මිත්‍යා ප්‍රහාර

0

මෙරට බෞද්ධ ජනයාගේ මනස වෛරයෙන් පුරවා මුස්ලිම් වරුන්ට එරෙහිව කරගෙන යන්නාවූ මිත්‍යා ප්‍රහාර කතා දැන් හෙළිදරව් කළයුතුව ඇත. ධර්ම ද්වීපයේ ඉරණම වෙබ් කාරයා සහතික වශයෙන්ම අබෞද්ධයෙකි නැතිනම් බෞද්ධකම පිටතින් ආලේප කරගත්තු කුමන්ත්‍රණ කාරයෙකි.

අනුරාධපුරයේ මුස්ලිම් ආගමික ස්ථානයක් නීතියෙන් පිටස්තරව බලෙන් අත්පත්කරගනීමේ සිද්ධියක් සිදුවිය. අවාසනාවට මෙයට නායකත්වය දී තිබුනේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසිනි. බෞද්ධ උරුමයන් පාවා නොදෙන ලෙස අපි තරයේම පවසන්නෙමු. නමුත් එම උරුමයන් රැක ගැනීම සඳහා ක්‍රියා කලයුතු ආකාරය මෙයද කියා අප සැවොම විසින් ඇසිය යුතුව ඇත. එය බෞද්ධ උරුමයක් නම් ඒ පිළිබඳව ක්‍රියා කලයුත්තේ නීතියේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමෙන් පමණි. නීතියේ ඉදිරියට යාමට ප්‍රමාණවත් සාධක හා සාක්ෂි නොමැතිනම් සැමගේ පිළිගැනීමට පාත්‍රවී ඇති මහ නාහිමිවරුන්, බෞද්ධ කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ ලේකම් තුමා, විශ්ව විද්‍යාලවල පාලි හා බෞද්ධ අංශයන්හි පීඨාධිපති හිමිවරුන් ආදීන්ගෙන් හා තවත් සුදුසු අයගෙන් සැදුම්ලත් කමිටුවක් මැදිහත්වී මුස්ලිම් ආගමික හා සමාජ නායකයින් සමග සාකච්චා කොට මෙවන් ගැටළු වලට නියත වශයෙන්ම සම්මුති වාදී විසඳුම් කරා අපට ලඟාවිය හැකි වනු ඇත.

අනුරපුර සිද්ධියේදී බෞද්ධ භික්ෂුන් ක්‍රියා කල ආකාරය හා ත්‍රස්තවාදී ක්‍රියා මාර්ගයක් අතර ඇති වෙනස කුමක්ද? බෞද්ධ චීවරය ප්‍රදර්ශනය කරමින් කල මෙම ක්‍රියාවෙන් අප ලෝකයට දෙන්නේ කුමන ආකාරයේ පණිවිඩයක්ද? බුදු දහම තවත් ත්‍රස්තවාදී දහමක් කියා නොවේද අප හඬ නගා කියන්නේ? අප බහුතරය නිසා ඕනෑම දෙයක් අපට කලහැකිය, බලය හා නීතිය අපගේ පමණක් උරුමයක් ලෙස සලකා ක්‍රියා කිරීමට අපට කිසිම බාධාවක් නොමැත, බලධාරීන් හට අපගේ ක්‍රියාවන්ට ඇඟිලි ගැසීමේ කිසිම අයිතියක් නොමැත යන අරාජික පණිවිඩය දෙමින් කල මෙම ක්‍රියාව කිනම් බෞද්ධයාටද අනුමත කල හැකි වන්නේ? නීතිය තමන් අතට ගැනීමට ඉඩහැර බලධාරීන් නිහඬ වුවහොත් සිදු වන්නේ රට අරාජික තත්වයට පත්වී අවනීතිය ක්‍රියාත්මක වීමේ හා රජවීමේ තත්වයක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍යතාවයක් නොමැත. මේ පිළිබඳව මෙම ක්‍රියා කාරකයින් විසින් නිකුත් කරන ලදැයි කියන පත්‍රිකාවක කොටසක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

බෞද්ධ උරුමය මත අටවා ඇති පල්ලි කෝවිල් වහාම ඉවත් කරව්.

අනුරාධපුර රාජධානියෙන් මේ සිංහල බෞද්ධ රට සිංහල දේශය යලි පුබුදුවමු.

අනුරාධපුරයෙන් පටන් ගනිමු.

රජයේ වගකිවයුතු නිලධාරීන්ට මේවා කරන්නට බැරිනම් අපි කරලා පෙන්නන්නම්. ගෑනුන්ට මුදලට යාන වාහන වලට ගැති වෙලා හිටපල්ලා. රජයෙන් පඩි කකා පැත්තකට වෙලා හිටපල්ලා දොඩවන්න එපා. අනුරාධපුර මහමෙව්නා උයනේ ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ ඉදිරිපිට (දකුණු දා ගැබ ළඟ) හඳපළු අඩසඳ ගසා මුස්ලිම් පල්ලිකුඩාරමක් අටවා තිබුණි. එය සිංහල බෞද්ධ ගිහි පැවිදි දේශප්‍රේමීන් එකතුවී කඩා ඉවත් කළා. අනුරාධපුරයේ ප්‍රතිපත්ති ගරුක අපේ ගෞරවනීය ආදරණීය මහා සංඝරත්නයට හා අපේ ආදරණීය දේශප්‍රේමී වැඩිහිටි හා තරුණ තරුණියන්ට සිංහල ජාතියේ උත්තමාචාරය පුද කරමු”

ඉහතින් ඇත්තේ දිග ප්‍රකාශනයක කොටසකි. වේලුපිල්ලේ ප්‍රබාකරන්ගේ හා ඉහත ක්‍රියාකාරකමේ ඇති වෙනස කුමක්ද? ප්‍රබාකරන් ඊලමක් සඳහා අවනීතිය හා අරාජිකත්වය උපයෝගි කරගත් අතර අපගේ ඊනියා දේශප්‍රේමීන් සිංහල බෞද්ධ උරුමයන් සඳහා එයම කරති. සිංහල බෞද්ධ උරුමයන් සඳහා ක්‍රියාකල යුතුව ඇත්තේ ත්‍රස්තවාදීව නොවන බව මෙම බෞද්ධයන් ලෙසින් වෙස්වලාගත් හෝ එසේ නොමැතිනම් අලංකාර බුදු දහම නොදැන කටයුතු කරන අඳ බාලයින් දැන ගත යුතුව ඇත. ජාතිකව හා ජාත්‍යන්තරව සිංහලයාව හා බුදු දහම අපකීර්තියට පත්කරවන මෙවන් නරුම වැඩ කරන උදවිය පිළිබඳව කොතෙක් කල් නම් මේ රටේ යහ චින්තනයෙන් යුත් යුක්ති ගරුක හා නීති ගරුක බෞද්ධයාට නිහඬව සිටිය හැකි වන්නේද? ඔවුන්ගේ සිංහල බෞද්ධකම ආලේප කරගත් ත්‍රස්තවාදයට ලක් කරන්නට කුරගල, දෙවනගල හා මුහුදු විහාරය වැනි තැන් නම් කර ඇති බව ඔවුන්ගේ වෙබ් අඩවි තුලින් දැකිය හැක. කුරගල, දෙවනගල හා මුහුදු විහාරය වැනි තැන් නියත වශයෙන්ම බෞද්ධ උරුමයන් ලෙස සහතික නම් කරුණාකර එම උරුමයන් පාවාදී නිහඬ නොවන්න. නමුත් ඒ පිළිබඳව ක්‍රියා කල යුත්තේ බෞද්ධ ඉගැන්වීම් ආරක්ෂාවන අයුරින් හා රටේ නීතියට එකඟ වන පරිදි පමණි. ත්‍රස්තවාදී ලෙස බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමට මෙරටේ යුක්ති ගරුක හා නීති ගරුක ප්‍රජාවගෙන් කොහෙත්ම අනුමැතියක් නොලැබෙනු ඇත.

සුත්ත පිටකයේ දීඝ නිකායේ පළමු සුත්තයවූ බ්‍රහ්මජාල සුත්තයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“බුදුරජහු: මහණෙනි, පිටස්තර අය මට හෝ ධර්මයට හෝ භික්ෂු සංඝයාට හෝ දොස් කියතොත් නුගුණ කතා කරතොත් තොප ඒ ගැන කෝප විය යුතු නැත. අසතුටු නොවිය යුතුය. සිත අමනාප නොකර ගත යුතුය. අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියන විට නුගුණ කතා කරන විට තොප කෝප වෙතොත් අසතුටු වෙතොත් අමනාප වෙතොත් එයින් අනතුරක්, අලාභයක්, හානියක් වන්නේ තොපටමය. එසේ දොස් කියන විට තොප අමනාපකම් දක්වතොත් ඔවුන් ඒ කියන දෙය ඇත්තද නැත්තද කියා තොපට තේරුම් ගත හැකිද? වටහා ගත හැකිද?

භික්ෂුහු: වටහා ගත නොහැක ස්වාමීනි. කෝපවූ අමනාපවූ නොසතුටු සිතකින් යමක ඇත්ත නැත්ත තේරුම් ගත නොහැකිය.

බුදුරජහු: මහණෙනි, අනුන් මට හෝ දහමට හෝ සඟනට හෝ දොස් කියතොත් එහිදී තොප කෝප නොවී අමනාප නොවී, මේ කාරනා නිසා ඔබ කියන දෙය අසත්‍යයකි, නැති දොස් කීමකි. ඔබ කියන දෝසය අප තුල නැතැයි කරුණු කිව යුතුය. එසේම මහණෙනි, අන් අය මගේ හෝ දහමෙහි හෝ සඟනගේ හෝ ගුණ කියත්නම් එහිදී තොප ඒවායින් උදම් විය යුතුද නොවේ. උඩඟු විය යුතුද නොවේ”

            ඉහත බුද්ධ භාෂිත දේශනය අපට උගන්වන්නේ කුමක්ද? අප මෙම ඉගැන්වීම් අද අනුගමනය කරමින් සිටින්නේද? අපගේ හැසිරීම් හා ක්‍රියාකාරකම් තුලින් සැබෑ බුදු දහම විචිත්‍ර වන්නේද? කරුණා කර සිතා බලන්න. 

සරත් සිංහබාහු

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *