ජරාව, පගාව හෙවත් අල්ලස පිලිබදව ඉස්ලාමීය දැක්ම

0

අද ලොව තුල වසංගත රෝගවලට අමතරව මනුෂ්‍ය සමාජය බිලිගන්නා කෲර කාරණයක් ලෙස “අල්ලස” හැදින්විය හැක. මෑතක කල සමීක්ෂණයකට අනුව තුන්වන ලෝකයේ රටවල් විශේෂයෙන් ආසියාතික රටවල්වල මෙම සමාජ විරෝධි ක්‍රියාව සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව අනාවර්ණය වී ඇත. එහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම අවාසනාවන්ත තත්වයට මුහුණ දී ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ද පෙරමුණේ සිටීමයි. මෙය ශ්‍රී ලාංකීය පුරවැසියන් වන අපට නම් පුදුමයට කාරණයක් නොවන්නට පුළුවණී. මන්ද මෙම අල්ලස්දීම අල්ලස්ගැනීම යන්න අපට දෛනික ජීවිතයේ තවත් එක් අංගයක් බවට පත්ව තිබීම හේතුවෙන් සහා එසේ අල්ලස්වලට අප සම්බන්ධ නොවුවත් දිනපතා පුවත්පත් මඟින් මේ පිලිබදව කථා කිරීම නිසා මෙය වර්ථමාන සමාජයේ සරල කාරණයක් බවට පත්ව තිබීම හේතුවෙණි. ඔබේ මතකය අළුත් කිරීමට එවැනි පුවත්පත් සිරස්තල කිහිපයක් පවසන්නේ නම්,

රු 50000ක් අල්ලස් ගත්තැයි පොලිස් පරීක්ෂකට 50000ක් ඇප – ලංකාදීප 2004.01.13

වන්දි මුදල් ලබාගන්න නිළධාරීන් දොලපිදෙනි වෙලා – දිවයින 2003.04.08

පරිගණකයට හසුනොවී ලක්ෂ 54ක් කිරිපිටි වංචාකල ගබඩා කළමනාකරැට ලක්ෂ 12ක් ඇප – ලංකාදීප 2004.01.01

ප්‍රමුඛ බැංකුවෙන් කෝටි 4ක් පගා ගැසූ නිලධාරීන්ට ඇප – දිවයින 2002.02.11

අල්ලස් කොමිසමේ ඉල්ලීම මත මහා භාරකාරවරයාට රටින් පිටවීමට තහනම් – ලංකාදීප 2004.01.13

පිට්ටනියට වෙන්ලක සල්ලි එක්ක සෙල්ලම් – දිනමිණ 2004.01.19

ඕ. අයි. සී ගෙන් ලක්ෂ 3.5ක කප්පමක් ඉල්ලුවයි ඒ. එස්. පී ට එරෙහිව පරීක්ෂණ – ලංකාදීප 2004.01.01

ඉහතින පසුගිය වසර කිහිපයක් තුල සිදුවූ ජනප්‍රිය සිදුවීම් කිහිපයක් පමණක් ඉදිරිපත් කර ඇතිමුත් මෙවැනි සිදුවීම් දිනපතා සමාජය තුල සිදුවෙනවා යන්න කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැකි ප්‍රසිද්ධ වූ රහසකි. මෙම ඛේදවාචකය අපේ රට කොයිතරම් දුරට වෙලාගෙන තිබෙනවා ද යයි පවසනවා නම් රටේ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුවේ සිට හද්ද පිටිසර ගමක ජීවත් වන අන්ත අසරණ දුගියාගේ දිළිදු සහනාධාරය දක්වා මෙය ක්‍රියාත්මක වේ. අද අපේ රටේ මෙම “අල්ලස” නම කියූ පමණි සිහියට එන ක්ෂේත්‍ර දෙකක් ඇත. ඒ

  • සිවිල් නීති ආරක්ෂා ක්ෂේත්‍රය
  • අධ්‍යාපන ක්ෂේත්‍රය

ඉහත ක්ෂේත්‍ර දෙක මෙම අල්ලස හා පවතින බැදීම පවසද්දී අල්ලස් හා දූෂණ වංචා විමර්ශන කොමිසමේ හිටපු විමර්ශන අධ්‍යක්ෂ නෙවිල් ගුරුගේ මහතා 2009/02/18 දින දිනමිණ පුවත්පතට කල සම්මුඛ සාකච්චාවේ ඔබේ අවධානයට යොමු කිරීම කාලීන යයි සිතමි. එම සාකච්චාවේ දී එතුමා අදහස් දක්වා තිබුනේ මේ ආකාරයටය.

  • පොලිසිය කියන්නේ නීතිය රකින්නට සිටින ආයතනයක්. ඇත්ත වශයෙන් ම සෑම වසරකදීම පාහේ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් පොලිස් සේවයේ නියුතු වූවන් ඉදිරියෙන් ඉන්න බව පෙනී ගොස් තිබෙනවා. නීතිය කි‍්‍රයාත්මක කරන්න ඉන්න පොලිස් නිලධාරින් ඒ නීතිය කඩ කිරීම විශාල ප‍්‍රශ්නයක්.
  • දරුවෙක් කියන්නේ රටේ අනාගතය. දරුවකු වෙනුවෙන් අල්ලසක් ලබා ගන්නා ඕනෑම පුද්ගලයෙක් නැවත ආත්මයක හොඳ තැනක උපදින එකක් නැහැ. නරකාදියක තමයි උපදින්නේ. ඒක හෙණ ගහන අපරාධයක්. පසුගිය අවුරුද්දේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ වැඩි පිරිසක් අල්ලස් දැලට හසු වුණා. මෙහි දී ජනතාවට මම දෙයක් කිව යුතුයි. දරුවකු පාසලකට ඇතුළු කරගන්න අල්ලස් ලබා ගන්නා විදුහල්පතිවරුන්, ගුරුවරුන්, වගේ ම අධ්‍යාපන ලොක්කන් පිළිබඳ කොමිසමට දැනුම් දෙන්න පෙළඹෙන්න.

ප්‍රථමයෙන් අල්ලස්වලට සම්බන්ධ නොවන යහපත් නිලධාරීන් ද අප රටේ නැතුවා නොවේ. සැබැවින්ම ඔවුන් මෙහි දී ගෞරවණීයව සිහි කලයුතුමය. නමුත් රටේ බහුතරය මේ අල්ලස් හා කටයුතු කරන පිරිසයි. විශේෂයෙන් ඉහත දෙපාර්ශවය ගත්විට පොදු ජනතාව මේ දෙපාර්ශවය හොදින් අවබෝධ කරගෙන ඇත. විශේෂයෙන් රියදුරු මහතෙකුගෙන් අල්ලස්දීම සම්බන්ධ අත්දැකීමක් ඇත්දැයි විමසුවේ නම්, රටේ මහජනතාවට නීතිය ආරක්ෂ කරන නිලධාරීන්ගේ තත්වය පහසුවෙන් අවබෝධ කරගත හැක. එසේම ජනප්‍රිය පාසලකට ළමයෙකු ඇතුලත් කල දෙමාපියෙකුගෙන් එහි අත්දැකීම විමසුවේ නම් අධ්‍යාපන ‍ක්ෂේත්‍රයේ තත්වය ද පහසුවෙන් වටහාගත හැක. විශේෂයෙන් පාසලට ළමුන් අළුතින් ඇතුලත් කිරීමට ලහි ලහියේ සූදානම් වන මේ වකවානුව සැලකූවිට මේ ගෙවීයන්නේ අල්ලස් සමයක් යන්න කිවහැක. ඒ දෙමාපියන් තම දරැවා ජනප්‍රිය පාසලකට ඇතුල් කිරීම සදහා සාවද්‍ය ආකාරයට පදිංචි සහතික, ජලබිල්පත්, දුරකථන බිල්පත්, විදුලි බිල්පත්, වරිපනම් බිල්පත්, ඔප්පූ, එක් පසකින් සකස් කරමින් සිටින අතර තවත් පසෙකින් ර‍ජයේ අනුමත අල්ලස වන පාසැලට පරිත්‍යාග හා අවසානයේ විදුහල්පතිවරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් හට ලබ‍ාදෙන දොල පිදේනිය, සංතෝසම, පගාව, ජරාව හෙවත් අල්ලස සූදානම් කරමින් සිටීන සමයකි. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ නියමිත සුදුසුකම් තිබෙන පිරිසට පවා මෙම යාන්ත්‍රණය තුල කටයුතු කිරීමට සිදුවී තිබීමයි. මෙවන් වූ වකවානුවක ආගමික විද්වතුන්ට හා ආගමික පූජකවරැන්ට ද කිසියම් වගකීමක් ඇත. එම වගකීම කවදත් නිසි අයුරින් අවබෝධ කරගන්නා යහමඟ මේ පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය සමාජයට පැහැදිලි කිරීමට අදහස් කරමි. ඊට ප්‍රථම ඉහත අල්ලස් හා දූෂණ වංචා විමර්ශන කොමිසමේ හිටපු විමර්ශන අධ්‍යක්ෂ නෙවිල් ගුරුගේ මහතා අවධාරණය කල කාරණයක් ඔබේ අවධානයට යොමු කරවීමට කැමැත්තෙමි. එනම්,

“…පවතින නීති සංශෝධනය කළ යුතුයි. අල්ලස හා දූෂණය පිළිබඳ නීති තවත් බලාත්මක කළ යුතුයි. ආගමික වගේ ම දේශපාලන නායකයන් මේ පිළිබඳ උනන්දුවෙන්, ඒකරාශී වීම ඉතා ම වැදගත් වේ.”

ඒ අනුව මාතෘකාවට දැන් අවධානය යොමු කරමු. කිසියම් කාරණයක් පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය සමාජයට ප්‍රකාශ කරන්නේ නම් එය ආගමික මූලාශ්‍රයන් පදනම් කරගෙන පමණයි. සිදුකල හැක්කේ යන්න මා නිරන්තරයෙන් පවසන කාරණයකි. එසේ මාහට නිතර නිතර පවසන්න‍ට සිදුවී ඇත්තේ අද ශ්‍රී ලාංකීය සමාජයේ ආගමික විද්වතුන් දහම නමින් බොහෝ කරැණූ කාරණා කථා කරන්නේ ආගමික ඉගෙන්වීම් පදනම් කරගෙන නොව තම බුද්ධීය පදනම් කරගෙන වීම හේතුවෙනි. එසේ නම් දැන් අපගේ මාතෘකාවට අවධානය යොමු කරමු. එනම්,

අල්ලස් පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද?

මේ පිලිබදව කථා කිරීමේ දී ශුද්ධ වූ කුර්අන් වාක්‍යයක් කෙරෙහි ප්‍රථමයෙන් ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එනම් ශුද්ධ වූ කුර්අනයේ 2-188 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි.

“අන්කිසිවකුගේ ධනය (වස්තුව) ඔහුගේ අවසරයකින් තොරව අනුභව නොකරන්න. අන් අයට අයත් වස්තූන් බව දැන දැන ඉන් කොටසක් වැරදි ආකාරයට උරැම කර ගැනීම පිණිස ඔබේ වස්තූන් (අල්ලස් වශයෙන්දීමට) අධිකාරීන් වෙත රැගෙන නොයන්න.”

ඉහත ශුද්ධ වූ කුර්ආන් වක්‍ය පිලිබදව බුද්ධීමත් මොහොතක් සිතන්න. අද රජයේ සේවකයන්, දේශපාලඥයන් … යනාදී පිරිස් විවිධ නම්වලින් ලබාගන්නේ මේ අල්ලස නොවේද? ඔවුන් අනුභව කරන්නේ ඉතා දුක් මහන්සියෙන් හරිහම්බ කරපු තවත් කෙනෙකුට අයත් දේපල නොවේද? තමන්ගේ සේවය වෙනුවෙන් වැටුපක් ලබන ගමන් සේවාදායකයාගෙන් ද කිසියම් ආකාරයක තුටුපඩුරක් බලාපොරොත්තුවීම දියුණු ආචාරධර්මයක් පවතින මානවයාගේ කොතරම් පහත් පෙලේ ක්‍රියාවක්ද? එසේම කෙනෙකුට ලැබිය යුතු අවස්ථාවක් තුටුපඩුරක් ලබාගෙන තවත් කෙනෙකුට ලබාදීම අද සමාජයේ සාමාන්‍ය කාරණයක් බවට පත්වෙලා නොවේද? විශේෂයෙන් මෙම තත්වය අප රැකියාවන් ලබාදීමේ දී නිරන්තරයෙන් දකිනවා නොවේද? මේවා කොතරම් තිරිසන් ක්‍රියාවන්ද? එසේම තවත් කෙනෙකු හට අයත් වස්තුවක් දේපලක් තමන් සතුකර ගැනීම පිණිස ක්‍රියාකරන පිරිස් අප සමාජයේ කොතරම්ද? එවැනි පිරිස් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරැන්, නීති උපදේශකවරැන් කොතරම්ද? අද ලොව සියල්ල දෙන අල්ලස් ප්‍රමාණය මත තීන්දූ තීරණය වන බව බුද්ධිමත්ව නිරීක්ෂණය කලේ නම් ඔබට පැහැදිලි වනු ඇත. අද සමාජය තීන්දු තීරණ ගන්නේ සාධාර්ණ අසාධාර්ණය පදනම් කරගෙන නොව කොතරම් මුදලක් කුමණ පාර්ශවය වෙනුවෙන් යෙදවෙනවාද? යන්න පදනම් කරගෙනය. අල්ලස පදනම් කරගෙන තීන්දු තීරණ ගැනීම යන්න අද සමා‍ජයේ සමාන්‍ය කාරණයකි. නමුත් ඉස්ලමේ එය දැඩි ලෙස හෙලාදකී. එය මුහම්මද් (සල්) තුමාණන් මෙසේ අවධාරණය කරන ලදී.

“(වාසි සහගත) තීන්දු (ලබාගැනීම) සදහා අල්ලස් දෙන්නාට ද, අල්ලස් ලබාගන්නාට ද අල්ලාහ් (දෙවියන්)ගේ ශාපය අත්වේවා!”

දන්වන්නේ අබූ හුරෙයිරා, අබ්දුල්ලාහ් ඉබනු අම්ර් (රලි) තුමා, ග්‍රන්ථය – අහමද්, ඉබුනුමාජා

ඉහත නබිවදනට අනුව අල්ලස පදනම් කරගෙන තීන්දු තීරණ ලබාදීම පමණක් නොවේ. එම තීන්දූව අපේක්ෂාවෙන් අල්ලස් ලබාදීම ද දෙවියන්ගේ ශාපයට ලක්වීමට තරම් බරපතල පාපයක් යන්න ඉස්ලාම් පැහැදිලිවම අවධාරණය කරයි. සමාජයට යම් මෙහෙවරක් කලහැකි යහපත් වෘත්තියක් යනු දෙවියන් විසින් මනුෂ්‍යයා හට ලබාදෙන භාග්‍යයකි. ඒ මඟින් ජනතාවට යහපත් සේවයක් ලබාදීම සෑම කෙනෙකුගේම අනිවාර්ය වගකීමකි. එසේ නොකොට තම තනතුර රැකියා අවස්ථාවක් කරගෙන පොදු ජනතාව දහඩිය මහන්සිය වගුරමින් හම්බකරපූ දෑ සූරගෙන කෑමට සිතන්නේ නම් එය තිරිසන්, පහත් ක්‍රියාවකි. මනුෂ්‍යයන් වශයෙන් ජීවිත් වන අපට ප්‍රධාන යුතුකම් දෙකක් ඇත. එනම්,

  • දෙවියන්ට කලයුතු යුතුකම්
  • මිනිසා මිනිසාට කලයුතු යුතුකම්

ඉහත යුතුකම් දෙකම ඉස්ලාම් අවධාරණය කරන අතර පලමු කාරණයට වඩා දෙවන කාරණය දැඩිව ඉස්ලාම් අවධාරණය කරයි. (මෙය මා මෙම වෙබ් අඩවිය තුල “සමාජ වගකීම්” යන මාතෘකාව ඔස්සේ කථාකර ඇත) ඒ අනුව මිනිසා මිනිසාට සේවය කිරීම ඔහුගේ පරම වූ යුතුකමකි. මෙය නබි මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ ද පවසන ලදී,

“නුඹලා අතුරින් තම සහෝදරායට (ජනතාවට) ප්‍රයෝජනවත් විය හැකි තැනැත්තා එසේ (ප්‍රයෝජනවත් ආකාරයට) ක්‍රියා කරත්වා!”

දන්වන්නේ ජාබිර් (රලි) තුමා, ග්‍රන්ථය – මුස්ලීම්

මේ අනුව අප සමාජයේ ජීවත් වන සියළු දෙනාට ඔවුන්ගේ අවශ්‍යතාවය මත හා සාධාර්ණ හේතුමත උපකාර කිරීම සෑම මුස්ලීම්වරයෙකුගේම පරම යුතුකමකි. එය වෘතියමය වශයෙන් කල ද පුද්ගලිකව කල ද නියත වශයෙන්ම දෙවියන්ගෙන් එයට කුසල් ඇත. මෙය නබිතුමාණන් මෙසේ පවසන ලදී,

“මැදිහත් වන්න!, ඒ වෙනුවෙන් අල්ලාහ් හමුවේ නුඹලාට කුලියක් ඇත්තේමය.”

දන්වන්නේ අබූ මූසා (රලි) තුමා, ග්‍රන්ථය – බුහාරී

මේ අනුව සහෝදර ජනතාවට කිසියම් ගැටළුක් නම් ඒ මොහොතේ ඔවුන් වෙනුවෙන් මැදිහත් වීම සෑබෑ මුස්ලීම්වරයෙකුගේ මූලික වගකීම වේ. එහි දී ඔහුගේ එකම අරමුණ එම සහෝදරයාට පිහිටවීම මිස එය අවස්ථාවක් කරගනිමින් කිසියම් වාසියක් ලබාගැනීම නොවිය යුතුය. එසේ කිසියම් වාසියක් අපේක්ෂාවෙන් කෙනෙකු තවත් කෙනෙකුහට තම සහය ලබාදෙන්නේ නම් එවැනි පිරිස් සම්බන්ධයෙන් මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ අනතුරැ අඟවන ලදී.

“කෙනෙකු තවත් කෙනෙකු වෙනුවෙන් පෙනීසිට ඒ වෙනුවෙන් පරිත්‍යාග ලැබ එය ඔහු පිලිගනු ලැබුවේ නම් නියත වශයෙන්ම ඔහු පොලියෙහි විශාලම දොරකඩට පැමිණ ඇත.”

දන්වන්නේ අබූඋමාමා (රලි) තුමා, ග්‍රන්ථය – අහමද්

මෙම හදීසය හොදින් අවබෝධ කරගත යුතුය. ඊට ප්‍රථම මෙම හදීසයෙ හි සදහන් පාඨයක් පිලිබදව එනම්, ” …පරිත්‍යාග ලැබ එය ඔහු පිලිගනු ලැබුවේ නම් …” යන්න කෙරෙහි අවධානය යොමු කලේ නම් අද අප සමාජයේ තමන් ගන්න අල්ලස සාධාරණීකරනය කරන්නේ ඉහත පාඨය පවසමිනි. එනම්,

“මම අල්ලස් ගන්නේ නැහැ මම කරපු උදව්වකට මේ පරිත්‍යාගයක්”

යයි පවසමිනි. මෙය අද අල්ලස සධාචාරසම්පන්න ක්‍රියාවක් බවට පෙරලීමට භාවිතා කරන උපක්‍රමයකි. අද ලාංකීය බහුතර ජනතව ද මෙය වරදක් ලෙස නොදකිති. නමුත් ඉස්ලාම් එය බරපතල තත්වයක් ලෙස දකී. එය අවබෝධකර ගැනීමට නම් ඉහත හදීසයේ ” …නියත වශයෙන්ම ඔහු පොලියෙහි විශාලම දොරකොඩට පැමිණ ඇත.” යන පාඨය හොදින් අවබෝධකර ගතයුතුය. ඉස්ලාම් දෙවියන් විසින් කිසි දවසක සමාව නොදෙන මහා පාපයන් තුනක් පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ පවසයි. එනම්,

  1. අල්ලාහ් (දෙවියන්)ට සමානව හෝ ඔහුගේ ගුණාංගවලට සමානව තවත් කෙනෙකු ඇතැයි පිලිගැනීම (මෙය “ශිර්ක්” හෙවත් (සමානයන් තැබීම) ලෙස හදුන්වයි)
  2. හේතුවක් නොමැතිව මනුෂ්‍යයෙකු ඝාතනය කිරීම
  3. පොලිය (පොලියටදීම, පොලියට ලබාගැනීම, එයට සහය දැක්වීම, එයට සාක්ෂි ලෙස ඉදිරිපත්වීම)

ඉහත මහා පාපයන් අතුරින් තුන්වැන්න වන පොලිය නැමැති පාපයෙහි දොරකඩ එහි ද විශ‍ාල දොරකඩ හමුවේ සිටින තරම් ඉහත ක්‍රියාව එනම් “මම අල්ලස් ගන්නේ නැහැ මම කරපු උදව්වකට මේ පරිත්‍යාග පමණයි ගන්නේ” යන්න පත්වන්නේ නම්, ඉස්ලාම් මෙය කොතරම් බරපතල කාරණයක් ලෙස දකිනවාද? යන්න බුද්ධිය ඇති ඕනෑම කෙනෙකු හට අවබෝධ කරගැනීම අපහසු නොවේ.

ඒ අනුව සැබෑ මුස්ලීම්වරයෙකු අල්ලාහ් (දෙවියන්)ගේ ශාපයට හා දඩුවමට සූදානම්ව මේ ලෞකික කෙටි කාලීන සැපසම්පත් මිනිසුන්ගෙන් උදුරාගෙන තිරසන් විදියට ජීවත්වීමට අපේක්ෂා නොකරනු ඇත. ඔහු ඔහුගේ පරම වූ යුතුකම පමණක් නිසි ආකාරව ඉටුකරනු ලබන අතර එහි කුලිය දෙවියන්ගෙන් පමණක් අපේක්ෂා කරනු ඇත.

ඒ සදහා අපට මනුෂ්‍යත්වය අගයන විවෘත මනසක් ලබාදෙත්වා!

“යා අල්ලාහ් අප සියල්ල යහමඟ යොමු කරත්වා!”

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *