පාලකයා තොරාපත් වන ආකාරය

0

දෙවියන් විසින් සම්පාදනය කරණ ලද ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන තැනැත්තා තොරා පත්කර ගැනීම පිලිබදව ඉස්ලාම් ස්ථීර ක‍්‍රියා මාර්ගයක් ඉදිරිපත් නොකරයි. එය බහුතර මතයද?, පාරමපාරිකව උරුමවන රජ පාලනයද?… යනාදී වශයෙන් අවධාරණය නොකරයි. උදාහරණයට ඉස්ලාමීය ඉතිහාසයේ ප‍්‍රථම කලීෆා (නායකත්වය) මුහම්මද් (සල්) තුමාණන් හට හිමිවන්නේ එතුමාණන් ආගමිකව නායකත්වයක් දරණ ගමන් ඒ සමාජයේ පීඩිත ජනයා වෙනුවෙන් ක‍්‍රියාකාරී දායකත්වයක් ලබාදීම හේතුවෙනි. එය නිතරගයෙන් එතුමාණන් හට හිමිවිය. එතුමාගේ අභාවයෙන් පසු එම තනතුර බහුතරයකගේ සාකච්චාමය (මශූරා) තීරණය මත මුහම්මද් (සල්) තුමාණාන්ගේ මිතුරකු මෙන්ම අනුගාමිකයකු වන අබුබක්කර් (රලි) තුමාට භාරවේ. එතුමාගේ අභාවයෙන් පසු එම තනතුර උමර් (රලි) තුමාණන්ට (ඉහතින් විස්තර කරන ලද) පැවරෙන්නේ අබුබක්කර (රලි) තුමා තමාගෙන් පසු මෙම තනතුර සදහා උමර් (රලි) තුමා පත්කරන ලෙස කරන ලද ඉල්ලීම අනුවය. ඉන්පසු මෙම තනතුර උස්මාන් (රලි) තුමාටත් ඔහුගෙන් පසු අලි (රලි) තුමාටත් හිමිවිය මේ දෙදෙනා එනම් උස්මාන් (රලි) තුමා සහ අලි (රලි) තුමා මුහම්මද් (සල්) තුමාණාන්ගේ දූවරුන් විවාහ කරගෙන සිටී බෑනාවරුන් වුවද එය මුහම්මද් (සල්) තුමාණාන්ගෙන් පසු පාලන බලය හිමිවීමට කිසිවිටෙකත් හේතුකාරණයක් නොවීම තුල ඉස්ලාම් පරම්පරාගතව යන පාලන ක‍්‍රිමය අනුමත නොකරන බව පැහැදිලිය. මෙහි දී තවත් සුවිශේෂි කාරණයක් ඇත. එනම් ඉස්ලාමීය ඉතිහාසයේ ප‍්‍රථම කලීෆාවරුන් හෙවත් නායකයන් සතර දෙනා වන අබුබක්කර්, උමර්, උස්මාන් හා අලි (රලි) තුමන්ලා මක්කා දේශයේ ඉස්ලාම් විරෝධින්ගෙන් තම ජීවිතය බේරාගැනීම සදහා මක්කාවේ සිට මදීනාවට පලාආ සරණාගතයන්ය. මොවුන් පසුකාලීනව නිතරගයෙන් මදීනාව මක්කාව ඇතුලු ඒ අවට බොහෝ රටවල පාලකයන් බවට පත්වීම ඉස්ලාම් පවසන දේශපාලන රටාව පිලිබදව සිතන්නට පොළොඹවනවා නොවේද? මෙහි දී මුල්තැන හිමිවන්නේ සුදුසුකමට හා සාකච්චාමය තීන්දු තීරණවලට මිස වෙනයම් ජනප‍්‍රියතාවයන්, ආර්ථික ශක්තිමත්භාවයන්, පවුල් පසුබිම, දේශපාලන පසුබිම… යනාදී තාරණයන් නොවේ. එය අල්කුර්ආනය පහත ආකාරයට අවධාරණය කරයි. එනම්,

“යම් කාරණයක (තීරණ ගැනීමේ) දී ඔවුන් අතර සංවාදයන් හා අදහස් හුවමාරුවන් සිදුවනු ඇත.”

ශුද්ධ වූ අල්කුර්ආනය 42-38, 3-159

මේ අනුව ඉස්ලාම් පාලක තනතුර පත්කිරීමේ ආකාරය සම්බන්ධයෙන් නිසි ක‍්‍රියා මාර්ගයක් ඉදිරිපත් නොකලත් මෙම පාලක තනතුරු පැවරීම සම්බන්ධයෙන් ජනතාව ක‍්‍රියා නොකලයුතු ආකාරය ඉස්ලාම් දැඩිව අවධාරනය කර සිටී. ඒ පිලිබදව ආගමික මුලාශ‍්‍රයන් වන නබිවදන් (හදීස්) කෙරෙහි අවධානය යොමු කලේ නම්,

නබි (සල්) තුමාණන් වෙතට මමද මගේ බාප්පාගේ පුතුන් දෙදෙනෙකුද ගියෙමු. එම අවස්ථාවේ මගේ බාප්පාගේ පුතෙක් “අල්ලාහ්ගේ දූතයාණෙනී, අල්ලාහ් විසින් ඔබතුමාට බලය පවරාදී ඇති ප‍්‍රදේශවලින් සමහරක් පාලනය කිරීම සඳහා නායකයින් ලෙස අපව පත්කරනු මැනවි” යැයි පැවසීය. අනෙකාද එසේම පැවසීය. එවිට නබි (සල්) තුමාණෝ “අල්ලාහ් මත දිවුරා ප‍්‍රකාශ කරමි. නියතවශයෙන් මෙම පදවිය ඉල්ලන කෙනෙකුට හෝ ආශා කරන කෙනෙකුට අපි නොදෙන්නෙමු.” යැයි පැවසූහ.

දන්වන්නේ :- අබූ මූසා අල් අෂ්අරී (රලි) – ග‍්‍රන්ථය :- බුහාරී,මුස්ලිම්

සටහන:-  ඉහත හදීසය මුස්ලීම්වරුන් වන අපට පැහැදිලිවම නිතියක් පනවයි. ඒ බලය හෝ පදවිය ආස කරන, ඉල්ලන හෝ බලාපොරොත්තු වන අයෙකුට එය ලබාදීම නොකලයුතු කාරණයක් බවයි.

අබු අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *