගමන් මඟ හා පෘථිවියෙහි හැඩය

2

පසුගිය දිනක එක්තරා සිංහල භාෂාමය Blog එකක “තාරකා විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත” යන මැයෙන් ලිපියක් පලවී තිබුණි. එහි ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුර්ආනයේ විද්‍යාවට පරස්පර වූ කරුණු පවතින බව පවසමින් එය තහවුරු කිරීම සදහා චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කොට තිබුණි. ශුද්ධ වූ කුර්ආනයේ පරස්පරතාවයක් හෝ නොගැලපීමක් පවතින්නේ නම් එය ශුද්ධ වූ ග්‍රන්ථයක් නොවේ යන්නෙහි කිසිදු මුස්ලීම්වරයෙකු හට මතභේදයක් නැත. නමුත් පරස්පරතාවයන් හෝ නොගැලපීමන් පවතිනවා යයි පැවසූ පමණින් එය පිලිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට තරම් මුස්ලීම්වරුන් අන්ධ භක්තිකයන් ද නොවේ. මුස්ලීම්වරුන් එලෙස ක්‍රියාකිරීම අවශ්‍ය යන්න ඉස්ලාම් දහමේ අපේක්ෂාවද නොවේ. ඉස්ලාමීය ඉගෙන්වීම වන්නේ අවබෝධය තුලින් පිලිගෙන පිලිපැදිමය. එය ශුද්ධ වූ කුර්ආනයේ 47-24 වාක්‍යය මඟින් මෙසේ පවසයි,

“තවද ඔවුන් මෙම කුර්ආනය අධ්‍යනය නොකරන්නේ ද? එසේ නොකිරීමට ඔවුන්ගේ සිත් හි අගුල් දමලාද?”

ඒ අනුව ඉස්ලාම් දහම පදනමකින් තොරව පූර්ව නිගමනවල හිද විවේචනය කරන ඉහත Blog කරුවාට හෝ ඔහු වැනි පිරිස් සදහා ඉහත විෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය බුද්ධිමත් ආකාරයට පැහැදිලි කිරීමේ අනිවාර්ය වගකීමක් මුස්ලීම්වරුන්ට ඇත. කවදත් එම මෙහෙවර නිවරැදිව හදුනාගෙන ඉටුකරන යහමඟ අඩවිය ඉහත එම චෝදනාවන් සදහා ද පිලිතුරු ලබාදීමට අදහස් කරමි. ඒ අනුව එම චෝදනාවන් මොනවාද? එය කොතරම් දුරට වලංගුද? යන්න දැන් එකින් එක විමසා බලමු.

…මෙන්න අපේ මුල්ම සාක්කිය. පෘතුවිය වටකුරු බව අපි ඔක්කොම දන්නව. ඒ හින්දා ලෝකයේ එක තැනකට රාත්‍රිය වෙද්දී තව තැනකට දවාල. ඒත් කුරාණයේ හිරුගේ ගමන් මාර්ගය විස්තර කරන්නේ මෙහෙමයි.

018.086:Until, when he reached the setting of the sun, he found it set in a spring of murky water: Near it he found a People: We said: “O Zul-qarnain! (thou hast authority,) either to punish them, or to treat them with kindness.”
018.090: Until, when he came to the rising of the sun, he found it rising on a people for whom We had provided no covering protection against the sun.

කුරාණයේ විදියට ඉර බැස්සට පස්සේ යන්නේ මඩ වළක් ඇතුලටලු! බැස යන අන්තයේදී මඩ කඩිත්ත යටට යන හිරු පහු වෙනිද උදේට හිරු නැගෙන කෙළවරින් ආයෙත් උඩට එනවලු. ඒ කියන්නේ ලෝකයට බටහිර හා නැහෙනහිර යන අන්ත දෙකක් තියෙන බව කුරාණයෙන් හැඟෙනවා. අන්ත දෙකක් තියෙන බව කියවෙනවා නම් ඒකෙන් උපකල්පනය වෙන්නේ පෘතුවිය පැතලි බවයි! ඔන්න විද්‍යාත්මක ඉස්ලාම්!…

මේ ලිපිය ආරම්භයේ දීම සදහන් කලයුතු කාරණයක් ඇත. එනම් මීට වසර 1400 කට පෙර නොදියුණු සමාජයක පහල වූ දිව්‍යමය පුස්තකය වන කුර්ආනය මිනිස් සමාජයට විද්‍යාව උගන්වන විද්‍යාත්මක පුස්තකයක් නොවේ. එහි එකම අරමුණ මිනිස් සමාජයට සත්‍ය, අසත්‍ය හා යහමග, නොමග වෙන් කොට පෙන්වාදීමයි. නමුත් කුර්ආනය විද්‍යාවට පරස්පර යන්න හෝ කුර්ආන් පවසන කරුණු විද්‍යාත්මක නොවේ යන්න ඉන් අදහස් නොවේ. මා මෙසේ සදහන් කිරීමට විශේෂ හේතුවක් ඇත. ඒ කුර්ආනය කිසියම් විද්‍යාත්මක පදනමක් ඇති කරුණු පවසන විට සමහරක් අන්තවාදී පිරිස් එය විවේචනය කිරීම සදහා මතු කරන තර්කය තමා “කුර්ආනය විද්‍යාත්මක නම්, කුර්ආනය ඉදිරිපත් කරන විද්‍යාත්මක නිරීක්ෂණ කොහිද?” යන්න. මෙය සම්පූර්ණ වැරදි ක්‍රියා පිලිවෙතකි. මෙලෙස විද්‍යාත්මක නිරීක්ෂණ පදනම් කරගෙන තමා ආගමික ඉගෙන්වීමන් තුල විද්‍යාව අවබෝධ කරගත යුතුවන්නේ නම්, ලොව කිසිදු ආගමක් විද්‍යාත්මක නොවන බව පැහැදිලිව වටහාගත යුතුය. ආගම් යනු විද්‍යාවට වඩා දීර්ඝ අතීතයක් පවතින ක්ෂේත්‍රයකි. ඉස්ලාම් දහම ද ඉන් බැහැර කල නොහැක. එවන් වූ විද්‍යාත්මක දැනුම නොමැති සමාජයක ශුද්ධ වු කුර්ආනය එහි සියළු කරුණු විද්‍යාත්මකව කථා කලානම් එය එම සමාජයට හා ඊට පෙර සමාජයන්ට නොගැලපෙන්නට තිබුණි. එසේ වුවානම් එය දිව්‍යමය දහමක ඇතිවන ප්‍රබල දුර්වලතාවයකි. මන්ද නොගැලපීම යනු (අතීතය, වර්ථමානය හා අනාගතය පිලිබදව) අනවබෝධය නිසා සිදුවන්නකි. සර්වඥාන හා සර්ව බලධාරී අල්ලාහ් (දෙවියන්) ට මෙය කිසිසේත් සිදුවිය නොහැක්කකි. එසේ සිදුවන්නේ නම් ඔහු කිසිසේත් දෙවියෙක් වන්නට ද නොහැක යන්න ඉස්ලාම් මිනිස් සමාජයට දැඩිව අවධාරණය කරන කාරණයකි. ඒ අනුව දහමක තිබිය යුතු මූලික අවශ්‍යතාවය තමා එය සෑම කාලයටම අවබෝධයට පහසුවීම හා පරස්පරතාවයකින් තොරව ගැලපීම. සියල්ල විද්‍යාව තුලින් බලන වර්ථමාන සමාජයට බැලූ බැල්මට මෙලෙස පරස්පර එසේත් නැත්නම් නොගැලපෙන ලෙස පෙනන අවස්ථාවන් බොහෝමයක් කුර්ආනයේ ද දක්නට ඇත. මෙයට සරල උදාහරණයක් පවසනවා නම්,

ශුද්ධ වූ කුර්ආනයේ මිනිස් නිර්මාණයේ ආරම්භක අවධිය පිලිබදව පැවසීමේ දී 76-2 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි.

“සැබැවින්ම මා මිනිසා මැවුයේ ඉතා සුළු ප්‍රමාණයක සම්මිශ්‍රිත තරලයකිනි.”

මෑත භාගය වනතුරු ස්ත්‍රි, පුරුෂ ශ්‍රාවයන්ගේ සම්මිශ්‍රණයක් ලෙස තමා දරු කළලය නිර්මාණය වන්නේ යන්න පිලිබදව නිසි අවබෝධයක් සමාජයට නොතිබූණි. ඉහත වාක්‍යයේ “සම්මිශ්‍රිත තරල” යන වචනය තුලින් මීට වසර 1400 කට පෙර පැවතී නොදියුණූ සමාජයට එම ප්‍රබල විද්‍යාත්මක සත්‍යයක් ඉතා සරල ආකාරයට අනාවරණය කරයි. එහි විද්‍යාත්මක ස්වභාවය, එය සංසේචනය වන ආකාරය හා එහි ව්‍යුහය පිලිබද සංකීර්ණ විග්‍රහයන් මීට වසර 1400 කට පෙර පැවතී සමාජයට අල්ලාහ් (දෙවියින්) පැවසුවා නම් එය ඔවුන්ව සංකීර්ණ ගැටළුවලට මැදිකොට ඔවුනට එය නොගැලපෙන්නට මෙන්ම අවබෝධයට අපහසු තත්වයට පත්කරවන්නට තිබුණි. නමුත් ඒ සදහා “සම්මිශ්‍රිත තරල” යන වචන භාවිතය තුල ඒ අතීත නොදියුණු සමාජයට මෙන්ම වර්ථමාන දියුණු සමාජයටත් පැහැදිලි දැනුමක් මේ විෂය සම්බන්ධයෙන් කුර්ආනය ලබාදෙයි. නමුත් වර්ථමාන සමාජයේ සිකිවකු මෙම කාරණය නුතන විද්‍යාත්මක විග්‍රහයන් ලෙස කුර්ආනයේ පැවතිය යුතුයයි. පවසන්නේ නම් එය සාධාරණ වූ විනිශ්චයක් නොවේ. එපමණක් නොවේ එසේ පැවතීම අතිත නොදියුණු සමාජයකට කරන බලවත් අසාධාරණයකි. දිව්‍යමය දහමක මෙවැනි දුර්වලතාවයන් පැවතිය නොහැක. අනික් කාරණය මා ඉහතින් සදහන් කලා සේ විද්‍යාව පැවසීම මෙම පුස්තකයේ අරමුණ ද නොවේ. නමුත් සැබෑ දහමකට විද්‍යාව යනු අශිර්වාදයක් යන්න පැහැදිලිව අවබෝධ කරගත යුතුය. මන්ද ඒ තුලින් ආගමික ඉගෙන්වීමන් තහවුරු කරන බැවින් සහා වර්ථමාන ලොව තුල ආගම් හි වලංගු අවලංගුභාවයට විද්‍යාව ප්‍රබල අභියෝගයක් වන බැවිණි.

ඒ අනුව ඉහත වාක්‍යය සැලකුව ද “සම්මිශ්‍රිත තරල” වර්ථමාන විද්‍යාව විග්‍රහ කරයි. එම විග්‍රහය කුර්ආනයට පරස්පර නොවේ. පරස්පර නොවනවා පමණක් නොව විද්‍යාවට වඩා පියවර ගනනාවක් ඉදිරියෙන් හිද විද්‍යාවට පෙර එම සත්‍ය පවසයි. වෙනත් ආකාරයකට පවසනවා නම් වර්ථමාන විද්‍යාවට කුර්අනය ඉඟි ලබාදෙමින් මඟපෙන්වයි. මෙවැනි ඉඟි බොහෝමයක් කුර්ආනය තුලින් ගෙනහැර දැක්විය හැක. නමුත් ලිපියෙහි අරමුණ එය නොවන නිසා දැන් මාතෘකාව වෙත යොමු වෙමි. නමුත් ඉහත කාරණය හොදින් සිහියේ තබාගෙන මෙම මාතෘකාව වෙත අවධානය යොමු කලේ නම්, මෙම දේව වාක්‍යයන් තුල වර්ථමාන විද්‍යාත්මක විග්‍රහයන් බලාපොරොත්තු වීම අනුවන ක්‍රියාවක් යන්නත් එය සාධාරණ නොවන විනිශ්චයක් යන්නත් ඔබට අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත.

ඉහත ලිපියෙහි කතෘ ඉස්ලාම් අවිද්‍යාත්මක දහමක් එසෙත් නැත්නම් විද්‍යාවට පරස්පර වූ දහමක් යන්න තහවුරු කිරීමට ගෙන හැර දක්වන පලමු තර්කය තමා ඉහත 18-86, 18-90 කුර්ආන් වාක්‍යයන් මෙම වාදය ඉහත කතෘ ඉදිරිපත් කිරීම තුල තහවුරු පලමු කාරණය තමා මෙය ඔහුගේ සොයාගැනීමක් හෝ අදහසක් නොවන අතර මෙය වෙනත් කෙනෙකුගේ නිෂ්පාදනයක් යන්නයි. එසේත් නොමැති නම් ඔහු කුර්ආනය නිසි ලෙස පරිශිලනය නොකොට මෙම වාදයන් ඉදිරිපත් කරයි. මා එසේ පවසන්නට හේතුව ඔහු විසින් කුර්ආනයට විරුද්ධව ඉදිරපත් කරන එම චොදනාව තුලම ඔහුට පිලිතුරු ඇති බව නොදැනීම එක්කෝ මා ඉහත කී කාරණය තහවුරු කරයි. එසේත් නැත්නම් ඉන් ඔහුගේ කුහකකම හා අන්තවාදීත්වය මනාව පිළිඹිබු කරයි. දැන් එය සවිස්තරව විමසා බලමු.

ඉහත කතෘ කුර්ආනයේ 18-86 වක්‍යයෙන් අරභන එම චෝදනාවට මා ඊටත් වාක්‍ය කිහිපයක් ඉහල සිට පිලිතුරු දීම අරම්භ කරමි. ඒ අනුව ශුද්ධ වූ කුර්ආනයේ 18-83 සිට 18-86 දක්වා වාක්‍යය වෙත දැන් අවධානය යොමු කරමු.

“(මුහම්මද්!) දුල්කරණයින් පිලිබදව ඔවුන් නුඹගෙන් විමසන්නෝද? ඔහු පිලිබද වූ කරුණු ‘මා නුඹලාට පවසන්නම්’ යයි පවසනු. ඇත්තෙන්ම අපි ඔහුට භූමියෙහි ආධිපත්‍යය දී ඉතා ඉහල සැපසම්පත්ද දුන්නෙමු. සෑම වස්තුවක්ම තමන් කැමති ආකාරයට හැසිරවීමේ මඟක්ද දුන්නෙමු. ඔහු (භුමියෙහි) ගමනක් ඇරඹුවේය. සුර්යයා බැසයන (බටහිර) ස්ථානයට ඔහු ලඟා වූ විට මඩ සහිත ජලයෙහි එය ගිලීයනු ඔහු දුටුවේය. එහි එක් ජනසමාජයක්ද දුටුවේය…”

(ශුද්ධ වූ කුර්ආන් 18-83 සිට 86 දක්වා)

ඉහත කුර්ආන් වාක්‍යය සම්බන්ධයෙන් සදහන් කලයුතු කරුණු කිහිපයක් ඇත. එහි පලමු කාරණය තමා කුර්ආනය මේ පවසන්නේ කුර්ආනය පහලවීමටත් වසර සියගනනකට පෙර ජීවත් වූ එක්තරා සුවිශේෂි උත්තමයෙකු පිලිබදවයි. මොහු මේ පොලොව මත ඉතා බලසම්පන්න පාලකයෙකු ලෙසත්, දේව නියමයන්ට අවනතව ජීවත් වූ උත්තමයෙකු වූ බවත්, ඉස්ලාම් ආගමික මුලාශ්‍රයන් මඟින් අවධාරනය කරයි. එසේම මොහු ජීවත් වූ කාලය හා මොහුගේ රාජ්‍ය බලප්‍රෙද්ශය පිලිබදව කුර්ආනය තුල විස්තරයක් සදහන් නොවන අතර විදුවතුන් තුල විවිධ මතවාද හා අනුමාන පැවතී. එනම් මොහු මහාවීර ඇලැක්ස්සැන්ඩර් වියයුතු බවත්, ඉපැරණි පාරිසීය රජවරයෙකු වියයුතු බවත් තවත් සමහරැන් මොහු ඉතිහාස ලියවීමට පෙර කාලවල ජීවත් වූ ඉපැරණි රජෙකු වන්නට පුළුවන් බවත්… යනාදී අනුමාන ඉන් කිහිපයකි. මේ අනුව මෙම “දුල්කර්ණයින්” යනු මුහම්මද් (සල්) තුමාණන්ටත් (වසර1400 කටත්) බොහෝ පෙර කාලවල ජීවත් වූ පුද්ගලයෙකු යන්න පැහැදිලිය. ඔහු තම ජීවිතයේ රට වැසියන් සදහා ඉටුකිරීමට නියමිතව තිබූ මෙහෙවරක් වෙනුවෙන් පොළොව මත ඔහු දීර්ඝ ගමනක් ඇරඹුවා යන්න කුර්ආනය අවධාරණය කරන ප්‍රධාන කාරණයකි. (මේ පිලිබදව වැඩි විස්තර කුර්ආනයේ සදහා වේ) මොහු විසින් මිනිස් සමාජයට කල අනගි වූ මෙහෙවර හේතුවෙන් පසුකාලීනව පවා ජනතාව අතර ඔහු ජනප්‍රිය චරිතයක්ව පැවතුනි. මේ නිසාම මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාණන් බව සමාජයට ප්‍රකාශ කිරීමත් සමඟ අතීතයේ ජීවත් වූ ඒ දුල්කර්ණයින් පිලිබදව මුහම්මද් (සල්) තුමාණන්ගෙන් ජනතාව විමසන්නට විය. ඒ මොහොතේ දුල්කර්ණයින්ගේ සමකාලීනයෙකු නොවූ මුහම්මද් (සල්) තුමාණන් හට අල්ලාහ් (දෙවියන්) දේව වාක්‍යයන් මඟින් ඔහු පිලිබදව වූ විස්තර පවසයි. එම දේව පණිවුඩ අතුරින් කිහිපයක් තමා 18-83 වාක්‍යයෙන් අරඹා ඉහතින් පවසන්නේ. මෙම ඉහත වාක්‍යයන් සම්බන්ධයෙන් සදහන් කලයුතු විශේෂ කරුණක් ඇත. එනම් අල්ලාහ් දෙවියන් ඉහත 18-83 සිට දිගටම විස්තර කරන්නේ දුල්කර්ණයින් ඔහුගේ ගමන් මඟ තුල ඔහු ලද අත්දැකීම් යන්න පැහැදිලිවම වටහා ගතයුතුය. එය ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් මඟින් ද මනාව පිළිඹිබු වේ. නිදසුනක් ලෙස 18-86 වාක්‍ය මෙන්ම 18-90 වාක්‍යයේ ඉහත සිදුවීම පැවසීමේ දී එහි සදහන් වන්නේ “…ඔහු දුටුවේය…” යනුවෙනි. මෙයින් අවධාරණය කරන්නේ ඔහු දුටු ආකාරය මිස එය හරිද නිවරැදිද යන්න නොවේ. ඒ අනුව සූර්යයා මඩ සහිත ජලයෙහි ගිලි යනවා සේ දුටුවේ දුල්කර්ණයින් වන අතර ඔහු දුටු ආකාරය අල්ලාහ් (දෙවියන්) ඉහත කුර්ආන් වාක්‍යය මඟින් අපට පවසයි. මෙය ඕනෑම කෙනෙකු හට සරලව අවබෝධ කරගත හැකි එදිනෙදා සමාජයේ භාවිතා වන වචන වයවහාරයකි. එපමණක් නොවේ පියවී ඇසට දකින සැබෑවත් එයයි. සවස් කාලයක මුහුදු වෙරළට යන සියළු දෙන දකින්න ප්‍රිය කරන දසුනක් තමා හිරු බැස්ම එසේත් නැත්නම් හිරු මුහුදේ ගිලීම්. විද්‍යාවේ ඉනිපෙත්තෙහි සිටින වර්ථමාන සමාජය පවා පවසන්නේ හිරු බසිනවා, හිරු ගිලෙනවා, හිරු නඟිනවා… යානදී වශයෙනි. මෙවා කිසිවකු උපහාසාත්මකව හෝ අපහසාත්මකව විවේචනය නොකරයි. එපමණක් නොව ඉර උදාව ඉංග්‍රීසි භාෂාවෙන් Sunrise (sun+rise) යනුවෙන් පවසයි. මෙහි rise යන්න වචනය සැලකූවිට එහි අරුථ නැගිටීම, ඉස්සීම, උදාවීම යනදී වශයෙන් වේ. මෙය විද්‍යාත්මකව කොතරම් වැරදි භාෂා උපයොගිත්වයක්ද යන්න මා අමුතුවෙන් පැහැදිලි කලයුතු නොවේ. එපමණක් නොව සමාන්‍ය සමාජ ව්‍යවහාරයට අමතරව ලාංකීය සමරක් ජනප්‍රිය ගීතවල පවා මෙලෙස වචන භාවතාවෙන බව කවුරුත් දන්නා සමාන්‍ය කාරණයකි. නිදසුනක් ලෙස පවසනවා නම්,

  • හිරු හැංගී යන සැන්දෑවේ ඔබ මා අතහැර වෙන් වූයේ… (චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි)
  • හිරු ගිලිලා සඳ නැඟ ආ වෙලාවේ… (මතකය නිවරැදි නම් චන්ද්‍රලේඛා පෙරේරා)

මීට වසර දහස් ගානකට පෙර ජීවත් වූ දුල්කර්ණයින් හිරු බැසීම දුටු ආකාරයත්, විද්‍යාව තුලින් සියල්ල දකින වර්ථමාන සමාජය හිරු බැසයන ආකාරය දකින ආකාරයත් මධ්‍යස්ථව හිද බැළුවේ නම් උපහාසයට ලක්විය යුත්තේ කවර සමාජයක්ද? යන්න බුද්ධිමත් ඔබට මා පැවසීමට අවශ්‍ය නොවේ. එය එසේ වියයුතු යන්න මගේ වාදය නොවේ. මා විමසා සිටින්නේ දුල්කර්ණයින් දකින ලද ආකාරය වැරදි යයි පවසන්නට තරම් මෙම කාරණයේ දී අප බුද්ධිමත් වී ඇත්ද යන්නයි. ඒ අනුව ඉහත ලිපියෙහි කතෘ ඉදිරපත් කරන වාදය අනවබෝධය නිසා නොව අන්තවාදීත්වය හා කුහක බව නිසා ඇතිවුවාක් යන්න පැහැදිලිය. මෙවැනි පදනම් විරහිතව හෝ ඉස්ලාම් විවේචනය කිරීමට දිවා රෑ දැඩි වෙහෙසක නිරත වන පිරිසට කුමක් පැවසුවත් එය “මීහරකට වහින වැස්ස” මෙන් මිස ඔවුන් එය අවබෝධ කරගන්නේ නැහැ. නමුත් මධ්‍යස්ථව හා බුද්ධිමත් ලෙස කරුණු කාරණා විශ්ලේශණය කරන පිරිස් ද අප සමාජයේ සුළු වශයෙන් හෝ සිටින බැවින් ඔවුන් සදහා මෙම දුල්කර්ණයින්ගේ ගමන් මඟතුල තහවුරු කරන “පෘථිවිය හැඩය කුමක්ද?” යන විද්‍යාත්මක සත්‍යයක් පිලිබදව දැන් අවධානය යොමු කරමු.

ඉහත ලිපියෙහි කතෘ ශුද්ධ වූ කුර්ආනයේ 18-86 හා 18-90 වාක්‍ය දෙක ඉදිරිපත් කොට ඒවාට විවිධ අර්ථ කථනයන් ලබාදෙමින් ඔහු විසින්ම පූර්ව නිගමන කිහිපයකට ද එළඹ තිබූ ආකාරය ඔහුගේ ලිපිය තුල දක්නට තිබූණි. ඉන් එකක් තමා,

…ඒ කියන්නේ ලෝකයට බටහිර හා නැහෙනහිර යන අන්ත දෙකක් තියෙන බව කුරාණයෙන් හැඟෙනවා. අන්ත දෙකක් තියෙන බව කියවෙනවා නම් ඒකෙන් උපකල්පනය වෙන්නේ පෘතුවිය පැතලි බවයි!…

කවදත් මොහු කරන්නේ මෙවැනි තර්ක හා උපකල්පන ගොඩනඟමින් ලාංකීයේ බෞද්ධයන් නොමඟ යැවීමයි. ඔහුට ආවඩන (මහදැනමුත්තාට මෙන්) ගෝලයෝ රොත්තක්ද සිටීම හාස්‍යයට කාරණයකි. එසේම ඔහු විසින් ඉදිරිපත් කරන වාදය සදහා පෙන්වන 18-86 හා 90 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුලම ඔහුට පිලිතුරු ඇති බව ඔහුට මෙන්ම ඔහුගේ ගෝලබාලයන්ට නොපෙනීම ඔහුගේ මහදැනමුත්තා දැනුම මේනම ගෝලබාල දැනුම මනාව පිළිඹිබු කරන්නකි. දැන් ඔහු වාදයක් ගොඩනඟන්න යොදාගත් එම ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් පිලිබදව දැන් අවධානය යොමු කරමු.

ඉහත සදහන් 18-86 වාක්‍යයට අනුව දුල්කර්ණයින් ඉර බසින් ස්ථානයට ලඟාවීමත්, එය ජලය පිරී ස්ථානයක සැඟවයාමත්, එහි ජන සමාජයක් ජීවත්වීමත් (මෙම සමාජය පිලිබදව වැඩි විස්තර කුර්ආනයේ සදහන්ව ඇත) දැකීම තුල අනාවරණය වන කරුණු දෙකක් ඇත. එනම්,

  • ඔහු ගොඩබිම් මත තම ගමන සිදුකර ඇති බව
  • ඔහු බටහිර දිශාවට ගමන්කල බව.

ඉහත ආකාරයට එදින ගමන අවසන් කරන ඔහු එම ජනතාවට තමාගෙන් ඉටුවිය යුතු මෙහෙවර ඉටුකිරීමෙන් අනතුරුව (18-89 සදහන් ආකාරයට) තවදුරටත් ජනතා මෙහෙවර සදහා නැවතත් ගමන් අරභයි. එය ශුද්ධ වූ කුර්ආනයේ 18-90 වාක්‍ය යෙහි මෙසේ සදහන් වේ,

“අවසානයේ ඔහු ඉර උදාවන දිශාව දුටුව අතර…”

ඉහත වාක්‍යය දෙස ඔබේ බුද්ධිමත් අවධානය යොමු කොට බලන්න. ඔහු ගමන් කලේ බටහිර දිශාවට තවදුරටත් ඔහු එම දිශාවට ගමන් කල බව කුර්ආනය අවධාරණය කරයි. එසේ නම් දිගින් දිගටම බටහිර දිශාවට ගමන් කරන දුල්කර්ණයින් නැගෙනහිර දිශාව හමුවන්නේ කොහොමද? මේ හාස්කම මොකක්ද? මෙවැනි දෙයක් සිදුවීමට නම් ඒ සදහා පැවතිය තිබිය යුතු අවශ්‍යතාවයන් කුමක්ද? යන්න දැන් විමසා බලමු. ඒ සදහා පැවතිය යුතු ප්‍රධාන අවශ්‍යතාවයන් දෙකක් ඇත. එනම්,

  • ඔහු ගමන් මඟ වෙනස් කොට ආපසු පැමිණීම

ඉහත වාක්‍යයන් මඟින් ඔහු ගමන් මඟ වෙනස් නොකොට ඉදිරියටම ගමන් කලබව ශුද්ධ වූ කුර්ආනය තහවුරු කරයි. එපමණක් නොව කිසියම් මෙහෙවරක් සදහා ගමන් ඇරඹු ඔහු ආපසු පැමිණියා යන්නත් එහි දී අළුත් ජන සමාජයන් තවදුරටත් හමුවුවා යන්නත් කුර්ආන් වාක්‍යයන් බොහෝමයකට පරස්පර වූ ප්‍රායෝගික නොවන තර්කයකි. ඒ අනුව බටහිර දිශාවට තවදුරටත් ගමන් කිරීමේ දී නැගෙනහිර දිශාව හමුවුවා යන්න තමා නිවරැදි වටහාගැනීම වන්නේ.

  • පෘථිවය ගෝලාකාර වීම

පෘථිවිය පැතැලිව පැවතුනේ නම් බටහිර දිශාවට ගමන් කරන කිසිවකුටත් කිසිදිනක නැගෙනහිර දිශාව හමුවිය නොහැක. බටහිර දිශාවට ගමන් කරන කිසියම් කෙනෙකු නැගෙනහිර දිශාව හමුවීමට නම් ඒ සදහා පෘථිවියේ හැඩය ආකාර දෙකකින් එකක් වියයුතුය. එනම් ගෝලාකාර හෝ සිලින්ඩරාකාර යන දෙආකාරයෙන් එක් වියයුතුය. එසේ පැවතුනහොත් පමණි බටහිර දිශාවට ගමන්කල කෙනෙකු හට නැගෙනහිර දිශාව හමුවිය හැක්කේ. ඒ අනුව පෘථිවියේ හැඩය පැතලි නොවන බව පැහැදිලිය.

දැන් “පෘථිවිය සිලින්ඩරාකාර බව කුර්ආනය පවසනවා” යයි වාදයක් ඉදිරිපත් කරයිද?

ඉහත සිදුවීම තුල ඉතිහාස නිවරැදි කිරීමක් ද කරන්නට ඇත. එනම් ලෝකය ගෝලාකාර බව මැගලන් ගේ මුහුදු ගමන සාක්ෂියක් යයි පවසන සමාජය ඊට සියවස් ගනනාවකට පෙර එම සත්‍යය ලොවට කියාදුන්නේ දුල්කර්ණයින් බවත්, සමාජය හොදින් වටහාගත යුතුවේ. මේ අනුව ශුද්ධ වූ කුර්ආනය පවසන එම දුල්කර්ණයන්ගේ සිදුවීම තුල විද්‍යා විරෝධි එසේත් නැත්නම් විද්‍යාවට පරස්පර වූ කිසිවක් අන්තර්ගත නොවනවා පමණක් නොව විද්‍යාත්මක බොහෝ සත්‍යයන් මනාව පිලිඹිබු කරන බව පැහැදිලි වේ. මීට අමතරව පෘථිවය ගෝලාකාර යන්න පිළිඹිබු කරන බොහෝ වාක්‍යයන් ශුද්ධ වූ කුර්ආනයේ සදහන් වන අතර ඉදිරියේ දී එවැනි කරුණු මෙම යහමඟ අඩවිය හරහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 2 යි.

  1. යහමග 2012-05-17 at 02:24

    ජසාකල්ලාහ් යාලුවා….හදීස් ඒම මොනවා හරි තියනවද ඔය ගැන.

    • abuarshed 2012-05-17 at 10:19

      ඔබ කුමන කාරණය සම්බන්ධයෙන් හදීස් විමසනවාද? යන්න පැහැදිලි නැත, පැහැදිලි කරන්න.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *