මත්පැන් භාවිතයට එරෙහිව ඉස්ලාමීය ආදර්ශය

1

කාලීන මාතෘකාවන් තුලින් සමාජ යහපත උදෙසා ක්‍රියා කරන යහමඟ අඩවිය අද සාකච්ඡාවට ගැනෙන කාරණය වන්නේ “මත්පැන් භාවිතයට එරෙහිව ඉස්ලාමීය ආදර්ශය” යන්නයි. මෙම මාතෘකාව පිළිබඳව සමාජය තුල සංවාදයක් ගොඩනැඟීමට වඩාත් සුදුසු කාලය ලෙස මෙම කාල වකවානුව සඳහන් කළ හැක. එනම් එක් පසෙකින් ලෝක දුම්වැටි විරෝධි දිනය සමස්ත ලෝකයම සමරන මොහොතක, සම්බුද්ධත්ව ජයන්තිය හරහා ජනතාව පිලිවෙතින් පෙළගැසෙන මොහොතක තවත් පසෙකින් ‘මේ මත්පැන් ශ්‍රී ලාංකීය සමාජය තුල තහනම් කළ යුතුයි’ යනුවෙන් උපවාසයන් පවා සිදුවන මොහොතක එසේම මේ මත් උවදුර නිසා ජාතියක් ලෙස විශාල පරිහානියකට සමස්ත සමාජයම ගොදුරු වෙමින් පවතින මොහොතක මෙය කතා කිරීම අත්‍යාවශ්‍ය මාතෘකාවකි. විශේෂයෙන් මෙවන් අවස්ථාවක අප වැනි රටක් එනම් නිරන්තරයෙන් “මතට තිත” තැබීමට කථා කරන, දෛනිකව “මතින් වැලකෙන්නට” පොරොන්දු දෙන රටක් ලෙස ලෝකයා හමුවේ ආදර්ශමත් වනවා වෙනුවට මේ මතින් ළඟාකරගත් අරාජිකත්වය කථා කිරීමට මීට වඩා සුදුසු කාලයක් තවත් නැති තරම් ය.

මේ මත් උවදුර තුල දුම්වැටි භාවිතය මිනිස් සමාජයට ගෙන දී ඇති විපාකයන් පිළිබඳව ඉස්ලාමීය දෘෂ්ඨි කෝණයෙන් මීට ඉහත විමසා බැලුවෙමු. මෙහිදී මත්පැන් භාවිතය පිළිබඳව අවධානයක් යොමු කිරීමට අදහස් කරන්නේ මෙම මත්පැන් ශ්‍රී ලාංකීය සමාජයේ දිනකට 70ක් පමණ බිලිගන්නා ඉතා සූක්ෂම ආකාරයට ව්‍යාප්ත වෙමින් පවතින පිළිලයක් වී ඇති නිසා ය. බහුතරයක් බෞද්ධයන් වෙසෙන රටක් ලෙසත් මත්පැන් භාවිතයට එරෙහිව රාජ්‍යතාන්ත්‍රිකව මෙන්ම ඊට පරිභාහිරව ද විවිධ විරෝධතාවයන් සාකච්ඡා මේසයට පමණක් සීමා වී ඇති සමයකත් මේ පිළිබඳව ඉස්ලාමීය මුහුණුවරින් සාකච්ඡා කිරීම කාලීන අවශ්‍යතාවයක් යයි සිතමි. එයට සුවිශේෂි හේතුවක් ද ඇත. ඒ මෙම ගැටළුවේදී ඉස්ලාම් මැදිහත් වූ ආකාරයට ලොව කිසිදු දහමක් සාර්ථක මැදිහත්වීමක් සිදු නොකළ නිසාම බැවිණි. ලොව සෑම දහමකම මේ මත්පැන් භාවිතය හෙළා දැකීම සිදුකොට ඇතත් එයින් දිනාගත් කිසිවක් නොමැති තරම්ය. උදාහරණ කිහිපයක් පවසනවා නම්,

  • ලොව කිසිදු දහමක නොමැති ආකාරයට අප රටේ බෞද්ධ ප්‍රජාව දිනපතා මතින් වැලකෙන්නට පොරොන්දු වෙති. නමුත් දාන ගෙදරක, පිංකම් කටයුත්තක මුල්තැන ගන්නේ මේ මත්පැන් බව අලුත් කාරණයක් නොවේ. සමහරක් අවස්ථාවල මත්පැනින් වලකින්නට දෙන පොරොන්දුව පවතින්නේ ස්වාමීන් වහන්සේලා වඩිනකම් පමණක් දෝ යන්න හැඟේ. ස්වාමීන් වහන්සේලා වඩිනවාත් සමඟ පන්සිල් පදයේ “සුරා මේරය…” පදය බිදීයාම එම ආගමික විනය සමාජගත වී ඇති ආකාරය මනාව පිලිඹිබු කිරීමකි.
  • එපමණක් නොව කිතුණු දහම සැලකුවද බයිබලයේ “ගණන් කථාව 6 : 3” හි මත්පැන් භාවිතය දැඩි ලෙස හෙලා දකී. නමුත් එවන් දහමක් තුල ඒ කිතුණු දහම නමින්ම මත්පැන් මුල්කරගෙන ආගමික කටයුතු සිදුවීම මෙන්ම ලොව අධික ලෙස මත්පැන් භාවිතා කරන ජන සමාජය බවට ඔවුන් පත්ව පැවතීම එම ආගමික ඉගෙන්වීම සමාජගතව ඇති ආකාරය ද මනාව පිලිඹිබු කරයි.

මෙවන් වූ පිළිලයෙන් මිනිස් සමාජය මුදවා ගැනීමට ඉස්ලාම් දහම ලොවට පෙන්වා දෙන ආදර්ශය පිළිබඳව ද මිනිස් සමාජය බුද්ධිමත් ලෙස සිතා බැලිය යුතු ය. ඒ පිළිබඳව තරමක් දීර්ඝ ලෙස කථා කිරීමට අදහස් කරන නිසා ඊට මත්තෙන් වර්ථමාන ශ්‍රී ලාංකීය සමාජය මත්පැන් භාවිතය තුලින් ළඟා කරගෙන ඇති තත්වය පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා දීමට අදහස් කරමි. ඒ සඳහා ඔබේ බුද්ධිමත් විමසුමට කෙටියෙන් කරුණු කිහිපයක් මෙහි පහතින් ඉදිරිපත් කරමි.

ඒ මෙසේ ය…

  • ශ්‍රී ලාංකීය 2006 සංඝණනයකට අනුව මත්පැන් නිසා දිනකට අපේ රටේ මියැදෙන ගණන 70කි. (වර්ෂයකට 70 x 30 x 12 = 25200). (මෙය අප වැනි කුඩා රටකට සුළුකොට තැකීමට නොහැක).
  • ඉහත ආකාරයට මියැදෙන ප්‍රමාණයට අමතරව මේ මත් උවදුර නිසා දිනපතා රෝගි තත්වයන්ට ගොදුරු වන ප්‍රමාණය හා ඔවුන් සදහා වෛද්‍ය ප්‍රතිකාර සදහා රජයට දිනකට රුපියල් මිලියන 15 (වර්ෂයකට රුපියල් මිලියන 5400)ක් වැයකිරීමට සිදුවේ.
  • සංවර්ධනයට වෙරදරන රටක් ලෙස මේ මත් උවදුර නිසා අහිමිවන තරුණ ශ්‍රමය ද මෙහිදී කිසිසෙත් නොසලකා හැරිය නොහැක.

මේ ආකාරයට ජාතියක් ලෙස ප්‍රබල බලපෑමකට ලක්වන මේ මත් උවදුරින් ශ්‍රී ලාංකීය ජනතාව මුදවා ගැනීම සදහා ලහිලහියේ පිඹුරුපත් සැකසීම හා ඒ අනුව ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය කාරණයක් යන්නත්, ඒ පිළිබදව පුළුල් සංවාදයක් සමාජය තුල ගොඩනැඟීම කාලීන අවශ්‍යතාවයක් යන්නත් දැන් ඔබට පැහැදිලි විය යුතු ය. එසේම එම සංවාදය වට මේස සාකච්ඡාවන්ට සීමා කිරීමෙන්, “මතට තිත” යනුවෙන් බෝඩ් ලෑලි පල කිරීමෙන් හෝ මත් විරෝධී දින සැමරීමෙන් ජාතියක් ලෙස ළඟා කරගත හැකි ජයක් නැත. එසේම වචනයට සීමා වූ ප්‍රතිපත්තිවලින් බැහැරව වඩා ප්‍රායෝගික මෙන්ම ආකල්පමය වෙනසක් වෙනුවෙන් ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය ක්‍රියා මාර්ගයකි. බහුතරයක් බෞද්ධයන් ජීවත්වන රටක් ලෙසත්, පන්සිල් පදය මුඛ්‍ය තේමාව කරගත් ජනතාවක් ලෙසත් මේ මත්පැන් භාවිතය සම්බන්ධයෙන් අද සිටින්නේ කොතැනද? යන්නත්, මේ සම්බුද්ධ ජයන්තිය ඉලක්ක කරගෙන එක් පසෙකින් මේ මත් උවදුර රටේ තහනම් කරන්න යනුවෙන් බෞද්ධ ස්වාමීන් වහන්සේලා උපවාස කරන විට තවත් පසෙකින් බෞද්ධ සමාජයේ ක්‍රියා කලාපය කුමක්ද? යන්නත් වපර ඇසින් නොව බුද්ධිමත් ඇසින් විමසා බැලීම ද අත්‍යාවශ්‍ය කාරණයකි. එහි අවශ්‍යතාවය වඩාත් හොදින් සමාජයට අවබෝධ කරලීම පිණිස පසුගිය වෙසක් සමයේ එක්තරා නගරයක (මෙය ලංකාවේ ප්‍රසිද්ධ අගනගරයක්) තැබෑරුම් හලයන් හි බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කර තිබු ආකාරය ඔබගේ අවධානයට පහත පිංතූර මගින් ඉදිරිපත් කරමි.

මෙසේ මා කරුණු දක්වන විට කිසියම් පිරිසකට හෝ පුද්ගලයකුට මෙම ලිපිය බෞද්ධ ආගම් විරෝධි ලිපියක් ලෙස හෝ කිතුණු ආගම් විරෝධි ලිපියක් ලෙස හෝ ලේබල් කොට මෙම ලිපියෙහි අරමුණ විකෘති කොට මඩ ව්‍යාපාරයක් දියත් කිරීමට හැක. නමුත් මා ආරාධනා කරන්නේ සුපුරුදු එවන් බොළද තර්කවල හෝ පටු අරමුණුවල කොටු නොවී මෙහි ඉදිරිපත් කරන කරුණු බුද්ධිමත් ලෙස විමසා බලන ලෙසයි. එසේ විවෘත මනසින් මෙම කාරණයන් අධ්‍යයනය කලේ නම් මෙය කොතරම් කාලීන මාතෘකාවක් ද? යන්නත්, එය විවෘතව කථා කිරීමේ අවශ්‍යතාවය කොතරම් වැදගත් වනවා ද? යන්නත් ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකි වේ. එසේම මේ මත් උවදුරට එරෙහිව ප්‍රායෝගික මෙන්ම ඵලදායී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයෙහි ද ප්‍රතිවිරුද්ධ මතයක් පැවතිය නොහැක. එලෙස ප්‍රායෝගික පිඹුරුපත් සකස් කිරීමේදී අත්දැකීම් බහුල ආදර්ශයන් තීරණාත්මක සාධකයක් යන්නෙහි දෙවැනි මතයක් කිසිවකුටත් පැවතිය නොහැක. එම ආදර්ශය වර්ථමාන සමාජයට සාපේක්ෂව අරාජික සමාජයක් හමුවේ සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ සැලැස්මක් වන්නේ නම් එය වර්ථමාන සමාජය තුල ක්‍රියාවට නැංවීම පිළිබඳව චකිතයක් ඇති කරගැනීමට අවශ්‍ය නොවේ. එවන් වූ සාර්ථක ක්‍රියා මාර්ගයක් ඉස්ලාම් දහම මීට වසර 1400 කට පෙර ක්‍රියාවට නංවා ලෝක ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබන ලදී. ඒ පිළිබඳව කරුණු දැක්වීමට මත්තෙන් එම සැලැස්ම පිළිබඳව විද්වතුන්ගේ අදහස් දැක්වීමක් ඔබගේ අවධානයට යොමු කරන්නේ නම්,

“ඉස්ලාමයට පෙර පැවති අරාබි සමාජය සුරා සූදුවට බෙහෙවින්ම ඇබ්බැහි වී සිටියෝය. විවාහයට සීමාවක් නොතිබුණි. දික්කසාද එලෙසම විය. විටෙක පියාගෙන් පුතනුවාට උරුමයෙන් ලැබෙන වස්තු අතර භාර්යාවන්ද වූහ. පුතනුවා තමන්ට රිසි අන්දමට ඔවුන් පරිහරණය කළේ ය. විටෙක තම භාර්යාවන් ලෙස තබා ගත්තේය. තවත් විටෙක දාසියන් ලෙස විකුණා දැම්මේය. ඉස්ලාම් මගින් මේ සියලුම තත්ත්වයන් සම්පුර්ණයෙන්ම වෙනස් කරන ලදි.”

Jules La Boum

“මිනිස් ඝාතනය, බිලිපූජාව, දැරියන් වළලා දැමීම, සුරා පානය, සූදුව හා තවත් බොහෝ දේ අහිතකර ක‍්‍රියාවන් ශුද්ධ වූ කුර්ආන් නියෝග මගින් තහනම් කරනු ලැබිණ. එහි ප‍්‍රතිථලය වූයේ ඉතිහාසය තුළ මිනිස් සංහතියට යහපත් සේවාවන් කළ ඉහළම පුද්ගලයා ලෙස මුහම්මද් නබිතුමා සලකනු ලැබීමයි. මන්ද එම ක‍්‍රියාවන් මත විශාල සංස්කෘතියක් බිහිවිය.”

Prof – Edward Montay

මෙවන් වූ ආදර්ශමත් සමාජයක් ලෝකයාට දායාද කිරීම සඳහා ඉස්ලාම් කල දායකත්වය කුමක් ද? යන්න විමසා බැලීම ලෝකවාසී සියලු දෙනාගේ යුතුකම් හා වගකීමක් වේ.

ඉස්ලාම් මිනිසාගේ බුද්ධියට කථා කරන ඒ ගැන සැලකිලිමත් වන දහමකි. (මේ පිළිබඳව මීට ඉහත දී මෙම අඩවිය තුල සාකච්ඡා කොට ඇත) ඒ අනුව මිනිසාගේ සිහිබුද්ධිය, සදාචාරය, තාර්කික හැකියාව, ආධ්‍යාත්මික තීක්‍ෂණය ආදීන් අවම කරන මත් භාවිතයට ඉස්ලාම් දහම තුල ඉඩ සලසා දී නැත. වර්ථමානයේ දෛනිකව ලොව පුරා ලීටර් මිලියන ගණනින් මත්පැන් පරිභෝජනය කරන මිනිස් සමාජය තම ජීවිතයට දිනපතා මුහුණ දෙන්නේ විකෘති වූ හා අවුල් සහඟත මානසිකත්වයකින් යන්නෙහි කිසිවකුටත් දෙවැනි මතයක් පැවතිය නොහැක. මේ හේතුව නිසා යථාර්තාවාදීව ජීවිතය දෙස බැලීමේ හැකියාව ඔවුනට අහිමි වී යයි. එහි අවසාන ප්‍රථිපලය වන්නේ මිනිසා ළඟා කර ගත යුතු පරිමසාප්ත සම්පූර්ණ පාරමිතාව කෙරේ පිය නැගීමේ හැකියාව අහිමි කරගැනීමයි. මෙය නිසි ලෙස හදුනාගත් දිව්‍යමය දහම වන “ඉස්ලාම්” මත් උවදුර තුල ගිලිහී පැවතී සමාජයක් ඉතා අලාංකාර ලෙස මුදවා ගත්තේ එහි අහිතකර පුරුදු අතුගා දමමින් පමණක් නොව එම පුරුද්ද මුල් කරගෙන සමාජය තුළ රජකරමින් පැවති නූගත්කම, දූෂණය, මමත්වය, ප‍්‍රචණ්ඩත්වය, දුගී බව… යනාදියට ද නැවතීමේ තිත තබමිනි.

දිව්‍යමය මඟපෙන්වීම මත හිඳ මුහම්මද් (සල්) තුමාණන් විසින් මත් උවදුර මඟින් මිනිස් සමාජයට සිදු වන අනිටු විපාකයන් හා එයින් මිදීම මඟින් ඔවුන් ළඟා කරගන්නා යහපත හා මහිමය ඉතා හොදින් පහදා දෙන ලද්දේ දැඩි නීතිරීති මඟින් නොව ඔවුන්ගේ සිහිබුද්ධිය හා හෘද සාක්‍ෂිය වෙත ආයාචනයන් සිදු කරමිනි. මෙහිදී ශුද්ධ වූ කුර්ආනයේ 5-90 හා 91 වාක්‍යය මඟින් අල්ලාහ් දෙවියන් මිනිස් සමාජයට කළ ආමන්ත්‍රණය ඉතා සුවිශේෂි එකක් වේ. එය මෙසේ ය,

“මත්පැන් මගින් ඔබලා අතර ක්‍රෝධය හා වෛරය වපුරනු ලබන්නේ ය. දෙවියන් වහන්සේ සිහිපත් කරදීමෙන් ද නියෝග හා පනත් අනුගමනය කිරීමෙන්ද ඔබ වළක්වාලයි. සොම්නසේ මාර්ගයෙන් ඔබ ඉවත්කොට සීමා ඉක්මවීම හා ගර්හාවට ඇද දමන්නේය.”

මේ ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය එදා පහල වූයේ මධ්‍යසාරය තුල ගිලී මත්ව පැවති සමාජයක් මධ්‍යයේ ය. එය කොතරම් ද යයි පවසනවා නම් අල්ලාහ් (දෙවියන්) විසින් ශුද්ධ වූ කුර්ආනය මඟින් මෙම මධ්‍යසාරය එකවර තහනම් නොකොට එය පියවරින් පියවර ඉතා සූක්ෂම ආකාරයට සිදුකරන්නට තරම් එම සමාජය මත්පැන් හි ගිලී ජීවත් වුණි. පලමු පියවර වශයෙන් ශුද්ධ වූ කුර්ආනයේ 4-43 වාක්‍යය මඟින් “වැදුම් පිදුම් කරන මොහොතේ මත්පැන් භාවිතයෙන් වලකින්න” ලෙස පැවසූ අල්ලාහ් (දෙවියන්) ඊට පසු දෙවන පියවර වශයෙන් ශුද්ධ වූ කුර්ආනයේ 2-219 වාක්‍යය මඟින් “මෙයින් වැලකී සිටීම යහපත් යැයි” පවසන ලදී. මෙසේ අදියරෙන් අදියරට පැවසූ අල්ලාහ් (දෙවියන්) අවසානයේ 5-90 හා 91 වාක්‍යය මඟින් සම්පූර්ණයෙන් එම සමාජය මත් උවදුරින් මුදවා ගන්නා ලදී. ශුද්ධ වූ කුර්ආනය මඟින් අල්ලාහ් (දෙවියන්) මෙම මත් උවදුරින් මිනිස් සමාජය මුදවා ගැනීමට ක්‍රියා කළ ආකාරය පිළබඳව එක්තරා අවස්ථාවක සහාභිවරයෙකු (නබිතුමාණන්ගේ සමකාලීනයෙකු) විසින් පැවසීමේ දී “අපිට අල්ලාහ් (දෙවියන්) මේ මත්පැන් එකවර තහනම් කර තිබුණේ නම් එයින් අප නොමිදෙන්නට ද තිබුණි!” යනුවෙන් පවසන ලදී. මන්ද එයින් තොර ජීවිතයක් පවා ඔවුනට සිතා ගැනීමේ හැකියාවක් නොපවතින තරමට එයට ඔවුන් ඇබ්බැහි වී ජීවත් වු නිසාවෙනි. එවන් වූ සමාජයක් පියවරින් පියවර මුදවාගත් ශුද්ධ වූ කුර්ආනය අවසාන වශයෙන් ඉහත (5-90, 91) වාක්‍යය මඟින් මෙම පිළිලය සම්පූර්ණයෙන් මුස්ලීම් සමාජයෙන් ඈත් කරන ලදී. මත්පැන් තුල ගිලිහී ගිය සමාජයක් මධ්‍යයේ ඉස්ලාම් අනුගමනය කළ මෙම ක්‍රියාමාර්ගය ආදර්ශමත් යයි පවසන්නේ අතිශයෝක්තියෙන් යයි කිසිවකුට සිතෙන්නට පුළුවනි. සැබැවින්ම එය කොතරම් ආදර්ශමත් ක්‍රියා මාර්ගයක් ද යන්න පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා මා ඉහතින් සදහන් කළ එම සහාභිවරයාගේ ප්‍රකාශය හා ඉහත (5-90, 91) ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පහල වනවාත් සමඟම එම සමාජය ඊට දැක්වූ ප්‍රතිචාරයත් හොදම නිදසුනකි. එය පහත කරුණු හොදින් විමසා බාලුවේ නම් ඔබටම පැහැදිලි වනු ඇත.

ඉහත 5-90 හා 91 යන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පහල වූ මොහොත පිළිබඳව අනස් (රලි) තුමාණන් (සහාභිවරයෙක්) මෙසේ විස්තර කරන ලදී.

“මෙම නියෝගය පිළිබඳ පුවත අප වෙත ලැබෙන විට අපි කණ්ඩායමක් අබු තල්හා (ධනවත් ව්‍යාපාරිකයෙක්)ගේ නිවස තුළ සාදයකට සහභාගී වෙමින් සිටියෙමු. මේ පණිවුඩය එතුමාණන්ගේ කණ වැකුණු විගස ‘මෙහි තිබෙන සියලුම මත්පැන් ඉවතට ගෙන ගොස් කානුවලට වත් කරන්න’ යනුවෙන් අබු තල්හා මගෙන් ඉල්ලා සිටියේය. මා සියලුම භාජන එළියට ගෙන ගොස් සමහර භාජන කඩා බිඳ දමන ලද අතර තවත් සමහර භාජන හිස් කොට සෝදන ලදී. කොතරම් මත්පැන් හළා ඉවත් කරන ලද්දේ ද යත් ඉන්පසු කාලයක් ගතවන තුරුම මදීනා නුවරදි වැසි දවස්වල මත් පැන් සුවඳ හා වර්ණය සැම තැනම දක්නට තිබුණි.”

මත්පැන් තුල ගිලී පැවතී සමාජය “අපිට අල්ලාහ් (දෙවියන්) මේ මත්පැන් එකවරම අත්හරින්න යයි පවසා තිබුණේ නම් එයින් අප කිසිදු දිනක නොමිදෙන්නට ද තිබුණි!” යනුවෙන් පැවසූ සමාජය ශුද්ධ වූ කුර්ආනය මඟින් පවසන ලද වචන කිහිපයක් මුල් කරගෙන මේ ආකාරයට මත් උවදුරින් මිදුනේ නම්, එසේම මීට වසර 1400 පෙර පහල වූ එම වාක්‍යය පදනම් කරගෙන එදා පටන් අද වන තුරුත් ලෝකයේ නන්දෙස වෙසෙන කෝටි සංඛ්‍යාත මුස්ලිම්වරු මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් දැඩි ලෙස වැළකී සිටින්නේ ඉස්ලාම් මිනිස් බුද්ධියට ආමන්ත්‍රණය කොට ලබාදුන් ආදර්ශය නිසා මිස අන් කරුණක් නිසා නොවේ.

මීට වසර 1400 කට පෙර ඉස්ලාම් මිනිස් සමාජය මත්පැන් භාවිතයෙන් මුදවා ගැනීමට ගත් ක්‍රියාමාර්ගය තරමට නොවූවත් ඊටත් වඩා අඩු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් හෝ මෙතෙක් ලොව කිසිවකු ගෙන නැති තරම්ය. ඒ හේතුව නිසා ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට දිනා දුන් යහපත් වෙනස අද බොහෝ ජන සමාජයන්ට දිනා ගැනීමට තවම හැකි වී නැත. මිනිස් බුද්ධිය මත පදනම්ව සම්පාදනය කරන ලද දුර්වල හා ප්‍රායෝගික නොවන නීතිරීති මඟින් යහපත් සමාජ පසුබිමක් නිර්මාණය කරදීමට නොහැක. කොලවලට හා පිටුවලට සීමා වී ඇති නීතිරීතිවලට සරල නිදසුනක් ශ්‍රී ලාංකීය සමාජය තුලින්ම ගෙනහැර දැක්විය හැක. එනම් “මතට තිත” තේමා පාඨය එක් පසෙකින් ක්‍රියාවට නංවන විට තවත් පසෙකින් සිදු කොට ඇත්තේ තැබෑරුම් බලපත්‍ර වෙනුවට සෑම වෙළද සංකීර්ණයක් තුලටම හුරුබුහුටි සුඛෝපභෝගි තැබෑරුම් සඳහා අවසර ලබා දීමක් පමණි. අද වනවිට සෑම වෙළද සංකීර්ණයක් තුලම සුරා සැලක් පවතින තරමට මෙය සරල කාරණයක් බවට පත්වී ඇත. තවත් සරලව පවසනවා නම් මෙය මත්පැන් මිලදී ගැනීම සදහා ජනතාවට පහසුකම් සලසාදීමක් පමණි. අද මුස්ලීම් සමාජය ඇල්කොහොල් (Alchohol) මිශ්‍ර නිෂ්පාදන පිළිබඳව දැඩි ලෙස සුපරීක්ෂාකාරී වේ. ඒ ඉස්ලාම් මුස්ලීම් සමාජයට ලබාදුන් තවත් ආදර්ශයකි. ඒ පිළිබඳව කොතරම් දුරකට ඉස්ලාම් සැලකිලීමත් වනවා ද? යන්න අවබෝධ කරගැනීම සදහා මුහම්මද් (සල්) තුමාණන්ගේ (හදීස්) වදන් කිහිපයක් වෙත අවධානය යොමු කරමු.

  • අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාණන් පැවසූ බවට ආයිෂා (රලි) තුමිය මෙසේ පවසයි. “නබි තුමාණන් හමුවේ මී පැණිවලින් සකසන’අල්බීත්’ නැමැති පානය පිළිබඳව විමසන ලදී. එයට නබිතුමාණන් ‘මත ගෙනදෙන සෑම පානයක්ම (හරාම්) තහනම් වේ’ යනුවෙන් පවසන ලදී.”

(මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්)

  • “අධික ලෙස පානය කලේ නම් (එයින්) මත් ගතියක් ගෙන ඒ නම්, එම පානය සුළු වශයෙන් පානය කිරීම ද (හරාම්) තහනම් වේ” යනුවෙන් නබිතුමාණන් පැවසූ බවට ජාබිර් (රලි) තුමාණන් පවසයි.

(මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි)

  • “එක්තරා අවස්ථාවක සහාභිවරයෙකු පැමිණ නබිතුමාණන්ගෙන් මෙසේ විමසන ලදී. ‘(මුස්ලීම්වරයෙකුට) මත්පැන් පානය කිරීමට අවසර තිබෙනවා ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘එය තහනම් කළ පානයක්’ යයි පවසන ලදී. එයට ඔහු ‘එය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘නියත වශයෙන්ම එය රෝග සුව කරන ඖෂධය පානයක් නොවේ. එය මත් පානයක් පමණි. එසේම එය (පානය කිරීම) රෝගයක් පමණි’ යනුවෙන් පවසන ලදී.”

(මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද්, අබූදාවූද්)

ඉහත හදීසයන් හොදින් විමසා බැලුවේ නම් මත්පැන් පමණක් නොව මනුෂ්‍ය බුද්ධිය සිහිය විකෘති කරන කාරණයන් පිළිබඳව ඉස්ලාම් කොතරම් දුරකට සැලකිලීමත් වෙනවා ද? යන්න ඔබට අවබෝධ කරගත හැක. වර්ථමාන සමාජය “මම අරක්කු බොන්නෑ බියර් විතරයි බොන්නේ” යනුවෙන් ද “මම වැඩිය බොන්නේ නැහැ ටිකයි බොන්නේ” යනුවෙන් ද “මම බොන්නේ මගේ ගොඩාක් ලෙඩවලට මේකෙන් සුවය ලැබෙන නිසා” යනුවෙන් හා “මට මේක නැතුවම බැහැ” යනුවෙන් පවසන විට ඉහත ආකාරයේ අවවාදයන් තුලින් ඉස්ලාම් මුදවාගත් සමාජය මත්පැන් තුල ගිලී පැවතී සමාජයක් බව මා ඉහතින් ද අවධාරණය කලෙමි. වර්ථමානය වනවිට මුස්ලීම් සමාජය හා මත්පැන් අතර ඇත්තේ අනන්ත වූ පරතරයකි. එය මා ඉහතින් සදහන් කලාසේ සියුම් කාරණයන් තුල පවා මුස්ලීම් සමාජය සැලකිලීමත් වීම තුල මනාව පිලිඹිබු කරයි. මෙවන් වූ ඉස්ලාමීය ආදර්ශයක් හමුවේ. ශ්‍රී ලාංකීය සහෝදර අනිකුත් සමාජය එය පන්සිල් පදයට පමණක් සීමා කොට බලාහිදීම කොතරම් අනුවනක්කාර ක්‍රියාවක්ද? යන්න සමාජ වගකිව යුත්තන් සිතා බැලිය යුතුය. මෙම මත් උවදුර ශ්‍රී ලාංකීය සමාජයෙන් තුරන් කිරීම සදහා රූපවාහිණිය තුල කොටු දැමීම මඟින් හෝ පෝය දිනට තැබෑරුම් වැසීම මඟින් සිදුකල හැක්කක් නොවේ. ඉස්ලාම් එය නිසි ආකාරව හදුනාගත් නිසා තමා සැලසුම් සහගත ලෙස ක්‍රියාකොට එම අවාසනාව මුස්ලීම් සමාජයෙන් තුරන් කර දමන ලද්දේ. එවන් ක්‍රියා මාර්ගයක් නොගෙන රටේ නීතිරීති දැඩි කිරීම මඟින් මේ මතට තිත තබන්න කිසිවකු සිතන්නේ නම් එය එහි තත්වය තවත් සංකීර්ණ කරනු නොඅනුමානය. එනම් එවිට සිදුවන්නේ අපේක්‍ෂා කරන තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයකට ඇද වැටීමයි. හොර ජාවාරම්කාරයෝ සහ පාතාල ලෝකයක් බිහිවීමත් නීති විරෝධී මත්පැන් සුලබවීමත් මගින් නීතිය පිළිබඳව පැවති සියලූම ගෞරවයන් ගරාවැටීමයි. මෙම තත්වය ශ්‍රී ලාංකීය සමාජය තුල අප නිරන්තරයෙන් දකින කාරණයක් නොවේද?. මේ දුර්වලතාවය ඉස්ලාම් නිසි ආකාරව අවබෝධ කරගත් නිසා තමා එම දුර්වලතාවයන් මඟහරිමින් මත්පැන්වලින් මුස්ලීම් සමාජය මුදවා ගැනීමට හැකි වූයේ. ඒ සදහා ඉස්ලාම් අනුගමනය කලේ සරල වූ උපක්‍රමයන්ය. ඒ සදහා ඕනෑම යහපත් මිනිස් සමාජයක් සාර්ථකව ජීවත්වීමට අවශ්‍ය අන්දමේ මිනිස් ස්වභාවය තුළට කැටිව පවතින සහජ හැකියාවන්, ඉරණම හා මනාව බැඳුණු දිව්‍යමය හා ස්ථිරසාර මුලධර්මයන් මත රුදී සිට ඉස්ලාම් සිය ක‍්‍රියා කලාපය ආරම්භ කළේය. සිහිබුද්ධියෙන් ඉතා සරලව ග‍්‍රහණය කරගත හැකි, තර්කණයට ඉතා සරල නියෝග ලෙස එය ඉදිපත් කෙරුණි. ඒ සදහා විශාල දැන්වීම්, ප‍්‍රචාරක ව්‍යාපාර හෝ ජනමාධ්‍ය හා සංඛ්‍යා ලේඛන අවශ්‍ය නොවීය. අල්ලාහ් (දෙවියන්)ගේ නියෝගය වක්තෘවරයාණෙන් වන මුහම්මද් (සල්) තුමානන් විසින් මිනිස් සමාජයට ප්‍රකාශකෙරුවා පමණකි. එහි පුද්ගල චින්තන ක්‍රියාවට නැංවීමන්, චරිත පිලිඹිබු කිරීමන්, තවත් කාගේවත් අවශ්‍යතාවයන් ඉටුකිරීමක් හෝ සිත පිනවීමන් යනාදී පටු අරමුණු නොවීය. මුස්ලිම්වරු එම නියෝගයට කීකරුවූයේ අල්ලාහ් (දෙවියන්) වෙත තමන් තුළ පැවති භක්තියාලය හේතු කොටගෙන විනා දඬුවම් හා පොලිසියට බියෙන් ද නොවේ. අද වනතුරු එම විනය රුකී පැවතීම එම අවනතභාවය මානාව පිලිඹිබු කරන අතර එසේ මත්පැනින් වැලෙකෙන්නට දිනපතා පොරොන්දු නොදෙන මුස්ලීම් ප්‍රජාව හොදම නිදසුනකි.

මෙසේ දේව භක්තිය හා දෙවියන් කෙරෙහි පවතින අවනතභාවය පදනම් කරගෙන මුස්ලීම් සමාජය මෙලෙස මතින් වැලකී ජීවත් වුවද එය ඉහත සදහන් දේව භක්තිය හා අවනතභාවය මඟින් පමණක්ම සමස්ථ මුස්ලීම් සමාජය ඉස්ලාම් මුදවාගත්තා යයි පැවසිය නොහැක. මිනිස් නීතියෙන් පැනයාමට හා උල්ලංඝනය කර හසුනොවී සිටීමට පුළුවන් යයි සිතන පිරිස් පවා දේව නීතිය එසේ නොවේ යයි විශ්වාස කරනු ලබයි. දෙවියන් වහන්සේගේ නිරීක්‍ෂණයෙන් බාහිර කිසිවක් නොමැත යන හැඟීම මුස්ලිම්වරුන්ගේ මානසිකත්වය ද මෙම යහපත් සමාජ තත්වය නිර්මාණය වීමට කිසියම් පිටුවහලක් විය. සැබෑ මුස්ලීම්වරයෙකු සෑමවිටම දෙවියන් වෙත දක්වන ඉහළම ගෞරවය ලෙස දෙවියන්ගේ අභියස පොදු හා පුද්ගලික ජිවිතයේ දී සැලකිලිමත් ලෙස කටයුතු කරයි. දේව නිර්මාණවල දක්නට ලැබෙන මේ ආකාරයේ වූ සියුම් විනය සිය පුද්ගලික ජීවිතය තුළත් ඔහු කොටස්කරුවෙකු වන සිය සමාජය තුළ ජිවත්වන විටත් පිළිඹුබු කරයි. මන්ද එම නීති පද්ධතිය මිනිස් සිතැඟියාවන් හා අවශ්‍යතාවන් අනුව වෙනස් කර ගත හැකි ඒවා නොවන බව සෑම මුස්ලීම්වරයෙකුම දැඩිව විශ්වාස කරන නිසාය.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. Abdul halik 2016-02-21 at 07:41

    Want information by alcohol

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp