බේරුවල මත ගැටුම

0

2009.08.16 දින දිවයින ඉරිදා සංග‍්‍රහයේ “බේරුවල මත ගැටුම” යන මැයෙන් ඉදිරිපත් කර තිබු ලිපිය මගින් මෙම සිද්ධියෙන් අසරණ වු පාර්ශවයට හා ඉස්ලාම් දහමට බලවත් අසාධාරණයක් සිදුවී ඇත. එම නිසා එහි අඩුපාඩු පෙන්වාදීම සහා නිවරැදි කිරීම සැබෑ මුස්ලීම්වරයෙකුගේ අනිවාර්‍ය වගකීමකි. ඒ අනුව මෙම ලිපිය දිවයින ඉරිදා සංග‍්‍රහයට යොමු කරමි.

ඉහත සදහන් ලිපියෙහි කතෘ තම ලිපියෙ හි ඉදිරිපත් කොට ඇති කාරණයන් දෙස අවධානය යොමු කිරීමේ දී මෙම ලිපිය කුමණ අරමුණක් පෙරදැරි කරගෙන දිවයින ඉරිදා සංග‍්‍රහය වැනි පුවත්පතකට යොමු කලා ද යන්න තවම මා හට අදහා ගත නොහැකි පැනයකි. කෙසේ වෙතත් දිවයින පුවත්පතෙ හි කතෘ මේ ලිපිය තම පුවත්පත මගින් සමාජයට ඉදිරිපත් කිරීම තුලින් මෙම ලිපියෙහි කතෘ ඉදිරිපත් කරන බොළඳ කරුණු හා පදනම් විරහිත තර්කයන් සමාජයට එලි කරන්න අදහස් කලේ නම් එය අගයකල යුතු කාරණයකි. මන්ද එම ලිපිය කියවද්දී ඔවුන් කොතරම් අන්ධ භක්තියෙන් යුතුව කටයුතු කරනවාද යන්නත් එම මැර පහත් ක‍්‍රියාව කොතරම් ආඩම්භරශීලිව පිලිතන්නවා ද යන්නත් මනාව පැහැදිලි වේ. කෙසේ වෙතත් එම ලිපියෙ හි සදහන් කරුණු කිහිපයක් පිලිබදව ලාංකීය සමාජය දැනුවත් කිරීමක් සිදුකල යුතුය. මන්ද එසෙත් නැත්නම් ඉහත බේරුවල සිදුවීම පිලිබදවත් ඉස්ලාම් දහම පිලිබදවත් වැරදි අවබෝධයන් ඇති විය හැකි බැවිණි. ඒ අනුව එම ලිපියෙ හි අඩංගු කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කලේ නම්,

මුලින්ම එම ලිපිය ආරම්භ කර තිබුණේ “බේරුවල මුස්ලීම් දෙපිරිසක් අතර ඇති වු පුංචි යුද්ධයක්…” යනුවෙනි. මෙම ප‍්‍රකාශයම මුළු රටම හොදින් දන්නා මුසාවකි. එහි දී සිදුවුයේ යුද්ධයක් නොව සිදුවුයේ රාත‍්‍රි 11.30 පමණ විශාල පිරිසක් එකවර පල්ලියට කඩා පැන එහි නිදා සිටී පිරිස ඝාතනය කර දේවස්ථානය ගිනිබත් කිරීමයි. මෙය යුද්ධයක් ලෙස හොවා දැක්වීම විපතටපත් පිරිසට කරන බලවත් අසාධාරණයකි. එසේම එම ලිපියෙ හි තවත් තැනක “මේ දෙපිරිස මරාගත්තා…” යයි සදහන් කිරීම ද ඉහත සිදුවීම සාධාරණීකරනය කිරීමට ඉහත කතෘ කරන අසහය උත්සාහයත් ඔහුගේ අන්තවාදීත්වයත් මනාව පැහැදිලි වේ. මන්ද මෙම සිදුවීම මෙතෙක් කිසිදු තැනක හෝ පොලීසියක යුද්ධයක් ලෙස හෝ දෙපිරිස ගැටීමක් ලෙස සදහන් නොවේ. සදහන්ව ඇත්තේ මැර ප‍්‍රහාරයක් ලෙස පමණි. එසේම මෙම මැර ප‍්‍රහාරයට සහභාගි වුවන්ගෙන් කිසිවකුටත් ඇල්පෙනෙති තුඩක තරම්වත් තුවාලයක් සිදු නොවීමෙන් ද මෙය මුසාවක් යන්න මනාව පැහැදිලි වේ.

මීළගට එම ලිපියෙ හි කතෘ මෙම සිදුවීම සාධාරණීකරනය කිරීමට උත්සාහ කලේ මෙම සිදුවීමට බලපෑ මුල් බීජය පිලිබදව අදහස් ඉදිරිපත් කිරීමට මගිනි. එය අගය කල යුතු කාරණයකි මන්ද යම් සිදුවීමකට පසුබිම් කාරණයන් අවබෝධ කරගැනීම තුලින් එය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට හැකිි වන නිසාය. නමුත් එම ලිපියෙ හි කතෘ මුල් බීජය සොයා ගිය ගමනේ ඔහු අතරමං විය. එය ඔහු හිතාමතා අතරමං වුවාද එසෙත් නැත්නම් අනවබෝධය නිසා අතරමං වුවාද යන්න නොදනිමි. මුල් බීජය සොයා ගොස් රියාද්වල ජීවත් වුවායයි පවසන සාමාන්‍ය මනුෂ්‍යයෙකු වන අබ්දුල් වහබ් නැමැත්තෙකු ලග නතරවී ඇත. මා එම කතෘවරායට ආරාධනා කර සිටින්නේ මුල් බීජය සොයා ගොස් අබ්දුල් වහබ්ගෙන් නතර නොවී අබ්දුල් වහාබ්ට එම මුල් බීජය ලැබුණේ කොයි ආකාරයට ද යන්නත් සොයන්නේ නම් මෙහි සියල්ල පැහැදිලිව අවබෝධ වනු ඇත. ඒ අනුව එම ලිපියෙහි කතෘවරයාට හා ඊට සමාන මත දරන්නන්ටත් අවධාරනය කරන්නේ අප අබ්දුල් වහාබ් හෝ වෙනයම් කිසිවකු අනුගමනය නොකරන බවත්, අබ්දුල් වහාබ් අනුගමනය කලේත් අප අනුගමනය කරන්නේත් එකම මුල් බීජය වන ශුද්ධ වු අල්කුර්ආනයේ හා ශූද්ධ වු නබිවදන් හි සදහන් කරුණු පමණක් යන්නත්ය. මෙසේ කිරීම අන්තවාදීත්වයක් ලෙස ඉහත සදහන් ලිපියෙහි කතෘ තම පිලියෙහි හුවාදක්වා ඇත. එසේ නම් එම කතෘවරයාගෙන් මා විමසා සිටින්නේ ශුද්ධ වු අල්කුර්ආනයත් නබිවදනුත් පිලිපැදීම අන්තවාදීත්වයක් නම් මේ දෙක පමණයි ඉස්ලාම් යයි පැවසු නබිදුන් මුහම්මද් (සල්) තුමා පිලිබදව කුමක් පවසන්න හදනවා ද?. (මුහම්මද් (සල්) තුමා පිලිබදව මෙවැනි සිතුවිල්ලකින් පවා අල්ලාහ් අප ආරක්‍ෂා කර දෙත්වා) අනවබෝධයෙන් අපට කරණ චෝදනාවේ පරපතලකම අනතවාදීත්වයෙන් බැහැරව සිතන සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුහට අවබෝධ කරගැනීමට අපහසු කාරණයක් නොවේ.

එම ලිපියෙහි කතෘ ඉදිරිපත් කර තිබුණු තවත් ජනප‍්‍රිය චෝදනාවක් තමා “මේ පිරිස ඉස්ලාමය විනාශ කරනවා මුහම්මද් (සල්) තුමාණන්ට අගෞරව කරනවා” යන්න. මා ඔහුගෙන් විමසා සිටින්නේ මුහම්මද් (සල්) තුමා ගෙන ආ දහම පිලිපැදීම ද අගෞරවයක් වන්නේ එසේත් නැත්නම් එතුමා තහනම් කරන ලද කාර්‍යයන් පවා ඉස්ලාම් යයි පිලිපැදීම හා පැවසීම ද එතුමාට කරන අගෞරවය වන්නේ?. ඉන්දියානු මුස්ලීම්වරුන්ගේ ආභාෂයෙන් ලංකීය මුස්ලීම්වරුන් වන අප අතරට සොහොන් වන්දනය ආ අතර එම සොහොන් වන්දනය තමන් සිදුකරන උතුම් වන්දනයක් ලෙස එම ලිපියෙහි කතෘ පවසා ඇත. නමුත් එම ලිපියෙහි කතෘට දහම කෙරෙහි තිබෙන අනවබෝධය තරම පැවසීමට පහත ශද්ධ වු නබිවදන ප‍්‍රමාණවත් වේ යයි සිතමි. එනම්,

  • අබු හයියාජ් අසදි (රහ්) තුමා මෙසේ පවසයි “අලි (රලි) තුමාගේ පාලන සමයේ දිනක් අල් (රලි) තුමා මාව කැදවා ‘මුහම්මද් (සල්) තුමා දිනක් මාට පැවරු වැදගත් වු මෙහෙවරක් අද නුඹට මා අණ කරමි. එනම් මේ පොළොව මත පොළොව මට්ටමට වඩා ඉහලට බැද තිබෙන සියළු සොහොන් ගෙවල් කඩාබිද පොළොවට සමතලා කොට පැමිණෙන්න’ යයි මට අණ කරන ලදී.”

(ග‍්‍රන්ථය මුස්ලීම් අංකය 2287)

ඉහත නබිදුන්ගේ වදනට අනුව සොහොනක් ස්ථීර ලෙස ඉදිකිරීම කොතරම් ඉස්ලාම් විරෝධි ක‍්‍රියාවක් ද යන්න පැහැදිලි වේ. මේ අනුව ඉහත සදහන් ලිපියෙහි කතෘ තම ලිපියෙහි ආඩම්භරයෙන් පවසන සොහොන් වන්දනය ඉස්ලාම් තහනම් කල කටයුත්තක් යන්න පවා ඔහු නොදැන සිටින්නේ තමන් පිලිපදින දහමෙහි මූලික ඉගෙන්වීම් පවා නොදන්නා අන්ධ භක්තිය නිසාම නොවේද? මේ ආකාරයට මොවුන්ගේ බොහෝ ක‍්‍රියාවන් ඉස්ලාමයට පරස්පර යන්න ඔවුන් මෙන්ම සෑම මුස්ලීම්වරයෙකුම ශූද්ධ වු ලියවිල්ල ලෙස සලකන අල්කුර්ආනයෙන් හා අල්හදීසයෙන් ගෙන හැර දැක්විය හැක. එසේ නම් ඉස්ලාමය විනාශ කරන්නේ කවුරුන්ද? මුහම්මද් (සල්) තුමාට අගෞරව කරන්නේ කව්ද?

එසේම එම ලිපියෙහි කතෘ තම ලිපියෙහි කිහිප තැනක අවධාරණය කර තිබුණේ අප සම්ප‍්‍රදායන්ට විරුද්ධ වු පිරිසක් බවටයි. එයින් කතෘවරයාට ඉස්ලාම් දහම පිලිබදව තිබෙන අනවබෝධය තවත් මනාව පිලිබිඹු කරවයි. එනම් රටක ජාතියක සම්ප‍්‍රදාය කිසියම් දහමක නිරවද්‍යතාවය හෝ වලංගුභාවය මනින මිම්මක් බවට පත්කර ගැනීම අනවබෝධයයි. විවිධ කාලවල විවිධ ආකාරයේ සම්ප‍්‍රදායන් සමාජයන් තුල බිහිවෙයි. වර්ථමානයේ ලාංකීය මුස්ලීම් සමාජයේ දත්නට ඇත්තේ මීට වසර 250 කට පමණ පෙර ඉන්දියාවෙන් ආනයනය වු සමාජ සම්ප‍්‍රදායකි. එය තුල විවිධ පිරිස විවිධ ආකාරයේ ආදයම් මාර්ගයන් උත්සවයන් තම වාසියට හා පැවැත්මට අනුව සකසා ගෙන ඇත. ඒ අනුව රටක සම්ප‍්‍රදායන් දහමක් සමග සංසන්ධනාත්මකව කථා කිරීම අනුවනක්කාර අන්තවාදීත්වයක් මිස බුද්ධිමත් තර්කයක් නොවේ. උදාහරණයකට බෞද්ධ සමාජයේ සම්ප‍්‍රදායන් බෞද්ධයන්ගේ ශුද්ධ වු ලියවිල්ල වන ත‍්‍රිපිටකය හා පරස්පර වන අවස්ථාවක පිලිගන්නේ ත‍්‍රිපිටකයද? සම්ප‍්‍රදායද?. පැහැදිලිවම ත‍්‍රිපිටකය යන්නෙ හි කිසිදු බෞද්ධයකුහට තමභේදයක් තිබිය නොහැක. එසේනම් සමාජයක සම්ප‍්‍රදාය දහමක වලංගුභාවය මැනීමට යොදාගැනීම අනුවනක්කාර ක‍්‍රියාවක් යන්න පහසුවෙන් අවබෝධ කරගත හැකි. මෙහිදී අවධාරණය කලයුතු කාරණයක්ද ඇත. ඉහත ලිපියෙන් මා අදහස් කරන්නේ සැබෑ මුස්ලීම්වරුන් සම්ප‍්‍රදායි විරෝධීන් යන්න නොවේ. දහමට අනුකූලව පවතින එසේත් නැත්නම් දහමට පරස්පර නොවන සමාජ සම්ප‍්‍රදායන් පිලිපැදීමට ඉස්ලාම් දහම තුල කිසිදු තහනමක් නැත. නමුත් ඉහත සදහන් ලිපියෙහි එහි කතෘ සම්ප‍්‍රදායම දහමක් කරගැනීම තුල දහම කෙරෙහි ඔහුට තිබෙන අනවබෝධය හා අන්තවාදීත්වය හොදින් ප‍්‍රදර්ශනය කරයි.

ඉහත සදහන් එම පිලියෙහි කතෘ ඉදිරිපත් කරන තවත් ජනප‍්‍රිය තර්කයක් තමා ඔවුන් මුහම්මද් (සල්) තුමාණන්ට ඉහලින්ම ගරු කරනවා යන්නත් අප එතුමාණන්ට අගෞරව කරනවා යන්නත්ය. ඔවුන් නබිදුන්ට දක්වන ගෞරවයේ තරම අවබෝධ කරගන්නට ඉහතින් සදහන් සොහොන් ඉදිකිරීම පිලිබදව පවසන නබිවදනට ඔවුන් දක්වන ප‍්‍රතිචාරයම ප‍්‍රමාණවත් වුවත් සමාජයේ මෙවැනිම මත දරන්නන්ගේ වැඩිදුර අවධානය පිණිස ප‍්‍රශ්න කිහිපයක ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි. එනම්, නබිතුමාට ගෞරව කරන්නේ නම් ඇයි අදටත් ලිබිතව ආරක්‍ෂා වී පවතින එතුමාගේ නියෝගයන්, ක‍්‍රියාවන් හා අනුමත කිරීමන් (මේවා හදීස් යනුවෙන් හදුන්වයි) තම ජීවිතය තුල ක‍්‍රියාවට නොනගන්නේ?. එම ලිපියෙහි කතෘ තම ලිපියෙහිම ඉස්ලාම් යනු අල්ලාහ්ගේ නියෝගයන් හා ඔහුගේ නබිදුන්ගේ ආදර්ශයන් යයි පවසා එය වචනයට පමණක් සීමා කොට බේරුවල පදිංචි අහමඩි බින් මොහමඞ් ආදර්ශයට ඔහු ගැන වර්ණනයන් ඉදිරිපත් කරමින් මුහම්මද් (සල්) තුමාණන්ට ලබාදෙන ගරුත්වය වෙන කෙනෙකුට ලබාදෙමින් සිටී. එසේම මුහම්ද් (සල්) තුමා පමණයි මෙලොව එකම ආදර්ශය යයි අප පවසද්දී අප නබිතුමාට අගෞරව කරන බවට සමාජයට වැරදි මතයක් වපුරවමින් සිටී. අප නබිදුන්ට දක්වන ගෞරවය අගෞරවයක් නම් ඔවුන් බේරුවල සාමාන්‍ය කෙනෙකුහට වන්දනාමාන කරමින් සිටීම නබිදුන්ට කරන ගෞරවයක්ද? ඉස්ලාම් පුද්ගල වන්දනය සහමුලින්ම ප්‍රතික්ෂේප කරන දහමක්. එසෙම් අපට එරෙහිව සමාජය ප‍්‍රකොප කරවන්නට පවසනු ලබන තවත් මුසාවක් තමා නබිදුන්ව අප තැපැල්කරුවකුට සමාන තත්වයට පත්කර ඇති බව පැවසීම. මෙය ද මුස්ලීම් සමාජයම නොමග යැවීමකි. අප එතුමා මුළු ලොවටම එකම ආදර්ශයක් බව පවසද්දී එය වසන් කොට වෙනත් ස්වරූපයක් එයට ලබාදීම වංචනීය මෙන්ම අන්තවාදීත්වයකි.

මීළගට ඉහත සදහන් එම ලිපියෙහි තවත් වැදගත් කරණයක් වෙත ඔබගේ අවධානය යොමු කරවමි. එනම් මුස්ලීම්වරයෙකුවීමට තිබිය යුතු ප‍්‍රධාන අංගයක් පිලිබදව ඔහු පැවසීමේ දී “අල්ලාහ් එකම දෙවියා බවද නබිදුන් ඔහුගේ වක්තෘ බවද පිලිගත යුතුයි” යනුවෙන් පවසා තිබුණි. සැබැවින්ම මුස්ලීවරයෙකුවීමට අනිවාර්‍ය හා මුලික අංග දෙක වන්නේ මේ දෙක පමණි. නමුත් ඉහත කතෘ නියෝජනය කරන පිරිස කරන්නේ කුමක්ද? අල්ලාහ් එකම දෙවියා යයි පවසමින් සොහොන් වන්දනය කරයි. නබිදුන් වක්තෘවරයා යයි පවසමින් බේරුවල පදිංචි අහමඞ් බින් මොහමඞ්ව තමන්ට එකම ආදර්ශයක් කරගනී. එසේ කරන ගමන් අල්ලාහ්ට පමණක් වන්දනා මාන කරමින් මුහම්මද් (සල්) තුමා පෙන්වාදුන් ආකාරයට පමණක් තම ජීවිතය සකසා ගත් අප ඉස්ලාම් විරෝධින් ලෙස සමාජයට පෙන්වාදීමට කටයුතු කරමින් සිටී. එසේ නම් ඉහත එම ලිපියෙහි සදහන් මුස්ලීම්වරයෙකු හට තිබිය යුතු අංග දෙක ඇත්තේ කවුරුන් ලඟද? එසේනම් ඉහල සදහන් ලිපියට අනුව සැබෑම මුස්ලීම්වරුන් කවුරුන්ද? මෙම කාරණයන් පෙන්වාදීම අල්ලාහ් දෙවියන්ගේ දේවස්ථානය ගිනිබත් කරන්නත් මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වු ලියවිල්ලවන අල්කුර්ආන් ග‍්‍රන්ථයන් විශාල ප‍්‍රමාණයක් ගිනිබත් කරන්නටත්, ජීවිත ගනනාවක් බිලිගන්නටත් හේතුවක් නම් ඉහත කාරණා දෙකෙන් ද ඉස්ලාමයෙන් ද බැහැරව කොතරම් දුරක් මේ පිරිස ගමන්කර තිබෙනවාද යන්න අවබෝධ කර ගැනීම අපහසු කාරණයක් නොවේ.

මීලගට අවධානය යොමු කරන්නේ එම ඉහත සදහන් ලිපියෙහි කතෘ විසින් පවසා තිබුණු බේරුවල බුහාරි උත්සවය හා එහි සම්ප‍්‍රදායනුත් ඒහා බද්ධ වු හාස්කමුනුත් පිලිබදවය. එහි දී ඉහත සදහන් ලිපියෙහි එක්තරා ස්ථානයක “ආදි කාලයේ පටන් අප පවත්වාගෙන ආ සම්ප‍්‍රදායන්ට මේ පිරිස විරුද්ධ වනවා” යනුවෙන් පවසා තිබුණි. මේ අනුව මොවුන් දහම නමින් කුමක් අනුගමනය කරන්නට වෙරදරනවාද? යන්න හොදින් පැහැදිලි වේ. මේ පිරිසට පවසන්නට ඇත්තේ ඉස්ලාම් පදනම් විරහිත සම්ප‍්‍රදායන්, අන්ධ විශ්වාසයන් හා මනකල්පිත හාස්කම් පදනම් කරගත් දහමක් නොවේ. එසේම ඉහත සදහන් ලිපියෙහි කතෘ පවසන ආකාරයට මෙය අල්ලාහ් දෙවියන් හෝ ඔහුගේ වක්තෘවරයා පෙන්වාදුන් ආදර්ශයක් ද නොවේ. මෙය ලෝක මුස්ලීම් රටවල් අතුරින් ලංකාවට හා ඉන්දියාවට පමණක් ආවේනික වු සම්ප‍්‍රදායන් පමණි. ඒවාට කිසිදු ඉස්ලාමීය පදනමක් නැත. අභියෝගයක් ලෙෂ ඉදිරිපත් කරමි හැකි නම් මේවාට ශුද්ධ වු අල්කුර්ආනයෙන් හෝ නබිදුන්ගේ ආදර්ශයෙන් එක් සාක්‍ෂියක් ලෙන එන්න. මුස්ලීවරුන්ට ශුද්ධ වු අල්කුර්ආනය පාරයනය කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවේ එහි දෙවියන් පවසන කරුණු ද අවබෝධ කරගත යුතුයි එසේ නොකිරීමේ අනිසි ප‍්‍රථිපලය තමා තමන් දකින අසන සියල්ල අන්ධ භක්තියෙන් වැලදගෙන ඒවාට පදනම් විරහිත ආකාරයට සාක්‍ෂි ඉදිරිපත් කරන්නේ. ඉස්ලාම් පවසන්නේ යම් මුස්ලීම්වරයෙකු නොමග යන්නේ නම් ඔහුට නිසි මාර්ගය අලංකාර අයුරින් පෙන්වා දෙන්න යන්නයි. එය අප කරන විට දහමේ මූලික කරුණු පිලිබදව පවා අවබෝධයක් නැති ඒ පිරිස කුමක්ද කලේ තමන් පවා ශුද්ධත්වයෙන් සලකන ශුද්ධ වු අල්කුර්ආන් ග‍්‍රන්ථ විශාල ප‍්‍රමාණයක් ගිනිබත් කොට අල්ලාහ් දෙවියන්ගේ නිවස ලෙස මුස්ලීම්වරුන් සලකන දේවස්ථානය ගිනිබත් කිරීමයි. ඔවුන් ඉස්ලාමීය රාමුව තුල සිටියා නම් කලයුතුව තිබුනේ ඔවුන්ගේ ක‍්‍රියාවන්ට ශුද්ධ වු අල්කුර්ආනයෙන් හෝ නබිදුන්ගේ ආදර්ශයන් තුලින් සාක්‍ෂි ගෙනහැර දැක්වීමයි. ඉහත සදහන් ලිපිය තුල ද එහි කතෘ කුමක්ද කර ඇත්තේ තම පිරිස කරන ක‍්‍රියාවන්ට සාක්‍ෂි වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ කුමක්ද? බුහාරි උත්සවයේ උයන බත් ප‍්‍රමාණයත්, එයට සහභාගිවන ජනගහනයත්, එහි දී ඝාතනය කරන සතුන් ප‍්‍රමාණයත්ය. මේවා දහමක, දර්ශනයක නිරවද්‍යතාවය මනින මිමි නොවේ. මෙය සමාජයටම හාස්‍යයක් උපදවන සාක්‍ෂියකි. මොවුන්ගේ අන්ධ භක්තිය නිසා තමන් කරන කාර්‍යයන් සදහාවත් සාක්‍ෂියක් ඉදිරිපත් කරගන්නට බැරි තරමටම දහම තුල බංකලෝත්තුභාවයට මොවුන් පත්ව ඇත. එසේම සිතිය යුතු කාරණය වන්නේ මොවුන්ගේ ශාස්තෘවරුන් තම අනුගාමිකයන්ව දහම තුල කොතනක තබා තිබෙනවාද යන්න පිලිබදවයි.

සෑම වසරකම බුහාරි උත්සවයට පෙර මාසයක් පුරාවට නබිදුන්ගේ වදන් අඩංගු ශුද්ධ වු බුහාරි ග‍්‍රන්ථය කියවන බව ඉහත ලිපියෙහි කතෘ ආඩම්බරයෙන් පවසා තිබුණි. නමුත් එම බුහාරි ග‍්‍රන්ථයේ පලමු නබිවදන වන

“ක‍්‍රියාවක් යහපත් (පිනක්) වන්නේ එය කරනු ලබන සිතුවිල්ල අනුවමය.”

සෑම වසරකම කියවන මෙම නබිවදන පිලිබදව යම් අවබෝධයක් හෝ තිබුනා නම් ඉහත සදහන් ලිපියෙහි කතෘට එම බුහාරි උත්සව භූමියෙහි බෙදා දෙන බතුත්, මරණ සතුනුත්, ජනගහනයත් එහි දී සුදු කමීසයත්, සුදු සරමත්, සුදු එසේත් නැත්නම් රතු තොප්පියත් තම මතය සාධාරණිකරණය කරන මිම්මක් නොවන්නට ඉඩ නොතිබුණි. මීට වසර 1400 කටත් පෙර ජීවත් වු උතුම්ම ආදර්ශයක් ලොවට පෙන් වු නබිදුන්ගේ ජීවිතය තුල අද පවතින ආකාරයේ අත්දිග කමීස, සරම්, පාට පාට තොප්පි ආදර්ශයන් තිබුණාද? මේවා දහමක වලංගු බවට බලපාන කරුණුද? උතුම් දහමකට උරුමකම් කියන මුස්ලීම්වරුන් අතර මෙවැනි මුස්ලීම්වරුන් කෙරෙහි අනුකම්පා කරන්න ද නොඑසේ නම් සිනාසෙන්න ද යන්න නොතේරේ. ඉහත පිරිස තම මතය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් කරන තවත් තර්කයක් තමා විශාල පිරිසකට මෙහිදී ආහාර සපයන නිසාත් ඉස්ලාම් ආහාර සපයන ලෙස අන කරන නිසාත් මෙය ඉස්ලාමීය දහමට එකග වු කාරණයක් යන්නයි. ඉස්ලාම් ආහාර ලබාදෙන්න යනුවෙන් පවසා තිබීම සත්‍යයකි. නමුත් එය ඉස්ලාම් දහමෙහි මූලික ඉගෙන්වීමන්ට පවා පටහැනි ක‍්‍රියාවන් මාලාවක එනම් සොහොන් වන්දනය, පුද්ගල වන්දනය, විවිධ පුද්ගලයන් නමින් සතුන් ඝාතනය… යනාදී ආගම් විරෝධී ක‍්‍රියාවන් සමුහයක් අතර ආහාර බෙදාදීම යන එක පමණක් ඉස්ලාම් අනුමත කල ආකාරයට සිදුකිරීම මුළු ක‍්‍රියාවලියම නිවරැදි යයි පැවසීමට කාරණයක් නොවේ. මෙය හරියට මීපැණි බදුනකට විෂ බින්දුවක් එක්කොට පානය කිරීම බදුය. මීපැණි හොද පානයක් වුවත් එහි විෂ කවලම් වී තිබීම එම මීපැණී ප්‍රතික්ෂේප කිරීමට හේතුවකි. ඒ ආකාරයටම ආහාර බෙදාදීම හොද වු පමණින් එම ක‍්‍රියාවලියම හොද නොවේ. මෙසේ පැවසීම ඉස්ලාමයේ මූලික ඉගෙන්වීම්පිලිබදව පවා තිබෙන අනවබෝධයකි.

ඉහත සදහන් ලිපියෙහි එහි කතෘ මෙසේ ද සදහන් කොට තිබුණි. එනම් “අධ්‍යාත්මික නායකයකු යටතේ විනය අතින් උච්චතම තලයක සිටින අප කාදිරියතුන් නබවියා නම් ජන කොටසකි”. යනුවෙන් පවසා තිබුණි මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් මා හට පිලිතුරුදීමක් නොව ප‍්‍රශ්න කිහිපයකි ඇත්තේ. එනම්,

  • විනයේ උච්චතර ස්ථානයේ සිටින නිසා ද එදා තමන් විසින්ම ශුද්ධත්වයෙන් සලකන අල්කුර්ආන් ග‍්‍රන්ථයන් විශාල සංඛ්‍යාවක් ගිනිබත් කලේ?
  • අල්ලාහ් තම නිවස ලෙස පවසන දේවස්ථානය ගිනිබත් කලේ විනයේ උච්චතම අවස්ථාව නිසාද?
  • මුස්ලීම්වරුන් කඩුවලින් කපා කොටා මැරුවේ ඒ උච්චතම විනය නිසාද?
  • රටක නීතියට යටහත් නොවී ආයුධ අතට ගෙන ක‍්‍රියා කරන්නේ විනයේ තිබෙන උච්චත්වය නිසාද?
  • එසේ නම් මෙතරම් මැර ප‍්‍රහාරයක් විනාශයක් සිදුවීමෙන් අනතුරුවත් රටේ නීතියට අවනතව සංයමයකින් බලා සිටින්නේ විනයක් නැති පිරිසක්ද?
  • ඉස්ලාමයේ උච්චතම තලයේ කාදිරියතුන් නබවියා නිකායවාදීන් සිටිනවා නම් ලංකාවයි ඉන්දියාවයි හැර ලොව කොතනකවත් යහපත් මුස්ලීම්වරුන් නැතිද?
  • එසේ නම් ඔබලා ගරු කරනවා යයි පවසන මුහම්මද්(සල්) තුමා කුමන නිකායේද?
  • එසේ නම් නබිතුමාණන් මේ ආකාරයට විවිධ ආකාරයේ නිකායවාදයන් සමාජයට ඉදිරිපත් කරමින් මුස්ලීම් සමාජය බේදබින්න කලාද?
  • එසේම මේ ආකාරයේ නිකායයන් ගොඩ නගාගෙන එකකට වඩා අනෙක උතුම් යයි පැවසීමට පදනම් වු ශූද්ධ වු අල්කුර්ආන් වාක්‍ය කුමක්ද? ශුද්ධ වු නබිවදන කුමක්ද?

ඉහත සදහන් ලිපියෙහි කතෘට මම අභියෝග කරමි. හැකි නම් මේ ප‍්‍රශ්න 09 ටම නොව එක් ප‍්‍රශ්නයකට පැහැදිලි පිලිතුරක් සපයන්න. සැබෑ දහමින් බැහැර වු කිසිවකුටත් මේ ප‍්‍රශ්නවලට පිලිතුරු දිය නොහැක. කල හැක්කේ දෙඩවිල්ලක් පමණි.

අවසාන වශයෙන් පවසන්නේ 2009.07.24 දින දේවස්ථානයත්, ශුද්ධ වු අල්කුර්ආන් ග‍්‍රන්ථයනුත් ගිනිබත් කිරීම, මිනිස් ජීවිත නැති කිරීම, දේපල හානි කිරීම යනාදී තමන් කල ඒ පහත් ක‍්‍රියාවන් තවදුරටත් බොළද තර්කයන් මගින් සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම නොව අල්ලාහ් වෙනුවෙන් වරද පිලිගෙන හාස්කම්, මිත්‍යාවන් හා පදනම් විරහිත සම්ප‍්‍රදායන් පසුපස ගොස් මංමුලා නොවී ඉස්ලාමයේ මූලික ඉගෙන්වීමන් වන අල්කුර්ආනය හා නබිදුන්ගේ වදන්වලට අනුව දහම අවබෝධ කරගෙන ගෙන් ලෞකික සතුට හෝ සමාජ ගෞරවය පසෙකලා ලෝකොත්තර ජීවිතයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉහත ලිපියෙහි කතෘවරයාටත් එවැනි මතදර සියළු සහෝදරයන්ටත් සහොදරත්වයේ දෑත් දිගු කරන අතර ශුද්ධ වු අල්කුර්ආන් වාක්‍යයකින් මෙම ලිපිය අවසන් කරමි.

“අල්ලාහ්ගේ (දහම) ආලෝකය ඔවුන්ගේ මුවින් (පිඹ) නිවන්නට ඔවුන් අදහස් කරන්නේය. විශ්වාස නොකරන අය අකමැති වුවද අල්ලාහ් ඔහුගේ (දහම) ආලෝකය පරිපුර්ණ කරන්නේය.”
(9-32)

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *