පිවිතුරු දහමක අවශ්‍යතාවය හා අද පවතින ආගම්

0

අද ලොව පවතින ආගම් හි වලංගුභාවය හා පාරිශුද්ධභාවය පිළිබඳව එහි අනුගාමිකයන් අතර ඇත්තේ ප්‍රබල උණුසුම් සංවාදයන් හා විවාදයන් ය. මෙම කතිකාව තුල විවිධ ආගම් විවේචනය වීමත්, අපහාසයට ලක් වීමත් අඩු වැඩි වශයෙන් දක්නට ද ඇත. නමුත් මේ සියලු ආගම් හි වලංගුභාවය හා පාරිශුද්ධභාවය පිළිබඳව අතීත විමසුමක් සිදු කළේ නම්, එහි ආරක්ෂා වීම පිළිබඳව අර්බුදකාරී ගැටළු ගණනාවක් දක්නට ඇත. දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ආගම් සම්බන්ධයෙන් අප වර්තමානයේ කොතරම් වාද විවාද තර්ක විතර්ක ගොඩ නැඟුවත් ඒ සියල්ලෙහි වලංගු අවලංගු බව රැදී ඇත්තේ එය අද අපට ළඟා වූ ආකාරයත් එහි ආරක්ෂා වීම සිදු වූ ආකාරයත් මත ය. එනම් එය ආරක්ෂා වූයේ කෙසේ ද?, එය කොතරම් දුරකට ආරක්ෂිත ද? යන කාරණය මතය. ඒ අනුව ‘පිවිතුරු දහමක අවශ්‍යතාවය හා අද පවතින ආගම්’ යන මේ ලිපිය තුලින් ලොව පවතින ආගම් හා එහි පිවිතුරු බව කොතරම් දුරකට ආරක්ෂා වී ඇත්තේ ද? යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් කුමක් ද? යන්නත්, එය අනුගමනය කිරීමේ අවශ්‍යතාවය කුමක් ද? යන්නත් මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ඇත. නමුත් එම ඉගෙන්වීමන් පිළීබඳව නිසි හා ගැඹුරු අවබෝධයන් නොමැති මුස්ලීම් ප්‍රජාව සමාජයේ අනිකුත් (ඉස්ලාම් නොවන) ආගමික පිරිසගේ සම්ප්‍රදායන් හා එහි බැතිමතුන්ගේ ක්‍රියා කලාපයන් ආදර්ශයට ගනිති. එම වතාවත් හා විශ්වාසයන් ද ඉස්ලාම් දහමට ගළපාගෙන කටයුතු කරති. ඒ සඳහා උනන්දුවක් දක්වති. මෙය කෙතරම් අවාසනාවන්ත ලෙස මුස්ලීම් සමාජයට බලපා ඇත් ද යන්න පවසනවා නම්, මෙලෙස අනිකුත් ආගමික සම්ප්‍රදායන් ඉස්ලාමයට ගළපාගෙන කටයුතු කරන පිරිස ශ්‍රී ලාංකීය ‘සාම්ප්‍රදායක මුස්ලීම්’, ‘ඔවුන් සැබෑ මුස්ලීම්’ යනුවෙන් හදුන්වා දෙන තරමට අද මුස්ලීම් හා මුස්ලීම් නොවන ප්‍රජාව අනවබෝධය තුල අතරමං වී ඇත. නමුත් මේ අවාසනාවන්ත තත්වය ලොව උදා වූ එකම දහම ඉස්ලාම් දහම නොවේ. නමුත් ලොව අනිකුත් දහමන්ට දර්ශනයන්ට මේ තත්වයෙන් මිදීමට නොහැකි වීමට සාධාරණ හේතූන් තිබුණි. එනමුත් ඉස්ලාම් දහමට එවැනි ඉරණමක් උදාවන්න තරම් කිසිදු සාධාරණ හේතුවක්, දුර්වලතාවයක් දහම තුල නොතිබුණි. ශ්‍රී ලාංකීය සමාජය (එනම් එහි පවතින ආගම්) පදනම් කරගෙන මෙය විමසා බැලුවේ නම්,

මෙම අවාසනාවන්ත තත්වය ආගම් තුල නිර්මාණය වීමට මූලික හේතුව එම ආගමික ඉගෙන්වීමන් පිළිබඳව සමාජයට පවතින අවම දැනුම මෙන් ම සැබෑ ඉගෙන්වීම ආරම්භයේ සිට ආරක්ෂා නොවීම යන කාරණය හා ඒ තුල එම දහම් දර්ශනයක් කෙරෙහි එහි අනුගාමිකයන් තුල ඇති වූ අන්ධ භක්තියයි. මේ හේතුව නිසාම ඒ ඒ ආගමික ශාස්තෘවරුන් හා විද්වතුන් පවසන කාරණයත්, එසේ පවසන පිරිසගේ ජනප්‍රියත්වයත්, ඔහුගේ මතවාදයට සමාජය තුල හිමිවන ඉඩ ප්‍රස්ථාවත්… යනාදී හේතු මත ඒ ඒ ආගම, දහම එහි සැබෑ ස්වරූපයෙන් මිදී  වෙනමම දහමක්, දර්ශනයක් ලෙස වෙනත් ආකාරයකට පවසනවා නම් විකෘති වූ දහමක් ලෙස සමාජගත වී හා සමාජගත වෙමින් පවතී. මීට අමතරව වර්තමානයේ ආගම් අතර නිර්මාණය වී තිබෙන තරඟකාරීත්වයත්, මේ සෑම දහමකම පාහේ දක්නට ලැබෙන (අභ්‍යන්තර) මතභේදයත් මෙම අවාසනාවන්ත තත්වය දහම තුල නිර්මාණය වීමට ප්‍රධාන හේතු වී ඇත.

මෙවන් පසුබිමක කවදත් සමභර ලිපි ඉදිරිපත් කරන යහමඟ අඩවිය, ‘පිවිතුරු දහමක අවශ්‍යතාවය හා අද පවතින ආගම්’ යන මෙම ලිපිය තුලින් එම විෂය සම්බන්ධයෙන් ආගම් තුල පවතින තත්වයන් කුමක් ද? යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

ප්‍රථමයෙන් අප රටේ ප්‍රධාන ආගමක් වන බුදු දහම සම්බන්ධයෙන් විද්වත් කරුණු දැක්වීම් කිහිපයක් වෙත ඔබේ බුද්ධිමත් අවධානය යොමු කරන්නේ නම්,

  • ශ‍්‍රාස්ත‍්‍රපති පූජ්‍ය අටාලේ පියදස්සී හිමියන් විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද ‘මිලේනියම් ෆැමිලි එන්සයික්ලෝපීඩියා’ හි බුදු දහම සම්බන්ධයෙන් මෙසේ සදහන් කරයි.

‘බුදු බව පිළිබඳව ඉමහත් බැතියක් වපුරනු රිසි වූ පැරණි බෞද්ධ නායකයෝ පුරාණ ඉන්දියාවේ සම්මතව තිබූ මහා පුරූෂ ලක්‍ෂණ සියල්ල පමණක් නොව සාහිත්‍යයේ එන දෙවි දේවතාවුන්ගේ ලක්‍ෂණවලින් පවා බුදු සිරුර සැරසූහ.’

මෙය වර්තමාන බෞද්ධ විද්වතුන් පවා පිළිගන්නා සත්‍යයකි. මෙහි මාගේ තර්කය එම සංශෝධන කුමක් ද? යන්න නොව බුදු දහමේ නියම ස්වරූපයට ඉන් බලපෑමක් සිදුවෙලා තිබෙනවා ද? නැද්ද? යන්නයි.

  • තවත් අවස්ථාවක බුදු දහම සම්බන්ධයෙන් කරුණු දක්වන විද්වතෙකු වන එච්. එල්. ප්‍රේමදාස මහතා වර්තමාන බුදු දහමට අත් වී තිබෙන ඉරණම පිළීබඳව ‘ද අයිලන්ඩ්’ පුවත්පතට (1990.11.27 දින) ලිපියක් ඉදිරිපත් කිරීමේදී එහි ඔහු පවසා සිටින්නේ

‘අද බුදු දහම “කාක්කෙක් වමනේ කළා” යන තැනට පත්ව ඇති බවයි.’

ඒ සදහා ඔහු නිදසුන් සහිතව දීර්ඝ විග්‍රහයක් එහි ඉදිරිපත් කරයි. ඔහු පවසන්නේ පාරම්පරිකව හා මුඛ පරම්පරාගත‍ව මෙය සමාජයේ පැවත ආ නිසාත්, එය අසන පුද්ගලයාගේ මානසිකත්වය අනුවත් එය කෙරෙහි ඔහුගේ තිබෙන කැමැත්ත අකැමැත්ත අනුවත්, එයට අලුතින් එක් වීම හා අඩු වීම නිතැතින් සිදු වී විකෘති වූ දහමක් ඉතිරි වූ බවයි.

  • මේ පිළිබඳව කරුණු දක්වන ලෝක ප්‍රකට ලේඛකයෙකු මෙන් ම ඉතිහාසඥයකු වන මයිකල් එච්. හාට් මහතා තම ‘ද හන්ඞ්රට්’ (THE 100) නම් කෘතියෙහි ලෝක ඉතිහාසයේ පෙරලියක් ඇති කළ 100 ක් දෙනා පෙලගැස්වීමේ දී 04 වන ස්ථානය ගෞතම බුදුන් වහන්සේට ලබා දී  එවැනි ස්ථානයක් ලබා දීමට හේතු පැවසීමේදී

“…ඔහු පැවසු දෑ කිසිවකු විසින් ලියා නොතබන ලදී. එය පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන ලදී.” යනුවෙන් පවසයි. තවදුරටත් එහිදී පවසන්නේ “බුදුන් අද මෙලොවට නැවත ආවා නම් බුදු දහම තුළ සිදු වන විවිධ ආකාරයේ වත්පිලිවෙත් දැක මවිතයට පත් වෙනවා නියතය”

යනුවෙන් ද පවසයි. තවදුරටත් කරුණු ඉදිරිපත් කරන මොහු ඉන්දියාවේ බෞද්ධයින් නැති වී යාමට හේතුව හින්දු ආගම බෞද්ධ දර්ශනයේ බොහෝ කරුණු තම දහම සදහා යොදා ගැනීම බවත් එහි සදහන් කරයි.

  • මීට අමතරව විවිධ ආගම් පිළිබඳව ගවේෂණ සිදු කොට මෘදුකාංගයක් නිර්මාණය කළ ලෝක ප්‍රකට ආගම් පිළිබඳව ගවේෂකයකු වන ආචාර්ය ජෝන් ස්ටෙල්සන් බුදු දහම පිළිබඳව පැවසීමේදී

“එය ක‍්‍රිස්තු පුර්ව 300 දක්වා ඉන්දියාව තුල සීඝ‍්‍රයෙන් පැතිරි ගියත්, ක‍්‍රිස්තු පුර්ව 300 සිට ක‍්‍රිස්තු වර්ෂ 1500 දක්වා වසර 1800ක් තුල සීඝ‍්‍ර පසු බෑමකට ලක් විය.”

මෙය ආචාර්ය ජෝන් ස්ටෙල්සන් විසින් ප‍්‍රස්තාරයක් මගින් පැහැදිලි කරයි. එම ප‍්‍රස්ථාරයේ තවත් වැදගත් කරුණක් ද ගෙන හැර දක්වයි. එනම් බුදු දහම බුදුන්ගෙන් පසු ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදී ගිය බවත්, එය බුදුන් පරිනිර්වාණයෙන් වසර 300කට පමණ පසු සිදු වූ බවත් ය.

බුදු දහම - ජෝන් ස්ටෙල්ගේ ප්‍රස්තාරය

අප රටේ ප්‍රධාන මෙන්ම ප්‍රබල දහමක් වන බුදු දහමට මෙවන් ඉරණමක් උදා වී ඇති බවට මෙලෙස කරුණු දක්වන අතරතුර ලොව ප්‍රබල දහමක් මෙන් ම ශ්‍රී ලාංකීය සමාජයේ සැලකිය යුතු පිරිසක් අදහන දහමක් වන කිතුණු දහම පිළිබඳව ද මෙහි කතා නොකරම බැරිය. මන්ද මාගේ ගවේෂණයන්ට අනුව මනුෂ්‍යාගේ ප්‍රබල බලපෑමකට නතුව වෙනස් කිරීමන් විශාල සංඛ්‍යාවක් සිදු කළ දිව්‍යමය පුස්තකයකට උරුමකම් කියන එකම දහම මෙය වන නිසා ය. ඒ පිළිබඳව මෙම අඩවිය තුල දීර්ඝ වශයෙන් කරුණු සාකච්චා කොට ඇති නිසා කිතුනු භක්තිකයෙකු මෙන්ම ලෝක ප්‍රකට ලේඛකයෙකු හා ඉතිහාසඥයකු වන මයිකල් එච්. හාට් තම ‘ද හන්ඞ්රන්ට් (THE 100)’ නම් කෘතියෙහි සදහන් කාරණයට ඔබේ බුද්ධිමත් අවධානය යොමු කරමි.

‘බයිබලයේ සදහන් බොහෝ කරුණු යේසුස් තුමා පැවසූ ඒවාට වඩා පාවුල් තුමාගේ අදහස් වේ’

යනුවෙන් පැවසීමත්

‘යේසුස් වහන්සේගේ දේශනයන් එතුමාගේ කාලයේම ලේඛන ගත නොවුණි. මෙම දේශනයන් ශුද්ධ වු බයිබලය නමින් ලේඛන ගත වුයේ එතුමාගේ අභාවයෙන් ද වසර කිහිපයකට පසුවයි.’

යනුවෙන් පැවසීමත් ඒ සදහා හොදම සාක්ෂි වශයෙන් මෙහි ගෙන හැර දැක්විය හැක. එම කාරණය ඔබේ විමසුමට තබමින් මේ ලිපියෙහි තවත් ප්‍රධාන කොටසට යොමු වන්නේ නම්,

ශ්‍රී ලාංකීය ප්‍රජාව අතුරින් බහුතරය නියෝජනය වන බුදු දහම හා කිතුණු දහම පදනම් කරගෙන ඉහත කරුණු ඉදිරිපත් කළද ලොව සෑම ආගමක්ම මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුවා යන්න මා ඉහතින් ද සදහන් කළ යථාර්තයයි. ආරම්භයේ සිට ලිඛිතව ආරක්ෂා නොවූ ඉගෙන්වීමන් පවතින දහමන් හා දර්ශනයන් මෙවන් අවාසනාවන්ත ඉරණමයන්ට ගොදුරු වීම නොවැළැක්විය හැකි කාරණයකි. නමුත් සියලු ඉගෙන්වීමන් ආරම්භයේ සිට ආරක්ෂා වී තිබෙන ලොව එකම දහම වන ඉස්ලාමයත් මෙම අවාසනාවන්ත ඉරණමට හසු වී තිබීම අවාසනාවන්ත තත්වයකි. ඒ අනුව මෙතැන් සිට ඒ පිළිබඳව මෙහි විමසා බලමු.

ඉස්ලාම් යනු සර්ව ඥාන අල්ලාහ්  (දෙවි) විසින් පහල කළා වූ දිව්‍යමය දහමකි.  නමුත් කාලයත් සමඟ මෙහි ඉගෙන්වීමන් විකෘති විය හැකි බව අවබෝධ කර ගත් ඉස්ලාම් දහම එසේ නොවීම පිණිස ඒ සදහා වූ අවවාද මුස්ලීම් සමාජයට අල්ලාහ් (දෙවි) විසින් සිදු කරන ලදී. එය සරලව පවසනවා නම්,

ආගමික මූලාශ්‍රයන් (එනම් ශුද්ධ වූ කුර්ආනය හා හදීසය) තුලින් දහම අවබෝධ කර ගත යුතු බවත්, එහි සීමාවන් පිළිබඳව නිසි අවබෝධයෙන් කටයුතු කළ යුතු යන්නත් දැඩිව ඉස්ලාම් මුස්ලීම් සමාජයට අවවාද කරන ලදී.

නමුත් මෙහි අවාසනාවන්ත තත්වය වන්නේ වර්තමාන මුස්ලීම් සමාජයට ඉස්ලාම් දහමේ මූලාශ්‍රය ‘ශුද්ධ වූ කුර්ආනය’ හා ‘හදීසය’ යන්නෙහි විවාදයක් නැත. වාදයක් ලෙස හෝ විශ්වාසයක් ලෙස ඔවුන් එය එලෙස පිළිගත්තද ප්‍රායොගික දිවිය තුල එම කාරණය නිසි ලෙස ක්‍රියාවට නැංවීමක් ඔවුන් තුල දක්නට නැත. තවත් සරලව පවසනවා නම්, සත්‍ය දහම ඔවුන්ගෙන් දුරස් වී ඇත. මෙය ඉහත (අනිකුත් ආගමික) තත්වයන්ට වඩා වෙනස් තත්වයකි. නමුත් මේ සියල්ල තුල අවසාන ප්‍රතිඵලය (විකෘති වූ දහමක් යන්න) එකක් පමණි. ඉස්ලාම් දහමට මෙවැනි ඉරණමක් උදා වීම සදහා පදනම් වී තිබෙන හේතූන් විවිධ ය. මුස්ලීම් සමාජය තුල මෙවැනි තත්වයක් උදාවීමට බලපෑ මූලිකම හේතුව වන්නේ ආගමික මූලාශ්‍රයන් තුලින් උගන්වන කාරණා පිළිබඳව සමාජයට තිබෙන අනවබෝධයයි. ඒ සදහා සරල උදාහරණයන් 02 ක් පවසනවා නම්,

  • ඉස්ලාමීය විවාහයක දී මනාලයා විසින් මනාලිය හට (ඇයගේ ඉල්ලීම අනුව) ‘මහර්’ නම් (මිල මුදල්, රන් රිදී, යාන වාහන, ඉඩ කඩම්, ගේ දොර… යනාදී) වස්තූන් ලබදීම අනිවාර්ය වේ. (එසේ නොකරන විවාහය වලංගු නොවේ) නමුත් ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි රටවල මෙය සිදුවන්නේ අනිත් අතටය. එනම් ‘මහර්’ තොගය ලෙස රුපියල් 103.00 හෝ 102.00 වැනි මුදලක් මනාලියට ලබා දී දෑවැදි ලෙස ලක්ෂ ගණන් වටිනා වස්තූන් මනමාලයා විසින් මනාලියගෙන් ලබා ගැනීමයි. මෙහි අවාසනාවන්ත තත්වය වන්නේ මේ සියල්ල ආගමික පූජකවරුන් හා විද්වතුන් අභියස ඔවුන්ගේ අශිර්වාදය මත ඉස්ලාම් දහමේ නමින් සිදුවීමයි. මෙහි තවත් අවාසනාවන්තම තත්වයක් වන්නේ මෙම චාරිත්‍ර ඉස්ලාමීය ආදර්ශයන් බවට අන්‍ය (මුස්ලීම් නොවන සහෝදර) සමාජය පමණක් නොව මුස්ලීම් සමාජයේ අති බහුතරයක් පිලි ගැන සිටීමයි.
  • ‘මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දින සැමරීම සම්බන්ධ මුස්ලීම් සමාජයේ පවතින මතභේදය’ සඳහන් කළ හැක. අවසාන දේව වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට තම ප්‍රාණයට වඩා ආදරය කිරීම අත්‍යවශ්‍ය බව ඉස්ලාමීය මුස්ලීම් සමාජයට අනිවාර්ය කරයි. නමුත් එය යම් යම් සීමාවන්ට යටත්වය. එතුමාණන් කෙරෙහි පැවති ආදරය හා ගෞරවය වෙනුවෙන් එතුමාණන්ගේ පිළිම ඇඹීමට හෝ පිංතූර නිර්මාණය කිරීමට මුස්ලීම් සමාජය පෙළඹුනේ නැත. (ඒ සදහා ඉස්ලාම් දහම තුල අවසර නැත නිසා) එසේ නොකළා පමණක් නොව එසේ කරන පිරිසට එරෙහිව නැගී සිටීමට මුස්ලීම්වරුන් පසුබට වන්නේත් නැත. ඒ ඉස්ලාම් එවැනි ආදර්ශයක් පෙන්වා නොදෙන නිසා ය. නමුත් එහි සීමාවන් කුමක් ද? යන්න පිළිබඳව නිසි ලෙස සොයා බැලීම අතපසු කළ සමාජය අවසානයේ නතර වූයේ මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරන බව පවසමින් ඉස්ලාමීය ආදර්ශයන්ට පරිබාහිර ආදර්ශයන් මුස්ලීම් සමාජය තුල නිර්මාණය කිරීම තුලිනි.

ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව, කෙනෙකු ලෞකික ජීවිතය තුල තීන්දු තීරණ ගන්නා සේ දහමක් තුල ස්වමතයට අනුව තීන්දු තීරණ ගත නොහැක. ඉස්ලාම් දහම ප්‍රකාශ වී ඇත්තේ සූවිශේෂි ඥානයක්, දිව්‍යමය පණිවුඩයක් පදනම් කරගෙනය. ඒ අනුව එවැනි අවස්ථාවල තීන්දු තීරණ ගත යුත්තේ එහි ඉගෙන්වීමන් අනුව මිස ස්වමතයන් අනුව නොවේ. එසේ නොවන්නේ නම් එහි සිදු වන්නේ “නාන්නට ගොස් මඩ නාගත්තා සේ” තම නැණ පමණින් යහපත් යයි සිතාගෙන තමන්ට තමන් විසින්ම වරදක් සිදුකර ගැනීම පමණි. එම කාරණය හොදින් අවබෝධ කරගෙන පහත කරුණු ද දැන් පියවරින් පියවර විමසා බලමු.

ප්‍රථමයෙන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් තුනක් ඔබගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. එනම්,

  • …අල්ලාහ් (දෙවියන්) පහල කල (ශුද්ධ වූ කුර්ආනය හා හදීසය අන්තර්ගත)දැයින් කවුරුන් තීන්දු (තීරණ) නොගත්තේ ද? ඔවුන් ‘කාෆිර්’ (ඉස්ලාම් ප්‍රතික්ෂේප කරන ලද තැනැත්තෙකු) බවට පත්වන්නේ ය.

ශුද්ධ වූ කුර්ආනය 5-44

  • …අල්ලාහ් (දෙවියන්) පහල කල (ශුද්ධ වූ කුර්ආනය හා හදීසය අන්තර්ගත) දැයින් කවුරුන් තීන්දු (තීරණ) නොගත්තේ ද? ඔවුන් අපරාධකරුවන් බවට පත්වන්නේ ය.

ශුද්ධ වූ කුර්ආනය 5-45

  • …අල්ලාහ් (දෙවියන්) පහල කල (ශුද්ධ වූ කුර්ආනය හා හදීසය අන්තර්ගත)දැයින් කවුරුන් තීන්දු (තීරණ) නොගත්තේ ද? ඔවුන් පාපතරයන් බවට පත්වන්නේ ය.

ශුද්ධ වූ කුර්ආනය  5-47

ඉහත සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් 03 හොදින් අධ්‍යනය කළේ නම් ‘වහී’ හෙවත් දේව පණිවුඩය පදනම් කර නොගෙන ආගමික තීන්දු තීරණ ගැනීම කොතරම් බරපතල වරදක් ද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. සර්වඥාන දෙවියන් ප්‍රායෝගික එසේම සර්වකාලීන සාර්ථක ජීවන සැලැස්මක්, නීතිමාලාවක් හදුන්වා දී තිබියදී එයට තවත් කරුණු කාරණා එක් කිරීම යනු එක් පසෙකින් දේව සැලැස්ම අභියෝගයට ලක් කිරීමකි. දේව සැලැස්මක් අභියෝගයට ලක් කිරීමට නම්, ඒ සදහා එවැනි ශක්තියක් ඇති ඔහුට සමාන හෝ ඔහුට වඩා ඉහල බුද්ධියක් ඇති කෙනෙකු විය යුතු ය. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව දෙවියා ඒකීය වන නිසා ඉහත අවස්ථාවට ඉස්ලාම් දහම තුල ඉඩ නැත. එසේ නම් දේව සැලැස්මට අභියෝග කළ හැකි බුද්ධිමත් ජීවියකු නොමැති බව පැහැදිලිය. එසේ තිබිය දී දේව සැලැස්ම මනුෂ්‍යා අභියෝගයට ලක් කිරීම (සංශෝධනයට එනම් අලුතින් යමක් එක් කිරීම හා තිබෙන යමක් අඩු කිරීමට) ඉස්ලාම් දහමට අනුව ‘ෂිර්ක්’ නම් වූ මහා පාපයකි. ඒ අනුව ‘වහී’ හෙවත් දේව පණිවුඩ මත පදනම් වූ මෙම දහම තුල අලුතින් යමක් නිර්මාණය කිරීමේ බලය මේ මිහිපිට කිසිවකුටත් දෙවියන් ලබා දී නොමැති බව පැහැදිලිව වටහා ගත යුතු ය. එය අවබෝධ කරගෙන එයට අවනතව ඉස්ලාම් දහම පිලිපැදීමයි සැබෑ මුස්ලීම්වරයෙකුගේ සැබෑ වගකීම වන්නේත්. මෙම කාරණය අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 24-51 වාක්‍යයෙන් මෙසේ පවසයි.

“‘මු:මින්වරුන්’ (ඉස්ලාම් නිසි ලෙස අනුගමනය කළ පිරිස්) හමුවේ (ඔවුන් අතර ඇති වූ මතභේද හා ගැටළු සදහා) විසදුම් ප්‍රකාශ කිරීමට අල්ලාහ් හමුවටත් ඔහුගේ දූතයාණන් හමුවටත් පැමිණෙන ලෙස කැදවුයේ නම් ඔවුන්ගේ (එකම) පිළිතුර ‘සවන් දුන්නෙමු!, අවනත වූයෙමු!’ යන්න පමණි. මොවුන්මයි ජය ලද්දෝ”

ශුද්ධ වූ කුර්ආනය 24-51

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් සැබෑ මුස්ලීම්වරයෙකුගේ ගුණාංගය මනාව පැහැදිලි කරයි. මුස්ලීම් සමාජයක හෝ තනි පුද්ගලයෙකු තුල කිසියම් මතභේදාත්මක ගැටළුවක් පැන නැඟුණේ නම් එහි දී ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය ඉහත වාක්‍යය මඟින් පැහැදිලි කරයි. එහි දී  “…අල්ලාහ් හමුවටත් ඔහුගේ දූතයාණන් හමුවටත්…” යන්නෙන් දෙවියන් අදහස් කරන්නේ ‘ශුද්ධ වූ කුර්ආනය’ හා ‘හදීසය’ යන්න මා පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි සිතමි. ඒ අනුව මුස්ලීම්වරයෙකුගේ සෑම ක්‍රියාවක්ම එයට අනුකූල විය යුතු යන්න පැහැදිලි ය. මෙම කුර්ආන් වාක්‍ය සමහරක් (විශේෂයෙන් මුස්ලීම් නොවන) පිරිස් වැරදි ආකාරයකට ද අවබෝධ කරගනිති. එනම්, ඉහත වාක්‍යයෙන් දෙවියන් පවසන්නේ “මුස්ලීම්වරුන් අන්ධ භක්තික ලෙස සියල්ල පිලිගත යුතු යන්න මෙහි අවධාරණය කරයි” යනුවෙනි. මෙය ඉහත වාක්‍යයට දෙන වැරදි විග්‍රහයකි. එය තහවුරු කිරීම සදහා පහත 25-73 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය සදහන් කළ හැක. එනම්,

තවද ඔවුන් (මුස්ලීම්වරුන් හමුවේ) තම දෙවියන්ගේ වාක්‍යයන් (කුර්ආන් වාක්‍යයන් ගෙනහැර) පැවසූ විට එය බිහිරන් ලෙසත් අන්ධයන් ලෙසත් (පිලිගෙන) එහි කටයුතු නොකරයි (බුද්ධිමත්ව සිතාබලා කටයුතු කරයි).

ශුද්ධ වූ කුර්ආනය 25-73

මේ අනුව අන්ධ භක්තිකව කටයුතු කිරීමට කිසිදු මුස්ලීම්වරයෙකුට ඉස්ලාම් දහම තුල ඉඩ නොමැති බවද අවබෝධ කර ගත යුතු වේ. ඒ අනුව කිසියම් කාරණයක් ඉස්ලාම් යයි සමාජය හමුවේ තබන විට “එය ඉස්ලාම් ද?” යන්න තීරණය කිරීමේ අයිතිය මුස්ලීම්වරුන්ට ඉස්ලාම් දහම ලබා දී ඇත. එහිදී ඉහත 25-73 වාක්‍යයේ සදහන් ආකාරයට කටයුතු කිරීමට වග බලා ගත යුතු ය. එසේම ඉස්ලාම් නමින් අප හමුවේ තිබෙන කාරණය ඉස්ලාමීය ඉගෙන්වීමන්ට එනම් ශුද්ධ වූ කුර්ආනයට හා හදීසයට අනුකූල ද යන්න 24-51 වාක්‍යයට අනුව අධ්‍යනය කොට තහවුරු කරගත යුතු ය. මෙයයි ඉස්ලාමීය මඟපෙන්වීම හා ආදර්ශය වන්නේ. එම ආදර්ශයන්ට පරිභාහිරව හිඳ තම ස්වමතය අනුව හා අන්ධ භක්තිකව දහම තුල සීමාවන් නොදැන ක්‍රියා කරන විට එම දහම තුල විවිධාකාරයේ වූ විකෘතිතාවයන් නිර්මාණය වීම සිදුවේ. එම නිසා දිව්‍යමය දහම “වහී” හෙවත් දේව පණිවුඩවලින් බැහැරව මිනිස් චින්තනවලින් කිලිටි වූ වෙනම ම මාර්ගයක් බවට එය පත් වේ. මෙය අද මුස්ලීම් සමාජයේ බහුලව දකින්නට තිබෙන අවාසනාවන්ත ඉරණමකි. මෙම තත්වය මීට සියවස් ගණනාවකට පෙර අවබෝධ කරගත් ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනයේ 42-21 වාක්‍යය මඟින් මෙසේ අවවාද කිරීමක් ද දක්නට ලැබේ. එනම්,

අල්ලාහ් (දෙවියන්) අනුමත නොකළ (හා පෙන්වා නොදුන්) කාරණයන් නුඹලා හමුවේ (දහමේ) අනුමත කාරණයන් බවට පත්කරවන්නට සමත් (මට) සමාන දෙවිවරැන් (නුඹලාට) සිටින්නේ ද?

ශුද්ධ වූ කුර්ආනය 42-21

ඉහත 42-21 වාක්‍යයෙන් දෙවියන් පවසන කාරණය බුද්ධිමත් ලෙස විමසා බලන්න. වර්තමාන මුස්ලීම් සමාජය තුල මෙවැනි එනම් ඉස්ලාම් පෙන්වා නොදෙන පසුකාලීනව නිර්මාණය වූ ආගමික ක්‍රියා පිලිවෙත් බොහෝමයක් අද දක්නට ලැබේ. මේවා පිලිබදව දෙවියන් විමසා සිටින්නේ,

“…මේවා අනුමත කරන්න මට සමාන තවත් දෙවිවරුන් නුඹලාට සිටිනවා ද?…”

යනුවෙන් නම්, මෙය ඒක දේව සංකල්පය දැඩිව අවධාරණය කරන දහම තුල බහු දේව සංකල්පයක් හදුන්වා දීම බදු නොවේ ද?. මෙය මා පෙර සදහන් කළා සේ ‘ෂිර්ක්’ නම් මහා පාපයක් බව අවබෝධ කර ගැනීම ඉස්ලාම් දහමේ මූලික දැනුමක් පවා ඇති ඕනෑම කෙනෙකු හට අපහසු නොවනු ඇත.

මේ අනුව ඉස්ලාම් දහම තුල “වහී” වලින් පරිබාහිරව යමක් නිර්මාණය කිරීම කොතරම් බරපතල වූ කාරණයක්ද යන්න දැන් ඔබට පැහැදිලි විය යුතු ය. ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් පදනම් කරගෙන එය අප මෙතෙක් සාකච්චා කළද, එම ශුද්ධ වූ කුර්ආනයනට විග්‍රහයන් ලෙස පවතින හදීසයන් හෙවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් තුල  කුමක් සදහන් වෙනවා ද? යන්න දැන් විමසා බලමු.

“අල්ලාහ් (දෙවියන්) විසින් මට පෙර එවන ලද නබිවරුන්ට ද පරිවාරකයන් හා සහයකයන් සිට ඇත. ඔවුන් ඒ ඒ නබිවරුන්ගේ ‘සුන්නාවන්’ (ආදර්ශයන් හා මඟපෙන්වීමන්) පිළීගෙන අනුගමනය කර ඇත. නමුත් පසුව (ඔවුනට පසුකාලීනව) පැමිණි සමාජය පෙර සමාජය නොකල දෑ පවා ඔවුන් කළ බවට පවසමින් යම් යම් ක්‍රියාවන්හි නිරත වී ඇත. (පසුකාලීනව) මෙවැනි අවස්ථාවල කිසිවකු තම දෑතින් එය වළක්වන්නේ ද ඔහු ‘මු:මීන්වරයෙක්’ (පරිපූර්ණ මුස්ලීම්වරයෙක්), (එසේ කිරීමට නොහැකි නම්)  තම මුවින් (පැහැදිලි කොට) එය වළක්වන්නේ ද ඔහු මු:මීන්වරයෙක්, (එසේ කිරීමටත් නොහැකි නම්) එම ක්‍රියාව සිතින් පිලිකුල් කොට එම ස්ථානයෙන් ඉවත් වන්නේ ද ඔහුත් මූමීන්වරයෙක්. මේ (කිසිවක් නොකර) බලා සිටින්නෙකු තුල අබ ඇටයක් තරම්වත් ඊමානයක් (ඉස්ලාමීය විශ්වාසයක්) නැත.“

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත හදීසය හොදින් විමසා බලන්න. මේ ලිපිය පුරාවට මා පවසන්නට උත්සාහ කල කාරණය මෙහි ඉතා සරලව අන්තර්ගතව ඇත. මා මාගේ ලිපිය ආරම්භයේ සඳහන් කළා බුදු දහමටත් කිතුණු දහමටත් එහි ශාස්තෘවරුන් මෙලොවින් සමුගැනීමත් සමඟ අත් වූ ඉරණම. එම ඉරණම මයි ආරම්භ කාල ඉස්ලාම් දහමටත් අත් වූයේ. මේ නිසයි ලොව විශාල සංඛ්‍යාවක් වූ වක්තෘවරුන්ගේ අවශ්‍යතාවය ඇති වුයේ. මීට අමතරව මෙවැනි සිදු වීමන් සමාජය තුල ක්‍රියාවට නැංවීමේදී මුස්ලීම්වරයෙකු ක්‍රියා කළ යුතු ආකාරයද මුහම්මද් (සල්) තුමාණන් පැහැදිලි ව පෙන්වා දී ඇත.

වචනයන්ගෙන් උතුම් වූ වචනය අල්ලාහ්ගේ වචන (වන ශුද්ධ වූ කුර්ආන)යයි. ආදර්ශයන්ගෙන් විශිෂ්ඨතම ආදර්ශය මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ (වන හදීස)යයි. ක්‍රියාවන්ගෙන් නරකම ක්‍රියාව ‘බිද්අත්’ (ඉහත අංග දෙකට පරිභාහිරව අලුතින් ඇති කරන ලද කරුණු)ය. බිද්අත් සියල්ල දුර්මාර්ගයේ ය. දුර්මාර්ගයන් සියල්ල අපායටම (අපව) කැදවාගෙන යන්නේ ය.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි, නසායී, මුස්ලීම්

දහම තුල අලුතින් යමක් නිර්මාණය කිරීමේ බරපතල කම ඉහත හදීසය තුලින් ඔබට පහසුවෙන් අවබෝධ කර ගත හැකි වනු ඇත. එවැනි ක්‍රියාවන් තුලින් අත්වන අවාසනාවන්ත ඉරණමත් ඉහත හදීසය තුලින් අවබෝධ කර ගත හැක.

“නුඹලා හමුවේ කරුණු දෙකක් (මුහම්මද් (සල්) වන) මම තබා යන්නෙමි. එය අනුගමනය කරන තාක් නුඹලා නොමඟ නොයනු ඇත. එයින් පලමුවැන්න අල්ලාහ්ගේ දහම (වන ශුද්ධ වූ කුර්ආනය)යි. දෙවැන්න මගේ ආදර්ශය (වන හදීසය)යි.”

මූලාශ්‍ර ග්‍රන්ථය – මුඅත්තා

ඉහත හදීසය තුලින් ඉස්ලාමීය ආගමික සීමාව මනාව පිළිඹිබු වේ. ඉස්ලාමීය මූලාශ්‍රයන් වන ශුද්ධ වූ කුර්ආනය හා නබිතුමාණන්ගේ ආදර්ශය වන හදීසයට පරිබාහිර කිසිවක් ඉස්ලාම් නමින් පැවැතිය නොහැකි බවත්, එලෙස පැවතුනත් එවැනි කිසිවක් අනුගමනය කිරීම අවශ්‍ය නොවන බවත් පැහැදිලි වේ.

“කවුරුන් අප විසින් අණ නොකල කුසල ක්‍රියාවන් හි නිරත වන්නේ ද එම ක්‍රියාවන් අල්ලාහ් හමු වේ ප්‍රතික්ෂේප වනු ඇත.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්

ඉහත හදීසය හොදින් විමසා බලන්න. එහි සදහන් වන්නේ “…අප විසින් අණ නොකල කුසල ක්‍රියාවන්…” යනුවෙනි. එනම් ඉස්ලාම් “කුසල ක්‍රියාවක්” ලෙස හදුන්වා නොදුන් නමුත් මුස්ලීම් සමාජය “කුසල් ක්‍රියාවක්” යනුවෙන් සලකා ක්‍රියා කරන බොහෝ ක්‍රියාවන් අප අවට අදත් දක්නට ඇත. නමුත් ඉස්ලාමීය ඉගෙන්වීම අනුව මේ සියල්ල ඉස්ලාම් දහම තුල ප්‍රතික්ෂේප වී යන බව ඉහත හදීසයට අනුව පැහැදිලිව වටහා ගත හැක.

සුදෝ සුදු තත්වයක මා නුඹලා තබා යන්නෙමි. එහි රාත්‍රියත් දහවල මෙන් (පැහැදිලි)ය. එහි විනාශය පතන්නෙකු හැර වෙන කිසිවකු නොමඟ නොයන්නේ ය.

දන්වන්නේ – උමර් (රලි) තුමා

ඉහත හදීසය ද තරමක් බුද්ධිමත්ව විමසා බැලිය යුතු එකකි. නබිතුමාණන් පවසනන්නේ “මා නුඹලා සුදෝ සුදු තත්වයක” තබා යන බවයි. මෙයින් අදහස් කරන්නේ මෙම දහම ඉතා පැහැදිලි තත්වයක එහි කිසිදු සැකයක් මතභේදයක් ඇති නොවන ආකාරයට පැහැදිලි කොට පැහැදිලි තත්වයක තබා යන බවයි. එවන් වූ දහම තුල අලුතින් යම් යම් දෑ නිර්මාණය කොට ඒ තුලින් කිසිවකු නොමඟ යන්නේ නම් එය ඔහුගේ විනාශය පැතීමක් මිස අන් කිසිවක් නොවන බව ද එහි දැඩිව අවධාරණය කරයි.

“කවුරුන් දහම තුල අලුත් දෑ නිර්මාණය කරන්නේ ද එසේත් නැත්නම් එවැනි පිරිසට සහාය දක්වන්නේද ඔවුන් කෙරෙහි අල්ලාහ් (දෙවියන්)ගේ, මලාඉකාවරුන් (දේව දූතයන්)ගේ සහ  මනුෂ්‍යයන්ගේ ශාපය ඇති වන්නේ ය.”

දන්වන්නේ – අලි (රලි) තුමා, ග්‍රන්ථය – අබූදාවූද්, නසායි

ඉහත හදීසයන් තුලින් ඉස්ලාම් දහම තුල අලුතින් යමක් නිර්මාණය කිරීම තුලින් ඔහු හෝ ඇයට අත් වන ඉරණම පැහැදිලිව වටහාගත හැක. අද සමාජය ආගම, ආගමික මූලාශ්‍රයන් පදනම් කරගෙන අවබෝධ කරගන්නවා වෙනුවට කරන්නේ ආගමික පූජකවරුන් එසේත් නැත්නම් ආගමික විද්වතුන් යයි පවසා ගන්නා පිරිස තුලින් දහම අවබෝධ කරගැනීමට යාමයි. මෙය ඉස්ලාම් දහම පෙන්වා නොදෙන වැරදි ආදර්ශයක් බව ඉහත කරුණුවලින් ඔබට දැන් හොදින් පැහැදිලි වනු ඇති. නමුත් අනිකුත් සමාජයන් මෙන්ම මුස්ලීම් සමාජයද මෙවැනි ඉගෙන්වීමන් පිළිබදව තිබෙන අනවබෝධය හා අවම දැනුම හේතු කොටගෙන ආගමික මූලාශ්‍රයන් පසෙක තබා ජනප්‍රිය පුද්ගල චරිත පසුපස යාමේ අවාසනාවන්ත තත්වයකට ඔවුන් ද පත්ව ඇත. මෙම සමාජ තත්වය දකින විට ශ්‍රේෂ්ඨ සහාබිවරයෙකු (මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීනයෙකු මෙන්ම ආගමික විද්වතෙකු) වන ඉබුනු අබ්බාස් (රලි) තුමාණන් පවසන ලද කාරණයක් සිහියට නැඟේ. එනම්,

“නබිතුමාණන්ගේ අභාවයෙන් පසු (පසුකාලීන) සමාජයට, ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හි අල්ලාහ් (දෙවියන් ශුද්ධ වූ කුර්ආනයේ) මෙසේ පවසනවා යනුවෙන් හා අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාණන් මෙසේ පවසනවා යනුවෙන් (හදීසයන් හෙවත් නබිතුමාණන්ගේ ආදර්ශයන්) මා ඔබලාට පවසන විට (එම සමාජයේ ජීවත් වන) ඔබලා අබූබක්කර් (රලි) මෙසේ පැවසුවා, උමර් (රලි) මෙසේ පැවසුවා යනුවෙන් පවසන්නේ ය. මේ හේතුව නිසා දෙවියන් විසින් නුඹලා වෙත අහසින් ගල් වරුෂාවක් පහල කරාවිදෝ යයි මා බියවෙමි. යනුවෙන් පවසන ලදී.”

(සටහන – අබූබක්කර් (රලි) තුමා යනු නබිතුමාණන්ගෙන් පසු ඉස්ලාමීය පාලන බලය හිමි වූ ශ්‍රේෂ්ඨ පාලකයෙකි. එසේම මුහම්මද් (සල්) තුමාණන්ගෙන් පසු දේව විශ්වාසයේ ඉනිපෙත්තෙහි සිටී ලොව ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ලෙස මුහම්මද් (සල්) තුමාණන් විසින් හදුන්වා දුන්නේ මෙතුමාණන්වය. උමර් (රලි) තුමා යනු ඉස්ලාමීය රාජ්‍ය පාලනයේ තුන්වන ජනාධිපතිවරයා ය. එසේම ආරම්භ කාලයේ ඉස්ලාම් දහමට නව පණක් ලබාදීමට සමත් ශ්‍රේෂ්ඨ උත්තමයෙකි.

ඉබුනු අබ්බාස් (රලි) තුමා පවසන ලද එම කාරණයත් වර්තමාන සමාජයත් මොහොතක් සංසන්දනය කර බලන්න. එදා සමාජය පැවසුවේ අබූබක්කර් (රලි), උමර් (රලි) තුමාණන් පවසනවා යනුවෙනි. මෙතුමාණන්ලා ශ්‍රේෂ්ඨ සහාභාවරුන් යන්නෙහි ලොව කිසිදු මුස්ලීම්වරයෙකුට වාදයක් නැත. එවන් පිරිස නමින් පැවසීම පිළිිබඳව පවා ඉබ්නු අබ්බාස් (රලි) තුමාණන් බිය වූවා නම්, අද අප සමාජයේ සමහරක් පවසමින් සිටින චරිත පිළිබඳව කුමක් පවසන්න ද? මේ තුලින් ද තහවුරු වන්නේ ඉස්ලාම් දහම තුල වැදගත් සාධකය වන්නේ එහි ශාස්තෘවරුන් හෝ විද්වතුන් කුමක් පවසනවා ද යන්න නොව එම ආගමික මූලාශ්‍රවල සඳහන් කාරණයන් කුමක් ද? යන්නත් එය අප ජීවිතයට කොතරම් දුරකට සමීප වී තිබෙනවාද? යන්නත් පමණි.

මෙතෙක් දුරකට මා කරුණු දක්වමින් ඔබට පවසන්නට උත්සාහ කරන්නේ ලොව අනිකුත් දහමන් හි ඉගෙන්වීමන් මෙන් නොව ආරම්භයේ සිට ආරක්ෂා වූ දේව පුස්තකය හා මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් අප හමුවේ තිබිය දී මේ දහම තුල විවිධ සංශෝධනයන් හා නව එක්කිරීමන් සිදු කිරීම ඉතාම අවාසනාවන්ත තත්වයක් බවත්, එය ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව කොතරම් බරපතල වරදක් ද යන්නත් ය. එය දැන් ඔබට ඉහත කරුණුවලින් පැහැදිලි විය යුතු ය. අනාගතයේ දී මුස්ලීම් සමාජයට අත්වන මෙම අවාසනාවන්ත ඉරණම මීට වසර 1400 කට පෙර දුටු ඉස්ලාම් එයින් ජනතාව වැළකී සිටීම පිණිස කරන ලද විවිධ වූ අවවාද හා අනුශාසනා අප ඉහතින් දුටුවෙමු. මීට අමතරව අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 18-103 හා 104 වාක්‍යයන් මඟින් මුස්ලීම් සමාජයට කරන තවත් අවවාදයක් මෙම ලිපිය අවසන් කිරීමට මත්තෙන් ගෙන එන්න අදහස් කරමි. එනම්,

“තම කාර්යයන්ගෙන් ඉමහත් පාඩු ලබන්නා කවුරුන් ද? යන්න මා නුඹලා හට දැනුම් දෙන්න ද?” යනුවෙන් (නබිතුමණි!) නුඹ (ඔවුන්ගෙන්) විමසන්න. “කවුරුන්ගේ උත්සාහයන් ලෞකික දිවිය තුලම නිෂ්ළුල වී තිබියදීත් තමා සැබැවින්ම යහපත් ක්‍රියාවන්ම ඉටු කරන බව සිතාගෙන සිටින්නේ ද? ඔවුන්ම ය.”

ශුද්ධ වූ කුර්ආනය 18-103 හා 104

අද ආගමික ඉගෙන්වීමන්ට (ශුද්ධ වූ කුර්ආනයට හා හදීසයට) පරිබාහිර බොහෝ කරුණු ඉස්ලාම් නමින් සමාජගත වී තිබෙනවා අප නිරන්තරයෙන් දකින්නෙමු. මුස්ලීම් නොවන ප්‍රජාව මේවා ද ඉස්ලාම් ලෙස අවබෝධ කරගෙන ඉස්ලාම් දහමට චෝදනාත්මකව ඇගිලි දිගු කරනවා අප නිරන්තරයෙන් දකින්නෙමු. වෙනත් ආකාරයකට පවසනවා නම් පිවිතුරු දහම ඔවුන්ගෙන් වසන් වී විකෘති දහමක් ඔවුන් හමුවේ අප නිර්මාණය කර ඇත්තෙමු. මේ පිළිබඳව දැන් හෝ සමාජය තුල සංවාදයන් ගොඩනැගිය යුතුව ඇත. හරි හා වැරදි දෑ සලකුණු කොට පෙන්විය යුතුව ඇත. මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් පවසනවා සේ

“මේකත් හොද දෙයක් නේ…”

යන්නට ඉස්ලාම් දහම තුල ඉඩ නොමැති බව පැහැදිලිවම වටහාගත යුතුව ඇත. දිව්‍ය සැලැස්මකට වඩා සාර්ථක සැලැස්මක් නිර්මාණය කිරීම හෝ දෙවියන් ලබා දුන් සැලැස්මට පරිබාහිරව හොද යැයි යමක් නිර්මාණය කිරීමට හෝ එක් කිරීමට තරම් බුද්ධියක්, ශක්තියක් මනුෂ්‍යා සතු නොවන බවත් මුස්ලීම්වරුන් වන අපගේ විශ්වාසයයි. එසේ නම් අවශ්‍ය වන්නේ පිළිගෙන සිටින එම විශ්වාසය ප්‍රායෝගිකව දිවිය තුල ක්‍රියාවට නැංවීම පමණි.

 

අබූ අර්ෂද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp