26 දින නිවාඩුවට මොකද වුණේ?

1

මේ මාසයේ 26 දින සිට 29 දින දක්වා දින 04 බොහෝ දෙනෙකුගේ අවදානය දිනාගත් දින කිහිපයක් විය. විශේෂයෙන් රජයේ හා පුද්ගලික ආයතනවල සේවය කරන සේවකයන්ට මේ දින 04 බොහෝ බලාපොරොත්තු පිරි නිවාඩු දින කිහිපයක් විය. නමුත් හිටී හැටියේ පසුගිය 19 වන දින රජය නිළ නිවේදනයක් නිකුත් කරමින් 26 නිවාඩුව 27ට කල්ගිය බව ප්‍රකාශ කිරීම නිසා බලාපොරොත්තු සුන් වූ පිරිස් අතුරින් සමහරක් පිරිස් එයට එරෙහිව විවිධ ප්‍රකාශ නිකුත් කිරීමටත්, විටෙක රජයට බැන වැදීමටත්, තවත් විටෙක ඉස්ලාම් දහම හා මුස්ලීම් සමාජය ගැරහීමටත් කටයුතු කල ආකාරය අන්තර්ජාලය තුල දැකගන්නට ලැබුණි. එය කොතරම්ද යන්න පවසනවා නම් ශ්‍රී ලංකාවේ එක්තරා ඕපදූප වෙබ් අඩවියක් මෙම පුවත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයට ප්‍රතිචාර (comment) දැක්වීමේ දී ඉතා පහත් අන්දමින් සමහරක් පිරිස් අදහස් දක්වා තිබුණි. විෂය පිලිබදව කිසිදු අවබෝධයකින් තොරව එලෙස ඉදිරිපත් කොට තිබූ සමහරක් ප්‍රතිචාර එම අඩවියේ (Admin) ඇඩ්මින් විසින් අද වනවිට ඉවත් කොට තිබීම මා කියන ඉහත තත්වය මනාව කියාපාන සාධකයකි.

එය කෙසේ වෙතත් මෙවැනි තීරණයක් රජය විසින් ප්‍රකාශ කලේ ඇයිද? යන්න පිලිබදව ශ්‍රී ලාංකීය සමාජයට පැහැදිලි අවබෝධයක් ලබාදීමේ වගකීම මුස්ලීම් සමාජයට ඇත. එම වගකීම අවබෝධ කරගත් ‘යහමඟ‘ අඩවිය ඒ පිලිබදව මෙලෙස කෙටි විග්‍රහයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන අතර ඊට ප්‍රථම ඉහතින් සදහන් වෙබ් ලිපිය ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

26 රජයේ නිවාඩු නෑ 27 ට හජ්ජි කල් යයි

ලබන සතියේ සිකුරාදා (26) නියමිත රජයේ නිවාඩුව වෙනස්වී ඇතැයි රජය නිවේදනය කරනවා. ඔක්තෝබර් 26 සිකුරාදා දිනට යෙදී තිබුණු හජ්ජි උත්සවය 27 වන සෙනසුරාදා දිනට යොදා ගැනීමට කොළඹ මුස්ලිම් මහ පල්ලිය තීරණය කිරීම නිසා 26 වැනි දිනට නියමිත රජයේ නිවාඩුව 27 සෙනසුරාදා දින ලබාදීමට කටයුතු කර ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය දන්වා සිටිනවා. ඒ අනුව ඔක්තෝබර් මස 26 වන දින රජයේ නිවාඩුවක් ලෙස නොසලකන මෙන් රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ශ‍්‍රී ලාංකීය මුස්ලිම් ජනයා මෙවර හජ්ජි උත්සවය ඔක්තෝම්බර් මස 27 වන දින සමරන බව කොළඹ මහ පල්ලිය පසුගිය 15 වැනිදා නිවේදනය කර තිබුණා. ඉස්ලාම් ආගමික විශ්වාසය අනුව ඉකුත් 15 වැනිදින නව මාසය ආරම්භවීමට නියමිතව තිබුණද දිවයිනේ කිසිදු ප‍්‍රදේශයකින් හඳ ප‍්‍රදර්ශනය නොවීම නිසා මෙම තීරණය ගත් බව මහ පල්ලියේ ලේකම්වරයා පැවසුවා.

ඉහත ලිපියේ සදහන් කාරණය වෙත අවධානය යොමු කිරීමට පෙර මූලික වශයෙන් පැහැදිලි කලයුතු කාරණයක් ඇත. එනම්, ඉස්ලාමීය දින දර්ශනය යනු වර්ථමානයේ සමාජ සම්මතයේ තිබෙන දින දර්ශනය නොවන අතර එය චන්ද්‍ර මාස පදනම් කරගත් දින දර්ශනයක් වේ. එනම් ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසයකට දින 29 හෝ 30 යන්න සීමා වේ. මේ පිලිබදව වැඩි විස්තර නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය යන ලිපිය තුලින් ඔබට මෙම අඩවිය තුල කියවීමට හැක. ඒ අනුව ඉස්ලාමීය දින දර්ශනයට අනුව වර්ෂයකට මාස 12ක් පැවතුනත් එය වර්ෂයට දින 365ක් නොවේ. (මේ පිලිබදව වැඩි විස්තර ඉහත සදහන් ‘ඉස්ලාමීය දින දර්ශනය‘ නම් ලිපිය තුලින් ඔබට කියවීමට හැක) මේ ඉස්ලාමීය දින දර්ශනයට අනුව හා ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව වර්ෂයක් තුල මුස්ලීම්වරුන් සදහා උත්සව දින දෙකක් යෙදී ඇත. ඒ රමලාන් (උපවාස) මාසය අවසන් වී ඊලඟට උදාවන මාසයේ පලමු දිනය හා වර්ෂයේ අවසාන මාසය වන ‘දුල්හජ්‘ මාසයේ 10 වන දින යන්නයි. මේ උත්සව දින නිර්ණය කිරීමේ දී සෑම මුස්ලීම්වරයෙකුම පවත්නා මාසයේ නිමාව හා නව මාසයේ උදාව නිර්ණය කිරීම අත්‍යඅවශ්‍ය කාරණයක් වේ. මේ අනුව එනම්, ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව නව මාසයක උදාව හා පවත්නා මාසයේ නිමාව තීරණය කලයුත්තේ චන්ද්‍රයා මූලික කරගෙනය. (මෙම කාරණය ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයට අළුත් කාරණයක් විය නොහැක මන්ද බෞද්ධ සමාජය ද මාසය තීන්දු කිරීමේ දී පදනම් කරගන්නේ චන්ද්‍රයා වන නිසාය) විශේෂයෙන් පවත්නා මාසය දින 29 න් නිමා වන්නේද? යන්න තින්දු කලයුත්තේ සඳ බැලීම තුලිනි. නව සඳ දකින්නේ නම් පවත්නා මාසය නිමා වූ බවත් අලුත් මාසයක් ඇරඹූ බවත් තීරණය කරන අතර නව සඳ නොදුටූ විට පවත්නා මාසය දින 30ක් ලෙස පූර්ණ කොට ඊලඟ දිනය නව මාසයේ පලමු දිනය ලෙස සලකා (එයට සඳ බැලීම අවශ්‍ය නොවේ) ක්‍රියා කරනු ලැබේ. මේ අනුව ඉස්ලාම් දහම මෙම දින නිර්ණය කිරීමේ දී සඳ බැලීම දැඩිව අවධාරණය කරන බවත් එය කලින් තීන්දු කල හැකි එකක් නොවන බවත් ඔබට දැන් පැහැදිලි විය යුතුය.

මෙහිදී පාඨක ඔබේ අවධානයට සදහන් කලයුතු තවත් කාරණා කිහිපයක් ද ඇත. එහි පලමු කාරණය ලෙස නව සඳ අනුමාන වශයෙන් නිර්ණය කිරීම යන්න පිලිබදව කථා කරන්නේ නම්, නව සඳ පිලිබදව ආසන්න වශයෙන් අනුමාන කිරීමන් කලහැකි වුවත් එය පදනම් කරගෙන ආගමික කටයුතුවල නිරතවීමට ඉස්ලාම් දහම තුල අවසර නැත. (නව සඳ පිලිබදව ආසන්න වශයෙන් ඉඟි ලබාදෙන වෙබ් අඩවි බොහෝමයක් අන්තර්ජාලයේ දක්නට ඇත. මෙහි පහතින් ඉදිරිපත් කොට ඇත්තේ ද එවැනි ඉඟි ලබාදීමකි.)

සඳ හි වර්ථමාන තත්වය

 

ඉහත කාරණයන් හොදින් මතකයේ රදවාගෙන ඉහත බ්ලොග් ලිපියේ සදහන් කාරණය වෙත යොමු වන්නේ නම්, ඉහතින් සදහන් ඔක්තෝම්බර් මස 26 දින ‘හජ් උත්සවය‘ යන්න ද ඉහත සදහන් ආකාරයේ ආසන්න වශයෙන් නිර්ණය කිරීමක් මිස නිශ්චිත දිනයක් නොවේ. එනම් නව මාසය සදහා (එම මාසයේ 29 වන දිනය) සඳ උදාව බලන්න නියමිතව තිබූ අතර එදින නව සඳ දුටුවේ නම් 26 දින (එනම් එම මාසයේ දස වන දින) හජ් උත්සවය සමරණ්නට තිබුණි. නමුත් ඔක්තෝම්බර් මස 16 දින නව සඳ නොදුටු නිසා එම මාසය දින 30ක් ලෙස පූර්ණ කොට නව මාසයේ පලමු දිනය වශයෙන් ඔක්තෝම්බර් මස 17 ලෙස සලකා (එම මාසයේ 10 වන දින) එනම් ඔක්තෝම්බර් මස 27 දින හජ් උත්සවය සැමරීමට තීන්දු කරන ලදී. මෙහිදී ඔබේ අවධානයට ගෙන ආයුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම් ඉහත බ්ලොග් ලිපියේ පවසනවා සේ මෙම උත්සව දිනය ‘…කොළඹ මුස්ලිම් මහ පල්ලිය තීරණය කිරීම නිසා…‘ යනුවෙන් පැවසීම නිවරුදි නොවේ. මන්ද ඉහත තීරණය ගැනීම එවැනි පාර්ශවයකට ඉස්ලාම් දහම පවරා ඇති වගකීමක් නොවේ. මෙය ඉස්ලාම් දහම සමස්ථ මුස්ලීම් සමාජයට පවරා ඇති සාමූහික වගකීමකි. නමුත් කොළඹ මහා පල්ලිය මෙම කර්තව්‍යය සංවිධානාත්මක ලෙස ඉටුකරන නිසා එම පල්ලිය මඟින් ප්‍රකාශ කරන තුරු බලාහිදින තැනට අද මුස්ලීම් සමාජය යොමු වී ඇත. මෙම තත්වය වෙනස් වියයුතුය. සෑම මුස්ලීම්වරයෙකුම මාසයේ මුල සඳ බැලීම ජීවිතයේ එක් අංගයක් කර ගතයුතුය.

මෙහිදී මුස්ලීම් සමාජයේ අනවබෝධය සිදුවන තවත් කාරණයක් ඔබේ අවධානයට ගෙන ආයුතුව ඇත. අද ඉස්ලාමීය ලෝකය මාසයේ උදාව නිර්ණය කිරීම යන කාරණය තුල ද භේද වී ගොස් ඇත. විවිධ පාර්ශවයන් විවිධ ක්‍රමවේදයන් ඒ සදහා අනුගමනය කරන අවාසනාවන්ත තැනකට අද ඉස්ලාමීය ලෝකය තල්ලුවී ඇත. එක් පාර්ශවයක් ජාත්‍යන්තරය පදනම් කරගත යුතු බව පවසන විට (එනම් ලොව කොතැනක හෝ සඳ දුටුවේ නම් ඒ අනුව මාසයේ උදාව බව) තවත් පාර්ශවයක් දේශිය වශයෙන් දකින සඳ පමණක් පදනම් කරගතයුතු බව පවසයි. (කොළඹ මහා පල්ලිය ඇතුළු අප රටේ බහුතරය), තවත් පාර්ශවයක් ගණනය කිරීම තුලින් කලින්ම නිර්ණය කලහැකි බව පවසන විට තවත් පාර්ශවයක් සවුදි අරාබිය පදනම් කර ගතයුතු බව පවසයි. මේ ආකාරයට විවිධ මතවාද ඔස්සේ අද මුස්ලීම් සමාජය මේ සම්බන්ධයෙන් ක්‍රියා කරමින් සිටී. මේ පිලිබදව දළ අවබෝධයක් පහත link එක නැරඹීම තුලින් ලබාගත හැක.

දුල්හජ් මාස නව සඳ උදාව පිලිබදව ලෝවටා තොරතුරු දැන ගැනීමට මෙහි Click කරන්න…

අවාසනාවේ තරම් නම් මෙම සියළු මතවාදයන් අපේ පුංචි රට තුල ද අද වනවිට ක්‍රියාත්මක වීමයි. මෙම තත්වයන් දකින මුස්ලීම් නොවන සමාජයට මෙම විෂය සම්බන්ධයෙන් ඉස්ලාම් දහම තුල කිසියම් ව්‍යාකූල බවක් පවතින බව සිතෙනවා නොඅනුමානය. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මෙවැනි පරස්පර වූ විවිධ ක්‍රමවේදයන් ඉස්ලාම් මුස්ලීම් සමාජයට හදුන්වා නොදුන් බවත් ආගමික අනවබෝධය නිසා මෙවැනි තත්වයන් වර්ථමාන මුස්ලිම් සමාජය තුල නිර්මාණය වී ඇති බවත්ය. ඒ අනුව එවන් තත්වයන් පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පැහැදිලි කිරීමන් සිදු කරන අතර තුර මුස්ලීම් සමාජය ද තම දුර්වලාතාවයන් නිවරුදි කර ගැනීමට කටයුතු කලයුතුය.

 

අබූ අර්ශද්

 

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. Mohamed 2014-10-05 at 09:02

    මෙවර(2014/8/6) හජ් උත්සවයද උක්ත ලිපියට සමාන සිදු වීමකි නමුත් සව්දියට සද දර්ශනය වී දවස් 2කට අනතුරුව ලංකාවේ හජ්ජි උත්සවය සෑමරීම වර්තමාන මුස්ලිම් සමාජයට මහත් වු ගෑටලුවකි තවද නිකායන් දෙකකට බෙදී හජ්ජි සෑමරීමද මුස්ලිම් සමාජයේ එකමුතුවට මෙන්ම වර්තමාන ඉස්ලාම් ආගමික විවේචකයන්ට අනුබල දෙන්නක් වෑනිය

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *