වර්ෂ 2009 ක් වූ මාර්තු මස 26 වන දා බ්‍රහස්පතින්දා බුදුසරණ ප්‍රවත්පත

බෝතලේ ඉහළගම කිණිතුලාගල ආරණ්‍යවාසී ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත
තල්ගමුවේ සුධීරානන්ද හිමි

ඇතැමෙක් තමාගේ රුචිකත්වය අනුව මත්ස්‍ය, මාංශ අකැප බව අවධාරණයෙන් පවසන අතර ඇතැමෙක් තම අදහස රුචිය අනුව කැප බව පවසති. දහම අනුව අප ඒ මත දෙක ගැනම පළමු කොට මැදහත් විය යුතු ය. එහිලා කළ යුත්තේ නිවැරැදි වූත් නිවන් මඟ ආවරණය නොවන්නා වූ දෘෂ්ටියකට පතිත නොවන මගට පිළිපැදීමයි. ඒ සඳහා බුදුපියාණන් වහන්සේ උක්ත ප්‍රස්තුතය සම්බන්ධව කරන ලද විග්‍රහයන් අතරින් නිවැරැදි දැක්මට එළඹිය හැකි ය.


මාංශ අනුභවය පිළිබඳ තෙවලා දහම ඇසුරින් නිවැරැදි හැඳින්වීමක් කිරීම මෙම ලිපියේ පරමාර්ථයයි. මෙම තේමාව බුදුදහමේ තේමාව වූ චතුරාර්ය සත්‍යයෙහිලා බලන කල්හි එතරම් වැදගත් වූවක් නොවන්නාසේම සෘජුව බුදු දහමේ විග්‍රහ නොවූවක් ද නොවේ. උත්තර නොමැති ප්‍රශ්න බුදුදහමේ නොමැත.

ඒ අතර පූර්වෝක්ත මාතෘකාව ධර්මභූමිකාවේ විස්තරාත්මකව පැමිණියකි. එය එසේ තිබියදී, ඇතැමෙක් තමාගේ රුචිකත්වය අනුව මත්ස්‍ය, මාංශ අකැප බව අවධාරණයෙන් පවසන අතර ඇතැමෙක් තම අදහස රුචිය අනුව කැප බව පවසති. දහම අනුව අප ඒ මත දෙක ගැනම පළමු කොට මැදහත් විය යුතු ය.

එහිලා කළ යුත්තේ නිවැරැදි වූත් නිවන් මඟ ආවරණය නොවන්නා වූ දෘෂ්ටියකට පතිත නොවන මගට පිළිපැදීමයි. ඒ සඳහා බුදුපියාණන් වහන්සේ උක්ත ප්‍රස්තුතය සම්බන්ධව කරන ලද විග්‍රහයන් අතරින් නිවැරැදි දැක්මට එළඹිය හැකි ය. ඉන් ඔබ්බට හෝ ඉන් මෙපිටට හෝ යෑමට අවශ්‍ය නැත. මක් නිසාද? යත්, නොපැන වූ සිකපදයක් නොපැනවිය යුතු ය. පැනවූවක් උල්ලංඝනය නොකළ යුතු ය. පැන වූ සිකපදයන්ට අනුව හික්මිය යුතුය යන්න බුද්ධ භාෂිතය බැවිනි. (විනය පිටක, පාරාජිකාපාලි, නිසඟි පචිති)

පාලි මූලාශ්‍ර ග්‍රන්ථයන්හි අවස්ථා කීපයක් අනුසාරයෙන් උක්ත කරුණෙහිලා මෙසේ ප්‍රෝත්සාහී වෙමි. බුදුපියාණන් වහන්සේ රජගහනුවර වැඩ වසන සමයෙක දෙව්දත් තෙරුන් ඉල්ලීම් පහක් භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලූහ.

1.ස්වාමීනී! භික්‍ෂූන් වහන්සේ ජීවිතාන්තය දක්වා අරණ්‍යයේ වාසය කෙරෙත්වා, යම් භික්‍ෂුවක් ගමනට බසී නම් ඔහු සිකපදයක් ඉක්මවූවා සේ සලකා පැනවීමක් කරන්න.

2. භික්‍ෂූහු ජීවිතාන්තය දක්වා පිණ්ඩපාතයෙන් යැපෙන්නෝ වෙත්වා. යම් භික්‍ෂුවක් ආරාධිත දානයක් වළඳා නම් වරදක් කළා වේ යැයි සික පදයක් පනවන්න.

3.භික්‍ෂූහු ජීවිතාන්තය දක්වා කසල ගොඩින් සොහොන්බිමෙන් ආදි තැන්වලින් අසුලාගත් සිවුරුම පාවිච්චි කෙරෙත්වා. යම් භික්‍ෂුවක් දායකයන් පිදූ සිවුරක් පාවිච්චි කෙරේ නම් වරදක් කළා වන්නේ යැයි සිකපදයක් පනවන්න.

4. භික්‍ෂූහු දිවිහිමියෙන් රුක්මුල් අසලම වාසය කෙරෙත්වා. යම් භික්‍ෂුවක් වහළක් යටට පිවිසේ නම් වරදක් කළා වන්නේ යැයි සිකපදයක් පනවන්න.

5. භික්‍ෂූහු දිවිහිමියෙන් මස් මාංශ නොම වළඳත්වා, යම් භික්‍ෂුවක් මත්ස්‍ය, මාංශ වළඳා නම් එම භික්‍ෂුව වරදක් කළා වන්නේ යැයි සිකපදයක් පනවන්න.

මෙම ඉල්ලීම් පහ කළ කල්හි බුදුපියාණන් වහන්සේ දේවදත්ත අවශ්‍ය නැත.

1. යම් භික්‍ෂුවක් ආරණ්‍යවාසී වීමට රුචිනම් ඔහු ආරණ්‍ය වාසී වේවා. යම් භික්‍ෂුවක් ගමේ විසීමට රුචිනම් ගමේ වෙසේවා.

2. යම් භික්‍ෂුවක් පිණ්ඩපාතයෙන් ජීවත්වීමට රුචිනම් ඔහු පිණ්ඩපාතයෙන් ජීවත් වේවා. යම් භික්‍ෂුවක් අරාධිත දාන රුචි නම් ඔහු ආරාධිත දාන පිළිගෙන වළඳාවා.

3. යම් භික්‍ෂුවක් පාංශුකූලික සිවුරුවලට රුචි නම් ඒවා හැඳීවා යමෙක් දායකයන් පිදූ සිවුරු රුචි කෙරේ නම් ඒවා පාවිච්චි කෙරේවා.

4. දේවදත්ත මා විසින් මාස අටක් රුක්‍ෂමූල සේනාසනය අනුදක්නා ලදී. වස්සානයේ සුරක්‍ෂිත සෙනසුන පාවිච්චි කෙරේවා.

5. දේවදත්ත මා විසින් තමා උදෙසා මරන ලද්දේ යැයි නොදක්නා ලද, නොම ශ්‍රවණය කරන ලද නොම සැක කරන ලද යන කරුණු තුනකින් යුක්ත මත්ස්‍ය මාංශය අනුදන්නා ලදී. එහි වෙනසක් අවශ්‍ය නැත. (චුල්ලවග්ග පාලි, සංඝභේදකත්ඛන්ධකය)

තමා ඉදිරිපත් කළ අවිනයවාදී ඉල්ලීම් පසම බුදුපියාණන් වහන්සේ මෙසේ ප්‍රතික්‍ෂේප කළ කල්හි දේවදත්ත තෙරණුවෝ ඔද වැඩුනු සිතින් නැගිට ගියහ.

මේ කරුණු 5 තමා රැගෙන අනුගමනය කළේ ය. “ලූඛප්පසන්නා ආවුසො මනුස්සා’ යනාදී වශයෙන් මනුෂ්‍යයෝ දුෂ්කර ප්‍රතිපදාවට පැහැදුනෝය යනුවෙන් පවසා නවක භික්‍ෂු පිරිසක් ද පොළඹවා ගත්තේ ය. මේ දක්වන ලද්දේ බුදුපියාණන් වහන්සේ මත්ස්‍ය මාංශ අනුභවයෙහිලා භික්‍ෂුව පිළිපැදිය යුතු ආකාරයයි. මෙකී කරුණු පංචකයෙන් 1, 2, 3 කරුණු ධුතාංග සංඛ්‍යාවට ඇතුළත් ය. ධුතාංග නම් කෙලෙස් දුරුකිරීමට හේතුවන සීලයට අමතර ගුණ විශේෂයෝ ය. නමුත් අවසාන කරුණු දෙක ධුතාංග අතරවත් ඇතුලු නොකිරීම ගැන නැණවත්හු සිතා බලත්වා.

මෙකල ධ්‍යානමාර්ගඵල ඇතැයි කීමෙන් සහ නිර්මාංශභෝගී යයි කීමෙන් මිනිසුන් අයථා ලෙස නම්‍යශීලි කර ගැනීමට යම් සේ හැකිවේද ඊට නොදෙවෙනි ලෙසට එකල්හි දෙව්දතුන්ට ඉහත කී කරුණු පස නිසාවෙන් සාමාන්‍ය මිනිසුන් පමණක් නොව ධර්මවිනය පිළිබඳ පුළුල් අවබෝධයක් නොතිබුණු භික්‍ෂු පිරිසක් ද නතු කර ගන්නට හැකි විය.

උක්ත මාතෘකාව පිළිබඳව පුළුල්ව විග්‍රහ වන තවත් තැනකි, විනය පිටකයේ පාචිත්තිය පාලියේ භෝජන වර්ගයේ 09 වෙනි ප්‍රණීත භෝජන සිකපදය ‘යානි ඛෝපන තානි පණීතභෝජනානි සෙය්්‍යථදීං සප්පි නවන්තං, තේලං, මධු, ඵාණිතං, මච්ඡෝ මංසං ඛීරං දධි යෝ පන භික්‍ඛු ඒවරූපානී පණීත භෝජනානි අශිලානො අත්තතෝ අත්ථාය විඤ්ඤපෙත්වා භුඤ්ජෙය්ය පාචිත්තියං’ (යම් භික්‍ෂුවක් ගිතෙල්, වෙඬරු, තලතෙල් ආදී තෙල්, මී පැණී, උක්පැණි, ගොඩමස්, දියමස්, මිදුනු කිරි, දී කිරි යන මේවායින් තොරව සුව නොවන රෝගයක් නැත්තේ තමා විසින් තමාගේ ප්‍රයෝජනයට මේ ප්‍රණීත භෝජන ඉල්ලාගෙන වළඳා නම් පචිති නම් වූ සිකපදයක් කඩ කළේ වෙයි.) මේ අවස්ථාව සැලකිල්ලට ගත් කල්හි ද ගිතෙල් ආදිය සේම දියමස් ගොඩමස් ඉල්ලාගෙන වැළඳීමෙන් වරදක් කළා වන්නේ ය.නමුත් වර්තමානයේ ව්‍යවහාරය අනුව නම් ගිතෙල්, උක්සකුරු, තල තෙල් ආදියක් ඉල්ලා වැළඳීමෙන් වරදක් වේද කියාවත් නොදනි. එහෙත් මත්ස්‍ය, මාංශ වළඳනු තමා පිළිගත්තත් ගරු සිකපද ඉක්ම වීමක් සේ සලකන්නෝ එමටය. වැරැදී ඇත්තේ කොතනද යන්න සොයා බැලීම සම්මා දිට්ඨියට හේතුයි.

දිනක් උප්පලවණ්ණා රහත් මෙහෙණින් වහන්සේ දිවා විහරණයට වනයට වැඩම කළ විටකදී සොර දෙටුවෙක් ් මාංශ කොටසක් ගසක එල්ලා මෙය පළමු දුටු කෙනකුට මා විසින් දෙන ලදී. ඒ ඔහු ගනීවායි සංඥාවක් කර ගියේ ය.

මේ උත්තමාව එය ගෙන පිස බුදුන්වහන්සේට පිළිගන්වන ලෙස එදින විහාරයේ සිටි උදායි නම් තෙරුන්ට භාර කළ බව විනය පිටක පාරාජික පාලි නිසඟි පචිති කාණ්ඩයේ සඳහන් ය. තෙරුවන් විෂයෙහි අචලප්‍රසාදයේ පිහිටි උත්තරීතර ස්ත්‍රීන් දෙපළකි විශාඛාව සහ සුප්පියාව භික්‍ෂූන්ගේ සුවදුක් විචාරමින් කුටිසෙනසුන් කරායාම මේ දෙපළගේ සිරිතකි.

දිනක් විරේචන බෙහෙතක් වැළඳූ භික්‍ෂුවක් ඉන් පසුව ගනුලබන මාංශ ව්‍යංජනයක් ගැන සුප්පියාවට දැන්වීය. (මයා ඛෝ භගිනි විරේචනං පීතං අත්ථෝ මේ පටිච්ඡාද නීයෙන) එය පිස එවන බවට පොරොන්දු දි ගිය ඇයට අංගානියෙන් (මස් හලෙන්) මාංශයක් නොලැබිණි.

 

අබූ අර්ශද්



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp