දෙවි හමුවේ උසස් පුද්ගලයා වන්නේ…

0

මනුෂ්‍යා ජීවත් වන්නේ තම ජීවිතය තුල විවිධ අරමුණු හා ඉලක්ක නිර්මාණය කරගෙනය. මේ අරමුණු හා ඉලක්ක නොමැති විට ඔහු මානසික රෝගියෙක් එසේත් නැත්නම් මළකඳකි. ඒ අනුව බුද්ධියක් ඇති සෑම කෙනෙකුහටම අරමුණක් හා ඉලක්කයක් ඇත. එය ද ප්‍රධාන කොටස් දෙකකට බෙදේ එනම් ලෞකික අරමුණු හා ලෝකෝත්තර අරමුණු වශයෙනි. දෙවියන් බොහෝ විට මනුෂ්‍යාගෙන් අපේක්ෂා කරන්නේ ලෝකොත්තර ඉල්කක කුමක්ද? යන්නයි. ඒ අනුව ලෝකොත්තර දිවිය ජය ගැනීමට නම් ඔහු තුල උසස් වූ ගුණාංගයන් පැවතිය යුතුය. එය සෑම දහමක්ම අවධාරණය කරන මූලික කාරණයකි. ඉස්ලාම් දහම ද ශුද්ධ වූ කුර්ආනයේ (49-13) වාක්‍යය මඟින් එය මෙලෙස අවධාරණය කරයි.

“…ඔබගෙන් කවුරුන් ඉතාමත් බියබැතිව සිටින්නේද ඔහු නියත වශයෙන්ම අල්ලාහ් (දෙවියන්)ගේ සන්නිධානයේ ඉතා ගෞරවණීය තැනැත්තාය.”

ඉහත වාක්‍යයට අනුව දෙවියන් හමුවේ උසස් පුද්ගලයා තීරණය වන්නේ ජාතිය, කුලය, දේශය, වරණය, භාෂාව… මූල්කරගෙන නොව ඔහු කොතරම් දෙවියන්ට අවනතව ජීවත්වනවාද? යන්න පදනම් කරගෙනය. මෙය දෙවියන්ට පමණක් ආවේණික අංගයක් නොව එදිනෙදා සමාජයේ මනුෂ්‍යාද බොහෝ දෑ තීරණය කරන්නේ ඒ ආකාරයටය. උදාහරණයකට ආයතන ප්‍රධානියකු තම සේවකයාගේ කුලය, ජාතිය, වර්ණය, භාෂාව, ආගම… යනාදී කරුණු පදනම් කරගෙන ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය තීරණය නොකරයි. ඔහු බලන්නේ තමන් පවරන රාජකාරිය කොතරම් නිවරැදිව, වගකීමේන් හා කැපවීමෙන් ඉටුකරනවාද? යන්නයි. මෙය රැකියාවට පමණක් නොවේ. දෛනික ජීවිතයේ සෑම අවස්ථාවකටම මෙය වැදගත් වේ. උදාහරණයක් ලෙස විවාහයක් සැලකුවත් එහි දී ද වැදගත් වන්නේ කුලය, ජාතිය, වර්ණය, දේශය… යනාදී කාරණයන් නොවේ. එහිදීත් වැදගත් වන්නේ කොතරම් අවංකව, අවබෝධයෙන් හා කැපකිරීමන් ඇතුව ජීවිත් වෙනවාද? යවන්නයි. එය ලාංකීය සමාජයේ “කුලය” මුල්කරගෙන සිදුකල විවාහ හා එහි සිදුවන දික්කසාද මෙන්ම කිසිවක් නොබලන (මුස්ලීම්) සමාජයේ විවාහ හා එහි සිදුවන දික්කසාද සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කරන ඕනෑම කෙනෙකුහට එහි සැබෑ තත්වය මනාව පැහැදිලි වනු ඇත. මේ අනුව මනුෂ්‍යා පවා සියළු කාරණයන් නිර්ණය කිරීමේ දී කුලය, ජාතිය, වර්ණය, භාෂාව, ආගම… යනදීය මූලික කරගැනීම නිවරැදි ක්‍රමයක් නොවන බව පැහැදිලි වේ. මනුෂ්‍යාහටම එය ප්‍රායෝගික නොවේ නම් එම කාරණය මනුෂ්‍යාගේ උසස් පහත් බව නිර්ණය කිරීම පිණිස දෙවියන් එය පදනම් කරගනීද? එසේ කරන්නෙකු දෙවියෙකු වන්නට පූළුවන්ද?. දෙවියන් හමුවේ වැදගත් වන්නේ මනුෂ්‍යාගේ සිතුවිල්ල පමණි. මෙය වරක් මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී.

“දෙවියන් විසින් මනුෂ්‍යාගේ වස්තුව (ධනය) හෝ භාහිර ස්වරූපය නොබලයි. ඔහු බලන්නේ මනුෂ්‍යයාගේ හඳවත හා ක්‍රියාවන් පමණි.”

මූලාශ්‍රය ග්‍රන්ථය – මුස්ලීම් 4651

ඉහත හදීසයට අනුව ද පැහැදිලි වන්නේ මනුෂ්‍යාගේ වැදගත් වන්නේ ඔහුගේ භාහිර ස්වරූපය (වර්ණය), ඔහුගේ ධනය, ඔහුගේ කුලය, ජාතිය, භාෂාව… යනාදී කරුණු නොව ඔහු කොතරම් දෙවියන්හට අවනතව ජීවත් වෙනවාද? යන්නයි. ලාංකීය සමාජයේ පවා අප නිරන්තරයෙන් දකින වාදයන් තමා අප උසස් කුලය, අප උසස් ජාතිය, අපේ භාෂාව උසස් භාෂාව… යනාදිය. මේවා කිසිවකට වැදගත්කමක් නොමැති බව ඉහත හදීසය පැහැදිලිවම පවසා සිටී. එසේම උසස් පහත් බව යන්න දෙවියන් හා මනුෂ්‍ය සිත කරනු ලබන ගනුදෙනුවකි. එය නිර්ණය කිරීමේ ශක්තිය හෝ හැකියාව පැහැදිලිවම අපට නැත. මේ හේතුව නිසා තමා ශුද්ධ වූ කුර්ආනයේ 49-11 වාක්‍යය මෙසේ පවසන්නේ,

“මුස්ලීම්වරුනේ! එක් සමාජයක් තවත් සමාජයක් අපහසයන්ට ලක්කරන්න එපා. මන්ද අපහසයන්ට ලක්වන සමාජය අපහස කරන සමාජයට වඩා ශ්‍රේෂ්ඨයන් වන්නට පුළුවන…” (49-11)

ඉහත කුර්ආන් වාක්‍යය සදහන් ආකාරයට මනුෂ්‍යාගේ ශ්‍රේෂ්ඨත්වය නිර්ණය කරන සාධකය ඔහුගේ බාහිරින් රැදී නොපවතී. එය මනුෂ්‍යා, දෙවියන් සමඟ හදවතින් කරන ගනුදෙනුවකි. ඒ අනුව “අප උසස්” යන වාදය භාෂාව, කුලය, දේශය, ජාතිය… යනාදී ලෞකික කාරණයන් පදනම් කරගත නොහැක. නමුත් අද සමාජය ඉහත සදහන් සමාජ උස් පහත් භේදය නිර්මාණය කිරීමට යොදා ගන්නේ ඉහතින් සදහන් ලෞකික අංගයන්ය. මෙය අද පමණක් නොව මීට වසර 1400 කට පෙර ඉස්ලාම් ප්‍රකාශ වූ ඒ අඥාන සමාජයේ පවා පැවති විශ්වාසයකි. එයට පහත හදීසය හොද නිදසුනකි.

“වරක් මුහම්මද් (සල්) තුමාණන් හමුවට එක්තරා කෙනෙකු පැමිණි ‘මනුෂ්‍යයන් අතුරින් ශ්‍රේෂ්ඨයා කවුරුන්ද?’ යයි විසමන ලදී. එයට නබිතුමාණන් ‘මනුෂ්‍යයන් අතුරින් අල්ලාහ් (දෙවියන්)ට අධිකව අවනත වන්නන් තමා’ යයි පවසන ලදී. එයට ඔහු ‘අප ඔබතුමාගෙන් ඒ ගැන විමසුවේ නැහැ’ යයි පවසන ලදී. එයට මුහම්මද් (සල්) තුමාණන් ‘එසේ නම් අල්ලාහ් (දෙවියන්)ගේ මිත්‍රයා වන ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන්ගේ (මොහු අතීතයේ ජීවත් වූ වක්තෘවරයෙකි) පුත්‍රයා වන ඉස්හාක් (අලෛ) තුමාණන්ගේ (මොහු ද අතීතයේ ජීවත් වූ වක්තෘවරයෙකි) පුත් යාකූබ් (අලෛ) තුමාණන්ගේ (මොහු ද අතීතයේ ජීවත් වූ වක්තෘවරයෙකි) පුත් යූසුෆ් (අලෛ) තුමාණන් (මොහු ද අතීතයේ ජීවත් වූ වක්තෘවරයෙකි) තමා’ යයි පවසන ලදී. එයට ඔහු නැවතත් ‘අප ඔබතුමාගෙන් ඒ ගැන විමසුවේ නැහැ’ යයි පවසන ලදී. එයට නබිතුමාණන් ‘අරාබිවරුන්ගේ පරම්පරාව ගැනද විමසන්නේ?’ යනුවෙන් විමසන ලදී එයට ඔහු ‘ඔව්’ යනුවෙන් පිලිතුරු දෙන ලදී. එයට නබිතුමාණන් ‘අඥාන (ඉස්ලාම් ප්‍රකාශවීමට පෙර) කාලයේ ශ්‍රේෂ්ඨයන් ලෙස ජීවත් වූ පිරිස් පසුකාලීනව ඉස්ලාම් දහමේ ශ්‍රේෂ්ඨයන් බවට පත්වන්නට ඇති. ඒ ඔවුන් දහම් ඥානය ලැබුවේ නම්’ යයි පවසන ලදී.”

දන්වන්නේ – අබූහුරෙයිරා (රලි) තුමාණන්, මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 4689

ඉහත හදීසය හොදින් අධ්‍යනය කලේ නම් පැහැදිලි වන කාරණා කිහිපයක් ඇත. එහි මූලික කාරණය ඉහත ප්‍රශ්න කරන කෙනාගේ එකම අරමුණ අරාබිවරුන් කොතරම් ශ්‍රේෂ්ඨද? යන්න මුහම්මද් (සල්) තුමාණන්ගෙන් අසා දැනගැනීමයි. නමුත් නබිතුමාණන්ගේ පිලිතුර “මනුෂ්‍යයන් අතුරින් අල්ලාහ් (දෙවියන්)ට වඩාත් අවනත කෙනා තමා ශ්‍රේෂ්ඨයා වන්නේ” යන්නයි. නිසි පිලිතුර නොලැබූ ඔහු නැවතත් ප්‍රශ්න කරයි. එවිට (මොවුන් පාරම්පරා පිලිබදව විමසන බව අවබෝධකරගත් නබිතුමාණන්) දෙන පිලිතුර යුසුෆ් (අලෛ) තුමාණන් යන්නයි. කිසියම් කෙනෙකු පරම්පරාගතව ශ්‍රේෂ්ඨ වන්නට ඔහු පමණක් ශ්‍රෙෂ්ඨවීම ප්‍රමාණවත් නොවේ. ඔහුගේ පියා පියාගේ පියා… යනාදී වශයෙන් සියළුදෙනා ශ්‍රෙෂ්ඨයන් වියයුතුය. දැන් යුසුෆ් (අලෛ) නබිතුමාණන්ගේ පරම්පරාව සැලකූවිට එතුමාණන්ගේ පියා, සීයා හා මුත්තා යන සියළුදෙනා වක්තෘවරැන් (නබිවරැන්) එපමණක් නොවේ ඔහුගේ මුත්තා “අල්ලාහ්ගේ මිත්‍රයා” මෙම ගෞරවය ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමා හැර අන්කිසිදු වක්තෘවරයෙකුට ලැබූණේ නැහැ. ඒ අනුව පරම්පරාවක් ලෙස ගත්විට ශ්‍රේෂ්ඨම පරම්පරාව ඇත්තේ යූසුෆ් (අලෛ) තුමාණන්ට තමා. මෙහෙදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ද ඇත. එනම් ඉහත සදහන් යූසුෆ්, යාකූබ්, ඉස්හාක් හා ඉබ්බ්‍රාහීම් යන සතර දෙනා අරාබි සම්භවයක් ඇති පිරිස් නොවේ. අවසානයේ නැවතත් ඔවුන් අරාබිවරුන් පිලිබදවම ප්‍රශ්න කිරීමේ දී නබිතුමාණන් පවසා සිටියේ මනුෂ්‍යාගේ ශ්‍රේෂ්ඨත්වය රදා පවතින්නේ ඔහුගේ පරම්පරාව අනුව නොව ඔහුගේ ක්‍රියා කලාපය අනුව බවයි. තවත් අවස්ථාවක මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී

“සත්ක්‍රියාවන් මිස පරම්පරාව නූඹව ස්වර්ගයට ගෙන නොයනු ඇත.”

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම් 4867

මේ අනුව පරම්පරාව (එනම් ජාතිය, කුලය) පදනම් කරගෙන මනුෂ්‍යාගේ ශ්‍රෙෂ්ඨත්වය නිර්ණය කිරීම මිත්‍යාවක් හා අනවබෝධයක් යන්න පැහැදිලිය. මෙය අවබෝධ කරගැනීමට ගැඹුරු ගවේෂණයන් අවශ්‍ය නොවේ. සෑම ජාතියකම, කුලයකම, විවිධ භාෂාවන් කථා පිරිස් අතරම යහපත් පිරිස් මෙන්ම අයහපත් පිරිස්ද සිටී. තම කුලය ඉහල කුලයක් වූ පමණින් එම සමාජයේ සෑම ක්‍රියාවක්ම සත්ක්‍රියාවන් නොවේ. එසේම පහත් යයි සලකන සමාජයේ සියළු ක්‍රියාවන් අයහපත් යයි පැවසිය නොහැක. මේ ආකාරයට ජාතිය, දේශය, වර්ණය, භාෂාව… යන ඕනෑම කාරණයක් සැලකුවද ඉහත තත්වය වෙනස් නොවේ. එසේ තිබියදී එම කාරණයන් පදනම් කරගෙන තමන් තම සමාජය උසස් යයි පැවසීම අනවබෝධය හා අන්තවාදීත්වයක් පමණි. අවසාන වශයෙන් මුහම්මද් (සල්) තුමාණන් තම අවසාන දේශනයයේ අවධාරණය කල තවත් ප්‍රකාශයක් ඔබගේ අවධානයට යොමු කරමි. එනම්.

“මනුෂ්‍යයනී ! දැනගන්න. ඔබගේ දෙවියා එකම එක දෙවියායි!, ඔබ සියළුදෙනාගේ පියාද එකම එක්කෙනයි. දැනගන්න!, අරාබි කථා කරන්නා අරාබි කථා නොකරන්නාට වඩා කිසිදු අයුරකින් උසස් නොවේ. එසේම අරාබි කථා නොකරන්නා අරාබි කථාකරන්නාට වඩා කිසිදු අයුරකින් උසස් නොවේ. තවද (සමේ පාට) රතු වූ කෙනා කළුපාට පුද්ගලයාට වඩා උසස් නොවේ. නුඹලාගෙන් උසස් කෙනාවන්නේ (අල්ලාහ්) දෙවියන්ට වඩාත් අවනතව ජීවත්වන කෙනා වේ.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද් 22391

මේ අනුව සමාජයේ උස් පහත් භේදය පවතින්නේ ඔහු කොතරම් දෙවියන්ට අවනතව ජීවත්වනවාද? යන්න මුල්කරගෙන මිස කුලය, ජාතිය, දේශය, වර්ණය, භාෂාව… යනාදී ලෞකික කරුණු පදනම් කරගෙන නොවේ. මේ කාරණය නිසිඅයුරින් සමාජය අවබෝධකර ගැනීම අතපසුකල නිසා තමා අද මිනිස් සමාජය විවිධ මතවාද මුල්කරගෙන විවිධ කොටස්වලට බෙදී එකින් එකාට වෛරය වපුරමින් ජීවත් වන්නේ. නමුත් ඉස්ලාම් එම මිත්‍යාවන් බිද දමමින් මීට වසර 1400 කට පෙර ස්ථීරසාර අත්තිවාරමක් යොදන්නට සමත්විය. එහි ප්‍රථිපලය තමා ඉහත මිත්‍යාවෙන් මිදුනු වර්ථමාන මුස්ලීම් සමාජය. ලොව සෑම ආගමක්ම හා ඒවා අනුගමනය කරන ප්‍රජාව අභිබවා ඉස්ලාම් දහමට මෙම මිත්‍යාවෙන් මිදීමට හැකිවුයේ එය මනූෂ්‍ය චින්තනයන්ගෙන් බැහැර වූ දිව්‍යමය දහමක් වූ නිසාම පමණි.

ලිපියෙහි පලමු කොටස කියවීමට…

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *