මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය කුමක්ද?

0

මෙම යහමඟ වෙබ් අඩවිය හරහා වැඩි වශයෙන් කථාකල මාතෘකා අතර “ළමා අවධිය හා තාරුණ්‍ය” යන්න ද එකකි. මෙම විෂය පිලිබදව මෙපමණ අවධානයක් මා යොමු කිරීමට මූලික හේතුව එය එතරමට වැදගත් කාරණයක්ව පැවතීමයි. මනුෂ්‍යා නැමැති ජීවියා සැලකූවිට ඔහු අනිකුත් ජීවින්මෙන් නොවේ. සැබැවින්ම ඔහුව ජීවත් කරවන්නේ ඔහුගේ බලාපොරොත්තුවයි. ඔහු බලාපොරොත්තු රාශියක් පොදිබැ‍දගෙන ජීවත් වේ. එම බලාපොරොත්තු ඔහුගේ ලෞකික දිවියට පමණක් සීමා වී නැත. ඔහු ලෝකොත්තර දිවිය සදහා ද විවිධ සැලසුම් සකස් කරමින් ඒ ඔස්සේ ජීවත් වේ. මේ ආකාරයට බලාපොරොත්තු ගොන්නක් මධ්‍යයේ ජීවත් වන මනුෂ්‍යාගේ එහි වපසරිය පුලුල් එකකි. එනම් එහි කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන බලාපොරොත්තු ද ඇත. එම බලාපොරොත්තූන් අතර දරුවන් කෙරෙහි දෙමාපියන් හට තිබෙන බලාපොරොත්තුව අන්සියල්ල ඉක්මවුවකි. ඒ එම දරුවා තුලින් අපේක්ෂිත බලාපොරොත්තුව තමාට එසේත් නැත්නම් තම පවුලට, එසේත් නැත්නම් තම ප්‍රදේශයට, එසේත් නැත්නම් තම පලාතයට පමණක් සීමා නොවී එය තම රටේ ඉක්මවා ලෝක අනාගතය පවා තීරණය කිරීමට සමත් තීරණාත්මක බලාපොරොත්තුවක් වන බැවිණී. අද අප බිහිකර කර සමාජයට දායාද කරන දරුවා හෙට දවසේ මේ මුළුමහත් සමාජයේම භාරකරුවාය. එසේනම් මේ දරුවා අපේ අනාගත බලාපොරොත්තුවයි. අපේ පමණක් නොව රටේ ආනාගතයයි. මුළු ලොවේම අනාගතයයි. මේසා විශාල වගකීම් පොදියක් කරා පියනගන මේ දරුවන් පිලිබදව මෙන්ම ළමාවියේ සිට වැඩිහිටිවියට පානඟමින් සිටින තරුණයන් පිලිබදව අද කථා කිරීමට ඉතිරිව ඇත්තේ කුමක්ද? අපෙත්, රටෙත්, ලොවෙත්, අනාගතය හෙට දවසේ බාරකිරීමට බලාහිදින මේ දරුවන් හා තරුණයන් පිලිබදව අද කථා කිරීමට ඇත්තේ කුමක්ද?. එම කාරණය වෙත අවධානය යොමු කිරීමට මත්තෙන් හදීසයක් (මුහම්මද් (සල්) තුමාණන්ගේ වදනක්) වෙත ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. එනම්,

“(දරුවන්ට) ලස්සන නමක් තැබීම ‍මෙන්ම හොද විනයක් ඉගෙන්වීම ද දරුවන් කෙරෙහි දෙමාපියන්ට ඇති වගකීම් වේ.”
මූලාශ්‍ර ග්‍රන්ථය – බයිහකී

මෙම විෂය පිලිබදව මෙම යහමඟ වෙබ් අඩවිය හරහා මීට පෙර “වස්තූන් හා දරුවන් තුලින් නුඹලා පිරික්සනු ලැබේ“, “ආදරය හා අනාචාරය අතර වල්මත් වූ තාරුණ්‍යය“, “ළමයින් කෙරෙහි දෙමාපිය වගකීම් ඉස්ලාමීය විමසුමක්“, “තරුණයනි කැරකිලා නොව නැගිටලා එන්න“… යනාදී මාතෘකා ඔස්සේ කරුණු කිහිපයක් ඔබගේ අවධානයට යොමු කලෙමි. මීටත් එහා කිසිවක් කථා කිරීමට ඉතිරිව තිබේද? යයි කිසිවකුට සිතෙන්නට පුළුවනි. නමුත් පියවී ඇසින් ළමා ලෝකය හා තරුණ ලෝකය දෙස අවධානය යොමු කලේ නම්, ඔවුන් වෙනුවෙන් අප කුමක් කර තිබෙනවාද? යන්න වරක් නොව දෙවරක් සිතා බැලීමේ අවශ්‍යතාවය ඔබටම අවබෝධ වනු ඇත. දෙමාපියන් ලෙසත්, වැඩිහිටියන් ලෙසත්, සමාජ වගකිවයුත්තන් ලෙසත්, අප සියළුදෙනාගේ බලාපොරොත්තු ඉටුවන “සුභ අනාගතයක්” ලොව නිර්මාණය වීමට නම්, අනිවාර්යයෙන්ම ළමා අවධිය පිලිබදව සමාජය පුළුල් අවධානයක් යොමු කරමින් ඒ සදහා ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදුකලයුතුයි යන්න මාගේ විශ්වාසයයි. මන්ද අද ළමා අවධිය තුල ලබන අත්දැකීම් තමා ඔවුන්ගේ තාරුණ්‍යය හැඩ කරන්නේ. ඔවුන් තාරුණ්‍යයේ ලබන අත්දැකීම් තමා මතු දවසක වැඩිහිටියන් ලෙස මේ රටේ හා සමස්ථ ලෝකයේ අනාගතය තීරණය කරන්නේ. රටේ ලෝකේ පමණක් නොව දෙමාපියන් වශයෙන් හෙට දවසේ අපේ ඉරණමත් තිබෙන්නේ ඔවුන්ගේ අතේය යන්න කිසිවිටෙකත් අමතක කල නොහැක. එය රටේ තිබෙන “මහළු නිවාස” මෙන්ම දිනපතා මාධ්‍යයන් තුලින් දකින පුවත් මනාව කියාපායි. ලෞකිකව පමණක් නොව මුස්ලිම්වරුන් වශයෙන් අප විශ්වාස කරන මරණින් මතු උදාවන විනිශ්චය දිනයේ හිමිතැන ස්වර්ගයද? අපායද? යන්නේහිද තීරණාත්මක සාදකයන් අතර මෙම දරුවන් ද එක් සාධකයකි. එවන් වූ මේ දරුවා පිලිබදව අද වැඩිහිටි සමාජය කොතරම් අවධියෙන් හා වගකීමක් ඇතුව කටයුතු කරනවාද? අප දියුණු සංස්කෘතීන් හා ශිෂ්ඨාචාර පිලිබදව කථා කරන්නෙමු. මේ මුළුමහත් මානව සංහතියෙම සංස්කෘතිය හා ශිෂ්ඨාචාරය රැදී තිබෙන්නේ හෙට දවසේ භාරකාරයන් වීමට වර්ථමාන වැඩිහිටි සමාජයෙන් පන්නරය ලබන මේ දරුවාගේ අතේ නොව්ද? ඉහතින් මා උත්සාහ කලේ ළමාවියේ වැදගත්කම පිලිබදව මෙන්ම වැඩිහිටි සමාජයේ වගකීම් පිලිබදව කිසියම් දළ අවබෝධයක් ලබාදීමටය.

ඒ අනුව තීරණාත්මක සන්ධිස්ථානයක සිටින මේ දරුවා ඒ සියළු වගකීම් නිසිලෙස තේරැම්ගෙන එය සතුටින් භාරගෙන නිසි අයුරින් ක්‍රියා කිරීමට නම් ඔවුන් නිසි පෞර්ෂයක් ඇතුව ගොඩනැගීම අවශ්‍ය වේ. එසේනම් මේ පෞරැෂය ගොඩනගන්නේ කෙසේද? එම පෞරැෂය ගොඩනැගීමේ දී ක්ෂේත්‍ර කිහිපයකට එම වගකීම පැවරෙනවා යන්න කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. එනම්,

  • දෙමාපියන්
  • අවට සමාජය
  • පාලකයින් (සමාජ වගකීම් දරන්නන්)

මූලික ළමාවිය ගතකරන දරුවකුට ජීවිතයේ මුල් පාඩම කියාදෙන්නේ දෙමාපියන් විසින් ඔවුන් දෙදෙනා තමා ඒ දරුවාගේ ආදර්මත් මෙන්ම වීර චරිත. එවන් වූ මේ මාපියන් තම දරුවන් මා ඉහතින් සදහන් කල අභියෝගයට සූදානම් කිරීමට කොතරමු දුරට කැපවනවාද? යන්න සෑම මාපියෙක්ම දෙවරක් සිතාබැලිය යුතුය. තමන් තම දරුවන් හමුවේ කොතරම් දුරට ආදර්ශමත් ලෙස ක්‍රියාකරනවාද? යන්න සෑම දෙමාපියෙක්ම ස්වයං අධ්‍යනයක් සිදුකල යුතුය. මෙය අවබෝධ කරගැනීමට ලොකු ලොකු සමීක්ෂණ ගවේශණ අවශ්‍ය නොවේ. අද දෙමාපියන් වශයෙන් සිටින අප එදා ළමා අවධිය ගතකල ආකාරය මොහොතක් විමසා බැලුවේ නම් පහසුවෙන් එහි වෙනස අවබෝධකර ගතහැක.

එදා අපට තිබූ ඒ සුන්දර අතීතය වර්ථමාන ළමා සමාජයට උරුමව නැහැ, එදා අප වින්ද නිදහස අද ළමා සමාජයට නැහැ, එදා අපට ලැබුණු ආදරය අද ළමා සමාජයට නැහැ… මේ ආකාරයට වර්ථමාන දරු පරපුරට අප අහිමි කර ඇති භාග්‍යයන් පෙලගැසීමට පුළුවන. එසේනම් සිතන්න මේ සියල්ල අහිමි වී ගිය දරුවකු තුලින් ඉහත සදහන් තීරණාත්මක වගකීමන් නිසිඅයුරින් අපේක්ෂා කිරීම කොතරම් දුරට සාධාර්ණද? එදා මව්තුරුලේ පියසෙනෙහසේ වැඩුණු දරුවා අද වැඩෙන්නේ “ළමා සුරැකුම් මධ්‍යස්ථාන” (Day Care) වලය. එදා “ජීවිතයේ තිබෙන එකම සම්පත, බලාපොරොත්තුව දරුවන් පමණයි” යයි පිලිගෙන එසේත් නැත්නම් “දෙවියන් විසින් දෙමාපියන් හට හිමිකරදුන් උදාරතම මෙහෙවර දරුවන් නිසිලෙස දහාවඩා ගැනීම” යයි පිලිගෙන එය එකම අරමුණ කරගෙන ජීවත් වූ සමාජය අද මුදල් පමණයි එකම සම්පත යන්න නොකියා පවසමින් ඒ පසුපස වේගයෙන් හඹායමින් සිටී. එහි අනිසි ප්‍රථිපලයක් තමා මා ඉහතින් සදහන් කල ළමා සුරැකුම් මධ්‍යස්ථානවලට දරුවන් කොටුවීම. මා මෙසේ පවසන විට ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. “අපේ දරුවන් නම් අපි එවැනි තැන්වලට යොමු කලේ නැතැ” යනුවෙන්. නමුත් යථාර්තය නම්, එම දරුවන් තම නිවස තුලම එම තත්වයට පත්වුවා යන්නයි. ඒ මාපියා සෙනෙහස වෙනුවට “ආයම්මා” (වැඩකාරියක්) අදේශ කිරීමෙනි.

මෙවැනි ක්‍රියා කලාපයන් නිසා දරුවන් තුලත්, දරුවන් නියෝජනය වන සමාජය තුලත් සදාචාර, සංස්කෘති හා සාරධර්ම පිරිහී විකෘති වී ගිය සමාජයක් නිර්මාණය වී ඇත. ළමා සුරැකුම් මධ්‍යස්ථාන තුලින් හෝ “ආයම්මා” මඟින් දරුවන් නිසි ලෙස පෝශණය වනවා වන්නට පුළුවන. ප්‍රථමික (පොතපතට සීමාවූ) අධ්‍යාපනය ඉහලින්ම ලබාදෙනවා වන්නට ද පුළුවන. මේ සියල්ල තුල ඔබට වැරදුනු තැනක් ඇත. ඒ මේ සියල්ල තුලින් ඔවුන්ගේ (ළමා සුරැකුම් මධ්‍යස්ථාන හා ආයම්මාගේ) අරමුණ ඔබේ දරුවා සමාජයට වැඩදායි දරුවෙකු කිරීම නොව එම ආයතනයේ හෝ පුද්ගලයාගේ ජීවිකාව සුරක්ෂිත කරගැනීම පමණි. එවනු වූ පටු අරමුණු තුල දරුවෙකුට මාපියන්ගෙන් ලබාදිය යුතු පුරැදු පුහුණු ළමා සුරැකුම් මධ්‍යස්ථානයකින්, සේවකයෙකුගෙන් හෝ පාසැල් ගුරුවරයෙකුගෙන් ලබාදීම අපේක්ෂා කල නොහැක. මන්ද ඔවුන් හා ළමයා අතර තිබෙන බැදීම මුදල පදනම් කරගත් එකක් මිස යහපත් අරමුණූ හෝ බලාපොරොත්තු පදනම් කරගත් එකක් නොවේ. මේ පිලිබදව ආචාර්‍ය ඇලක්සීස් කැරල් (Alexis Carrel) මහතා තම “හදුනා නොගත් මිනිසා (Man the Unknown)” කෘතියේ මෙලෙස සදහන් කරයි.

“නිවසේ ලබාදිය යුතු පුහුණුව වෙනුවෙන් සම්පූර්ණයෙන්ම පාසල තෝරා ගැනීම මඟින් නූතන සමාජය බරපතල වරදක් කර තිබේ. ළදරු පාසැල හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට තම දරුවන් භාර දෙන මව්වරුන් තම තමන්ගේ රැකියා, සමාජ කටයුතු හෝ තම පුද්ගලික අවශ්‍යතාවයන්…. වෙනුවෙන් තම කාලය මිඩංගු කරන්නේය. මේ අයුරින් දරුවන් පවුල් බන්ධනයෙන් ඈත් කරන්නෝය. පාසලේ සම වයස්කරුවන්ගෙන් ඉගෙන නොගන්නා බොහෝ යහපත් දෑ දරුවා නිවසේ පරිසරයෙන් ඉගෙන ගන්නේය.”

ඉහතින් ආචාර්ය ඇලක්සීස් මහතා අවධාරනය කරන කාරණය ඔබට මා අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ. විශේෂයෙන් සම වයස්කරුවන් තුලින් හොද ආකල්ප නිර්මාණය වීම යනු දුලබ කාරණයකි. මන්ද ඔවුන්ගේ සිතුමුපැතුම් බොහෝ විට සමානවීම නිසාත්, දරුවන් මෙන්ම තරුණයා බොහෝ විට වගකීමකින් තොරව තම සිතුවිලි ඔස්සේ ක්‍රියාකිරීමට පෙළ‍ෙඹන නිසාත් සමවයස් කරුවන් තුලින් ආදර්ශමත් ක්‍රියාමාර්ගයන් අපේක්ෂාකල නොහැක. එයට සරල නිදසුනක් ලෙස වර්තමානයේ අප ‍රටේ විශ්ව විද්‍යාලවල පවතින ගැටුම සදහන් කලහැක. එය කොතරම් පහත් තැනකට පත්ව තිබෙනවාද? යන්න මා අමුතුවෙන් ඔබට පැවසීමට අවශ්‍ය නොවේ. මීට අමතරව ‍රටේ ලෝකේ දරුවන් අතර ඇතිවන සියළු ගැටුම් මෙය මනාව පිලිඹිබු කරයි. එසේම ඉහතින් ආචාර්‍ය ඇලක්සීස් කැරල් මහතා අවධාරනය කරනවා සේ ගුරුවරුන් තුලින් ඉහත ප්‍රතිපලය 100% ක් අපේක්ෂා කිරීමද අසාර්ථක වෑයමක් යන්න මා ඉහතින් ද පැහැදිලි කලෙමි. එම කාරණයට අමතරව ගුරුවරුන් තුලින් ඉහත ප්‍රථිපලය අපේක්ෂා කලනොහැක යන්නට තවත් හේතුවක් වන්නේ වර්ථමාන ගුරුවරයා ළමයා සදාචාර සම්පන්න යහපත් දරුවකු නිර්මාණය කරනවා වෙනුවට නූතන වල්මත් තරුණ්‍යයේ සිතුම්පැතුම් ඔස්සේ ගුරුවරයා ගමන් කරමින් ඒ අනුව තම මෙහෙවර ඉටුකරමින් ජනප්‍රියත්වය හා මුදල පසුපස හඹායමින් සිටී. විශේෂයෙන් උපකාරක පංතිවල මෙය සුලභ වූ දසුනකි. මෙහි දී ගුරුවරුන් භාවිතා කරන භාෂාව අසභ්‍ය වචන එසේත් නැත්නම් Double meaning වචන යයි මා පැවසුවේ නම් උසස් පෙල පංතිවල ඉගෙනුම ලබන බහුතරයක් ළමුන් මා හා එකඟවනු ඇත. මෙහි අවාසනාවන්තම තත්වය එය නොවේ. බහුතරයක් ළමුන් විෂය දැනුම ලබාගැනීම සදහා ගුරුවරුන් තෝරාගැනීමේ දී ඉහත ආකාරයේ වචන භාවිතා කරන ගුරුවරුන් සදහා වැඩි උනන්දුවක් දක්වනවා යන්න මා ද අත්දැකීමෙන් ලද කාරණයකි. මේ හේතුව නිසා මෙවැනි වචන භාවිතයට ගුරුවරුන් අතර ද ඇත්තේ විශාල තරඟයකි. මෙම තත්වය උසස් පෙල පංතිවල ජයටම සිදුවන අතර සාමාන්‍ය පෙල පංතිවලද සැලකිය යුතු මට්ටමේ සිදුවේ. මෙය තහවුරුකරන හොද නිදසුනක් 2010 ඔක්තෝබර් මස 30 වැනි දින “අද දෙරණ” ප්‍රවෘති විකාශයේ දක්නට ලැබුණි.

එම ප්‍රවෘත්තිය තුලින් එක්තරා ගුරුවරයෙක් පිලිබදව හෙලිදරව්වක් සිදුකලද වර්ථමාන ජනප්‍රිය බොහෝ ගුරුවරුන්ගේ ඉගෙන්වීමේ ශෛල්‍යය එයයි. (එය උසස් පෙල උපකාරක පංතිවලට යන දරුවකුගෙන් දැනගත හැක.) මෙයට මූලික හේතුව (ස්ත්‍රී/පුරැෂ) මිශ්‍ර දරුවන් ඉගෙනුම ලබන පංතිකාමරය තුල මෙවැනි ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න බොහෝ ළමයි දැඩි කැමැත්තක් දක්වයි මේ නිසා ගුරුවරුන් එම පහත් තත්වයට වැටී මුදල් හම්බකිරීමේ නිරත වේ. මේ නිසා හොද ළමා සමාජයක් නිර්මාණය කලයුතු ගුරුවරයා එම අරමුණ පසෙකලා ළමුන් හිතනපන ආකාරයට ඔහු ඉගෙන්වීමට පෙළඹී සිටී. ඒ වැඩි ළමුන් සංඛ්‍යාවක් දිනාගෙන ජනප්‍රියත්වය හා ඉහල ආදායමක් උපයාගැනීම ඔහුගේ එකම අරමුණ වී ඇති බැවිණි. මෙවන් වූ ගුරු සමාජයක් තුලින් දරුවන්ගෙන් දෙමාපියන් අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබාගතහැකි වේවි යයි කිසියම් කෙනෙකු සිතන්නේ නම් එය මුලාවක් නොවේද?. මෙහිදී පාසැල් දරුවන් සම්බන්ධයෙන් සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. ඒ අන් කවරදාකටත් වඩා දරුණු ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට පාසැල් දරුවන් යොමුව සිටීමත් වර්ථමාන ළමා පරපුරේ පරිහානිය මනාව කියාපානකි. කුමක් හෝ විකුණා සල්ලි සොයන තිරිසන් සමාජය මත්ද්‍රව්‍ය හරහා ළමා පරපුර බිලිබෑම කොතරම් අවාසනාවන්ත තත්වයක්ද? මෙහි දී දෙමාපියන්ට ද මේ සම්බන්ධයෙන් වැඩි වගකීමක් ඇත. නිවසින් නිසි ආදරය, සතුට හා අවධානය නොලබන දරුවා එම ආදරය, සතුට මේ මත්ද්‍රව්‍ය තුලින් අපේක්ෂා කරයි. මේ ආකාරයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන් ඉන් අනතුරැව ඕනෑම පහත් ක්‍රියාවකට නොපැකිලෙන බව අප මාධ්‍යයන් හරහා නිරන්තරයෙන් අසන දකින කාරණයකි. මේ ළමා පරපුර බිලිගන්නා මත්ද්‍රව්‍ය විවිධ ස්වරූපයෙන් සමාජය හමුවේ පෙනීසිටින බව සමස්ථ සමාජයම අවබෝධයෙන් පසුවිය යුතුය.

මේ ආකාරයටම සමාජය තුල වල්මත් වූ ළමා මනස සුවපත් කරන්න දෙමාපියන් මෙන්ම සමාජ වගකිවයුත්තන් මීලඟට ඔවුනට හදුන්වා දෙන්නේ ඉහත තත්වයට දෙවැනි නොවූ අංගයන් කිහිපයකි. ඒ,

  • ළමා කාටූන්
  • ළමා නාට්‍ය
  • පරිගනක ක්‍රිඩා
  • අන්තර්ජාල පහසුකම්
  • ජංගම දුරකථන

එදා අප කුඩා කල අපේ දෙමාපියන් අපට කියාදුන්නේ ඉතිහාසගත වීරකථාවක් එසේත් නැත්නම් ආදර්ශමත් උපමා කථාවක්. එදා දරුවන් හා වැඩිහිටියන් අතර හොද සම්බන්ධයක් පැවතුණි. විශේෂයෙන් එම සමාජයේ “ආච්චි” හා “සීයා” ට හිමිව පැවතුණේ සුවිශේෂී තැනකි. කුඩා ළමුන් සමඟ පමණක් නොව එදා සමාජයේ වැඩිවියටපත් දරුවන් සමඟ පවා දෙමාපියන් මෙන්ම ආච්චිලා සීයාලාට පැවතුණේ හොද ගෞරවණීය බැදීමකි. නමුත් ඒ සියල්ල කනපිට හැරී ඇත. අද සීයා “චමින්ද” බවටත් ආච්චි “චමිලා” බවටත් පත්වෙලා. එදා ළමා අපචාර අපයෝජන හිංසන පිලිබදව කථා වුයේ නැත. නමුත් අද වනවිට එය සමාජ පොදු සිදුවීම් බවට පත්වෙලා‍. අද තම සහෝදරයා අතින් සහෝදරිය දූෂණයට ලක්වේ. අද පියා අතින් තම දැරිය දූෂණයට ලක්වේ. සීයා අතින් මිත්තණිය දූෂණයට ලක්වේ. මේ විකෘති මානසිකත්වය සමාජය තුල නිර්මාණය වුයේ කෙසේද?. කෙනෙකුහට සිතෙන්නට පුළුවනි. මේවා අසාමාන්‍ය දුලභ අවස්ථාවන් බව නමුත් සත්‍යය එය නොවේ. දිනපතා මෙවැනි සිදුවීම් ශ්‍රී ලංකාව තුල නිරන්තරයෙන් සිදුවේ. නමුත් ඒවා සමාජයට වසන්ව පවතිනවා යන්න තමා සත්‍යය. මෙවැනි තත්වයන්ට දරුවන් මෙන්ම වැඩිහිටියන් පෙළඹවූ සාධකයන් පිලිබදව සමාජය මීට වඩා අවධානය යොමුකල යුතුවේ.

මේ සියල්ලට මූලික හේතුව දරුවන් කෙරෙහි නිසා අවධානයක් හා ආදරයක් යොමු නොකිරීමයි. වර්ථමාන බොහෝ දෙමාපියන් දරුවන් තමන්ගෙන් අපේක්ෂා කරන ආදරය ලබාදීම තාක්ෂණික මෙවලම්වලට භාරකර ඇත. මේ නිසා එදා අප ඇසූ ආදර්ශමත් වීර කථා පුවත් වෙනුවට අද ළමුන්ට ඉතිරි වී ඇත්තේ රූපවාහිනිය හරහා ලැබෙන මනක්කල්පිත ප්‍රායෝගික නොවන කසිකබල් ටෙලිනාට්‍ය හා සහා ළමා මනසට නොගැලපෙන ළමා මනස විකෘති කරවන කාටූන් චිත්‍රපට පමණි. විශේෂයෙන් කාටූන් චිත්‍රපට ළමයින් වෙනුවෙන් විකාශනය කලද එය හොදින් නිරීක්ෂණය කලේ නම් වැඩිහිටියන්ට පවා එය නොගැලපෙන බව ඔබටම අවබෝධ කරගත හැක. බොහෝ විට මෙම කාටූන් තුල ජීවත්වන චරිත ළමුන් තම ජීවිතයට ආරූඪ කරගනී. උදාහරණ වශයෙන් Sonic, Batman, Superman, Ben, He-man… යනාදිය ඉන් කිහිපයකි. මෙම චරිතවලට ආරූඪවන කුඩා දරුවන් ප්‍රායෝගික නොවන මනක්කල්පිත ලෝකයක ජීවත් වේ.

මේ කාටූන් හා නාට්‍යවලට නොදෙවැනි ළමුන් සදහාම වූ නූතන තාක්ෂණික අංගයක් තමා පරිගනක ක්‍රිඩාව. මෙය කොතරම් ආකර්ශණීයද යයි පවසනවා නම් කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටියන් පවා මෙම ක්ෂේත්‍රයට දැඩි නැඹුරක් දක්වයි. විශේෂයෙන් හමුදා මෙහෙයුම්, නින්ජා සටන්, මුදවාගැනීමේ මෙහෙයුම්… යනාදිය මෙහි සුවි‍ශේෂි වේ. මෙම ක්‍රිඩාවන් කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා විවිධ මට්ටමේ නිරත වුවත් මෙහි වැඩි බලපෑම තිබෙන්නේ කුඩා දරුවන්ටයි. මන්ද මෙම ක්‍රිඩාව පුරාවට ඇත්තේ මිනීමැරීම හා පලිගැනීමන්ය. දිනපතා මෙවැනි ක්‍රිඩාවල නිරන්තරයෙන් නිරතවීම නිසා එම දරුවන් නොදැනම විකෘති මානසිකත්වයන්ට පත්වන බව නූතන වෛද්‍ය විද්‍යාව තහවුරුකර ඇත. මෙවැනි දරුවන් බැලූ බැල්මට යහපත් ලෙස සිටියත් මොවුන් තුල ජීවත්වනනේ රාක්ෂයෙකි. මෙවැනි දරුවන්ගෙන් සමාජ විනාශයන් සිදුවීමට තිබෙන අවස්ථාව බොහෝ සෙයින් අධිකය. මෙවැනි ක්‍රිඩාවන් පිලිබදව මාපිය අවධානය ලහි ලහියේ යොමුවිය යුතු යන්න මාගේ අදහසයි. .

පරිගනක ක්‍රිඩාව මෙන්ම පරිගනක හරහා මෙන්ම ජංගම දුරකථන හරහා සම්බන්ධ වන “අන්තර්ජාල” භාවිතය ළමුන්ට දැඩි විනාශයකට මඟප‍ාදන අංගයකි. මෙම අන්තර්ජාලය පිලිබදව නිසි අවබෝධයක් නොමැති දෙමාපියන් දරුවන් පරිගනක තාක්ෂණයට සමගාමිව ගමන්කරවීම අරමුණින් මෙවැනි දෑ සදහා යොමු කරයි. නමුත් දෙමාපියන්ගේ අනවබෝධය අවස්ථාවක් කරගන්නා ළමුන් මේ අන්තර්ජාලය කුමක් සදහා භාවිතා කරනවාද? එය අවබෝධ කරගැනීමට මා ඔබට ආරාධනා කරනවා යන්න ඔබ ප්‍රදේශයේ තිබෙන Internet cafe වෙත ගිහින් බලන්න ඔබේ දරුවන් එහි කුමක් කරනවාද? එසේම නිවසේ තිබෙන පරිගනකයේ Browsing History පරික්ෂාකර බලන්න ඔබේ දරුවාගේ සැබෑ ස්වරූපය ඔබට එහි දැකබලාගත හැක. මේවා පිලිබදව ඔබ කොතරම් අවධියෙන්ද?

“රටක ජාතියක හෙට දවසේ තීරණාත්මක සාධකය වන දරුවාට අද අප උදාකර දී ඇති ඉරණම දැන් ඔබට පැහැදිලි වනු ඇත. එම ඉරණ ඔවුනට උදාකරදීමට දැන හෝ නොදැන රටේ වගකිව යුතු සියළුදෙනා දායකවී ඇත යන්නත් ඔබට දැන් පැහැදිලිවනු ඇත. එහි දී,

  • දෙමාපියන් (දරුවන් කෙරෙහි නිසි අවබෝධයෙන් හා සැලකිල්ලෙන් කටයුතු නොකිරීම හේතුවෙන්)
  • ගුරුවරුන් (දරුවන්ට නිසි අධ්‍යාපනය ලබදෙනවා වෙනුවට එම ගුරුවෘත්තිය ව්‍යාපාරක් මෙන්ම තම පහත් ආශාවන් ඉටුකිරීමේ අවස්ථාවක් කරගැනීම තුල)
  • වැඩිහිටියන් (දරුවන් සදහා වූ යහපත් පරිසරයක් නිර්මාණය කර නොදීම මෙන්ම ආදර්ශමත් නොවීම හේතුවෙන්)
  • ව්‍යාපාරිකයන් (මුදල හමුවේ ඕනෑම පහත් ක්‍රියාවක් කිරීමටත් ඕනෑම දෙයක් අලෙවි කිරීමට පෙළඹීම හේතුවෙන්)
  • පාලකයින් (රටේ හෙට දවස වෙනුවෙන් සූදානම් කලයුතු දරුවන් නොසලකා හැරීම තුලින් හා ඔවුන්ගේ හැගීම් අවබෝධ කරගැනීමට අසමත්වීම තුල දේශපාලඥයින් මෙම කාරණයේ දී සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇත. මෙයට සරල උදාහර්ණයක් පවසනවා නම් අද බොහෝ රටවල අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමට නොහැකි ආකාරයට ජාතික වැඩපිලිවලවල් සකස් කොට ඇත. නමුත් අප තවම පැලැස්තර දමනවා යන්න ඉහත වීඩියෝ දර්ශනය තුලින් ඔබටම පැහැදිලි වනු ඇත.)

සාර්ථක ළමා පරපුරක හෙට දවස වෙනුවෙන් ක්‍රියාකලයුතු වර්ථමාන සමාජයේ වගකිවයුතු බලධාරීන් හා වැඩිහිටියන් ඒ සදහා අවශ්‍ය පිඹුරුපත් සකසනවා වෙනුවට ඉහත ආකාරයේ වූ පැලැස්තර යෙදීම තුලින් කිසිදු යහපත් ප්‍රථිපලයක් අපේක්ෂා කල නොහැක. එය වර්ථමාන ළමා පරපුර විවිධ ක්‍රියාකාරකම්වලින් ද තහවුරු වෙමින් තිබේ.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ “උසස් සංස්කෘතියක්” යයි කියු පමණින් එම සංස්කෘතිය උසස් නොවේ. එසේම පසුකල ශීෂ්ටාචාරයන් පිලිබදව තවත් වහසිබස් දෙඩවීමෙන් ද පලක් නොවේ. වැදගත් වන්නේ එම සංස්කෘතියට හා ශිෂ්ටාචාරයට වර්ථමානයේ ඇත්වී තිබෙන ඉරණම කුමක්ද? යන්න සහා එහි හෙට දවස කුමක්ද? යන්නයි. මේ දෙකෙහි තීරණාත්මක සාධකය ළමුන් නම් ඒ සදහා ඔවුන් සූදානම් කිරීමට මාපියන් මෙන්ම වැඩිහිටියන් ලෙස අප කුමක් කර තිබෙනවාද? යන්නයි.

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *