පියවරුන්ගේ දිනය – ඉස්ලාමීය විමසුමක්

1

ශ්‍රී ලංකාව මාතෘත්වය මුල්කරගත් රටකි. එම නිසයි අප අපේ උපන්බිම “මාතෘභූමිය” ලෙස ආමන්ත්‍රණය කරන්නේ. නමුත් ලොව සෑම රටක්ම මේ ආකාරයට මාතෘත්වය මුල් කරගෙන තම රට මාතෘභූමිය ලෙස නොහදුන්වයි. සමහරක් රටවල් පීතෘත්වය මුල්කරගත් රටවල්ය එම රටවල් තම උපන්බිම හදුන්වන්නේ “පීතෘභූමිය” ලෙසයි. කෙසේ වෙතත් තම උපන්බිමට ඉහල ගෞරවයක් ලබාදීමට යොදාගන්න මේ “මාතෘ” හා “පීතෘ” යන වදන් අපට සුළුවෙන් තැකිය නොහැක. මිනිස් ජීවිතයේ මනුෂ්‍යෙයකු හට ලබාගත හැකි උත්තරීතරම පදවිය තමා මේ මාතෘත්වය හා පීතෘත්වය ආසියාතික රටක් වන අප පීතෘත්වයට සාපේක්ෂව මාතෘත්වයට ඉහල ස්ථානයක් ලබා දී ඇත. එසේ සමාජය ක්‍රියා කිරීම තුල පීතෘත්වයට යම් අසාධාරණයක් සිදුවී ඇත යන්න කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. මේ පිලිබදව සමස්ථ ජාතියේම බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. එසේ මා පවසන්නට තවත් හේතුවක් ඇත. ඒ පසුගිය කාල වකවානුව තුල අප මාධ්‍යයන් ඔස්සේ දුටු පුවත් සිරස්තලය. එනම්,

“දියණිය තම පියා ඝාතනය කරයි”
“පුතු තම පියාව ඝාතනය කොට වැසිකිලි වලෙහි වළලයි”
“මන්නයකින් කපා තම පියාව ඝාතනය කොට”
“කැලෑවක තම පියා ඝාතනය කොට සිරුර පුළුස්සයි”
“මා පිය දඹරෙට මැදිහත් වූ දරුවා තම පියාව ඝාතනය කරයි”

මෙවැනි සිරස්තල විශාල සංඛ්‍යාවක් පෙලගැසිය හැක. මේ සියල්ල තුලින්ම පැහැදිලි වන්නේ ඉහල සංස්කෘතියක උරුමකරුවන් බව ආඩම්භරයෙන් පවස ගන්නා අප සමාජයේ තවත් පැතිකඩක් පමණි. ඉහතින් නිදසුන් මගින් ඝාතන පිලිබදව පමණක් සදහන් කල ද මීට අමතරව මංමාවත්වල, මහළු නිවාසවල, කිසිදු හව්හරනක් නොමැතිව දුක්විදින පියවරුන් ගනන අනන්තය. එය අප රටේ ඇති මහළු නිවාස මනාව පිලිඹිබු කරයි. දියුණුවෙන් දියුණුවට ගමන් කරන මිනිසා ඊට සාපේක්ෂව මහළු නිවාස ද ඉදිකිරීම තුල ඉහත සදහන් කාරණය තවත් හොදින් පිළිඹිබු කරයි. මෙහි උච්චතම අවස්ථාව ලෙස පියවරුන් සදහා දිනයක් “ලෝක පියවරුන්ගේ දිනය” ලෙස නම් කිරීම සදහන් කල හැක. මෙවනු වූ මොහොතක එනම් ලෝක පියවරුන්ගේ දිනය වන “ජූනි 20” අභියස සිටින මේ මොහොතේ යහමඟ අප මෙම කාරණය එනම් “උත්තරීතර පිය පදවිය” පිලිබදව ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න අවධානය යොමු කිරීම කාලීන යයි සිතමු.

“උත්තරීතර පිය පදවිය” පිලිබද ඉස්ලාම් කුමක් පවසනවාද?

මෙම කාරණය පිලිබදව ඉස්ලාම් ආගමික මූලාශ්‍රයන් පවසන කරුණු කාරණා වෙත අවධානය යොමු කලේ නම්, මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී

“අල්ලාහ් (දෙවියන්)ගේ පිලිගැනීම, පියාගේ පිලිගැනීමෙහි ඇත්තේය. පියාගේ කෝපයෙහි අල්ලාහ් (දෙවියන්)ගේ කෝපය ඇත්තේය.”

ග්‍රන්ථය – තිර්මිදි 1821

ඉහත නබිතුමාගේ වදනට අනුව පිය පදවිය කොතරම් උත්තරීතර ද යන්න මනාව පැහැදිලි වේ. පියාගේ නොසතුට, කෝපය දෙවියන්ගේ කෝපයට සමාන නම් මේ තුලින් සමාජයට දෙවියන් දෙන පණිවුඩය කෙරෙහි සමාජය බුද්ධිමත්ව කල්පනා කලයුතුය. මුස්ලීම්වරයෙකු හට හිමිවිය හැකි ලොකුම අභාග්‍යය වන්නේ අල්ලාහ් (දෙවියන්)ගේ කෝපයට භාජනය වීමයි. එය තම පියා තුලින් දරුවන්ට හිමිවන්නේ නම් දරුවන් වශයෙන් එවන් තත්වයන් පිලිබදව කොතරම් සැලකිලීමත් වියයුතුද? මේ පිලිබදව තවත් සැලකිලීමත්වීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන නබිවදනක් (හදීසයක්) ඇත. එය මෙසේය,

මිනිසුන් තිදෙනෙකුගේ ප්‍රාර්ථනාවන් කිසිදු බාධාවකින් තොරව දෙවියන් පිලිගනී. එනම්,

  1. පියෙකු තම දරුවන් වෙනුවෙන් කරන ප්‍රාර්ථනා
  2. ගමන් මඟියකු කරන ප්‍රාර්ථනා
  3. අසාධාරණයකට ලක්වූ අයෙකු කරන ප්‍රාර්ථනා

ග්‍රන්ථය – අබූදාවූද් 1313

ඉහත නබිවදන් දෙක පිලිබදව ඔබේ බුද්ධිමත් අවධානය යොමු කරන්න. තම දරුවන්ගේ ක්‍රියාකලාපය නිසා අසරණභාවයට, අපහසුතාවයට, හිංසනයට, නොසතුටට හා අසාධාරණයට ලක්වූ පියවරුන් අප සමාජයේ කොතරම්ද?, දරු සෙනෙහස අහිමිව ඒ වෙනුවෙන් හඪා වැලපෙන පියවරුන් කොතරම්ද? මේවා තුලින් සිදුවන්නේ ඒ දරුවන් හට දෙවියන්ගේ කැමැත්ත හා ආදරය අහිමිවීම නොවේද? එපමණක් නොවේ ආදරය අහිමිව ඒ පියවරුන් දෙවියන්ගෙන් කරනු ලබන ප්‍රාර්ථනාවන්ද “කිසිදු බාධාවකින් තොරව දෙවියන් පිලිගනී” යනුවෙන් අවධාරනය කිරීම තුලන් දරුවෙක් තම පියාට ආදරය දැක්වීමේ අවශ්‍යතාවය ඉස්ලාම් දැඩිව අවධාරනය කරන අතර, ඉස්ලාම් පිය පදවියට ලබාදී තිබෙන උත්තරීතර ස්ථානය හා එහි ඇති වැදගත්කම ද මින් මනාව පිළිඹිබු කරයි.

ඉහත නබිවදන්ට අමතරව තවත් අවස්ථාවක නබිතුමාණන් මෙසේ ද පවසන ලද බව හදීසයේ සදහන් වේ.

“නබිතුමාණන් කරුණු 03ක් තහනම් (හරාම්) කොට තවත් කරුණු තුනක් වලක්වන ලදී. එනම්, 1. පියාට වේදනාවන්දීම 2. ගැහැණුදරුවන් පණපිටින් වළලෑම 3. පරිත්‍යාගයන් සිදුකිරීම වැලැක්වීම යන කරුණු 03 තහනම් කරන ලදී. එසේම 1. ‘ඔහු පැවසුවා’, ‘මොහු පැවසුවා’ යනාදී වශයෙන් පැහැදිලි සාක්ෂි නැතුව කිසිවක් පැවසීම, 2. අනවශ්‍ය ලෙස ප්‍රශ්න ඇසීම, 3. ධනය අනවශ්‍ය ලෙස වැය (නාස්ති) කිරීම යන කරුනු මුස්ලීම් සමාජයට වලක්වන ලදී.”

ග්‍රන්ථය – මුස්ලීම් 3239

ඉහත නබිවදන අනුව ඉස්ලාමයේ ඌරු මාංශ අනුභව කිරීම කෙසේ හරාම්ද?, මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම කෙසේ හරාම්ද? ඒ ආකාරයටම තම පියාට වේදනාවන් ඇති කිරීම ද හරාම් (“හරාම්” යනු මුස්ලීම්වරයෙකු විසින් අනිවාර්‍යෙයන්ම වැලකී සිටිය යුතු කරුණුය) වේ. මෙහිදී සදහන් කලයුතු විශේෂ කාරණයක් ද ඇත. එනම් මෙහි වේදනාව යන්නෙන් අදහස් කරන්නේ ශාරීරිකව ලබාදෙන වේදනාව පමණක් නොවේ. මානසිකව ලබාදෙන වේදනාවද මීට අන්තර්ගතය බොහෝ විට දෙමාපියන් දරුවන්ගෙන් නිසා ඇති වන ශාරීරික වේදනාවන් විදදරාගනී. නමුත් ඔවුනට මානසිකව ලැබෙන වේදනාවන් දරාගැනීමට තරම් ශක්තියක් නැත. මන්ද ආදරයක් පිරැණු තැනක ඒ ආදරය නිසා ඇතිවන කායික වේදනාව එතරම් බලපෑමක් ඇති නොකරයි. නමුත් මානසිකව ඇති වන වේදනාවන් එසේ නොවේ. එය දරාගැනීම ඉතා අසීරැ වනු ඇත. ඒ අනුව දෙමාපියන්ගේ තිබෙන දරු සෙනෙහෙස නිසා ඔවුන් දරුවන් ඉදිරියේ ඉතා දුර්වලයන් බවට පත්වේ. එමනිසයි ශුද්ධ වූ කුර්ආනයේ “(නුඹලාගේ දෙමාපියන්ට) ඔවුනට ‘චී’ යයි පවා නොපවසන්න” යනුවෙන් පවසන්නේ. එසේම ශුද්ධ වූ කුර්ආනය තවත් ස්ථානයක, දෙමාපියන් මහළු අවධිය ලබන විට ඔවුන්ගේ බුද්ධිය කෙමෙන් කෙමෙන් ළමා අවධිය ලබන බව පවසන්නේ. මේ ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් තුලින් පිලිඹිබු වන්නේ ඔවුනට දරුවන්ගේ ආදරය සැලකිල්ල අත්‍ය අවශ්‍ය බව නොවේද? එසේ නම් ඉහත ඉස්ලාමීය ඉගෙන්වීමන් ට අනුව උත්තරීතර පිය පදවිය පිලිබදව සමාජය මීටවඩා සැලකිලීමත්ව අවධියෙන් ක්‍රියා කලයුතු නොවේද?. අපේ දෙමාපියන් අපෙන් බලාපොරොත්තු වන්නේ සුවපහසු නිවසක්, සුවපහසු වාහන, සියළු අවශ්‍යතාවයන් සපයාදෙන අතටපයට සේවකයෝ නොවේ. සතයක්වත් වැය නොවන අප උපන් මොහොතේ පටන් ඔවුන් අපට නොඅඩුව සැපයූ ලොව මිල කල නොහැකි ආදරය පමණි. එය අපේක්ෂා කරන්න දෙමාපියන්ට වඩා සුදුස්සෙකු ලොව සිටිය හැකිද?

අප ජීවිතය තුල ගත කරන සෑම තත්පරයකම ඔවුන්ගේ මඟපෙන්වීම් හා ආදර්ශයන් ඇත. අප ශරීර කූඩුව මෙතරම් හොදින් නිර්මාණය වුයේ ඔවුන් හෙළු දහඩියෙන් හා කදුලිනි. අපගේ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන් කල කැපවීම් සුළුපටු නොවේ. මෙපමණ පරිත්‍යාගයන් කරමින් සමාජයට යහපත් පුරවැසියෙකු කල අප ජීවිතයේ පියා යනූ ඉතා තීරණාත්මක සාධකයකි. මවගේ දෙපා පාමුල ස්වර්ගය ඇතැයි පවසන ඉස්ලාම් පියා සම්බන්ධයෙන් ද මෙපමණ අවධාරනය කරන්නේ නම් ඒ තුලින් මාපිය යුතුකම් අප හොදින් අවබෝධ කරගත යුතු වේ. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ එදා ඔවුනට දරුවන් වූ අප අද හෝ හෙට පියවරුන් අප දෙමාපියන්ට අප උරුමකල ඒ ඉරණම හෙට අපට නොවන්නට නම් අපේ දරුවන්ට අප ආදර්ශමත් වියයුතුය. එසේ නම් අප සියළු මතගැටුම්, හිත්අමනාප, තරහමරහ හා වාදවිවාද පසෙකලා අපේ දෙමාපියන් ආදරයෙන් පිලිගනිමු ඒ තුලින් අල්ලාහ් (දෙවියන්)ගේ ආදරය හා කැමැත්ත දිනාගනිමු.

“යා අල්ලාහ්! අප සියල්ල යහමඟ යොමු කරත්වා!”

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. zara mms 2013-05-11 at 04:24

    ameen

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *