බක්කාවේ පිහිටා ඇති ලොව ප්‍රථම දෙව් මැදුර

0

ඉස්ලාම් දහම මුස්ලිම්වරයෙකු හට අනිවාර්ය යුතුකම් 05 ක් අවධාරනය කරයි. ඒ අතුරින් එකක් නම් “හජ්” වන්දනයයි. ඉස්ලාමීය දින දර්ශනයට අනුව “දුල්හජ්” මාසයේ (සම්මත දින දර්ශනය අනුව 2011 වර්ෂයේ එම මාසය ලබන්නේ ඔක්තොම්බර් මස අග භාගයේදී ය.) මෙම හජ් වන්දනය ඇරඹෙන අතර එහි දී සිදු කෙරෙන්නේ ලොව පුරා වෙසෙන මුස්ලිම්වරුන් (ඉස්ලාම් නියම කර ඇති) නියමිත දින කිහිපයේ මක්කා නම් නගරයේ පිහිටි “මස්ජිදුල් හරම්” (‘හරම්’ නම් දේවස්ථානය) වෙත ගොස් (ඉස්ලාම් පෙන්වාදෙන ආකාරයට) ආගමික කටයුතුවල නිරත වීමයි. මෙය සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්ය වන නමුත් එලෙස අනිවාර්ය වීම සදහා විවිධ කොන්දේසි ද සපුරා තිබිය යුතු බව ඉස්ලාම් පවසයි. (මේ පිළිබඳව ලිපියක් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට බලාපොරතේතු වෙමි) මෙලෙස හජ් වන්දනයේ නිරත වන, නිරත වූ එසේම මෙතෙක් එම ස්ථානයට නොගිය සෑම මුස්ලිම්වරයෙකු තුලම මෙන්ම ලොව පුරා සිටින මුස්ලීම් නොවන ප්‍රජාවගේ දැඩි අවධානයට ලක් වන විටෙක කුතුහලයක් පවා උපදවන සුවිශේෂි ගොඩනැඟිල්ලක් එහි දකින්නට ලැබේ. ඒ නමින් “ක:බාව” (kabah) නම් වූ කළු හතරැස් ගොඩනැඟිල්ලකි. මේ ගොඩනැඟිල්ල පිළිබඳව මුස්ලිම් නොවන සමාජයට පමණක් නොව මුස්ලිම් සමාජයේ බහුතරයකට පවා ඇත්තේ අවම වූ දැනුමකි. මේ හේතුව නිසා එම ගොඩනැඟිල්ල පිළිබඳව යහමඟ තුලින් පාඨක ඔබට කිසියම් අවබෝධයක් ලබා දීමට අදහස් කරමි.

සෑම වසරකම “දුල්හජ්” (ඉස්ලාමීය දින දර්ශනයට අනුව වර්ෂයේ අවසාන) මාසය ලබන විට මුස්ලිම් ප්‍රජාව හජ් වන්දනය සඳහා උනන්දු කරවන, හජ් වන්දනය කුමන ආකාරයට ඉටු කළ යුතුද යන්න පැහැදිලි කරන, එලෙස ඉටු කිරීමේ ඇති මහිමය පවසන බොහෝ ප්‍රචාරණයන් අසන්නට ලැබේ. එවන් බොහෝ ප්‍රචාරණයන් තුල ඉහතින් මා සඳහන් ගොඩනැඟිල්ල පිළිබඳව විස්තරයන් ඉදිරිපත් වන්නේ ඉතා අවම වශයෙනි. මේ හේතුව නිසාම මෙම ගොඩනැඟිල්ල වටා ගෙතුනු මිත්‍යාවන් පවා මුස්ලිම් සමාජය තුල පැවතීම අවාසනාවන්ත තත්වයකි. එපමණක් නොව මෙහි ඉතිහාසය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති මුස්ලිම් නොවන පිරිස් පවා මෙම “ක:බාව” (kabah) නම් ගොඩනැඟිල්ල හා එහි ඇති අනිකුත් ඉදි කිරීම් පදනම් කරගෙන විවිධ මතවාදයන් සමාජය තුල වැපිරීමට උත්සාහ කරන ආකාරය හාස්‍ය උපදවන විශ්මය ජනක තත්වයකි. විශේෂයෙන් පසුගිය කාලවල “මක්කාවේ ඇත්තේ බුදුන්ගේ පා සලකුණයි” යනුවෙන් ශ්‍රී ලාංකීය සමහරක් පිරිස් සිදු කළ පුළුල් ප්‍රචාරය එවැනි එක් නිදසුනකි. බෞද්ධ සාහිත්‍යයේ එන “මක්කම” නම් වචනයක් පදනම් කරගෙන මෙලෙස “හොර ඔප්පු ලියන්න උත්සාහ දරණ” පිරිසට නිසි පිළිතුරු බොහෝ පිරිස් විටින් විට (විශේෂයෙන් අන්තර්ජාලය තුල) ලබා දී තිබුන ද එවැනි ප්‍රචාරයන් හි අඩුවක් නම් නැත. කිසිදු පදනමකින් තොරව “මක්කම” නම් වචනයක් පමණක් පදනම් කරගෙන තර්කයන් ගොඩනඟන්න උත්සාහ කරන පිරිසට පිළිතුරු සැපයීමට මම උත්සාහ නොකරමි. මන්ද ඔවුනට මෙහි සෑබෑ තත්වය පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා ගැනීමේ අවංක උවමනාවක් ඇත්නම් ඒ සදහා අන්තර්ජාලය තුල බොහෝ ලිපි ඉදිරිපත් වී ඇති බැවිණි. නමුත් ‘යහමඟ’ කවදත් පාඨක ඔබගේ දැනුමට යමක් වැඩියෙන් ලබා දීමට උත්සාහ කරන වෙබ් අඩවියක් ලෙස පහත වීඩියෝව ඉදිරිපත් කරන්නේ බෞද්ධ විද්වතුන්ගේ පැහැදිලි කිරීමන්ට අනුව ඉහත වාදයන් කොතරම් බොළද මෙන්ම අනවබෝධයෙන් ඉදිරිපත් කරන අන්තවාදී තර්කයන් ද යන්න ඔබටම පහසුවෙන් අවබෝධ කරගැනීම පිණිස පමණි.

දැන් මෙම ලිපියෙහි ප්‍රධාන අරමුණ වන එම “ක:බාව” (kabah) නම් ගොඩනැඟිල්ල හා එහි ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කරමු. මෙහි දී මා ඉහත ගොඩනැඟිල්ල පිහිටි භූමියට “බක්කා” නම් වචනය භාවිත කිරීම ශ්‍රී ලාංකීය බහුතරයකට නොහුරු වචන භාවිතයක් වන්නට පුළුවන. එසේ තිබිය දී “ඇයි මා එසේ පවසන්නේ?” යන පැනයට දිය හැකි සරල හා නිවැරදිම විග්‍රහය නම්, ශුද්ධ වූ කුර්ආනය තුලින් අල්ලාහ් (දෙවියන්) පවා එම ස්ථානය ආමන්ත්‍රණය කොට ඇත්තේ “බක්කාව” යනුවෙන් වීමයි. ශුද්ධ වූ කුර්ආනයේ එකම එක ස්ථානයක එනම් 48-24 වාක්‍යයෙන් පමණක් එම ස්ථානය “මක්කාව” යනුවෙන් හදුන්වා දෙන අතර අනිකුත් සෑම තැනකදීම අල්ලාහ් දෙවියන් පවසන්නේ “බක්කාව” යනුවෙනි. මේ අනුව “බක්කා” හා “මක්කාව” යන නම් දෙකෙම භාවිතා කිරීමේ වරදක් නොමැති බවත් ඒ නම් දෙකින්ම හදුන්වන්නේ එකම ස්ථානය බවත් පැහැදිලිය. (ඒ අනුව මෙම ලිපිය ඉදිරියට වඩාත් හොදින් වටහා ගැනීම පිණිසත් මුස්ලීම් සමාජයේ පවතින අනවබෝධය යම්තාක් දුරකට අවම කරගැනීම සදහාත් මින් ඉදිරියට “බක්කා” යන යෙදුම භාවිතා කරමි.) මෙම “බක්කා” නම් යෙදුම ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ ස්ථානවල සදහන් වන බව මම ඉහතින් සඳහන් කළෙමි. ශුද්ධ වූ කුර්ආනයේ පමණක් නොව කිතුණු දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සලකන බයිබලයේ පවා එම ස්ථානය හදුන්වන්නේ “බක්කා” යන වචනයෙනි. (ශුද්ධ වූ කුර්ආනයේ සදහන් ආකාරයට බයිබලයේ සඳහන් වූයේ කොහොමද? යන කාරණය මා මෙතැන දී සදහන් නොකරන්නේ මෙම ලිපිය දීර්ඝ නොකිරීම සැලකිල්ලට ගෙන බැවින් ඒ පිළිබඳව වැඩි විස්තර සදහා මෙම අඩවිය තුල ඇති “ශුද්ධ වූ ග්‍රන්ථයන් හි වලංගුභාවය” යන ලිපිය කියවන්න)  ඒ අනුව කිතුණු බයිබලයේ සදහන් වන බව පවසන වාක්‍යය පහත ආකාරයට වේ.

“ඔවුහු වැලපීමේ බක්කා මිටියාවත මැදින් යමින් එය උල්පත් ඇති ඉඩමක් කරගනිති…”

(ගීතාවලිය 84-6)

මේ ආකාරයට බයිබලයේ පවා බක්කා යනුවෙන් සඳහන් වන මක්කාවේ පිහිටි එම ශුද්ධ වූ ස්ථානය පිළබඳව ශුද්ධ වූ කුර්ආනය පවසන්නේ කුමක් ද? යන්න අවධානය යොමු කළේ නම් එහි දී බොහෝ විග්‍රහයන් දක්නට ලැබේ. ඒ අතුරින් මෙම ලිපියට ඉතා වැදගත් යැයි හැඟෙන පාඨය නම්, ශුද්ධ වූ කුර්ආනයේ 3-96 වාක්‍යයේ අල්ලාහ් (දෙවියන්) පවසන පහත වාක්‍යයයි.

“(දෙවියන් නැමදුම් කිරීම පිණිස) මිනිසුන් උදෙසා වෙන් කරන ලද ප්‍රථම මැදුර සැබැවින්ම බක්කා වේ (මක්කාවේ) පිහිටා තිබේ….”

ඉහත වාක්‍යය හජ් සමයේ වැඩි වශයෙන් කථා වන කුර්ආන් වාක්‍යයක් වේ. එම වාක්‍යයේ අල්ලාහ් (දෙවියන්) එම ස්ථානය හදුන්වන්නේ “බක්කා” යනුවෙන් යන්නත් ඒ අනුව ඉහත මාගේ වචන භාවිතය වඩාත් සුදුසු වචන භාවිතයක් යන්නත් ඔබට පැහැදිලි විය යුතු ය. දැන් ඉහත ශුද්ධ වූ කුර්ආන් පාඨය වෙත තවදුරටත් අවධානය යොමු කලේ නම්, ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් (දෙවියන්) විසින් පවසන්නේ මෙම බක්කාවේ පිහිටි දෙව් මැදුර මිනිසුන් සඳහා ලොව ප්‍රථමයෙන් ඉදි කළ දෙව් මැදුර බවයි. ඒ මැදුර එනම් මක්කාවේ පිහිටා තිබෙන ඉහතින් මා සරලව හැදින් වූ “කළු පාටින් යුක්ත හතරැස් ගොඩනැගිල්ල” පිළිබඳව මුස්ලිම් සමාජයට පමණක් නොව අනිකුත් සමාජයන්ටත් කිසියම් සරල අවබෝධයක් නැතුවාම නොවේ. නමුත් මේ මැදුර සම්බන්ධයෙන් කුතුහලයන් ද බොහෝමයක් පවතිනවා යන්න සැබෑවයි. ඒ අනුව මෙම ස්ථානය හා එම ගොඩනැඟිල්ල පිළිබඳව කරුණු කිහිපයක් දැන් විමසා බලමු.

ඉහත 3-92 ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් (දෙවියන්) විසින් පවසන ආකාරයට මිනිසුන් නැමදුම් උදෙසා නිර්මාණය කළ ප්‍රථම මැදුර මෙම ගොඩනැගිල්ල නම් එය ප්‍රථම මිනිසා මෙන්ම වක්තෘවරයා වන ආදම් (අලෛ) තුමාගේ කාලය පටන් පැවත ආ යුතු ය. ඒ අනුව මෙම ගොඩනැගිල්ලට දීර්ඝ වූ ඉතිහාසයක් පවතින බව පැහැදිලිය. මේ හේතුව නිසා තමා ශුද්ධ වූ කුර්ආනයට පෙර ලොව ප්‍රකාශ වූ යේසූස් (ඊසා (අලෛ)) තුමාගේ දේශනවල පවා මේ පිළිබඳව සඳහන් වන්නේ යන්න සරලව ඔබට වටහාගත හැකි විය යුතු ය. මෙපමණ දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් වර්තමාන මුස්ලිම් නොවන සමාජයට පමණක් නොව මුස්ලිම් සමාජයට ද බොහෝ කුතුහලයන් ඇත. එවන් කුතුහලයන් කිහිපයක් පවසන්නේ නම්,

  • මෙම ගොඩනැඟිල්ලේ විකාශනය කෙසේ ද?
  • මෙහි ඇතුළත තිබෙන්නේ කුමක් ද?
  • මෙම ගොඩනැඟිල්ල හා බද්ධ වූ කරුණු මොනවා ද?
  • මෙය වටා හිඳ වන්දනා කටයුතුවල නිරත වන්නේ ඇයි ද?
  • මෙම ස්ථානයට මුස්ලීම්වරුන් වර්ෂයක් පාසා යාමට හේතුව කුමක් ද?

මෙම ලිපිය තුලින් වැඩි අවධානයක් යොමු කිරීමට අදහස් කරන්නේ පලමු හා දෙවන කාරණයටයි. (අනිකුත් කාරණයන් ඉදිරියේ දී සාකච්ඡා කිරීමට අදහස් කරමි) එනම් “කව්බා” නම් ඒ කළු පාටින් යුක්ත හතරැස් ගොඩනැඟිල්ලේ විකාශනය සම්බන්ධවයි. මේ පිළිබඳව සදහන් කරන්නේ නම් ඉහතින් අල්ලාහ් (දෙවියන්) සඳහන් කළා සේ මෙය “ගොඩනැගිල්ලකි”. සරල භාෂාවෙන් පවසනවා නම් මෙය “මුස්ලිම්වරුන් සඳහා නිර්මාණය කළ දේවස්ථානයක් (පල්ලියක්)” වර්තමානයේ මුස්ලිම්වරුන්ගේ දේවස්ථාන තුල වන්දනා කටයුතු සිදු කරනවා සේම අතීතයේ දී මෙම ගොඩනැඟිල්ල තුල වන්දනා කටයුතු සිදු කොට ඇත. එය මුහම්මද් (සල්) තුමාණන් මක්කා ජයග්‍රහණය ලබා ගත් මොහොතේ මෙම ගොඩනැඟිල්ල තුල වන්දනාවන් ඉටු කිරීම තුලින්ද මනාව පිළිඹිබු කරයි. මෙම ගොඩනැගිල්ලේ ප්‍රමාණය සදහන් කරන්නේ නම්, එය දිග මීටර් 13ක් පමණ වන අතර පලල මීටර් 12ක් පමණ වේ. වර්ග මීටර 155ක් පමණ වන එම ගොඩනැඟිල්ල තුල රැදී සිටිය හැක්කේ සීමිත පිරිසකට පමණි. නමුත් ඉස්ලාම් දහමේ සීඝ්‍ර වර්ධනයත්, ව්‍යාප්තියත් හේතු කොටගෙන එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා පසුකාලීනව එම ගොඩනැඟිල්ලෙන් පිටත එම වන්දනා කටයුතු සිදු කිරීම සිදු විය. අද දකින්නට තිබෙන්නේ එම තත්වයයි. මෙය සරලව අවබෝධ කරගැනීමට මෙහි කලින් කලට මෙම ගොඩනැඟිල්ල පිහිටි භූමිය විස්තීරණය (දියුණු) වූ ආකාරය දැක්වෙන මෙම පහත ඡායාරූප ඔබට ඉමහත් පිටුවහලක් වන අතර 2010 වර්ෂයේ හජ් වන්දනය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ 5500 බැතිමතුන් සංඛ්‍යාව එය තවත් හොදින් ඔබට තහවුරු කරනු ඇත.

මෙහි දී සියලු දෙනාගේ අවධානයට ලක් කළ යුතු කරුණක් ඇත. ඒ ඉහතින් මා එම ගොඩනැඟිල්ලේ දිග පලල සදහන් කළ ද එය එම ගොඩනැගිල්ල ආරම්භයේ සිට පැවති සෑබෑ තත්වය නොවන බවයි. අද මෙම ගොඩනැගිල්ල චතුරස්‍රරාකාර වුවත් එහි ආරම්භක ස්වරූපය එසේ නොවේ. එහි ආරම්භක ස්වරූපය එක් පැත්තක් අර්ධ වෘත්තාකාර වන අතර අනෙක් පැති තුන දැනට පවතින ආකාරයට වේ. නමුත් විවිධ කාලවල විවිධ පාර්ශවයන් මුස්ලීම්වරුන්ට එරෙහිව සිදු කළ යුධ ගැටුම්, විවිධ පාලකයන් විසින් තම අනන්‍යතාවය මේ තුලින් පිලිඹිබු කරමින් සිදු කළ ප්‍රතිසංස්කරණයන් හේතුවෙන් එය එහි සැබෑ ස්වරූපයෙන් මිදී අද වෙනත් ස්වරූපයක් ගෙන ඇත. ඒ පිළිබඳව කෙටි අවධානයක් යොමු කලේ නම්, මෙම ගොඩනැඟිල්ල මුහම්මද් (සල්) තුමාණන් ඉස්ලාම් දහම සමාජයට ප්‍රකාශ කිරීමට පෙර කාලයේ සිටම ජනතාවගේ ගෞරවයට හා පූජනීයත්වයට පාත්‍ර වූ ස්ථානයක් විය. (ඒ පිළිබඳව පහතින් සාකච්ඡා කරමි) ඒ අනුව කලින් කලට බැතිමතුන් විසින් මෙම මැදුර ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙසේ ප්‍රතිසංස්කරණයන්ට ලක් වෙමින් පැවත ආ මෙම ගොඩනැඟිල්ල (මුහම්මද් (සල්) තුමාණන් කුඩා අවධියේ) මක්කාවේ ජීවත් වූ ප්‍රභූවරයෙකු වන අබූ ජහ්ල් විසින් ද ප්‍රතිසංස්කරණය කරන ලදී. මොහු විසින් මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ දී එහි විවිධ වෙනස් කිරීමන් ද සිදු කරන ලදී. ඉන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

ගොඩනැඟිල්ල හැඩය වෙනස් කරන ලදී.

  • අද හරි හතරුස් ගොඩනැඟිල්ලක් ලෙස දක්නට තිබෙන මෙහි සැබෑ ස්වරූපය එක් පසක් අර්ධ වෘත්තාකරය. එදා අබූ ජහ්ල් විසින් මෙය ඉදි කිරීමේ දී අමුද්‍රව්‍ය සපයා ගැනීමට තිබූ අපහසුතාවය නිසා එය හතරැස් කර ඉදි කරන ලද අතර එහි කවාකාර කොටස අත්තිවාරම තරමක් උසට ඉදි කොට තබන ලදී (අදටත් මෙය දක්නට ඇත).

පිවිසුම් දොරටු වෙනස් කරන ලදී.

  • මෙම ගොඩනැඟිල්ලේ සැබෑ ස්වරූපයට අනුව පිවිසුම් දොරකඩවල් දෙකක් පැවතුණු අතර එම පිවිසුම් දොරටු පොළොව මට්ටමින් පැවතුණි. නමුත් ඉහත ප්‍රතිසංස්කරණයේ දී පිවිසුම් දොරටු එකක් පමණක් ඉදි කළ අතර එම පිවිසුම් දොරටු පොළොව මට්ටමින් ඉතා ඉහලට ඔසවා තබන ලදී.

මෙසේ විවිධ වෙනස් කිරීමන්ට ලක්ව පැවත ආ මෙම ගොඩනැඟිල්ලේ නැවත යථා තත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය පසුකාලීනව මුහම්මද් (සල්) තුමාණන්ට (දෙවියන්ගේ වක්තෘවරයා වුවාට පසුව) තිබුනද ඒ වන විටත් ආරම්භ කාල මුස්ලිම්වරුන්ගේ මෙන්ම මුස්ලීම් නොවන ප්‍රජාවගේත් ගෞරවය දිනා ගෙන තිබෙන මෙම ගොඩනැඟිල්ල මේ මොහොතේ කඩා බිඳ නැවත ඉදි කිරීමට යාම ජනතාවගේ සිත්තැවුලට හේතුවක් වන්නට පුළුවන් යයි සිතා එසේ නොකොට එලෙසම තබන ලදී. මෙසේ අද අප දකින ආකාරයට බොහෝ සේ සමාන ආකාරයට එදා පැවති එම ගොඩනැඟිල්ල හිජ්රි 60-70 (එනම් මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයෙන් වසර 50කට පමණ පසු, එනම් මීට වසර 1380 කට පෙර) දී මදීනාවේ පාලකයා වූ යෙසීzද් (රලි) සහ මක්කාවේ පාලකයා අබ්දුල්ලා ඉබුනු සුබෙයිර් (රලි) තුමා අතර ඇති වූ පරිපාලන ගැටුම හේතුවෙන් මෙම ගොඩනැඟිල්ලට බලවත් හානි සිදුවිය. එහි දී මක්කාවේ පාලකයා වශයෙන් සිටී අබ්දුල්ලා ඉබුනු සුබෙයිර් (රලි) තීරණය කලේ මෙම ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් කඩා ඉවත් කොට එහි සැබෑ ස්වරූපයෙන් එය නැවත ඉදි කිරීමට ය. ඒ අනුව එම ගොඩනැඟිල්ල එහි සැබෑ ස්වරූපයෙන්ම නැවත ඉදි කළ අතර ඔහු එහි එක් වෙනස් කිරීමක් (ආරම්භ ස්වරූපයට වඩා වෙනසක්) සිදු කරන ලදී. එනම් එම ගොඩනැඟිල්ලේ උස එහි නියම තත්වයට වඩා අඩි 15ක් වැඩිකරන ලදී. ඒ අනුව ගොඩනැඟිල්ලේ උස අඩි 42ක් වුණි. නමුත් මෙලෙස වෙනස් කිරීමන් සිදු කොට වසර කිහිපයකින් අබ්දුල්ලා ඉබුනු සුබෙයිර් (රලි) තුමා ඝාතනයට ලක් වූ අතර ඉන්පසුව මක්කාවේ පරිපාලනයට යෙදවූ හජ්ජාජ් ඉබුනු යූසුෆ් නැමැත්තා එවකට පාලකයා වශයෙන් සිටි මර්වාන් නැමැත්තා හට ලිපියකින් මෙම ගොඩනැගිල්ලට අබ්දුල්ලා ඉබුනු සුබෙයිර් (රලි) කර ඇති වෙනස් කිරීමන් පිළිබඳව දන්වා එය ඔහුට ගෞරවයක් ගෙන දීමට පුළුවන් නිසා එය වෙනස් කළ යුතු බවට යෝජනා කරන ලදී. ඒ අනුව අබ්දුල්ලා ඉබුනු සුබෙයිර් (රලි) විසින් යථා තත්වයට ගෙන එන ලද දොරටු දෙක නැවත එක් දොරටුවක් බවටත්, පොළොව මට්ටමේ පැවති දොරටු නැවත පොළොව මට්ටමින් ඉහල තැනකත් ඉදිකරන ලදී. එසේම අර්ධකවාකාරව පැවති කොටස ඉවත්කොට නැවත එම ගොඩනැඟිල්ල හතරැස් ආකාරයට ඉදි කරන ලදී. නමුත් අබ්දුල්ලා ඉබුනු සුබෙයිර් (රලි) තුමා විසින් වැඩි යමක් ලෙස එක් කළ ගොඩනැඟිල්ලේ උසේ වැඩිකිරීම වෙනස් නොකොට ඒ ආකාරයටම තබන ලදී. ඒ අනුව සිදු වූයේ මෙම ගොඩනැඟිල්ල තව තවත් යථා ස්වරූපයෙන් වෙනස් වීම පමණි. වර්තමානයේ අපට දක්නට ඇත්තේ මෙලෙස විවිධ වෙනස් කිරීමන්ට භාජනය වූ “කව්බතුල්ලා” නම් ගොඩනැඟිල්ලයි. මේ සියලු සිදුවීම් සවිස්තරාත්මකව මුස්ලීම් නම් ආගමික මූලාශ්‍රයේ 2371 හදීසයෙන් දැක ගත හැක.

ඉහත වීඩියෝව මඟින් එම ගොඩනැගිල්ලේ බාහිර හා අභ්‍යන්තර විවිධ පැතිකඩ 3D ආකාරයට ඔබට ඉදිරිපත් කොට ඇති අතර මෙහි පහතින් දැක්වෙන්නේ එම ගොඩනැඟිල්ලේ සැබෑ පිඹුරුපත් සැලැස්මයි.

ක:බාවේ සැලැස්ම

ක:බාවේ සැලැස්ම

ඒ අනුව වර්තමානයේ අපට දක්නට තිබෙන මෙම ගොඩනැඟිල්ල එහි සැබෑ ස්වරූපය නැවත ලබා ගන්නට නම්, එහි පහත සංශෝධනයන් සිදු විය යුතු ය. එනම්,

  • ගොඩනැඟිල්ලේ උස අඩි 15 කින් අඩුවිය යුතුය.
  • පිවිසුම් දොරටුව දැනට උස් මට්ටමක පවතින අතර එය පොළොව මට්ටමට පහත් කළ යුතු ය.
  • එක් පැත්තක් අර්ධ කවාකාර කොට නැවත ඉදි කළ යුතු ය.

මෙහි දී සදහන් කළ යුතු තවත් මූලික කාරණයක් නම් ඉහත සංශෝධනයන් යන්න එහි අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ යන්නයි. නමුත් එය එහි ආරම්භක ස්වරූපයෙන් නැවතත් සකස් කළ හැකි නම් එහි පෞරාණික වශයෙන් ඇති වටිනාකම ඉහල නැංවීමකි. ඒ කෙසේ වෙතත් මෙම කාරණයන් මුස්ලීම් ප්‍රජාව දැන සිටීම නම් අත්‍යාවශ්‍ය කාරණයක් වේ. මක් නිසාද යත් දෙවියන් වන්දනාමාන කිරීම උදෙසා මිනිසුන් සදහා පොළොව මත ඉදි කළ මුල්ම මැදුර පිළිබඳව මිනිස් සමාජයට නිසි අවබෝධයක් නොමැති වීම යන්න අවාසනාවන්ත තත්වයක් වන නිසාම පමණක් නොව හජ් වන්දනයේ දී මෙම වෙනස් කිරීමන් පිළිබඳව අවබෝධයක් නොමැති විට විශේෂයෙන් “තවාෆ්” කිරීමේ දී වර්තමාන ස්වරූපය නොව ආරම්භක ස්වරූපය වැදගත් වන නිසා ය. එපමණක් නොව ඉස්ලාම් දහමේ ශුද්ධත්වයෙන් සැලකිය හැකි දේවස්ථාන ඇත්තේ 03ක් පමණි. එනම්,

මස්ජිදුල් හරාම් (ක:බාව)

මස්ජිදුල් හරාම් (ක:බාව)

මස්ජිදුල් නබවි

මස්ජිදුල් නබවි

මස්ජිදුල් අක්සා

මස්ජිදුල් අක්සා

කිසියම් මුස්ලීම්වරයෙකු කුසලක් අපේක්ෂාවෙන් දේවස්ථානයක් කරා ගමන් කරන්නේ නම් එලෙස යාමට හැක්කේ ඉහත දේවස්ථාන තුනට පමණි. එය පහත හදීසය තුලින් ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකි වේ.

“කුසල් අපේක්ෂාවෙන් දේවස්ථාන තුනක් හැර වෙන කිසිදු (දේව) ස්ථානයකට ගමන් නොකළ යුතු ය. එනම් 1. මස්ජිදුල් හරාම් (ක:බාව), 2. මස්ජිදුල් නබවි, 3. මස්ජිදුල් අක්සා යනුවෙන් නබිතුමාණන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඒ අනුව ද මෙම දේවස්ථානය පිළිබඳව මුස්ලිම් සමාජය දැනගෙන සිටීම අත්‍යාවශ්‍ය වේ. ශ්‍රී ලාංකීය සමාජය තුල ජීවත් වන මුස්ලීම්වරුන් අතර පවා විවිධ දේවස්ථාන පිළිබඳව නොයෙක් විශ්වාසයන් පවතී. උදාහරණයක් ලෙස දෙමටගහ තිබෙන මුස්ලිම් දේවස්ථානය එවැනි එක් නිදසුනකි. මේවා ශුද්ධ වූ දේවස්ථාන ලෙස සලකා මුස්ලිම්වරුන් ක්‍රියා කිරීම ඔවුන්ගේ අනවබෝධය බව ඉහත හදීසය තුලින් අවබෝධ කර ගත යුතු ය. ඒ අනුව සැලකුවද මක්කාවේ පිහිටි මෙම ගොඩනැඟිල්ල පිළිබඳව මුස්ලිම් සමාජයට පූර්ණ අවබෝධයක් පැවතිය යුතු යන්න මාගේ විශ්වාසයයි. එපමණක් නොව ලොව ඕනෑම තැනක ජීවත් වන මුස්ලිම්වරයෙකු “සලාතය” (දිනපතා පස් වතාවක් ඉටු කරන නැමදුම) ඉටු කිරීමේ දී ඔහු මුහුණලා සිට ගත යුත්තේ මෙම ගොඩනැගිල්ලට සම්මුඛව ය. එම දිශාව “කිබ්ලා” යනුවෙන් හදුන්වයි. ඒ අනුව ලොව සෑම මුස්ලිම් දේවස්ථානයක්ම ඉදිකොට ඇත්තේ මක්කාවේ පිහිටි මෙම ගොඩනැගිල්ලට සම්මුඛව ය. මෙහි සමීපතම අවස්ථාව තමා ඉහත ගොඩනැඟිල්ල ආසන්නයේ සිට නැමදුම් ඉටු කිරීම එවිට එම ගොඩනැගිල්ල වටා සිට වන්දනයේ නිරත වීම ඔබේ දැනුමට අලුත් කාරණයක් නොවනු ඇත.

මෙහිදී සමාජයේ පවතින එක්තරා වැරදි අවබෝධයක් නිවැරදි කළ යුතු ව ඇත. එනම් මුස්ලීම් නොවන බොහෝ පිරිස් අවබෝධ කරගෙන සිටින්නේ මුස්ලීම් බැතිමතුන් මෙම ගොඩනැඟිල්ලට වන්දනා මාන කරන බවටයි. මෙය සම්පූර්ණයෙන් වැරදි වටහා ගැනීමකි. එනම් මෙම ගොඩනැගිල්ල වටා මුස්ලිම් බැතිමතුන් හිඳ සිදු කරන්නේ මෙම ගොඩනැඟිල්ල වන්දනය කිරීමක් නොවේ. සමස්ථ මුස්ලිම් සමාජය තුලම ඒකාකාර පිළිවෙලක් ඇති කිරීම සදහා ඉස්ලාම් මෙවැනි ක්‍රමවේදයක් පෙන්වා දෙන අතර ඉස්ලාමීය ආරම්භ කාලයේ පටන් ඒ සඳහා මෙම දේවස්ථානය (දිශාව) භාවිත නොවුණි. වර්තමානයේ ලොව ප්‍රථම දේවස්ථානය වන ගොඩනැගිල්ල භාවිත වුවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ (ඉස්ලාමීය) ආරම්භ කාලය දක්වා ජනතාව නැමදුම් කිරීමේ දී එහි දිශාව වශයෙන් යොදා ගත්තේ පලස්තීනයේ පිහිටා තිබෙන “අල් අක්සා” නම් දේවස්ථානයයි. (මෙහි දැක්වෙන්නේ එම දේවස්ථානයයි.) නමුත් මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේ එය මක්කාවේ පිහිටි ඉහත ගොඩනැගිල්ල ලෙස වෙනස් කරන ලදී. මේ අනුව මෙය එම ගොඩනැගිල්ලට කරනු ලබන වන්දනයක් නොවන අතර එහිදී සිදු කරනු ලබන්නේ සමස්ථ ප්‍රජාවම එකම අරමුණක් කරා පෙලගැසීමක් පමණි. මෙය සරලව පවසනවා නම් කිසියම් සමුළුවක් හෝ සාමූහික කටයුත්තක ආගමික කටයුතුවල නිරතවෙද්දී සියලු දෙනා එකම දිශාවකට සිටිනවා මිස හිස හැරුණු හැරුණු අත සිටින්නේ නැත. එහිදී එම දිශාවට පිහිටා ඇති කිසියම් වස්තුවකට වන්දනා කරනවා යන්න එයින් අදහස් නොවේ.  මෙය සාමාන්‍ය බුද්ධිය පවා පිළිගන්නා සරල කාරණයකි. එම සරල පිළිවෙල සමස්ථ ලෝක ප්‍රජාවටම ඉස්ලාම් අවධාරණය කිරීමක් මෙහි දී සිදු කරනු ලබයි. එසේ නොමැතිව ලොව අනිකුත් ආගම්වල කිසියම් සංකේතයක් තබාගෙන එයට වන්දනා මාන කරනවා සේ මෙය මුස්ලිම් සමාජය ද වන්දනාමාන කිරීම සදහා යොදා ගත් තවත් සංකේතයක් සලකුණක් නොවේ. මේ අනුව මෙම ගොඩනැඟිල්ල පිළිබඳව ඔබට කිසියම් අවබෝධයක් ලැබී ඇතැයි විශ්වාස කරමි.

මේ සමඟම මතු වන දෙවන කාරණය තමා “මෙම ගොඩනැඟිල්ල තුල තිබෙන්නේ කුමක් ද?” යන කාරණය. මෙය අන්‍ය ආගමික පිරිසට පමණක් නොව මුස්ලීම් සමාජයේ ද බහුතරයකට තිබෙන කුතුහලයකි. ඒ පිළිබඳව ද කෙටි විමසුමක් සිදු කලේ නම්, මා මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළා සේ මෙය මුස්ලිම්වරුන්ගේ දේවස්ථානයකි. එසේ නම් ලොව සෑම මුස්ලිම් දේවස්ථානයකම පවතින දෑ ‍මෙය තුලත් පැවතිය යුතු ය. මුස්ලීම් දේවස්ථානයක් තුල තිබෙන්නේ කුමක් ද? යන්න මුස්ලිම් සමාජය හොදින් දනී. මෙයට දිය හැකි සරල පිලිතුර නම් “කිසිවක් නැත” යන්නයි. තවත් පැහැදිලි ලෙස පවසනවා නම්, බිත්ති හතරකින් වට වූ වහලක් සහිත ගොඩනැඟිල්ලක් වන අතර සමහරක් අවස්ථාවල වහල සවිකිරීමේ පහසුව සදහා එහි අභ්‍යන්තරයේ ඉදිකල කනු කිහිපයක් පමණි. මීට අමතරව කිසිදු ආකාරයක රූප, පිලිම හෝ වෙනයම් වස්තුවක් එහි නොතිබෙන අතර එලෙස පූජනීය ලෙස සලකා කිසිවක් තැබීම ද ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව පාපයක් වේ. ඒ අනුව ඉහත සදහන් ගොඩනැඟිල්ල තුල ද කනු කිහිපයක් හැර වෙන කිසිවක් දක්නට නොලැබේ. එය ඔබට මෙහි ඇති රූප රාමු තුලින් මෙන් ම ඉහතින් ඉදිරිපත් කොට ඇති වීඩියෝ දර්ශනය තුලින් ද දැක ගත හැක.

ක:බාව ඇතුලත

ක:බාව ඇතුලත

මේ අනුව එහි අභ්‍යන්තරයේ කිසිදු ආකාරයේ පූජනීය වස්තුවක් නොමැති අතර ඇත්තේ වහල සවි වීමට යොදා ඇති කුළුණු 03 ක් පමණක් යන්න ඔබට පැහැදිලි විය යුතු ය. දැන් ඔබට මතුවිය හැකි මීලඟ ගැටළු තමා “මෙහි කිසිදු දිව්‍යමය අංගයක් හෝ වස්තුවත් නොවේ නම් ඇයි ලොව පුරා සිටින මුස්ලීම්වරුන් එම ස්ථානයට රොක්වන්නේ.” මෙය තරමක් පුළුල්ව කථා කළ යුතු මාතෘකාවකි. ඒ පිළිබඳව ඉදිරියේ දී දීර්ඝ ලිපියක් මෙම අඩවිය තුල ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බැවින් මෙහිදී සරල විග්‍රහයක් කරන්නේ නම්,

මා මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළා සේ අල්ලාහ් (දෙවියන්) විසින් මුස්ලිම් සමාජයට කරුණු 05ක් (කොන්දේසි සහිතව) අනිවාර්ය කොට ඇත. එයින් එකක් තමා “හජ්” වන්දනයේ නිරත වීම. මෙහි දී ලොව පුරා සිටින මුස්ලිම්වරුන් එකම දිනයක මක්කාවේ පිහිටි ඉහත දේවස්ථානය හමුවේ එක් වී මෙම වන්දනයේ නිරත වීම සිදු වේ. මෙවැනි වන්දනා රටාවක් මුහම්මද් (සල්) තුමාණන්ටත් පෙර සිටම ලොව පැවතුණු අතර එය විවිධ කාලවල විවිධ ස්වරූපයන් ගැණුනු බව ඉතිහාසයේ සඳහන් වේ. මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේ පවා මෙම ගොඩනැගිල්ල තුල විවිධ පිළිරූ තබා (විශේෂයෙන් පෙර කාලවල ජීවත් වූ ශාස්තෘවරුන්ගේ) ඒවා වන්දනාමාන කරන ලදී. එහිදී මෙම ගොඩනැඟිල්ල නිරුවතින් වන්දනා කිරීමේ චාරිත්‍රයක් ද එම සමාජයේ පැවතුණි. මෙය ඉස්ලාමීය මුලාශ්‍රයන් තුල පවා සඳහන් වේ. මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් (දෙවියන්)ගේ වක්තෘවරයාණන් වූ පසු ඉහත ආකාරයේ වූ මිත්‍යාවන් තුල ගිලී පැවති එම සමාජය එම තත්වයෙන් මුදවාගෙන එම ගොඩනැඟිල්ල තුල තිබූ සියලු පිලිම ඉවත් කොට නිරුවතින් දෙවියන් වන්දනාමාන කිරීම ද තහනම් කරන ලදී. මේ තුලින් ද පැහැදිලි වන්නේ මෙම ගොඩනැඟිල්ල මූලික කරගෙන සිදු කරනු ලබන වන්දනාමානවලට දීර්ඝ ඉතිහාසයක් පැවති බව නොවේ ද? එය වඩාත් හොදින් තහවුරු වන කථා පුවතක් ශුද්ධ වූ කුර්ආනය මඟින් අල්ලාහ් දෙවියන් පවසයි. ඒ ඉතිහාසගත ශ්‍රේෂ්ඨ වක්තෘවරයෙකු වන ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන් පිළිබඳවයි. මෙතුමාණන් මුහම්මද් (සල්) තුමාණන්ටත් බොහෝ කලකට පෙර (එනම් ක්‍රි:පූ: 2100 දී පමණ) ජීවත් වූ ශ්‍රේෂ්ඨ දේව වක්තෘවරයෙකි. මෙහිදී එතුමාණන් ශ්‍රේෂ්ඨ වක්තෘවරයෙකු ලෙස මා සඳහන් කිරීමට හේතුවක් ඇත. එනම් අල්ලාහ් (දෙවියන්) එතුමාණන් ව තම මිත්‍රයා යනුවෙන් ශුද්ධ වූ කුර්ආනයේ 4-125 වාක්‍යයෙන් හදුන්වා දීමයි. මෙතුමාණන් හැර වෙන කිසිදු වක්තෘවරයෙකු අල්ලාහ් (දෙවියන්) තම “මිත්‍රයා” යන ගෞරවය ලබා දුන්නේ නැත. මෙපමණ ශ්‍රෙෂ්ඨත්වයක් එතුමාණන්ට හිමි වූයේ ඇයි ද? යන්න ඉදිරියේදී දීර්ඝ ලෙස සාකච්චා කිරීමට අපේක්ෂා කරන නිසා එය කෙටියෙන් මෙහි සිදු කලේ නම්,

එවකට එනම් ක්‍රි:පූ: 2100 දී පමණ දෙවියන්ගේ වක්තෘවරයෙකු ලෙස තෝරා පත් වන ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමා තම කාල වකවානුව තුල ඉස්ලාම් දහම වෙනුවෙන් මහත් කැපකිරීමන් සිදු කරමින් දහම් ප්‍රචාරයේ නිරත විය. මේ නිසාම එතුමාණන් හට විවිධ තාඩන පීඩන හා හිංසනයන්ට ද ගොදුරු වීමට සිදු විය. ඒ කිසිවක් හමුවේ නොසැලී ඉස්ලාම් දහම ප්‍රචාරයේ නිරත වූ එතුමාණන් දේව නියෝගය පරිඳි ඒ වන විටත් නටඹුන්ව පැවතුණු ඉහත ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරන ලදී. එය ශුද්ධ වූ කුර්ආනයේ 2-127, 14-35, හා 22-26 යන වාක්‍යයන් මඟින් විස්තර කෙරේ. මේ ආකාරයට ඉහත ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කළ එතුමාණන් හට එහි අවසානයේ එක්තරා ප්‍රාර්ථනාවක් (ආරාධනාවක්) කරන ලෙස අල්ලාහ් (දෙවියන්) අණ කරන ලදී. එය ශුද්ධ වූ කුර්ආනයේ 22-27 වාක්‍යය මඟින් මෙසේ පැවසේ.

“මනුෂ්‍යයනට හජ් කිරීමට අඬ ගසනු!”

ඉහත ආකාරයට ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන් කල ආරාධනාවට අනුව මෙම හජ් වන්දනය සඳහා සෑම (සුදුසුකම් සපුරා ඇති) මුස්ලිම්වරයෙකුම එහි යෑම අනිවාර්ය විය. එපමණක් නොව අද හජ් වන්දනය යනුවෙන් මුස්ලීම්වරුන් මක්කාවට ගොස් සිදු කරන්නේ නබි ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමා එදා තම ජීවිතයේ මුහුණ දුන් සුවිශේෂී අවස්ථාවන් කිහිපයක් සලකුණු වශයෙන් ක්‍රියාවට නැංවීමයි. (මෙය දීර්ඝ වශයෙන් කථා කළ යුතු එසේම සෑම මුස්ලීම්වරයෙකුම පාහේ හොඳින් දැන සිටින ඉතිහාසයක් නිසා එම මාතෘකාව තුලට මෙහිදී මා නොයමි) මේ අනුව මුස්ලිම්වරුන් හජ් වන්දනය සදහා යන එම ස්ථානයේ පිහිටී ගොඩනැඟිල්ල කුමක් ද? යන්නත්, එහි සැබෑ ස්වරූපය හා විකාශනය කුමක් ද? යන්නත්, එහි අභ්‍යන්තරයේ තිබෙන්නේ කුමක් ද? යන්නත්, දැන් ඔබට පැහැදිලි විය යුතු ය. එනමුත් මෙම ගොඩනැඟිල්ල හා බද්ධව පවතින තවත් ස්ථාන කිහිපයක් පිළිබඳව කෙටි හැදින්වීමක් සිදු කිරීම මෙම මාතෘකාවට වඩාත් හොඳ සාධාරණයක් ඉටු කිරීමක් යැයි සිතන නිසා අවසාන වශයෙන් එවැනි කරුණු කිහිපයක් මෙහි පහතින් කෙටියෙන් ඉදිරිපත් කරමි.

“හජ්රුල් අස්වද්” ගල

එකම දෙවියා වන අල්ලාහ් (දෙවියන්)ට පමණක් වන්දනාමාන කරන බව පවසමින් මක්කාවේ ඉහත ගොඩනැඟිල්ලේ එක් ස්ථානයක තැන්පත් කොට ඇති එක්තරා ගලකට මුස්ලිම්වරුන් වන්දනා කරන්නේ ඇයි ද? යන ප්‍රශ්නය මුස්ලිම් නොවන බහුතරයක් මතු කරයි. මුස්ලිම් නොවන පිරිස් පමණක් නොව මුස්ලිම් සමාජයේ පවා සුළු පිරිසක් මෙය වන්දනා මාන කිරීමට අවශ්‍ය යැයි අවබෝධ කරගෙන සිටී. මේ හේතුව නිසා මෙම “ගල” පිළිබඳව කෙටි හැදින්වීමක් කරන්නට අදහස් කරමි.

ප්‍රථමයෙන් ඉස්ලාමීය දෘෂ්ඨි කෝණයෙන් මෙම “ගල”ට ඇති විශේෂත්වය කුමක් ද? යන්න පිළිබඳව අවධානය යොමු කලේ නම්, මේ මිහිමත ස්වර්ගයෙන් පහල වූ කිසියම් වස්තුවක් ඇත්නම් ඒ මෙම “ගල” පමණි. මේ හේතුව නිසා මෙම වස්තුව කෙරෙහි ජනතා ආකර්ශනයක් පැවතීමත්, එය නැරඹීමටත්, ස්පර්ශ කිරීමටත්, සිපගැනීමටත් ජනතාව උනන්දු වීම අරුමයක් නොවේ. මෙම තත්වය දකින පිටස්තර පුද්ගලයෙකු සිතන්නේ මුස්ලීම් සමාජය මෙම “ගල” වන්දනා කරන බවයි. මෙය සම්පූර්ණයෙන්ම වැරදි වැටහීමකි. එපමණක් නොව කිසිවකු එලෙස ක්‍රියා කලේ නම් එය ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව මහා පාපයකි. මේ අනුව මෙම “ගල” පිළිබඳව මුස්ලිම් ජනතාව උනන්දුවක් දක්වනනේ ඇයි ද? යන්න ඔබට පහසුවෙන් වටහාගත හැකි වනු ඇත. මෙම තත්වය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ඉතිහාසගත සිදු වීමක් ඔබගේ අවධානයට යොමු කරන්නට කැමැත්තෙමි. එය මෙසේ ය.

“ඉස්ලාමීය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ සහාභිවරයෙකු (නබිතුමාගේ සමකාලීන අනුගාමිකයෙකු) වන උමර් (රලි) තුමාණන් දිනක් මෙම ‘ගල’ දෙසා බලා පැවසූ වදන ඉතා වැදගත් වේ. එනම්, දිනක් මෙම ‘ගල’ සිප ගැනීමෙන් අනතුරුව ඒ දෙස බලා ‘නුඹ ගලක් බව මම දනිමි. නුඹට කිසිදු යහපතක් හෝ අයහපතක් (මා හට) සිදු කිරීමට නොහැකි බවත් මම දනිමි. නබිතුමාණන් නුඹව සිප ගන්නවා මා නොදුටුවේ නම් මා කිසිදු දවසක ඔබව සිප නොගන්නට තිබුණි’ යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථ – බුහාරී, මුස්ලිම්, අහ්මද්, නසායි, අබූදාවූද්…

මෙම “ගල” සම්බන්ධයෙන් නබිතුමාණන් මඟින් ආදර්ශ ලද ශ්‍රේෂ්ඨ සහාභිවරුන්ගේ ස්ථාවරය දැන් ඔබට පැහැදිලි විය යුතු ය. මෙහිදී සඳහන් කළ යුතු තවත් කාරණයක් ඇත. එනම් මෙය මහා විශාල ගලක් නොවන බවයි. මෙය සාමාන්‍ය ප්‍රමාණයේ ගලක් ලෙස මුල් කාලයේ පැවති අතර හිජ්රි 312 දී (ක්‍රි: ව: 891) දී ඉහත කව්බාවට එල්ල වූ ප්‍රහාරයක් නිසා මෙම ගල කෑලි කිහිපයකට කැඩී ගියේය. ඒ අනුව මෙම ගල තවදුරටත් සංරක්ෂණය කිරීම සදහා වර්තමානයේ එම ගල වටා ඇලුමීනියම් ආවරණයක් යොදා ඇත.

හජ්රුල් අස්වද් ගල

හජ්රුල් අස්වද් ගල

සැබෑ වර්ණය හා කළු රෙද්ද

මෙම ගොඩනැඟිල්ල ලොව පුරා ජනප්‍රිය වී ඇත්තේ කළු වර්ණයෙන් යුක්ත ගොඩනැඟිල්ලක් ලෙසය. නමුත් සැබැවින්ම එහි වර්ණය කළු නොවේ. එම ගොඩනැඟිල්ල ආවර්ණය කිරීම සදහා භාවිත කරන ආවර්ණකය කළු පාටින් යුක්ත නිසා මෙය කළු වර්ණයෙන් දිස් වේ. සැබැවින්ම එය සාමාන්‍ය ගඩොලෙන් බැඳි ගොඩනැඟිල්ලක් නිසා එහි සැබෑ වර්ණය ගඩොලේ වර්ණය වේ.

ක:බාව ආවරණ රහිතව

ක:බාව ආවරණ රහිතව

මකාමුල් ඉබ්‍රාහීම්

මුහම්මද් (සල්) තුමාණන්ට බොහෝ කලකට පෙර ජිවත් වූ ශ්‍රේෂ්ඨ වක්තෘවරයෙකු වන ඉබ්බාහීම් (අලෛ) තුමාණන් මෙම කව්බා (නම් ගොඩනැඟිල්ල) ප්‍රතිසංස්කරණය කිරීමේ දී එහි රැඳී සිටී ස්ථානය මේ නමින් හදුන්වන අතර එය අද වන විට ඉතා අලංකාර කූඩුවකින් ආවර්ණය කොට එම ස්ථානය සංරක්ෂණය කොට ඇත. එය මෙහි ඇති රූප රාමු තුලින් දැක ගත හැක. (මේ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේ දී බලාපොරොත්තු වන්න)

මකාමු ඉබ්‍රාහීම්

මකාමු ඉබ්‍රාහීම්

අර්ධ කවය

ඉහත සඳහන් ගොඩනැඟිල්ල ආසන්නයේ අර්ධ කවාකාර කොටසක් ඇති බවත් එය කුමක් ද? යන්නත් ඉහත ලිපියෙන් යම්තාක් දුරකට පැහැදිලි කොට ඇත. (මේ පිළිබඳව ඉදිරි ලිපිවලට සාකච්ඡා කිරීමට අදහස් කරමි) මෙහි රූප සටහනින් එය පැහැදිලි ලෙස වටහා ගත හැක.

ඉහත ලිපිය තුලින් ලොව ප්‍රථම දෙව් මැදුර මෙන්ම මක්කාවේ පිහිටි ශුද්ධ වූ දේවස්ථානය වන “ක:බාව” පිළිබඳව කිසියම් දැනුමක් ඔබට ලබා දී ඇතැයි සිතමි. එසේම ඒ අවට භෞතික ස්වභාවයන් යම්තාක් දුරකට පැහැදිලි කළා යැයි ද සිතමි. ඉදිරියේ දී මේ දෙව් මැදුර හා පදනම් වූ වතාවත් හා ඒ තුලින් ඉස්ලාම් දහම මුස්ලිම් සමාජය තුලින් අපේක්ෂා කරන වෙනස පිළිබඳව සාකච්ඡා කිරීමට අදහස් කරමි.

 

අබූ අර්ෂද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp