මස් කන අයගේ කට ගඳයි ද?

0

අප රටේ ජාතික පුවත්පතක් වන ‘රාවය’ පුවත්පතේ පසුගිය 2014/06/08 දින පලවී තිබූ සංවාදාත්මක ලිපියක් කියවීමෙන් අනතුරුව එම සංවාදයට සම්බන්ධ වූ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා පිලිබදව හා එතුමාණන්ගේ විද්වත් අදහස් තවදුරටත් කියවීමේ අදහසින් එවැනි ලිපි සොයා අන්තර්ජාලය තුල සැරි සැරුවෙමි. එහිදී තවත් සංවාදාත්මක ලිපියක් කියවීමට හැකි වූ අතර එහි මාතෘකාව වූයේ ‘මස් කන අයගේ කට ගඳයි’ යන්නයි. (එම ලිපිය මෙම ලිපිය අවසානයේ ඉදිරිපත් කරමි.) මෙම ලිපිය බොහෝ වෙබ් අඩවි තුල ඉදිරිපත් කර තිබූ අතර ඒ සියළුදෙනා එම ලිපියට මාතෘකාව ලෙස යොදා තිබුණේ ද ඉහත එකම මාතෘකාවයි. වෛද්‍ය තුමාගේ ‘රාවය’ පුවත්පත් අදහස් දැක්වීම කියවූ මා ඉහතින් සදහන් වෙබ් ලිපියේ මාතෘකාව දුටූ විගස එහි කිසියම් පරස්පරතාවයක් ඇතැයි සිතුණි. මේ නිසාම එම වෙබ් ලිපිය ද උනන්දුවෙන් කියවූයෙමි.

මා ආරම්භයේ සදහන් ‘දියුණු ළමා පරපුරක් සදහා මාංශ අනුභවය අවශ්‍යයි’ යන ලිපිය තුලින් මාංශ ආහාර පිලිබදව ශ්‍රී ලාංකීය සමාජය උනන්දු කරවමින් අදහස් දැක්වූ විශේෂඥ ආරියසේන යූ ගමගේ වෛද්‍ය තුමා මස් කෑම පිලිකුල් සහගත ක්‍රියාවක් ලෙස අඟවන ආකාරයේ ප්‍රකාශයක් එම වෙබ් ලිපියේ ඉදිරිපත් කලේ ඇයිද? යන්න මොහොතක් විමසා බැලුවෙමි. එහිදී පැහැදිලි වූයේ එක්තරා අවස්ථාවක වෛද්‍යතුමාගෙන් විමසු පැනයකට එතුමා ලබාදුන් පිලිතුර එම වෙබ් ලිපියට එලෙස මාතෘකා යෙදීමට හේතුවක් කරගත් ආකාරය එහි පෙනුණි. එනම්, එම වෙබ් ලිපිය මඟින් මුඛයේ ඇති වන රෝගී තත්වයන් පිලිබදව හා දුඟද ඇතිවීම පිලිබදව කථා කිරීමේ දී එක්තරා අවස්ථාවක නැඟූ ප්‍රශ්නය හා පිලිතුර මෙසේය.

ප්‍රශ්නය – මස් මාංශ වැනි සමහර ආහාර වර්ග ගැනීමත් මුඛයේ දුර්ගන්ධයට බලපානවා ද?

පිලිතුර – ඔව්… (මෙය සම්පූර්ණ පිළිතුරෙන් කොටසකි)

මෙම ලිපිය ‍බොහෝ වෙබ් අඩවි තුල පලවී තිබූ නිසාත්, එම මාතෘකාව මඟින් මාංශ අනුභව කරන පිරිසට සූක්ෂම අපහසයක් මතුකරන නිසාත්, එම ලිපියේ හරවත් බව විකෘති කිරීමකට ලක්කර ඇති නිසාත් ඒ පිලිබදව යහමඟ අඩවිය තුලින් විමසා බැලීමට අදහස් කලෙමි.

කිසියම් අදහසක් මතවාදයක් තමන්ට වාසිසහගත තැනින් අල්ලා ගැනීම අද සමාජයේ සාමාන්‍ය සිරිතක් වී ඇත. ඒ අනුව නිර්මාංශ ප්‍රතිපත්තිය ශ්‍රී ලාංකීය සමාජය තුල ගොඩනඟන්න උනන්දුවන පිරිස් විශේෂයෙන් ඉහතින් සදහන් වෙබ් අඩවි මෙහෙයවන්නන් මෙතැනදී ද කර ඇත්තේ වෛද්‍යතුමාගේ අදහස් දැක්වීම තමන්ට වාසිසහගත තැනින් අල්ලා ගැනීමයි. නමුත් ඔවුන්ගේ එම උත්සාහය තුල තම මතවාදයේ බංකලෝතුභාවය මනාව ඔප්පු කොට ඇති ආකාරය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත. තමන් දරණ මතවාදය සමාජයට ඒත්තු ගන්වන්න සාධාර්ණ හා සමභර විද්වත් විග්‍රහයන්ට යොමුවනවා වෙනුවට තවත් කෙනෙකුගේ මතවාදයක් විකෘති කොට තමන්ට වාසිසහගත ලෙස සමාජගත කිරීමට උත්සාහ කිරීම තම මතවාදයේ බංකලෝතුභාවය පමණක් නොව තම පහත් ක්‍රියාකලාපය ද මනාව ප්‍රදර්ශනය කිරීමකි.

විශේෂයෙන් ඉහත වෙබ් ලිපියේ මූලික හරය පිලිබදව කිසිදු තැකීමක් නොකොට තමන්ට අවශ්‍ය තැනින් පමණක් අල්ලා ගැනීම සාධාර්ණ ක්‍රමවේදයක් නොවේ. වෛද්‍ය තුමා‍ එම ලිපියේ මුඛයේ ඇති වන රෝගි තත්වයන් පිලිබදව අදහස් දැක්වීමේ දී මුඛයේ දුඟද ඇති කරවන සාධක ගණනාවක් විස්තර කරයි. එසේම එම තත්වයන් මුඛය තුලින් දුඟද වහනය වීමට බලපාන ආකාරය ද විස්තර කරයි. ඒ අතුරින් කිහිපයක් උපුටා දක්වන්නේ නම්,

  • ශරීරයේ ජල ප්‍රමාණය අඩුවූවානම් විජලනය නිසා මුඛයේදුර්ගන්ධයක් ඇතිවිය හැකියි,
  • වකුගඩු අකර්මණ්‍ය වීම, දියවැඩියාව වැනිරෝගී තත්ත්ව කටින් දුගඳ හැමෙන්නට හේතු වෙනවා.
  • ගැස්ට්‍රයිටිස් රෝගීන්ගේ නිතර නිතරඋගුරට එන ස්වභාවයත් සමඟ ඒ දුර්ගන්ධය ඇතිවෙන්නට පුළුවන්.
  • ලියුකේමියාව සහ වෙනත් රුධිර ගත රෝග ඇති අයගේ ද මුඛයෙන් දුගඳ හැමිය හැකියි.
  • සමහර ඖෂධ නිසා කටින් දුගඳ හැමීම ඇතිවිය හැකියි.
  • සීනි සහිත ආහාර ගැනීම නිසා ඒවා දත් කුහර, විදුරුමස් අතර තැන්පත්‍වීමෙන්, ඒ මත බැක්ටීරියා වර්ධනය වෙනවා. විදුරු මස්, දත් හොඳින් පිරිසුදුනොකර සිටියොත් අනිවාර්යයෙන්ම ඉන් දුගඳ හමනවා.
  • විශේෂයෙන් ම වාෂ්පශීලී මේද අම්ල සහ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාරපාන සිරුරතුළ දී වියෝජනයට ලක්වීමෙන් පසු හටගන්නා රසායනික ද්‍රව්‍ය වායුවක් ලෙසප්‍රශ්වාස කරන විට මුඛයෙන් සහ නාසයෙන් පිටවිය හැකිය. දුම්පානය, මත්පැන් සහසුදුලුනු ඊට උදාහරණ ලෙස දැක්විය හැකියි.

මේ ආකාරයට වෛද්‍යතුමා මුඛයේ ඇතිවන දුඟද පිලිබදව කරුණු දැක්වීමේ දී එය තමන්ට වාසිසහගත ලෙස හරවාගත් නිර්මාංශ මතදාරී පිරිස් මාංශ අනුභවයේ ආදීනය සමාජයට ඒත්තු ගන්වන්න මෙහි භාවිතා කල  උපක්‍රමය ඉතා පටු හා පහත් ක්‍රමවේදයති. එය අවබෝධ කරගැනීමට මෙතරම් දීර්ඝ හා ගැඹුරු විග්‍රහයන් අවශ්‍ය නොවේ. එහිදී වෛද්‍යතුමාගෙන් විමසූ පැනය හා එයට එතුමාණන් ලබාදුන් සම්පූර්ණ පිලිතුර බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, එයම ප්‍රමාණවත් වේ. එය මෙසේය,

මස් මාංශ වැනි සමහර ආහාර වර්ග ගැනීමත් මුඛයේ දුර්ගන්ධයට බලපානවා ද?

ඔව්. විශේෂයෙන් ම මස් මාංශඅනුභවයෙන් පසු කට හොඳින් පිරිසුදු නොකළොත්දත් අස්සේ සිරවුණු ආහාර කැබලි නරක් වීමෙන් දුගඳක් වහනය වීමට පුළුවන්.විශේෂයෙන් ම වාෂ්පශීලී මේද අම්ල සහ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාරපාන සිරුරතුළ දී වියෝජනයට ලක්වීමෙන් පසු හටගන්නා රසායනික ද්‍රව්‍ය වායුවක් ලෙසප්‍රශ්වාස කරන විට මුඛයෙන් සහ නාසයෙන් පිටවිය හැකිය. දුම්පානය, මත්පැන් සහසුදුලුනු ඊට උදාහරණ ලෙස දැක්විය හැකියි.

මුඛය නිසිලෙස පිරිසිදු නොකලහොත් සීනි කෑවත් දුඟද වහනය වන බව වෛද්‍ය තුමා පැහැදිලිව පවසා තිබියදී. ඒ ආකාරයටම මාංශ ආහාර ගැනීමෙන් පසු මුඛය නිසි ලෙස පිරිසිදු නොකලේනම්, ‘…දුඟදක් වහනය වීමට පුළුවන…’ යනුවෙන් ඉඟියක් පවසද් දී, එය අනිවාර්‍ය තත්වයක් ලෙස එම ලිපියට මාතෘකාව යොදා සමාජය තුල වැරදි මතවාදයක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීම පටු එසේම තමන්ගේ මතවාදය තුල බංකලෝතුභාවය මනාව පිලිඹිබු කිරීමක් නොවේද?.

මෙහි හාස්‍ය ජනක කාරණය වන්නේ ඉහත ප්‍රශ්නය තුල ‘මස් මාංශ ආහාරයට ගැනීම නිසා මුඛයේ ඇති වන දුඟද’ පිලිබදව විමසීමේ දී එයට පිලිතුරු දෙන වෛද්‍යතුමා එම පිළිතුරේ දී ‘දුම්පානය, මත්පැන් සහසුදුලුනු…’ මඟින් මුඛයේ දුඟද ඇති වන බව පැහැදිලිව පවසයි. රටක් ලෙස, ජාතියක් ලෙස පමණක් නොව ආගමික ලෙස සැලකූවත් මහා විනාශයක් ගෙනදෙන මත්ද්‍රව්‍ය හා මත්පැන් හි ආදීනය සමාජයට ඒත්තු ගන්වන්න මෙය අවස්ථාවක් කරගන්නවා වෙනුවට අදාල නොවන ‘මස් මාංශ’ වලට මෙය ගැලපීමට උත්සාහ කිරීම එම පිරිසගේ වංක අන්තවාදී පටු න්‍යායපත්‍රය හා එම න්‍යායපත්‍රයට අනුව කටයුතු කරන පිරිසගේ නිරුවත බුද්ධිමත් සමාජයක් මධ්‍යයේ අණාවර්ණය කිරීමක් මිස වෙන කිසිවක් නොවේ.

එසේනම් එම වෙබ් ලිපිය ඔබේ විමසුමට තබමි…

මස් කන අයගේ කට ගඳයි? විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

මුඛයේ දුර්ගන්ධය බොහෝ දෙනෙක් අපහසුතාවට පත් කරන රෝගී ලක්ෂණයක්. තමන්ටනොදැනුණත් සමීප සිටින අයට දැනෙන මේ දුගඳ, මුඛයේ අපිරිසුදු බව නිසා මෙන් මසිරුරේ ඇතිවන විවිධ රෝගාබාධයන් නිසා ද ඇතිවිය හැකියි. මුඛ දුර්ගන්ධය වළක්වාගැනීම අප සිතන තරම් අසීරු ද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි.

මුඛයෙන් දුගඳ හැමීම, එසේත් නැතිනම්, අපි කවුරුත් කියන විදිහට කට ගඳ ගැසීම රෝගයක් ද?

නෑ. කට ගඳ ගැසීම රෝග ලක්ෂණයක් පමණයි. සිරුරේ ඇතිවන විවිධ රෝග නිසාකෙනෙකුගේ මුඛයෙන් දුර්ගන්ධය වහනය වෙන්නට පුළුවන්. ඇතැම් විට එය ඔබට වැලඳීඇති භයානක රෝගයක මුල්ම රෝග ලක්ෂණය වීමටත් පුළුවන්.

මුඛයෙන් දුගඳ හැමීමට ප්‍රධානම හේතුව කුමක් ද?

මුඛයේ අපිරිසුදු බව ප්‍රධානතම හේතුවයි. ඔබගේ දිව එළියට ඇද එය ඇඟිල්ලෙන්පිරිමදින්න. දැන් ඇඟිල්ල නාසයට ළංකර බලන්න. ඔබේ කටින් වහනය වන්නේ කවරආකාරයේ දුර්ගන්ධයක්දැයි දැන් ඔබටම දැනගැනීමට හැකි වේවි. මුඛය, දිව නිතිපතාපිරිසුදු නොකරන අයගේ එසේ දැඩි දුර්ගන්ධයක් ඇතිවිය හැකියි.
මුඛය පිරිසුදු නොකිරීම නිසා දත් සහ විදුරු මස්වල ඉතිරි වනඅපද්‍රව්‍යවල බැක්ටීරියා වර්ධනය වීමෙන් දුර්ගන්ධය ඇතිවනවාට අමතරව මුඛය සහවිදුරුමස තුවාල වී රුධිරය ගැලීමට ද පුළුවන්. ඒ හේතුවෙන්ම සැරව ගෙඩි හා, උගුර වණ වී සෙම් ගෙඩි සෑදීමටත් ඉඩ තිබෙනවා.උදෑසන නින්දෙන් පිබිදුණ විටමුඛයෙන් දුර්ගන්ධය වහනය වීමත් රෝග ලක්ෂණයක් ද?

නෑ. එය බොහෝ දුරට ස්වභාවික තත්ත්වයක්. අවදිව සිටින විට අපේ මුඛයට ඛේටග්‍රන්ථවලින් නිරතුරුවම කෙළ වහනය වෙනවා. එහෙත් නින්දට ගිය විට මුඛය තුළටකෙළ වෑහීම අවම වෙනවා. එසේත් නැතිනම් නතර වෙනවා. එවැනි අවස්ථාවක මුඛය තරමක්දුරට වියළී යන්නට පුළුවන්.

එවිට මුඛයේ බිත්තිවලින්, විදුරුමසින් සහ දිවෙන් ගැලවෙන ශ්ලේෂ්මල පටලමුඛය තුළ දී ම අපද්‍රව්‍ය බවට පත් වෙනවා. ඒ අපද්‍රව්‍යවලින් හටගන්නාදුර්ගන්ධය උදෑසන අප කාටත් දැනෙනවා.

ආහාර ගැනීමෙන් පසු දත් මැද, දිව පිරිසුදු කොට මුඛය හොඳින් සෝදා නින්දටයාමෙන් ඒ දුර්ගන්ධ තත්ත්වය අවම කර ගත හැකියි. ඒ වගේ ම නින්දෙන් පිබිදුණුවහාම දත් සහ දිව මැද පිරිසුදු කිරීමෙන් දුර්ගන්ධය පහකොට නැවුම් බවක් ඇතිකරගත හැකියි.

කල් පවතින කැස්සෙන් පීඩා විඳින ඇතැම් වැඩිහිටියන්ගේ ප්‍රශ්වාස වාතය දුර්ගන්ධයෙන් යුතුයි. ඊට හේතුව කුමක් ද?

ඒ සඳහා බලපාන හේතු කිහිපයක් තිබිය හැකියි. පෙණහලුවල හටගන්නා සැරව ගෙඩි, කල් පවතින ශ්වාසනාළ සහ පෙණහලු ආසාදන, හා පෙණහලු පිළිකා ආදි තත්ත්වයන් ඊටහේතු වන්නට පුළුවන්.

ඒ වගේ ම පෙණහලුවල සිරවූ සෙම බැක්ටීරියා මඟින් ආසාදනය වීමෙන් ඇතිවනදුර්ගන්ධය ප්‍රශ්වාස වාතය සමඟ පිටවීමටත් පුළුවන්. එවැනි රෝගීන් කහින විට කහපැහැති සැරව සහ රුධිරය පිටවීමට පවා ඉඩ තිබෙනවා. දීර්ඝ කාලීන ප්‍රතිජීවකඖෂධ ලබා දීමෙන් ඒ තත්ත්වය මඟ හරවා ගන්නට පුළුවන්.

පීනස් රෝගය සහ නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාවට ලක්වෙන ඇතැම් අයගේ නාසයෙන් දුර්ගන්ධයක් හමන්නේ ඇයි?

පීනස් රෝගය, වායු කෝඨර ආසාදනය, නාසයේ මස්දලු ඉදිමී ආසාදනය වීම, නාසය තුළයම් ඇටයක් වැනි දෙයක් හිරවීම සහ සෙම් ගෙඩි ආසාදන වැනි තත්ත්ව නිසා කෙනකුගේමුඛයෙන් දුගඳ එන්නට පුළුවන්. රාත්‍රී කාලයේ දී කටින් හුස්ම ගන්නා විට මුඛයලෙහෙසියෙන් ම වියළී යාම නිසාත් දුර්ගන්ධය වැඩි වෙනවා. එවැනි තත්ත්වයක දීකෙනෙකුට රස සහ ගඳ සුවඳ දැනීම පවා අඩුවී යාමට පුළුවන්. රෝගයට නිසි ප්‍රතිකාරලබා ගැනීමෙන් මේ තත්ත්වය මඟ හරවා ගත හැකියි. නාසයේ හිරවීමට හේතු වී ඇත්තේඅසාත්මිකතාවක් නම් ඒ සඳහාත් ප්‍රතිකාර ලබාගත හැකියි.

නාසයේ යමක් හිරවී ඇත්නම් හෝ මස්දලු තිබේ නම් ඒවා සුළු සැත්කමක් මඟින්ඉවත් කර ගත හැකියි. නිසි ප්‍රතිකාරවලට යොමු වුණොත් එවැනි රෝගීන්ට කටින්දුගඳ වහනය වීම වළක්වා ගන්නට පුළුවන්.

ආහාර මාර්ගයේ ඇතිවන ඇතැම් රෝග නිසා මුඛයෙන් දුර්ගන්ධයක් පිටවෙනවා කියන කතාව ඇත්ත ද?

ඔව්. ඛේට ග්‍රන්ථිවල හටගන්නා ආසාදන නිසාත් අමාශයේ ඇතිවන ගැස්ට්‍රයිටිස්වැනි තත්ත්වයන් නිසාත් එවැනි අපහසුතා ඇති වෙන්නට පුළුවන්. ඛේට ග්‍රන්ථිවලආසාදනයක් ඇති වුවහොත් ප්‍රතිජීවක ඖෂධ ලබා දී ඒ තත්ත්වය මඟ හරවා ගත හැකියි.

ආමාශය උදරය දෙසට නෙරීම නිසා ගලනාළයේ හටගන්නා හිරවීම්, පිළිකා වැනි රෝගීතත්ත්වයන් හීත් දුර්ගන්ධයක් වහනය වීමට ඉඩ තිබෙනවා. ආමාශයේ ආසාදනයක් තිබේනම් ආහාර පාලනය අත්‍යවශ්‍යයි. කුඩා ආහාර වේල් ගැනීම හා ඇ‍ඟේ ස්ථුල බව අඩුකළ යුතුයි. ප්‍රතිකාර ලෙස ප්‍රතිඅම්ල ගත යුතුයි. හයටස් හර්නියා රෝගය සඳහානිර්දේශ කරන ප්‍රතිඅම්ල ඖෂධවලින් රෝගය පාලනය නොවන්නේ නම් ශල්‍යකර්මයකින් ඒතත්ත්වය මඟ හරවා ගත හැකියි.

කුඩා දරුවන්ට පණු බෙහෙත් ලබා දීම ප්‍රමාද වූ විට කටින් දුගඳ හමන බව ඇතැම් අම්මලාගේ විශ්වාසයයි. මෙහි සත්‍යතාවක් තිබෙනවා ද?

නෑ. පණු අමාරුව තිබෙන දරුවකුගේ මුඛයෙන් දුගඳ හැමීමක් සිදු වන්නේ නෑ. එයබොරු විශ්වාසයක්. එහෙත් පණු අමාරුව තිබෙන දරුවන්ට කැස්සක් ඇතිවිය

හැකියි. විශේෂයෙන් කොකු පණුවන්ගේ ජීවන චක්‍රයේ එක් අවස්ථාවක් (කීටඅවස්ථාව) පෙණහලු හරහා ගමන් කරනවා. එවිට කැස්ස ඇතිවෙන්නට පුළුවන්. සමහර අයපණු කැස්ස නමින් හඳුන්වන්නේ එයයි.

ශරීරයේ ජල ප්‍රමාණය අඩු වීමත් මුඛයේ දුර්ගන්ධයට ‍හේතුවක් ද?

ඔව්. යමෙකුගේ ශරීරයේ ජල ප්‍රමාණය අඩුවූවානම් විජලනය නිසා මුඛයේදුර්ගන්ධයක් ඇතිවිය හැකියි. ඒ වගේම වකුගඩු අකර්මණ්‍ය වීම, දියවැඩියාව වැනිරෝගී තත්ත්ව කටින් දුගඳ හැමෙන්නට හේතු වෙනවා.

ගැස්ට්‍රයිටිස්, බඩ පිපුම වැනි තත්ත්වයන් කටේ දුර්ගන්ධයට හේතුවක් ද?

ඔව්. සමහර ගැස්ට්‍රයිටිස් රෝගීන් ඒ තත්ත්වය දැකිය හැකියි. නිතර නිතරඋගුරට එන ස්වභාවයත් සමඟ ඒ දුර්ගන්ධය ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේ මලියුකේමියාව සහ වෙනත් රුධිර ගත රෝග ඇති අයගේ ද මුඛයෙන් දුගඳ හැමිය හැකියි.

සමහර රෝගාබාධයන්ට ගන්නා ඖෂධ හා මුඛ දුර්ගන්ධය අතර සම්බන්ධතාවක් තිබෙනවා ද?

ඔව්. සමහර ඖෂධ නිසා කටින් දුගඳ හැමීම ඇතිවිය හැකියි. සමහර චර්ම රෝගීන්භාවිත කරන ග්‍රිසියොෆුල්වින් (Grisiofulvin) හා හන්දිපත් කැක්කුමට ගන්නාපෙනිසිලමයින් (Penicilamine) නිසා මුඛ දුර්ගන්ධය ඇති වෙනවා. සමහර මානසිකරෝගාබාධවලට ප්‍රතිකාර සේ ගන්නා ලිතියම් (Lithium) නම් ඖෂධවලත් එවැනිබලපෑමක් තිබිය හැකියි.

එවැනි ඖෂධ ගන්නා රෝගීන්ගේ කට ගඳ මඟ හරවා ගන්නට පිළියමක් තිබෙනවා ද?

ඔව්. එවැනි රෝගීන් තම වෛද්‍යවරයා හමු වී සාකච්ඡා කොට ඖෂධ මාත්‍රාව අඩුකර ගැනීමෙන් ඒ තත්ත්වය මඟ හරවා ගත හැකියි. එසේත් නැතිනම් වෙනත් ආදේශකඖෂධයක් ලබා ගැනීමට පියවර ගැනීම ඊට හොඳම විසඳුමයි.

ඖෂධ නිසා තමන්ගේ කටේ දුර්ගන්ධය එන බව පවසමින් හිතුමතයට බෙහෙත් නවතාදැමීම නොකළ යුතු අතර ඒ සඳහා අනිවාර්යයෙන් ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

සමහරුන් ගේ මුඛයේ දුර්ගන්ධයක් නැතත් එසේ ඇති බවට අසහනයෙන් පසුවෙනවා නේද?

තමන් ගැන එසේ අවතක්සේරුවට පත්ව සිටින අය අපේ සමාජයේ කොතෙකුත් දැකගතහැකියි. මේ අසහනකාරී බව තදබල ලෙස තිබෙන අය සමාජයට මුහුණ දෙන්නේභීතිකාවකින්. සමහර විට අය විශාදය වැනි මානසික රෝගයක රෝග ලක්ෂණයක් ද වීමටපුළුවන්. එවැනි අය කළ යුතු හොඳම දේ මනෝ වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාරලබා ගැනීමයි.

මුඛය දෙපස වන වීම හා කට ගඳ අතර සම්බන්ධතාවක් තිබෙනවා ද?

මුඛය වන වූ පමණින් ඉන් දුර්ගන්ධයක් ඇතිවේ යැයි කිව නොහැකියි. එහෙත් ඒතත්ත්වයට හේතුව විටමින් බී ඌණතාව විය හැකියි. දියවැඩියාවත් එක් හේතුවක්.නිතර නිතර බුලත් සැපීම නිසා ද කට වන වෙනවා. ඒ තුවාල ඉතාම අපිරිසුදුතත්ත්වයේ පැවතුණහොත් සමහර විට දුගඳක් වහනය වීමට ඉඩ තිබෙනවා.

සමහර කාලවල මුඛයේ ඇතිවන ඌෂ්ණ බිබිලි නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා නේද?

බටහිර වෙදකමේ දී ඌෂ්ණ බිබිලි පිළිබඳව විද්‍යාත්මකව යමක් කිව නොහැකියි.එහෙත් මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ වෛරස් ආසාදනයක් නිසයි. මානසික ආතතිය තවත්හේතුවක්. විශේෂයෙන් විභාග ආසන්නයේ පාසල් දරුවන්ට මේ විදිහට මුඛයේ තැනින්තැන තුවාල ඇති වෙනවා.

ඒවා සුව වනතුරු වේදනාව නිසා කට පිරිසුදු නොකර සිටීමෙන් බැක්ටීරියාආසාදනය වී දුර්ගන්ධයක් ඇතිවිය හැකියි. ඒ තත්ත්වය පවතින්නේ තුවාල සුව වනතුරු පමණයි. කටේ ඇතිවන මෙවැනි තුවාල සඳහා ඖෂධීය ආලේපන වර්ග තිබෙනවා.නිර්වින්දන ද්‍රව්‍ය අඩංගු ආලේපන සහ සුදුසු දන්තාලේප භාවිතයෙන් ඉක්මන් සුවයලද හැකියි. හොඳම දේ වෛද්‍ය උපදෙස් අනුව අදාළ ප්‍රතිකර්මවලට යොමු වීමයි.

වැඩිපුර පැණි රස කෑම ගන්නා අයගේ කටේ දුගඳ ඇතිවීමට වැඩි ඉඩක් තිබෙනවා ද?

ඔව්. සීනි සහිත ආහාර ගැනීම නිසා ඒවා දත් කුහර, විදුරුමස් අතර තැන්පත්‍වීමෙන්, ඒ මත බැක්ටීරියා වර්ධනය වෙනවා. විදුරු මස්, දත් හොඳින් පිරිසුදුනොකර සිටියොත් අනිවාර්යයෙන්ම ඉන් දුගඳ හමනවා. නිදසුනක් ලෙස භාජනයකට සීනිටිකක් දමා තිබෙන්නට හරින්න. යම් කාල වේලාවක් ගිය පසු ඒ මත බැක්ටීරියා වැඩීදුගඳක් හමනවා ඔබට දැනේවි. අප ගන්නා සීනි සහිත ආහාර මුඛයේ රැඳීමෙන්සිදුවන්නේ ද මෙයයි.

මස් මාංශ වැනි සමහර ආහාර වර්ග ගැනීමත් මුඛයේ දුර්ගන්ධයට බලපානවා ද?

ඔව්. විශේෂයෙන් ම මස් මාංශඅනුභවයෙන් පසු කට හොඳින් පිරිසුදු නොකළොත්දත් අස්සේ සිරවුණු ආහාර කැබලි නරක් වීමෙන් දුගඳක් වහනය වීමට පුළුවන්.විශේෂයෙන් ම වාෂ්පශීලී මේද අම්ල සහ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාරපාන සිරුරතුළ දී වියෝජනයට ලක්වීමෙන් පසු හටගන්නා රසායනික ද්‍රව්‍ය වායුවක් ලෙසප්‍රශ්වාස කරන විට මුඛයෙන් සහ නාසයෙන් පිටවිය හැකිය. දුම්පානය, මත්පැන් සහසුදුලුනු ඊට උදාහරණ ලෙස දැක්විය හැකියි.

චුයිංගම් එකක්, බුලත් කොළයක් සැපීමෙන් කටේ දුගඳ නැතිවන බව බොහෝ දෙනෙක් සිතනවා. මෙහි සත්‍යතාවක් තිබෙනවා ද?

චුයිංගම්, බුලත් ආදිය සැපීමෙන් සිදු වන්නේ කටට කෙළ ඉනීමයි. මුඛයේසිසිලසක්, නැවුම් බවක් ඇති වීමයි. එවිට දුර්ගන්ධයක් ඇතිවීමට ඇති ඉඩ අවමයි.මේවා භාවිතයෙහි නරකක් නොවුණත් සීනි සහිත චුයිංගම් භාවිතය නුසුදුසුයි. බුලත්සැපීමේ දී වුවද බුලත් හපය (රොඩ්ඩ) මුඛයේ රඳවාගෙන සිටියහොත් මුඛ පිළිකාඇතිවිය හැකියි.

කට ගඳ ගැසීමට ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි මුඛ දෝවන ඖෂධ ගැන සමහර අය කතා කරනවා. ඒවා භාවිතය හිතකර ද අහිතකර ද?

මුඛ දෝවන ඖෂධ ගැනීම වරදක් නොවෙයි. එවිට මුඛයේ නැවුම් බවක් පවත්වා ගතහැකියි. එහෙත් ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ මුඛයේ පිරිසුදු බවයි. විශේෂයෙන්දිව සහ විදුරු මස්වල පිරිසුදු බව. ප්‍රධාන ආහාර වේල්වලින් පසුව අඩුම තරමේඋදේට සහ රාත්‍රියටවත් හොඳින් මුඛය පිරිසුදු කරනවා නම් කටේ දුගඳ මඟ හරවාගන්නට පුළුවන් අතරම මුඛ සෞඛ්‍ය ද ආරක්ෂා වෙනවා.

ශරීරයේ වෙනත් රෝගයක් නිසා ඒ තත්ත්වය ඇතිවනවා නම් ඒ සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.

සාකච්ඡා කළේ – රමණි සුබසිංහ

සබැදුම – http://sinhala.enews.lk/2014/01/26/%E0%B6%B8%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B6%B1-%E0%B6%85%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B6%A7-%E0%B6%9C%E0%B6%B3%E0%B6%BA%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5/

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *