මරණය – ඉස්ලාමීය නීතිරීති හා සමාජ සම්ප්‍රදාය

3

Prese සැබැවින්ම මරණය; නුඹලා එයින් පලා දිව්ව ද සැබැවින්ම එය නුඹලාව හමුවන්නකි. පසුව ගුප්ත දෑ හා දෘෂ්‍යමාන දෑ දන්නා වෙත නැවත යොමු කරවනු ලබන්නෙහුය. එවිට නුඹලා කරමින් සිටි දෑ ඔහු නුඹලාට දන්වයි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 62- 8 වාක්‍යයයි. කිසිදා පලා නොයාහැකි මරණය පිලිබදව ශුද්ධ වූ කුර්ආනය එක්තරා ස්ථානය පවසන්නේ එලෙසයි. එවන් වූ මරණය පිලිබදව ‘යහමඟ’ අඩවිය තුල අවස්ථා කිහිපයකදීම කරුණූ සාකච්චා කොට ඇති අතර මීට ඉහත සාකච්චා කල මරණය සදහා වූ ඔබේ සූදානම යන ලිපිය එයට සමීපතම   නිදසුනකි.

බහු ආගමික පරිසරයක් තුල ජීවත්වන ශ්‍රී ලාංකීය මුස්ලීම් නොවන සමාජයට මුස්ලීම් සමාජය තුල සිදුවන මරණ හා ඒහා බැඳුණූ චාරිත්‍ර, සම්ප්‍රදායන් හා නීතිරීති පිලිබදව ඇත්තේ විශාල කුතුහලයකි. එපමණක් අප සමාජයේ බහුතර මුස්ලීම්වරුන්ට පවා මේ විෂය සම්බන්ධයෙන් ඇත්තේ අසම්පූර්ණ දැනුමකි. මේ හේතුව නිසාද ඉස්ලාමීය ඉගෙන්වීමන්ගෙන් බැහැර පරස්පර මතවාද මුස්ලීම් නොවන සමාජයට ප්‍රකාශ වීමද නොවැලැක්විය හැකි කාරණයක් වී ඇත.

මෙවැනි පසුබිමක ‘මරණයක්’ සම්බන්ධයෙන් මුස්ලීම්වරුන් ක්‍රියා කලයුත්තේ කෙසේද?, එහි වැලකී සිටිය යුත්තේ කුමකින්ද? යනාදී කරුණූ පියවරින් පියවර සරලව කථා කිරීමට අදහස් කරමි. ඒ විශේෂයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම් නොවන සමාජයේ දැනගැනීම පිණිස වන අතර මේ විෂය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති මුස්ලීම් සමාජය ද දැනගැනීම පිණිසය.

මරණයක දී සිදුවන්නේ ශරීරයෙන් ප්‍රාණය ඉවත් වී යාමයි. එසේ ප්‍රාණය ඉවත්වීම යාම සමඟම ‍මෘතදේහය විනාශවීම නොඑසේ නම් කුණුවීම ඇරඹේ. මෙම තත්වය හමුවේ මෘතදේහය සම්බන්ධයෙන් ප්‍රධාන ක්‍රමවේද 02ක් සමාජය අනුගමනය කරන ආකාරයක් සුලභව දක්නට ඇත. එනම්,

  • මෘතදේහය භූමදානය හෝ ආදාහනය කිරීමට මත්තෙන් එම මෘතදේහයේ අභ්‍යන්තර ඉන්ද්‍රයන් ඉවත්කොට එයට විවිධ රසායනික ද්‍රව්‍ය ගල්වා දින කිහිපයකට ආරක්ෂා කොට තබාගැනීම,
  • මෘතදේහයට කිසිදු හානියක් නොකොට හැකි ඉක්මණින් එම දේහය භූමිදානය කිරීම,

ඉහත ක්‍රම දෙකෙන් මුස්ලීම් සමාජය අනුගමනය කරන්නේ දෙවැනි ක්‍රමවේදයයි. ඒ අනුව මුස්ලීම්වරයෙකුගේ මරණයකදී මුස්ලීම් සමාජය දැනට ක්‍රියා කරන ආකාරය හා සෑබෑවටම ක්‍රියා කලයුතු ආකාරය කුමක්ද? යන්න ඉස්ලාමීය ඉගෙන්වීමන් ද පදනම් කරගෙන මෙතැන් සිට පියවරින් පියවර විමසා බලමු.

මරණාසන්න මොහොත

කෙනෙකු රෝගාතුර වූයේ නම් ඔහුගේ සුව දුක් විමසීමත් ඔහු මරණයට පත් වූයේ නම් එම ජනාසාවට සහභාගී වීමත්  මුස්ලිම්වරයෙකුගේ වගකීමය. මරණාසන්නයේ සිටින කෙනෙකුව මුණ ගැසෙන්නේ නම් ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ (අරුථ – අල්ලාහ් හැර වෙන දෙවියෙකු නැත) යනුවෙන් පවසා එය ඔහුට සිහි කරවීම යහපතකි. එසේම ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම ද යහපතකි. ඔහු ඉදිරියේ යහපත මිස වෙන කිසිවක් කතා නොකළ යුතුයි.

මරණයට පත් වූ විට

මුස්ලිම්වරයෙකු මරණයට පත් වූ විගස ඔහුගේ දෑස් වැසීම කලයුතු අතර එහිදී පහත සඳහන් ප්‍රාර්ථනාව ද කලයුතුය.

යා! අල්ලාහ්, මෙම පුද්ගලයාට සමාව දෙනු මැනව! යහපත පිරිනමනු ලැබූවන් අතර ඔහුගේ නිලය උසස් කරනු මැනව! ඔහුගේ මිනී වළ ඔහුට විශාල කර දෙනු මැනව! ඔහුට එහි ආලෝකය ලබා දෙනු මැනව! පෙර ගියවුන් අතරට ඔහුව ද එක් කරනු මැනව! විශ්වයේ පරමාධිපතියාණනි, අපට සමාව දෙනු මැනව! එමෙන්ම ඔහුට ද සමාව දෙනු මැනව!

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්

පසුව ඔහුගේ මුඛය විවර නොවන පරිදි නිකට හරහා හිස් මුදුනට රෙදි පටියකින් බැඳ දැමිය යුතුයි. ඔහුගේ අස්ථි පුරුක් මෘදු ලෙස ලිහිල් කළ යුතුයි. පොළොවට මදක් ඉහළින් තැන්පත් කර ඔහුගේ ඇඳුම් ගලවා එක් රෙදි කැබැල්ලකින් ඔහුගේ දේහය සම්පූර්ණයෙන්ම ආවරණය කළ යුතුයි. එසේම මරණය සිදුවනවාත් සමඟ මෘතදේහයෙන් මළමුත්‍රා වැනි දෑ පිටවන නිසා මරණය නෑවිය යුතුයි.

මෘතදේහය හෙවත් ජනාසාව නෑවීම

1- මෘතදේහය නෑවිය යුත්තේ ආගමික ක්‍රමය මැනවින් දන්නා අයයි. එමගින් ඔහු අල්ලාහ් (දෙවි)ගේ තෘප්තිය අපේක්ෂා කරන්නේ නම් ඔහුට අතිමහත් කුසල් හිමි වේ. තවද ඔහු එහි දකින පිළිකුල් සහගත දෑ කතා නොකර වසන් කළ යුතුයි.

2- පිරිමි මෘතදේහයක් නෑවීමට ඉතා සුදුස්සා වනුයේ ඒ මියගිය පුද්ගලයා අන්තිම කැමැත්ත ප්‍රකාශ කරනු ලැබූ පුද්ගලයාය. පසුව මියගිය පුද්ගලයාගේ පියාය. පසුව ඔහුගේ සීයාය පසුව සමීප ඥාතීන්ය. පසුව ඔහුට හිතවත් පිරිසයි.

කාන්තා මෘතදේහයක් නෑවීමට ඉතා සුදුසු වනුයේ ඒ සඳහා අන්තිම කැමැත්ත ප්‍රකාශ කරනු ලැබූ තැනැත්තියයි. පසුව ඇයගේ මවය. පසුව ඇයගේ ආච්චිය. පසුව සමීප ඥාතීන්ය. පසුව මේ පිළිවෙළට පැමිණෙන තැනැත්තියන්ය. ස්වාමි පුරුෂයා හා බිරිය යන දෙදෙනා ඔවුන් එකිනෙකා අනෙකාව නෑවීමට අනුමැතිය ඇත. පිරිමියෙකු වුව ද කාන්තාවක් වුව ද මුළු මෘත දේහයම ආවරණය වන සේ එක් වරක් නෑවීම ප්‍රමාණවත්ය.

3- වයස අවුරුදු හතකට අඩු කාන්තා හෝ පිරිමි ජනාසාවක් වූයේ නම් එය කාන්තාවක් විසින් හෝ පිරිමියෙකු විසින් හෝ නැවීමට අනුමැතිය ඇත.

4- මෘතදේහය නෑවීමට සහභාගී විය යුත්තේ නාවන්නා හා නෑවීම සඳහා ඔහුට උදව් කරන අය පමණි. කිසිදු අවශ්‍යතාවයකින් තොරව වෙනත් අය ඒ සඳහා සහභාගී වීම පිළිකුල් සහගතය.

Janasa 1

  • මෘතදේහයක් තැබිය යුත්තේ ඉහත පලමු රූපයේ ආකාරයටයි.
  • ‍මෘතදේහයේ නියපොතු, නහය වැනි තැන්වල ඇති අපද්‍රව්‍ය පිරිසිදු කලයුතුයි. එසේම උඩු රැවුල දිග්ව පවතී නම් හෝ නියපොතු දිග්ව පවතී නම් එය කපා ඉවත් කලයුතුයි.
  • මෘතදේහයෙන් පිටවන (මළ මූත්‍රා වැනි) අපද්‍රව්‍ය හොදින් බැහැර වීම සදහා ඉහත දෙවන රූපයේ ආකාරයට මෘතදේහය තරමක් ඉහලට ඔසවා වාඩි කරවන තරමට හිස ඔසවා උදරය මෘදු ලෙස තෙරපිය යුතුයි.
  • ඉන්පසු වතුර නළයක් වැනි දෑ උප‍යෝගි කරගෙන පිටවූ සියළු අපද්‍රව්‍ය හොදින් සෝදා ඉවත් කලයුතුයි.
  • අනතුරුව සම්පූර්ණ මෘතදේහයම හොදින් නෑවිය යුතුයි. එහිදී ජලය හා මසං කොල භාවිතා කරමින් නෑවිය යුතුය.
  • නෑවීමේ දී මෘතදේහයක් වූවත් ඉතා සුමුදු ලෙස හැසිරවිය යුතුයි.
  • මෘතදේහය සලාතය සඳහා වුළු ගන්නාක් මෙන් ධෝවනය කලයුතුයි. ඔහුගේ කටට හෝ නාසයට ජලය යැවීමෙන් වැළකිය යුතුයි. නමුත් තෙත් වූ ඇගිලි කට හා නාසයට ඇතුල් කර පිරිසිදු කළ හැක.
  • නෑවීමේ දී ඔහුගේ හිස හා යටි රැවුලෙන් ආරම්භ කොට පසුව ඔහුගේ ගෙල සිට පාදය දක්වා දකුණු පැත්ත සෝදා ඒ අයුරින්ම වම් පැත්තත් සේදිය යුතුයි.
  • පසුව වම් පැත්තට පෙරළා දකුණු පිටුපස පැත්ත සේදිය යුතු අතර පසුව දකුණු පැත්තට පෙරළා වම් පිටුපස පැත්ත ඒ අයුරින්ම සේදිය යුතුයි.
  • මේ ආකාරයට දෙවාරයක් තුන්වාරයක් පමණ සේදිය යුතුයි. පිරිසිදු නොවුනු බව හැඟුණේ නම් ඔත්තේ (එනම් 3,5,7,9…යනාදී) වාරයකින් අවසන් වන තෙක් තවදුරටක් සේදිය හැක.
  • අවසන වාර සේදීමේදී ජලය සමඟ කපුරු හෝ සුවඳ විලවුන් එක්කොට සේදිය යුතුයි.
  • කාන්තාවක් නම් ඇයගේ  හිසකෙස් කොටස් තුනකට ගොතා පසු පසට තැබිය යුතුයි.
  • දෝවනය කිරීමේන් පසුව මළ මූත්‍රා වැනි අපද්‍රව්‍යයක් පිට ඇති බව පෙනුනේ නම්, එම ස්ථානය පමණක් සෝදා නැවත වුළු කරවිය යුතුයි. තවද එවැනි ස්ථාන පුළුන් වලින් ආවරණය කලයුතුයි.

විශේෂ අවස්ථාවන්…

  • පිලිස්සීම හේතුවෙන් හෝ ඉරී කැබලි වලට වෙන්වීම හේතුවෙන් මෘතදේහය නෑවීමට අපහසු නම් හෝ ජලය නොමැති වූයේ නම් හෝ ස්නානය නොකර රෙදිවලින් ආවර්ණය කරනු ලැබේ. වුළු ගැනීමක් හෝ තයම්මුම් කිරීමක් හෝ එවිට අවශ්‍ය නොවෙයි. පසුව ඔහු වෙත සලාතය ඉටුකල හැක.
  • මෘතදේහය සම්පූර්ණයෙන් නොලැබී එහි අතක් කකුලක් වැනි කොටසක් පමණක් ලැබුණේ නම් ඒ කොටස සදහා සලාතය ඉටු කිරීම කලයුතු අතර මුස්ලිම්වරයෙකු ජීවතුන් අතර සිටිය දී යම් කිසි හේතුවක් මත ඔහුගේ ශරීරයේ කොටසක් වෙන් කළේ නම් එය නෑවීමට හෝ ඒ වෙනුවෙන් ඉටු කිරීම අවශ්‍ය නැත. එය රෙදි කඩකින් ඔතා සුසාන භූමියේ වළ දැමිය යුතුය.
  • යුද පිටියේ ජීවිතය පුද කළ ෂහීද්වරයෙකු (දහම වෙනුවෙන් ජීවිතය කැපකල තැනැත්තෙකු) නෑවීම් නොකලයුතුය.

මෘතදේහය හෙවත් ජනාසාව සදහා වස්ත්‍ර ඇන්දවීම

අද සමාජය තුල මරණයක් සිදුවූ විට එම මෘතදේහය සදහා අන්දවන ඇදුම් මෝස්තරය තීරණය කිරීමටත් ඒ සදහා විශාල මුදලක් වැය කිරීමට කටයුතු කරන ආකාරය සුළභ දසුනකි. නමුත් ඉස්ලාම් පෙන්වාදෙන ක්‍රමවේදය ඉතා සරලය. ඉස්ලාම් දහම මෘතදේහයට අන්දවන වස්ත්‍රය ‘කෆන්’ ලෙස හදුන්වයි. මෙහි මා එය වස්ත්‍රයක් ලෙස සදහන් කලත් එය සැබෑවටම නොමසන ලද රෙදිකඩක් පමණි. ඒ පිලිබදව දැන් විමසා බලමු.

Janasa 2

  • පිරිමි මෘතදේහයක් සුදු රෙදි කඩ තුනකින් එතීම යහපතකි. එය සාම්බ්‍රානි දුමෙන් තෙවතාවක් දුම් අල්වා පසුව එකිනෙක මත එළනු ලබයි. ඒවා අතර සුවඳ විලවුන් මිශ්‍ර කරනු ලබයි. (ඉහත 7, 8 රූපය)
  • පසුව මෘතදේහය ඒ මත තබා ඉකිළි අතර පුළුන් වැනි දෑ ද තබා මෘතදේහයේ ලිංගික ප්‍රදේශය වැසෙන සේ කුඩා සරමක් ලෙස රෙදි කඩකින් ඔතනු ලබයි. ඒ සමගම ශරීරයේ සෙසු පෙදෙස් වලට ද සුවඳ විළවුන් ගල්වනු ලබයි. (ඉහත 9 රූපය)
  • පසුව ඉහළින් ඇති රෙදි කඩ වම් පැත්තෙන් දකුණු පැත්තට ඇඳ ඔතා පසුව දකුණ පැත්තෙන් වම් පැත්තට ඇඳ ඔතයි. පසුව දෙවන හා තෙවන රෙදි කඩත් එලෙසම අනුගමනය කලයුතු වේ. (ඉහත 10,11 රූපය)
  • ඉතිරි ව ඇති කොටස මෘතදේහයෙ හි හිස පැත්තෙහි හෝ එය අධිකව ඇත්නම් හිස හා පාද යන දෙපැත්තෙහි තැබිය යුතුය. (ඉහත 12,13 රූපය)
  • පසුව එම එතීම් නොගැලවෙන පරිදි රෙදි පටි ගෙන අතරින් පතර ගැට ගසයි. එය මිනී වළ තුල මෘතදේහය තැබීමෙන් අනතුරුව ලිහා දැමිය යුතුවේ. (ඉහත 13,14 රූපය)
  • ඉහත සඳහන් කරුණු වල දී කාත්නා දේහය ද පිරිමි දේහය මෙන්මය.

විශේෂ අවස්ථාවන්…

  • අල්ලාහ්ගේ මාර්ගයේ යුද වැදී දිවි පිදූ ෂහීද් වරයා තමන් ෂහීද් තත්ත්වයේ කවර ඇඳුමකින් සැරසී සිටියේ ද ඒ ඇඳුමින්ම වළ දමනු ලබයි. නාවනු නොලැබේ. පහසුකමක් ඇත්නම් ඔහුව ආවරණය කරනු පිණිස ඇඳ සිටින ඇදුමට ඉහළින් රෙදි කඩකින් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් හෝ කෆන් කිරීම සතුටු දායකය.
  • හජ් වෙනුවෙන් හෝ උම්රා වෙනුවෙන් හෝ ඒ දෙකම වෙනුවෙන් ඉහ්රාම් ඇඳ ගත් පුද්ගලයෙකු මරණයට පත් වූයේ නම් ජලය භාවිත කරමින් නාවනු ලැබේ. එහි දී  සුවද විලවුන් නොගල්වයි. මසා නිම කළ ඇදුම් නොඅන්දවයි. පිරිමියෙකු නම් හිස ආවරණය නොකරයි. හේතුව ඔහු විනිශ්චය දිනයේ එම තත්ත්වයේම තල්බියා පවසන්නෙකු ලෙස නැගිටුවනු ලබන බැවිනි. ඔහු වෙනුවෙන් හජ් හි ඉතිරි පිළිවෙත් ඉටු කරනු නොලැබේ. ඔහු ඇඳ සිටින එම රෙදි කඩ දෙකෙන් කෆන් කරනු ලැබේ.

මෘතදේහය හෙවත් ජනාසාව භූමදානයට රැගෙනයාම

අද සමහරක් මුස්ලීම්වරුන් මෙන්ම මුස්ලීම් නොවන ශ්‍රී ලාංකීය සහෝදර ජනතාව අවබෝධ කරගෙන සිටින්නේ මුස්ලීම්වරයෙකුගේ මරණය සිදුවූ විට එම මෘතදේහය පැය 24ක් නිවසේ තබාගත හැකි ලෙසයි. මෙය සම්පූර්ණයෙන් වැරදි අවබෝධයකි. ඉස්ලාමීය ඉගෙන්වීම වන්නේ ‘හැකිතාක් ඉක්මණින් මරණය භූමදානය කලයුතයි’ යන්නයි. එයට හේතුව නබිතුමාණන් මෙසේ පවසන ලදී.

මරණය දැහැමි කෙනෙකුගේ නම් මාව ඉක්මණින් ඉදිරිපත් කරන්නැයි පවසයි. එය දැහැමි නොවන්නේ නම් අහෝ! එහි විනාශය. ඔවුන් මෙය ගෙන යන්නේ කොහේ දැ?යි පවසනු ඇත. මිනිසා හැර සෙසු සියලු දෑ එයට සවන් දෙනු ඇත. මිනිසා එයට සවන් දුන්නේ නම් තිගැස්සී යනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි

 ඒ අනුව ඉහත ආකාරයට රෙදිකඩක මෘතදේහය ඔතා එම මෘතදේහය වෙනුවෙන් ඉටුකරන ආගමික වතාවත් (ජනාසා සලාතය) ඉටුකොට භූමදානය සදහා මෘතදේහය රුගෙන යායුතුය. එහිදී සහෝදර සමාජවල මෙන් ගුණකථන, අවසන් ගෞරව දැක්වීම වැනි චාරිත්‍ර ඉස්ලාම් දහම තුල නැත. මෙතැනදී බහුතර මුස්ලීම් සමාජයේ අනවබෝධයක් පෙන්වාදිය යුතුව ඇත. එනම්,

පුද්ගලයෙකු මරණයට පත්වූ විට ඔහු පිරිමියෙකු නම් එම මරණය ගැහැණුන්ට මෙන්ම මුස්ලීම් නොවන පිරිමින්ට පවා නොපෙන්වීමේ සම්ප්‍රදායක් ඇත. එසේම මරණයට පත්වූ කෙනා ගැහැණික් නම් එම මරණය පිටස්තර පිරිමිණ්ට මෙන්ම මුස්ලීම් නොවන කාන්තාවන්ට නොපෙන්වීමේ සම්ප්‍රදායක් ඇත. මෙය සම්පූර්ණයෙන්  වැරදි චාරිත්‍රයකි. එම මියගිය පුද්ගලයා ජීවත්ව සිටිය දී ඔහුව (කුමන වස්ත්‍ර සීමාවකට යටත්ව) බැලීමේ අවසරය ඉස්ලාම් ලබාදී තිබුණේද එම සීමාව මෘත දේහයට ද එලෙසින්ම වලංගු බව මුස්ලිම් සමාජය මෙන්ම මුස්ලීම් නොවන සහෝදර ජනතාව ද වටහා ගතයුතුයි.

දැන් මෘතදේහය භූමදානය සදහා රුගෙන යාම පිලිබදව විමසා බලන්නේ නම්,

  • සොහොන් පිටිය වෙත පිරිමින් විසින් මෘතදේහය ඔසවා ගෙන යායුතු වේ.
  • කාන්තාවන් එයින් වැළකී සිටිය යුතුයි.
  • මෘතදේහය රුගෙන යනවිට එයට ඉදිරියෙන් හා පසුපසින් පොදු ජනතාව ගමන් කිරීම ඉස්ලාම් අනුමත කරන ක්‍රමවේදයකි.
  • කබ්ර් ස්ථානය දුරින් පිහිටා තිබීම වර්ෂාපතනය පා ගමනින් ගෙන යෑමට දුෂ්කර වීම වැනි හේතූන් මත හැර කිසිදු හේතුවකින් තොරව මෘතදේහය වාහනයක් මඟින් ප්‍රවාහනය නොකලයුතුය.
  • මෘතදේහයක් තමා අසලින් යන විට මුස්ලිම්වරයෙකු නැගිට සිටීම ඉස්ලාම් අනුමත කරන ගුණාංගයකි.
  • මෘතදේහය රුගෙන යනවිට කිසිවක් වාදනය නොකොට ශබ්ද නොනඟා නිහඬව ගමන් කිරීම ඉස්ලාම් අවදාරණය කරන කාරණයකි.

මෘතදේහය හෙවත් ජනාසාව භූමදානය කිරීම

Janasa 3

  • මුස්ලිම්වරයෙකුගේ මෘතදේහයක් එය පිරිමියෙකු වුව ද කාන්තාවක් වුව ද වැඩිහිටියෙකු වුව ද කුඩා අයෙකු වුව ද මුස්ලිම්වරුන් වළ දමා ඇති සුසාන භූමියක වළ දැමිය යුතු වේ.
  • දේවස්ථානයක් තුල හෝ ඊට යාබදව මෘතදේහයන් වළ දැමීමත් දෙවියන්ට ආදේශ තබන්නන්ගේ සුසාන භූමිවල වළ දෑමීමත් සුදුසු නොවේ.
  • මිනී වළ ගැඹුරට විශාල ව අලංකාරව පිහිටීම අනිවාර්යය වේ.
  • මිනී වළ තුල තවත් අතුරු වළක් හෑරිය හැකි නම් ‘කිබ්ලා’ හෙවත් සලාත් ඉටුකරන දිශාවට මුහුණලා මිනිය පිහිටන මෘතදේහය එහි තැන්පත් කලයුතු වේ. (ඉහත 20,21 රූපය)
  • ජනාසාවෙ හි දුගඳ නොහමන තරමටත්  සතුන්ට එය ගොදුරක් නොවන පරිදිත් ගැඹුරින් මිනී වළ පිහිටීම ඉස්ලාම් අවධාරණය කරයි.
  • දහවල් කාලයේ මිනිය වළ දැමීම ඉතා යහපත් වේ.
  • එය රාත්‍රි කාලයේ ද වළ දැමිය හැක.
  • එක් මිනී වළක එක් අයෙකුට වඩා වැඩි ගණනක් වළ දැමීම නුසුදුසුය. නමුත් යුද්ධයක දී හෝ ආපදාවක දී හෝ එවන් වෙනත් අවස්ථාවක දී හෝ අධික වශයෙන් මිනී සංඛ්‍යාවක් වෙතොත් එසේත් නැත්නම් ඒවා වළ දමන උදවිය අඩු වෙතොත් එක් මිනී වලක තැන්පත් කිරීම වරදක් නොවේ.
  • මෘතදේහයක් මිනී වළ තුළ තැන්පත් කිරීමේ වගකීම දරනුයේ කාන්තාවන් නොව පිරිමින්ය. ඒ අනුව එම වළ තුලට බැස එය තැන්පත් කිරීමට වඩා සුදුසු වන්නේ මියගිය කෙනාගේ භාරකරුවන් හා සමීපත ඥාතීන්ය.
  • මෘතදේහය වළෙහි තැන්පත් කිරීමේ දී ප්‍රථමයෙන් පාද ප්‍රදේශය ද පසුව හිස ප්‍රදේශය ද තැබෙන පරිධි තැන්පත් කලයුතුයි.
  • කාන්තාවන් ජනාසාවක් පසු පස යෑම සුදුසු නොවෙයි. හේතුව ඔවුන් තුළ දුර්වලතා මෘදු මෙළොක් බව ශෝකය හා වේදනාව ඉවසා දරා ගත නොහැකි ස්වභාවය ඇති බැවිනි.
  • මෘතදේහය වළ හි තැන්පත් කිරීමෙන් අනතුරුව වලතුල තිබෙන මෘතදේහයට සෘජුවම පස් නොවැටෙන ලෙස හරස් අතට ලෑලි හෝ වෙනත් ආවර්ණයක් තබා ඊට ඉහලින් පස් දැමිය යුතුය. (ඉහත 24 රූපය)

ඉහත ආකාරයට මෘතදේහය වළ තුල තැන්පත් කිරීමෙන් අනතුරුව අනුගමනය කලයුතු තවත් ක්‍රමවේද කිහිපයක්ද ඉස්ලාම් පෙන්වාදී ඇත. එනම්,

  • මිනිය වළ දැමූ පසු අවසන් කටයුතුවලට සහභාගි වූ පිරිස් එම ස්ථානයේ රැඳී සිට මියගිය තැනැත්තා වෙනුවෙන් ප්‍රාර්ථනා කළ යුතුයි. ඔහුට සමාව අයැද සිටිය යුතුයි. ඔහු වෙනුවෙන් සමාව අයැදින මෙන් ද ඔහුට ප්‍රාර්ථනා කරන මෙන් ද සෙසු අයට ද අවවාද කළ යුතුයි.
  • මිනීවල මත සොහොන් කොත් තැනීම එය කපරාදු කිරීම හෝ හුනු වැනි ආලේප ගෑම ඒ මත සලකුණු තැබීම එහි පහන් දැල්වීම මල් වඩම් වැනි දෑ තැබීම, එම සොහොන් කොත ආශ්‍රතව උත්සව සැමරීම වැනි දෑ සම්පූර්ණයෙන්ම තහනම්ය.
  • මිනී වළ මත ගලකින් හෝ එවැනි යම් වස්තුවකින් ජනාසාවෙහි භාර කරු විසින් සලකුණු තැබීම කලහැක. එය එම ස්ථානයේ තම පවුලේ අය අතුරින් මිය යන උදවිය තැන්පත් කිරීමට හැකි වනු පිණිසත් කබ්ර් ස්ථාන බැහැ දැකීමේ දී තම ඥාතියා වළ දැමූ ස්ථානය හඳුනා ගැනීම පිණිස පමණි.
  • සොහොන් වළට පසු පිරවීමේදී පොළොව මට්ටමින් ඉහලට එ‍සවෙන තරමට පස් පිරවිය යුතුය.

ඉහත කරුණු දැක්වීමන්ට අනුව මුස්ලීම්වරයෙකුගේ මරණයක දී මුස්ලීම් සමාජය ක්‍රියා කලයුත්තේ කෙසේද? යන්න පිලිබදව ඔබට සරල අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. එසේම මුස්ලීම් සමාජය තුල ඉහත ඉගෙන්වීමන්ට පරිභාහිර බොහෝ සම්ප්‍රදායන් බොහෝමයක් දක්නට ඇති බවද මුස්ලීම් මෙන්ම මුස්ලීම් නොවන සමාජය ද වටහාගතයුතව ඇත. එම වැරදි සම්ප්‍රදායන් මුස්ලීම් සමාජය අත්හැර නිර්මල දහම පිලිපැදීමට උනන්දු වියයුතු බවත් මේ ලිපිය තුල අපැහැදිලි කරුණු හෝ සැකයට තුඩුදෙන කරුණු ඇත්නම් නැවත විමසා හෝ විද්වතුන් මඟින් පැහැදිලි කරගෙන එසේම මෙම ලිපිය තුල වැරදි ලෙස සටහන් වී ඇති කරුණූ ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ආරාධනා කරමින් ද මෙම ලිපිය‍ට විරාමය තබමි.

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 3 යි.

  1. sameera 2014-04-17 at 19:29

    මැරෙන විදිහ තීරනය කරන්නේ අල්ලා දෙවියන් නම් කොහොමද සියදිවි නසාගැනීම පාපයක් වුනේ?

    • අබූ අර්ශද් 2014-04-17 at 22:06

      ඔබ ඉහතින් විමසන පැනය ඉස්ලාම් දහමේ මූලික අංගයක් වන ‘කර්මය හෙවත් පෙර නියමය’ යන කාරණය හා බැදේ ඒ පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත කරුණු සාකච්චා කොට ඇති ‘ඉස්ලාම් පවසන කර්මය – විමසුමක්‘ යන ලිපිය කියවන්න. එවිට ඔබට ඉහත පැනයට පිලිතුරු ලැබෙනු ඇත. තවදුරටත් ඔබට විග්‍රහයන් අවශ්‍ය නම් විමසන්න.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *