බියබැතියන් වනු පිණිසය

0

එය මීට වසර 1430 කට පෙර මැදපෙරදිග දේශයේ පිහිටී මක්කා නම් නගරයක් විය. එය විවිධ වූ දුරාචාර, මනුෂ්‍ය ඝාතන, මත්පැන් භාවිතය හා අනිකුත් සමාජ විරෝධි ක්‍රියාවන් ගෙන් පිරී නගරයක් විය. එහි ක්‍රියාත්මක වූයේ කැලෑනිතිය එනම් ශක්තිවන්තයා බලවතා යන න්‍යාය පමණි. එම සමාජය තුල මුහම්මද් නම් වූ අපූරැ මිනිසෙක් විය. ඔහු හරහා එම මිලෙඡ්ච සමාජයට දේව පණිවුඩ පහල වන්නට විය. මේ නිසාම දුරාචාරවලින් හා සමාජ විරෝධී ක්‍රියාවලින් ආරාජිකව හා ඒ තුල ගිලීපැවතී සමාජය උඩු යටිකුරැවිය. ඔවුන් මේ ලොව පවතිනතාක් බිහිවන සෑම මනුෂ්‍ය සමාජයකටම අසම සම ආදර්ශයක් විය. එවන් වූ ජන සමාජයක් මධ්‍යයට එදා තවත් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් පහල විය. ඒ,

“විශ්වාසවන්තයනි (මුස්ලිම්වරුනි ) !, නුඹලාට පෙර විසූ ජන (සමාජය)ට අනිවාර්ය කලාසේම, නුඹලාටත් උපවාසය රැකීම අනිවාර්ය කර ඇත. ඒ, එය තුලින් නුඹලා (අල්ලාහ් (දෙවියන්ට)) බියබැතියන් වනු පිණිසය.”

ශුද්ධ වූ කුර්ආනය 2-183

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පහල වූ එම ජන සමාජය වර්ථමාන ජන සමාජය මෙන් නොව නොදියුණු යුගයක ඉතා අවම පහසුකම් යටතේ දුෂ්කර හා සරල ජීවන ක්‍රමයකට හැඩ ගැසුණු සමාජයක් විය. නමුත් ඔවුන්ගේ ජීවිතවල ඉහල බලාපොරොත්තු සහිත වූ පැහැදිලි අරමුණක් තිබුණි. ඒ මරණින් මතුවට උදාවන සදාතනික දිවිය පිලිබදවයි. ඒ ජීවිතය වෙනුවෙන් ලෞකිකව ඔවුන් කල කැපකිරීම් සුළුපටු නොවිය. ඒ කැපකිරීමන් හේතු කොටගෙන ඔවුන් කායිකව කිසියම් වේදනාවක් ලැබුවද මානසිකව ඔවුන් ලැබුවේ මෙලොව ලබන්නට තිබෙන ඉහලම සතුටයි. මෙවන් උතුම් ආදර්ශමත් සමාජයක් දෙස බලා අල්ලාහ් (දෙවියන්) “නුඹලා බියබැතියන් වනු පිණිස තමා මේ උපවාසය” යයි පැවසීම වර්ථමාන අපව සංකීර්ණ ගැටළු රාශියක මැදි කරයි. ඒ ඔවුනට මීටත් වඩා අවනතබවක් තිබිය හැකිද? යන්න සහා ඔවුනට සාපේක්ෂව අල්ලාහ් (දෙවියන්) කෙරෙහි වර්ථමාන අපගේ අවනතභාවය ප්‍රශ්නාර්ථයක් (?) වන බැවිණි. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස “නුඹලා බියබැතියන් වනු පිණිස තමා මේ උපවාසය” යයි අල්ලාහ් (දෙවියන්) විසින් මුලින්ම අවවාද කරන එම ආරම්භක සමාජය කවර ආකාරයේ සමාජයක්ද? යන්න පිලිබදව කෙටි අවධානයක් යොමු කලේ නම්,

  • “ඉබුනු මස්වූද් (රලි) තුමා පවසයි ‘අපේ කාලයේ (දිනකට පස්වතාවක් ඉටුකරන) සලාතය නියමිත වෙලාවට ඉටුකිරීමට දේවස්ථානයට නොපැමිණෙන්නේ පැහැදිලි මුනාෆික්වරැන් සහා අසාධ්‍ය රෝගීන් පමණි. රෝගීන් ද නෑවිත් සිටින්නේ දෙදෙනෙකුගේ ආධාරයෙන් පවා පැමිණිමට නොහැකි තත්වයේ දී පමණි. අනිකුත් සියළු මුස්ලිම්වරුන් නියමිත වේලාවට සලාතයට පැමිණෙනු ඇත.’ “

සහෝදරවරුනි! එදා එම සමාජය හා අද අප සමාජය මොහොතක් සිතා බලන්න. සලාතය සදහා දවසින් විනාඩි කිහිපයක් වෙන්කිරීමට පවා නොහැකි තරමට අප කාර්ය බහුලය. සාමාන්‍ය උණ හෙම්බිරිසාවක් ඇති වුවත් දවස් ගනන් අප සලාතය අත් හරින්නෙමු. මොහොතක් සිතා බලන්න ඒ ආරම්භ කාලයේ ජීවත් වූ සහාභාවරැන්ගේ ජීවිත කොතරම් දැහැමි ජීවිතයක් ද? ඔවුන් දහම වෙනුවෙන් කල කැපකිරීමන් කොතරම්ද? එවන් වූ සමාජයක් දෙස බලා අල්ලාහ් (දෙවියන්) “නුඹලා බියබැතියන් වනු පිණීස තමා මේ උපවාසය” යයි පවසන්නේ නම් ඒ බියබැති බව අපට කොතරම් නම් අවශ්‍ය වී තිබෙනවාද?

  • “සආද් ඉබුනු අබීවක්කාස් (රලි) පවසයි, ‘අපි ආරම්භ කාලයේ ඉස්ලාම් දහම වැළද ගැනීම හේතු කොටගෙන අපව උපන්බිමෙන් නෙරපන ලදී. ඒ මොහොතේ අපිට කිසිවක් කරකියාගත නොහැකිව ගමේ මායිමෙහි දිනගනන් රැදීසිටියෙමු. අපිට ආහාර ලෙස තිබුනේ වනයේ තිබෙන ශාකවල පත්‍ර පමණි. මේවා ආහාරයට ගැනීම ‍ෙහ්තුකොට ගෙන අපේ මළපහ සතුන්ගේ මළපහ (එළුවන්, ඔටුවන් වැනි සතුන්ගේ බෙටි) මෙන්විය.’ “

සහෝදරවරුනි! දුෂ්කර වූ ජීවිතයක් ගතකල ආරම්භ කාල මුස්ලිම්වරුන් තමන්ට උපතින් උරුම වූ දහමක් නොව පසුකාලීනව අවබෝධය තුලින් දහමක් පිලිගෙන එය තුල ජීවත්වීම හේතුවෙන් විවිධ වදහිංසනයට ගොදුරු වී දුෂ්කර ජීවිතයක් ගතකරන ලදී. ඔවුන් ආහාර සදහා වනයේ තිබෙන ගස්කොල ආහාරයට ගත්තේ නම් ඔවුන්ගේ බියබැතිකම හා මේ දහම කෙරෙහි ඔවුන් දැක්වූ බැදීම කොතරම් නම් වියයුතුද? එවන් වූ සමාජයක් දෙස බලා අල්ලාහ් (දෙවියන්) “නුඹලා බියබැතියන් වනු පිණීස තමා මේ උපවාසය” යයි පවසන්නේ නම් ඒ බියබැති බව අපට කොතරම් නම් අවශ්‍ය වී තිබෙනවාද?

  • “අනස් (රලි) තුමා පවසයි, මම දිනක් අබූතල්හා (රලි) තුමාගේ නිවසේ සිටියෙමි. එහි අබූතල්හා (රලි) තුමාත්, එතුමාගේ මිතුරන් පිරිසකුත් මත්පැන් පානය කරමින් සිටින ලදී. ඒ මොහොතේ එම ස්ථානයට කෙනෙකු පැමිණි ‘අද දින සිට ඉස්ලාම් මත්පැන් තහනම් (හරම්) කර ඇත.’ යයි පවසන ලදී. ක්ෂණකින් නැගිසිටී අබුතල්හා (රලි) තුමා තම (අබුතල්හා (රලි) තුමා මත්පැන් ව්‍යාපාරිකයෙක්) ගබඩාවල තිබෙන මත්පැන් සියල්ල විනාශකිරීමට මාව ද කැදවාගෙන යන ලදී. එහි ගොස් මා බලන විට මදිනාවේ වීදිවල මත්පැන් ගඟක් සේ ගලායනවා මා හට දක්නට ලැබූණි.”

සහෝදරවරුනි!, මොහොතක් සිතන්න ඒ සමාජ මත්පැන්වලම ගිලී පැවතී සමාජයක්. ඒ සමාජයේ “මත්පැන් තහනම්” යන දේව නියෝගය ප්‍රකාශ වුවා පමණි. තමන් සතුව පැවතී මත්පැන් අවසන් වනතුරු බලාසිටියේ නැත. ඒ ක්ෂණයෙන් එම නියෝගය ක්‍රියාවට නංවන ලදී. එලෙස ක්‍රියා කිරීමට නම් ඔවුන්ගේ හදවත් කොතරම් බියබැති කමින් හා දහම කෙරෙහි දැඩි භක්තියකින් පිරී පැවතිය යුතුද? අද දුම්වැටියට වහල් වූ සමහරක් පිරිස් අමාරැවෙන් උපවාසය අවසන් කොට ඊළඟ විනාඩියේ දුම්වැටි කීයක් ද අවසන් කරදැමීම සුලභ වූ දසුනකි. එදා සහාභාවරැන්ගේ අවනතභෘවය සමඟ අපගේ මේ අවනතභාවය සංසන්ධනය කලහැකිද? දෙවියන් කෙරෙහි අපගේ තිබෙන අවනතභාවයත් එදා සමාජයේ පැවතී අවනතභාවයත් පිලිබදව සිතාබැලිය යුතු නොවේද? එම සමාජය දෙවියන් කෙරෙහි සම්පූර්ණයෙන්ම අවනතව ජීවත් සමාජයක් නොවේද? එවන් වූ සමාජයක් දෙස බලා අල්ලාහ් (දෙවියන්) “නුඹලා බියබැතියන් වනු පිණීස තමා මේ උපවාසය” යයි පවසන්නේ නම් ඒ බියබැති බව අපට කොතරම් නම් අවශ්‍ය වී තිබෙනවාද?

  • “අප මෙන් නොව මුහම්මද් (සල්) තුමාණන් අඛන්ඩ උපවාසය (දින දෙකක් හෝ දින තුනක් ලෙස) නිරතවීම සිරිතකි. මෙය දැනගත් සහාභාවරුන් (අනුගාමිකයන්) ද එලෙස උපවාසයේ නිරතවීම ඇරඹීය. මෙය ආරංචිය වූ නබිතුමාණන් එය තහනම් කරන ලදී. නමුත් ආරම්භ කාලයේ උපවාසයෙන් මිදී ආහාර ගැනීමේ කාල සීමාව මහ්රිබ් සිට ඉෂා දක්වා (පැයක පමණ) කාලයකි. දිනක් කයිස් ඉබ්නු සල්මා (රලි) තුමා උපවාසයෙන් මිදී ආහාර ගැනීමට කිසිවක් නොතිබූණු හෙයින් හාමතේම නින්දට වැටුණී. ඔහු අවදි ව බලන විට මීළඟ උපවාසය කාලසීමාව ආරම්භ වී පැවතී නිසා ඔහු අඛණ්ඩව උපවාසයේ නිරතවන ලදී. නමුත් කුසගින්නෙහි සිටී නිසා පසුදා දහවල ඔහු සිහිසුන් නැතුව වැටුනේය මේ මොහොතේ අල්ලාහ් (දෙවියන්) විසින්……. නම් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පහල කොට අද අප නිරතවන ආකාරයට අළුයම දක්වා ආහාර ගැනීමට අවසරය ලබාදෙන ලදී. මෙය දනගත් නබිතුමා වන විට ට වැටුනි. අඛන්ඩ උපවාසය (කුර්ආනය වාක්‍ය පහලවේ ඉරවු පහල් පිරිත්තරියුම් වරයි )”

සහෝදරවරුනි! ඉහත සිදුවීම පිලිබදව මොහොතක් සිතන්න. ඒ සමාජය අඛන්ඩ උපවාසයටත් සූදානම් වූ සමාජයක්. එපමණක් නොවේ අරම්භ කාල උපවාසය අද පවතින උපවාසයට වඩා කාලයෙන් දීර්ඝ එකක් විය. එම සමාජයේ අපහසුතාවය මගහැරීම සදහා ඔවුන් වෙනුවෙන් අල්ලාහ් (දෙවියන්) විසින් කුර්ආන් වාක්‍යයක් පහල කරන්නේ නම් එම සමාජය කොතරම් ශ්‍රේෂඨ සමාජයක් විය යුතුද? එවන් වූ සමාජයක් දෙස බලා අල්ලාහ් (දෙවියන්) “නුඹලා බියබැතියන් වනු පිණීස තමා මේ උපවාසය” යයි පවසන්නේ නම් ඒ බියබැති බව අපට කොතරම් නම් අවශ්‍ය වී තිබෙනවාද?

  • “අබුදර් (රලි) තුමා මදීනා වාසියෙකි. හිජ්රතය (මක්කාවේ සිට මදිනාවට මුස්ලිම්වරුන් සංක්‍රමණය වීම) හේතුකොට ගෙන අබූදර් (රලි) තුමා හට මක්කාවේ සිට පැමිණි සල්මාන් ෆාරිස් (රලි) සහෝදරයෙකු ලෙස නම් කරන ලදී. මේ දෙදෙනා එකම නිවසේ ජීවත්වන විට අබුදර් (රලි) තුමාගේ බිරිද ඉතා විරැපව සිටිනු දුටු සල්මාන් ෆාරිස් (රලි) තුමා ඒ පිලිබදව ඇයගෙන් විමසන ලදී. එයට ඇය පැවසුවේ ‘ඔබේ සහෝදරයා වන අබූදර් (රලි) තුමා රාත්‍රිය පූරාවට වන්දනාවල නිරතවෙනවා දහවල ප්‍රරාවට උපවාසයේ නිරත වෙනව‍ා ඒ හැරෙන්නට කිසිවක් පිලිබදව ඔහුට තැකීමක් නැහැ’ යයි පවසන ලදී. මෙහි තත්වය අවබෝධකරගත් සල්මාන් ෆාරිස් (රලි) තුමා එදා පටන් ඔහුට රාත්‍රිය පුරාවට වැදීමට හා දහවල පුරාවට උපවාසය රැකීමට බාධා කරමින් ඔහුට මෙසේ පවසන ලදී ‘ඔබට ඔබේ ඇසට, කනට, ශරීරයට, දියයුතු යුතුකම් ඇත. ඔබට ඔබේ බිරිදට දියයුතු යුතුකම් ඇත’. යයි පවසන ලදී. මෙයින් කෝපයට පත් අබුදර් (රලි) තුමා මුහම්මද් (සල්) තුමාණන් හට සල්මාන් ෆාරිස් (රලි) තුමාගේ ක්‍රියා කලාපය පිලිබදව පැමිණිලි කරන ලදී. නමුත් මුහම්මද් (සල්) තුමාණන් පවසා සිටියේ සල්මාන් ෆාරිස් (රලි) නිවරදි බවයි.”

සහෝදරවරුනි! ඉහත හදීසය තුලින් ආරම්භක සමාජයේ ජීවත් වූ මුස්ලිම්වරුන් කොතරම් ආගම දහමට නැඹුරැ කුසල ක්‍රියාවන් හි නිරතවීමට ප්‍රියතාවයක් දැක්වූවාද යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. තමන්ගේ ජීවිතය, තම පවුල, යනාදී සියල්ලට වඩා දහමට මූලිකත්වය දී කටයුතු කර ඇති බව ඉහත හදීසට තුලින් තහවුරු වේ. එවන් වූ සමාජයක් දෙස බලා අල්ලාහ් (දෙවියන්) “නුඹලා බියබැතියන් වනු පිණීස තමා මේ උපවාසය” යයි පවසන්නේ නම් ඒ බියබැති බව අපට කොතරම් නම් අවශ්‍ය වී තිබෙනවාද?

  • “අබ්දුල්ලා ඉබුනු අම්ර් (රලි) තුමා දිනක් මුහම්මද් (සල්) තුමාණන් හමුවට පැමිණ ‘නබිතුමණි! මට උපවාසය රැකීමට තරම් ශරීර ශක්තියක් ඇත. මා හට (රමලාන් මාසය නොවන කාලවල) උපවාසයේ නිරතවිය යුතු ආකාරය කියා දෙන්න?’ යයි විමසන ලදී එයට මුහම්මද් (සල්) තුමාණන් ‘මාසයකට දවස් දෙකක් උපවාසයේ නිරත වන්න’ යයි පවසන ලදී. එයට අම්ර් (රලි) තුමා ‘නබිතුමණි! මා ඉතා ශක්තිවන්තයි මීටත් වඩා වැඩි කොට පවසන්න’ යයි විමනස ලදී. එයට නබිතුමාණන් ‘මාසයකට දවස් 05ක් උපවාසයේ නිරතවන්න’ යයි පවසන ලදී. එයට අම්ර් (රලි) තුමා සිනා සී ‘නබිතුමණි මට මීට වඩා වැඩිකර පවසන්න’ යයි පවසන ලදී. එයට නබිතුමාණන් ‘එසේ නම් මාසෙට 07ක් ඉටුකරන්න’ යයි පවසන ලදී. එයට අම්ර් (රලි) තුමා ‘නබිතුමණි මට ශරීර ශක්තිය තිබෙනවා තවත් වැඩි කොට පවසන්න’ යයි විමසන ලදී. ඒ අනුව 9,11,13… යනාදී ලෙස වැඩි කල නමුත් එය ඔහුට ප්‍රමාණවත් නොවන බව පවසන ලදී. අවසානයේ මුහම්මද් (සල්) තුමාණන් පැවසූවේ මසකට දින 15 තමා උපරිමය බව. එය ඇසූ අම්ර් (රලි) තුමා ‘නබිතුමණි! මම මීටත් වඩා ශක්ති සම්පන්නයි මට තව වැඩිකොට පවසන්න’ යයි විමසන ලදී. නමුත් ඒ සදහා මුහම්මද් (සල්) තුමාණන් අවසර ලබාදුන්නේ නැත. රමලාන් නොවන මාසවල නිරතවිය හැකි උපරිම උපවාස ගනන 15ක් බවට මේ මඟින් ස්තීර කරන ලදී.

සහෝදරවරුනි! ඉහත හදීසය මැවැනි මිනිසුන් පැවතිය හැකිද? යන්න සිතීමට පොළොඹවන හදීසයක් නොවේද? රමලාන් මාසයේ නොව අනිකුත් මාස 11 දී උපවාසය රැකීමට ඒ සමාජය කොතරම් උනන්දුවක් දක්වනවාද? අපි අපගේ ආගමික වතාවත් අවම කරගැනීම සදහා විවිධ ආගමික තීන්දු අපේක්ෂා කරද්දී ආරම්භ කාල මුස්ලිම්වරුන් ආගමික වතාවත් හා කුසල ක්‍රියාවන් වැඩිකර ගැනීමට කොතරම් උනන්දුවක් දක්වා තිබෙනවාද? එය දැඩි නීති පනවා සීමා කරන්නට තරම් ඔවුන් ඒ කෙරෙහි උනන්දුවක් දක්වා තිබෙනවා නොවේද? එවන් වූ සමාජයක් දෙස බලා අල්ලාහ් (දෙවියන්) “නුඹලා බියබැතියන් වනු පිණීස තමා මේ උපවාසය” යයි පවසන්නේ නම් ඒ බියබැති බව අපට කොතරම් නම් අවශ්‍ය වී තිබෙනවාද?

ඉහත හදීසයන් පමණක් නොව ආරම්භක මුස්ලිම්වරුන් දහම කෙරෙහි තිබුණු කැපවීම හා කැපකිරීම අපට කියාපාන මෙවැනි බොහෝ ඉතිහාසගත සිදුවීමන් හදීසයන් තුලින් දක්නට ලැබේ. ඒවා පොත් ගණනින් ලිවිය හැක. එවැනි කිහිපයක් පිලිබදව ඉඟියක් පවසනවා නම්,

  • මුහම්මද් (සල්) තුමාණන්ගේ නිවසට පැමිණි තිදෙනෙකු නබිතුමාගේ වතාවත් හා ක්‍රියා කලාපයන් පිලිබදව විමසා ඉන් අනතුරුව ඔවුන් වෙච්ච පොරොන්දුව…
  • “එක්තරා අවස්ථාවක පහල වූ ‘නුඹලා ප්‍රියකරන දෑ අන් අයට දෙන තුරු නූඹලා සැබෑ මුමීන්වරුන් නොවන්නේය’ යන කුර්ආන් වාක්‍යයක් හේතු කොටගෙන අබු තල්හා (රලි) තුමා, තමා සතුව පැවතී මදීනාවේ විශාලතම හා සාරවත්ම ‘බයිරහා’ නම් වූ අක්කර 50ක් පමණ විශාල වතුයාය සදකා කිරීම (දිළිදු ජනතාව සදහා ලබාදීම)…”
  • “මුලර් නම් වූ ගෝත්‍රය මුහම්මද් (සල්) තුමා හමුවට පැමිණ තම ගෝත්‍රය මුහුණදෙන සාගින්න පැවසූවිට මුහම්මද් (සල්) තුමාණන් මදීනා වාසීන් රැස්කොට දේශණයක් කරන ලදී. එවිට මදීනාවාසීන් තම නිවෙස්වල තිබෙන සියළු දෑ ගෙනවිත් ඒ මූලර් ගෝත්‍රකයන් හට පරිත්‍යාග කිරීම…”

ඉහතින් ද සදහන් කර ඇත්තේ තවත් හදීස් කිහිපයක් පමණි. ඉස්ලාම් දහම ප්‍රකාශවීමට පෙර විවිධ වූ දුරාචාර, මනුෂ්‍ය ඝාතන, මත්පැන්වල හා‍‍ වෙනත් සමාජ විරෝධි ක්‍රියාවන් හි ගිලීපැවතී සමාජයක් ශුද්ධ වූ කුර්ආනයක් තුලින් මෙලොව ආදර්ශමත් ජන සමාජයක් බවට පෙරළුණි. එසේ වන්නට නම් ඔවුන් හා ශුද්ධ වූ කුර්ආනය අතර පැවතී බැදීම හා දෙවියන් කෙරෙහි තිබූ විශ්වාසය හා දහම කෙරෙහි පැවතී විශ්වාසය කොතරම් ඉහල එකක් වියයුතුද? එවන් වූ සමාජයක් දෙස බලා අල්ලාහ් (දෙවියන්) “නුඹලා බියබැතියන් වනු පිණීස තමා මේ උපවාසය” යයි ශුද්ධ වූ කුර්ආනය මඟින් පවසන්නේ නම්, ආගම දහම කට වචනයට හා භාහිර පෙනුමට පමණක් සීමාකොට අප අපව රවටමින් ලෞකික දිවිය පමණයි අපට තිබෙන්නේ යයි නොකියා පවසන ආකාරයට ක්‍රියා කරමින් ලොව තුල දක්නට ලැබෙන සියළු දෑ (ඉස්ලාම් අනුමත කල හා අනුමත නොකල) භුක්ති විදිමින් ස්වමත අනුව ක්‍රියාකරන වර්ථමාන මුස්ලීම් සමාජයට ඉහත “නුඹලා බියබැතියන් වනු පිණීස තමා මේ උපවාසය” යන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය කොතරම් නම් ඒ බලපෑම් ඇතිකල යුතුද? එදා අතීත ආරම්භ කාල සමාජයට සාපේක්ෂව එම බියබැති බව අපට කොතරම් නම් අවශ්‍ය වී තිබෙනවාද?

එය නිසි අයුරින් අවබෝධ කරගෙන මේ උපවාසය තුලින් මනුෂ්‍යාගෙන් දෙවියන් අපේක්ෂා කරන ඒ බියබැති බව වර්ධනය කරගැනීමට අල්ලාහ් (දෙවියන්) අපට විවෘත මනසක් හා ඥානයක් ලබාදෙත්වා!

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *