නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය

1

වසරක් ගෙවී ගොස් නව වසරක උදාවෙහි සිටින මේ මොහොතේ, කවදත් කාලීන මාතෘකාවන් කථා කරන යහමග වෙබ් අඩවිය අදත් “ඉස්ලාමීය දින දර්ශනය හා නව වසරක උදාව” යන මාතෘකා ඔස්සේ කරුණු කිහිපයක් ඔබේ අවදානයට ගෙන ඒමට අදහස් කරමි. එහිදී  ‘ඉස්ලාමීය නව වසර යනු කුමක්ද?’ යන්නත්, එහි උදාව සිදු වන්නේ කෙසේ ද? යන්නත්, ඒවා නිර්ණය කරනු ලබන්නේ කුමක් පදනම් කරගෙන ද? යන්නත්, එය නිර්ණය කරන්නේ කෙසේ ද? යන්නත් තරමක ගැඹුරින් මෙහිදී සාකච්ඡා කිරීමට අදහස් කරමි.

මෙහි ප්‍රථමයෙන් වටහා ගතයුතු කාරණය වර්තමානයේ ලොව පවතින (ක්‍රිස්තු වර්ෂ) දින දර්ශනය ලොව ආරම්භයේ සිට එසේත් නැත්නම් ආදිතම මිනිසාගේ පටන් පැවත එන්නක් නොවේ යන්නයි. එපමණක් නොව එය ලොව සමස්ථ මිනිස් වර්ගයාම ඒකමතිකව පිළිගත් දින දර්ශකයක් ද නොවේ. වර්තමාන දින දර්ශනය ක්‍රිස්තුස් වහන්සේගේ උපත පදනම් කරගෙන නිර්මාණය වී ඇත. වර්තමාන තාක්ෂණ දියුණුවත්, මුළු ලොවම විශ්ව ගම්මානයක් වීමත්, ඒ තුල දින ගණනය කිරීම සදහා කැමැත්තෙන් හෝ අකැමත්තෙන් ජනතාවට පොදු එකඟතාවයක් ඇතිකර ගැනීමට සිදුව ඇත. ඒ අනුව ලොව බහුතර පිරිසක් වන කිතුණුවන්ගේ තීරණයකට අනුව “ක්‍රිස්තු වර්ෂය” නම් වූ ගණනය කිරීම ලොව සම්මත පිළිගැනීමක් බවට පත්ව ඇත. යේසුස් තුමාගේ උපතේ සිට මේ දක්වා කාලය ක්‍රිස්තු වර්ෂ (ක්‍රි.ව.) යනුවෙන්ද, එතුමාගේ උපතට පෙර කාලය ක්‍රිස්තු පූර්ව (ක්‍රි.පූ.) යනුවෙන් ද භාවිතයට ගැණුනි. මෙලෙස ආරම්භ වූ දින දර්ශනය නිර්මාණය කිරීමේ දී එහි කාලය එනම් දින, සති, මාස හා වර්ෂ යනාදිය නිර්ණය කිරීම සදහා යම් යම් උපකල්පනයන් ද එහි භාවිත වුණි. එනම් සූර්යයාට සාපේක්ෂව පෘථිවි චලිතය පදනම් කරගෙන දින දර්ශනය නිර්මාණය කරවිය. එනම් පෘථිවි පරිභ්‍රමණය අනුව දිනයත්, එවැනි දින හතක් සතිය ලෙසත්, ඉන්පසු දින 28, 29, 30 හෝ 31 මාසය ලෙසත්, පෘථිවිය සුර්‍යයා වටා එක් වටයක් ගමන් කිරීමට ගතවන කාලය (ආසන්න වශයෙන් දින 365) වර්ෂයක් ලෙසත්, එම වර්ෂයකට මාස 12ක් ලෙසත් නිර්මාණය කරන ලදී. මේ ආකාරයට නිර්මාණය කළ දින දර්ශනය අද ජාත්‍යන්තර දින දර්ශනය ලෙස භාවිත වේ. ජාත්‍යන්තර දින දර්ශනය ඒ ආකාරයට පැවතුණද ඉස්ලාම් ලොවට හදුන්වාදෙන දින දර්ශනය ඊට වඩා තරමක වෙනස් ආකාරයක් ගනී. එහි වර්තමාන දින දර්ශනයට සමානකම් ඇති දෑ මෙන්ම අසමානකම්ද පවතී. ඒ පිළිබඳව දැන් කෙටියෙන් විමසා බලමු. මෙම කාරණය පිළිබඳව තරමක් පුළුල් ලෙස මෙහි සාකච්ඡා කිරීමට අදහස් කරන නිසා එය විවිධ කොටස්වලට බෙදා ඒ එකින් එක කථා කිරීමේ අවශ්‍යතාවයක් පවතී.

ඒ අනුව මෙතැන් සිට මාතෘකාව වෙත යොමු වන්නේ කාලය පිළිබඳව අල්ලාහ්  (දෙවි) මිනිස් සමාජයට අනාවරණය කරන දිව්‍යමය සත්‍යයක් ඔබේ බුද්ධිමත් අවධානයට තබමිනි. එනම්,

“ඔහු (අල්ලාහ් (දෙවියන්)) තමා ඉර ආලෝකය විහිදුවන්නක් ලෙසත්, චන්ද්‍රයා ආලෝකය පරාවර්තනය කරන්නක් ලෙසත් නිර්මාණය කලේ. ඒ (නුඹලාට) වර්ෂයන් හා කාලයන් නුඹලා දැනගැනීම පිණිස ය”

ශුද්ධ වූ කුර්ආනය 10-5

ඉහත වාක්‍යය තුල බොහෝ විශ්මිත කාරණයන් අල්ලාහ් (දෙවියන්) අන්තර්ගත කොට ඇතත් අපගේ මාතෘකාවට අදාළව පමණක් ඒ පිළිබඳව අවධානය යොමු කලේ නම්, එහි එක්තරා ස්ථානයක “ඉර හා හඳ මවා ඇත්තේ කාලය හා වර්ෂය ගණනය කිරීම සඳහා” යන්න අදහස් කෙරේ. ඒ අනුව ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව ඉර පමණක් හෝ චන්ද්‍රයා පමණක් පදනම් කරගෙන වර්ෂය හා කාලය ගණනය කිරීම කළ නොහැකි බව පැහැදිලි වේ. එම කාරණය මූලික ලෙස මතකයේ රඳවාගෙන පහත කාරණයන් එනම් “දිනය”, “සතිය”, “මාසය” හා “වර්ෂය” යනාදිය පිළිබඳව ඉස්ලාමීය විග්‍රහය කුමක් ද? යන්න දැන් විමසා බලමු.

දිනය

දිනය යන්න සැලකූ විට ඉස්ලාම් පවසන දිනය හා වර්තමානයේ ජාත්‍යන්තරයේ භාවිතයේ පවතින දිනය යන දෙකෙහි කාල පරාසයේ වෙනසක් නැත. එනම් එය ආසන්න වශයෙන් පැය 24ක් ම වේ. එය ‍එසේ වීමට හේතුව ජාත්‍යන්තර කාල නිර්ණය සේම ඉස්ලාමීය ක්‍රමයට ද කාලය ගණනය කිරීම සිදු කරන්නේ (ඉහත 10-5 කුර්ආන් වාක්‍යයේ සදහන් ආකාරයට) සූර්යයාගේ චලිතය පදනම් කරගෙන වීම ය. ඒ අනුව එහි පරස්පරතාවයක් ඇති නොවේ. කාලයේ වෙනසක් ඇති නොවූවත් දවසේ ආරම්භක මොහොත පිළිබඳව ඉස්ලාමීය විග්‍රහය වර්තමාන සමාජ භාවිතයට වඩා වෙනස් ආකාරයක් ගනී.

වර්තමාන දින නිර්ණය කිරීම මනක්කල්පිත ජාත්‍යන්තර දින රේඛාවක් පදනම් කරගත් එකකි. එසේම රටක් ලෙස සැලකූ විට එය රටේ මධ්‍යම රාත්‍රියේ එනම් රාත්‍රී 12.00 ට නව දවස ආරම්භය සිදු වේ. නමුත් ඉස්ලාමීය ක්‍රමයට එය එසේ නොවේ. දවස ඇරඹෙන්නේ සන්ධ්‍යාවේදී ය. මෙය බහුතර මුස්ලීම් ප්‍රජාව පවා නොදන්නා කාරණයකි. එයට හේතුවක් ද ඇත. එනම් මේ වන විට ඔවුන් ජාත්‍යන්තර දින දර්ශනයන්ට අනුව කටයුතු කිරීමට පුරුදු පුහුණු වී සිටීමයි. කෙසේ වෙතත් මා ඉහතින් සඳහන් කාරණය තහවුරු කිරීමේ වගකීම දැන් මට පැවරී ඇති නිසා මෙම ලිපියෙහි දීර්ඝ වීම සැලකිල්ලට ගෙන ඒ සදහා ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් එක් සාක්ෂියක් පමණක් මෙහි ගෙනහැර දක්වමි. එම හදීසය මෙලෙස වේ.

වරක් මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බවට අායිෂා (රලි) තුමිය මෙසේ පවසන ලදී.

“නුඹලා සිකුරාදා රාත්‍රිය ලැබුවේ නම් ජුම්මා සලාතය ඉටු නොකොට ගමන් බිමන් නොයන්න යනුවෙන් පවසන ලදී”

මූලාශ්‍ර ග්‍රන්ථය – අබී ශෙයිබා 5114

ඉහත හදීසය දෙස හොදින් අවදානය යොමු කරන්න. “ජුම්මා” සලාතය යනු සිකුරාදා දින මධ්‍යහ්නයේ සෑම මුස්ලීම්වරයෙකුම ඉටු කරන සමූහ සලාතයකි. එම සලාතය ඉටු කරන තුරු සිකුරාදා රාත්‍රියෙහි ගමන් නොයන ලෙස ඉහත හදීසය පවසයි. අද සමාජ භාවිතයට අනුව දහවලින් පසුව රාත්‍රිය උදාවෙයි. සරලව පවසනව‍ා නම් සිකුරාදා දහවලින් පසුව සිකුරාදා රාත්‍රිය උදාවෙයි. නමුත් ඉහත හදීසයේ “නුඹලා සිකුරාදා රාත්‍රිය ලැබුවේ නම් ජුම්මා සලාතය ඉටු නොකොට ගමන් නොයන්න” යන්න පැවසීම තුල ඉස්ලාමීය ක්‍රමයට රාත්‍රියෙන් පසුවයි දහවල හි උදා‍ව සිදුවන්නේ යන්න පැහැදිලි වේ. (මෙවැනි තවත් හදීසයන් හෙවත් නබිවදන් දක්නට ඇති අතර ඒවා හොදින් අධ්‍යනය කරන විට ඉහත තත්වය වඩාත් හොදින් පැහැදිලි වේ.) මේ අනුව ඉස්ලාමීය දිනයේ ආරම්භය දවසේ සවස් කාලයේ පවතින බව පැහැදිලි ය.

සතිය

ඉස්ලාමීය දින දර්ශනයට අනුව සතියකට අයත් දින ගණන යන්න, වර්තමානයේ ජාත්‍යන්තරය තුල භාවිතයේ පවතින දින දර්ශනයට සෑම අතින්ම සමාන වේ. එනම් සතියකට දින 07ක් යන්නෙහි කිසිදු වෙනසක් නැත.

මාසය

වර්තමාන ජාත්‍යන්තර දින දර්ශනය සුර්යයා හා පෘථිවිය පදනම් කරගෙන නිර්මාණය වී තිබුණ ද, ඉස්ලාමීය දින දර්ශනයට පදනම් වී ඇත්තේ පෘථිවිය හා චන්ද්‍රයා ය. මේ නිසා ඉස්ලාමීය මාසය චන්ද්‍ර මාසය ලෙස ද ව්‍යවහාර වේ. මෙලෙස චන්ද්‍රයා පදනම් කරගෙන මාසය නිර්ණය කිරීම ඉස්ලාමීය දහමට පමණක් අාවේණික ලක්ෂණයක් නොවන බව ද මෙහිදී අවධාරණය කළ යුතු ය. මන්ද ලොව බොහෝ පිරිස් මෙම ක්‍රමය අනුගමනය කර ඇති බව ඉතිහාසගත සාක්ෂි ලොවට කියාපායි. ආසන්නතම නිදසුන ලෙස ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජය හැදින්විය හැක. ඔවුන්ගේ ද මාසය නිර්ණය කිරීමේ දී එයට පදනම් කරගන්නේ චන්ද්‍රයා ය. විශේෂයෙන් පෝය දින ගණනය කිරීමේදී මෙය වඩාත් හොදින් පැහැදිලි වේ. මේ අනුව සැලකුවද මෙය මුස්ලීම් ප්‍රජාවට පමණක් ආවේණික කාරණයක් නොවන බව පැහැදිලිය.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව නව සඳ දැකීමෙන් මාසය ආරම්භ වී මීළඟ නව සඳ දකින තුරු එම මාසය දීර්ඝ වේ. ඒ අනුව මාසයකට දින 29 හෝ 30 වේ. එනම් කිසිදු අවස්ථාවක මාසයට දින 28 ක් හෝ 31 ක් යන්න ඇති නොවේ. මෙහිදී සඳහන් කළ යුතු තවත් කාරණයක් ඇත. එනම් මාසයකට දින නිශ්චිත අගයක් එනම් 29 හෝ 30 යයි තීරණය නොකොට එය ඉහත දෙකෙන් එකක් යයි පැවසීමට හේතුවක් ඇත. එය පහත හදීසය හෙවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන් තුලින් පැහැදිලි වනු ඇත.

“රමලාන් (උපවාසය රකින මාසය) හඳ දකින තුරු උපවාසය නොඅරඹන්න. (ඊලඟ මාසයට අදාළ) හඳ දකින තුරු උපවාසය අත් නොහරින්න. වලාකුළු හේතුවෙන් හඳ නොපෙනුනේ නම්, එම මාසය දින 30 ලෙස සලකන්න”

ඉහත හදීසයට අනුව මාසයේ 29 වන දින නව සඳ බැලීම සෑම මුස්ලීම්වරයෙකුටම අනිවාර්‍ය වන අතර කිසියම් (එනම් අධික වලාකුළු වැනි) හේතුවක් නිසා නව සඳ නොදුටුවේ නම් එම මාසය දින 30ක් ලෙස පූර්ණ කළ යුතුයි යන්න ඉස්ලාමීය මඟපෙන්වීමයි. ඉහත නව සඳ බැලීම සමස්ථ මුස්ලීම් සමාජයටම අනිවාර්‍ය වුවත් එය කිසියම් කෙනෙකු දැක දැනුම් දුන්නේ නම් ඒ අනුව සමස්ථ මුස්ලීම් සමාජයම ක්‍රියා කිරීමද අනිවාර්‍ය වේ. මෙය මාසය නිර්ණය කිරීම සදහා ඉස්ලාම් මුස්ලීම් සමාජයට පෙන්වාදෙන ක්‍රමවේදයක් වන අතර මේ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති අන්‍ය (මුස්ලීම් නොවන) සමාජයට නම් මෙය සංකීර්ණ කාරණයක් ලෙස පෙනෙනු ඇත.

එනම් ඉදිරි මාස සදහා නිශ්චිත ලෙස මාසයේ මුල් දිනය නිර්ණය කිරීම ප්‍රායෝගික නොවීම හා සමස්ථ සමාජයට නව සඳ පණිවුඩය නොලැබීම යන්න මෙම සංකීර්ණතාවයට හේතුවයි. නමුත් ආසන්න වශයෙන් නිර්මාණය කළ ඉස්ලාමීය දින දර්ශනයක් සමාජ භාවිතයේ පැවතීම, සමස්ථ මුස්ලීම් සමාජයම නව සඳ දැකීම ජීවිතයේ එක් අංගයක් කරගෙන තිබීම, ලොව ඕනෑම තැනක නව සඳ දුටු විට ඊළඟ මොහොතේ දී සමස්ථ මුස්ලීම් ප්‍රජාවටම එම පණිවුඩය දැනුම් දීමේ සාර්ථක සන්නිවේදන පිළිවෙලක් සකස් වී තිබීම නිසා මෙහි කිසිදු සංකීර්ණතාවයක් මුස්ලීම් ප්‍රජාවට ඇති නොවේ. නමුත් මේ කිසිවක් පිළිබඳව අවබෝධයක් නොමැති අන්‍ය සමාජය සුපුරුදු පරිඳි පුර්ව නිගමනවල හිද මෙවැනි ක්‍රියාවන් ද විවේචනය කරයි. ඔවුන් ඉදිරිපත් කරන විවේචන සමහරක් අවස්ථාවල දී හාස්‍ය උපදවන සුළුය. එයට හොද නිදසුනක් ඔබට මා පවසන්නේ නම්, මේ පහත දැක්වෙන්නේ ශ්‍රී ලාංකීය ජනප්‍රිය පුවත්පතක් වන “දිනමිණ” පුවත්පතේ මෑතක පල වූ ලිපියක ඉහත කාරණයට අදාළව අදහස් දැක්වීමකි.

“…ඉස්ලාම් දහමට අනුව හඳ උත්තරීතර වස්තුවකි, එහි දෙවියන්ගේ වාසස්ථානය ඇති බව ඔවුන්ගේ පිළිගැනීම වේ…”

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පුවත්පතක් පවසන දේ රටේ වගකීමක් ඇති මාධ්‍යයන් ක්‍රියා කරන ආකාරය මොහොතක් බුද්ධිමත්ව බලන්න. මෙම ලිපිය ලියන්නා විෂය පිළිබඳව අවබෝධයකින් තොරව ලිව්වත් මෙම පුවත්පතේ කතෘට මේ පිළිබඳව සොයා බලන්න වගකීමක් නැත්තේ ඇයි? ඒ ගැන මා මීට වඩා කිසිවක් පවසන්නට උත්සාහ කරන්නේ නැත. මක් නිසාද ඉස්ලාමයට එරෙහිව ශ්‍රී ලාංකීය මාධ්‍ය සදාචාරය මා මීට පෙරත් කිහිප අවස්ථාවක මෙම වෙබ් අඩවිය තුල කරුණු සහිතව කථා කර ඇති නිසා ය. නැවතත් මාතෘක‍ාව දෙස යොමු වුණේ නම්, මේ ආකාරයට හද බැලීම සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය තුල ඉහත ආකාරයේ වූ මතයක් නිර්මාණය වීමට හේතුව දැන් ඔබට පැහැදිලි වනු ඇත. එසේම ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසය නිර්ණය කිරීම හද පදනම් කරගෙන සිදුවන නිසා එම මාසයට දින 29ක් හෝ 30 යන්න ද පැහැදිලි ය.

මෙහිදී මුස්ලීම් සමාජයට අවධාරණය කළ යුතු කාරණයක් ඇත. එනම් වර්තමාන මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් උපවාසය ආරම්භ කිරීමටත්, අවුරුදු උත්සව දිනය තීරණය කිරීමටත් පමණක් මෙම හඳ බැලීම පුරුද්දක් කරගෙන සිටී. මෙය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියා පිලිවෙතකි. ඉස්ලාමීය මාසයේ දින වැදගත් වන්නේ ඉහත කාරණා දෙකට පමණක් නොවේ. මුස්ලීම් සමාජයේ ඉස්ලාමීය නීතිරීති අනුගමනය කිරීමේදීත් මෙය වැදගත්‍ වේ. නිදසුක් ලෙස ඉස්ලාම් “ඉද්දා” කාලය නිර්ණය කිරීමේ දී එය නිර්ණය කළ යුත්තේ චන්ද්‍ර මාසයට අනුව මිස ජාත්‍යන්තර දින දර්ශකයට අනුව නොවේ. එම නිසා මෙම කාරණය එනම් සෑම මසකම නව සඳ බැලීම පිළිබඳව මුස්ලීම් සමාජය හොද අවබෝධයකින් පසුවිය යුතු ය.

වර්ෂය

මෙයයි අපගේ මාතෘකාවේ ප්‍රධාන කොටස වන්නේ. ඒ ඉස්ලාමීය දින දර්ශකයට අනුව වර්ෂය නිර්ණය කරන්නේ කෙසේ ද? යන්නයි. ජාත්‍යන්තර දින දර්ශනයට අනුව දින 28, 29, 30 හෝ 31 ක් මාසයක් ලෙසත් මාස 12 ක් වර්ෂයක් ලෙසත් හැදින්වේ. ජාත්‍යන්තර දින දර්ශනයට අනුව වර්ෂය මාස 12 ක් පදනම් කරගෙන නිර්ණය කරන විට ඉස්ලාම් දහම ද ශුද්ධ වූ කුර්ආනයේ (9-36) වාක්‍යය මඟින් වර්ෂයකට මාස ‍12 ක් යන්න මීට වසර 1400 කට පෙරම පහත ආකාරයට අවධාරනය කරයි, එනම්,

“අහස හා පොලොව මැවූ දා පටන් අල්ලාහ් (දෙවියන්) හමුවේ (වර්ෂයකට) මාස ගණන 12 කි”

ඉහත කුර්ආන් වාක්‍යයට අනුව ඉස්ලාමීය වර්ෂයටත් මාස 12 ක් යන්න පැහැදිලිය. එපමණක් නොව එම මාස 12 සදහා නම් 12 ක් ද ඉස්ලාම් මුස්ලීම් සමාජයට හදුන්වා දී ඇත. එය පිළිවෙලට පහත ආකාරයට වේ.

  1. මුහර්රම් මාසය
  2. සෆර් මාසය
  3. රබියුල් අව්වල් මාසය
  4. රබියුල් ආහිර් මාසය
  5. ජමාතුල් අව්වල් මාසය
  6. ජමාතුල් ආහිර් මාසය
  7. රජබ් මාසය
  8. ෂහ්බාන් මාසය
  9. රමලාන් මාසය
  10. ෂව්වාල් මාසය
  11. දුල්කහ්දා මාසය
  12. දුල්හජ් මාසය

මේ ආකාරයට මාස 12 ක් ඉස්ලාම් හදුන්වා දුන්නත් මෙහි ඇති ගැටළුව නම් ඉස්ලාමීය වර්ෂයකට දින කීයක් අයත් වෙනවාද? යන්නයි. මෙම ගැටළුවට මා ඉහතින් සදහන් කළා සේ පැහැදිලි පිලිතුරක් සොයාගත ‍නොහැකි වුවත් එය පිළිිබඳව දළ අවබෝධයක් ලබාගත හැක. එනම්,

  • ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසයකට උපරිම දින 30කි. වර්ෂය තුළ සෑම මාසයක්ම දින 30 න් අවසන් වුවා යැයි උපකල්පනය කලේ නම්, වර්ෂයට දින

30 x 12 = 360

  • ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසයකට අවම දින 29කි. වර්ෂය තුල සෑම මාසයක්ම දින 29න් අවසන් වුවා යයි උපකල්පනය කලේ නම්, වර්ෂයට දින

29 x 12 = 348

ඉහත ගනනය කිරීමට අනුව පැහැදිලි ලෙස එක් කාරණයක් සදහන් කල හැක. එනම් වර්තමානයේ ජාත්‍යන්තරය තුල භාවිතා කරන වර්ෂයකට දින 365 යන්න ඉස්ලාමීය දින දර්ශනය කිසිවිටෙකත් අභිබවා නොයන බවයි. ඒ අනුව ඉස්ලාමීය වර්ෂය ජාත්‍යන්තරය තුල භාවියේ පවතින වර්ෂය (එනම් ක්‍රිස්තු වර්ෂය) ට වඩා අඩු දින ගණනක් පවතින බව පැහැදිලි වේ. දැන් එසේ නම් සැබැවින්ම ඉස්ලාම් පවසන (චන්ද්‍රයා පදනම් කරගත්) වර්ෂය සදහා දින කීයක් තිබෙනවා ද? යන්න විමසා බලමු.

සුර්යයාට සාපේක්ෂව පෘථිවියේ චලිතය පදනම් කරගෙන දින, මාස හා වර්ෂ වර්තමානයේ තීරණය වුවද ඉස්ලාමීය දිනය, මාසය හා වර්ෂය තීරණය වන්නේ සුර්යයාට සාපේක්ෂව පෘථිවිය හා චන්ද්‍රයාගේ චලිතය පදනම් කරගෙන ය. ඒ අනුව පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කිරීමට ගතවන කාලය චන්ද්‍ර මාසය හෙවත් ඉස්ලාමීය මාසයක් ලෙස හැදින්වේ. මේ සදහා ගතවන කාලය වර්තමාන ගණනය කිරීමන්ට අනුව දින 29 යි පැය 12 යි විනාඩි 44 ක් වේ. ඉහත සදහන් (9-36) ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව වර්ෂයකට මාස 12 ක් නිසා වර්ෂයකට දින ගණන වන්නේ

  • මසක අයත් කාලය      –  දින 29 පැය 12 විනාඩි 44 යි
  • ආසන්න වශයෙන්       –  දින 29.5
  • වර්ෂයකට අයත් දින    –  29.5 x 12 = 354

ඉහත ගණනය කිරීමට අනුව ඉස්ලාමීය දින දර්ශනයේ වර්ෂයකට අයත් දින ගණන වන්නේ දින 354 කි. එය වර්තමාන දින දර්ශනයට (දින 365) අනුව පවතින දින ගණන හා සලකන විට දින 11 ක වෙනසකි. මේ අනුව ඉස්ලාමීය වර්ෂය හා ක්‍රිස්තු වර්ෂය අතර දින ගණනාවක පරතරයක් පවතින බව පැහැදිලි වේ. මෙම ස්ථානයේ දී පාඨක ඔබේ අවධානය සදහා ඉහත විෂයට අදාලව ශුද්ධ වූ කුර්ආනය පවසන හෙලිදරව්වක් සඳහන් කිරීමට කැමැත්තෙමි. එනම්,

ශුද්ධ වූ කුර්ආනයේ 18 වන පරිච්ඡේදයේ අතීතයේ ගුහාවක සැඟවුණු එක්තරා කන්ඩායමක් පිළිබඳව දීර්ඝ විස්තරයක් පවසයි. (එම පරිච්ජේදය කියවන්නේ නම් මෙහි සදහන් කාරණය වඩාත් හොදින් අවබෝධ කර ගන්නට හැකිවනු ඇත) එම පරිච්ජේ‍දයේ එක්තරා ස්ථානයක ඔවුන් එම ගුහාව තුල රැදීසිටී කාලය පිළිබඳ පැවසීමේ දී ශුද්ධ වූ කුර්ආනය 18-25 මෙසේ පවසයි,

“ඔවුන් තම ගුහාව තුල වසර 300 ක් හා තවත් වසර 09 ක් රැදී සිටියේ ය.”

ඉහත කුර්ආන් වාක්‍යය බැලූ විට පැහැදිලි වන්නේ ඔවුන් (එම පිරිස) වසර 309 ක් එහි රැදී සිට ඇති බව පමණකි. නමුත් අල්ලාහ් (දෙවියන්) එය තුන්සීය නවයක් යයි නොපවසා වසර තුන්සීයකතුත් තවත් වසර නවයකුත් යනුවෙන් වෙන් කොට පැවසීම බුද්ධිමත් අවධානයට ගත යුතු කාරණයක් වන්නේ අල්ලාහ් (දෙවියන්) කිසිදු වාක්‍යයක් වුවද ශුද්ධ වූ කුර්ආනයේ අනවශ්‍ය ලෙස නොපවසන බැවිණි. දැන් එම වාක්‍යයෙන් පවසන කාරණය වෙත අවධානය යොමු කරමු.

ඉහත 18-25 හි ශුද්ධ වු කුර්ආනයේ පවසන කාලය පහත ආකාරයට ගණනය කරමු.

වසර 300 යන්න ඉස්ලාමීය දින දර්ශනයට අනුව සැලකූ විට (ඉහත ගනනය කිරීමන්ට අනුව) සෑම වසරකටම දින 11 ක වෙනසක් පවතින නිසා වසර 300 සදහාම ඇති වන මුළු වෙනස (300 x 11 අනුව) දින 3300 වේ.

සූර්යයා පදනම් කරගත් වර්තමාන දින දර්ශනයට වර්ෂයකට අයත් කාලය වන්නේ ආසන්න වශයෙන් දින 365 යි පැය 5 යි විනාඩි 48 යන්නයි.

  • පැය 5 යි විනාඩි 48 යන්න දින බවට පරවර්තනය කලේ නම්,

ඉහත කාලය විනාඩිවලට පරිවර්තනය කිරීම

(පැය 5 x 60) + 48 = විනාඩි 348

ඉහත කාලය දින බවට පරිවර්තනය කිරීම

විනාඩි 348 / 1440 (දිනකට ඇති විනාඩි ගණන)

= 0.241666666666

මෙය ආසන්න වශයෙන් 0.24 වේ

ඉහත ගණනය කිරීමට අනුව වර්තමානයේ භාවිතයේ පවතින  වර්ෂයකට අයත් දින ගණන වන්නේ

365 + 0.24 = 365.24 යන්නයි.

දැන් ඉස්ලාමීය දින දර්ශනයට අනුව වසර 300 සැලකීමේ දී වැඩි වන දින (3300) ගණන වර්තමාන ජාත්‍යන්තරයේ භාවිතයේ පවතින දින දර්ශනයට අනුව ගණනය කලේනම්,

3300 / 365.24 = 9.0351

එය ආසන්න වශයෙන් වසර 9 කි.

ඉහත සදහන් කාරණය සාරාංශ කොට පවසන්නේ නම්,

“ඔවුන් ගුහාව තුල රැදී සිටී කාලය ඉස්ලාමීය දින දර්ශනයට අනුව වසර 309 ක් වුවද වර්තමාන ජාත්‍යන්තර දින දර්ශනයට අනුව එය වසර 300 ක් යන්නයි”

ඉහත 18-25 වක්‍යය පිළිබඳව බුද්ධිමත් මෙන්ම මධ්‍යස්ථව අවධානය යොමු කරන ඕනෑම කෙනෙකු හට ශුද්ධ වූ කුර්ආනය දිව්‍යමය හෙලිදරව්වක් යන්නත්, එය දායාද කල අල්ලාහ් (දෙවියන්)ගේ අසම සම ඥානයත් වටහා ගැනීම අපහසු නොවේ. එපමණක් නොව මීට වසර 1400 කට පෙර මුහම්මද් (සල්) තුමාණන් මඟින් සමාජයට ප්‍රකාශ වූ මෙම කුර්ආනය තුල ඉහත සංකීර්ණ ගණනය කිරීම් තුලින් අද අපට අවබෝධ කර ගත හැකි කරුණු එදා සමාජය තුල එතුමාණන් ප්‍රකාශ කිරීම මඟින් එය එතුමාණන්ගේ කල්පිතයක් නොවන බවද පැහැදිලිව වටහා ගත හැකි වේ.  (මෙවැනි කරුණු මෙම අඩවිය තුල මීට පෙර ද ඉදිරිපත් කොට ඇත.)

මාතෘකාවට නැවතත් අවධානය යොමු කලේ නම්, දැන් ඉස්ලාමීය දින දර්ශනය හා වර්තමානයේ ලොව භාවිත වන දින දර්ශනය අතර ඇති වෙනස මනාව ඔබට පැහැදිලි වනු ඇත. නමුත් එහි ප්‍රශ්නයක් ද ඉතිරිව ඇත. ඒ වර්තමාන ලොව පිලිගෙන සිටින දින දර්ශනය “ක්‍රිස්තු වර්ෂ” නමින් යේසුස් තුමාගේ උපත පදනම් කරගෙන හදුන්වයි. ඒ අනුව මේ ගෙවී යන්නේ ක්‍රිස්තු වර්ෂ 2010 යි. ඒ ආකාරයට ඉස්ලාමීය දින දර්ශනය සදහා නමක් තිබෙනවා ද? එය කුමක් පදනම් කරගෙන නිර්මාණය වී තිබෙනවා ද? යන්න ඒ ප්‍රශ්නයයි. මෙම කාරණය ද නිවැරදි ලෙස අවබෝධ කර ගැනීම තුලින් ඉහත මාතෘකාව වඩාත් හොදින් අවබෝධ කර ගැනීමට පිටුවහලක් වනු ඇත.

ඉහත සදහන් ආකාරයට මුස්ලීම්වරුන් සදහා ආවේණික වර්ෂ නම් කිරීමක අවශ්‍යතාවයක් මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවය දක්වා මුස්ලීම් සමාජයට පැවතුණේ නැත. එම නිසා සමාජයේ සුවිශේෂි සිදුවීමන් පදනම් කරගෙන ඒ ඒ වර්ෂයන් නම් කරන ලදී. උද‍ාහරණයකට වරක් “කව්බාව” (ශුද්ධ වූ දේවස්ථානය) විනාශ කිරීමට ඇත් සේනාවක් පැමිණීම හේතුකොට ගෙන එතැන් පටන් ඉදිරි වර්ෂ “ඇත් වර්ෂ” යනුවෙන් හදුන්වන ලදී. ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන් උපදින්නේ 01 වැනි ඇත් වර්ෂයේදී ය. මේ ආකාරයට වර්ෂය ගණනය කිරීම පැවත ආවද මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසු දෙවන පාලකයා වූ උමර් (රලි) තුමාගේ කාලයේ මුස්ලීම් සමාජයෙන් “මුස්ලීම්වරුන් සදහා වූ දින දර්ශනයක් අවශ්‍යයි” යන අදහස් ඉදිරිපත් වන්නට වි‍ය. ඒ සදහා විවිධ යෝජනා ද ඉදිරිපත් වන්නට විය. ඉන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • මුහම්මද් (සල්) තුමාගේ උපත පදනම් කරගෙන එතැන් පටන් ගණනය කිරීම.
  • මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවය පදනම් කරගෙන එතැන් පටන් ගණනය කිරීම.
  • මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් (දෙවියන්) ගේ දූතයා බවට පත් වූ සිදුවීම් පදනම් කරගෙන එතැන් පටන් වර්ෂය ගණනය කිරීම.
  • මුහම්මද් (සල්) තුමාණන් තම උපන් බිම අතහැර ඉස්ලාම් විරෝධීන්ගෙන් දිවි බේරාගෙන මක්කාවේ සිට මදීනාවට පලා ගිය සිදුවීම පදනම් කරගෙන එතැන් පටන් වර්ෂය ගණනය කිරීම.

මේ ආකාරයට යෝජනා විශාල සංඛ්‍යාවක් අතුරින් අවසානයේ දී “මුහම්මද් (සල්) තුමාණන් තම උපන් බිම අතහැර ඉස්ලාම් විරෝධීන්ගෙන් දිවි බේරාගෙන මක්කාවේ සිට මදීනාවට පලාගිය සිදුවීම (හෙවත් ‘හිජ්රතය’) පදනම් කරගෙන එතැන් පටන් ගණනය කිරීම” යන්න තීන්දු විය. මෙයට විශේෂ හේතුවක් ඇත. ඒ ඉස්ලාමීය ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස මුහම්මද් (සල්) තුමාණන් තම උපන් බිම වන මක්කාව අතහැර මදීනාවට පලායාම සදහන් කළ හැකි වීම ය. මෙය අරාබි භාෂාවෙන් “හිජ්රත්” යැයි පවසයි. මෙය මුස්ලීම් සමාජය මුහුණ පෑ අවාසනාවන්ත එසේත් නැත්නම් පරාජිත අවස්ථාවක් ලෙස පෙනුණද මෙම ගමන තුල ඉස්ලාම් දහමට යළි කිසිදු දිනක විනාශ කළ නොහැකි ස්ථාවරයක් ගොඩනැඟුණු අවස්ථාවක් විය. (මේ පිළිබඳව ‍ඉදිරියේ දී දීර්ඝ ලෙස කථා කිරීමට අදහස් කරමි) මේ නිසා එම අවස්ථාව පදනම් කරගෙන ඉස්ලාමීය දින දර්ශනය සැකසීම ඇරඹුණි.

ඒ අනුව මුස්ලීම්වරුන් වර්ෂය නම් කරන ලද්දේ “හිජ්රි” යනුවෙන් වන අතර ප්‍රථම වර්ෂය හිජ්රි 01 යනුවෙන් නම් කරන ලදී. ඒ අනුව මේ ආරම්භ වී ඇත්තේ හිජ්රි 1432 වන වර්ෂයයි. එසේම ඉස්ලාමීය ක්‍රමයට වසරේ මුල් මාසය “මුහර්රම්” නම් මාසය වන නිසාත් ඉස්ලාමීය නව වසර හිජ්රි 1432 මුහර්රම් මාස 01 වන දිනයෙන් ආරම්භ වේ. ඒ අනුව  වර්තමාන ජාත්‍යන්තර දින දර්ශනයට අනුව 2010 දෙසැම්බර් මස 07 වන දින එම දිනය ඇරඹූ නිසා  මේ උදා වී ඇත්තේ මුස්ලීම් සමාජයේ නව වසරයි. නමුත් ඉස්ලාම් නව වර්ෂයක උදාව වෙනුවෙන් කිසිදු ආකාරයක විශේෂිත ක්‍රියාවක් හෝ උත්සවාකාර සැමරුමක් පෙන්වා දී නැත. මා එසේ පවසන්නට හේතුව නව වසරක උදාව පිළිබඳව ඉස්ලාමීය ස්ථාවරය නම් එය “තවත් දිනයක් හෝ වසරක අවසානයක් මිස සැමරිය යුතු දිනයක් නොවේ” යන්නයි. එය ඉහත දෙසැම්බර් 07 දින ලොව පුරා සිටින මුස්ලීම් ජනත‍ාව මුහර්රම් 01 දින (2010 දෙසැම්බර් මස 07 වැනිදා) නොසැමරීම තුල මනාව පිලිඹිබු වේ.

එසේ තිබිය දී ජාත්‍යන්තර වශයෙන් පිලිගැනෙන යේසූස් තුමාගේ උපත පදනම් කරගත් නව වසර උදාව අනිකුත් සමාජයන්  උත්සවාකාරයෙන් සැමරීම, ඉස්ලාම් මුස්ලීම් සමාජයට පෙන්වා නොදෙන වැරදි ආදර්ශයක් යන්න පමණක් අවසාන වශයෙන් මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට තබමින් මෙම ලිපිය අවසන් කරමි.

 

අබූ අර්ෂද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. mohammednauzer 2012-11-03 at 16:04

    අ බු අ ර් ෂ ද් බො හො ම වැ ද ග ත් ලි පි ය ක් ස් තූ ති ය .අ ද ල 0කා වෙ ත්‍රස් ත වා ද ය ට උ ඩු ගෙ ඩි දෙ න ප ත් ත ර ත ම යි ති යෙ න් නෙ. වී ශේ ශ යෙන් දී ව යි න ප ත් ත ර ය . දී ව යි න ප ත් ත ර ය මු ස් ලි විරෝ ඩ් ප ත් ත ර ය ක් .

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *