නැගෙනහිර පළාතේ ආයුධ කල්ලියක්ද?

0

මෑත කාලයක පටන් අප රටේ ජාතීවාදී පිරිස් අතර උණුසුම් මාතෘකාවක් බවට “ශ්‍රී ලාංකීය මූස්ලීම් ජනතාව” යන්න පත්ව ඇත. විශේෂයෙන් ජාත්‍යන්තරය තුල සමහරක් අන්තවාදී මුස්ලීම්වරුන් මැදිහත්ව සිදුකරන නොයෙක් සමාජ විරෝධි කටයුතු පදනම් කරගෙන සමස්ථ මුස්ලීම් ප්‍රජාවටත් ඉස්ලාම් දහමටත් විශේෂයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම් ජනතාවට එරෙහිවත් කිසියම් සමාජ මතවාදයක් ගොඩනැඟීමට අසීමිත උත්සාහයන් හි ඉහත පාර්ශවයන් නිරත වන බව පැහැදිලිව දක්නට ඇත. ඔවුන් මුස්ලීම් සමාජයට එරෙහිව ඉදිරිපත් කරන ප්‍රධාන හා ප්‍රබල චෝදනාවක් වන්නේ “මුස්ලීම්වරුන් ත්‍රස්ථ ක්‍රියාවල නියලෙනවා, ඒ සදහා ඉස්ලාම් ඔවුන් පොළොඹවනවා” යන්නයි. මේ කාරණය මූලික කරගෙන විටින් විට විවිධ චෝදනා ශ්‍රී ලාංකීය සමාජය තුල විශේෂයෙන් අන්තර්ජාලය තුල සංවාදයට ගැනෙනවා දක්නට ලැබේ. මේ හේතුව නිසාම මෙම විෂය පිලිබදව යහමඟ අඩවිය තුල ද දිගින් දිගටම සාක්ච්චා කිරීමට සිදුව ඇත. එලෙස සාකච්චාවට ගැණුනු ලිපි කිහිපයක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,

යනාදීය එවැනි ලිපි කිහිපයකි. මෙලෙස ඉහත විෂය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරයත්, වර්ථමාන ලොව තුල උදා වී ඇති තත්වයත්, පදනම් විරහිත ලෙස චෝදනා නඟන චූදිතයන්ගේ ක්‍රියාකලාපයනුත් පැහැදිලි කරමින් කරුණූ දක්වමින් ශ්‍රී ලාංකීය සමාජය තුල කිසියම් යහපත් මතවාදයක් ගොඩනැඟීමට උත්සාහ දරන විට ඒ සියළු උත්සාහයන් ගඟට කැපූ ඉනිමෙන් නිෂ්පල කරමින් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටින මුස්ලීම් දේශපාලඥයන් මාධ්‍යයට කලා යයි පැවසෙන කාරණයක් වෙත ඔබගේ බුද්ධිමත් අවධානය යොමු කිරීමට අදහස් කරමි. ඒ පසුගිය දිනක එක්තරා Blog එකක පලකොට තිබූ පහත ලිපිය හේතුවෙනි. (මෙම පුවත සමහරක් පුවත්පත්වල ද පලවූ බව යහමඟ අඩවියට මීට පෙර වාර්ථා විය) එය මෙසේය…

“වහබ්”නමින් හදුන්වන මුස්ලිම් අන්තවාදී සන්නද්ධ කණ්ඩායමක් සිය බලය නැගෙනහිර පළාතේ පතුරන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. මෙම “වහබ්” සංවිධානයට ප්‍රමුඛපෙලේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලින්ද ආධාර ලැබෙන බව පැවසේ. මේ සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා දක්වන අදහස

“මේ නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වෙලා තියෙන වහබ් කල්ලිය සුෆි මුස්ලිම් භක්තිකයන් ක්‍රමයෙන් විනාශ කරමින් යනවා. පහුගිය කාලේ සුෆි භක්තිකයන්ගේ පල්ලි ගණනාවක්ම මොවුන් විසින් කඩා දැමුවා. මේ වහබ් කල්ලියට මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවකින් මුල්‍ය ආධාර ලැබෙන බව මම දන්නවා. ආර්ථික වශයෙන් ආමාරු තරුණයින් මුදලට වහ වැටි මේ සන්නද්ධ කණ්ඩායමට එක්වනවා…ඔවුන් තමා සටන්කාමින් විදිහට යන්නේ. ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා වලදී පරීක්ෂාවෙන් සිටි පොලිසිය ඔවුන් ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුෆි භක්තිකයන්ට මේ නිසා නිදහසේ ආගම අදහන්න විදියක් නැහැ. රාජ්‍ය රහස් තොරතුරු අංශය මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවනවා.”

මෙම ත්‍රස්තවාදී කණ්ඩායමට ප්‍රබල ආමතයවරයෙකුගේ සහයද හිමිවන බව නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.කෙසේ නමුත් ඉදිරියේදී මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව ආණ්ඩුකාරවරයා විසින් වැඩි දුරටත් සඳහන්කොට ඇත

link – http://www.gossip9.com/2011/12/blog-post_3890.html

ඉහත ලිපිය තුල මතුකරන කාරණය පිලිබදව අවධානය යොමු කිරීමට මත්තෙන් සදහන් කලයුතු කරුණු කිහිපයක් ඇත. ඒ “සැබැවින්ම මෙවැනි ප්‍රකාශයක් අලෙවි මහතා කලාද?” යන කුතුහලය තවම යහමඟ ට ඇත. මන්ද මීට වසර කිහිපයකට පෙර මෙවැනිම අර්බුදකාරී ප්‍රකාශයක් සදහා අලෙවි මහතා දැක්වූ ප්‍රතිචාරය ඉහත ප්‍රකාශයට සම්පූර්ණයෙන්ම පරස්පර බැවිණි. (එම ලිපිය කියවීමට) සැබැවින්ම ඔහු එවැනි ප්‍රකාශයක් සිදු කර ඇත්නම් එහිදී ද යහමඟ ට පුදුවීමට කිසිවක් නැත. මන්ද යහමඟ කවදත් කියනවා සේ ශ්‍රී ලාංකිය මුස්ලීම් දේශපාලඥයින් ඉස්ලාම් දහමත්, මුස්ලීම් සමාජයත් ලංසුවට තබා දේශපාලනයේ වැජඹෙනවා මිස මුස්ලීම් සමාජයට හෝ ඉස්ලාම් දහමට ඔවුන් දිනාදුන් කිසිවක් නොමැති බැවිණී. වර්ථමාන මුස්ලීම් දේශපාලඥයින් කවදත් කලේ තම දේශපාලන අවශ්‍යතාවයන් ඉටුකරවා ගැනීමට අවශ්‍ය ක්‍රියාවන් හි නිරතවීම පමණි. ඉහත මෙම ප්‍රකාශය ද එවැනි තවත් එකක් පමණි. එම ප්‍රකාශය පිලිබදව තවදුරටත් කථා කිරීමට මත්තෙන් සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම්, ඉහත ප්‍රකාශය සත්‍ය වුවත් අසත්‍ය වුවත් මේ පිලිබදව ඉස්ලාමීය (යහමඟ) ස්ථාවරය කුමක්ද? යන්න ශ්‍රී ලාංකීය සමාජයට පැහැදිලි කිරීමයි. මීට කලකට ඉහත මෙවැනිම චෝදනාවක් මුස්ලිම්වරයෙකු මඟින් නොව ජාතිවාදී කල්ලියක් මඟින් මුස්ලීම් සමාජයට චෝදනාවක් ලෙස ඉදිරිපත් වූ මොහොතේ එයට යහමඟ ප්‍රතිචාර දැක්වීමේ දී මේ පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය පැහැදිලි කරමින් අනවබෝධය, වාචාලකම හා ජාතිමාමක අන්තවාදය යන ලිපිය තුලින් දිර්ඝ ලෙස සාකච්චා කොට ඇත. (එම ලිපිය නැවත කියවන ලෙස ඔබට ආරාධනා කරමි) එම ලිපිය තුලින් මතු කල කරුණූ අතර ප්‍රධාන කරුණූ දෙකක් ඔබගේ අවධානයට නැවත ගෙන එන්නට කැමැත්තෙමි. එනම්,

  • මෙහිදී මා මුස්ලීම්වරයෙකු ලෙසත්, ඉස්ලාම් භක්තිකයෙකු ලෙසත් සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. ඒ ඉස්ලාමීය ඉගෙන්වීමන් හොදින් පිලිපදින ශ්‍රි ලාංකීය බහුතර මුස්ලීම් ජනතාව ඔබ පවසන ආකාරයේ ඉස්ලාම් විරෝධි ක්‍රියාවන්ට කිසි විටෙක යොමු නොවන බවයි.
  • කිසියම් පාර්ශවයක් එවන් වූ දේශද්‍රෝහී ක්‍රියාවක නිරත වුයේ නම් එම පිරිසට එරෙහිව නැඟීසිටීමට මෙම යහමඟ අඩවිය මෙන්ම මේ රටේ බොහෝ මුස්ලීම් සංවිධාන නොපසුබටව ඉදිරිපත් වන බවත් ඔබට සදහන් කලයුතුම වේ.

මෙහිදී නැවත නැවතත් අවධාරණය කරන කාරණය නම්, ශ්‍රී ලංකාව තුල කිසියම් පාර්ශවයක් ආයුධ සන්නද්ධව ඉහතින් සදහන් ආකාරයේ අරඟලයක නිරවන්නේ නම් එය ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව පැහැදිලිවම ඉස්ලාම් විරෝධි ක්‍රියාවකි. (මේ පිලිබදව ද ලිපි ගණනාවකින්ම දීර්ඝ ලෙස මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත) ඒ අනුව එවන් පිරිසක් අප රට තුල ක්‍රියාත්මක වන්නේ නම් ඔවුන්ට එරෙහිව නැඟීසිටීම සැබෑ මුස්ලීම්වරයෙකුගේ අනිවාර්ය වගකීමකි. එම කාරණය හොදින් මතකයේ රදවාගෙන ඉහත Blog ලිපිය වෙත නැවත අවධානය යොමු කලේනම්,

ඉහත ලිපිය මඟින් අලෙවි මහතා අනාවරණය කරුණු සත්‍යයක් නම්, රටේ බුද්ධි අංශය අනාවරණය කරගත්තා යැයි පැවසෙන කරුණු හා එයට සම්බන්ධ පිරිස් කවුරුන්ද? යන්න රටේ ජනතාවට හෙළි කිරීමත් ඔවුනට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමත් ප්‍රමාද කරන්නේ ඇයිද?. ඔවුන් ශ්‍රී ලාංකීය සමාජයට අනාවරණය කිරීම අත්‍යඅවශ්‍ය කාරණයක් නොවේද?. මන්ද (ඔහු පවසන ආකාරයට) ඔවුන් පිලිබදව රටට හෙළි නොකර සිටීම තුල තවත් බොහෝ තරුණ පිරිස් නොමඟ යාමට පුළුවන් නොවේද?. නමුත් මේ අනාවරණය සිදුකරගෙන ඇත්තේ රටේ බුද්ධී අංශය නොව බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මහතා නම් ඔහු සම්බන්ධයෙන් විමසා බැලිය යුතු කාරණා කිහිපයක් ඇත. ප්‍රථමයෙන් ඔහුගේ ප්‍රකාශය තුලින් ප්‍රධාන කරුණු කිහිපයක් මතුකර පෙන්වන්නේ නම්,

  • මේ නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වෙලා තියෙන වහබ් කල්ලිය සුෆි මුස්ලිම් භක්තිකයන් ක්‍රමයෙන් විනාශ කරමින් යනවා.
  • පහුගිය කාලේ සුෆි භක්තිකයන්ගේ පල්ලි ගණනාවක්ම මොවුන් විසින් කඩා දැමුවා.
  • මේ වහබ් කල්ලියට මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවකින් මුල්‍ය ආධාර ලැබෙන බව මම දන්නවා.
  • ආර්ථික වශයෙන් ආමාරු තරුණයින් මුදලට වහ වැටි මේ සන්නද්ධ කණ්ඩායමට එක්වනවා. ඔවුන් තමා සටන්කාමින් විදිහට යන්නේ.
  • ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා වලදී පරීක්ෂාවෙන් සිටි පොලිසිය ඔවුන් ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
  • සුෆි භක්තිකයන්ට මේ නිසා නිදහසේ ආගම අදහන්න විදියක් නැහැ.
  • රාජ්‍ය රහස් තොරතුරු අංශය මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවනවා.

ඉහත කරුණූ වෙත අවධානය යොමු කිරීමට මත්තෙන් වර්ථමාන ඉස්ලාම් දහම මුහුණපාමින් තිබෙන අවාසනාවන්ත ඉරණමක් පිලිබදව කෙටි හැදින්වීමක් කලයුතුව ඇත. ඒ ලොව සෑම දහමකටම අත් වූ අවාසනාවන්ත ඉරණමකි. එය තමා දහමේ මූලික ඉගෙන්වීමන්ගෙන් මිදී කල්ලි වශයෙන් හා සංවිධාන වශයෙන් බෙදී “නිකාය” වාදයන් දහම තුල නිර්මාණය කර ගැනීම. ඒ අනුව මුස්ලීම් සමාජය තුල ඉස්ලාම් නමින් නිකාය වාදය ද අරක්ගෙන මුස්ලීම් සමාජය භේදබින්න කොට ඇත. එම නිකායන් අතර “සූෆිසම්” හා “වහාබිසම්” යන්නද එවැනි නිකායන් දෙකකි. මේ නිකායන් අතුරින් බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මහතා “සූෆි” නිකාය නියෝජනය කරන බව අප රටේ බහුතර මුස්ලීම් ප්‍රජාව හොදින් දන්නා කාරණයක් වන අතර එය ඉහත ඔහුගේ ප්‍රකාශය තුලින් ද අනාවරණය වේ. මුස්ලීම් සමාජයේ පවතින ඉහත ආකාරයේ වූ විවිධ නිකායන් අතර සමානකම් මෙන්ම නොගැලපීම් බොහෝමයක් පැවතුන අතර ඉහත “සූෆිසම්” හා “වහබිසම්” අතර ඇත්තේ ප්‍රබල වූ පරස්පරතාවයන්ය. මේ නිසාම මේ දෙපාර්ශවය අතර ප්‍රබල මතවාදී ගැටුමන් පවතිනවා යන්නත් අප රටේ බහුතර මුස්ලීම් ප්‍රජාව හොදින් දන්නා කාරණයකි. මේ දෙපාර්ශවය සැලකූවිට අප රටේ අති බහුතරය “සූෆි” නිකාය දරන්නන් වන අතර රටේ සුළුතරය වහාබිසම් මතවාදය දරයි. මේ දෙපාර්ශවය පිලිබදව මෙලෙස කෙටි හැදින්වීමක් කලේ ඔබට කිසියම් අවබෝධයක් ලබාදීම පිණිස මිස ඒ කිසිදු පාර්ශවයක් සාධාරණීකරණය කරනු පිණිස නොවේ. මන්ද මේ පාර්ශවයන් කවුරුන් වුවත් මොවුන් දරන මතවාදයන් ප්‍රතිපත්ති කුමක් වුවත් මෙවැනි බෙදීමන් ඉස්ලාම් නොවන බැවිණි. ඉස්ලාම් දහම තුල “සූෆි ඉස්ලාම්” ලෙස හෝ “වහාබි ඉස්ලාම්” යනුවෙන් කිසිවක් නොමැති අතර එසේ බෙදීම ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව බරපතල වරදකි. ඒ අනුව මේ නිකායන් නියෝජනය කරන හා ආවඩන කිසිවකු ශුද්ධ වූ ඉස්ලාම් දහමට උරුමකම් නොකියන බව පැහැදිලි ලෙස වටහා ගතයුතුය. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය කිහිපයක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,

“කවුරුන් තම දහම තුල බෙදීමන් නිර්මාණය කරගෙන (විවිධ) කොටස් වලට බෙදි ගියේද? ඔවුන් තම තම කණ්ඩායම කෙරෙහි (තමන් නිවරැදි යයි) ආනන්ද (සතුටු)වෙති.”
ශුද්ධ වූ කුර්ආන් 30-32

“නියත වශයෙන්ම නුඹලාගේ සමාජය (බෙදීම් නොමැති) එකම එක සමාජය වේ.”
ශුද්ධ වූ කුර්ආන් 21-92

“තවද නුඹලා සියළුදෙනා අල්ලාහ් (දෙවියන්)ගේ (කුර්ආනය නැමැති) ලණුව දැඩිව අල්ලා ගන්න. නුඹලා නොබෙදෙන්න.”
ශුද්ධ වූ කුර්ආන් (3-103)

ඉහත වාක්‍යයන් තුලින් ඉස්ලාම් අවධාරනය කරන්නේ කුමක්ද? යන්න මීට ඉහත කිහිප අවස්ථාවක සාකච්චා කොට ඇති නිසාත්, ඉදිරි දිනයක “මුස්ලීම් සමාජයේ ආගමික බෙදීම්” මැයෙන් දීර්ඝ ලිපියක් මෙම අඩවිය තුල ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන නිසාත්, මෙතෙකින් එම විෂය නවතා ඉහත ලිපිය වෙත නැවත යොමු වෙමි.

මෙතෙක් මා ඉදිරිපත් කල කරුණූ අනුව ඉහත චෝදනාව සත්‍යයක් නම් එහි යටි අරමුණ කුමක්ද? යන්න ඔබට පැහැදිලි වියයුතුය. තම දහමට වඩා දේශපාලනයට පෙරේතකම් දක්වන ඒ වෙනුවෙන් සමස්ථ ජාතියම පාවාදෙන අප රටේ සම්ප්‍රදායක දේශපාලනය තුල මුස්ලීම් දේශපාලඥයින් ද තවත් චරිත කිහිපයක් පමණි. අප රටේ පැවතී යුධ අත්දැකීමත් ඒ තුල නිර්මාණය වී පවතින අමිහිරි අත්දැකීමන් අවස්ථාවක් කරගෙන මුස්ලීම් සමාජයේම කිසියම් පාර්ශවයක් බිලිදීමට තැත් කරන ඉහත ප්‍රකාශය පිලිබදව මුස්ලීම් සමාජයේ වගකිවයුතු පාර්ශවයන් වරක් නොව දෙවරක් සිතා බැලිය යුතුය. තමන්ගේ යහපත උදෙසා ඕනෑම පහත් ක්‍රියාවක නියෙලෙන මෙවැනි දේශපාලඥයින් මුස්ලීම් සමාජය හොදින් හදුනා ගතයුතුය. ඉස්ලාම් දහමටත් මුස්ලීම් සමාජයටත් අන්තවාදී හා ජාතිවාදී පාර්ශවයන්ගෙන් දැඩි පීඩනයක් එල්ලවෙමින් පවතින වකවානුවක මෙවැනි පහත් පෙලේ පාවාදීමන් පිලිබදව සතුටුවිය හැකි කිසිදු මුස්ලිම්වරයෙකු සිටිය නොහැක. මෙවැනි ප්‍රකාශන තුලින් හා එවැනි ප්‍රකාශන නිකුත් කරන පිරිසට ආවැඩීම තුලින් අප සිදු කරන්නේ ඉස්ලාම් හා මුස්ලීම් විරෝධීන් සදහා අවස්ථා සලසාදීමක් පමණි. එය ඔබට වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ඉහතින් මා ඉදිරිපත් කල Blog ලිපියට අප රටේ ජාතිවාදී පිරිස් ලබාදී තිබූ comments කිහිපයක් පහතින් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි.

  • $$$$$ලා ටික අමුනගෙන වගේ… ඔක්කොම ඌරෝ ඉවරයක් කරල දාන්න ඕනෑ නැත්නම් මේ සිංහල බෞද්ධ රටත් f)ck ස්ථානයක් වෙයි…
  • නෑ බොල. කොටි මදිවට හම්බයෝ කිව්වාලු…
  • නියමයි, තම්බින්ට කෙළින්න ක්‍රමවේදයක් හදල දුන්න වහබ් කල්ලියට ජයවේවා… එක කොටි… දෙක හරක්…
  • ඵ් උනාට බං හමිබයොන්ව පන්නන්න ඕනෙ…

ඉහතින් මා ගෙනහැර දක්වා ඇත්තේ එම ලිපියේ comments කිහිපයක් පමණි. දැන් තේරෙනවා නොවේද? එම ප්‍රකාශයේ බරපතල කම. මෙවැනි තුට්ටුදෙකේ දේශපාලඥයින්ගේ දේශපාලන බංකලෝතුභාවය හා කුහකකම තවදුරටත් එලිකිරීම සදහා මීට කලකට ඉහත මෙම අඩවිය තුල සාකච්චාවට ගැණූනු උණුසුම් මාතෘකාවක් නැවත ඔබගේ අවධානයට ගෙන එන්නට කැමැත්තෙමි. ඒ “වහාබිසම්” පිලිබදව දෙරණ ප්‍රවෘත්ති හෙලිදරව්ව යන මැයෙන් ලියවුණූ ලිපියයි. එහිදී අද ඉහතින් බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මහතා වියරුවෙන් ප්‍රකාශ නිකුත් කලසේම “රියාස් සාලී” නම් පුද්ගලයෙකු කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වූ අතර “වහාබිවරුන් කවුරුන්ද” යන්න පිලිබදව සරල පැහැදිලි කිරීමක් ද එහිදී කරන ලදී. මෙහි වැදගත්ම කාරණය එම වියරු වැටුනු ප්‍රකාශය සම්බන්ධයෙන් අප රටේ විද්වතුන් දැක්වූ අදහස් දැක්වීමයි. එය වහාබිසම් යන්න ත්‍රස්ථ සංවිධානයක්ද? විද්වත් අදහස් විමසුමක් යන ලිපිය තුලින් ඔබට කියවීමට හැක. මෙහි සුවිශේෂි කාරණය නම් ඉහත ප්‍රකාශ නිකුත් කරන බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මහතා එදා කරන ලද ප්‍රකාශනයයි. එය මෙසේය…

Western Province Governor Alavi Mowlana

I think somebody is trying to gain cheap publicity at the expense of our religion. There are various sects among the Sri Lankan Muslim community but there are no schools preaching terrorism.

I met theologists of all sects, even Tawhid Jamaat this morning (Thursday), and some of the religious leaders and Muslim journalists again at 4.00 p.m. This news has created quite an uproar among the community and we are highly disturbed.

There may be differences of opinion. But there is no such issue that extremism or fundamentalism is seeping into the country. Any foreign link or funding is connected to development and every cent is being sent to the mosques. This is not being used to develop forces bearing weapons against the country. We have been preached to love our country from birth

දැන් ඔබට අප රටේ මුස්ලීම් දේශපාලඥයින්ගේ සැබෑ ස්වරූපය අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. ඔහුගේ අද ප්‍රකාශය හා එදා ප්‍රකාශය අතර කොතරම් පරස්පරතාවයක් පවතිනවාද? සැබැවින්ම ඔහු මෙවැනි ප්‍රකාශනයක් සිදුකොට ඇත්නම් ඔහු බොරුකාරයෙක් යන්නට මීට වඩා සාක්ෂි අවශ්‍ය නොවේ යයි සිතමි. මෙවැනි ප්‍රකාශ තුලින් ඔහු අපේකෂා කරන්නේ තම නිකාය මෙන්ම බහුතර මුස්ලීම් ජනතා මනාපය තමා වෙත ලඟාකර ගැනීමක් මිස එහි ඉස්ලාම් දහම හෝ මුස්ලීම් ජනතාව කෙරෙහි අවංක වූ හැඟීමක් කැක්කුමක් නොමැති බව පැහැදිලිය. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මෙවැනි ප්‍රකාශ තුලින් මුස්ලීම් සමාජයේම කිසියම් පාර්ශවයක් සතුටින් කුල්මත් වන විට තවත් පාර්ශවයක් නොසතුටට පත්ව පසුතැවිලි වන්නට පුළුවන. මේ දෙපාර්ශවයම නියෝජනය නොකරන විද්වත් පිරිස්ද අප සමාජයේ සිටිය හැක. එම පිරිසට මෙවැනි තත්වයක ඉටුකලයුතු බොහෝ වගකීමන් පවතී. ඒ සියළු වගකීමන් පසෙකලා නිහඬව සිටියේ නම් එහි පලවිපාකය ඒ ඒ පාර්ශවයට පමණක් නොව සමස්ථ මුස්ලීම් ප්‍රජාවටමය. එය මුහම්මද් (සල්) තුමාණන් නෞකාවක ගමන්ගත් පිරිසක් උපමා කරගෙන අලංකාර ලෙස පැහැදිලි කරන ලදී. එය කෙටියෙන් පවසනවා නම්,

“නෞකාවක ගමන්ගත් පිරිස් අතර ඉහල මහලේ හා පහල මහලේ ලෙස ජනතාව නෞකාවේ ගමන් කරන ලදී. ඉහල සිටින පිරිසට තම ජල අවශ්‍යතාවය සදහා එය පහසුවෙන් ලබාගත හැකි වුවත් පහල මහලේ සිටින පිරිස් ඉහල මහලට ගොස් ජලය ලබාගන්නට සිදුවිය. මෙලෙස ගමන් කරන විට පහල මහලේ සිටින පිරිස් ‘අපි මොකටද උඩට ගිහින් ජලය ගන්නේ අපි ලඟමනේ ජලය තියෙන්නේ අපි නෞකා පතුලේ සිදුරක් සාදාගමු’ යනුවෙන් පවසා නෞකාව සිදුරුකරන්නට විය. මෙය දුටු ඉහල මහලේ පිරිස් ‘ඔවුන් දැන් විනාශ වේවි අපිට මොකද?’ යනුවෙන් බලාසිටින ලදී. අවසානයේ නෞකාව ගිලී සියළු ජනයා විනාශ වන්නේය. යනුවෙන් පවසන ලදී.”

වර්ථමානයේ මුස්ලීම් සමාජය තුල නිර්මාණය වෙමින් තිබෙන්නේද මෙවැනි තත්වයකි. මෙහි අවසාන ප්‍රතිපලය සමස්ථ මුස්ලීම් සමාජයම අවාසනාවන්ත ඉරණමකට තල්ලුවීමයි. මෙවැනි පසුබිමක මධ්‍යස්ථ පාර්ශවයන්ගේ මැදිහත්වීම දැඩි අවශ්‍යතාවයකි. වාද භේද පසෙකලා ශුද්ධ වූ දහම වටා ඒකරාශි කිරීම සදහා සමස්ථ සමාජය මෙහෙයවීමක් ලහි ලහියේ ඉටුකලයුතුව ඇත. මුස්ලීම්වරුන් එකම ජන සමාජයක් ලෙස නැවත ඒකරාශිවීමේ අවශ්‍යතාවය ඇත. මෙය නබිතුමාණන් අලංකාර ලෙස හදීසයක් මඟින් පහත ආකාරයට අවධාරණය කරන ලදී.

“යම් කෙනෙකු මූමීන්වරයෙකු (දහම නිසි ලෙස පිලිපදින කෙනෙකු) ලෙස ජීවත් වනවිට සමාජය භේද කිරීමකට හෝ සමජයෙන් මිදී සිටීමට හෝ කිසිවිටෙක නොසිතන්නේය. මන්ද ‘මූමීන්වරයෙකු තවත් මූමීන්වරයෙකුට කණ්නාඩියක් මෙනි’. එසේම ‘එක් මූමීන්වරයෙක් තවත් මූමීන්වරයෙකුගේ ශරීරය මෙනි’ යනුවෙන් නබිතුමාණන් දේශනා කරන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත හදීසය තුලින් අවධාරණය කරන ආකාරයට සහෝදර මුස්ලීම් ජනතාව අපගේ ප්‍රතිබිම්භ ලෙස අපට දකින්නට හැකි වී තිබෙනවාද? ඔවුන් අපගේ ශරීරයේ කොටසක් ලෙස දකින්ට හැකි වී තිබෙනවාද? ඇසක ආබාධයක් නම් මුළු ශරීරයම එම වේදනාව විදිනවා අපටත් අපගේ සහෝදර මුස්ලීම්වරයෙකුගේ දුක වේදනාව එලෙස විදගැනීමට හැකි වී තිබෙනවාද? ඉහත හදීසය තුල උගතයුතු බොහෝ පාඩම් අප හමුවේ ඉතිරිව ඇත. ඒවා කෙරෙහි බුද්ධිමත් ලෙස විමසා බැලීමට ඔබට ආරාධනා කරමින් අවස්ථාවාදී පිරිසගෙන් පරිස්සම් වෙමු මුස්ලීම් ප්‍රජාව එවන් පිරිසගෙන් ආරක්ෂා කරමු. යන්න අවසාන වශයෙන් නැවතත් ප්‍රකාශ කරමින් මෙම ලිපිය අවසන් කරමි.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp