මහා ජාතිය අවදි කරන්න එකම මඟ සුළු ජාතිය ගැරහීම ද?

0

පසුගිය 17 (2012/09/17) දින අනගාරික ධර්මපාල මහතාගේ 148 වැනි ජන්ම දිනය යෙදී තිබූ නිසා එතුමා පිලිබදව වැඩියමක් දැනගැනීම පිණීස අන්තර්ජාලය තුල සැරි සැරුවෙමි. එහිදී කියවීමට ලැබූ තොරතුරු හේතුවෙන් ‘මහා ජාතිය අවදි කරන්න තියෙන එකම මඟ සුළු ජාතිය ගැරහීම ද?’ යනුවෙන් ලිපියක් ‘යහමඟ‘ අඩවිය තුල  මෙලෙස ඉදිරිපත් කිරීමටත්, ඒ තුලින් පාඨක ඔබේ බුද්ධීමත් අවධානයට කරුණූ කිහිපයක් ගෙන එන්නට අදහස් කලෙමි. රටේ සුළු ජාතීන් ගැරහීම තුලින් මහා ජාතීය අවධි කිරීම අද අප රටේ සුලභව දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. මේ පිලිබදව විවිධ මාතෘකා ඔස්සේ ලිපි ගණනාවක්ම ‘යහමඟ’ අඩවිය තුල මීට ඉහත සාකච්චා කර ද ඇත. කවදත් ආගමික ඉගෙන්වීමන් පදනම් කරගෙන කරුණූ සාකච්චා කරන්න උත්සාහ කරන වෙබ් අඩවියක් ලෙස මෙම විෂය ද ප්‍රථමයෙන් ආගමික ඉගෙන්වීමන් පදනම් කරගෙන විමසා බලන්නේ නම්,

මිනිස් සමාජයට යහපත් මඟපෙන්වීමක් ලබාදීම මුඛ්‍ය අරමුණූ කරගෙන ප්‍රකාශ වූ බොහෝ ආගම් හා දර්ශනයන් අද වනවිට එහි අරමුණූවලින් බැහැරව විකෘතිකල මාර්ගයක් ඔස්සේ දියත් වෙමින් තිබෙනවා යන්න තිත්ත වූ ඇත්තකි. එවන් සමාජය පසුබිමක හිඳ බොහෝ දෙනෙකු තමන් නිදහස් චින්තනයක් තුල කටයුතු කරනවා බව පවසයි නමුත් ඔවුන් තුල නිදහස් චින්තරනයක් දක්නට නැත. මධ්‍යස්ථව කටයුතු කරන බව පවසයි නමුත් අන්තවාදී ක්‍රියාකාරකම්වල අඩුවක් නැත. බොහෝ දැනමුතුකමින් යුතුයැයි සිතා කටයුතු කරන එවන් පිරිසගේ අනවබෝධය හා අන්තවාදීත්වය ඔවුනට අවබෝධ නොවීම විටෙක විශ්මය ජනකය. කිසිවක් පිලිබදව විචාරාත්මක අධ්‍යනයක නිරත නොවී හුදෙක් ඇසූවිරූ එසේත් නැත්නම් තමන් විසින්ම එළඹගත් පූර්ව නිගමනවල හිඳ නොයෙක් වාග් ප්‍රහාර එල්ල කිරීම ඔවුන්ගේ බුද්ධීමත්භාවය නොව අනවබෝධය ප්‍රදර්ශනය කරන හොදම අවස්ථාවන්ය. මෙවැනි චරිත වර්ථමානයේ අප රට තුල අතුරු සිදුරු නොමැතිව පිරීගොස්ය. මෑතක් වනතුරු ‘යහමඟ’ට තිබු කුතුහලයක් වුයේ ‘මේ පිරිස සදහා පූර්වාදර්ශ ලැබුණේ කොහින්ද? යන්නයි. නමුත් දැන් දැන් පැහැදිලි වන කරුණූවලට අනුව මෙහි ආරම්භය කොතැන ද යන්න පැහැදිලිව සලකුණූ කොට දැක්විය නොහැකි තරම් අතීතයට ගමන් කරන බවයි. කෙසේ වෙතත් මේ වර්ථමාන අවාසනාවන්ත ඉරණම සමාජය තුල නිර්මාරණය වීමේ දී ඒ සදහා ලොව පවතින ආගම දහම ද හේතුවක් වී ඇතැයි මා පැවසුවේ නම් එය අතිශයොක්තියක් නොවනු ඇත. මන්ද අද මිනිස් සමාජය විශේෂයෙන් ජාතීන් හා ආගම් අතර විරසකයන් ගොඩනැඟීමේ ප්‍රධාන භූමිකාව රඟ දක්වන්නේ ආගම් මුල්කරගත් මතවාදයන් නිසාය. මෙහිදී ‘ආගම් මිනිස් සමාජය භේද කලා’ යයි මා නොපවසමි. නමුත් එදා සමාජයේ යහපතට මුල්වූ ආගම් වර්ථමාන මිනිස් සමාජය යොදාගෙන ඇත්තේ ඉහත පටු අරමුණු දිනාගැනීම සදහා මිස සමාජ යහපත සදහා නම් නොවේ. ලොව කිසිදු ආගමක් පහත් පටු අරමුණූවල ක්‍රියා කොට නැතැයි යන්න මාගේ දැඩි විශ්වාසයයි. එසේ තිබිය අද ආගම් නමින් සමාජය තුල සිදුවෙමින් තිබෙන්නේ කුමක් ද? එහි ශූද්ධ වූ අරමුණූවලින් බැහැරව ආගම්වාදය වෙනුවට ජාතිවාදී වියරුවක් එහි ආදේශ කරගෙනය. මෙය ආගමක් කොතරම් දුරකට අනුමත කරනවා ද? යන්න පිලිබදව අප රටේ ප්‍රධාන ආගම වන බුදුදහම තුලින් හා ඉස්ලාම් දහම තුලින් කෙටි විමසුමක් කරන්නේ නම්,

ප්‍රථමයෙන් අප රටේ බහුතරය පිලිපදින දහම වන බුදු දහම පදනම් කරගෙන මේ පිලිබදව විමසා බලන්නේ නම්, එහිදී ජාති හා කුල වාදය පිලිබදව පැහැදිලි විස්තරයක් සහිත සූත්‍ර දෙකක් හමුවේ. ඒ වසල සූත්‍රය හා මජ්ඣිම නිකායට අයත් වාසෙට්ඨ සූත්‍රයයි. වසල සූත්‍රයෙහි සඳහන් වන පරිදි වරක් එක්තරා බමුණකු බුදුන් වහන්සේ දැක බලවත් සේ කෝපයට පත්ව උන්වහන්සේට බැණ වැඳුණි. බුදුහු එයට පිළිතුරු දෙමින් යමකු ජාතියෙන් වසලයකු හෝ බමුණකු නො වන බවත් ඔහු කරන කර්මයෙන් වසලයකු හෝ බමුණකු වන බවත් පැහැදිලි කරන ලදී. සිය මතය සනාථ කරමින් නිදසුන් දක්වන බුදුහු චණ්ඩාල පුත්‍ර සෝපාක, මාතංග නමින් ප්‍රසිද්ධ වූ බවත් ගුණයෙන් උතුම් තත්ත්වයට පත් ඔහුට උපස්ථාන කිරීම සඳහා බොහෝ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණයන් එක් රැස් වූ බවත් අවසන්හි බඹලොව උපත ලද බවත් ප්‍රකාශ කළහ. කෙලෙස් නසා බඹලොව ඉපදීමේදී ඔහුට ඔහුගේ පහත් ජන්මය බාධක නොවූ බවත් උන් වහන්සේ අවධාරණය කළහ. ඒ අතර ම පව්කම්හි නිරත වන මහබඹුගේ බන්ධූන් වූ බමුණන් දුගතියෙහි ඉපදී දුක් විඳින විට ඔහුගේ ජාතිය ඔහු ගලවාගැනීමට ඉදිරිපත් නොවන බව ද පෙන්වා දුන්හ. මේ බෞද්ධ ඉගෙන්වීම අනුව පැහැදිලි වන්නේ කෙනෙකුගේ කුලය ජාතිය ජන්මය නොව ඔහුගේ ක්‍රියාවෙන් ඔහු කොතරම් අලංකාර වෙනවාද? යන්න තමා වැදගත් සාධකය වන්නේ යන්න පැහැදිලි වේ.

රටේ බහුතරය පිලිපදින බුදුදහම ඉහත ආකාරයට එම විෂය විග්‍රාහ කරද්දී ‘යහමඟ’ කවදත් පෙනීසිටින දහම වන ඉස්ලාම් මේ පිලිබදව කුමණ ආකාරයේ විග්‍රාහයක යෙදෙනවාද? යන්න මොහොතක් දැන් විමසා බලන්නේ නම්, මෙතැනදී පාඨක ඔබේ අවධානයට ප්‍රථමයෙන් ගෙන ආයුතු කාරණයක් ඇත. එනම්, එදා ප්‍රථම වරට බුදුදහම ප්‍රකාශ වූ සමාජය සේම ඉස්ලාම් දහම ප්‍රකාශ වූ අරාබි ද්වීපයේ ‘ජාහිලායා’ (අඥාන) සමාජයත් ජාතිවාදය, කුලවාදය භාෂාවාදය, වර්ණාවාදය… යනාදීය තුල ගිලී පැවතුණි. මේ හේතුව නිසා තමා ඉස්ලාම් දහම ආගමික මූලාශ්‍රයන් මේ පිලිබදව ගැඹුරින් කරුණූ සාකච්චා කොට ඇත්තේ. (ඒ පිලිබදව මීට ඉහත පලකල ‘දෙවියන් හමුවේ උසස් පුද්ගලයා වන්නේ කවුරුන්ද?‘ යන ලිපිය තුලින් කරමක් දුරකට කරුණූ සාකච්චා කොට ඇත) කෙසේ වෙතත් මේ විෂය පිලිබදව කෙටි විමසුමක් මෙහි ද සිදු කරන්නට අදහස් කරමි. ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන් මිනිස් සමාජයට පෙන්වාදුන් අසමසම ඉගෙන්වීමන් (හදීස්) කිහිපයක් ඔබේ බුද්ධිමත් අවධානයට ගෙන එන්නේ නම්,

දෙවියන්, මනුෂ්‍යාගේ වස්තුව (ධනය) හෝ භාහිර ස්වරූපය නොබලයි. ඔහු බලන්නේ මනුෂ්‍යයාගේ හඳවත හා ක්‍රියාවන් පමණි.

මූලාශ්‍රය ග්‍රන්ථය – මුස්ලීම් 4651

සත්ක්‍රියාවන් මිස පරම්පරාව නූඹව ස්වර්ගයට ගෙන නොයනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම් 4867

මනුෂ්‍යයනී ! දැනගන්න. ඔබගේ දෙවියා එකම එක දෙවියායි!, ඔබ සියළුදෙනාගේ පියාද එකම එක්කෙනයි. දැනගන්න!, අරාබි කථා කරන්නා අරාබි කථා නොකරන්නාට වඩා කිසිදු අයුරකින් උසස් නොවේ. එසේම අරාබි කථා නොකරන්නා අරාබි කථාකරන්නාට වඩා කිසිදු අයුරකින් උසස් නොවේ. තවද (සමේ පාට) රතු වූ කෙනා කළුපාට පුද්ගලයාට වඩා උසස් නොවේ. නුඹලාගෙන් උසස් කෙනාවන්නේ (අල්ලාහ්) දෙවියන්ට වඩාත් අවනතව ජීවත්වන කෙනා වේ.

මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද් 22391

වරක් මුහම්මද් (සල්) තුමාණන් හමුවට එක්තරා කෙනෙකු පැමිණි ‘මනුෂ්‍යයන් අතුරින් ශ්‍රේෂ්ඨයා කවුරුන්ද?’ යයි විසමන ලදී. එයට නබිතුමාණන් ‘මනුෂ්‍යයන් අතුරින් අල්ලාහ් (දෙවියන්)ට අදිකව අවනත වන්නන් තමා’ යයි පවසන ලදී. එයට ඔහු ‘අප ඔබතුමාගෙන් ඒ ගැන විමසුවේ නැහැ’ යයි පවසන ලදී. එයට මුහම්මද් (සල්) තුමාණන් ‘එසේ නම් අල්ලාහ් (දෙවියන්)ගේ මිත්‍රයා වන ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන්ගේ (මොහු අතීතයේ ජීවත් වූ වක්තෘවරයෙකි) පුත්‍රයා වන ඉස්හාක් (අලෛ) තුමාණන්ගේ (මොහු ද අතීතයේ ජීවත් වූ වක්තෘවරයෙකි) පුත් යාකූබ් (අලෛ) තුමාණන්ගේ (මොහු ද අතීතයේ ජීවත් වූ වක්තෘවරයෙකි) පුත් යූසුෆ් (අලෛ) තුමාණන් (මොහු ද අතීතයේ ජීවත් වූ වක්තෘවරයෙකි) තමා’ යයි පවසන ලදී. එයට ඔහු නැවතත් ‘අප ඔබතුමාගෙන් ඒ ගැන විමසුවේ නැහැ’ යයි පවසන ලදී. එයට නබිතුමාණන් ‘අරාබිවරුන්ගේ පරම්පරාව ගැනද විමසන්නේ?’ යනුවෙන් විමසන ලදී එයට ඔහු ‘ඔව්’ යනුවෙන් පිලිතුරු දෙන ලදී. එයට නබිතුමාණන් ‘අඥාන (ඉස්ලාම් ප්‍රකාශවීමට පෙර) කාලයේ ශ්‍රේෂ්ඨයන් ලෙස ජීවත් වූ පිරිස් පසුකාලීනව ඉස්ලාම් දහමේ ශ්‍රේෂ්ඨයන් බවට පත්වන්නට ඇති. ඒ ඔවුන් දහම් ඥානය ලැබුවේ නම්’ යයි පවසන ලදී.

දන්වන්නේ – අබූහුරෙයිරා (රලි) තුමාණන්, මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 4689

ඉහතින් ආගම් දෙකක් පදනම් කරගෙන එහි ඉගෙන්වීමන් සලකා බැලුව ද ලොව සෑම ආගමක්ම සිදුකලේ මිනිස් සමාජය මනුෂයත්වය අගයන, ගරු කරන ඒකීය අරමුණක් කරා පෙලගැසීමයි. එසේ නොමැතිව ඔවුන් අතර ‘විරසකයක් හෝ වෛරයක් ගොඩනැඟීමට අවශ්‍ය මාර්ගයන් කිසිදු දහමක් මිනිස් සමාජයට දේශනා කොට නැත’ යන්න මාගේ දැඩි විශ්වාස යයි. එයට ඉහත ඉගෙන්වීමන්ද හොද නිදසුනකි. එනම් මනුෂ්‍යගේ යහපත් අයහපත රදා පවතින්නේ ඔහුට ජන්මයෙන් උරුම වන ජාතිය, කුලය, දේශය, වර්ණය, භාෂාව… යනාදී කරුණූ මත නොව ඔහු ඒ ඒ දහමට අවනතව කටයුතු කරන ආකාරය මත බව යන්න ඉහත ඉගෙන්වීමේ සාරාංශ යයි. අවාසනාවකට බුද්ධිමත් නූතන මිනිසා මෙම කාරණය අවබෝධ කරගැනීම හිතාමාතා අතපසු ‍කොට ඇත. එහි ප්‍රථිපලයක් ලෙස ජාතිවාදය කුලවාදය ආගම්වාදය සමාජ යහපතට නොව පරිහානියට හේතුවක් වන තැනට ක්‍රියා කරමින් ඇත. මා පවසන මෙම තත්වය ඔබ හොදින් අවබෝධ කරගැනීම පිණීස එක්තරා පෝසටරයක් හා බ්ලොග් ලිපි කිහිපයක් වෙත ඔබේ බුද්ධීමත් අවධානය යොමු කිරීමට අදහස් කරමි.

එය මෙසේය…

ඉහත පෝස්ටරයට අමතරව එතුමා පිලිබදව මෙසේ ද ලියවී තිබුණී…

ජාතිය අවදි කළ අනගාරික ධර්මපාල

තම ජීවිත කාලයම රට, ජාතිය හා ආගම වෙනුවෙන් කැපකළ යුතුයෑයි අදිටන් කරගත් මෙතුමා අපහසුවෙන් වුව ද දෙමාපියන්ගේ කැමැත්ත අනුව බ්‍රහ්මචාරී ජීවිතයට යොමු විය. ඉන් පසු ඕල්කට්‌තුමා සමග ජාතික ආගමික උන්නිතය වෙනුවෙන් සෑම ගමක්‌ නගරයක්‌ වෙතම ගොස්‌ මිනිසුන්ගේ හිස්‌ මොළ ජාතික අභිමානයෙන් පුරවන්නට ධර්මපාලතුමා කටයුතු කළහ…

දිනක්‌ තමාට කරන ලද ආරාධනාවක්‌ අනුව ගමක දෙසුමක්‌ සඳහා ගිය ධර්මපාලතුමා ගම් ප්‍රධානියා විසින් මහත් හරසරින් පිළිගත්තේය. නමුත් සභාව ඇමතීමට පටන් ගන්නා විට එතුමාගේ ඇස්‌ මානයේ දිස්‌ වූයේ ගම් ප්‍රධානියාගේ හිසෙහි රැඳි නැමි පනාවය. මෙය දුටු ධර්මපාල කිසිදු අනුකම්පාවකින් තොරව එකවරම “මෙන්න ගොං තඩියෙක්‌” යෑයි ගම් ප්‍රධානියාට බැණවැදීය…

වරෙක කල්කටා නගරයේ පැවති බ්‍රාහ්මණයන් සඳහා වූ සම්මේලනයක මුලසුන හෙබවූ කල්කටා විශ්වවිද්‍යාලයේ උපකුලපති තැන්පත් මුඛරි මහතා එම අවස්‌ථාවට පැමිණි ධර්මපාල තුමාගෙන් විශේෂ දේශනයක්‌ කරන ලෙස ඉල්ලා සිටියේය. ක්‌ෂණික කථා කිරීමට උපන් සමතෙක්‌ වූ ධර්මපාල එකී ආරාධනාව නොපැකිලිව පිළිගත්තේය. අනතුරුව කථාවට ප්‍රවිශ්ට වූ ධර්මපාලතුමා බුදුදහම අනුව කෙනෙක්‌ උපතින් බ්‍රාහ්මණයකු නොවන බව පවසමින් බමුණන්ගේ අතීත වර්තමාන ක්‍රියාකලාපය බුදුදහමින් උපහැරණ ගෙන සභාව අමතන්නට විය. තමා කල්කටාවට පැමිණියේ එම උසස්‌ ජාතිය දැකීමට වන බවත් වර්තමානය වනවිට එම උසස්‌ ජාතිය දැකිය නොහැකි බවත් ඇත්තේ ගඳ ගහන අමුඩ පොඩියත් තුට්‌ටුදෙකේ පුන නූල පමණක්‌ බවත් ධර්මපාලතුමා එඩිතරව නැගී කියා සිටියේය. එම මතයට එරෙහි වූ බ්‍රාහ්මණයෝ ධර්මපාලතුමාගේ කතාවට බාධා කළහ…

කල්කටා නගරයේ වෙසක්‌ උත්සවයක මුලසුන හොබවන ලෙස භාරත ජනනායක ගාන්ධිතුමාට ධර්මපාලතුමා ආරාධනාවක්‌ කළේය. එහිදී හරවත් දෙසුමක්‌ ආරම්භ කළ මහත්මාගාන්ධි තුමා තමා එංගන්තයට ගොස්‌ සිටින අවස්‌ථාවක තම මිතුරෙකු විසින් පිරිනමන ලද “ආසියා ලෝකය” නම් ග්‍රන්ථය කියවූ පසු තමාට බුදුන් වහන්සේ පිළිබඳ විශාල පැහැදීමක්‌ ඇතිවූ බව පැවසීය. ධර්මපාල තුමා කථාව අවසානයේ උපහාසාත්මකව “ගාන්ධි කියනා හැටියට ඔහු බුදුන් ගැන දැනගෙන ඇත්තේ එංගලන්තයේ සුද්දෙක්‌ දුන්න පොතකින්. ගාන්ධි ඉන්දියාවෙ උපන් බුදුන් ගැන දැනගන්න එංගලන්තයට ගොස්‌ ඇත. ඔන්න බලාපල්ලා ඉන්දියාව නිදහස්‌ කරගන්න ද`ගලන එක්‌කෙනා තමන් උපන් මව්බිම ගැන දන්නා තරම” යෑයි පිළිවදන් සැපවූයේ මහත්මාගාන්ධි ඉන්දියාවේ නිදහස්‌ සටනේ පතාක යෝධයකු යෑයි තඹයකටවත් මායිම් නොකරය…

හෙළ සංස්‌කෘතියට විනකටින පිරිස්‌ ඔහුගේ භාෂාවෙන් ‘බහුබූතයෝ’ ම වූහ. බොහෝ සිංහලයෝ සුද්දාගේ ක්‍රමයට හැඩගැසී තම සම්ප්‍රදාය පසෙකට ඇදදමා කලු සුද්දන් වීමට වෙර දරන බව හොඳින් අවබෝධකරගත් ධර්මපාලතුමා “සුද්දා කන කෑම කන්ට, සුද්දා අදින කලිසම් කෝට්‌ අදින්නට, ස්‌වකීය ස්‌ත්‍රියට සුද්දී අදින ඇඳුම් අන්දවන්නට, ස්‌වකීය දරුවන්ට තොප්පි කලිසම් අන්දවන්නට, ඉංග්‍රීසීන්ගේ නාම ආරඪ කර ගන්ට, එංගලන්තයට ගිය සිංහලයන්ගේ ආසාවයි. අහෝ සිංහලයාට වේගෙන යන විපත්තියෙන් ඔහු බේරාගන්ට මෙකල කිසිකෙනෙක්‌ නැද්ද?”යන්න ගර්ජනා මුඛයෙන් ජනතාව ඇමතුයේ සිංහල ජාතිය තරම් ශිෂ්ට සම්පන්න ජාතියක්‌ ලොව නැතිබව දන්නා නිසාය…

http://www.divaina.com/2012/09/17/pansala01.html

අද අප වෙන කවරදාකටත් වඩා වැඩියෙන් ජාතීන් අතර සමඟියක්, ගුණදහම් රුකෙන සාමකාමී සමාජයක්, ආශ්චර්‍යමත් රටක් පිලිබදව කථා කරන්නෙමු. නමුත් අතීතයේ විසූ ජාතිවාදීන් අප සමාජය වැරදි මාවකතට යොමු කරමින් සමාජය තුල වැපිරූ ජාතිවාදී බීජය අද වනවිට රූස්ගස් ලෙස නැඟීසිට සමස්ථ සමාජයම අඳුරු මාවතකට යොමු කොට ඇත. අද රටේ සුළු ජාතීන් ගැරහීම හා ඔවුනට එරෙහිව මිත්‍යා මතවාදයන් සමාජය තුල ව්‍යාප්ත කිරීමන්ට ‘ජාතිමාමක’ හා ‘දේශ හිතෛශි’ ව්‍යාපාර බවට වැරදි අර්ථකතන ආරෑඪ කොට ඇත. අද වනවිට ලෝකයේ දියුණූ හා දියුණූ වෙමින් පවතින රටවල් දෙස බලන විට ඔවුන්ගේ දියුණූවේ රහස ජාතිවාදය කුලවාදය වැනි පටු අරමුණූවල කොටු නොවී එකම ජාතියක් ලෙස නැඟී සිටීමයි. එවැනි දෑ තුලින් ආදර්ශ ලැබිය යුතු ශ්‍රී ලාංකීය සමාජය නැවතත් අඥාන සමාජයක් කරා පියමැනීම අවාසනාවන්ත තත්වයකි. මේ පිලිබදව බුද්ධිමත් සමාජය නැවත නැවතත් විමසා බැලිය යුතු යන්න ‘යහමඟ’ පැතුමයි.

අවසාන වශයෙන් ඔබේ බුද්ධිමත් විමසුම සදහා ඉහත පෝස්ටරයට අන්තර්ජාලය තුල ලබාදුන් නව අර්ථකථනයක් (මෙය බ්ලොග් ලිපියක් වන අතර එහි මාතෘකාව වුයේ ‘අනගාරික ධර්මපාලගේ කතාවට නව අර්ථකතනයක්’ යන්නයි) ඉදිරිපත් කරමින් මෙම ලිපියට විරාමය තබන්න අදහස් කරමි. ඊට ප්‍රථම අවධාරණය කලයුතු තවත් කාරණයක් ද ඇත. එනම් මෙතෙක් සාකච්චා කල කරුණූ මෙන්ම පහත කරුණූ ඉදිරිපත් කරන්නේ තවත් ජාතියක් හෝ පුද්ගලයෙකු කෙරෙහි තිබෙන නොසතුටක් හෝ වියරුවක් නිසා නොව මේ තුල බුද්ධීමත් සමාජයට බොහෝ ආදර්ශයන් මෙන්ම අවවාදයන් තිබෙන නිසාම පමණි. මේ ලිපිය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ට විවිධ මුහුණූවරයන් ලබාදී කරුණූ සාකච්චා කලහැක. නමුත් ඒකීය ජාතියක් ලෙස හිඳ මේ ලිපිය දෙස බලන්නේ නම් කාට කාටත් හදා ගතයුතු හා නිවරුදි කරගතයුතු බොහෝ දෑ ඉතිරිව ඇත යන්න මාගේ විශ්වාස යයි.

අනගාරික ධර්මපාලගේ කතාවට නව අර්ථකතනයක්

මතක තියා ගනිල්ලා කවදා හරි වර්ගවාදියා මැරෙනවා. ඌ මැරෙන්නේ උගේ දරුවො වගේ වර්ගවාදියො විසි තිස්දෙනෙක් බෝ කරාට පස්සේ. ඊට පස්සේ මේ රට පාලනය කරන්නේ මේ වර්ගවාදියො. උන් අනෙක් හැම ජන කොටසකටම වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට උගන්නාවි ජාති, ආගම්, භාෂා බේද අනිවාර්යයෙන්ම තියා ගනිල්ලා කියලා. දෙමලත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත්, බෝර කාරයත් කිසිම දේකට විශ්වාස නොකළ යුතු තිරිසනුන් කියලා. උන්ව රටින් පන්නා ගනිල්ලා කියලා. එහේම කියලා උන් වර්ගවාදයම රජ කරාවි. හන්දියක් හන්දියක් ගානෙ වර්ගවාදයෙ සංකේත අටවාවි. උඹලා උඹ ලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙනකන් බලා ඉන්නවා. ඉපදෙන්න ඉන්න දියසෙන් කුමාරයා තිඹිරි ගෙයිදිම මරලාදාන්න මුන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවරුන් එදාට පිස්සෝ වගේ මහපාරෙ නටන්න පටන් ගන්නවා. ඉන්පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලවු වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි.

http://www.lankaenews.com

 

අබූ අර්ශද්

 

 

 

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *