මුල් ඉගැන්වීම්, සමාජ සම්ප්‍රදායන් හා තව්හීද් සංවිධාන

0

මෑතක සිට ශ්‍රී ලාංකීය සමාජය තුල සංවාදයට බඳුන් වන මාතෘකාවන් අතර ‘ආගමික වශයෙන් වූ මුල් ඉගැන්වීම් සහ සම්ප්‍රදායන්’ යන්න ප්‍රධාන එකකි.  එය කොතරම් වැදගත් විෂයක් බවට අද පරිවර්ථනය වී තිබෙනවාද? යන්න පවසනවා නම්, අද මේ කාරණය සම්බන්ධයෙන් වූ පනතක් ගෙන එන තැනට  ශ්‍රී ලංකා රජය කටයුතු කරන තරම් එය කාලීන විෂයක් වී ඇත. වත්මන් දේශපාලනය පිලිබදව කථා නොකරනවා යන ප්‍රතිපත්තිය තුල ‘යහමඟ’ අඩවිය කවදත් කටයුතු කරන නිසා ඉහත පනත සම්බන්ධයෙන් එහි දේශපාලන අරමුණූ හෝ විග්‍රාහයන් මොනවාද? යන්න පිලිබදව මෙහිදී කථා කිරීමට අදහස් නොකරන නමුත් මේ පනත තුලින් දැහැමි සමාජයකට මොනතරම් සාධාර්ණයක් ඉටුවනවාද? මුස්ලීම් සමාජයට මෙවැනි පනත්වලින් සිදුවන බලපෑම කුමක්ද? යන්න පිලිබදව මෙහිදී කෙටි විමසුමක් කරන්න අදහස් කරමි.

එසේම, විශේෂයෙන් මේ විෂය පිලිබදව කථා කිරීමට වඩා සුදුසු පාර්ශවය වන්නේ ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ය. ඒ අප රටේ මෑත කාලයේ ක්‍රියාත්මක වන සමහරක් සිංහල ජාතිවාදී ව්‍යාපාර ශ්‍රී ලාංකීය සම්ප්‍රදායක මුස්ලීම්වරුන් පිලිබදව අනුකම්පා සහගත ලෙස කථා කිරීමත්, ඔවුන්ගේ සම්ප්‍රදායන්ට පරිභාහිරව කටයුතු කරන මුස්ලීම්වරුන් ත්‍රස්ථවාදීන් ලෙස දැඩි විවේචනයට ලක් කිරීමත් හේතුවෙනි. මෙතැනදී වැදගත් කාරණයක් කිවයුතුවද ඇත. එනම්, ශ්‍රී ලාංකීය සුළුතරය වන මුස්ලීම් ප්‍රජාව අතර පවතින මතභේදයක් නිරාකරණය කිරීමට රටේ මහා ජාතිය වන සිංහල ජනයා මැදිහත් වන්නේ සත්භාවයෙන් නම්, එය ශ්‍රී ලාංකීය සුළු ජාතියක් ලෙස මුස්ලීම්වරුන් හට ආඩම්භරයට කාරණයකි. නමුත් මේ කරන මැදිහත්වීම කවර ආකාරයේ මැදිහත්වීමක්ද? යන්න පසුගිය කාලවල මේ රටේ මුස්ලීම් ප්‍රජාවට එරෙහිව දියත් වූ ව්‍යාපාර හා ප්‍රකාශ තුලින් මනාව අවබෝධ කරගැනීම අපහසු නොවේ. මෙම තත්වය මීට ඉහත ද ‘යහමඟ‘ අඩවිය තුල අවස්ථා ගණනාවක දී විවිධ පැති ඔස්සේ සාකච්චා කොට ඇත. එහි තවත් පියවරක් ලෙස ඉහතින් සදහන් සිංහල ජාතිවාදී සංවිධාන අතර ‘බොදු බල සේනා’ නම් සංවිධානය 2013/08/25 ඉරිදා දින පැවැත් වූ ප්‍රසිද්ධ ජන හමුවක කල ප්‍රකාශයන් අතුරින් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් වශයෙන් අපට වැදගත් කාරණා කිහිපයක් පදනම් කරගෙන කෙටි විග්‍රාහයක් කරන්න අදහස් කරමි.

එය මෙසේය…

  • ‘හලාල් සහතිකය රජය තවම පූර්ණ වශයෙන් ඉවත් කරගෙන නැහැ’
  • ‘සම්ප්‍රදායක මුස්ලීම්වරුන්ට තව්හීද්වාදීන්ගෙන් හිංසා සිදුවෙනවා’
  • ‘තව්හීද් සංවිධාන ගැන පරිස්සම් වන්න’

ඉහතින් මා ඉදිරිපත් කර ඇත්තේ මා පෙර සදහන් ජාතිවාදී සංවිධානය ප්‍රසිද්ධ වේදිකාවල නිතර මතු කරණ කාරණා කිහිපයකි. ඒ අතුරින් ‘හලාල් විෂය‘ පිලිබදව මෙම අඩවිය තුල දීර්ඝ ලෙස මීට ඉහත සාකච්චා කොට ඇති නිසා මෙතැනදී ඒ පිලිබදව කථා කිරීමට අදහස් නොකරමි. නමුත් අනිකුත් කාරණයන් පිලිබදව තරමක් ගැඹුරින් විමසා බැලීම අත්‍යඅවශ්‍යය. විශේෂයෙන් ‘බොදු බල සේනා’ ජාතිවාදී සංවිධානය මුස්ලීම් සමාජයට එරෙහිව ගෙනයන ව්‍යාපාරය තුල ‘තව්හීද්’ නම් වචනයක් නිතර ප්‍රකාශ කරමින් එම වදනට ඉතා බියකරු අරුථක් ආරෑඪ කරන්න උත්සාහ දරයි. නමුත් මෙම ‘තව්හීද්’ නම් විෂය පිලිබදව ඔවුන් කොතරම් අනවබෝධයෙන් කථා කරනවාද? යන්න මෙම ලිපිය තුලින් ඉදිරියට පැහැදිලි වනු ඇත. ‘තව්හීද්’ යන්න ඉස්ලාම් දහම තුල ගැඹුරු විෂයක් මෙන්ම දහමේ අත්තිවාරම බඳු විෂයකි. එය දීර්ඝ ලෙස සාකච්චා කලයුතු මාතෘකාවක් වුවත් මෙම ලිපියට අදාලව ඒ පිලිබදව විග්‍රාහයක් කරන්නේ නම්,

‘තව්හීද්’ යනු…

අරාබි භාෂාවෙන් ‘වහ්ද්’ (Wahadha) යන වචනයට ‘එකක්’, ‘ඒකක’ යන අරුථ හිමිවේ. මෙය පදනම් කරගෙන ගොඩනැ‍‍‍ඟෙන ක්‍රියා පදය ‘වහ්හද්’ (wahhadha) යන්නයි. එහි අරුථ ‘ඒකීය කළා‍’ යන්නයි. එහි වර්ථමාන කාල ක්‍රියාපදය වන්නේ ‘යුවහ්හිදු’ (yuwahhidhu) යන්නයි. එහි ‍අරුථ ‘ඒකීය කරනවා’ යන්නයි (ඉංග්‍රීසියෙන් unite, unify). මෙම ‘වහ්හද්’ (wahhadha) යන අතීත කාල ක්‍රියා පදයෙන් බිහිවෙන නාම පදය ‘තව්හීද්’ යන්නයි. එය අරාබි ‘සර්ෆ්’ (පද ව්‍යාකරණ) ක්‍රමයට අනුව සර්ෆ් ක්‍රමයේ තුන් වන අවස්ථාවයි. (එනම්, වහ්හද – යුවහ්හිදු – තව්හීද්) මේ අනුව මෙම ‘තව්හීද්’ යන පදයේ අර්ථය ඒකීයභාවය – ඒකකත්වය යන්නයි. උදාහර්ණයකට ‘මේ රට ඒකීය රටක් කලයුතුයි’ යන ප්‍රකාශය ‘මේ රට තව්හීද් රටක් කලයුතුයි’ යයි පැවසීමෙහි කිසිදු වරදක් නැත. එයින් මේ ර‍ට ඉස්ලාමීය රටක් හෝ ත්‍රස්ථවාදී රටක් ලෙස පරිවර්ථනය කලයුතු යන්න අදහස් නොවේ. එසේනම් ‘තව්හීද්’ යන වචනාර්ථය සැලකූවිට එහි කිසිදු ආකාරයක භයංකාර අදහසක් ඉදිරිපත් නොවන එපමණක් නොව යහපත් අදහසක් ගෙනදෙන වචනයකි. එය කෙසේ වෙතත් ඔබට ගැටළුවක්ද තවම තිබෙනු ඇත. ඒ, මුස්ලීම්වරුන්ගෙන් කොටසක් මෙම ‘තව්හීද්’ නම් වදන නිතර භාවිතා කරන්නේ ඇයිද? යන්නයි.

‘තව්හීද්’ යන්න ඉස්ලාමීය පරිභාෂිතයට අනුව  ඒකක දෙවි වන අල්ලාහ්ගේ ඒකීය භාවය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම යනුවෙන් අරුත් වේ. අල්ලාහ් සතු සියලු ගුණාංග ඔහු පමණක් සතු යැයි  පිළිගෙන එම ගුණාංග වලින්  ඔහුව ඒකක කිරීම අල්ලාහ්ගේ ඒකීය භාවය  පිළිගැනීම හෙවත් තව්හීදය පිළිගැනීම ලෙස හදුන්වනු ලැබේ. ඉස්ලාම් දහම ඒකදේව සංකල්පය මත ගොඩනැඟුණු දහමක් යන්න අවස්ථා ගණනාවකදීම මෙම අඩවිය තුල විග්‍රාහ කොට ඇත. එය ‘…සමාජයේ බොහෝ ආගම් දෙවියන් ගණනාවක් පිලිබදව කථා කරනවා සේ ඉස්ලාම් දහම එකම දෙවියෙකු ගැන කථා කරනවා…’ යනුවෙන් සරලව අවබෝධ කර ගතයුතු සම්ප්‍රදායක විශ්වාසයක් නම් නොවේ. එය තරමක් දුරකට හෝ අවබෝධ කරගැනීම පිණිස ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ඔබේ විමසුමට ගෙන එන්නේ නම්,

ඔහු ඒකීය යයි කියව. ඔහු සදාකාලිකය. ඔහුගේ බලය අසීමිතය. ඔහු ජාතක නොකරන්නේය. ඔහුද ජාතක කරනු නොලැබීය. ඔහුට සමාන වන කිසිවක් නැත.

ශුද්ධ වු කුර්ආනය 112:1 සිට 4 දක්වා

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුලින් ඉස්ලාම් පවසන දෙවියන් වර්ථමාන සමාජය තුල පිලිගැනෙන, විශ්වාස කරන දෙවියන්ට වඩා වෙනස් ආකාරයේ විශ්වාසයක් යන්න ඔබට තරමක් දුරකට හෝ පැහැදිලි වියයුතුය. (මෙයට අමතරව මෙම අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කල ‘ඉස්ලාම් පවසන දේව විශ්වාසය‘ යන ලිපිය තුලින් මෙන්ම ‘දේව විශ්වාසය‘ යටතේ පෙලගසන ලද ලිපි ගොනු තුලින් ද මේ පිලිබදව වැඩි යමක් දැන ගත හැක.)

තවත් සරලව මෙය පැහැදිලි කරනවා නම්, ඉස්ලාම් පවසන දේව විශ්වාසය වත්මන් සමාජය තුල පවතින සම්ප්‍රදායක දේව විශ්වාසයට වඩා ඉදිරියට ගිය එකකි. එය ‘අල්ලාහ් යනු ‘එකම දෙවියා’ යයි විශ්වාස කිරීම පමණක් ප්‍රමාණවත්’ යයි පවසන දේව විශ්වාසයක් නොවේ. ඔහු ‘සර්වබලධාරී’ මෙන්ම අතීතය, වර්ථමානය හා අනාගතය පිලිබදව පූර්ණ ඥානවන්තයා යනුවෙන් ද විශ්වාස කලයුතුය. එපමණක් නොව ඔහු සතු ගුණාංග තවත් කිසිවෙකුට හෝ කිසිවකට ආරෑඪ කිරීම ද කිසිවිටෙක නොකලයුතුය. උදාහර්ණයක් ලෙස අල්ලාහ් (දෙවි) මෙන් කිසිවෙකු සවන්දෙනවා, දකිනවා, වටහාගන්නවා… යනාදී ලෙස මුස්ලීම්වරයෙකු විශ්වාස කලේනම් එය දෙවියන්ගේ ‘ඒකීයභාවය’ නොඑසේ නම් ‘තව්හීදය’ ප්‍රතික්ෂේප කිරීමකි. මෙය ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව ‘ශිර්ක්’ නම් දහමින් බැහැර වන තරම් මහා පාපයකි. මෙයද තරමක් දුරකට හෝ අවබෝධ කරගැනීම පිණිස ඉස්ලාමීය මූලාශ්‍රයෙන් එවැනි ඉගෙන්වීමන් බිඳක් ගෙන එන්නේ නම්,

අල්ලාහ් (දෙවි), තමාට (කිසිවක් හෝ කිසිවෙක්) සමාන (යැයි උපකල්පනය) කිරීමට සමාව නොදෙන්නේය.ඒ හැර (පාපවලින් අනිකුත්) දෑ සඳහා තමා කැමති අය හට සමාව දෙන දෙන්නේය. අල්ලාහ් (දෙවි)ට (කිසිවක් හෝ කිසිවෙක්) සමාන (යැයි උපකල්පනය) කරන්නා මහා පාපයක් කලේය.

ශුද්ධ වූ කුර්ආන්  4:48

අල්ලාහ් (දෙවි), තමාට (කිසිවක් හෝ කිසිවෙක්) සමාන (යැයි උපකල්පනය) කරන්නන් හට අල්ලාහ් ස්වර්ගය තහනම් කළේය. ඔවුන්ගේ නවාතැන නිරය යි. අපරාධකරුවන්ට කිසිඳු සහායකයෙක් නොමැත.

අල්කුර්ආන්  5:72

නබි(සල්) තුමාණන් මෙසේ ප‍්‍රකාශ කලේය. ‘යමෙක් අල්ලාහ් (දෙවි)ට කිසිවක් සමාන (යැයි උපකල්පනය) නොකර ඔහුව මුණගැසෙන්නේ නම් ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත. යමෙක් (ඔහුට කිසිවක් හෝ කිසිවෙක්) සමාන (යැයි උපකල්පනය) කරමින් ඔහුව මුණගැසෙන්නේ නම් ඔවු නිරයට පිවිසෙනු ඇත.

මූලාශ්‍ර ග‍්‍රන්ථය – බුහාරී

ඉහත ඉගෙන්වීමන්ට අනුව ‘තව්හීද්’ නම් සංකල්පයෙන් බැහැරව මුස්ලීම්වරයෙකු හට දැහැමි දිවිය සකසා ගත නොහැක යන්න දැන් ඔබට අවබෝධ වියයුතුය. තවත් සරලව පවසනවා නම් කිසිවකු ඉස්ලාම් දහම පිලිගන්නාවා යන්න ‘තව්හීදය‘ පිලිගන්නවා යන්නයි. ඒ අනුව ‘තව්හීද්‘ යනු මා පෙර සදහන් කලාසේ මුස්ලීම්වරයෙකුගේ ආගමික අත්තිවාරමයි. ඒ අනුව අද අප රටේ සමහරක් ජාතිවාදී කල්ලීන් කිඹූල් කඳුලු සලන කථා කරන මනක්කල්පිත ‘සම්ප්‍රදායක මුස්ලීම්වරුන්‘ වුවද තව්හීදය පිලිගත්තා නම් පමණයි ඔවුන් සැබෑ මුස්ලීම්වරුන් විය හැක්කේ. මෙම කාරණය මූලික වශයෙන් ඔබේ බුද්ධිමත් අවදානයට තබමින් ඉහතින් සදහන් ජාතිවාදී පිරිස් චෝදනා නඟන ‘තව්හීද් සංවිධාන‘ පිලිබදව ද කෙටි පැහැදිලි කිරීමක් කලයුතුව ඇත.

මෙහිදී අතීතයේ දී ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය සිදුවූ ආකාරය තරමක් දුරකට අවබෝධ කරගැනීම වැදගත්ය. ඉස්ලාම් දහම ඈත අතීතයේ පටන් ශ්‍රී ලංකාව තුල පැවතුනත් එය නිර්මල ඉස්ලාම් දහම නොවුවා යන්න ඉස්ලාමීය විද්වතුන් සියළුදෙනා අවිවාදයෙන් පිලිගන්නා සත්‍යයකි. වෙළදාම් කටයුතුවල නිරත වූ විදේශිකයන් තුලන් දහම ප්‍රකාශ වීමත්, දමිල භාෂාව කථා කරන ඉන්දීය සම්ප්‍රදායන් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් ඉදිරියේ දහම ලෙස ප්‍රකාශ වීමත්, ඉස්ලාමීය මූලාශ්‍රයන් පහසුවෙන් අධ්‍යනය කිරීමට තරම් එදා ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට අවස්ථාවන් පහසුකම් නොවීමත් මෙයට හේතුවයි. මෙවන් පසුබිමක ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් දැන හෝ නොදැන ඉන්දියාවේ හින්දු දහමේ හා ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ සම්ප්‍රදායන් ‘ඉස්ලාම්’ ‍ලෙස මුස්ලීම් සමාජය තුල ක්‍රියාවට නැංවුණි. මෙම තත්වය ලොව ඉස්ලාම් දහමට පමණක් උදා වූ හෝ බලපෑ කාරණයක් නොවේ. ලොව පුරා සෑම දහමක්ම මුහුණ පෑ අවාසනාවන්ත තත්වයකි. අප රටේ අති බහුතරය පිලිපදින බුදු දහමට පවා ඉන්දියාවේ හින්දු දහමේ බලපෑම ඇති වුවා යන්නත් හින්දු දහමේ විශ්වාසයන් බුදුදහම නමින් බෞද්ධ සමාජය තුල ගොඩනැඟුණා යන්නත් විද්වත් බෞද්ධ ප්‍රජාව අදත් අවිවාදයෙන් පිලිගන්නා සත්‍යයකි. මෙවන් සමාජ පසුබිමක මුස්ලීම්වරුන් පිලිපදින සම්පදායක දහම තුල ඉස්ලාමීය ඉගෙන්වීමන්ට පරස්පර බොහෝ දෑ පවතින බව ආගමික විද්වතුන්ට පසුකාලීනව අවබෝධ වන්නට විය. විශේෂයෙන් එහි මුස්ලීම්වරයෙකුගේ දේව විශ්වාසයේ අත්තිවාරම බඳු වූ ‘තව්හීද්‘ය ප්‍රබල අභියෝගයන්ට ලක්ව ඇති ආකාරය ඔවුනට පෙනුණි. නිදසුන් කිහිපයක් පවසනවා නම්,

  • දෙවියන් වෙනුවට ගස් ගල්වලට භාරහාර කිරීම,
  • අපි වැනිම මිනිසුන් වූ ආගමික ශාස්තෘවරුන් දේවත්වයෙන් සැලකීම,
  • මියගිය පුද්ගලයන්ගෙන් ප්‍රාර්ථනා කිරීම හා ඔවුන්ගෙන් භාරහාර පැවැත්වීම,
  • ආගම නමින් ගොතන ලද ප්‍රබන්දයන් දහමේ මූලාශ්‍රයන් ලෙස ගෙන ඒවා පූජ්‍යත්වයෙන් සැලකීම,
  • දෙවියන් වෙත ලඟාවීමට විවිධ තැරව්කරුවන් යොදාගැනීම,

යනාදීය එවැනි කිහිපයකි. මෙයට මෙම අඩවියෙන්ම නිදසුනක් ගෙනහැර දක්වන්නේ නම් ‘ගලේබණ්ඩාර සොහොන් වන්දනය නම් සිදුවීම ඉදිරිපත් කල හැක. මේ ආකාරයට විශේෂයෙන් ඉන්දියාව හා ශ්‍රී ලාංකීව තුල පැවතී මෙම තත්වය නැවත යථා තත්වයට පත්කිරීම සදහා, නොඑසේ නම් නිර්මල ඉස්ලාම් දහම විශේෂයෙන් ‘තව්හීදය‘ මුස්ලීම් සමාජය තුල නැවත ස්ථාපනය කිරීම සදහා විවිධ ව්‍යාපාරයන් මුස්ලීම් සමාජය තුල දියත් වුණි. එහි ප්‍රතිපලයක් ලෙස පසුගිය දශක 04 තුල ‘තව්හීදය‘ නොඑසේ නම් ‘ඒකදේව සංකල්පය‘ පිලිබදව පුළුල් ප්‍රචාරයන් ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු ලොවපුරා සියළු රටවල්වල සිදු කෙරුණි. මෙම මෙහෙවර තුල කටයුතු කල සංවිධාන ගණනාවක් ද ලොව තුල බිහිවූ අතර ඒවා ‘තව්හීද්‘ සංවිධාන ලෙස පොදුවේ හැදින්වුණි.

මුස්ලීම් සමාජයට නිර්මල ඉස්ලාම් දහම අවබෝධ කරදීමට ඇරඹූ මෙම ව්‍යාපාරයන් පසුකාලීන විවිධ සංවිධාන ලෙස බෙදීගිය අතර ඒවා තුල ඔවුන්ගේ අරමුණූ ද විවිධ විය. මෙම සංවිධානවලින් බොහෝමයක් තම මෙහෙවර පටු අරමුණුවලට සීමාකර ගැනීමත්, තම මුඛ්‍ය අරමුණුවලින් බැහැරව කටයුතු කිරීමත් හේතුවෙන් වර්ථමාන එම සංවිධානවලින් බොහෝමයක් අද මුස්ලීම් සමාජයට උදාකර දී ඇත්තේ ව්‍යාකූල තත්වයන් පමණි. සමස්ථ මුස්ලීම් සමාජයටම ආශිර්වාදයක් වියයුතු මෙවන් ව්‍යාපාර අද ඉහතින් සදහන් ආකාරයේ ජාතිවාදී පිරිසගේ ව්‍යාපාරයන් සාර්ථක කරගැනීමට ආශිර්වාදයක් වී ඇත. විශේෂයෙන් ‘තව්හීද්‘ මෙහෙවර ඉටුකල සංවිධාන කාලයත් සමඟ තම සංවිධානයට ‘තව්හීද් සංවිධාන‘ යන නිළ නාමය ආරෑඪ කරගෙන ශුද්ධ වූ අරමුණුවලින් බැහැරව ඔළුගෙඩි රුස් කිරීමේ ව්‍යාපාරවල නියලී මුස්ලීම් සමාජය භේදබින්න කරමින් තම පටු අරමුණූවල කටයුතු කරමින් ඇත. කෙසේ නමුත් මේ කිසිදු සංවිධානයකින් ත්‍රස්ථවාදයක් හෝ මුස්ලීම් ප්‍රජාවට හිංසනයක් සිදු වෙනවා හෝ සිදු කරනවා යන්න සැලසුම් සහගත ලෙස ඉදිරිපත් කරන කුමණ්ත්‍රනකාරී මුසාවාදයක් මිස සත්‍යයක් නොවන බව නම් මෙහි පැහැදිලිවම සදහන් කලයුතුය. මෙතැනදී අවබෝධ කර ගතයුතු යථාර්ථයක් ද ඇත. එනම්, අතීතයේ පටන් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් පාරම්පරිකව කරගෙන ආ සම්ප්‍රදායන් හා ‘තව්හීද්’ ප්‍රචාර ව්‍යාපාරය තුල අනාවර්ණය වූ නිර්මල ඉස්ලාම් දහම අතර යම් යම් නොගැලපීමන් පැවතීම හේතුවෙන් එවැනි අවස්ථාවල උණූසුම් සංවාදයන් හා මත ගැටුමන් ඇති වුවා යන්නත් අදටත් ඇතිවනවා යන්නත් සැබෑවකි. ඒ මුස්ලීම් සමාජයට නිර්මල ඉස්ලාම් දහම පිලිබදව පැවතී ආගමික අනවබෝධය නිසා ඇති වූ තත්වයන් මිස ජාතිවාදී සේනාවන් දකිනවා සේ එය ත්‍රස්ථ ව්‍යාපාරයක් නොවේ. නමුත් කවදත් දිය බිංදුව තුල කිඹුලන් දකින ඉහතින් සදහන් ජාතිවාදී සේනාව මෙම තත්වය සම්ප්‍රදායක මුස්ලීම්වරුන්ට හිංසා පීඩා කරනවා යනුවෙන් ප්‍රචාරය කිරීම අනවබෝධයකට වඩා තම අන්තවාදී පටු අරමුණු සාධාර්ණීකරනය කිරීමට උත්සාහ කිරීමක් යන්න පැහැදිලිව බුද්ධිමත් සමාජය අවබෝධ කර ගතයුතුය.

මෙතැනදී මුස්ලීම් සමාජයේ අවදානයට ද කිවයුතු කාරණයක් ඇත. එනම්, ඉහත ජාතිවාදී සංවිධාන සමඟ අත්වැල් බැදගෙන මුස්ලීම්වරුන් පාවාදීමේ ව්‍යාපාරයේ නියලී සිටින මුස්ලීම්වරුන්ගේ වෙස්ගත් (මුස්ලීම් සමාජය හමුවේ තමා මුස්ලීම් යයි පවසමින් මුස්ලීම්වරුන්ට හා ඉස්ලාමයට එදිරිවාදීකම් කරන) ‘මුනාෆික්වරුන්’ නම් පිරිසක් ද සිටින බව අවබෝධ කරගත යුතුය. වර්ථමානයේ අප රට තුල ක්‍රියාත්මක සිංහල ජාතිවාදී ව්‍යාපරවලට ඔවුන් විශාල ශක්තියක් ලබාදෙනවා යන්න ප්‍රසිද්ධ රහසකි. එය ඉහතින් සදහන් ජාතිවාදී සංවිධාන ම විවිධ අවස්ථාවල ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීම හොදම සාක්ෂියයි. කෙසේ වෙතත් මුස්ලීම් ප්‍රජාව දහමේ සීමාවන් හොදින් අවබෝධ කරගෙන දහම් විනයක් තුල හිඳ බුද්ධීයෙන් කටයුතු කරන්නේ නම් මෙවැනි පටු අරමුණූ දිනාගැනීමට වලිකන ජාතිවාදීන්ට හෝ මුස්ලීම්වරුන් පාවාදී ඒ තුලින් වරප්‍රසාද වරදාන ලබාගෙන වැජඹෙන්නට හදන මුනාෆික්වරුන්ට බිය වියයුතු නැත. මන්ද ඉස්ලාමීය ඉතිහාසය පුරාවට සෑම කලකම ඉස්ලාම් විරෝධීන්ගේ මෙන්ම මුනාෆික්වරුන්ගේ බලපෑම මෙම දහමට පැවතුණි. නමුත් ඒ කිසිවකින් ඉස්ලාම් දහමේ සාර්ථක ගමන් මඟ වෙනස් කිරීමට කිසිවකුටත් හැකි වී නැත. විශේෂයෙන් මුහම්මද් (සල්) තුමාණන් ජීවමානව සිටී වකවානුවේ පවා මුනාෆික්වරුන්ගේ බලපෑම ඉස්ලාම් දහමට පැවතුණි. අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් ජීවමානව සිටිය දී එය එසේනම් අද එවැනි තත්වයන් ඇති නොවේ යයි කොහොමද මුස්ලීම්වරුන් වන අප විශ්වාස කරන්නේ. මේ දහමට හා මුස්ලීම් සමාජයට මුනාෆික්වරුන්ගේ බලපෑම අඛන්ඩව පැවතිය හැකි නිසාදෝ අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ 63 පරිච්චේදය වන ‘මුනාෆිකූන්’ නම් පරිච්චේදය තුලින් පවා අධික ලෙස මේ මුනාෆික්වරුන් ගැන මුස්ලීම් සමාජයට අවවාද අනුශාසනා කලේ යන්න මුස්ලීම් සමාජය බුද්ධිමත්ව විමසා බැලිය යුතුය.

කෙසේ වෙතත් මෙතෙක් ඉදිරිපත් කල කරුණු තුලින් ශ්‍රී ලංකාව තුල ආරම්භයේ ඉස්ලාම් දහම ව්‍යාප්ත වූ ආකාරයත්, වර්ථමාන ‘තව්හීද් සංවිධානවල’ විකාශනය සිදුවූ ආකාරයත්, මේ රටේ මුස්ලීම්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක මුනාෆික්වරුන් පිලිබදවත් ඔබට කිසියම් අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. එපමණක් නොව සම්ප්‍රදායක මුස්ලීම්වරුන්ගේ අයිතීන් වෙනුවෙන් කිඹුල් කඳුළු සලන ජාතිවාදී සංවිධානවල අරමුණූ මොනවාද? යන්නත් දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. අවසාන වශයෙන් මෙම ලිපිය ආරම්භයේ සදහන් කල පනත පිලිබදව කෙටියෙන් හෝ කිවයුතු කාරණා කිහිපයක් ද ඇත. එනම්,

කිසියම් සමාජයක ආගමික සම්ප්‍රදායන් හා මුල් ඉගෙන්වීමන් යන දෙකම එකවිට ආරක්ෂා කරනවා යන්න කිසිසේත් ප්‍රායෝගික නොවන කාරණයකි. හින්දු දහම සැලකුවත්, බුදුදුහම සැලකුවක්, කිතුණු දහම සැලකුවත්, ඉස්ලාම් දහම සැලකුවත්… එම ආගම්වල මුල් ඉගෙන්වීමන් හි දක්නට නොලැබෙන බොහෝ ඇදහිලි විශ්වාස සම්ප්‍රදායන් ඒ ඒ සමාජයන් තුල දක්නට ඇත. මේවා පුළුල් සංවාදයන් හා වාදවිවාද තුලින් විසදා ගතයුතු කාරණයන් මිස නීති පනත් තුලින් විසදා ගතහැකි කාරණයන් නොවේ. විශේෂයෙන් ආගමික මුල් ඉගෙන්වීමන්ට වැඩි අවස්ථාවක් ලබාදීමෙන් හා ඒ පිලිබදව පුළුල් දැන්වත් කිරීමන් හා ප්‍රචාරයන් සිදු කිරීම තුලින් සමාජ සම්ප්‍රදාය දහමේ මුල් ඉගෙන්වීමට අනුකූලව සකසා ගතහැක. එසේනම් ඊට අවශ්‍ය භූමිකාව රට තුල නිර්මාණය කරනවා මිස මෙවැනි පනත් තුලින් දිනාගත හැකි කිසිවක් නැත. එපමණක් නොව ආගම දහම නීති පනත් තුලින් බැද දැමීම සාධාර්ණ හා බුද්ධිමක් ක්‍රියාවක් ද නොවේ. නිදසුනක් ලෙස මීට වසර 2500 කට පෙර මෙවැනි නීති දඹදිව ක්‍රියාත්මක වුවා නම්, එහි බුදු දහම ප්‍රකාශ නොවන්නට තිබුණි. එසේම මීට වසර 2000 කට පෙර මෙවැනි නීතියක් ලොව ක්‍රියාත්මක වුවානම් කිතුණු දහම ප්‍රකාශ නොවන්නට තිබුණි. ඉස්ලාම්, හින්දු… යනාදී දහමටත් එය එසේමය. එසේනම් මේ නීති පනත් තුලින් දිනා දෙන්නට හදන්නේ කුමක්ද? යන්න රටේ ජනයා බුද්ධිමත්ව විමසා බැලිය යුතුය.

අවසානම වශයෙන් සියල්ල සාරාංශ කොට කෙටියෙන් පවසන්නට ඇත්තේ, ආගමික නිදහස යන්න රටේ සියළු පුරවැසියන්ට එක සමානව තිබෙන අයිතියකි. එය කිසිවකුට හෝ සංවිධානයකට බලෙන් පාලනය කලහැකි එකක් නොවේ. එසේම ආගමික මූල ඉගෙන්වීමන් තුලින් දහමේ සීමාවන් අව‍බෝධ කරගෙන ඒ තුලින් විමුක්තිය කරා යන මාර්ගය සකසා ගන්නවා මිස සමාජ සම්ප්‍රදායන් තුලින් දිනාගත හැකි කිසිවක් නොවේ. එපමණක් නොව ‘තව්හීද්’, ‘බොදු’ යයි නම් තබාගත් පමණින් එවැනි සංවිධානයන් සියල්ල පිරිසිදු දහමේ උරුමක්කාරයන් යන්න අදහස් නොවේ. ඔවුන් එහි ආගමික විනයක් තුල කොතරම් හොදින් කටයුතු කරනවාද? යන්න පමණයි එහි තීරණාත්මක සාධකය වන්නේ. විශේෂයෙන් මනුෂ්‍යත්වය නොසලකා හරින මනුෂ්‍යත්වය වෙනුවට වෛර, වියරුව, ඊරෂ්‍යාව… යනාදී දුර්ගුණාංග කිසිදු දහමක් ලෝකයාට දේශනා කොට නැත යන්න මාගේ දැඩි විශ්වාසයයි. ඒ අනුව එවැනි ව්‍යාපරයන් හි කවුරුන් හෝ නියලෙන්නේ නම් එයින් ඔවුන්ගේ අවලංගුභාවය පිලිඹිබු කරනවා මිස නිර්මල දහමේ නියමුවන් යන්න පිලිඹිබු නොවේ.

 

අබූ අර්ශද්

 

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp