මම මුස්ලිමෙක් වෙමි..! – නිකායවාදය විමසුමක්

0

yahamaga-muslimමාතෘකාව තුල තරමක ව්‍යාකූල බවක් දක්නට තිබුණ ද අද ‘යහමඟ‘ අඩවිය තුල කථා කරන්නට යන විෂය නම් ව්‍යාකූල විෂයක් නොවේ. අද දින මෙම ලිපිය තුලින් විමසා බලන්නේ ‘මුස්ලීම් යනු කවුරුන්ද?‘ යන්න හා ‘වර්ථමාන මුස්ලීම්වරුන් ඉස්ලාම් පවසන සැබෑ ‘මුස්ලීම්‘ ලෙස පෙනී සිටිනවාද?‘ යන කාරණය පිලිබදවයි. සමහර විට මෙතැනදී පාඨක ඔබ තුල සාධාර්ණ සැකයක් මතු වන්නට ද පුළුවන. ඒ මුස්ලීම්වරුන් ලෙස ඉස්ලාම් දහම පිලිබදව හා ඉස්ලාම් දහමට එරෙහිව රටේ ලෝකේ මතුවෙමින් තිබෙන අභියෝග ගණනාවක් පිලිබදව වර්ථමානයේ කථා කිරීමේ දැඩි අවශ්‍යතාවය සමාජය තුල තිබියදී මෙවැනි මාතෘකාවක් කථා කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? යන්නයි. බැලූ බැල්මට ඉහත තර්කයේ කිසියම් සාධාර්ණ බවක් පෙනුනත්, ඇත්තෙන්ම මේ අද කථා කරන්නට යන විෂය මුස්ලීම් සමාජය තුල බොහෝ දෙනෙකු හිතමතා කථා කිරීම අතපසු කල නමුත් කථා කලයුතු එසේම කාලීන වශයෙන් ඉතා වැදගත් විෂයක් යන්න මේ ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට ම අවබෝධ වනු ඇත.

අප රටේ සමහරක් ජාතිවාදී පිරිස් ශ්‍රී ලාංකීය ඉස්ලාම් භක්තිකයන් තම්බියා, හම්බයා, මරක්කලයා, යෝනකයා… යනාදී ලෙස ද අමාන්ත්‍රණය කරන අවස්ථාවන් ඕනෑ තරම් දක්නට ඇත.

ලොවපුරා වෙසෙන ‘ඉස්ලාම්‘ භක්තිකයන් ආමන්ත්‍රණය කිරීම සදහා පොදුවේ භාවිතා කරන නම ‘මුස්ලීම්’ යන්නයි. මීට අමතරව අප රටේ සමහරක් ජාතිවාදී පිරිස් ශ්‍රී ලාංකීය ඉස්ලාම් භක්තිකයන් තම්බියා, හම්බයා, මරක්කලයා, යෝනකයා… යනාදී ලෙස ද අමාන්ත්‍රණය කරන අවස්ථාවන් ඕනෑ තරම් දක්නට ඇත. මෙලෙස ශ්‍රී ලාංකීය මුස්ලීම් ජනයා ආමණ්ත්‍රනය කිරීම කොතරම් දුරකට සාධාර්ණද? නැද්ද? යන්න මෙහිදී කථා කිරීමට මා අදහස් නොකරමි. කෙසේ නමුත් මෙවැනි ආමණ්ත්‍රනයන් හමුවේ දුක්වෙන පිරිස් මෙන්ම ප්‍රකෝපකාරී ලෙස ඒවාට ප්‍රතිචාර දක්වන පිරිස් ද මුස්ලීම් ජනයා අතර නැතුවා නොවේ. නමුත් මෙලෙස සංවේදී වන මුස්ලීම් සමාජයේ අවදානයට ලක් නොවූ කාරණයක් ඇත. ඒ පිලිබදවයි අද ‘මා මුස්ලීම් වෙමි..!’ යන මේ ලිපිය තුලින් සාකච්චා කිරීමට අදහස් කරමි.

ඉහත කාරණය පිලිබදව කථා කිරීමේ මුල් පියවර ලෙස ‘මුස්ලීම්’ යන්න හා ඔහු විසින් අනුගමනය කරන මාර්ගය වන ‘ඉස්ලාම්’ පිලිබදව මූලික විග්‍රහයක් ශුද්ධ වූ කුර්ආනය තුලින් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

…මාගේ දරුවනී, නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට මෙම ධර්මය තෝරා දී ඇත. එබැවින් නුඹලා මුස්ලිම්වරුන් ලෙසින් විනා නොමැරෙනු…

ශුද්ධ වූ කුර්ආනය 2-132

…අපි අල්ලාහ්ගේ මාර්ගයෙහි උදව් කරන්නෝ වෙමු. අපි අල්ලාහ් විශ්වාස කළෙමු. එබැවින් අපි මුස්ලිම්වරුන් බවට ඔබ සාක්ෂි දරණු යැයි අනුගාමිකයෝ කීහ.

ශුද්ධ වූ කුර්ආනය 3-52

විශ්වාසිවන්තයිනි !, අල්ලාහ්ට බියබැතිමත් විය යුතු පරිද්දෙන්ම බියබැතිමත් වනු. නුඹලා (සැබෑ) මුස්ලිම්වරුන් ලෙස විනා නොමියනු.

ශුද්ධ වූ කුර්ආනය 3-102

අල්ලාහ් (දෙවි) වෙත ජනතාව කැඳවා, තමන් ද සත්ක්‍රියාවේ නිරතව, ‘මමත් මුස්ලීම්වරයෙකු වෙමි’ යයි කවුරුන් පවසන්නේ ද ඔවුනට වඩා අලංකාර වදන් පවසන්නන් කවුරුන්ද?

ශුද්ධ වූ කුර්ආනය 41-33

ඉහත අදහසින් ඉදිරිපත් වන වාක්‍යයන් ගණනාවක් ශුද්ධ වූ කුර්ආනයේ දක්නට ඇත. එයින් ඉහත වාක්‍ය 04 හොදින් විමසා බලන්නේ නම්, ‘මුස්ලීම්’ යන වදන මනුෂ්‍ය නිර්මාණයක් නොව දිව්‍යමය වදනක් බව පැහැදිලිය. එසේම එය අල්ලාහ් (දෙවි) හමුවේ සිට පහල වූ ‘ඉස්ලාම්’ දහම පිලිපදින පිරිස් හැදින්වීම සදහා යොදාගත් නම බව ශුද්ධ වූ කුර්ආනයේ 3-19 වාක්‍යය එනම්, ‘නියත වශයෙන්ම අල්ලාහ් හමුවේ දහම වන්නේ ඉස්ලාමයයි…’ යන්න මඟින් පැහැදිලිය. මේ අනුව මූලික කාරණා දෙකක් ඔබට දැන් පැහැදිලි වියයුතුය. එනම්,

  • ‘ඉස්ලාම්’ යනු දිව්‍යමය මඟපෙන්වීමක් යන්නත්, එයට ‘ඉස්ලාම්’ යන නම යෙදුවේ අල්ලා‍හ් (දෙවි) විසින්ම යන්න,
  • ‘මුස්ලීම්’ යනු ඉස්ලාම් දහම අනුගමනය කරන පිරිස හදුන්වන නම යන්නත්, ඔවුනට ‘මුස්ලීම්’ යන නම යෙදුවේ අල්ලාහ් (දෙවි) විසින්ම යන්න,

මේ ආකාරයට අල්ලාහ් (දෙවි) විසින් පහල කල ‘ඉස්ලාම්’ දහම අනුගමනය කල ප්‍රජාව ‘මුස්ලීම්’ නම් ඒකීය සමාජයක් ලෙස නම් කල ‘ඉස්ලාම්’ එම සමාජයේ ඒකීයත්වය ආරක්ෂා කිරීම පිණිස ඔවුනට විවිධ වූ අවවාද, අනුශාසනා හා ආදර්ශ ද ඉදිරිපත් කරන ලදී. ඒ අනුව මීට වසර 1400 කට පෙර මේ මිහිමත ‘මූස්ලීම්’ නම් ඒකීය ජන සමාජයක් දිව්‍යමය නියෝග හා මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය තුල ස්ථාපනය ද වන ලදී. එලෙස ගොඩනැඟුණු ‘මුස්ලීම් උම්මාව’ (මුස්ලීම් ජන සමාජය)ට අද අත්ව ඇති ඉරණම කුමක්ද?. මෙයයි වර්ථමාන මුස්ලීම් සමාජය විමසා බැලිය යුතු කාලීන පැනය වී ඇත්තේ. (මෙහි කාලීනව ඇති වැදගත්කම නිසාම ‘යහමඟ‘ අඩවිය තුල පවා විවිධ අවස්ථාවල ‘මුස්ලීම් සමාජයේ බෙදීම්‘ යන ගොනුව යටතේ ලිපි ගණනාවක් තුලින් මෙවැනි කරුණූ සාකච්චා කොට ද ඇත.)

මුස්ලීම් සමාජයට මුහම්මද් (සල්) තුමාණන්ගේ නායකත්වය, මඟපෙන්වීම, අධීක්ෂණය… අහිමිවීමත් සමඟ මේ සමාජයේ බෙදීම ඇරඹූණා යයි මා පැවසුවේ නම් එය වැරදි ප්‍රකාශයක් හෝ මුසාවක් යයි කිසිවකුටත් කිව නොහැක. එතුමාණන්ගේ මඟපෙන්වීම, ආදර්ශ නිවරුදිව හදුනා නොගැනීම නිසාත්, විවිධ වූ අවස්ථාවාදී ව්‍යාපාරයන්වල කුමණ්ත්‍රනවලට පොදු ජනයා හසුවීම නිසාත්, එදා මෙදා තුර මුස්ලීම් සමාජය බෙදීගිය කොටස් ගණන අප්‍රමාණය. එම බෙදීම් අතුරින් දේශපාලනමය, පවුල්වාදී හා ආගමික මතභේද මුල් කරගෙන ඇති කරගත් බෙදීම් ප්‍රබලය. මේ අතුරින් ද ආගමික මතභේද ඔස්සේ සමාජය තුල ඇති කරගත් බෙදීම් අතිප්‍රබලය. විශේෂයෙන් මුස්ලීම්වරුන්ට යහමඟ පෙන්වන බව පවසමින් ජනතාවට ආමණ්ත්‍රනය කොට ඔවුන් නොමඟ යැවූ ඊනියා ආගමික කල්ලින් සංඛ්‍යාව අති විශාලය.

මෙවැනි ඊනියා කණ්ඩායම් හි ආදර්ශ පාඨ එසේත් නැත්නම් බෝඩ් ලෑලි සමාජ බෙදීම් හමුවේ වල්මත් වී සිටී අසරණ මුස්ලීම් ජනයාට ආකර්ශණීය ඒවා වූවත් එහි ක්‍රියාකාරීත්වය ඉස්ලාම් දහමට අනුකූල එකක් නම් නොවීය. නමුත් අවාසනාවකට ඒවා හදුනාගන්නට තරම් අති බහුතරය බුද්ධිමත් ද නොවීය. මේ ජනතා අනවබෝධය අවස්ථාවක් කරගෙන සමහරක් සංවිධාන හා කල්ලීන් සිදුකලේ ඉස්ලාම් වෙත ජනයා කැඳවන බව පවසමින් තම කල්ලිවාදයට ජනතාව කැඳවීමයි. ඒ තුල පසුකාලීනව තම සංවිධානය වටා ඒකරාශි වූ පිරිසගේ යහපත, අවශ්‍යතාවය වෙනුවෙන්ම පෙනීසිටින, ඒ වෙනුවෙන් කටයුතු කරන හා ඔවුන්ගේ ඉල්ලීමන්ට සවන්දෙන පක්ෂපාති සංවිධාන ගණනාවක් මුස්ලීම් සමාජය තුල නිර්මාණය විය. එහි අවසාන ප්‍රථිපලය වූයේ එකින් එකා අතර තරඟකාරීත්වයක් ගොඩනඟාගෙන තම සංවිධානවල අරමුණු දිනාගැනීම සදහා කැපවු සංවිධාන බිහිවුවා මිස ‘ඉස්ලාම්’ දහමේ හෝ ‘මුස්ලීම්’ සමාජයේ යහපත වෙනුවෙන් පෙනීසිටින කිසිදු සංවිධානයක් බිහිවූයේ නැත. සරලව පවසනවා නම්, මේ සියළු පාර්ශවයන් සමාජයේ ඔලුගෙඩි රුස් කරමින් තමන්ට පක්ෂපාති පිරිසගේ ලෞකික යහපත වෙනුවෙන් කිසියම් ව්‍යාපාරයන් හි නියලුනා මිස ‘ඉස්ලාම්’ දහමේ හෝ මුස්ලීම්වරුන්ගේ ලෝකොත්තර විමුක්තිය, යහපත වෙනුවෙන් කිසිවක් සැලසුම් කලේ නැත.

විවිධ කාලවල මුස්ලීම් සමාජයේ පරිහානිය හමුවේ ඔවුන් යහමඟ ගැන්වීමට පෙනීසිටිය, ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසුණු බොහෝ කල්ලි, කණ්ඩායම් ද අවසානයේ කල්ලිවාදය නම් ‘ශෙයිතාණීය’ දුර්මාර්ගය තුල කොටු වීම ඛේදවාචකයක් විය. මෙවැනි කල්ලි, කණ්ඩායම් අද වනවිට තම සංවිධාන න්‍යායපත්‍රය මුදුන්පත් කරගැනීම සදහා කටයුතු කරනවා මිස ඔවුනට දහමේ මඟපෙන්වීම පිලිබදව හෝ එහි නියෝගයන්, ආදර්ශයන් පිලිබදව කිසිදු තැකීමක් නැත. මුස්ලීම් සමාජය යනු මුස්ලීම්වරුන් සියයක් නොඑසේ නම්, දාහක් හෝ දෙදාහක්, එසේත් නැත්නම් කිසියම් කල්ලියක, කණ්ඩායමක හෝ සංවිධානයක සාමාජිකයන් පිරිසට පමණක් සීමා වූ එකක් නොවේ. එසේම මෙය ගමකට, නගරයකට, ප්‍රාන්තයකට හෝ රටකට සීමා වූ එකක් ද නොවේ. එය මේ මිහිමත වෙසෙන ‘ඉස්ලාම්’ නම් දිව්‍යමය දහම පිලිගන්නා සියළු පාර්ශවයන් අන්තර්ගත වන ජන සමූහයකි. නමුත් මෙම හැඟීම වර්ථමාන මුස්ලීම් සමාජය තුල දකින්නට තිබෙනවාද? යන්න විශාල පැනයකි.

අද දේශපාලන මතවාද හේතු කොටගෙන, නොඑසේ නම් කිසියම් සංවිධානයක්, කල්ලියක් දරණ ආගමික මතවාද හා ක්‍රියාකලාප මූලික කරගෙන, එසේත් නැත්නම් වෙනයම් පටු අරමුණක් පදනම් කරගෙන මේ මුස්ලීම් සමාජය බෙදීයාම සම්ප්‍රදායක් කරගෙන සිටී. ඒ තුල මා ඉහතින් ද සදහන් කලාසේ සාමය, සමඟිය, එකමුතුව, සහයෝගය, සහෝදරත්වය… යනාදී ලෙස වේදිකාව දෙදරන්න හඬ නැඟූ සමහරක් පිරිස් ද මේ කල්ලිවාදය නම් රුල්ලට හසු වී හමාරය. මා මෙසේ පවසන විට මේ කල්ලිවාදයන්ට ආවඩන සමහරක් පිරිස් ‘අප සංවිධාන ආගමික බෙදීමන් නොව එය කිසියම් අභ්‍යන්තර පරිපාලන නීතිරීති යටතේ ක්‍රියාත්මක සංවිධාන පමණි.’ යනුවෙන් තර්කයක් කරන්නට පුළුවන. එය බැලූ බැල්මට සත්‍යයක් ලෙස පොදු ජනතාවට පෙනෙන්නට ද පුළුවන. නමුත් ඔබ තරමක් බුද්ධිමත්ව ඔවුන් නිරීක්ෂණය කරන්න. ඔවුන්ගේ ඉතිහාසය විමසා බලන්න. එදා එවැනි පරිපාලන අවශ්‍යතාවන් මත යයි පවසමින් ආරම්භ කල සංවිධාන කීයෙන් කීයක් අද ආගමික නිකායන් බවට සමාජය තුල පරිවර්ථනය වී හමාරද?. (සමීපතම නිදසුන ලෙස පසුගිය කාලවල නව නිකායවාදයක් දේශනා කරන ‘මූස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදීන්‘ යන ලිපිය තුලින් මෙම අඩවිය තුල සාකච්චා කරන ලද පාර්ශවයන් සදහන් කල හැක.)

අල්ලාහ් (දෙවි) විසින් පනවන ලද අනපනත් හා නීති පසෙක තබා, ඉස්ලාම් පනවන ආගමික විනය පසෙක තබා, මුස්ලීම්වරුන්ගේ ආගමික අයිතිය වෙනුවෙන් හඬ නැඟීම පසෙක තබා… අද තමා විසින් සකසාගත්, පනවාගත් නීතිරීතිවලට මුස්ලීම් ජනයා කොටු කොට ඔවුන් ආගමික සංවිධාන හෝ කල්ලිවාදී නිකායන් වෙත කැදවීම සුලභ දසුනක් වී ඇත. අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ තැන්වල පවසන්නේ ජනයා අල්ලාහ් (දෙවි) මාර්ගයේ කැඳවන ලෙසයි.  ඉහතින් සදහන් 41-33 වාක්‍යය එයට එක් නිදසුනකි. එනම්, එහි

අල්ලාහ් (දෙවි) වෙත ජනයාව කැඳවා…

යයි පැහැදිලි ලෙස නියෝග කරයි. එසේ තිබියදී අල්ලාහ් (දෙවි) මාර්ගයේ ජනතාව කැඳවනවා වෙනුවට තම සංවිධානයට, නිකායට ජනතාව කැඳවන කැඳවුම්කරුවන් නම් කොතරම් අද අප අවට සිටිනවාද?.

එදා මෙදා තුර ලොව බිහිවූ සෑම ඉස්ලාමීය සංවිධානයක් තුලම ඔවුනට ආවේනික නීතිරීති කොන්දේසි ව්‍යාවස්ථා තිබුණා යන්න කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. එසේම කිසියම් සංවිධානයකට බැඳුනු සාමාජිකයෙකු තවත් සංවිධානයකට බැදීම පිලිබදව බොහෝ සංවිධාන දක්වන්නේ දැඩි විරුද්ධත්වයක් හා නොසතුටකි. එය කොතරම්ද යයි පවසනා නම්, එලෙස තවත් සංවිධානයකට බැඳුණූ පුද්ලගයා ‘මුර්තද් (ඉස්ලාම් අතහැර ගිය කෙනෙකු)’ යයි තීන්දු දෙන සමහරක් සංවිධාන මේ ශ්‍රී ලාංකීය භූමිය තුලත් අදටත් ක්‍රියාත්මක යන්න තිත්ත වූ ඇත්තකි. එය සමහර විට ඔබ මේ දක්වා නොදන්නවා ද වන්නට පුළුවන. ුල ක්‍රියාත්මකය. ානයකට බැඳුණූ පුද්ලගයා ‘ීති කොන්දේසි තිබෙනවා යන්න සෑම කෙනෙකුම හොදින් දන්නා කාරණයකි. ද? සකෙසේ වෙතත් මේ ආකාරයට විවිධ වූ සංවිධාන හා නිකායවාදීන් අතර දෝලනය වන පොදු ජනයා දිනාගැනීමට ඒ ඒ පාර්ශවයන් කරන අරඟලයන් හා වාද විවාද හොදින් නිරීක්ෂණය කලේනම්, මා මේ ලිපිය පුරාවට පවසන ඛේදවාචකය අවබෝධ කරගැනීමට අපහසු නොවේ.

මෙහි දරුණුම ඛේදවාචකය වන්නේ මීට කලකට ඉහත ‘කිසිදු ආගමික කල්ලියක්, නිකායක් වටා මුස්ලීම්වරුන් ඒකරාශි නොවිය යුතුයි… ශුද්ධ වූ කුර්ආනය හා මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය (හදීස්) අනුව පමණක් කටයුතු කලයුතුයි… දහම තුල නිකායවාදයන් නිර්මාණය කිරීම මහා පාපයකි… යනාදී ලෙස වාද, විවාද, තර්ක, විතර්ක… සමාජගත කල පිරිස අද වනවිට තම තමන්ට ආවේනික නිකායන් නිර්මාණය කරගෙන ඒවාට දහම තුල අවසර ඇති බව පැවසෙන තැනට කටයුතු කරමින් සිටීමයි. මෙහි තවත් තිත්ත වූ ඇත්තක් වන්නේ මෙවැනි සංවිධාන සියගණනක් මේ ශ්‍රී ලාංකීය භූමිය තුල පමණක් පෙලගැසිය හැක යන්නයි. එකම දෙවියා, එකම වක්තෘ, එකම දහම, ඒකීය මාර්ගය… යනාදී ලෙස හඬ නැඟූ හා නඟන පිරිස් මුහම්මද් (සල්) තුමාණන් ආදර්ශ කොට පෙන්වා ගිය එකම ‘ජමාතය’ (ජන සමාජය) යන කාරණයේ දී පමණක් තවම එකඟ නැත. ‘බෙදෙන්න එපා..!’ යයි අවවාද කරන දහම තුල බෙදෙන අප සැබෑම මුස්ලීම්වරුන්ද? යන්න විමසා බැලිය යුතු කාලය දැන් එළඹ ඇත. අවසාන වශයෙන් ශුද්ධ වූ කුර්ආන් පාඨයක් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම ලිපිය අවසන් කිරීමට අදහස් කරමි.

ඉස්ලාම්’ දහමේ මූලික විශ්වාසයන් පිලිගෙන අනිවාර්‍ය වගකීමන් ඉටු කල පමණි හා තමන් ‘මුස්ලීම්’ යයි සැලකෙන නමක් දැරූ පමණින් තමා ‘මුස්ලීම්’ යනුවෙන් අවබෝධ කොට සිටින ඔබ සැබෑවට ම මුස්ලීම්ද?. පහත ශුද්ධ වූ කුර්ආන් පාඨය මොහොතක් විමසා බලන්න.

අල්ලාහ් (දෙවි) වෙත ජනයාව කැඳවා, තමන් ද සත්ක්‍රියාවේ නිරතව, ‘නියත වශයෙන්ම මා මුස්ලීම්වරයෙකු වෙමි’ යයි කවුරුන් පවසන්නේ ද ඔවුනට වඩා අලංකාර වදන් පවසන්නේ කවුරුන්ද?

ශුද්ධ වූ කුර්ආනය 41-33

අද මුස්ලීම්වරුන් ‘මම අර නිකාය… මම මේ නිකාය… මම අර සංවිධාන සාමාජික… මම මේ කණ්ඩායම් සාමාජික… අර නිකායට බැඳුණූ අය නොමඟ… මේ සංවිධානයට බැඳුණූ අය මුෂ්රික්…’ යනාදී ලෙස පුරසාරම් දොඩන වර්ථමානයේ ඉහත වාක්‍යය බුද්ධිමත්ව විමසා බලන්නේ නම් යහපතකි. යහකටයුතුවල නිරතව ‘මම මුස්ලීම්’ යයි පවසන්නෙකුට වඩා වාක්‍යයෙන් අලංකාර කිසිවකු නොමැති බව අල්ලාහ් (දෙවි) ඉහත වාක්‍යයෙන් පවසයි. මොහොතක් මෙහෙම සිතන්න ඔබේ නම ‘මුහම්මද්’ යයි තිබිය දී ඔබව කිසිවකු ‘අහමද්’ ලෙස ආමණ්ත්‍රනය කලේනම් එය ඔබ අනුමත කරන්නේද?. පැහැදිලිව ඔබ එය අනුමත කරන්නේ නැත. මක්නිසාදයත් ඔබේ දෙමව්පියන් ඔබට උපන්දා පටන් ‘මුහම්මද්’ යයි නමක් යොදා ඇති බැවිණි. එසේනම් දැන් ඉහත වාක්‍යය විමසා බලන්න. ඔබව මවා ඔබට අවශ්‍ය සියල්ල අලංකාර ලෙස මැවූ අල්ලාහ් (දෙවි) ‘මම මුස්ලීම්’ යයි පවසන ලෙස අණ කරමින් ඔබට ‘මුස්ලීම්’ යන නම ලබාදී තිබියදී ඔබේ මැවුම්කරුවා ලබාදුන් නම පසෙක තබා ඔබ විවිධ නම් හා විටෙක ඉංග්‍රීසි හෝඩියේ නොයෙක් අකුරු යොදාගෙන නිකායවලට බෙදී එකින් එකාට චෝදනා නඟමින් භේදබින්න වී මරාගැනීම ඉස්ලාමීය ආදර්ශයක් විය හැකිද? මෙය ශෙයිතාන්ගේ මාර්ගය නොවේද? තීරණය බුද්ධිමත් ඔබට ම බාරය.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *