පරිණාමවාදයේ පරිණාමය

4

(මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි )

පරිණාම වාදයේ සත්‍ය අසත්‍යතාව ගැන පිටුගණන් විග්‍රහ කළ හැක. නමුත් මේ ලිපියේ අරමුණ එයට වඩා බුද්ධිමත්ව සිතන්නට දොරක් විවර කරදීමය.

පරිණාමවාදය ගැන කතා කරන්නට මත්තෙන් “වාදයක්”  යනු කුමක්ද යන්න කෙරෙහි අවධානය යොමු කළයුතුය. විද්‍යාවේ දී යම් යම් නිරීක්ෂණ පදනම් කරගෙන යම් යම් නිගමනවලට එළඹීම “වාදය” ලෙස හඳුන්වයි.  එය පරීක්ෂණාත්මකව ඔප්පු කළ විට ” න්‍යායක්” හෝ “නියමයක්” ලෙස ස්ථාපිත වීම හෝ පරීක්ෂණාත්මකව ඔප්පු කිරීමට අපොහොසත් වූ විට අවිද්‍යාත්මක ලෙස සලකා බැහැර කිරීම සිදුවියහැක.  උදාහරණයකට මස් කැබැල්ලක් කුණුවන්නට තැබූ විට ටික දිනකින් ඒ මත පණුවන් හටගෙන තිබෙනු දක්නට හැකි බැවින් අජීවි ද්‍රව්‍යය තුළින් ජීවි ද්‍රව්‍යය ඉබේ ඇති වන බව එකළ වාදයක් පැවැතිණි. (ස්වයං ජනනවාදය – Spontaneous  generation)

නමුත් ක්ෂුද්‍ර ජීවීන් රහීත ජීවානුහරිත පරිසරයක මස් කැබැල්ලක් කොපමණ කල් තැබුවත් පණුවන් හට නොගන්නා බව පරීක්ෂණාත්මකව පෙන්වාදීමෙන් එම වාදය අවිද්‍යාත්මක ලෙස සළකා පසුකාලීනව බැහැර විය. එළෙසම එකළ පරමාණුවේ ආකෘතිය පිළිබඳව විවිද වාද ඉදිරිපත් වූ අතර එයින් එකක් වූයේ “ප්ලම්පුඩිම්” ආකෘතියයි. එයින් කියවුණේ පරමාණුවේ ප්‍රෝටනය පුඩිමක් ලෙස පවතින අතර එය තුළ ඉලෙක්ට්‍රෝන ” ප්ලම්ස්” ( මුද්දරස්පලම් ) ලෙස ගිලී පවතින බවය.  නමුත් පසුකාලීනව ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතින බව පරික්ෂණාත්මකව පෙන්වාදීමෙන් එම වාදය ද බැහැර විය.  එළෙසම අදටත් වලංගු නිව්ටන්ගේ නියම මුල් කාලයේ ඇපල් ගෙඩියක් ගසින් බිමට වැටෙන්නේ ඇයි ද යන නිරීක්ශණය පදනම් කරගෙන වාදයක් ලෙස පැවැතුණු අතර පසු කාලීනව එය පරීක්ෂණාත්මකව ඔප්පු වීමෙන් නියමයක් ලෙස ස්ථාපිත විය.

මේ ආකාරයටම එදා සිට යම් යම් පොසිලවල නිරීක්ෂණ පදනම් කරගෙන ජීවීන් එකාගෙන් එකා පරිණාමය වන්නට ඇති බව වාදයක් ඉදිරිපත් විය. එය පරිණාමවාදය ලෙස හඳුන්වයි.  එහෙත් තවමත් එය න්‍යායක් ලෙස තහවුරු වී නැත. අනාගතයේ දී එයට වඩා හොඳ වාදයක් ඉදිරිපත් වී එය හුදෙක්ම පරමාණුවේ ප්ලම්පුඩිම් වාදය ප්‍රතික්ෂේප වූවා සේ ප්‍රතික්ෂේප වීමට හෝ න්‍යායක් ලෙස ස්ථාපිත වීමට ඉඩ ඇත. එය අප අනාගතයට ම භාර කරමු.

නමුත්…

වර්තමානයේ අප සැලැකිය යුතු කරුණු කිහිපයක් මෙහි ඇත.  පළමුවැන්න වාදයක අවශ්‍යතාවය කුමක්ද යන්න වටහා ගතයුතුය.  දෙවැන්න පරිණාමවාදය සහ මැවීම්වාදය අතර ඇති සම්බන්ධය වටහාගත යුතුය.

පළමුකාරණය දෙසට අවධානය යොමු කරමු.   අද විද්‍යාව මෙතරම් සංවර්ධිත තලයක පවතින්නේ එදා සිට ම මිනිසුන් ඇස්කන් වසා ගෙන නොසිට දකින දකින සියලු දේ “මෙහෙමවෙන්නේඇයි” යනුවෙන් බුද්ධියෙන් තර්ක කරන්නට පෙළෙඹුණු නිසාය. එදා නිවුටන් ඇපල්ගසෙන් ඇපල් ගෙඩියක් බිමට වැටෙනු දුටුවේය. නමුත් හුදෙක් ඔහු එය දැක නොදැක්කා සේ නොසිට “ඇපල් ගෙඩිය ගසින් ගිලිහුනු විට එය උඩට හෝ පැත්තට නොගොස් බිමටම වැටෙන්නේ ඇයිද” යනුවෙන් තර්ක කරන්නට පෙළෙඹුණේය. එනම් නිරීක්ෂණ පදනම් කරගෙන නිගමනවලට එළඹීමට උත්සාහ කළේය. එලෙස නිගමනවලට එළඹීම පෙර කී පරිදී වාදයක් ලෙස හඳුන්වමු.  පසුකාලීනව එම වාදය ඔස්සේ පරික්ශණ මෙහෙය වීම නිසා එය නියමයක් ලෙස ස්ථාපිත කරන්නට සමත් විය. එනම් සරල ව ගත්කළ වාදයක් යනු යම් සිද්ධියක් දුටුවිට “මේක නිසා මේක වෙන්ඩ ඇති” යනුවෙන් හිතෙන් නිගමනයකට එළඹීමය.

මෙලෙස නිරීක්ෂණ දෙස බුද්ධියෙන් බලා වාද ගොඩනගන ලෙස අල්කුර්-ආනය පැහැදිලිව ම සියලු මිනිසුන්හට උපදෙස් දෙයි.

… (බූරුවාගේ) අස්ථි දෙස බලන්න,  කෙලෙස අප එම අස්ථි සැකිල්ලක් බවට පත් කර එයමත මාංශ (පේශී ) රඳවනු ලැබ ඇත්තේ දකියා….

( අල්කුර්-ආන් 2: 259)

ඔබ පිට කරන ( ශුක්‍රාණුව ) දෙස ඔබ නොබලන්නේද?…

ඔබ වගා කරන දෙය ( බෝගය ) දෙස ඔබ නොබලන්නේද?…

ඔබ පානය කරන ජලය දෙස ඔබ නොබලන්නේද?…

ඔබ දල්වන ගිනිදැල් දෙස ඔබ නොබලන්නේද?  ”

 (අල්කුර්-ආන් 56 : 57 – 71)

දැන් නැවැත වරක් පරිණාමවාදය දෙස බලමු.  මුල් ම මිනිසා මෙලොව මත ඇති වූයේ කෙළෙසද යන්න අප සැමටම ඇති ගැටලුවකි.  එදා සිටි මිනිසුන්ට ද එය එසේම විය.  එනිසා ම ඔවුන් යම් යම් නිරික්ෂණ පදනම් කරගෙන විවිධ වාද ගොඩ නැගූහ. පෙර කී ස්වයංජනන වාදය එයින්එකකි.  එයට අමතරව ජීවය පිටසක්වළින් පැමිණෙන්නට ඇත යන කොස්මොසොzයික් වාදය, පරිණාම වාදය තවත් නිදසුන්ය.  නමුත් මේවායින් බොහෝමයක් විවිධ පරීක්ශණ මගින් අසත්‍යය ලෙස සළකා බැහැර විය.  නමුත් චාල්ස් ඩාවින් ඉදිරිපත් කළ පරිණාමවාදය බැහැර කිරීමට හෝ තහවුරු කිරීමට සක්ෂි මදකම නිසා අදටත් වාදයක් ලෙස ම පවතී. හුදෙක් වාදයක් ලෙස එහි කිසිඳු ගැටලුවක් නොමැති අතර එය විද්‍යාවේ දියුණුව සඳහා අත්‍යාවශ්‍යය.

නමුත් ගැටලුව ඇත්තේ සමහර මිනිසුන් පරිණාමවාදය එකම සත්‍යය ලෙස සැලකීමත් එය පදනම් කරගෙන මැවීම් වාදය අසත්‍ය යැයි පවසමින් මැවීම්වාදය අදහන ඉස්ලාම් වැනි ආගම්වලට එරෙහිව බොල් තර්ක ඉදිරිපත් කිරීමත් තුළය. මා මෙහිදී “බොල්තර්ක” යනුවෙන් හැඳින්වීමට හේතුව පෙර කී පරිදී “වාදය” නියමයකින් හා න්‍යායකින් වෙනස් වන අයුරුවටහාගත් ඕනෑම අයෙකුට වැටහෙනවා ඇතයි සිතමි.

තවත් අතිශය වැදගත් කරුණක් නම් මැවීම් වාදය සහ පරිණාමවාදය එකිනෙක සැසඳිය හැකි ඒවා නොවේ. හේතුව පරිණාම වාදය තුලින් විග්‍රහ කෙරෙන්නේ ජීවියාගේ පරිණාමය ගැන නොව ජීවී“දේහ” වල පරිණාමය ගැනයි. එනම් සෛල, පටක, අවයව යනාදියෙන් සැදි භෞතිකමය දේහයේ පරිණාමය ගැනයි. පරිණාම වාදයේ කිසිඳු තැනක “ජීවයේ” සම්භවය පිළිබඳව විග්‍රහ නොකෙරේ. එය ඩාවින්ගේ වචනවලින් ම ඔහු විසින් රචිත“ Difficulties of the theory”යන ග්‍රන්තයේ සඳහන් වේ.

පරිණාම වාදයේ කොටසක් ලෙස සැලකිය හැකි, ජීවයේ සම්භවය පිළිබඳ ජෛව රසායනික වාදය තුලින් යම්තරමක් දුරට ලොව මුල්ම සෛලයේ සම්භවය පිළිබඳ විග්‍රහ කරන්නට උත්සාහ දරයි. එයින් පැවැසෙන්නේ පළමු සෛලය සංකීර්ණ ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රථිපලයක් ලෙස තැනුණු රසායනික සංඝටකවල සම්මිශ්‍රණය හේතුවෙන් මුල්ම සෛලය ඇති වූ බවයි. නමුත් එයින් ද එම සෛලයට“ජීවය” ආවේ කෙළෙසදැ’යි පැවසීමට අද වනතුරුත් විද්‍යාව අසමත්ය.

ජීවයේ සම්භවය පිලිබඳව විසිවන ශතවර්ෂයේ පරීක්ශණ පැවැත් වූ ප්‍රමුඛතම විද්වතාවන ඇලෙක්සැන්ඩර් ඔපාරින් මෙලෙස සඳහන් කරයි.

“වාසනාවකට ජීවීන්ගේ පරිණාමය පිළිබඳ අධ්‍යයනයේ දී ඇති වඩාත් ම අපැහැදිලි කරුණ මුල් ම සෛලයේ සම්භව යයි”

(Origin of life – Dover ප්‍රකාශනය – 1953 නැවැත මුද්‍රණය – 196 පිටුව )

එලෙසම අමැරිකානු විද්වතෙකු වූ ඕගල්මෙලෙස පැවැසුවේය,

“ජීවය කිසිසේත් රසායනිකව ඇති වියනොහැකි බව එකහෙළා පිළිගැනීමට සිදුවේ”

(The origin of life on earth – Scientific American”, 1994 ඔක්තොම්බර් කලපය )

“ජීවයක්” නොමැති ජීවී දේහයක ඇති වැදගත්කම කෙතරම් දැයි මළ මිනියක් දැක ඇති ඕනෑම අයෙකුට වැටහෙනවා ඇතයි සිතමි. සරලව පැවසුව හොත්,  පරිණාම වාදය තුළින් විග්‍රහ කෙරෙන්නේ මෙකී මළ මිනියක සම්භවය පිළිබඳව මිස, ජීවයක් ඇති මිනිසෙකුගේ සම්භවය පිළිබඳව නොවේ !!

අද වනතුරුත් “ජීවය” සම්බන්ධ සියලු විෂයන් කෙරෙහි විද්‍යාව මුණිවත රකී. මුල්ම සෛලයට ජීවය ලැබුනේ කෙසේද?, මිනිසා ඇතුලු සතුන් වයසට යන්නේඇයි?, ඔවුන් මරණයට පත්වන්නේඅයි?, ඔවුන්ගේ මනස පිහිටියේ කොහේද?, යනාදි රිජුවම ජීවය සම්බන්ධ ප්‍රශ්නවලට උත්තර බැඳීමට විද්‍යාව අපොහොසත්ය.

එලෙසම තවත් වැදගත් කරුණක් නම්, ඉස්ලාමය, බුදුදහම, කතෝලික දහම, හින්දු දහම… යනාදී ලොව ඇති ප්‍රධාන ධර්මයන් සියල්ලම මිනිසුන්ට අදෘශ්‍යමාන ජීවීකොට්ඨාසද මෙලොව වාසය කරන බව එකහෙළා පවසයි. (මා මෙහෙදී අද්‍රශ්‍යමන යන්නෙන් අදහස් කරන්නේ බුදුදහම තුළ කියැවෙන ප්‍රේතභූතයන්,  කතෝලික දහම තුලින් කියැවෙන සාතන් සහ ඉස්ලාමය තුලින් කියැවෙන ජින්වරු ගැන මිස ක්ෂුද්‍රජීවින් ගැන නොවේ) මෙවැනි අදෘශ්‍යමාන ජීවීන් පවතින බව බොහෝ අයගේ සාමාන්‍ය බුද්ධියට ද වැටහෙන්නකි. නමුත් මෙවැනි අදෘශ්‍යමාන ජීවින්ගේ සම්භවය පිළිබඳව ද පරිණාමවාදය තුළ කිසිඳු සඳහනක් නොමැත.

එයට හේතුව විද්‍යාවේ හරය පවතින්නේ මිනිසාගේ පංචේන්ද්‍රියන්ට ගෝචර වූ නිරීක්ෂණ මත පමණක් පදනම්ව නිගමන ගොඩනැගීම තුළ වීම නිසාය. එනම් විද්‍යාව පදනම් වන්නේ මිනිසාට සාපෙක්ෂ වූ දේවල් මත පමණී.

මේ අයුරින් මෙලොව පංචේන්ද්‍රියන් ට ගෝචර නොවූ බොහෝ දෑ ඇති නිසා ම විද්‍යාත්මක පරීක්ෂණ මගින් පහසුවෙන් ඔප්පු කළ නොහැකි දෑ ද රාශියක් පවතී. පෙර කී පරිදී ජීවය හා සම්බන්ධ දේවල්ද මෙවැනි පරීක්ෂණාත්මකව ඔප්පු කළ නොහැකි විෂයයන්ය. එහෙයින් ම මැවීම් වාදය ද පරීක්ෂණාත්මකව ඔප්පු කළ හැකිනොවනු ඇත.  එනිසාම මිනිසාගේ සම්භවය වැනි විෂයයන් කෙරෙහි පිළිතුරු සෙවීමේදී එක් අතකින් අදෘශ්‍යමාන දෑ පිලිබඳ සඳහන්ආගම්වල පිහිට ලබාගතයුතු වන අතර අනෙක් අතට විචාර බුද්ධියට ඉඩදියයුතුය.  විද්‍යාවේ ඇති මෙම හිඩැස අපටත් වඩා මනාව වැටහෙනවා ඇත්තේ විද්වතුන්ටය. ලොව පහළ වූ සුපිරිතම විද්වතා වන ඇල්බර්ට් අයින්ස්ටයින් පවා මෙලෙස ප්‍රකාශ කළේ ඒ නිසා වියයුතුය.

“ආගමින් තොර විද්‍යාව අසම්පූර්ණය, විද්‍යාවෙන් තොර ආගම අන්ධය”

ලිපිය අවසන් කරන්නට මත්තෙන් තවත් කරුණක් කෙරෙහි අවධානය යොමු කරන්නට කැමැත්තෙමි.  ඉස්ලාමයට අනුව මෙලොව ඇති සියලු ජීවීන් පමණක් නොව සකළ විශ්වයම සර්වබලධාරී අල්ලාහ් විසින් මවන ලද්දකි. මෙහිදී “මවන” හෝ ” මැවීම” යන වචන දුටු විගස සිංහල භාෂාව පමණක් දන්නා පාඨකයින්ගේ මනසට නැගෙනවා ඇත්තේ ඇලඩින්ගේ පුදුම පහනේ හෝ සුරංගනා කතාවල මෙන් එක්වරම අලුත් අලුත් දේවල් මැවීමය. නමුත් එය අරාබි – සිංහල භාශා පරිවර්තනයේ දී සිදුවූ අවාසනාවකි. හේතුව අල්කුර්-ආනයේ මැවීම සම්බඳව අරාබියෙන් යෙදී ඇති “ක්-හල්ක” යන වචනයට සර්ව සමවචනයක් සිංහල භාෂාව තුළ නොවීමයි. මිනිසා මව් කුස තුළ කළලයක් ලෙස ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීම යන්නටඅල්කුර්-ආනය යොදාගෙන ඇති වචනය ද පෙරකී ” ක්-හල්ක” යන වචනයයි. එලෙසම අහස හා පොළව නිර්මණය යන්නට යොදා ඇති වචනය ද මෙම “ක්-හල්ක ” යන වචනයයි.  එනිසා මෙ තුළින් වටහා ගතයුත්තේ ඉස්ලාමයේ මැවීම යන්නෙන් අදහස් කරන්නේ සිංහල සාහිත්‍යය තුලින් කියැවෙන සුරංගනා ලෝක මැවීමක් නොව එයට වඩා අතිශය බුද්ධිමත් සැලසුම්සහගත නිර්මාණයකටය. අනෙක් අතට “අල්ලාහ්” යනු දෙවිකෙනෙක් ද නොවේ. නමුත් එය ද අවාසනාවකට සිංහල භාෂාවෙහි එයට සමාන වචනයක් නොමැති හෙයින් සිදු වූ වැරැදි අර්ථකතනයකි.  දෙවියා යනුවෙන් පැවැසූ විගස සමාන්‍යය සිංහල පාඨකයෙකුගේ සිහිය ට නැගෙන්නේ ඝන දෙවි රූපයක් හෝ බස්රථවල එල්වා ඇති හින්දු දේවරූපයක්ය. නමුත් ඉස්ලාමය තුළින් පැවැසෙන අල්ලාහ් එවන් තවත් එක් දෙවියෙකු නොව එයට වඩා හාත්පසින්ම වෙනස් න්‍යායකි.

 අල්ලාහ් අප සැමට සත්‍ය මාර්ගය පෙන්වා දෙත්වා!

 

අබ්දුල්ලාහ්

වෛද්‍යපීඨය-කොළඹවිශ්වවිද්‍යාලය

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 4 යි.

  1. adeesha jayanath 2014-04-18 at 02:59

    කරුණාකර නිව්ටන්ගේ “නියම” (ගුරුත්වාකර්ෂණ නියමය විශේෂය), සාපේක්ෂතා “වාදය”, ක්වොන්ටම් “වාදය” ගැන පැහැදිලිකිරීමක් ලබාදෙන්න. (වචනාර්ථ මත පමණක් පදනම් නොවන්නේනම් මැනවි)

    • අබූ අර්ශද් 2014-04-25 at 02:42

      ඔබ විමසන පැනය සරලව පිලිතුරු දියහැකි මාතෘකාවක් නොවන බව ඔබ ම හොදින් දන්නවා ඇතැයි සිතමි. එහි නිව්ටන් නියමය හා ක්වොන්ටම් වාදය පිලිබදව සරල විග්‍රහයක් ඉදිරිපත් කලත් සාපේක්ෂතාවාදයට නම් කිසිසේත් සරල විග්‍රහයක් නම් දිය නොහැක. එපමණක් නොව සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් ඔබ සෑහිමට පත්විය හැකි පිලිතුරක් ලබාදිය හැකිවේද? යන්න සැක සහිතය මන්ද ඒ පිලිබදව පැහැදිලි හා නිරවුල් අවබෝධයක් මටත් තවම නැති බැවිණි. කෙසේ වෙතත් ඔබේ ප්‍රතිචාරය සමඟ මේ විෂය පිලිබදව උනන්දුවක් මා තුල ඇති වී ඇති අතර ඒ ඔස්සේ අධ්‍යනයන් ද කරගෙන යමි. දැනට එම මාතෘකාව තුල ප්‍රධාන අනු විෂයක් වන ‘ආලෝකයේ වේගය‘ යන විෂය දැනට ඉදිරිපත් කො‍ට ඇත.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *