මහා පිපුරුම හා විශ්වයේ උපත

1

BIg Bangවිශ්වයේ උපත, ක්‍රියාකාරීත්වය හා විකාශනය පිලිබදව කථා කරන ලිපි පෙලක තවත් ලිපියක් යටතේ ‘මහා පිපුරුම හා විශ්වයේ උපත’ යන්න අද සාකච්චාවට ගැනීමට අදහස් කරමි. මීට පෙර ලිපියේ එනම්, ‘මහා පිපුරුමකින් ඇරඹූ කාලය, අවකාශය හා සුන්දර විශ්වය‘ යටතේ තරමක් දුරකට සාකච්චා කොට තවදුරටත් සාකච්චා කිරීමේ පොරොන්දුව මත නතර කල අනුමාතෘකා කිහිපයක් මෙතැන් සිට සාකච්චා කිරීමට අදහස් කරමි.

ඒ අනුව මා මීට පෙර ලිපියේ සදහන් කලාසේ කාලය හා පරිමාව ශූන්‍ය (Zero)ව පැවතී මොහොතක සිදුවූ මහා පිපුරමක ප්‍රතිපලක් ලෙස විශ්වයේ උපත හෙවත් නිර්මාණය ඇති වූවා යන්න නූතන විද්‍යාත්මක පිලිගැනීමයි. එම මහා පිපුරුමේ විද්‍යාත්මක විග්‍රහය රූප සටහනක් මඟින් මෙහි පහතින් පැහැදිලි කරන්න අදහස් කරමි. නූතන විද්‍යාව  මෙම ‘මහා පිපුරුමි’ සිදුවීම එහි (පහත රූපයට අනුව) ‘පිපුරුම’, ‘කාලය’ හා ‘උෂ්ණත්ව’ යනාදීය වෙනස්වීම අනුව ප්‍රධාන අදියර 07 කට වෙන්කොට කථා කරයි. එනම්,

මහා පිපුරුම(ඉහත පිංතූරය මත click කොට විශාල කොට නරඹන්න)

අදියර 01

මේ මොහොතේ ‘මහා පිපුරුම’ සිදුවූ අතර එවිට එහි උෂ්ණත්වය අසීමිත අගයකට ඉහල නැඟුණු අතර අලෝක වර්ෂ 3000 ක් පමණ අංශු වලාවක් නිර්මාණයඉ විය. මෙම තත්වය පැවතී කාලය වන්නේ තත්පර 0.00…01 (දශමස්ථානයෙන් පසු බිංදු 43ක් එනම්, දහයේ සෘන 43 වන බලය) තරම් කුඩා මොහොතක් පමණි.

අදියර 02

ඊලඟ අදියරේදී අනු පරමාණු සිසිල් වෙමින් එනම් උෂ්නත්වය සෙල්සියස් අංශක 1000…000 (එකෙන් පසු බිංදු 27ක් එනම්, දහයේ 27 වන බලය) දක්වා උෂ්නත්වය පහල බැස අංශූන් ගහන මිශ්‍රනයක් බවට පරිවර්ථනය විය. මෙම තත්වය පැවතී කාලය වන්නේ තත්පර 0.00…01 (දශමස්ථානයෙන් පසු බිංදු 32ක් එනම්, දහයේ සෘන 32 වන බලය) තරම් කුඩා මොහොතක් පමණි

අදියර 03

ඊලඟ 0.0000001 තත්පරයේ දී අංශූන් එකින් එක ගැටෙමින් ඒවා අතර බැදීමන් නිර්මාණය වෙමින් නියුට්‍රෝන හා ප්‍රෝටෝන අංශූන් තැනෙන්නට විය. මේ මොහොත වනවිට විශ්වයේ උෂ්නත්වය සෙල්සියස් අංශක 10000000000000 (දහයේ 13 වන බලය) වේ.

අදියර 04

එනම්, විශ්වයේ වයස තත්පරයේ සිට විනාඩි 03 අතර කාලයේ දී එම නියුට්‍රෝන දෙකක් හා ප්‍රෝටෝන දෙකක් බැගින් එක් වෙමින් හීලියම් වායු පරමාණුව තැණෙන්නට විය. මේ මොහොතේ විශ්වයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100000000 ක් විය.

අදියර 05

විශ්වයේ වයස විනාඩි 3 සිට වසර 300000 කාල පරාසය තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 10000 ක් දක්වා සිසිල් වෙමින් ද අංශු පරමාණු අතර බැදීමන් වර්ධනය කරගනිමින් උදාසීන පරමාණු තැනෙන්නට විය.

අදියර 06

ඊලඟ වසර බිලියනය තුල විශ්වය තවදුරටත් සෙල්සියස් අංශක -200 දක්වා සිසිල් වෙමින් ඒ තුල ග්‍රහවස්තූන් හා චක්‍රාවාටයන් නිර්මාණය වන්නට විය. එසේ තැනුණු ග්‍රහවස්තූන් හා චක්‍රාවාට එකින් එක ගැටෙමින් වර්ථමාන විශ්වයේ ඉදිරි පියවර සැකසෙන්නට විය.

අදියර 07

විශ්වයේ වයස ඊලඟ වසර බිලියන 15 තුල උෂ්නත්වය තවදුරටත් අඩු කර ගනිමින් එනම් සෙල්සියස් අංශක -270 දක්වා සිසිල් වෙමින් වර්ථමානයේ අප දකින විශ්වය නිර්මාණය විය.

ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ නූතන විද්‍යාව අනුමාන කරන ‘මහා පිපුරුම්’ වාදයේ සරල විග්‍රාහයකි. මෙහිදී ඔබේ විශේෂ අවදානය යොමු වියයුතු අවස්ථා කිහිපයක් ගැන සදහන් කරන්නට කැමැත්තෙමි. එනම්,

  • විශ්වයේ උපත ආරම්භ වූ මොහොත
  • වර්ථමානයේ අප දකින ක්‍රමවත් විශ්වය නිර්මාණය වූ මොහොත
  • විශ්වයේ අද තත්වය

‘කාලය’ හා ‘පරිමාව’ ශූන්‍යව පැවතී  මොහොතක (විද්‍යාවට තවම නිර්ණය කිරීමට ‍නොහැකි වූ (මන්ක්කල්පිත) වස්තුවක) ඇති වූ පිපුරුමක් නිසා ක්ෂණයකින් විශ්ව අවකාශය හා ඒ තුල කෙමෙන් කෙමෙන් විශ්වය නිර්මාණය වූවා යන්න විද්‍යාවේ ස්ථාවරයයි. එසේ නිර්මාණය වූ විශ්වය සංකීර්ණ ගැටුමන් හා පිපිරීමන් රාශියකට මුහුණ දී වර්ථමානයේ අප දකින විදිමත්, ප්‍රිය උපදවන හා ක්‍රමවත් විශ්වය නිර්මාණය වුවා යන්න විද්‍යාවේ තවත් පිලිගැනීමයි. මෙය මා මීට ඉහත ලිපියේ සදහන් කල ස්ටීෆන් ඩබ් හාකිං මහතා තම ‘A Brief History Of Time’ නම් කෘතියේ මෙසේ පවසයි.

…සංකීර්ණ තත්වයක පැවතී විශ්වය අද දකින තරම් විදිමත්ව හා ප්‍රිය උපදවන (Smooth) ආකාරයටත්, ක්‍රමවත්(Regular) ආකාරයටත් කෙසේ පරිවර්ථනය වුවාද යන්න නිශ්චය කිරීම දුෂ්කර කාර්‍යයක් වී ඇත.

මෙතෙක් ඉදිරිපත් කල කරුණූ ඔබ හොදින් විශ්ලේෂණය කලේනම්, විශ්වයේ උපත එනම්, මහා පිපුරුම සිදු වූ මොහොත හා වර්ථමානයේ අප දකින විදිමත් විශ්වය නිර්මාණය වූ මොහොත පිලිබදව විද්‍යාවට ඇත්තේ විශ්මයන් මිස විග්‍රහයන් නොවේ යන්න පැහැදිලි වියයුතුය. විද්‍යාව  ‘මහා පිපුරුම්’ වාදය තුල යම් යම් තැන්වල විද්‍යාත්මක විග්‍රහයන් ඉදිරිපත් කලත් එය එකින් එකට සම්බන්ධ වන පූර්ණ විග්‍රහයන් නම් නොවේ. නිවරුදි හා නිරවුල් විග්‍රහයක් ඉදිරිපත් කිරීමට 19 හා 20 වන සියවසයේ සිට මේ දක්වා උත්සාහ කරන මේ මහා පිපුරුම් වාදය හා විශ්වයේ උපත 07 වන සියවසයේ ශුද්ධ වූ කුර්ආනය පවසනවා යයි මා මෙහි පැවසුවේ නම්, සමහර විට ඔබ විශ්වාස නොකරනු ඇත. එසේනම් පහත දිව්‍යමය වාක්‍යයන් දෙස මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න.

අහසද මහපොළොවද (ආදර්ශ නොමැතිව මැවු) නිර්මාතෘවරයා, ඔහු (අල්ලාහ්) කිසියම් දෙයක් නිර්මාණය කරන්නට තීරණය කළ විට “වනු” යයි කියන්නේය.

ශුද්ධ වූ කුර්ආනය 2-117

… නියත වශයෙන්ම අහස් සහ මහපොළොව යන දෙකම (මුලදී) එකම ස්කන්ධයක් විය. පසුව අපි ඒ දෙක වෙන් කළෙමු.තවද අපි සෑම සජීවි දෙයක්ම ජලයෙන් ඇති කළෙමුයි (අපගේ පණිවිඩය) ප්‍රතික්ෂේපකරන්නෝ නොදනිත්ද? (මෙය) අපගේ නිර්මාණයැයි ඔවූහූ පිළි නොගන්නෙහිද?

ශුද්ධ වූ කුර්ආනය 21-30

…පසුව දුමාරයක් වශයෙන්තිබූ අහස දෙසට හැරී (එය උත්පාදනය කර) එයද භූමියද දෙස ඔහු බලා “ඔබ කැමතිවුවද, අකමැති වුවද (අවනත වී මා වෙත) පැමිණෙනු” යයි පැවසුවේය. එයට ඒවා “(මෙන්න!) අපි කැමැත්තෙන්ම පැමිණියෙමු” යයි පැවසුවේය. පසුව ඔහු ඒවා දින දෙකකදීඅහස් හතක් වශයෙන් සැලසුම් කර, සෑම අහසකටම නියමිත විවිධ යුතුකම් දැනුම්දුන්නේය. පසුව (මෙතරම් දැයක් කළ) අපිම (භූමියට සමීපයෙන්) පහතින්ම ඇතිඅහසෙහි (තාරකා නම් වූ) පහන් මගින් අලංකාරවත් කර, (එය) ආරක්ෂා සහිතවද පත්කළෙමු. මේ සියල්ල, (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු (වන අප)ගේම සැලසුමකි.

ශුද්ධ වූ කුර්ආනය 41-11, 12

ඉහත 2-117 වාක්‍යය හොදින් විමසා බලන්න. එහි අල්ලාහ් (දෙවි) ‘…පෙර ආදර්ශයන් නොමැතිව අහස පොළොව මැවූ…’ බව පවසයි. යමක් පෙර ආදර්ශ නොමැතිව අළුතින් නිර්මාණය කිරීම යන්න ඉතා දුෂ්කර කාර්‍යයක් වන අතර නිර්මාණය කලාට පසුව එය ආදර්ශයක් ලෙස ගෙන එවැනි තවත් එකක් හෝ කිහිපයක් නිර්මාණය කිරීම දුෂ්කර කාර්‍යයක් නොවේ. මෙය ලොව සියල්ල පිලිගත් සත්‍යයකි. නිදසුනක් ලෙස ඔබ මේ මොහොතේ බලන මේ පරිගණකය ප්‍රථමවරට නිර්මාණය කිරීම කොතරම් දුෂ්කර කාර්‍යයක් වුවද, නමුත් එම අදහස, තාක්ෂණය හා සැලස්ම පදනම් කරගෙන නවතම පරිගණක නිෂ්පාදනය කිරීම අද දුෂ්කර කාර්‍යයක් වී තිබේද?. එලෙසම පෙර ආදර්ශයක් නොමැතිව, විශේෂයෙන් ඉහතින් ස්ටීෆන් ඩබ් හාකිං මහතා පැවසුවාසේ ‘…සංකීර්ණ තත්වයක පැවතී විශ්වය අද දකින තරම් විදිමත්ව හා ප්‍රිය උපදවන (Smooth) ආකාරයටත්, ක්‍රමවත්(Regular) ආකාරයටත් කෙසේ පරිවර්ථනය වුවාද…’ යයි ලොව විශිෂ්ට එසේම නූතන විද්‍යාඥයින් පවා මවිත කරවන ආකාරයට මේ විශ්වයේ සියල්ල ක්‍රමවත්ව හා සැලසුම්සහගත ලෙස පෙර ආදර්ශයන් නොමැතිව සැකසුනේ කෙසේද? යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුතුම කාරණයකි. නමුත් ඉහත තත්වයන් සියල්ල නොසලකා හැර ‘මේ සියල්ල ස්වභාදහමේ සැලසුම්කරණයන් මිස නැත’ යයි වහසිබස් දොඩන පිරිස් අප අතර අදත් නැතුවා නොවේ. ඒ පිරිස ද මේ සංකීර්ණ වූ (මෙහි සංකීර්ණභාවය මේ ලිපිය ඉදිරියට කියවීමේදී තරමක් දුරකට අවබෝධ කරගත හැක.) විශ්වය 100% නිවරුදිව හා ආරක්ෂිතව සැලසුම් කරන්නට ස්වභාදහමට හැකිවුයේ කෙසේද? යන්නත් ඒ පිරිස නැවත විමසා බැලිය යුතුමය.

එසේනම් ඉහත 2-117 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව විශ්වය පෙර ආදර්ශයන්ගෙන් තොර දිව්‍යමය සැලැස්මක් කරණයක් යන්න පැහැදිලිය. ඒ විශ්වයේ ආරම්භය කවර ආකාරයක් ගත්තේද යන්න විද්‍යාත්මක දෘෂ්ඨියෙන් ඉහතින් විමසා බැලුවෙමු. එහි සමස්ථ විශ්වයම එකම ස්කන්ධයක් ලෙස පැවතී බවත්, ඉන්පසු එහි සිදුවූ විවිධ පිපිරීමන් හේතුවෙන් වර්ථමනයේ අප දකින සුන්දර විශ්වය නිර්මාණය වූ බවත් අප දුටුවෙමු. එසේනම් මේ සියල්ල සිහිනයකින්වත් නොසිතූ 07 වන සියවසයේ විසූ නූගත් සමාජයක් මධ්‍යයට පහල ශුද්ධ වූ දිව්‍යමය පුස්තකය වන කුර්ආනය 21-30 වාක්‍යයෙන් පවසන්නේ කුමක්ද? යන්න මොහොතක් විමසා බලන්න.

… නියත වශයෙන්ම අහස් සහ මහපොළොව යන දෙකම (මුලදී) එකම ස්කන්ධයක් විය. පසුව අපි ඒ දෙක වෙන් කළෙමු.තවද අපි සෑම සජීවි දෙයක්ම ජලයෙන් ඇති කළෙමුයි (අපගේ පණිවිඩය) ප්‍රතික්ෂේපකරන්නෝ නොදනිත්ද? (මෙය) අපගේ නිර්මාණයැයි ඔවූහූ පිළි නොගන්නෙහිද?

ශුද්ධ වූ කුර්ආනය 21-30

මා සැමදා පවසන කාරණයක් මෙහි නැවතත් ඔබේ අවදානයට ගෙන ආයුතුව ඇත. එනම් ශුද්ධ වූ කුර්ආනය විද්‍යාත්මක කරුණු මිනිස් සමාජයට කියාපාන විද්‍යාත්මක ගවේෂණ කෘතියක් නොවේ. එය මිනිස් සමාජය දැහැමි සමාජයක් ලෙස යහමඟට ‍යොමු කරවීමට පහල වූ දිව්‍යමය පුස්තකයකි. එසේ වුවත් ඒ තුල අණාවර්නය කරන විද්‍යාත්මක සත්‍යයන් විද්‍යාව පවා මවිත කරවන්නක් නොවේද?. 19 වන සියවසයේ හා 20 වන සියවසයේ විද්‍යාව විශ්වය පිලිබදව දක්වන මතවාදයක් මීට වසර 1400 කට පෙර ශුද්ධ වූ කුර්ආනයට පැවසීමට හැකි වූයේ කෙසේද?. මෙතැනදී තවත් වැදගත් සත්‍යයක් පැවසිය යුතුව ඇත. එනම් ඉහත 21-30 වාක්‍යයේ අවසාන කොටසේ ‘…තවද අපි සෑම සජීවි දෙයක්ම ජලයෙන් ඇති කළෙමුයි (අපගේ පණිවිඩය) ප්‍රතික්ෂේපකරන්නෝ නොදනිත්ද?…’ යනුවෙන් අල්ලාහ් (දෙවි) ප්‍රශ්න කරයි. මේ විශ්වයේ සජීවි සියල්ල ‘ජලයෙන් නිර්මාණය වී ඇත’ යන්න විද්‍යාවේ නූතනම අණාවර්නයකි. මෙය ශුද්ධ වූ කුර්ආනය මීට වසර 1400 කට පෙර විශ්වයේ උපත සමඟ සම්බන්ධ කොට ලෝකයාට පැවසීම තුල  මෙම වදන් දිව්‍යමය අණාවර්ණයක් හා සත්‍යයක් යන්න තවදුරටත් තහවුරු කරනවා නොවේද?. එපමණක් නොව මෙම සංකීර්ණ විශ්වයේ උපත සිදුවූ මොහොතේ පටන් අද අප දකින වඩාත් ක්‍රමවත් හා නිවැරදි සැලසුම්කරණය දක්වා විවිධ වූ අදියර තුල එකම ස්කන්ධයක්ව පැවතී විශ්වය විවිධ පිපිරීමන්ට ලක්වීමත්, එය දුමාරයක් ලෙස අවකාශය පුරා විහිදී පැවතීමත්, එවා එකින් එක අතර ආකර්ශනයන් ඇති කරගැනීමත්, ඉන්පසු එකින් එක ගැටෙමින් වර්ථමානයේ අප දකින ඉතා ක්‍රමවත් විශ්වය නිර්මාණය වීමත් අප ඉහතින් දුටුවෙමු. මේ ලිපිය තවදුරටත් දීර්ඝ වීම සැලකිල්ලට ගෙන ඒ විද්‍යාත්මක මතවාදය තහවුරු කරන ඉහත 41-11 හා 12 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මේ ලිපියට විරාමය තබන්නේ මෙම ලිපියේ තවත් කොටසක් වන ‘විශ්වයේ අප කොතැනද?’ යන මාතෘකාව ද ‘ඉන්ෂාඅල්ලාහ්’ ඉදිරියේදී සාකච්චාවට ගැනීමේ පොරොන්දුව මතය.

පෙර ලිපිය…

ඉදිරියට…

 

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *