නියත වූ මරණය

0

උපතත් සමඟ සෑම ජීවියෙකුටම උරුම අනිවාර්‍ය වූ කාරණය මරණයයි. මේ පොදු ධර්මතාවයෙන් මිදුනු නොඑසේ නම් මිදෙන කිසිදු ජීව ආත්මයක් මේ විශ්වය තුල නැත. අප වෙනුවෙන්ම නියම වූ මරුව (මලකල්මවුත්) නිරන්තරයෙන්ම අපව මැරීම පිණිස අවකාශය නිමා වී අවසරය ලැබෙන තුරු බලා හිඳී. ඒ කෙටි වූ අවකාශය තුල මනුෂයාගේ ජීවිතයන් හි කොතරම් බලාපොරොත්තුද?, අභියෝගද?, ඉලක්කද?… මේවා ජයගැනීම පිණිස දිවා රෑ කොතරම් අරඟලද?. මේ සියල්ල තුල දෛනිකව වෙහෙසෙන ඔබ මේ රූපයෙන් දැක්වෙන මොහොත මොහොතක් හෝ සිතුවේද?. ඒ ඔබේ අවිවේකි කාර්‍යබහුල ජීවිතයට විරාමය තබන මොහොත නොවේද?. උස් පහත් ලෙස තත්පරයක් පසා හඳවත කම්පනය කොට ඔබේ ශරීරයට ප්‍රාණය රුකදුන් හඳ ගැස්ම නිමා කරන මොහොත. දිනක නියතව ම සැබෑ වන ඒ මොහොත ඔබට කොතරම් ඈතද?.

කිසියම් දිනක එහි එක් නිමේෂයක නිසල වන ඔබ ‘ඒ නිමේෂය ලඟාකර දෙන මරණය‘ ගැන කොතරම් නම් සිතුවේද?. කිසිවකු කිසිවිට ප්‍රිය නොකරන එසේ ඔබ ප්‍රිය කලත් නොකලත් නියතවම ඔබට ලඟාවන ඒ ‘මරණය‘ ගැන දිව්‍යාමය පුස්තකය වන ශුද්ධ වූ කුර්ආනය පවා 7-34 හි මෙසේ පවසයි.

…සෑම ජන සමාජයකටම නියමිත කාලසීමාවක් ඇත. ඔවුන්ගේ කාලසීමාව පැමිණියහොත් ඔවුන්ට එක් පැයකින්වත් පමා වීමට හෝ ඉක්මන් වීමට නොහැකිය…“

අප අපගේ දිවිය තුල කුමන කාර්‍යය කවර ආකාරයට පෙර පසු ලෙස සැලසුම් කොට ඉටුකලත් කිසිවිටෙක කවර ආකාරයකටවත් එසේ සැලසුම් කල නොහැකි මොහොතන් දෙකක් මිනිස් දිවිය තුල ඇත. ඒ ඔබේ උපත සිදුවන මොහොත හා ඒ උපතින් උරුම දිවිය අවසන් කරමින් මරණය ලඟාකරගන්නා මොහොතයි. අද ‘යහමඟ‘ අඩවිය තුලින් විමසා බලන්නේ මේ ලෞකික දිවිය නිමා කරන ‘මරණය‘ නම් මොහොත හා ඒ වෙනුවෙන් අප කොතරම් සූදානම්ද? යන කාරණයයි.

සෑම කෙනෙකුටම හිමි මොහොත පැමිණිය විට ඔහුට හිමි මරණයට නියතව ම ඔහු මුහුණ දියයුතු යන්න ලෝක පොදු ධර්මතාවයකි. එහිදී තමා, ධනවත්-දුප්පත්, උසස්-පහත්, කුඩා-ලොකු, උගත් නූගත්, තරුණ-මහලු… යනාදී කිසිදු උස් පහත් භේදයක් වලංගු නොවේ. මන්ද ‘මරණය‘ යන්න ජීවීන් සියල්ලට පොදු ධර්මතාවයක් වන බැවිණි. එහි මනුෂ්‍යා හා අමනුෂ්‍යා යන භේදයක් නැත. මේ විශ්වයේ වෙසෙන සෑම ජීවයකටම ‘මරණය‘ පොදු ධර්මතාවයකි. මෙය ශුද්ධ වූ කුර්ආනය ඉතා පැහැදිලිව භූමියේ ඇති සියල්ල විනාශ වන බවත්, එහි වෙසෙන සියළු ආත්මද විනාශ වන බවත් පහත ආකාරයට පවසයි.

භූමියෙහි ඇති සියල්ල අනිවාර්යයෙන්ම විනාශ වී යන්නේය.

ශුද්ධ වූ කුර්ආනය 55-26

සෑම ජිවියෙක්ම මරණයේ සුව විඳිති. නුඹලාට නුඹලාගේ පූර්ණ ඵලවිපාක දෙනු ලබන්නේ පරමාන්ත දිනයේදීය. යමෙක් අපායග්නියෙන් මිදෙනු ලැබ ස්වර්ගයට ඇතුළත් කරගනු ලැබේ නම් ඔහු සැබෑ ලෙසින්ම සාර්ථකත්වය ලබන්නේය. මෙලොව ජිවිතය මායා සුඛෝපභෝගයක් මිස නැත.

ශුද්ධ වූ කුර්ආනය 3-186

ලොව විවිධ වු ආගමික විශ්වාස හා ඉගෙන්වීමන් විමසා බලන විට ඒ සියල්ල ‘මරණය‘ නම් පොදු ධර්මතාවය පිලිබදව එකම මතවාදය දරයි. නමුත් ඒ මරණය සමඟ ඔහුගේ සියල්ල නිමා නොවී තවත් ආත්ම හෝ භව ලෙස දිගුවක් පිලිබදව කථා කරයි. නමුත් ඉස්ලාම් දහම එවැනි දිගුවක් ප්‍රතික්ෂේප කරයි. (කියවන්න -පුනරුත්පත්තිය පිලිබදව විමසුමක්-) ඉහත 3-186 වාක්‍යයේ සදහන් ආකාරයට මේලොව දිවියේ නිමාව (මරණය) සමඟ අවසන් වේ (එනම්, තවත් ආත්මයක් හෝ භවයක් ඔහුට හිමි නොවේ). ඔහු ලෞකික දිවිය තුල කල කුසල්-අකුසල් අනුව ඔහුගේ නවාතැන නිරයද? ස්වර්ගයද? යන්න මරණයත් සමඟ ඊලඟට තීන්දු කෙරේ. මරණයත් සමඟ උදාවන මේ තත්වය මනුෂ්‍යාගෙන් බොහෝ පිරිසක් තවම නියම ලෙස වටහාගෙන ඇති බවක් පෙනෙන්නට නැත. මේ හේතුව නිසාම මරණය අපෙන් බොහෝ පිරිසකට ඉතිරි කරන්නේ දුක හා පසුතැවීම පමණි. මෙය ද අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ ඉතා සරලව මෙසේ පවසයි.

ඔවුන්ගෙන් යමකුට මරණය පැමිණි කල්හී මාගේ රබ්(පරමාධිපතියාණෙනි) මා ආපසු (ලොව වෙත) යවනු මැනවියි කියන්නේය. මන්ද, මා අත්හල දෑහී මට යහකම් කරන්නට හැකිවන සේ, (මා ආපසු යවනු මැනවි) නැත. නියත වශයෙන් එය ඔහු කියන වදනකි. යළි නැගිටුවන ලබන දිනය දක්වා (නැවත මෙලොවට ඒමෙන් වළක්වන) ආවරණයක් ඔවුන් ඉදිරිපසින් ඇත.

ශුද්ධ වු කුර්ආනය 23- 99 හා 100

මේ ආකාරයට මරණය හමුවේ පසුතැවෙමින් ඉන් මිදීමට කොතරම් උත්සාහ කලත් අල්ලාහ් (දෙවි)ගේ තීන්දුවෙහි වෙනසක් හෝ සහනයක් කිසිවකුටත් හිමි නොවේ. අල්ලාහ් (දෙවි)ගේ පෙර නියමය පරිධි ඔහුට හිමි මරණය ඔහුට ම හිමිවේ. ඒ මොහොතේ ඔහු යහකම් කල සැබෑ මුස්ලීම්වරයෙකු නම් ඔහුගේ ඊලඟ ඉරණම පහත ආකාරයට විසදේ, එනම්,

(එහෙත්) නියත වශයෙන්ම කවුරුන් ‘අපගේ දෙවියන් අල්ලාහ්ය‘ යයි පවසා (ඒ මත) ස්ථීරව සිටියෙහුද, ඔවුන් වෙත මලායිකාවරුන් පැමිණ (ඔවුන්ට) “ඔබ (කිසි දැයකට) බිය නොවනු. දුක් නොවනු. ඔබට පොරොන්දු දෙන ලද ස්වර්ගය මගින් සතුටු වනු“.

ශුද්ධ වූ කුර්ආනය 41-30

නමුත් මෙලොව දිවියේ ඔබ යහපත් නොවී අකටයුතුකම්වල හා අපරාධවල තම ජීවිතය ගෙවාදැමූ කෙනෙකු වේ නම්, ඔවුන්ගේ අවසාන ඉරණම මහා ඛේදවාචකයක් යන්නත්, ඔවුනට වේදනාකාරී දඬුවම් හිමි යන්නත් ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනය තුලින් මෙලෙස පෙන්වා දේ,

…අපරාධකරුවන් මරණයේ අභියස සිටින කල්හි මලක්වරු තම අත් දිගුකරමින් නුඹගේ ප්රාවණය බැහැර කරව්. අල්ලාහ් කෙරෙහි සත්ය නොවන දේ නුඹ පවසමින් සිටි බැවින්ද ඔහුගේ ආයාත් (අණ පනත්) පිළිබඳව නුඹලා (විශ්වාස නොකර) උඩඟු වූ බැවින්ද අද දින නුඹට නින්දා සහගත දඬුවම විපාකය වශයෙන් දෙන ලද්දේ යැයි (පවසති.)

ශුද්ධ වූ කුර්ආනය 6-93

…අපරාධ කළ අය, දඬුවම (දෑසින්) දකින අවස්ථාවේදී ‘(මෙයින්) බේරෙන්නට කොහේ හෝ මාර්ගයක් ඇත්ද?’යි ඔවුන් විමසනු ඔබ දකින්නෙහිය.

ශුද්ධ වූ කුර්ආනය 42-44

මෙතෙක් විමසා බැලූ ශුද්ධ වූ කුර්ආනීය ඉගෙන්වීමන් අනුව ‘නියත වූ මරණය‘ සදහා අප කොතරම් දුරකට සූදානම් ද යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුතුව ඇත. එය මාරයා පෙනි පෙනි කලහැකි සූදානමක් නොවන බව නම්, ඔබ හොදින් වටහා ගතයුතුව ඇත. එසේම මරණයට පසු තම ඥාති, මිතුරන් කරන දාන ධර්මයන් හෝ ශෝක ප්‍රකාශයන්, වත් පිලිවෙත් තුලින් ගොඩයාහැකි අභියෝගයක් නොවන බවත් වටහා ගතයුතුව ඇත. ‘මරණයේ‘ මේ සියළු යථාර්තය නිවරුදිව වටහාගෙන ලෞකික දිවිය තුල වූ මායාකාරී බැදීමන්ගෙන් දුරස්ව මරණයෙන් පසු වූ දිවියේ සාර්ථකත්වය උදෙසා බුද්ධිමත්ව කටයුතු කලයුතුව ඇත. එවිට ශුද්ධ වූ කුර්ආනයේ 3-185 හි සදහන් සාර්ථකත්වය ඔබ වෙත ලඟා වනු ඇත. එනම්,

සෑම ජිවියෙක්ම මරණයේ සුව විඳිති. නුඹලාට නුඹලාගේ පූර්ණ ඵලවිපාක දෙනු ලබන්නේ පරමාන්ත දිනයේදීය. යමෙක් අපායග්නියෙන් මිදී ස්වර්ගයට ඇතුළත් කරගනු ලැබේ නම්, ඔහු සැබෑ ලෙසින්ම සාර්ථකත්වය ලබන්නේය. මෙලොව ජිවිතය මායා සුඛෝපභෝගයක් මිසල නැත.

මෙම මාතෘකාවට අදාල තවත් ලිපි කිහිපයක් ඔබේ අවදානයට…

.

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *