දහම තුල ප්‍රශ්න කිරීම ඉස්ලාම් හි අනුමත ක්‍රමවේදයකි !

0

Q&Aඅද ලොව ඉගෙනීමේ ක්‍රමවේදයන් අතර ප්‍රශ්න කරමින් හා තර්ක කරමින් දැනුම වර්ධනය කරගන්නා ක්‍රමවේදය සාර්ථක ක්‍රමවේදයක් බව පිලිගැනේ. ඒ අනුව කිසියම් කෙනෙකු කිසියම් විෂයක් ඉහත ක්‍රමාව්දයට අනුකූලව අවබෝධ කරගන්නට උත්සාහ කිරීම, එය අගය කලයුත්තක් ද වේ. නමුත් අවාසනාවකට එක් විෂයක් සම්බන්ධයෙන් මෙම ක්‍රමවේදය ලොව තුල බොහෝ විට වලංගු නොවේ. ඒ ආගම දහම සම්බන්ධයෙන් වූ අධ්‍යනයන් හා ගවේෂණයන්හිදීය. ලොව බොහෝ ආගම් හි පූජකවරුන්ගේ ස්ථාවරය වී ඇත්තේ ආගමික ඉගෙන්වීමන් තර්ක විතර්ක කිරීම මහා පාපයක් වන බැවින් එහි ඉගෙන්වීමන් එලෙසින්ම පිලිගතයුතු යන්නයි. නමුත් මෙම ස්ථාවරය ඉස්ලාම් දහමට නම් වලංගු නොවේ.

එයට ශුද්ධ වූ කුර්ආනයේ සදහන් ‘සිතන්න, නොසිතන්නේද?, සිත් හි අඟුල් වැටිලාද?, බුද්ධියක් නැතිද?, බුද්ධියක් ඇත්නම්…’ යනාදී වාක්‍යයන් හොද නිදසුනකි. එපමණක් නොව එක්තරා අවස්ථාවක අල්ලාහ් (දෙවි)ගේ පණිවුඩය වක්තෘන් වෙත ගෙන එන දේවදූතයාණන් (මලාඉකා) වන ජිබ්රීල් (අලෛ) තුමාණන් නබිතුමාණන් හමුවට (මිනිස් වෙසින්) පැමිණ දහම පිලිබදව ප්‍රශ්න කිරීමේ කලාව මුස්ලීම් සමාජයට කියාදීමේ පහත හදීසය තවත් එක් හොදම නිදසුනකි.

උමර් (රලි) තුමාණන් වරක් මෙසේ පවසන ලදී. එනම්,

(සහාභාවරුන් පිරිසක් වන)අප දවසක් අල්ලාහ්ගේ දූතයාණන් සමඟ සිටින විට සුදෝ සුදු වස්ත්‍රරයකින් සැරසුන තද කළුපාට (හිස)කෙස් සහිත මිනිසෙක් අප හමුවට පැමිණෙන ලදී. මගියෙක් ළඟ තිබිය යුතු වෙහෙසක් ඔහු ලඟ අප නොදුටුවෙමු. එසේම අපෙන් කිසිවෙක් ඔහුව (කවුරුදැයි) නොහඳුනන්නෙමු. ඔහු නබි (සල්) තුමන් අසලට ගොස් නබිතුමන්ගේ දණහිසේ හා තම දණහිස් ගැටෙනසේ (ළගින්ම) වාඩිවීය. ඔහු තම දෑත තම දෙකලවා මත තබා වාඩිවිය. පසුව,

‘මුහම්මද්! ඉස්ලාම් යනු කුමක්දැයි මට කියන්න?’යි කීය. එවිට නබි (සල්) තුමා ‘ඉස්ලාම් යනු අල්ලාහ් (දෙවි) හැර වෙනත් දෙවියෙකු නොමැති බවත්, මුහම්මද් (නමැති මා) අල්ලාහ්ගේ දූතයා බව සාක්‍ෂි දැරීමත්, තවද සලාතය ඉටු කිරීම, සකාත් (බද්ද) දීම, රම්සාන් මස උපවාසය ඉටුකිරීම හා ශක්තිය ඇති අය මක්කමේ දේව නිවස වූ කඃබාවට ගොස් හජ් ඉටු කිරීමය‘යි කීහ. එවිට ඒ මිනිසා ‘සත්‍යයකි’යී කීය. ඔහු මෙසේ ප්‍රශ්න කොට ඊට (නබිතුමාණන්) ලබාදුන් පිළිතුර ඔහුම තහවුරු කිරීම දැක අපි පුදුම වුනෙමු.

ඊළඟට ඔහු ‘ඊමාන් (නොහොත් දේව විශ්වාසය) යනු කුමක්දැයි මට කියන්න?’යි විමසීය. එවිට නබි (සල්) තුමාණන් ‘අල්ලාහ්වද, ඔහුගේ මලක්වරුන්ද, ඔහුගේ ධර්මයන් ද, ඔහුගේ දූතයින්ව ද, අවසන් දිනයද ඔබ විශ්වාස කිරීම’ යි කීහ. ඔහු (එයටත්) ‘සත්‍යයයි’යි කීය.

ඊළඟට ඔහු ‘ඉහ්සාන් ගැන මට කියන්න?’ යි කීය. එවිට නබි (සල්) තුමාණන් (‘ඉහ්සාන් යනු’)අල්ලාහ්ව ඔබ බලාගෙන ඉන්නවායැයි හැඟීමකින් යුතුව කටයුකිරීමයි. මන්ද ඔහුව ඔබ නොදුටුවත්, ඔහු ඔබව බලාගෙන සටින්නේය’යි පිළිතුරු දුන්හ.

ඒ මිනිසා ‘අවසාන (ලෝක විනාශ) දිනය ගැන, (එය කවදදැයි) මට දන්වන්න?’යි කීය. එවිට නබි (සල්) තුමාණන් ‘ප‍්‍රශ්න කරනු ලබන්නා (එනම් මා) ප‍්‍රශ්න කරන්නාට (එනම් ඔබට) වඩා දන්න අයෙක් නොවේ.’යි. පිළිතුරු දුන්හ.

ඒ මිනිසා ‘අවසාන දිනයේ පෙරනිමිති (සලකුණු) ගැන මට කියන්න?’යි විමසීය. එවිට නබි (සල්) තුමාණන්’ වහලියක් තම ස්වාමි දුවව ප‍්‍රසූත කිරීමද, පාදයට පාවහන් නොමැති, නිසි වස්ත්‍රයක් නැති දුප්පත් එඬඑන් තර‍‍‍ඟෙට උස්වු ගොඩනැඟිලි ඉදිරිකීමත් ඔබ දැකීමත්’යි පවසන ලදී.

ඊට පසුව ඒ මිනිසා (එම ස්ථානයෙන්) පිට ගියේය. දිර්ඝ වේලාවක් මම (එහිම) සිටියෙමි. පසුව නබි (සල්) තුමාණන් මගෙන් ‘උමර්! ප‍්‍රශ්න ඇසූ ඒ පුද්ගලයාව ඔබ හඳුනන්නෙහිද?’යි විමසීය. මම ‘අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ම හොඳින් දන්නෙහුය’යි කීවෙමි. නබි (සල්) තුමාණන් ‘ඔහු (මලාඉකා-‍දේවදූත) ජිබ්රීල් (අලෛ) තුමාය. ඔබලාට ඔබලාගේ ආගම ඉගැන්වීම පිණිස ඔබලා වෙතට ඔහු පැමිණියේය’යි කීහ.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්

හදීස් ග්‍රන්ථ ගණනාවකම සදහන් වන ඉහත හදීසය ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්ති හා විශ්වාසයන් පිලිබදව ඉතා සරලව මුස්ලීම් සමාජයට කියාපායි. එම හදීසය තුලින් එනම්, ජිබ්රීල් (අලෛ) තුමා විසින් මුහම්මද් (සල්) තුමාණන්ගෙන් ප්‍රශ්න කිරීම තුලින් මුස්ලීම් සමාජයට ජිබ්රීල් (අලෛ) කියාදෙන පාඩම් ගණනාවක් ඇත. ඒ අතුරින් කිහිපයක් මෙහි පෙලගසන්නේ නම්,

  • තමන් හොදින් දන්නා කාරණයන් නබිතුණන්ගෙන් ජිබ්රීල් (අලෛ) ප්‍රශ්න කිරීම තුල එම ස්ථානයට රොක්ව සිටී (මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීනයන් වන) සහාභාවරුන්ට ඉස්ලාම් යනු කුමක්ද?, යන්න මුස්ලීම් සමාජයට කියාදෙන ලදී.
  • ඊමාන් යනු කුමක්ද?, යන්නත්,
  • ඉහ්සාන් යනු කුමක්ද? යන්නත් කියාදෙන ලදී.
  • ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව ප්‍රශ්න කිරීම තුල එවැනි ප්‍රශ්න කිරීමන් ඉස්ලාම් අනුමත ක්‍රමවේදයක් ම යන්නත් කියාදෙන ලදී.
  • ලෝක විනාශය සිදුවන දිනය පිලිබදව ප්‍රශ්න කරමින් ප්‍රශ්න කිරීමේ සීමාවන් පිලිබදව ද මුස්ලීම් සමාජය දැනුවත් කරන ලදී.
  • යමක් පිලිබදව ප්‍රශ්න කිරීමක දී එහි තිබිය යුතු විනය පිලිබදව ජිබ්රීල් (අලෛ) තුමා මුස්ලීම් සමාජයට කියාදෙන ලදී.

මේ ආකාරයට මුස්ලීම් සමාජයට මේ දහම ප්‍රශ්න කොට ඉගෙන ගැනීමේ වැදගත්කම කියාදෙන ඉහත හදීසය තුල ලෝක අවසාන දිනයේ සලකුණු කිහිපයක් ද සදහන් කිරීම නූතන බුද්ධිමත් සමාජය බුද්ධිමත්ව විමසා බැලිය යුතු ම කාරණයකි. එනම්,

  • තමාව වැදු මව වහලියක් මෙන් දරුවන් විසින් නඩත්තු කිරීම,
  • නිසි වස්ත්‍රයක් නොමැතිව, පාවහන් නැතිව ජනතාවගේ නායකයින් වීම,
  • එ‍‍ඬෙරන් තරඟකාරීව උස් ගොඩනැඟිලි නිර්මාණය කිරීම.

මෙම ලිපියේ මාතෘකාවට අදාල නොවූවත් එම අනාවැකි 03 ත් ඉහතින් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින්, ආගම දහම වටහා ගැනීමේ සම්ප්‍රදායක රටා‍ව තුල තවදුරටත් කොටු නොවී ප්‍රශ්න කිරීම තුලින් දහම වටහා ගැනීමට මිනිස් සමාජයට නුවණැස පෑදේවා ! යන ප්‍රාර්ථනාව ඇතුව මේ ලිපිය අවසන් කරමි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *