බහු ආගමික වටපිටාව සහ මුස්ලිම්වරයාගේ ස්ථාවරත්වය

0

ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන් වන අප වෙසෙන්නේ බහු ආගමික රටකය. බහු සංස්කෘතීන් පවතින රාජ්‍ය නීතිය ෂරීආව නොවූ සමාජයකය. එබැවින් උක්ත මාතෘකාව අලලා කරුණු දැක්වීමට ප්‍රථම අල්ලාහ්තආලා විසින් ඉස්ලාම් දහම ඉස්ථාපිත කල වකවානුව සම්බන්ධව අදහසක් ඉදිරිපත් කිරීම ඉතා උචිතය. එමගින් බහු ආගමික වටපිටාව සහ ඉස්ලාම් ධර්මය අතර කෙතරම් සබැදියාවක් ඇතැයි ඔබට වැටහෙනු ඇත.

ක්‍රි:ව: 610 රාමදාන් මස 17 වන දින එවකට හතලිස් වියෙහි පසුවූ මුහම්මද් (සල්) තුමාට පළමු දේව පණිවිඩය (වහී) ලැබෙන මොහොත වන විට සමස්ථ අරාබි දේශයම පිළිම වන්දනය රජයන බිමක් බවට පත්ව තිබිණි. විශාල ගෝත්‍ර සංඛ්‍යාවක් දිවිගෙවූ එහි ප්‍රධාන ලෙස සැලකූ “ලාත් , උස්සා , මනාත්” යන ප්‍රතිමාවන් හැරුනු විට ඒ ඒ ගෝත්‍රයන්ට අදාලව විවිධ ප්‍රතිමාවන් විය. එමෙන්ම එකී පිළිම විවිධ රූපයන්ගෙන් නිර්මාණය කර තිබිණ. හබුල් හා වත් යන ප්‍රතිමා මිනිස් රූප ආකාරයෙන්ද සුවා, නෛලා යන ප්‍රතිමා ස්ත්‍රී රූප පරිදිද යකූන්, යඌන් හා නස්ර් යන පිළිම පිළිවෙලින් සිංහ , අශ්ව හා රාජාලයකුගේ ස්වරූපයෙන් නිමවා තිබිණ. මොවුහු වන්දනා කල පාෂාණ “අන්සාබ්” ලෙසද වන්දනා කල අඹන ලද පිළිමයන් “අස්නාම් ” ලෙසද හැදින්වූහ. මෙසේ බලන කල අල්ලාහ් විසින් ඉස්ලාම් ධර්මයේ මුදුන් මූලය රෝපණය කරන ලද්දේ බහු ආගමික සමාජයක් තුළය.

අනතුරුව විවිධ බාධා සැඩ කුණාටු අතර නොසැලී එකී රෝපිත දහම දලු ලා අතු පතර විහිද යන්නේද එවන් වූ සමාජ වපසරියකය. එම කාල වකවානුව තුළ මුහම්මද් (සල්) තුමා ප්‍රමුඛ සහාභා පිරිස අසීමිත බාධා පවුරු බිද නොසැලී තම ධර්මයේ ස්ථිරව සිටි අයුරු ප්‍රශංසනීයය. “ලා ඉලාහ ඉල්ලල්ලාහ්” නම් කෙටි වුවද ගැඹුරු අරුතක් සහිත වූ මෙම විප්ලවීය පාඨය උදෘත කර ගනිමින් එම සංකල්පය තුළ ස්ථාවර වෙමින් තමාට එරෙහි සමාජය තුළ ධාර්මික අරගලයක නිරතවූ ඔවුහු කිසිවිටෙකත් තම ආගමික ස්ථාවර බව බිදහෙලා නොගත්හ. ධර්ම ප්‍රචාරයේ පළමු අදියරේදීම විරුද්ධත්වය ප්‍රකට කල අබු ලහබ් මෙන්ම තාන්න මාන්න ලබාදී ධර්ම ප්‍රචාරය අත්හිටුවන්නට කටයුතු කල බොහෝ පිරිස් අතරතුර තම ස්ථාරත්වයේ අංශු මාත්‍ර වෙනසක් නොකල එකී ඉස්ලාමීය අතීතයෙන් වත්මන් ලෝකයේ අප හට ගත යුතු ඉතා වටිනා ආදර්ශය වන්නේද එයය. අරාබි දේශය තුළ මෙන්ම ඉන් ඔබ්බටද නිම් වළලු පුළුල් වෙමින් දීනුල් ඉස්ලාමය වයාප්තවද්දී එයට අනුගත වූවෝද බොහෝ සේ හිංසනයට ලක්වූ බැව් අප දනිමු. බිලාල් (රලි) තුමා ඇතුලු එසේ හිංසනයට ලක්වූ පුරුෂ පාර්ශවයද ඉස්ලාමය වෙනුවෙන් ප්‍රථමයෙන් දිවි පිදූ සුමෙයියා (රලි) තුමියගේ සිට හිංසනයට ගොදුරු වූ ස්ත්‍රී පාර්ශවයද අද දින විමසා බැලිය යුතු කරුණු රැසක් අප ඉදිරියේ තබා ඇත.

මෙසේ ගෞරවණීය සහ සහෝදරත්වය මෙන්ම ප්‍රෞඪත්වය පිළිබිඹු කරන ඉතිහාසයක් හිමි දහමක වත්මන් අනුගාමිකයන් වූ අපගේ ස්ථාවරභාවය කොතැනද ? මේ එය විමසා බැලිය යුතු හොදම කාලය නොවේද? බහු ආගමික වපසරියක දිවි ගෙවන ආදරණීය මුස්ලිම් සොයුරු සොයුරියනි, මොහොතක් සිතන්න. ඔබ ඔබගේ ධර්මය තුළ කෙතරම් ස්ථාවරද? මෙහි අදහස ඔබ පංචකාල සලාතය හෝ අනිවාර්යය උපවාසයේ යෙදෙනවාද යන්න පමණක් නොව. ඉස්ලාම් යනු හුදෙක් ධර්මයක් පමණක් නොව සරල ජීවන පැවැත්මක් බව අපි දනිමු. එහෙයින් එම ජීවන දර්ශනය තුළ ඔබ කෙතරම් දුරකට ස්ථාවරදැයි සිතන්න.

ආහාර පාන වලදී පමණක් හරාම් හලාල් පිළිබද විමසන ඇතැම් සහෝදර සහෝදරියන් තම ඇදුම පැළදුම, ගමන බිමන, මෙන්ම සමස්ථයක් ලෙස ආහාර පාන හැරුනු විට ප්‍රායෝගික ජීවිතයේ අනෙකුත් කටයුතුවලදී ඉස්ලාමීය අනුමතභාවය විමසීමට අමතක කරන්නේ මන්ද…? ජීවිතයේ මෙලොව සහ පරලොව සාර්ථක කර ගැනීමට හැකි පරිදි පරිපූර්ණ දහමක් දායාද කල අල්ලාහ් ශුද්ධ කුර්ආනයේ “විශ්වාසකරන්නනි! ඔබ ඉස්ලාමය එහි සම්පූර්ණයෙන් උසුලන්න. තවද ෂෛතාන්ගේ මග අනුගමනය නොකරන්න.ඔබේ පැහැදිලි සතුරා ඔහුය.” යනු‍වෙන් සූරා බකරාහි දෙවන ආයතය ඔස්සේ අවවාද කර සිටියි. එමෙන්ම “අපි ඔබට නීති මාලාවක් අනුගමනය කිරීමට සැලැස්සුවෙමු. එනිසා එයට බැදී සිටින්න. තවද නොදන්නා අයගේ හැගීම් අනුගමනය නොකරන්න.” යනුවෙන් අද් දාරියා සූරාවේ 18 වන වැකිය ඔස්සේ නැවත නැවතත් ඉස්ලාම්හි ස්ථාවරව සිටීම පිළිබදව සිහි ගන්වයි. එසේ නොවීම කෙතරම් බරපතල ක්‍රියාවක් දැයි ” අල්ලාහ් අවසර නොදුන් දැයෙහිද අනුමත නොකල දැයෙහිද, ඒ පිළිබද නීති සකස් කිරීමට ඉදිරිපත්වන සමානයන් සිටීද ? ඇත්තෙන්ම ඔවුන්ගේ දඩුවම වේදනාකාරීය.” යනුවෙන් ශුද්ධ කුර්ආනයේ අෂ් ෂුරා හි 21 වන ආයතයෙන් දන්වා සිටීයි.”

මෙකී සියලු කරුණු ගත් කල කුමන සමාජ වපසරියක වුවද ඉස්ලාම්හි ස්ථාවරවීමේ අවශ්‍යතාව මනාව පිළිබිඹු න්නේය. අතීත අරාබි දේශය තුළ ඉස්ලාම් හි ව්‍යාප්තිය ඇරඹි අවස්ථාවේදී මෙන්ම ඉස්ලාම් හි ස්ථාවර වීමට ඔබ දරන උත්සාහයන් ලත් තැනම ලොප් කරන්නට නැගී සිටිනා අබු ජහල් වැන්නවුන්ද ඔබගේ ස්ථාවරභාවය‍ට මිලක් නියමකර ඔබ යන ගමන නවතාලන්නට ඇතැමුන්ගේ යෝජනා රැගත් උත්බාහ් වැන්නවුන්ද හෙට හෝ නුදුරේදීම ඔබ ඉදිරියට පැමිණීමට පුළුවන. එහෙත් දයාබර සොයුරු සොයරියනි , මොහොතක් සිතන්න. අල්ලාහ්ස්භානහුවතාලා ශුද්ධ කුර්ආනය ඔස්සේ මෙසේ පවසයි. “ නියතවශයෙන්ම කවරෙකු අප පරමාධිපති අල්ලාහ් යැයි පවසා එහි ස්ථිරව සිටීද ඔවුන්ට කිසිම බියක් නොමැත.දුක් වන්නේද නැත. ඔවුන් ස්වර්ගවාසීන්ය.” (අල් අහ්කාෆ් – 13,14)
තීරණය ඔබ සතුය…

ෆාතිමා ෂමීලා

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *