බහුවිවාහය සමාජ අවශ්‍යතාවයක්ද?

1

මනුෂ්‍ය දිවියේ ප්‍රධාන සංධිස්ථානයක් ලෙස යුගදිවියට එළඹීම සදහන් කලහැක. ශිෂ්ටසම්පන්න සමාජයක විවාහය යන්න මූලික අවශ්‍යතාවයකි. කෙසේ නමුත් ඉස්ලාම් පවසන මෙම විවාහ නීතිරීති සම්බන්ධයෙන් සමාජයේ බහුතරයකට ඇත්තේ තරමක සංකීර්ණ ගැටළු මෙන්ම අසතුටුදායක ආකල්පයන්ය. විශේෂයෙන් “බහුවිවාහය” සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයට පවා තවම ඇත්තේ සීමිත අවබෝධයක් පමණි. ඒ අනුව ඉස්ලාම් දහමට එරෙහිව නැඟෙන චෝදනා අතර පිරිමීන් සදහා විවාහ 04 ක් සිදුකර ගැනීමට අවසර ලබාදී ඇති කාරණය ද ප්‍රධාන තැනක් ගනී. ඉස්ලාම් කාන්තාව සම්බන්ධයෙන් පිරිමින්ට සාපේක්ෂව ඇය පහත් කොට සලකනවා යන්න මෙම චෝදනාවේ හරයයි. සැබැවින්ම ඉස්ලාම් කාන්තාව හා පිරිමියා අතර මෙවැනි උස්පහත් භේදයක් අනුගමනය කරනවාද? යන කාරණය මෙම යහමඟ අඩවිය තුල මීට ඉහත “කාන්තාවට හිමිවිය යුත්තේ සමතැනද? නිසිතැනද?” යන මාතෘකාව ඔස්සේ සාකච්චා කර ඇත. එසේ නමුත් ශ්‍රී ලාංකීය සමාජයේ ඉස්ලාම් දහමට එරෙහිව සංවාදයට ගැනෙන දැඩි මතවාදාත්මක මාතෘකා අතර “ඉස්ලාම් පිරිමීන් සදහා ලබාදෙන බහුවිවාහ අයිතිය” ද එකක් වන නිසා මෙම විෂය තරමක් ගැඹුරින් කථා කිරීම කාලීන අවශ්‍යතාවයකි.

ඒ අනුව මෙම විෂය වඩාත් හොදින් පැහැදිලි කරගැනීම සදහා එම මාතෘකාව විවිධ පැතිකඩ ඔස්සේ කථා කිරීමට අදහස් කරමි. එනම්,

බහුවිවාහය හා සමාජ සම්ප්‍රදාය

මීට වසර 1400 කට පමණ පෙර මිනිස් සමාජයට ඉහත සදහන් පිරිමි පාර්ශවය සදහා බහුවිවාහ නීතිය ඉස්ලාම් දහම තුල ප්‍රකාශ වුවත් ඊට පෙර සමාජවල පවා බහුවිවාහය විවිධ සම්ප්‍රදායක ක්‍රම ඔස්සේ ක්‍රියාත්මක වූ බවට ඉතිහාසගත පැහැදිලි සාක්ෂීන් දක්නට ඇත. එය කොතරම් අතීතයකට දිවයනවාද යන්න පවසනවා නම් අදටත් සමාජයේ බහුතරයක් පිලිපදින ඉපැරණි හින්දු දෙවිවරුන් සදහා බිරින්දෑවරුන් කිහිපදෙනෙකු සිටී බවට සමාජ විශ්වාසයන් මෙන්ම ඒ ඔස්සේ ගොඩනැඟුණු පුරාවෘත්තයන් ද සාක්ෂි දරයි. එපමණක් නොව ලොව බහුතරය නියෝජනය කරන කිතුණු දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන බයිබලය සැලකුවද එහි දේව වක්තෘවරුන් බොහෝමයක් බහුවිවාහය සිදුකොට සිටී බවට සදහන් වේ. ආගමික ඉගෙන්වීමන් හි එලෙස පවතින විට සමාජ සම්ප්‍රදායන් තුල ද මෙය ඊට දෙවැනි වී නැත. අතිතයේ ජීවත් වූ ලොව ජනප්‍රිය රජවරුන් හා පාලකයන් සදහා බිරින්දෑවරුන් හා අන්ත‍:පුරයන් පවතී බවට බොහෝ සාක්ෂීන් ඉතිහාසයේ දක්නට ඇත. විශේෂයෙන් ශ්‍රී ලාංකීක බෞද්ධයන්ට විශේෂිත වූ සිදුහත් කුමරා (පසුකාලිනව ගෞතම බුදුන්) රජ මාලිගාවේ රදවා තබා ගැනීම සදහා තම පියා (සුද්දෝදන රජු) විසින් විශාල අන්ත:පුරයක් එතුමාණන්ට නිර්මාණය කරදී තිබූ බවට ද ඉතිහාසගත තොරතුරු පවසයි. ලෝකයා සම්බන්ධයෙන් පමණක් නොව අපේ රට පදනම් කරගෙන මෙම විෂය විමසා බැලුවත් විවිධ රජවරුන් සදහා බිරින්දෑවරුන් මෙන්ම අන්ත:පුරයන්ද පැවතී බවට ඉතිහාසගත සාක්ෂි දක්නට ලැබේ. මීට අමතරව ශ්‍රී ලාංකීය සමාජය තුල “එකගෙයි කෑම” සම්ප්‍රදාය (එනම් එක් කාන්තාවක් සහෝදරයන් කිහිපදෙනෙකු විවාහ කරගැනීම) ද පැවතී බවට ඉතිහාසගත තොරතුරු එලිකරයි. මේ ආකාරයට සමාජ සම්ප්‍රදායන් ලෙස වෙනත් ආකාරයකට පවසනවා නම් මිනිස් සමාජය අනුමත කල විවිධ ආකාරයේ වූ බහුවිවාහයන් ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික මට්ටමේත් ක්‍රියාත්මක වූ බව ඉතිහාසය කියාපාන පැහැදිලි සත්‍යයකි. මෙම තත්වය එනම් එක් පිරිමියෙකු කාන්තාවන් ගනනාවක් විවාහ කරගැනීමේ සම්ප්‍රදාය එදා ඉස්ලාම් දහම ප්‍රකාශ වූ අඥාන සමාජයේ පවා ඒ වනවිටත් ඉතා ඉහල මට්ටමකින් ක්‍රියාත්මක වූ බවට ඉස්ලාමීය මූලාශ්‍රයන් මඟින් අනාවරණය වේ. මේ අනුව “බහුවිවාහයේ” ඉතිහාසය පිලිබදව සරල අවබෝධයක් ඉහත කරුණු තුලින් ලබාගැනීම ඔබට අපහසු නොවනු ඇත.

ඉස්ලාම් දහමේ මැදිහත්වීම

ඉහත කරුණුවලට අනුව බහුවිවාහ සම්ප්‍රදාය ලොව තුල නිර්මාණය කරදීමේ කාර්යයෙහි ඉස්ලාම් කොටස්කරුවන් නොවන බව අවබෝධ කරගැනීම අපහසු නොවේ. නමුත් නිවැරදි නීතිමාලාවක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවී. පුද්ගල තරාතිරම, බලය, වත්කම, සමාජ පිලිගැනීම, විශ්වාස, සම්ප්‍රදායන්… යනාදී කරුණු මත පදනම් ව මෙම බහුවිවාහ ක්‍රියාත්මක වූ නිසා එය විදිමත් ලෙස නීතිගත කිරීම ඉස්ලාම් සිදුකරන ලදී. ඒ අනුව ඉස්ලාම් පිරිමීන් සදහා වූ බහුවිවාහය කොන්දේසිවලට යටත් කොට අනුමත කරන ලදී. එය අල්ලාහ් (දෙවියන්) ශූද්ධ වූ කුර්ආනයේ 4-3 වාක්‍යයෙන් මෙසේ අවධාරනය කරයි.

“…නුඹලා ප්‍රියකරන කාන්තාවන් විවාහ කරගන්න. දෙදෙනෙකු, තිදෙනෙකු හෝ සිව්දෙනෙකු ලෙස. එනමුත් නුඹලා ‘(ඔවුන් අතර) සාධාර්ණව කටයුතු කිරීමට නොහැකි වේවිදෝ’ යයි බියවුයේ නම්, එක් කාන්තාවක් පමණක් විවාහ කරගන්න…”

ඉහත කුර්ආන් වාක්‍යයෙන් තම බිරින්දෑවරුන් අතර සාධාරණ ලෙස කටයුතු කිරීමේ හැකියාව කිසිවකුට ඇත්නම් පමණක් තවත් විවාහයක් සදහා අවසර ලබාදේ. ඉස්ලාම් මෙලෙස කොන්දේසිවලට යටත්ව බහුවිවාහය සදහා අවසරය ලබාදෙන විට ඊට එරෙහිව විවිධ මතවාදයන් සමාජය තුල මතුකරනු නිරන්තරයෙන් දක්නට ලැබේ. එමනිසා එවැනි මතවාදයන් කුමක්ද? යන්නත් එහි ඇති සාධාර්ණත්වය කුමක්ද? යන්නත් දැන් විමසා බලමු.

ඉස්ලාම් අනුමත කරන බහුවිවාහයට එරෙහිව මතුකරන ප්‍රධාන තර්කය වන්නේ මෙම බහුවිවාහය තුලින් කාන්තාවට කිසියම් අසාධාරණයක් සිදුවෙනවා යන්නයි. එනම් ප්‍රථම බිරිදට මෙයින් අසාධාරණයක් සිදුවෙනවා යන්නයි. මේ ඉදිරිපත් කරන තර්කය සාධාරණ වූ එකක් නම් එය ඉස්ලාම් පවසන බහුවිවාහය සදහා පමණක් නොව අතිතයේ පැවතී අන්ත:පුර මෙන්ම වර්ථමානයේ පවතින අනියම් සම්බන්ධතා, ගණිකා නිවාස… යනාදීන් තුලින් ද මෙම අසාධාරණය සිදුවන බව වටහා ගතයුතුය. කාන්තාවට සාපේක්ෂව පිරිමියා කායික හැඟීම්වලට වහල්වීමේ අවස්ථාව ඉහල මට්ටමක පැවතීම කිසිවකුටත් ප්‍රතික්ෂේප කලනොහැකි ප්‍රායෝගික සත්‍යයකි. මේ හැඟීම්වලට වහල්වීම නිසා තම මාපියන්, සහෝදරයන්, මිතුරන්ට පවා එරෙහි වන අවස්ථාවන් අප සමාජය දකින්නෙමු. එය කොතරම් ද යන්න පවසනවා නම් තම ආත්මගෞරවය පවා නොසලකා පහත් තැනකට වැටෙන පිරිමීන් අප සමාජයේ අප දැක ඇත්තෙමු. තම අවශ්‍යතාවය ඉටුකරගැනීම පිණිස ඕනෑම පහත් ක්‍රියාවක් සිදුකිරීමටත් පෙළඹෙන මිනිසුන් අප දැක ඇත්තෙමු. මේ හේතුව නිසාම මිනිස් ඝාතනයන් පවා සිදුවන අවස්ථාවන් අප දිවිය තුල ඕනෑ තරම් දැක ඇත්තෙමු. විශේෂයෙන් අප රටේ සතිඅන්ත පුවත්පතක් බැලූවිට මෙවැනි අයතා සම්බන්ධතා නිසා ඇති වූ විවිධ ගැටළු බොහෝමයක් නිරන්තරයෙන් කියවන්නට ලැබේ.

අද වන විට විවාහක ස්ත්‍රී පුරුෂයන් අතර පවා අයතා සම්බන්ධතාවයන් සාමාන්‍ය සමාජ කලාවක්, සම්ප්‍රදායක් බවට පත්ව ඇත. සරලව පවසනවා නම් මෙම තත්වය අනාචාරයේ දොරටුව විවෘත කොට තැබීමකි. මේ තුලින් විවාහක බිරිදට සිදුවන අසාධාරණය පිලිබදව සමාජ කථිකාවක් කිසිදු වකවානුවක දක්නට නොලැබීම පුදුමයට කාරණයකි. තවත් කාන්තාවක් විවාහ කරගෙන ඒ (බහුවිවාහය) තුලින් තම කායික අවශ්‍යතාවය නීත්‍යානුකූලව ඉටුකර ගැනීම මා ඉහත සදහන් අරාජික තත්වයට වඩා යහපත් තත්වයක් යන්නෙහි කිසිවකුටත් විරුද්ධ මතයක් පැවතිය නොහැක. ආගමික හා සමාජය තත්වය පසෙක තැබුවත් මාරාන්තික ඒඩ්ස් වැනි රෝගවලට ගොදුරු නොවීමට මෙවැනි ක්‍රම මඟපාදයි. ඒ අනුව නැවතත් විමසන්නට ඇත්තේ ප්‍රථම බිරිද අසාධාරණයකට ලක්වීම තමා බහුවිවාහය ප්‍රතික්ෂේප කිරීමට හේතුව නම්, බහුවිවාහයට එරෙහිව හඬ නඟන කාන්තා සංවිධාන හා සමාජ හිතවාදීන් කාන්තා සමාජ පරිහානියට හේතුවක් වී තිබෙන අයතා සම්බන්ධතාවයන් හා ගණිකා මඩම්වලට එරෙහිව හඬ නොනඟන්නේ මන්ද? තම විවාහ දිවියේ දුර්වලතාවයක් නිසා හෝ තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් නිසි අයුරින් ඉටුනොවීම නිසා හෝ පිරිමීන් එම අවශ්‍යතාවය සපුරාගැනීම සදහා බාහිර ලෝකයෙන් අවස්ථාව පැතීම සාමාන්‍ය ක්‍රියාවලියක් එහිදී ඔහු අයතා සම්බන්ධතාවයන්ට හෝ ගණිකා මඩම්වලට යොමු වී විනාශ වනවාට වඩා තවත් නීත්‍යානුකූල විවාහයක් තුලින් “එම අවශ්‍යතාවය ඉටුකරගන්න” යන්න ඉස්ලාම් බහුවිවාහය තුලින් මිනිස් සමාජයට යෝජනා කරන ප්‍රායෝගික විසදුමයි. ඉස්ලාම් පවසන මෙම විසදුම අභියෝගයට ලක්කරන පිරිස් මෙවැනි ප්‍රායොගික ගැටළු සදහා මීට වඩා යහපත් විසදුමක් යෝජනා කිරීමට ඉදිරිපත් වියයුතුය. වාදවිවාද තර්කවිතර්ක කිරීම නොව වියයුත්තේ, මෙවැනි අවස්ථාවක් සදහා ප්‍රායෝගික නීතියක් යෝජනා කිරීම තමා අවශ්‍යතාවය. ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශය අභියෝගයට ලක්කරන පිරිස් මීටවඩා යහපත් ආදර්ශයක් ලොවට හදුන්වාදීමේ යුතුකම හා වගකීම තුල දැන හෝ නොදැන සිර වී ඇති බව පමණක් සිහිකරමින් මෙම මාතෘකාවේ තවත් පැතිකඩක් වන “ඉස්ලාම් බහුවිවාහය යෝජනා කරන්නේ ඇයිද?” යන කාරණයට යොමු වෙමි.

ඉස්ලාම් බහුවිවාහය යෝජනා කරන්නේ ඇයි?

වර්ථමාන ලොව තුල බහුවිවාහය නීතියෙන් වැලැක්වීමට හැකි වුවත් එහි අවසාන ප්‍රථිපලයෙන් සමාජය මුදවාගැනීම හැකි වී නැත. දිනෙන් දින වැඩිවන ගණිකා නිවාස හා ඊට සමාන අයුරින් ක්‍රියාත්මක අනිකුත් විකල්ප ක්‍රම එය මනාව පිලිඹිබු කරයි. මෙම තත්වය එකම හේතුව කරගෙන ඉස්ලාම් බහුවිවාහය අනුමත කලේ නැත. ඉස්ලාමීය දැක්මට මීට වඩා පුළුල් වපසරියක් ඇත. ඉස්ලාම් දිව්‍යමය දහමක් ලෙස පටු අරමුණූවල පමණක් හිද තීන්දු තීරණ ගන්නා, යෝජනා කරන්නා ආගමක් නොවේ. එහි දැක්ම පුළුල්ය. ඒ අනුව බහුවිවාහය ඉස්ලාම් යෝජනා කරන්නේ ප්‍රධාන හේතූන් බොහෝමයක් මුල්කරගෙනය. ඒවා එකින් එක කෙටියෙන් දැන් විමසා බලමු.

  • අඹුසැමි ලිංගික බැදීම

විවාහයක් තුලින් විවාහක යුවල අපේක්ෂා කරන මූලික අරමුණු සදහා විවිධ පිරිස් විවිධ අර්ථකතන හා විවරණ ලබාදුන්න ද එහි මූලික අපේක්ෂාව තම කායික හැඟීම් නිසි ආකාරයට සංසිදුවා ගැනීමයි. එම අවශ්‍යතාවයන් නිසි ලෙස අවබෝධ කරගෙන ජීවිතය අරභන විට එහි අතුරු පලයක් ලෙස ආදරය, ගෞරවය, වගකීම… යනාදීය ද ඒ පවුල් ජීවිතය තුල ගොඩනැඟේ. එනමුත් විවාහක යුවලක් සම්බන්ධයෙන් තරමක් ගැඹුරින් අධ්‍යනය කරන විට මේ දෙනොගේ කායික අවශ්‍යතාවයන් හි විවිධ වෙනස්කම් දක්නට ඇත. ඒවා පිලිබදව කෙටි විමසුමක් කරන්නේ නම්,

[table "5" not found /]

මා ඉහතින් සදහන් කොට ඇත්තේ සාමාන්‍ය තත්වයක් වුවද මීටත් වඩා අසාමාන්‍ය තත්වයේ පවතින අඹුසැමි යුවල් සිටිය හැක. උදාහරණයකට ඉතා අඩු වයසින් කාත්තාව රෝගිතත්වයක් හෝ වෙනයම් ස්වභාවික හේතූන් නිසා ලිංගික අවශ්‍යතාවයන්ගෙන් මිදෙන විට සැමියා එම අවශ්‍යතාවයේ උච්චතම අවධියක පසුවන්නට පුළුවන. මෙවැනි කෙනෙකු සදහා යෝජනා කරන විකල්පය කුමක්ද? ඔහු ඔහුගේ අවශ්‍යතාවය ඉටුකරවාලීම සදහා ගණිකා නිවාසයක් කරා යාමද? සුදුසු නොඑසේ නම් තම අවශ්‍යතාවය අනුව කාන්තාවක් නීතියානුකූලව ලබාගැනීමද? සුදුසු වන්නේ. මෙලෙස විවිධ පැතිකඩ ඔස්සේ විවිධ කොණවලින් මෙම ගැටළුව මතුකල හැක. නමුත් සදාචාර සම්පන්න සමාජයක පිලිතුර ලෙස පැවතිය හැක්කේ එකක් පමණි. ඒ තවත් විවාහයකට යොමුවීම යන්න පමණි. එසේනම් ඉස්ලාම් මිනිස් සමාජයට යෝජනා කරන බහුවිවාහය සමාජ පැවැත්මක අත්‍යඅවශ්‍ය සාධකයක් යන්න පැහැදිලි වෙනවා නොවේද?.

මීට අමතරව පිරිමීන් සදහා ඉස්ලාම් බහුවිවාහය යෝජනා කිරීමට තවත් හේතූන්ද ඇත. එනම්,

  • කාන්තා පිරිමි උපත් අනුපාතය

මිනිස් දිවියේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ලිංගික අවශ්‍යතාවය යන්න තම දිවිය තුල මූලික අංගයකි. එය නොලැබීයාම තුල පිරිසක් මා ඉහත කී ආකාරයට සමාජ විරෝධි ක්‍රියාවන් හි නිරතවන විට තවත් පිරිසත් මානසික විකෘතිතාවයන්ට මෙන්ම මානසික රොගීන් බවට පත්වේ. මෙම සමාජ තත්වය අද බොහෝ වෛද්‍යවරුන්ගේ “ඔයා බැදලා ද?” යන ප්‍රශ්නය තුලින් මනාව පිළිඹිබු කරයි. මේ නිසා මනුෂ්‍ය දිවියේ සෑම කෙනෙකුටම මෙම අවශ්‍යතාවය සැපිරිය යුතුයි යන්නෙහි කිසිවකුටත් විරුද්ධ මතයක් පැවතිය නොහැක. එසේම නුතන සමාජ පිලිගැනීම අනුව මෙය ප්‍රායෝගික වීමට නම්, ස්ත්‍රී පුරුෂ අනුපාතය ලොව සමාන වියයුතුය. දැන් එවැනි තත්වයක් ලොව පවතිනවාද? යන්න සොයා බැලුවේ නම් සියවස් ගනනාවක් මුළුල්ලේ ලොව එවැනි තත්වයක් දක්නට නොලැබුණූ බව ඉතිහාසය කියාපායි. එනම් කාන්තා උපත් අනුපාතය පිරිමි උපත් අනුපාතයට වඩා ඉහල අගයක පවතී. මෙවන් තත්වයක ඉහත සදහන් කායික අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා කාන්තාවන්ට විකල්ප දෙකක් ඇත. එනම් ඉස්ලාම් යෝජනා කරන බහුවිවාහයට යොමුවීම හෝ මා ඉහතින් සදහන් කල සමාජ විරෝධි ක්‍රමයන්ට යොමුවීම මේ දෙකින් කුමක් වඩාත් යහපත් තීරණය වන්නේද? යන්න තීරණය කිරීම ඔබටම භාර කරමින් තවත් කාරණයක් වෙත යොමු වෙමි.

  • කාන්තා පිරිමි මරණ අනුපාතය

ඉහත උපත් අනුපාතයේ කාන්තාව ඉහල අගයක පැවතුනත් මරණ අනුපාතයේදී පිරිමීන් ඉහල අගයක පවතී. ස්වභාවිකව මෙම අගය පිරිමීන් සදහා ඉහල අගයක පැවතුනද ඊට අමතරව වෙනත් බොහෝ හේතූන් නිසාද පිරිමි මරණ අනුපාතය ඉහල අගයක පවතී. විශේෂයෙන් අතීතයේ පටන් ලොව තුල ක්‍රියාත්මක වන යුධ තත්වයන් එයට එක් හේතුවකි. ලොව අමිහිරි සලකුණක් සටහන් කල පලමු හා දෙවන ලෝක යුද්ධය සැලකූවිට එහි සිදුවූ මරණ සංඛ්‍යාව ආසන්න වශයෙන් පිලිවලින් 8834000 හා 22100000 වේ. මීට අමතරව ලොව සිදුවූ විවිධ යුධ සංහාර අපමණය මේවා තුලින් යුධ සෙබළුන් ලෙසත් කැරලිකරැවන් ලෙසත් මියගිය බහුතරය පිරිමීන්ය. මේ අනුව සමාජය තුල පවතින කාන්තා පිරිමි අසමානතාවය මත කාන්තාව තම කායික අවශ්‍යතාවය සදහා තෝරා ගතයුතු යහපත් විකල්පය කුමක්ද?

  • සියදිවි හානිකර ගැනීම

මෙම කාරණය සැලකුව ද එහි පිරිමි අනුපාතය ඉහල අගයක පවතී.

  • දෑවැදි සම්ප්‍රදාය

ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික බොහෝ රටවල කාන්තා සමාජය දුර්වල කරන ඔවුන්ගෙන් විවාහය දුරස් කරන පිලිලයක් ලෙස “දෑවැදි” සම්ප්‍රදාය හැදින්විය හැක. මේ හේතූන් නිසාද බොහෝ කාන්තාවන්ට තම විවාහ අවස්ථාව අහිමි කොට ඇත.

  • කාන්තාව දුර්භාගයක් ලෙස සැලකීම

මනුෂ්‍ය ආත්මයක් ලද කාන්තාව දුර්භාග්‍යයක් ලෙස අදත් සමාජය සිතන්නට මෙම තත්වය එනම් විවාහය දුෂ්කර වීමද එක් හේතුවක්. එනම් ඇයට යහපත් පවුල් ජීවිතයක් උදාකරලීම වර්ථමාන සමාජ සම්ප්‍රදාය තුල දෙමාපියන්ට දුෂ්කර කාර්‍යයක් බවට පත්ව තිබීම.

  • විවිධ ආගමික බලපෑම්

ජීවිතයේ විමුක්තිය උදෙසා ජිවිත බැදීම්වලින් දුරස්ව හුදෙකලා ජීවිතයක් ගතකිරීම අත්‍යඅවශ්‍ය බව සමාජයට උගන්වන ආගම් හා දර්ශනයන් අද ලොව බොහෝමයක් දක්නට ඇත. මේවා සදහා ද බොහෝ විට යොමුවන්නේ පිරිමි පාර්ශවයන්ය. මෙම තත්වය වර්ථමාන ලොව තුල ප්‍රබල කාරණයක් නොවුවද අනාගතයෙදී සමාජ පැවැත්මට මෙයත් උග්‍ර ගැටළුවක් වනවා නොඅනුමානය

මෙවැනි හේතූන් රාශියක් නිසා ඉස්ලාම් මිනිස් සමාජයට බහුවිවාහය යෝජනා කරයි. මෙහිදී සදහන් කලයුතු ප්‍රධාන කාරණයක් ඇත එනම් ඉස්ලාම් බහුවිවාහය සදහා ලබාදෙන්නේ අවසරයක් මිස නියෝගයක් නොවන බව පැහැදිලිවම වටහා ගතයුතුය. තමන්ට අවශ්‍යනම් ඉස්ලාම් පනවන කොන්දේසිවලට යටත්ව තවත් විවාහයක් කරගැනීමේ හැකියාව අවසරයක් ලෙස ඉස්ලාම් ලබාදෙන අතර එය අනවශ්‍යනම් වැලකීසිටීම ද කලහැක. එය ඉස්ලාම් දහම තුල උතුම් ක්‍රියාවක් යන්න මින් අදහස් නොවේ. ඉස්ලාම් මෙවැනි දෑ යෝජනා කිරීම තුලින් අපේක්ෂා කරන්නේ සමාජ විනයක් හා කාන්තාව සදහා වූ ආරක්ෂිත ක්‍රියා පිලිවෙතක් පමණි. ඉස්ලාම් මෙම විනය මිනිස් සමාජයට යෝජනා කරන්නේ ප්‍රධාන කොන්දේසියකට යටත්ව බව මා ඉහතින් සදහන් කලෙමි. එම කොන්දේසිය කුමක්ද? යන්න දැන් විමසා බලමු.

බහුවිවාහයක් ඉස්ලාම් පනවන කොන්දේසිය

ඉස්ලාමීය නීතියට අනුව බහුවිවාහයන් සිදුකිරීමේ දී එලෙස විවාහ කරගත හැකි උපරිම සංඛ්‍යාව කීයද? යන්නත්, එහිදී එම බිරින්දෑවරුන් අතර ක්‍රියාකල යුත්තේ කෙසේද? යන්නත් ශුද්ධ වූ කුර්ආනයේ 4-3 වාක්‍යයෙන් හා 4-129 වාක්‍යයෙන් පහත ආකාරයට පවසයි. එනම්,

“…නුඹලා ප්‍රියකරන කාන්තාවන් විවාහ කරගන්න. දෙදෙනෙකු, තිදෙනෙකු හෝ සිව්දෙනෙකු ලෙස. එනමුත් නුඹලා “(ඔවුන් අතර) සාධාර්ණව කටයුතු කිරීමට නොහැකි වේවිදෝ” යයි බියවුයේ නම්, එක් කාන්තාවක් පමණක් විවාහ කරගන්න…” (4-3)

“බිරින්දෑවරුන් අතර (කොතරම්) සාධාර්ණ ලෙස ක්‍රියා කරන්න (නුඹලා) උත්සාහ කලත් එය නුඹලාට (පහසුවෙන්) කල නොහැක. එමනිසා (නුඹලා) එක් බිරිදක් කෙරෙහි සම්පූර්ණයෙන් නැඹුරු වී අනිකුත් බිරින්දෑවරුන් අසරණ කර නොදමන්න. නුඹලා (අල්ලාහ් (දෙවියන්)ට) බිය වී (ඔවුන් අතර) සමාදානව ක්‍රියා කරන්න…” (4-129)

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් දෙක හොදින් විමර්ෂණය කලේ නම් එයින් ප්‍රධාන කරුණු දෙකක් අනාවරණය කරගත හැක. එයින් පලමුවැන්න මෙලෙස විවාහ කරගත හැකි උපරිම සංඛ්‍යාව 4 යන්න. දෙවැනි කාරණය බහුවිවාහයෙන් අනතුරුව සියළු බිරින්දෑවරුන් අතර සමානාත්මකව හා සාධාර්ණව ක්‍රියා කිරීම යන්න. මේ කොන්දේසි දෙකට පරිභාහිරව වෙන කිසිදු කොන්දේසියක් ඉස්ලාම්, මුස්ලීම්වරයෙකු සදහා යෝජනා කරන්නේ නැත. නමුත් ඉස්ලාම් පවසන මෙම බහුවිවාහය සම්බන්ධයෙන් වර්ථමාන ශ්‍රී ලාංකීය සමාජයේ විවිධ විශ්වාසයන් පවතී. එනම්, මුස්ලිම්වරුන්ට විවාහ 07 ක් සදහා ඉස්ලාම් අවසර ලබාදී තිබෙනවා යන්න, ආරම්භ කාලයේ විවාහ 07 ක් සදහා අවසර ලබාදී තිබුණත් පසුකාලීනව එය 04 දක්වා අඩුකලා යන්න (එයට නිදසුනක් ලෙස 2010.11.14 දින දිවයින පුවත්පතේ පලවී තිබූ මෙම කාරණය සදහන් කලහැක) හා බහුවිවාහයක් සිදුකිරීමේ දී තම ප්‍රථම බිරිදගෙන් අවසරයක් ලබාගැනීම අත්‍යඅවශ්‍ය යන්න. මේ සියල්ල මනක්කල්පිතයන් මිස ඒ සදහා ඉස්ලාමීය මූලාශ්‍රවල කිසිදු සාක්ෂියක් හෝ පදනමක් නොමැති බව පැහැදිලිවම වටහාගත යුතුය. එසේ නමුත් අවසාන කාරණය එනම් ‘ප්‍රථම බිරිදගේ අවසරය’ යන කාරණය පිලිබදව කෙටි විග්‍රහයක් කලයුතුව ඇත. එනම් කිසිදු බිරිදක් කුමණ තත්වයකදී වුවද බිරිදක් ලෙස තමන්ට ලැබී තිබෙන තැන තවත් කාන්තාවක් හා බෙදාගැනීම එකඟ වන්නේ නැත. විශේෂයෙන් තම ස්වාමියා තවත් කාන්තාවකගේ ස්වාමියා බවට පත්වීම කිසිදු කාන්තාවක් අනුමත කරන්නේ නැත. මේ හේතුව හොදින් අවබෝධ කරගත් ඉස්ලාම් කාලීන මෙන්ම ප්‍රායෝගික අවශ්‍යතාවයක් වන බහුවිවාහය මිනිස් සමාජයට යෝජනා කිරීමේදී ඒ සදහා ප්‍රථම බිරිදගේ අවසරය මූලික කොන්දේසියක් ලෙස ඉදිරිපත් කලේ නැත. නමුත් ඇයට මෙන්ම අනිකුත් බිරින්දෑවරුන්ට කිසිදු අසාධාරණයක් සිදුනොවීම පිණිස “…නුඹලා ‘(ඔවුන් අතර) සාධාර්ණව කටයුතු කිරීමට…’ (4-3) යනුවෙන් හා ‘…අනිකුත් බිරින්දෑවරුන් අසරණ කර නොදමන්න…’ (4-129) යනාදී වශයෙන් ශුද්ධ වූ කුර්ආනය මිනිස් සමාජයට දැඩිව අවවාද කරයි. එසේ ‘සාධාර්ණව ක්‍රියා කිරීමට නොහැකි වේවිදෝ’ යයි බියවන්නේ නම් තම විවාහය එකකට පමණක් සිමා කරගන්නා ලෙස තවදුරටත් ඉහත වාක්‍යයන් මඟින් ම අවධාරණය කරයි.

මේ අනුව ඉස්ලාම් පවසන බහුවිවාහය අතීත හා වර්ථමාන සමාජයට කෙසේ වෙතත් අනාගත සමාජයකට නම් උග්‍ර අවශ්‍යතාවයක් යන්න මෙම ලිපියෙහි අන්තර්ගත කරුණු පමණක් විශ්ලේෂණය කලද පහසුවෙන් වටහා ගතහැක. මෙම තත්වය කල්තියා හදුනාගත් ඉස්ලාම් මිනිස් සමාජයේ පැවැත්ම හා ප්‍රායෝගික අවශ්‍යතාවය වන බහුවිවාහය යෝජනා කොට ඇත. (මෙය පරිපූර්ණ දහමක පැවතිය යුතු ලක්ෂණයකි) විවිධ කොන්දේසිවලට යටත් බහුවිවාහය යෝජනා කරන ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනයේ 4-129 වාක්‍යයෙන් අවදාරණය කරන සුවිශේෂි කාරණයක් ඔබගේ අවධානයට මෙහිදී යොමු කිරීමට අදහස් කරමි. එනම්,

“බිරින්දෑවරුන් අතර (කොතරම්) සාධාර්ණ ලෙස ක්‍රියා කරන්න (නුඹලා) උත්සාහ කලත් එය නුඹලාට (පහසුවෙන්) කල නොහැක…”

මේ අනුව “බහුවිවාහය” යන්න පිරිමියෙකු හට සුන්දර වචනයක් වුවද, ඒ තුල ඉස්ලාමීය කොන්දේසිවලට යටත්ව ක්‍රියා කිරීම එතරම් සුන්දර කාරණයක් නොවේ. එය ඔහුගේ ලෞකික මෙන්ම ලෝකොත්තර ඉරණම උඩුයටිකුරු කරන්නට තරම් ප්‍රබල වන්නට පුළුවන. එය තමා ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පවා අවධාරණය කරන්නේ. මෙම තත්වය මුස්ලීම් සමාජය නිවරැදිව හඳුනාගෙන අවබෝධයෙන් කටයුතු කරන නිසා තමා ඉස්ලාම් බහුවිවාහය සදහා අනුමැතිය ලබාදී තිබිය දී පවා (අනිකුත් සමාජයන් (විකල්ප ක්‍රමයන්ට යොමුවෙන තරම)ට සාපේක්ෂව) මුස්ලීම් සමාජය තුල එය අවම මට්ටමක පවතින්නේ. යන්න ඔබගේ බුද්ධිමත් විමසුමට යොමු කරමින්, ඉස්ලාම් මිනිස් සමාජයට යෝජනා කරන “බහුවිවාහ” ප්‍රතිපත්තිය තවත් ආගමක හෝ ජන සමාජයක සම්ප්‍රදායක් යන තැනහිද නොබලා බුද්ධිමත්ව හා තර්කිකව විමසා බලන ලෙස ආරාධනා කරමින් මෙම ලිපිය අවසන් කරමි.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *