මාංශ ආහාර – ඉස්ලාමීය විමසුමක්

9

වර්තමාන ලොව සැලකූ විට ආහාර සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක් දක්නට ලැබේ. ඒ මාංශ ප්‍රතිපත්ති හා නිර්මාංශ ප්‍රතිපත්ති යනාදී වශයෙනි. ජාත්‍යන්තරය තුල මෙවැනි ප්‍රතිපත්ති දෙකක් සම්ප්‍රදායික ලෙස ක්‍රියාත්මක වුවද එය ශ්‍රී ලාංකීය සමාජය තුල උණූසුම් මාතෘකාවන් කිහිපය අතුරින් එකකි. මේ හේතුව නිසාම එම විෂය සම්බන්ධයෙන් විටින් විට විවිධ වූ මාතෘකාවන් ඔස්සේ විවිධ ලිපි යහමඟ අඩවිය තුල පවා ඉදිරිපත් කරන්නට සිදුවිය. විශේෂයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් මෙම විෂය තුල ප්‍රධාන චූදිතයන් බවට පත්කොට විවිධ සංවාද හා ප්‍රකාශන දිගින් දිගටම සමාජගත වූ නිසා “යහමඟ” අඩවිය ද මෙම විෂය තුල දීර්ඝ ගමනක් අඛණ්ඩව යන්නට සිදුවිය. එහිදී සාකච්ඡාවට ගැණුනු ලිපි කිහිපයක් ඔබගේ මතකයට නැවත ගෙන එන්නේ නම්,

  • සත්ව හිංසාව, ඝාතනය පිළිබඳව ඉස්ලාමීය විමසුමක්
  • මාංශ අනුභවය පිළිබඳව බුදු දහමේ සඳහන් වන්නේ කුමක්ද?
  • මිනිස් සිරුර සදහා මාංශ ආහාර අවශ්‍යම ද?
  • මාංශ අනුභවය පිළිබඳව බෞද්ධ විග්‍රහයක
  • මාංශ අනුභවය පිළිබඳව බෞද්ධ විද්වත් විග්‍රහයන්

මා ඉහතින් සඳහන් කළා සේ ඉස්ලාම් දහම පවසන මාංශ ප්‍රතිපත්තිය ශ්‍රී ලාංකීය සමාජය තුල කිසිදු පදනමකින් තොරව විවේචනයන්ට ගොදුරු වෙද්දී. එලෙස අනවබෝධයෙන් ක්‍රියා කරන එම පිරිසට ඉස්ලාමීය මාංශ ප්‍රතිපත්තිය නොව බුදු දහමේ මාංශ ප්‍රතිපත්තිය පවා ගෙන හැර දැක්වීමට සිදු වූ අවස්ථාවන් බොහෝ ය. මෙලෙස අනවබෝධයෙන් ක්‍රියා කරන පිරිස් අතර අවබෝධයෙන් හිද ඉස්ලාම් විවේචනය කිරීම එකම අරමුණු කරගත් වියරු වැටුණු පිරිස් ද නොසිටියා නොවේ. ඉස්ලාමීය මාංශ ප්‍රතිපත්තිය දැඩිව හෙළා දකිමින් ලිපි ඉදිරිපත් කල එක්තරා “බ්ලොගයක” (Blog යක) මේ සම්බන්ධයෙන් වූ ලිපියක එක්තරා තැනක ඔහු සදහන් කොට තිබුණේ “මට හලාල් (ආහාරයට අනුමත යනුවෙන් සදහන් කර) නොමැති මාංශ ලබා දෙන්න” යනුවෙනි. මාංශ ඇසුරුම්වල “හලාල්” (Halal) යයි සදහන් කිරීමේ අවධාරණය කරන්නේ එම මාංශ ආහාරයට සුදුසු තත්වයේ පිරිසිදුව පවතින බවයි. (ඒ පිළිබඳව වැඩි විස්තර සදහා “හලාල්…හලාල්…” ලිපිය කියවන්න) නමුත් ඉස්ලාම් දහම හා මුස්ලීම්වරුන් කෙරෙහි පවතින වියරුව නිසා ඔහු එතෙක් රැකගත් නිර්මාංශ ප්‍රතිපත්තියෙන් මිදී මුස්ලීම්වරුන්ගේ “හලාල්” ප්‍රතිපත්තිය පමණක් ගරහන්නට ඉදිරිපත් වුයේ ඔහුගේ නිරුවත ද ශ්‍රී ලාංකීය සමාජයට නිරාවරණය කරමිනි. මෙවැනි පිරිසට මෙන්ම මෙම විෂය පිළිබඳව අධ්‍යනයන් හි නිරතවන බුද්ධිමත් ප්‍රජාවට ප්‍රමාණවත් කරුණු මෙම අඩවිය තුල මෙතෙක් ඉදිරිපත් කළා යන්න මාගේ විශ්වාසයයි. නමුත් මාංශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉස්ලාමීය විග්‍රහය මෙතෙක් මෙම අඩවිය තුල ඉදිරිපත් නොකිරීම මෙම විෂය පරිපුර්ණ නොවීමට හේතුවක් යයි හැගේ. මේ නිසාම “මාංශ ප්‍රතිපත්ති පිළිබඳව ඉස්ලාමීය විග්‍රහය” යන මාතෘකාවද මෙතැන් සිට සාක්ච්චාවට ගනිමින් මෙම මාතෘකාවට විරාමය තබන්න අදහස් කරමි.

ඉස්ලාම් දහම අනුමත කරන මාංශ අනුභවය සම්බන්ධයෙන් ඉහත ආකාරයේ වූ විවිධ වාද විවාද තර්ක විතර්ක ශ්‍රී ලාංකීය සමාජය තුල පවතින නිසා ඒ පිළිබඳව තරමක් සවිස්තරව මෙහිදී කථා කිරීමට අදහස් කරමි. ඉස්ලාම් දහම එහි මූලාශ්‍රයන් තුලින් මාංශ ආහාර භාවිත කිරීම සම්බන්ධ වූ විවිධ කොන්දේසි මිනිස් සමාජයට දේශනා කරයි. ඒවා සියල්ල මෙහිදී සාකච්චාවට ගැනීම ප්‍රායෝගික කරුණක් නොවූවත් විෂයට අදාල කරුණු හැකි පමණින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි. එහි ආරම්භයක් ලෙස මෙම මාංශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා සම්පිණ්ඩනය කොට සරලව කථා කරන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයකට ප්‍රථමයෙන් ඔබගේ අවධානය යොමු කරවීමට අදහස් කරමි.

“(ස්වභාවයෙන්) මරණයට පත් වූ දැය ද, ලේ ද, ඌරන්ගේ මාංශ ද, අල්ලාහ් නොවන (වෙනත්) නාමයකින් ඝාතනය කළ දැය (සතුන්) ද (අල්ලාහ් (දෙවියන්)) නුඹලාට ‘හරාම්’ කොට ඇත. කවුරුන් සීමාව ඉක්මවා නොයා සිටියදී (මේවා අනුභව කිරීමේ) තත්වයට පත් කරනු ලැබුවහොත් එය ඔහු කෙරෙහි වරදක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් (දෙවි) ඉතාමත් ක්ෂමාවන්තයෙකු මෙන්ම අසීමිත දයාවන්තයෙකු ද වේ.”

ශුද්ධ වූ කුර්ආනයේ 2-173

මෙහිදී ප්‍රථමයෙන් සඳහන් කළ යුතු කාරණයක් ඇත. එනම් ඉහත දක්වා ඇත්තේ ශුද්ධ වූ කුර්ආනයේ 2-173 වාක්‍යයට දළ පරිවර්ථනයක් පමණි. මා එසේ පැවසීමට හේතු කිහිපයක් ඇත. ඉන් ප්‍රධාන හේතුව නම් මෙම වාක්‍යයට බොහෝ කුර්ආන් පරිවර්තනවල ලබා දී ඇති පරිවර්තන නිවැරදි නොවීමයි. එසේම මෙම වාක්‍යය පරිවර්තනය කිරීමේ දී සමහරක් කොටස් සඳහා සිංහල වචන සොයා ගැනීමට නොහැකි වීම එම දුර්වලතාවයට තවත් එක් හේතුවකි. කෙසේ වෙතත් මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී එම 2-173 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවියා) මිනිස් සමාජයට අවධාරණය කරන කාරණය වඩාත් හොදින් ඔබට වටහාගත හැකි වනු ඇත. ඒ අනුව දැන් එම වාක්‍යය මගින් අවධාරණය කරන කරුණු වෙත අවධානය යොමු කළේ නම්,

ඉහත වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) මාංශ අනුභවය සම්බන්ධයෙන් මිනිස් සමාජය අනුගමනය කළ යුතු හා නොකළ යුතු දෑ පිළීබඳව විස්තර කරයි. එම කරුණු ප්‍රධාන කොන්දේසි 05ක් ලෙස වෙන් කොට දැක්විය හැක. එනම්,

  • ස්වභාවිකව මැරුණු සතුන් අනුභව නොකළ යුතු යන්න
  • ලේ (රුධිරය) ආහාරයට නොගත යුතු යන්න
  • ඌරු (සූකර) මාංශ ආහාරයට නොගත යුතු යන්න
  • අල්ලාහ් (දෙවි) නොවන වෙනත් කෙනෙකුගේ නමින් ඝාතනය කළ සතුන් ආහාරයට නොගත යුතු යන්න
  • නුඹලාට “හරාම්” කොට ඇති මුත් අනුභව නොකොට බැරි අවස්ථාවෙහි අනුභව කිරීමේ හි වරදක් නැත යන්න පැවසීම.

ස්වභාවිකව මැරුණු සතුන් ආහාරයට ගැනීම.

මුස්ලීම් ප්‍රජාව ‍මෙම කාරණය සම්බන්ධෙයන් පැහැදිලි අවබෝධයකින් පසු වේ. මුස්ලීම් ප්‍රජාව පමණක් නොව මෙම කාරණය සම්බන්ධයෙන් මුස්ලීම් නොවන ප්‍රජාව ද මුස්ලීම්වරුන්ගේ මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යම්තාක් දුරකට අවබෝධයකින් පසුවේ. මේ හේතුව නිසා එම කාරණය සම්බන්ධයන් දීර්ඝ විග්‍රහයක් සිදු කිරීමට අවශ්‍ය නොවනු ඇත. නමුත් මෙම මාතෘකාවට අදාලව මෙහිදී කථා කළ යුතු සමහරක් අවස්ථාවල පැනයක් ලෙස පවා “යහමඟට” යොමු වූ කාරණයක් ඇත. එනම්,

  • ස්වභාවික ලෙස නොව පහරදීමකින් හෝ අනතුරකින් සිදු වන සත්ව මරණයක දී පවා මුස්ලීම්වරුන් එම මාංශ අනුභවයෙන් වැළකී සිටී.
  • ස්වභාවික ලෙස මරණයට පත් වූ මාංශ තහනම් බව ශුද්ධ වූ කුර්ආනය පැවසුව ද මත්‍ස්‍ය වර්ග මුස්ලීම්වරුන් අනුභව කරයි.

ඉහත 2-173 වාක්‍යයෙන් ස්වභාවික ලෙස මැරුණු සතුන් අනුභවයට නොසුදුසු බව පැවසුවද මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපයන් දකින විට ඒ තුල තවත් බොහෝ නීතිරීති පිලිපැදීමන් දක්නට ඇති බව ඉහත සඳහන් කරුණුවලින් ඔබට පැහැදිලි වනු ඇත. ඒ අනුව දැන් ඔබට පැනයක් මතුවිය හැක. එනම් “ඉස්ලාම් දහම තුල මෙවැනි පරස්පරතාවයන් ඇයි ද?” යන්නයි. මෙහිදී එම කාරණයට යොමු වීමට පෙර සඳහන් කළ යුතු කාරණයක් ඇත. එනම් ශුද්ධ වූ කුර්ආනය යනු එකවර අහසින් පොළොවට පහල වූ පුස්තකයක් නොවේ. වසර 23 ක කාලයක් පියවරින් පියවර මිනිස් සමාජය තුල ඇති වන නොයෙක් ගැටළු සදහා පිලියම් ලෙස අදියරෙන් අදියර පහල විය. මේ නිසා නව කථාවක් ලෙස, පුරාවෘතයන් පැවසෙන ග්‍රන්ථ ලෙස හෝ ඉතිහාස පැවසෙන ලියවිල්ලක් ලෙස ආගමික මූලාශ්‍ර අවබෝධ කරගත නොහැක. (මා පවසන මෙම ලක්ෂණය ශුද්ධ වූ කුර්ආනයේ පමණක් නොව අනිකුත් ආගමික ග්‍රන්ථවල ද දක්නට ඇත.) මෙ‍සේ මා පැවසීමට හේතුව ශුද්ධ වූ කුර්ආනයේ කිසියම් වාක්‍යයකට තවත් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යක් හෝ වාක්‍ය කිහිපයක් විග්‍රහයක් ලෙස පවතින්නට පුළුවන. එසේම ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට “හදීසයක්” (නබිතුමාණන්ගේ ආදර්ශය) මඟින් විග්‍රයක් ඉදිරිපත් වන්නට පුළුවන. (මේ පිළිබඳව දීර්ඝ ලෙස “ඉස්ලාම් දහමේ ආගමික මූලාශ්‍රයන් කුමක්ද?” යන ලිපියෙන් මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ඇත) ඒ අනුව ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් දුටු පමණින් අවසාන නිගමනයකට එළඹීම බුද්ධිමත් ගවේෂණයක් නොවන බව පැහැදිලි ලෙස ප්‍රථමයෙන් වටහාගත යුතු ය. මා එසේ පැවසීමට තවත් හේතුවක් නම් අද බොහෝ පිරිස් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් ගෙන හැර දක්වමින් ඉස්ලාම් විවේචනය කරන්නේ ඉහත මූලික කරුණ පිළිබඳව අනවබෝධයෙන් වීම නිසා ය. (එවැනි ලිපි කිහිපයක් ඉදිරි දිනයන් හි “යහමඟ” තුල සාකච්ජා කිරීමට නියමිත ය.) එම කාරණය මතකයේ රදවාගෙන නැවතත් මාතෘකාවට යොමු වුයේ නම්, එනම් ඉහතින් මතු කළ පලමු කාරණය එනම් ගෙල මිරිකා නොඑසේනම් පහරදීමක් මඟින් එසේත් නැත්නම් අනතුරකින් (ස්වභාවික නොවී) මරණයට පත් වන සත්ව මාංශ ආහාරයට නොගන්නේ ඇයි ද? යන කාරණය විමසා බැලුවේ නම්,

එයට පිලිතුරු ශුද්ධ වූ කුර්ආනය 5-3 වාක්‍යය මඟින් මෙසේ ලබා දේ…

“…බොටුව මිරිකා මරණ ලද දැයද, පහර දී ඝාතනය කල දැයද, වැටී මළ දැයද, (සතුන්) එකින් එක ගැටී මළ දැයද, සතුන් විසින් සපා කා මළ දැයද, …නුඹලාට තහනම් කරන ලදී…”

මා ඉහතින් අවධාරණය කළා සේ ශුද්ධ වූ කුර්ආනයේ 5-3 වාක්‍යය 2-173 වාක්‍යයට විග්‍රහයක් ලෙස පිහිටා ඇති ආකාරයත්, එවැනි වාක්‍යයන් නොසලකා හැර 2-173 වාක්‍යය පමණක් පදනම් කරගෙන ඉහත ආකාරයේ තර්කයන් ගොඩනැඟීම බුද්ධිමත් ක්‍රියාවක් නොවන බවත් දැන් ඔබට පැහැදිලි විය යුතු ය. කෙසේ වෙතත් වාදයකට ඉහත 5-3 වාක්‍යය නොසලකා ශුද්ධ වූ කුර්ආනයේ 2-173 වාක්‍යය පමණක් සැලකුවද එහි සදහන් (ඉහත) කරුණු 05 අතුරින් 01 හා 04 කරුණ මඟින් ද ඉහතින් මා පවසන කාරණය පරස්පරතාවයකින් තොරව පැහැදිලි කරගත හැක. ඉස්ලාම් දහම මුස්ලීම්වරයෙකු සදහා මාංශ අනුභවයට අවසර ලබාදෙන්නේ කොන්දේසි කිහිපයකට යටත්වය. එහි ප්‍රධාන කොන්දේසි දෙකක් නම් ගෙල සිදලා (කපා) ඝාතනය කළ යුතු යන්න හා අල්ලාහ් (දෙවි) නාමයෙන් පමණක් ඝාතනය කළ යුතු යන්නයි. (මෙහි පලමු කාරණය එනම් ගෙල සිදලා ඝාතනය කරන්නේ කෙසේ ද? යන්න හා එසේ කිරීමේ ඇති යහපත මීට පෙර මෙම අඩවිය තුල “සත්ව හිංසාව, ඝාතනය හා ඉස්ලාම්” යන මාතෘකාව යටතේ සාකච්ඡා කොට ඇත.) මේ අනුව සතෙකු ඝාතනය කළද එය ඉස්ලාම් පෙන්වා දෙන ආකාරයට සිදු නොකලේ නම් එම මාංශ අනුභවයට නොසුදුසු යන්න ඉස්ලාමීය ඉ‍ගෙන්වීමයි. ඒ අනුව 2-173 වාක්‍යයෙන් සඳහන් “ස්වභාවික ලෙස මැරුණු” සතුන් පමණක් නොව එම වාක්‍යයේම සඳහන් “අල්ලාහ් (දෙවි) නාමයෙන් තොරව ඝාතනය වූ සතුන් ද අනුභවයට නොසුදුසු යන්න” පැහැදිලි වේ.

මෙහිදී මතු වන දෙවන ගැටළු ස්වභාවිකව මැරුණු සතුන් අනුභවයට නුසුදුසු නම්, “ගෙල නොසිදලා එසේම අල්ලාහ් (දෙවි) නමින් ඝාතනය නොකරන මත්ස්‍යන් මුස්ලීම්වරුන් ආහාරයට ගන්නේ කෙසේ ද?” යන්නයි. මෙයත් ඉහත සදහන් ආකාරයට ශුද්ධ වූ කුර්ආනයේ 2-173 වාක්‍යය හා මුස්ලීම් සමාජයේ ක්‍රියාකලාපයන් අතර පරස්පරතාවයක් ලෙස පෙනුනද එය තරමක් ගැඹුරින් විමසා බලන විට එවැනි පරස්පරතාවයක් නොමැති බව පැහැදිලි වේ. ඒ සදහා ඉස්ලාමීය ශුද්ධ වූ මූලාශ්‍රයක් වන හදීසයක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,

එක්තරා සහාබිවරයෙකු (අනුගාමිකයෙකු) නබිතුමාණන් හමුවේ “මුහුදු ජලය” පිලිබදව විමසන ලදී. එයට එතුමාණන් “මුහුදු ජලය (අපිරිසිදු දෑ) පිරිසිදු කිරීමට (භාවිත කිරීම) සුදුසුය, එහි සිටින ජීවීන් මැරුණ ද ආහාරයට සුදුසුය” යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්

මා ඉහතින් අවධාරණය කල කාරණය එනම් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයකට “හදීසයක්” විග්‍රහයක් ලෙස පවතින්න පුළුවන් යන්න ඉහත හදීසය තුලින් පැහැදිලි වේ. ශුද්ධ වූ කුර්ආනයේ 2-173 මඟින් පැවසෙන පොදු නීතිය ඉහත හදීසය මඟින් තවදුරටත් විග්‍රහය කරන බව මෙහිදී අවබෝධ කරගත හැක. එනම් “ඉස්ලාම් දහම ස්වභාවිකව මැරුණු සතුන් පරිභෝජනයට නොසුදුසු බව පැවසුව ද එය මතස්‍යන් සම්බන්ධයෙන් වලංගු නොවන බව අවබෝධ කරගත යුතු ය”. ඒ අනුව ඉහත 2-173 වාක්‍යයෙන් පැවසෙන “ස්වභාවිකව මැරුණු” යන්නට ලබාදිය යුත්තේ එහි වචනාර්ථය නොව එයට ශුද්ධ වූ කුර්ආනය හා හදීසය ලබා දෙන විග්‍රහය යන්න පැහැදිලි ලෙස වටහා ගත යුතු ය.

ලේ (රුධිරය) ආහාරයට ගැනීම.

ඉහත 2-173 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) මීළඟට සඳහන් කරන්නේ සතුන්ගේ ලේ (රුධිරය) පිළිබඳවයි. ජීවියෙකුගේ ශරීරයේ පවතින අපිරිසිදුම දෙයක් වේ නම් එය රුධිරයයි. මන්ද සියලු ආකාරයේ රෝගකාරක ජීවීන් සදහා පෝෂක මෙන්ම සීඝ්‍රයෙන් ශරීරය පුරාවට යමක් ව්‍යාප්ත කිරීමට සුදුසුම මාධ්‍යය මෙම රුධිරයයි. (මේ පිලිබඳව ද මීට පෙර මෙම අඩවිය තුල “සත්ව හිංසාව, ඝාතනය හා ඉස්ලාම්” යන මාතෘකාව යටතේ සාකච්චා කොට ඇත.) ඒ අනුව මෙතරම් අපිරිසිදු රුධිරය ආහාරයක් ලෙස භාවිතා කිරීම සම්බන්ධ පැවසෙන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය අද අප රටේ වෙසෙන මුස්ලීම් ජනතාවට පමණක් නොව බෞද්ධ ජනතාවටත් තරමක් කුතුහලය ගෙන දෙන වාක්‍යයක් වන්නට පුළුවන. ඒ “ලේ ආහාරයට ගන්නේ කව්ද?” යන පැනය මුතුවන නිසාය. නමුත් මෙම වාක්‍යය දෙස බලන විට එදා ආරම්භ කාල (ඉස්ලාම් මුලින්ම ප්‍රකාශ වන) අරාබි සමාජයේ මෙම සත්ව රුධීරය ආහාරයක් වශයෙන් භාවිතා කොට ඇති බවක් (වක්‍ර ලෙස පැවසීම) පැහැදිලි වේ. මීට වසර 1400 ක‍ට පෙර විසූ එම සමාජයේ පැවතී එම ජීවන රටාව නිවරුදි කරමින් ශුද්ධ වූ කුර්ආනය 2-173 මඟින් මෙය (ලේ ආහාරයට ගැනීම) තහනම් කරන ලදී. මෙය අසා මෙවැනි ආහාර රටාවන් පවා එම සමාජයේ පැවතුනාද? යනුවෙන් ඔබ විමතියට පත්වීමට ද පුළුවන. නමුත් මෙවැනි ආහාර රටාවන් අප රට තුල තවම පවතිනවා යයි මා පැවසුවේ නම් ඔබ තවත් මවිත වනු ඇත. මීට ටික කලකට ඉහත දිනක් යාපන ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ගුරුවරයෙකු සමඟ මෙම ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පිලිබදව මා කථා කිරීමේ දී ඔහු මට “අපේ ගමේ සතුන් (එළුවන් එහෙම) ඝාතනය කිරීමේ දී රුස්කර ගන්නා රුධිරය මුදවා රසවත් කෑම වර්ගයක් හදනවා” යනුවෙන් පවසන ලදී. එසේ ඔහු පැවසීම නිසා ඒ පිලිබදව තවදුරටත් සොයාබැලීමේ දී අනාවර්ණය වුයේ එවැනි කෑම විශේෂයක් ශ්‍රී ලාංකීය සමාජයේ පමණක් නොව ඉන්දීය සමාජය තුල ද ද්‍රවිඩ ජනයා අතර පවතින බවයි.

මෙහිදී කිසියම් කෙනෙකු හ‍ට පැනයක් මතුවිය හැක. ඒ “සාමාන්‍යයෙන් මාංශ වර්ග ආහාරයට ගැනීමේ දී සුළු වශයෙන් හෝ එහි රුධිරය අපේ ශරීරයට එක්වීම වැලැක්විය නොහැකි කාරණයක් නොවේද?” යන්නයි. ඉහත 2-173 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය දෙස බලන විට එවැනි සැකයක් ඇතිවීම පුදුමයක් නොවේ.  නමුත් මෙහිදී ද මා ඉහතින් සදහන් කලාසේ අවබෝධ කර ගතයුත්තේ අනිකුත් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් තුලින් ලබාදෙන විග්‍රහයන් ද පදනම් කරගෙනය. ඒ අනුව ශුද්ධ වූ කුර්ආනයේ 6-145 මඟින් මේ සම්බන්ධයෙන් පැහැදිලි විග්‍රහයක් ලබාදෙයි. එනම්,

“ස්වභාවිකව මැරුණු, ගලාගිය රුධිරය, සූකර මාංශ… හැර අනුභව කරන්නට තහනම් කරන ලද කිසිවක් මා වෙත පහළ කරන ලද ‘වහී’ (දේව පණිවුඩ) හි මම නොදුටුවෙමි…”

ඉහත 6-145 වාක්‍යය මඟින් පැවසෙන කරුණු අතර විශේෂ වචනයක් කෙරෙහි මා ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. ඒ “ගලාගිය රුධිරය” යන්න වෙතයි. මෙහිදී අල්ලාහ් (දෙවි) ආහාරයට නොගතයුත්තේ “රුධිරය” යනුවෙන් නොපවසා “ගලායන රුධිරය” යයි පැවසීම තුල මංශවල තැවරී ඇති රුධිරය නොව සත්වයෙකු ඝාතනය කිරීමේ දී ගලායන රුධිරය අදහස් කරන බව පැහැදිලි වේ. ඒ අනුව සුළු වශයෙන් මාංශවල රුධිරය තැවරී පැවතීම එම ආහාරය අනුභවයට නොසුදුසු තත්වයට පත්වනවා යන්න එයින් අදහස් නොවේ. එසේම ඉහත 2-173 හා 6-145 වාක්‍යයන් මඟින් “රුධිරය” යන්න පැවසීම තුලත්, මාංශ පිසීමේදී රුධිරය කිසිවිටෙක එම මාංශවල තවදුරටත් නොපවතීම තුලත් ඉහත තහනමට මාංශ පිස අනුභවය කරන පිරිස අන්තර්ගත නොවන බව ද පැහැදිලි ලෙස වටහාගත යුතුවේ. ඒ අනුව “ලේ” (රුධිරය) ආහාර වශයෙන් ගැනීම සම්බන්ධ ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්න සරලව වටහා ගතහැක.

ඌරු (සූකර) මාංශ ආහාරයට නොගතයුතු යන්න

ඌරු මාංශ හෙවත් සූකර මාංශ සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න සමස්ථ ලෝකවාසී මුස්ලීම් මෙන්ම මුස්ලීම් නොවන ප්‍රජාවද හොදින් අවබෝධ කරගෙන සිටී. මේ පිලිබදව ඉස්ලාමීය ආගමික මූලාශ්‍රයන් වන ශුද්ධ වූ කුර්ආනයේ මෙන්ම “හදීසයේ” (නබිතුමාණන්ගේ ආදර්ශයේ) බොහෝ කරුණූ සදහන් වීම දක්නට ලැබේ. ඔබගේ දැනගැනීම පිණිස ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් කිහිපයක් පවසනවා නම්,

  • “(ස්වභාවයෙන්) මරණයට පත් වූ දැය ද, ලේ ද, ඌරන්ගේ මාංශ ද, අල්ලාහ් නොවන (වෙනත්) නාමයකින් ඝාතනය කල දැය (සතුන්) ද (අල්ලාහ් (දෙවියන්)) නුඹලාට ‘හරාම්’ කොට ඇත…” (2-173)
  • “(ස්වභාවයෙන්) මරණයට පත් වූ දැය ද, ලේ ද, ඌරන්ගේ මාංශ ද, අල්ලාහ් නොවන (වෙනත්) නාමයකින් ඝාතනය කළ දැය (සතුන්) ද බොටුව මිරිකා මරණ ලද දැයද, පහර දී ඝාතනය කළ දැය ද, වැටී මළ දැයද, (සතුන්) එකින් එක ගැටී මළ දැයද, සතුන් විසින් සපා කා මළ දැයද… නුඹලාට තහනම් කරන ලදී…” (5-3)
  • “…යමෙකුට අල්ලාහ් ශාප කොට ඔවුන් කෙරෙහි කෝප වී ඔවුන්ගේ සමහරෙකු වදුරන්ද, සූකරයන් බවට පත් කළේද…” (5-60)
  • “ස්වභාවිකව මැරුණු, ගලා ගිය රුධිරය, සූකර මාංශ… හැර අනුභව කරන්නට තහනම් කරන ලද කිසිවක් මා වෙත පහළ කරන ලද ‘වහී’ (දේව පණිවුඩ) හි මම නොදුටුවෙමි…” (6-145)
  • “ඇත්තෙන්ම නුඹලාට ඉබේ මළ සතුන්ද, ලේ ද, සූකර මාංශ ද අල්ලාහ් (දෙවි) නොවන කෙනෙකු වෙනුවෙන් කැප කල දැය ද තහනම් ය…”(16-115)

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අමතර හදීසයන් තුල “සූකර (ඌරා)” සම්බන්ධ බොහෝ කරුණු සදහන් වේ. ඉස්ලාමීය ආගමික විග්‍රහය කෙසේ වෙතත් සූකර මාංශ මිනිසා පරිභෝජනයට ගැනීමේ ආදීනය පිළිබඳව නොයෙක් විද්‍යාත්මක විග්‍රහයන් පවා පවතින බව සියල්ල හොදින් දන්නා කාරණයකි. එපමණක් නොව ශ්‍රී ලාංකීය බහුතරය වන බෞද්ධයන් සැලකූ විට ඔවුනට සූකර මාංශ ආහාරයට ගැනීම සම්බන්ධයෙන් අමිහිරි මෙන්ම පැහැදිලි අත්දැකීමක් ඇත. එනම්,

ගෞතම බුදුන් සූකර මාංශ අනුභව කිරීම නිසා රෝගාතුර වී පිරිනිවන් පෑ බව බෞද්ධ ග්‍රන්ථයන් හි සදහන් වේ. සමහරක් බෞද්ධ විද්වතුන් කිසිදු පදනමකින් තොරව “එය සූකර මාංශ නොව හතු විශේෂයක්” යනුවෙන් විග්‍රහයන් ඉදිරිපත් කළ ද එය කිසිදු පදනමක් නොමැති හුදෙක් තර්කයන් පමණි. මේ පිළිබඳව දීර්ඝ විග්‍රහයන් කරුණු සහිතව මෙම අඩවිය තුල බොහෝ අවස්ථාවල සාකච්චා කොට ඇත. (එවැනි විග්‍රහයන් කියවන්න.) මේ අනුව සූකර මාංශ අනුභවය පිළිබඳව මීට වඩා විග්‍රහයක් අවශ්‍ය නොවනු ඇතැයි සිතමි.

අල්ලාහ් (දෙවි) නොවන වෙනත් කෙනෙකු නමින් සිදු කරන සත්ව  ඝාතන

ඉහත 2-173 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) අවධාරණය කරන 04 වන කාරණය “අල්ලාහ් නොවන වෙනත් කෙනෙකු නමින් ඝාතනය වන සතුන් පරිභෝජනයට හරාම් (තහනම්)” යන්නයි. මෙය ඉතා වැදගත් කාරණයකි. මිනිස් පරිභෝජනයට අනුමත කළ සත්වයකු වුව ද, එය (ඉස්ලාම් පවසන ආකාරයට) නිසි ලෙස ගෙල සිඳලා ඝාතනය කළ ද, එය අල්ලාහ් (දෙවි) නමින් ඝාතනය නොවේ නම් එය පරිභෝජනයට නුසුදුසු බව ඉස්ලාම් පවසයි. එය ශුද්ධ වූ කුර්ආනයේ 6-118 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) මෙසේ පවසයි.

“…(සතුන් ඝාතනය කරන විට) අල්ලාහ් (දෙවි) නාමය උච්චාරණය කල දැයම අනුභව කරනු.”

ඉහත වාක්‍යය මඟින් මුස්ලීම්වරයෙකු මාංශ අනුභවය කිරීමට නම් එම සත්වයා  “දෙවියන්ගේ නාමයෙන්” ඝාතනය විය යුතු යන්න පැහැදිලි වේ. එසේ නොමැතිව වෙනත් යමක් හෝ යමෙක් නමින් එසේත් නැත්නම් එවැනි කිසිවක් නොමැතිව ඝාතනය වූ සත්වයෙකුගේ මාංශ අනුභවය ඉස්ලාම් දහම මුස්ලීම්වරුන්ට තහනම් (හරාම්) කර ඇත. ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් පමණක් නොව “හදීසයන්” මඟින් ද මෙම කාරණය ඉස්ලාම් දැඩිව අවධාරණය කරයි. එය පහසුවෙන් අවබෝධ කරගැනීම පිණිස හදීසයන් 02ක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,

“වරක් අලි (රලි) තුමාණන් මෙසේ පවසන ලදී. “මා හමුවේ නබිතුමාණන් කරුණු 04ක් අවධාරණය කරන ලදී. එනම්, 1/ කව්රුන් අල්ලාහ් නොවන කිසිවක් හෝ කිසිවෙක් නමින් (සතුන්) ඝාතනය කරන්නේ ද ඔහුට අල්ලාහ් ශාප කරන්නේ ය, 2/ තම දෙමාපියන්ට ශාප කරන තැනැත්තාට අල්ලාහ් ශාප කරන්නේය, 3/ (දහම තුල) අලුතින් යමක් නිර්මාණය කරන තැනැත්තාට ආරක්ෂාව සපයන තැනැත්තාට අල්ලාහ් ශාප කරන්නේ ය, 4/භූමියෙහි පවතින මායි (ගල්) වෙනස් කරන පුද්ගලයාට ද අල්ලාහ් ශාප කරන්නේ ය.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අහ්මද්‍

“මිනිසුන් දෙදෙනෙකු එක්තරා ජන සමූහයකට අයත් පිලිමයක් පසුකර ගියේ ය. එසේ එම පිලිමය පසුකර යන කිසිවකු එම පිලිම වෙනුවෙන් සතෙකු බිලි නොදී නොයයි. ඒ අනුව එම දෙදෙනාට ‘(මේ පිලිමය වෙනුවෙන්) බිලිදෙන්න’ යනුවෙන් පවසන ලදී. එයට (ඒ දෙදෙනාගෙන්) කෙනෙකු ‘බිලිදීම සදහා කිසිවක් අප සතුව නැත’ යනුවෙන් පවසන ලදී. එයට (ගම්වාසී) ඔවුන් ‘මැස්සෙකු හෝ බිලිදෙන්න’ යනුවෙන් පවසන ලදී. එයට ඔහු ‘අල්ලාහ් (දෙවි) හැර වෙන කිසිවකු හෝ කිසිවක් සදහා බිලිදීමන් නොකරන්නෙමි.’ යනුවෙන් පවසන ලදී. එයට (ගම්වාසී) ඔවුන් ඔහුගේ ගෙල කපා ඝාතනය කරන ලදී.” යනුවෙන් පැවසූ  නබිතුමාණන් එම ඝාතනයට ලක් වූ මිනිසා ස්වර්ගයට පිවිසෙන බව පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – අහ්මද්

ඉහත හදීසයන් දෙකට අනුව සතුන් ඝෘතනය විය යුත්තේ අල්ලාහ් (දෙවි) නාමයෙන් පමණක් බවත්, එසේ නොකරන අවස්ථාවල එය අනුභවයට නුසුදුසු වනවා පමණක් නොව එසේ සිදු කිරීම පාපයක් යන්නත් පැහැදිලි ලෙස වටහා ගත යුතු ය.

“නුඹලාට ‘හරාම්’ කොට ඇති නමුත් අනුභව නොකොට බැරි අවස්ථාවෙහි අනුභව කිරීමෙහි වරදක් නැත.”

ඉහත 2-173 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) මාංශ අනුභවය සම්බන්ධයෙන් මිනිස් සමාජය අනුගමනය කළ යුතු හා නොකළ යුතු දෑ පිළිබඳව විස්තර කර ඇති අකාරය යම්තාක් දුරකට මෙතෙක් විමසා බැලුවෙමු. දැන් මෙහිදී අවධානය යොමු කරන්නේ එම 2-173 වාක්‍යයේ අල්ලාහ් (දෙවි) අවධාරණය කරන 05 වන කාරණයටයි. ඉහතින් අප කරුණු 04 ක් සාකච්ඡා කිරීමේ දී මාංශ අනුභවය සම්බන්ධයෙන් ඉස්ලාම් පැන වූ කොන්දේසි මොනවා ද? එහි දී මනුෂ්‍යයන් පිළි්පැඳිය යුතු ක්‍රම වේද මොනවා ද? යන්න අප සාකච්ඡා කළෙමු. නමුත් ඉහත 2-173 වාක්‍යයේ 05 වන කාරණය තුලින් ඉහත කොන්දේසි සියල්ල ඉස්ලාම් ඉවත් කොට මාංශ අනුභවය සදහා කොන්දේසි විරහිතව අවසර ලබා දෙන ආකාරය දැක ගත හැක. ඒ, “නුඹලාට ‘හරාම්’ කොට ඇතිමුත් අනුභව නොකොට බැරි අවස්ථාවෙහි අනුභව කිරීමෙහි වරදක් නැත” යනුවෙන් පැවසීම තුලිනි. මෙම කාරණය තරමක් ගැඹුරින් විමසා බැලීම අත්‍යාවශ්‍ය වේ.

ඉහත 2-173 වාක්‍යය මඟින් ස්වභාවිකව මැරුණු සතුන් අනුභව නොකළ යුතුයි, ලේ (රුධිරය) ආහාරයට නොගත යුතුයි, ඌරු (සූකර) මාංශ ආහාරයට නොගත යුතුයි, අල්ලාහ් (දෙවි) නොවන වෙනත් කෙනෙකුගේ නමින් ඝාතනය කළ සතුන් ආහාරයට නොගත යුතුයි, යනාදී වශයෙන් දැඩි කොන්දේසි පනවා “නුඹලාට ‘හරාම්’ කොට ඇති මුත් අනුභව නොකොට බැරි අවස්ථාවෙහි අනුභව කිරීමේ හි වරදක් නැත” යනුවෙන් පවසන්නේ ඇයි ද? යන කුතුහලය ඔබට මතුවිය හැක. ඉස්ලාම් දහම, මනුෂ්‍යාගේ මූලික අවශ්‍යතාවයන් පිළිබඳව දැඩිව සැලකිලිමත් වන දහමකි. මනුෂ්‍යා මනුෂ්‍යත්වය රැකගෙන ජීවිත් වීම අත්‍යාවශ්‍ය බව උගන්වන දහමකි. (මේ පිළිබඳව මීට පෙර මෙම අඩවිය තුල “චින්තන නිදහස හා වහල්භාවය” යන ලිපියෙන් සාකච්ඡා කොට ඇත) ඒ අනුව මිනිසාගේ  මූලික අවශ්‍යතාවය වන ආහාර ඔහුට නොලැබෙන අවස්ථාවක ඉස්ලාම් ඒ සම්බන්ධයෙන් වූ සියලු කොන්දේසිවලින් ඔහු නිදහස් කරයි. නිදසුනක් ඇතුව පැහැදිලි කරන්නේ නම්,

කිසියම් මිනිසෙකු හට තම මූලික අවශ්‍යතාවය වන ආහාර නොලැබුණු තත්වයක තමන්ගේ කුසගින්න නිවාලන්න (ස්වභාවිකව) මිය ගිය සත්වයෙකුගේ මාංශ පමණක් ලැබේ නම්, සූකර මාංශ පමණක් ලැබේ නම් හෝ අල්ලාහ් (දෙවි) නමින් ඝාතනය නොවූ සත්ව මාංශ පමණක් ලැබේ නම් එම මාංශ අනුභව කිරීම ඔහුට අනිවාර්ය වේ. එ‍සේ ඔහු ක්‍රියා නොකොට ඒ හේතුව නිසා ඔහු මිය ගියේ නම් එය සියදිවි හානි කිරීමක් ලෙස ඉස්ලාම් දකී. සරලවම පවසනවා නම් තම මූලික අවශ්‍යතාවය ඉටු නොවන තත්වයක ඉස්ලාමීය නීති ඔහු කෙරෙහි වලංගු නොවේ. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස හදීසයන් 02ක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,

  • “අල්ලාහ්ගේ දුතයානණනි, අප ජීවත් වන ප‍්‍රදේශයේ සාගින්න ඇති වේ. කුමන අවස්ථාවේ ස්වභාවිකව මියගිය සතුන් අපට හලාල් වන්නේ ද?” යනුවෙන් නබිතුමාගෙන් විමසන ලදී. එයට නබිතුමා “උදෑසන පානය කරන කිරි වේල හා සවස් වරුවේ පානය කරන කිරි වේල නුඹලාට නොලැබේ නම් එම අවස්ථාවේ එම සතුන් අනුභව කරන්න” යනුවෙන් පවසන ලදී

මූලාශ්‍ර ග්‍රන්ථය – අහ්මද්

  • “එක්තරා කෙනෙකු තම බිරිඳ හා දරුවන් සමඟ ‘හර්රා’ නැමැති ස්ථානයේ නවාතැන්ගෙන සිටින ලදී. ඔවුන් හමුවට තවත් කෙනෙකු පැමිණ ‘තමාගේ ඔටුවා නැති වුණු බවත් එය හමු වූයේ නම් එය බැඳ තබා ගන්නා ලෙසත්’ පවසා යන ලදී. මෙසේ නවාතැන් ගෙන සිටි ඔහුට එම ඔටුවා හමු වූ අතර හිමිකරු හමු නොවුණි. මෙසේ සිටින විට එම ඔටුවා රෝගි වන ලදී. එවිට ඔහුගේ බිරිද “එම සත්වයා කුර්බාන් කරන්න” යනුවෙන් පවසන ලදී. නමුත් එය ඔහු ප‍්‍රතික්‍ෂෙප කරන ලදී. එවිට එම සත්වයා මිය යන ලදී. එවිට ඔහුගේ බිරිද ‘මෙම සත්වයාගේ හම ගලවන්න. මේ මස් අප අනුභව කොට ඉතිරි මාංශ වියලා පසුව ආහාරයට තබා ගමු’ යනුවෙන් පවසන ලදී. එයට ඔහු ‘නබිතුමාගෙන් අසන්නේ නැතුව මම කිසිවක් කරන්නේ නැහැ’ යනුවෙන් පවසා නබිතුමා හමුවට පැමිණෙන ලදී. මේ පිළීබඳව නබිතුමාගෙන් විමසන ලදී. එයට නබිතුමා ‘තවත් කෙනෙකුගේ අවශ්‍යතාවය, පිහිට නොමැතිව ජීවත්වීමට තරම් නුඹට වත්කමක් තිබේ ද?’ යනුවෙන් විමනස ලදී. එයට මා ‘නැත’ යනුවෙන් පැවැසුවෙමි. එයට නබිතුමා ‘එසේ නම් එය අනුභව කරන්න’ යනුවෙන් පවසන ලදී. එවිට එම ඔටුවාගේ හිමිකරු පැමිණෙන ලදී. ඔහුට සිදු වූ කාරණය විස්තර කළ විට ඔහු ‘නුඔට එය කුර්බාන් කරන්නට තිබුණානේ’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘ඔබ පසුව පැමිණ මගෙන් මේ පිළීබඳව විමසූ විට මට ලෑජ්ජාවක් ඇති වේවි. ඒ නිසා තමා මා එසේ නොකලේ’ යනුවෙන් පවසා සිටින ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අබුදාවුද්

ඉහත හදීසයන් තුලින් මා පැවසීමට උත්සාහ කළ කාරණය ඔබට දැන් පැහැදිලි විය යුතු ය. ඒ අනුව මාංශ අනුභවය සම්බන්ධයෙන් පමණක් නොව මිනිසා, මිනිසෙකු ලෙස ජීවිත් වීම තුල ඔහුගේ මූලික අවශ්‍යතාවයන් පිළිබඳව ඉස්ලාම් කොතරම් සැලකිලීමත් වෙනවා ද යන්න මෙයින් පැහැදිලි වෙනවා නොවේ ද? ඉස්ලාම් දහමේ නීති රීති අන්ධ ලෙසත්, පදනම් විරහිත ලෙසත්, පූර්ණ අවබෝධයකිත් තොරවත් විවේචනය කරන පිරිස් මේවා පිළිබඳව බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතු ය.

දැන් කිසියම් කෙනෙකු හ‍ට තවත් කුතුහලයක් ඇතිවන්නට පුළුවනි. ඒ “ඉහත තත්වයන්ගෙන් පරිභාහිර මාංශ වර්ග අනුභව කිරීමට හැකි ද?” යන්නයි. එනම් ශුද්ධ වූ කුර්ආනයේ සූකරයා පිළිබඳ සඳහන් වන නමුත් අනිකුත් සතුන් පිළිබඳව සදහන් නොවන නිසා එවන් සත්ව මාංශ ආහාරයට ගැනීම සුදුසු ද? යන කුතුහලය ඇතිවන්නට පුළුවන. මෙහිදී අවබෝධ කරගත යුතු කාරණය නම්, මෙතෙක් අප කථා කලේ ඉහත 2-173 වාක්‍යයට ඉස්ලාම් දෙන විග්‍රහය මිස සමස්ථ මාංශ ප්‍රතිපත්ති පිළිබදව ඉස්ලාමීය විග්‍රහය නොවන බවයි. මාංශ අනුභවය හා ඒ සදහා සුදුසු සතුන් නිර්ණය කිරීම සම්බන්ධ  තවත් බොහෝ කොන්දේසි ඉස්ලාම් පනවා ඇති බව අවබෝධ කරගත යුතු වේ. එවැනි කොන්දේසි කිහිපයක් විමසා බැලුවේ නම්,

මත්ස්‍ය වර්ග

මත්ස්‍යයින් සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය නම් මුහුදෙහි ජීවත් වන සියලු ජීවීන් මිනිස් පරිභෝජනයට අනුමතයි යන්නයි. එය කොතරම් ද යන්න පවසනවා නම් එහි මිය ගිය ජීවින් පවා පරිභෝජනයට සුදුසු යන්න ඉස්ලාමීය ඉගෙන්වීම බව මෙම ලිපියෙහි ආරම්භයේ අප (හදීසයක් මඟින්) විමසා බැලුවෙමු.

පක්ෂීන්

ඉස්ලාම් දහම අනුමත මාංශ ආහාර වර්ග අතර පක්ෂීන් ද අයත් වේ. නමුත් පක්ෂීන් සම්බන්ධයෙන් ඉස්ලාම් අනුමැතිය ලබා දෙන්නේ කොන්දේසියකට යටත්වය. එය හදීසයක් තුලින් ගෙනහැර දක්වනවා නම්,

“ඩැහැ ගැනීමේ නිය සහිත පක්ෂීන් ආහාරයට ගැනීම නුසුදුසුය” යනුවෙන් නබිතුමාණන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්

සමහරක් පක්ෂීන් තම ගොදුර සොයා ගන්නේ තම කකුලේ නිය උපයෝගි කරගෙන ය. උදාහරණයකට උකුස්සා, රාජාලියා, කපුටා, බස්සා… යනාදී බොහෝ පක්ෂීන් සඳහන් කල හැක. ඒ අනුව පක්ෂීන්ගේ මාංශ පරිභෝජන සම්බන්ධයෙන් ඉහත කොන්දේසියට පරිභාහිර වෙනත් කිසිදු කොන්දේසියක් ඉස්ලාම් පනවා නොමැති නිසා මෙයින් පරිභාහිර සියලු පක්ෂීන් මාංශ ආහාරයට “අනුමත” යන්න අවබෝධ කරගත යුතු වේ.

සිව්පා සතුන්

සිව්පා සතුන් පිළීබඳව කථා කිරීමේ මෙම ලිපිය පුරාවට ඌරා පිළිබඳව විටින් විට කථා කොට ඇත. මේ නිසා සූකර මාංශ ඉස්ලාම් තහනම් කොට ඇති බව පැහැදිලි ය. මීට අමතරව “කොටළු” (Pony) මාංශ “හරාම්” (තහනම්) බව නබිතුමාණන් පැවසූ හදීසය “බුහාරී” නම් හදීස් ග්‍රන්ථයේ සඳහන් වේ. මීට අමතරව මාංශ පරිභෝජනයට නමින් තහනම් කළ සතුන් පිළිබඳව සඳහනක් ආගමික මූලාශ්‍රවල දක්නට නොලැබේ. එනමුත් සිව්පා සතුන් සම්බන්ධයෙන් “හරාම්” (අනුමත නොවූ), “හලාල්” (අනුමත) තීරණ ගැනීමේ දී පිළිපැඳිය යුතු කොන්දේසි පිළිබඳව ඉස්ලාම් පවසයි. එය මෙසේ ය.

“සතුන් අතුරින් කුමන සත්වයන්ට දඩයම් දත් (රදනක) පවතින්නේ ද එම සත්ව මාංශ පරිභෝජනයට නුසුදුසු වේ.” යනුවෙන් නබිතුමාණන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

සෑම සිව්පා සතෙකු සඳහාම මෙම දඩයම් දත් පිහිටන්නේ නැත. විශේෂයෙන් ආහාර වශයෙන් මාංශ අනුභවයට ගන්නා සතුන් තුල මෙය දක්නට ඇත. උදාහරණයට සිංහයා, කොටියා, බල්ලා, දිවියා… යනාදිය සඳහන් කළ හැක. මේ අනුව ඉහත කොන්දේසිවලට යටත් වන සියලුම සතුන් හා එම කොන්දේසියට යටත් නොවූවත් ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයෙන් හා හදීසයෙන් ඌරා හා කොටළුවා තහනම් යයි පැවසූ නිසා එම සතුන් ද හැර අනිකුත් සියලු සතුන් ආහාරය සදහා අනුමත බව පැහැදිලි ලෙස වටහා ගත යුතු ය.

ශරීරයට හානිකර ජීවීන්

මෙතෙක් වෙලා මාංශ අනුභවය පිළිබඳව ඉස්ලාමීය විග්‍රහය තරමක් ගැඹුරින් විමසා බැලුවෙමු. එහිදී කථා කළ යුතු තවත් වැදගත් කාරණයක් ඉතිරිව ඇත. ඒ ඉස්ලාම් පවසන මාංශ ප්‍රතිපත්තිය හුදෙක් අවසරයක් මිස එය ඒ සදහා උනන්දු කිරීමක් නොවන බව පැහැදිලි ලෙස වටහා ගත යුතු ය. ඒ අනුව මාංශ අනුභව කිරීමට කැමැත්තක් දක්වන පිරිසට එය ඉහත කොන්දේසිවලට යටත්ව පරිභෝජනයට ගත හැකි අතර එයට අකමැති කෙනෙකුට එයින් වැලකී සිටීමට ද පුළුවන. එසේම ඉහත ආකාරයට කොන්දේසි සහිතව මාංශ හා මත්ස්‍ය වර්ග සදහා ඉස්ලාම් අනුමැතිය ලබා දුන්න ද ඒ ඒ පුද්ගලයාගේ ශරීර ස්වභාවයත් රෝගි තත්වයන් අනුව ඉස්ලාම් අනුමත මාංශ හා මත්ස්‍ය වර්ග පවා නුසුදුසු වන්නට පුළුවන. උදාහරණයකට සමහරක් “ඇලජික්” ආසාදන රෝගි තත්වයන් නිසා බල, හුරුල්ලෝ වැනි මත්ස්‍ය වර්ග ජීවිත අවදානමක් පවා ඇති කරවන්නට පුළුවන. එසේම සමහරක් සත්වයන් ඉතා විෂ සහිත වන්නටත් පුළුවන. මේ පිළීබඳව කිසියම් අවබෝධයක් පවතින අවස්ථාවල එවැනි මත්ස්‍ය හා මාංශවලින් වැලකී සිටීම අනිවර්ය වේ. මෙය ශුද්ධ වූ කුර්ආන් පහත වාක්‍යයන් මඟින් පැහැදිලිව වටහාගත හැක.

“නුඹලාව නුඹලා විසින්ම විනාශ කර නොගන්න.”

ශුද්ධ වූ කුර්ආනය  2-195

“නුඹලාව නුඹලා විසින් ම නො මරාගන්න.”

ශුද්ධ වූ කුර්ආනය 4-29

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන්ට අනුව කිසියම් සත්වයකු ආහාරයට ගැනීම හේතුවෙන් එය මිනිසාට හානි කර යයි පැහැදිලි වන්නේ නම් එම සත්වයාගේ මාංශ වර්ග ආහාරයට ගැනීමෙන් වැලකී සිටිය යුතු යන්න පැහැදිලි වේ. එසේම ඉස්ලාම් අනුමත මාංශ වර්ගයක් වුවද එය තමන් ප්‍රිය නොකරන්නේ නම් එයින් වැලකී සිටීමට ද පූර්ණ අයිතිය සෑම මුස්ලීම්වරයෙකුටම ඉස්ලාම් ලබා දී ඇත. එවැනි අවස්ථාවල කිසිවකුටත් එය සදහා බල කිරීමන් සිදු කළ නොහැක. එයට නිදසුනක් ලෙස හදීසයක් සඳහන් කරන්නේ නම්,

දිනක් නබිතුමාණන් එක්තරා සහාභිවරයෙකුගේ නිවසේ ආහාර ගනිමින් සිටින විට එහි එදින පිස තිබූ මාංශ වර්ගයක් වෙත නබිතුමාගේ අවධානය යොමු විය. එම මාංශ වර්ගය දුටු නබිතුමාණන් උනන්දුවෙන් එම මාංශ වර්ගය බෙදා ගන්නට සැරසෙනවාත් සමඟ එම සංග්‍රහය සංවිධානය කල එම සහාභිවරයා එම මාංශ පිළිබඳව (සතුටින්) විස්තර කරමින් “මෙය තලගොයි මාංශ” යනුවෙන් පැවසීය. එය ඇසූ නබිතුමාණන් ඒ සැණීන් එම මාංශ අත හැර අත ඉවතට ගන්නා ලදී. මෙය දුටු සහාභිවරයා “නබිතුමණි!, තලගොයි මාංශ හරාම් කොට ඇත් ද?” යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් “එසේ නොවේ. මේ භූමිය මත එම සත්වයා දුලභ ය. එම නිසා මම එය අනුභව කරන්නට ප්‍රිය නොකරමි” යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසය හොදින් අධ්‍යනය කලේ නම් බොහෝ කරුණු කාරණා ඒ තුල ඔබට අවබෝධ කරගත හැකි වනු ඇත. නබිතුමාණන් මාංශ ආහාරයට ගත් බව පමණක් කථා කරන බොහෝ මුස්ලීම් හා මුස්ලීම් නොවන පිරිස් මාංශ අනුභවය සම්බන්ධයෙන් එතුමාණන් තුල ඇති කරගෙන තිබූ මෙවැනි ප්‍රතිපත්ති පිළිබඳව කථා වන්නේ ඉතා අල්ප වශයෙනි. එතුමාණන්ගේ එම ක්‍රියා කලාපය ඉස්ලාම් නොවූවත් එතුමාණන් මාංශ අනුභවය සම්බන්ධයෙන් තමන් තුල ඇති කරගෙන තිබූ ප්‍රතිත්ති ඉතා විශිෂ්ඨය. කිසියම් ජීවියෙකු එම භූමිය මත අවම මට්ටමක පවතින (වද වී යාමේ අවදානමට පත් ව ඇති) නිසා එම මාංශ අනුභව කිරීමෙන් එතුමාණන් වැලකී හොද ආදර්ශයක් මුස්ලීම් සමාජයට පෙන්වා දෙන ලදී.

මේ අනුව මාංශ අනුභවය සම්බන්ධයෙන් ඉස්ලාමීය විග්‍රහය කුමක්ද යන්න දැන් ඔබට තරමක් දුරකට හෝ පැහැදිලි අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. අවසාන වශයෙන් “ඉස්ලාම් පවසන මාංශ ප්‍රතිපත්තිය හුදෙක් අවසරයක් මිස එය මුස්ලීම් සමාජයට මාංශ අනුභවය උනන්දු කරවන සාධකයක් නොවන බවත්, මාංශ ප්‍රතිපත්තිය ලොව සෑම කලටම හා සෑම ප්‍රදේශයකටම ප්‍රායෝගික වූ ප්‍රතිපත්තියක් යන්නත් පවසමින් මෙතෙකින් මෙම මාතෘකාවට විරාමය තබමි.

 

අබූ අර්ෂද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 9 යි.

  1. mohamed 2012-11-03 at 08:17

    මා දන්නා පරිදි වර්තමානයේ ඉස්ලාම් පොතේ විෂය නිර්දේශයන් බාරව ක්‍රියා කරන්නේ සුදුසුකම් ඇති ප්‍රවීණ විද්වත් මඩුල්ලක් විසිනි. ඔවුන්ගේ ඇතැම් විග්‍රහයන් හා අර්ථ කතනයන් සම්බන්ධයෙන් මතභේද පවතිනවා යැයි කීම සාධාරණ වුවත් ඉස්ලාමය නිවැරදිව පිලිබිඹු නොවේයි කීම සාධාරණ නොවේ. මා මෙසේ කීවේ විශේෂයෙන් ‘තව්හීද්’ යැයි කියාගන්නා බොහෝ දෙනෙකු මෙසේ හැසීරීම මා විසින් දැක තිබෙන නිසාය. ඔවුන්ගේ මතයට විරුද්ධව වෙනත් ‘ජමාතයක්’ යම් මතයක් ඉදිරිපත් කලේ නම් ඔවුන් ‘අසත්‍යවාදීන්’ යැයි පැකිලීමකින් තොරව ප්‍රකාශ කරයි. ඔවුන් කුර් ආනය හා හදීසයට අර්ථ දක්වන්නේ එහි ‘පදගතාර්ථය’ එනම් Literal Meaning එක අනුවයි. මෙය එක් අර්ථ කතනයක් පමනකි. අනික් මතය වන්නේ කුරානය හා හදීසය පදනම් (Base) කරමින් ‘ෂරීයා’ ව පුලුල් ලෙස අර්ථ කතනය කිරීමයි. ඉජ්මා, කියාස්, ඉජ්තිහාද් වැනි අනුමූලාශ්‍රයන් අසු වන්නේ ඉහත දෙවන ක්‍රමයේදී මිස පලමු ක්‍රමය තුල නොවේ. එලෙසෙම ‘මද්හබ්’ හතරේ නිර්මාතෘවරුන්ද උපයෝගි කොටගත්තේ දෙවන ක්‍රමය වේ.

    අවසාන වශයෙන් කීමට ඇත්තේ ඕනෑම කරුණක් අප විසින් පිලිගත යුත්තේ එය ඉස්ලාමීය රාමුව තුල පිහිටා ඇත්නම් පමනි. මන්දයත් ඉස්ලාමය මිනිසා අපහසුතාවයට පත් නොකරනවා සේම එය සෑම කාලයටම ගැලපෙන නම්‍යශීලී දහමක් වන බැවිනි. ඉදින් අප කලයුත්තේ ඒ නිවැරදිව වටහා ගෙන කරුණු දැක්වීම වේ.

  2. අබූ අර්ශද් 2012-11-03 at 03:08

    @mohamed
    ප්‍රථමයෙන් මා ඔබේ කරුණු දැක්වීමට ගරු කරනවා, ඉහත කරුණූ දැක්වීම තුල 8 වසර පාසැල් ඉස්ලාම් පොත සම්බන්ධයෙන් මතු වූ චෝදනාවේ දී ක්ෂණික ප්‍රතිචාරයක් ඉදිරිපත් කිරීමට සිදුවූ නිසාත්, 8 වසර ඉස්ලාම් පොතක් මා හට ක්ෂණිකව සොයාගැනීමට නොහැකි වූ නිසාත් එවැනි ප්‍රතිචාරයක් ඉදිරිපත් කිරීමට සිදුවීය. කෙසේ වෙතත් එහිදී මා එම පොතේ සමස්ථය ඉස්ලාම් නොවේ යන්න හෝ වැරදි සහගත යන්නක් අවධාරණය නොකලෙමි. එම කාරණය පිලිබදව මට නිසි අවබෝධයක් නොමැති නිසා එම ප්‍රශ්නයට පිලිතුරු සැපයීමේ වගකීම ‘යහමඟ‘ ට භාරගත නොහැකි බව පමණයි එහි අවධාරණය කලේ. (නමුත් ඊට පසු එම කාරණය පිලිබදව මා සොයා බැලූ අතර ඉන්ෂාඅල්ලාහ් ලඟදීම එම කාරණය තවත් ලිපියක් තුලින් කථා කිරීමට අදහස් කොට ඇත)
    අවසාන වශයෙන් නැවතත් කියන්නට ඇත්තේ පාසැල් ඉස්ලාමීය පොත් සමස්ථ දහම නිවරුදි ලෙස පිළිබිඹු නොකරන බවයි. එය කලින් කලට එහි සිදුවන සංශෝධන සාක්ෂී දරයි. කෙසේ වෙතත් වර්ථමාන පාසැල් ඉස්ලාමීය පොත්පත් අතීතයේ තිබූ පාසැල් ඉස්ලාමීය පොත්පත්වලට සාපේක්ෂව හොද මට්ටමක පවතින බවද මෙහි සදහන් කලයුතුම කාරණයකි.

  3. mohamed 2012-11-02 at 13:22

    ‘ඉස්ලාම් දහමට අනුකූල නොවන බොහෝ කරුණු පාසල් පොත්වල ඇත’. එසේ නම් පාසල්වල උගන්වන්නේ ‘කුෆ්ර’ය විය යුතුය. මන්දයත් දහමට යමක් අනුකූල නොවන්නේ නම් එය පිහිටිය හැක්කේ ඒ රාමුවෙන් පිටත පමණක් නිසාවෙනි. 8 වසර විෂය නිර්දේශය තුල ‘කුර්බාන්’ පාඩම තිබීම වැරදි හෝ නිවැරදි විය හැක. කාරණයක් හරි හැටි ග්‍රහණය නොකර සමස්ථයම විවේචනයට ලක් කිරීම සාධාරණ නොවේ. ඔහු චෝදනා කර ඇත්තේ 8 වසරේ එවැනි පාඩමක් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් පමණි. නමුත් ඔබ පවසා ඇත්තේ ‘ඉස්ලාම් දහමට අනුකූල නොවන බොහෝ කරුණු’ කියාය. මා මෙහිදී උත්සහ කරන්නේ ඔබ විවෙචනයට් ලක් කිරීමට නොව අඩුපාඩුවක් ලෙස දුටු යම් දෙයක් එකතු කිරීම පමණි. සමාජ මෙහෙවරක යෙදෙන ඔබ පිලිතුරු දීමේදී මෙයට වඩා අවධානය යොමු කල යුතු යැයි මා සිතමි.

  4. Ravindu 2012-10-30 at 06:25

    හරකෙක් මරණ හැටි මේ වෙබ් පිටුවේ දමන්න පුළුවන් නං ඔබගේ පාටකයන්ට වෙන දේ දන්නේ අල්ලා දෙවියන් පමණි.මාන දවසක් මුස්ලිම් කොල්ලෙක්ගෙන් ඇහුවා මචෝ උබ හරකෙක් මරනවා දැකල තියෙනවද කියලා.උ කිව්වා නැ කියලා .ඊට පස්සේ මන් මගේ ෆෝන් එකේ තිබුන වීඩියෝ එක්ලක් පෙන්නුවා.උගේ කට ඇදේ ගිහින් ඇස දෙකෙන් කදුළු එන්න වගේ.පව් අසරණ කොල්ලා

    • අබූ අර්ශද් 2012-10-30 at 15:35

      ඇයි හරකා විතරක් පදනම් කරගෙන කථා කරන්නේ කූඹියෙක් මැරෙන හැටිත් නූතන තාක්ෂණය උපයෝගි කරගෙන බලන්න. මේවා වාදයකට අලංකාර වුවාට එහි සාධාර්ණත්වයක් නැහැ. තවත් පවසනවා නම් යහමඟ youtube හි ඇති ජලබිංදුවේ සත්ව ලෝක ක්‍රියාකාරීත්වය (පහත වීඩියෝව) විමසා බලන්න. හෙට ඉදලා වතුර බොන එකත් නවත්තනවාද?

  5. Ravindu 2012-10-30 at 06:21

    ඔව් ඉතින් 8 වසරේදී කරුණාවෙන් යුතුව සත්තු මරණ හැටි උගන්වන ආගමක් නේ,ඉස්ලාම් කියන්නේ..
    අපිට කවුරුහරි ගහනකොට රිදෙනවා වගේ සත්තුන්ටත් රිදෙනවා.එක අල්ලා දෙවියන්ට නොතේරුන එකට ඉතින් ඔබලා මොනවා කරන්නද…????

    • අබූ අර්ශද් 2012-10-30 at 15:29

      8 වසරේ සතුන් මරණ හැටි කියලා දෙන හැටි හරිද? වැරදි ද? යන්න පිලිබදව ‘යහමඟ’ වගකීමක් දරන්නේ නැත. මන්ද යහමඟ එකඟ නොවන (ඉස්ලාම් දහමට අනුකූල නොවන බොහෝ) කරුණූ කාරණා ඉස්ලාම් නමින් පාසැල් පොත්පත්වල තිබෙන නිසාය.
      ඉස්ලාම් දහමේ සත්ව ඝාතනය පිලිබදව බුදධිමත් ලෙස නැවත නැවතත් විමසා බලන්න (ඒ සදහා මෙහි පලකර ඇති ලිපි ඔබට පිටුවහලක් වනු ඇත). එසේම ‘නිර්මාංශ ප්‍රශ්න’ නම් පොතත් වරක් කියවා බලන්න ඔබේ අනවබෝධයට ඉස්ලාම් දහම තුල නොව ඒ පොත තුල පවා පිලිතුරු ඇත.

  6. Rihana 2012-03-03 at 10:13

    It was able me to learn lot of things in this regards & it has been listed as a easy way to touch for anyone ,also a good clarification. Jazakallahu Khiran! We are ever be with Yahamaga, because our lives will be refresh in good way through your valuable articles.

  7. Hazmath 2012-03-03 at 01:11

    wishitai!….jasakallahu khira….pramada wee ho oba mage panayata pilithuru laba deema gana obata behevin sthuthiwantha wemi

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp