මුස්ලිම්වරුනි!, ඔබ කොයිබටද‍‍? – සිංහාවලෝකනය

0

වර්ථමානයේ රට තුල උත්ගත වී තිබෙන ගංවතුරු හා නායයෑම් තත්වයත්, ඒ සමඟම දිනෙන් දින උණුසුම් වෙමින් තිබෙන පුංචි ඡන්දයත් රටම බලාපොරොත්තූ පොදි බැදගෙන බලා සිටින ICC ක්‍රිකට් මැච් එකත් සමඟ නැවත වරක් මුස්ලීම් ප්‍රජාවගේ අවධානයට යොමු කලයුතු මාතෘකාවක් ලෙස මෙය සදහන් කල හැක. ඒ ජාතිවාද ආගම්වාද සියල්ල පසෙකලා එකම ජාතියක් ලෙස එක් වී ගංවතුරින් හා නායයෑම් වලින් අවතැන් වූ පිරිසට උපකාර කලයුතු මොහොතක්ව පැවතීමත්. ජාතිවාදය හා ආගම්වාදය වපුරමින් ඡන්දකතිරය බිලිබාගන්නා වකවානුවක් දිනෙන් දින උදාවෙමින් පැවතීමත්. එසේම සමහරක් අන්ධ භක්තිකයන් ක්‍රිඩාවට ආගමික මුහුණුවර දී “පකිස්තානය මුස්ලීම් ඒ නිසා ඔවුන් අපේ එමනිසා අපේ සහයෝගය පකිස්තානයට” යන විකෘති මානසිකත්වයෙන් පෙලෙන පිරිස් එලිබහින වකවානුවක් උදාවෙමින් පැවතීමත් නිසා මෙය කාලීන මාතෘකාවක් බවට පත්ව ඇත. මේ මොහොතේ මුස්ලීම් ප්‍රජාවගේ අවධානයට විශේෂ අවස්ථාවක් සිහිකරන්නට කැමැත්තෙමි. එනම් මුහම්මද් (සල්) තුමාණන් තමා උපන්බිමෙන් ඉස්ලාම් විරෝධීන් නෙරපූ මොහොතේ එහි මායිමට පැමිණි මුහම්මද් (සල්) තුමාණන් එම උපන් බිම මක්කාව සමඟ දොඩමළු වූයේ කුඩා දරුවෙකු සමඟ කථා කරනවාසේය. එය තමා උපන් බිමට තිබූ ආදරය හා ගෞරවය පිළිඹිබු කිරීමකි. එසේ නම් එතුමාණන්ව එකම ආදර්ශය කරගත් අපට එම ආදර්ශයට වඩා උතුම් ආදර්ශයක් පැවතිය නොහැක. නමුත් ක්‍රිඩාව යන්න ආගමික හෝ ජාතික මුහුණුවරක් ලබානොදිය යුතු කාරණයක් බවද මෙහි දී අවධාරනය කමින් මාතෘකාවට යොමු වෙමි.

ශ්‍රී ලාංකීය ජන සමාජයන් අතුරින් මුස්ලීම් ප්‍රජාවට අතීතයේ හිමිවූයේ සුවිශේෂි ස්ථානයකි. එවන් වූ සාඩම්බර අතීතයකට උරුම කම් කියූ ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව වර්ථමානයේ මුහුණපාමින් සිටින පසුබෑම හා පරිහානිය කොතරම් ද යයි පවසනවා නම්, ශ්‍රී ලාංකීය අප එක් පසකින් විවිධ ජන කොට්ඨාශවල හිංසනයන්ට, අපවාදවලට, අතපෙවීමන්ට, අසාධාරණයන්ට හා අපහසයන්ට ලක්වෙමින් සිටින අතර තවත් පසකින් එනම් ආර්ථිකමය, දේශපාලනමය, සමාජීය, හා සංස්කෘතිකමය වශයෙන් ද ප්‍රබල පසුබෑමකට ලක්වෙමින් සිටිමු. මෙම වර්ථමාන තත්වය වගකීමක් ඇති කිසිදු මුස්ලීම්වරයෙකු හට නොසලකා බැහැර කල නොහැක. මෙවන් වූ පසුබෑමක් කරා සමාජය යොමු වී ඇති මේ මොහොතේ ‍මෙම තත්වය පිලිබදව පසු විපරමක් සිදු කිරීම ලාංකීය මුස්ලීම් ප්‍රජාවගේ කාලීන වගකීමකි. මෙම ‍යහමඟ වෙබ් අඩවිය මගින් බොහෝ විට සමාජයේ පොදු ගැටඑ හා ඒ පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කථා කල ද ඉහත තත්වය පිලිබදව ද අපට කිසියම් වගකීමක් ඇති බව අවබෝධ කරගෙන ඇත.

ඉහත අවාසනාවන්ත තත්වය ලාංකීය සමාජය තුල නිර්මාණය වීමට බලපෑ ප්‍රබල වූ හේතු කිහිපයක් සදහන් කල හැක. එයින් එක් හේතුවක් වන්නේ බහු ජාතීන් ජීවත් වන රටක් ලෙස මුස්ලිම්වරුන් ගේ සමාජ වගකීම නිසි ආකාරව ඔවුන් අවබෝධ කර නොගැනීමයි. මේ හේතුව නිසා මෙම ලිපිය තුලින් මූලික වශයෙන් මුස්ලීම් සමාජය ඉලක්ක කරගනීමින් ”අන්‍ය ආගමිකයන් හා වෙනස් වූ සංස්කෘතීන් පවතින රටක, සමාජයක මුස්ලිම්වරුන් ක්‍රියා කලයුත්තේ කෙසේද?” යන්න සාකච්ඡා කිරීමට අදහස් කරමි. මන්ද මෙම විෂය පිලිබදව නිසි අවබෝධයක් නැති ලාංකීය මුස්ලීම් හා මුස්ලීම්‍ නොවන සමාජය දැන හෝ නොදැන ඉස්ලාම් දහමට එරෙහිව වැරදි චිත්‍රයක් සමාජය තුල නිර්මාණය කරමින් මේ ශුද්ධ වූ දහමට බලවත් අසාධාරණයක් සිදුකරමින් සිටී. මීට අමතරව සමහරක් අන්තවාදී පිරිස් ද ඉස්ලාම් දහමට එරෙහිව විවිධ චෝදනා පත්‍ර නිර්මාණය කරමින් ද, තවත් සමහරක් මුස්ලිම්වරුන් ඉස්ලාම් නමින් වැරදි ආදර්ශයන් මුස්ලීම් සමාජය තුල නිර්මාණය කරමින් ද, මුස්ලිම්වරුන් හා ඉස්ලාමය ලංකීය අන්‍ය සමාජයෙන් ඈත් කරවමින් සිටී. මෙවන් වූ මොහොතක මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න ආගමික මූලාශ්‍ර පදනම් කරගෙන සමස්ථ සමාජයටම සාක්ෂි ඇතුව පැවසීමේ වගකීමක් මුස්ලිම්වරුන් ට ඇත.

ඉස්ලාම් දහමට හා මුස්ලීම් සමාජයට එරෙහිව සමාජය තුල වැරදි මත නිර්මාණය වීමට බලපෑ ඉහත අන්තවාදී පිරිසගේ ක්‍රියාවලියට අමතරව තවත් ප්‍රධාන හේතු දෙකක් ද පවතී. එනම්,

  • ලාංකීය මුස්ලීම් නොවන සමාජය, මුස්ලිම්වරුන් ගේ ක්‍රියා කලාපයන් දෙස බලා ඒවා සියල්ල ඉස්ලාම් යයි වැරදි නිගමනවලට එළඹීම
  • මුස්ලිම්වරුන් ඉස්ලාම් දහමින් බැහැරව හා එහි ඉගෙන්වීම් පිලිබදව මූලික අවබෝධයකින් තොරව ඉස්ලාම් යයි සිතාගෙන දහමට පරිභාහිරව කටයුතුවල නිරතවීම

ඉහත සදහන් තත්වයන් දෙකට මූලික හේතු මුස්ලිම්වරුන් ට තිබෙන ආගමික අනවබෝධය හා අවම වූ ආගමික දැනුමයි. මෙම අවම දැනුම හා අනවබෝධය නිසා මුස්ලිම්වරුන් ගෙන් ද ඉස්ලාම් දහමටත් සිදුවන්නේ බලවත් අසාධාරණයකි. මීට අමතරව මේ අනවබෝධය නිසා ඉස්ලාම් දහම වතාවත්වලට පමණක් සීමා කොට සමස්ථ ලාංකීය සමාජයට රටේ පුරවැසියකු වශයෙන් ඉටුකල යුතු මෙහෙවරයන් ද නිසි ආකාරයෙන් ඉටු නොකිරීම තුල දහමට පමණක් නොව රටටත් සිදුකර ඇත්තේ බලවත් අසාධාරණයක් යන්න තිත්ත වූ ඇත්තයි. එවන් තත්වයක සමස්ථ මුස්ලීම් ප්‍රජාවත්, ඉස්ලාම් දහමත්, මා ඉහතින් සදහන් කලසේ මුස්ලීම් නොවන ප්‍රජාවගේ අපහසයන්ට, අපවාදයන්ට හා විවේචනයන්ට‍ ලක්වීම නොවැලැක්විය හැකි කාරණයකි.

වර්ථමාන ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව සත්‍ය මාර්ගය පදනම් කරගෙන තම ජීවිතය සකසා ගන්නවා වෙනුවට විවිධ පුද්ගල චරිත හා පවුල් සම්ප්‍රදායන් පදනම් කරගෙන දහම අනුගමනය කිරීමටත්, අවබෝධ කරගැනීමටත් පෙළඹී සිටී. මේ හේතුව නිසා සැබෑ වූ දහම සමාජයෙන් වසන් වී විකෘති දහමක් සමාජය තුල නිරාවර්ණය වෙමින් පවතී. මේ නිසා එක් පසකින් ඉස්ලාමීය ඉගෙන්වීමන්ට පරස්පර වූ සමාජ විරෝධී ක්‍රියාවන් මුස්ලිම්වරුන් අතින් දහම නමින් ම සිදුවන අතර මුස්ලිම්වරුන් ගේ ක්‍රියා කලාපයන් නිසා දහම හා මුස්ලිම්වරුන් කෙරෙහි වැරදි මතයන් අන්‍ය සමාජය තුල නිර්මාණය වෙමින් පවතී. ඒ අනුව මෙම අවාසනාවන්ත ඉරණම මුස්ලීම් සමාජයට උදාවීම‍ට සෘජුව හෝ වක්‍රව මුස්ලිම්වරුන් ම හේතු කාරණයක් වී ඇති බව අකමැත්තෙන් වුවද පිලිගත යුතු සත්‍යයකි.

මෙම තත්වය ආරම්භ කාල ලාංකීය මුස්ලිම්වරුන් හා අනිකුත් ජාතීන් අතර දක්නට නොතිබුණූ බව ඉතිහාසය මනාව කියාපායි. එයට උදාහර්න බොහෝමයක් සදහන් කලහැකි වූවත් සංවේදී නිදසුනක් ලෙස පන්සල්වලට අයත් ඉඩම් මුස්ලීම් දේවස්ථාන ඉදිකර ගැනීම සදහා ස්වාමිණ් වහන්සේලාගේ කල පරිත්‍යාග සදහන් කල හැක. (අද එවැනි තත්වයන් සිතාගැනීම පවා අපහසු තත්වයට ලාංකීය සමාජය පත්ව ඇත) එදා අතීත සංක්‍රමණික මුස්ලීම් ප්‍රජාවට ලාංකීය සමාජය තුල එවන් ගරුන්වයත්, සැලකිල්ලත් හිමිවීමට හේතුකාරණා වුයේ ඔවුන් ඉස්ලාම් දහමට ලැදිව ඉස්ලාම් අවධාරනය කරන ආකාරයට අන්‍ය ආගමිකයන් හා ජාතීන් ගරු කොට සමාජ වගකීම් අවබෝධ කරගෙන ඔවුන් හා සහජීවනයෙන් කටයුතු කිරීමයි. එදා එම සමාජයේ මුස්ලිම්වරුන් ගේ දායකත්වය අදටත් ඉතිහාසගත ලියවිලි හා පැරණි මුස්ලීම් සිද්ධස්ථාන මනාව කියාපායි. සාපේක්ෂව මෙවන් ප්‍රෞඩ වූ අතීතයකට හා දහම් විනයකට උරුම කම් කියන ලාංකීය මුස්ලිම්වරුන් සිංහාවලෝකනයක් සිදුකිරීම කාලීන අවශ්‍යතාවයකි. එපමණක් නොවේ මුස්ලීම් ප්‍රජාවගේ ලාංකීය සංක්‍රමණ අවධිය දක්වා අතීතයට ගිය විට එහි අනිකුත් සමාජයන්ට සාපේක්ෂව මුස්ලිම්වරුන් ගේ දායකත්වය ප්‍රබල ලෙස සලකුණු වී ඇති බවද මුස්ලිම්වරුන් ගේ අවධානයට සදහන් කලයුතුමය. ඒ රාජ්‍ය සභාවල උපදේශකයන්, රජවරැන්ට විශ්වාසනීය මන්ත්‍රීවරැන්, රජවරැන්ගේ පුද්ගලික වෛද්‍යවරැන්, විදේශ කටයුතු භාර මන්ත්‍රීවරැන්… යනාදී වශයෙන් වගකීමක් ඇති විශ්වාසනීය තනතුරු මුස්ලිම්වරුන් විසින් දරමිනි. එසේ දේශමාමකත්වයෙන් හා විශ්වාසනීයව රටේ පරිපාලනයට හා ඒහා සම්බන්ධ අනිකුත් කටයුතු සදහා එක් පසකින් තම දායකත්වය සපයා දුන් අතර අනික් පසින් කුඑබඩු, මුතුමැණික්, රන්රිදී, සඑපිළි… වැනි වෙළදාම් මගින් රටට විදේශ විනිමය උපයා දෙමින් ආර්ථික වශයෙන් ද තම දායකත්වය රටට ලබාදෙන ලදී. මේ ආකාරයට එදා ලාංකීය සමාජය තුල වි‍ශේෂ ජන කොට්ඨාශයක් වූ මුස්ලීම් ප්‍රජාව අද එම ශ්‍රී ලංකාව තුලම අපහසයන්ට, අපවාදයන්ට හා විවේචනයන්ට‍ ලක්වෙමින් කිසියම් පසුබෑමකට ලක් වී ජීවත්වීම සමස්ථ මුස්ලීම් ප්‍රජාවගේම අවධානය යොමු වියයුතු කාරණයකි.

ඒ අනුව මෙම කාරණය කෙරෙහි විමසුම් ඇසින් දැන් අවධානය යොමු කරමු,

අන්‍ය ආගමිකයන් හා වෙනස් වූ සංස්කෘතීන් පවතින රටක, සමාජයක මුස්ලිම්වරුන් ක්‍රියා කලයුත්තේ කෙසේද?

ඉහත කාරණය පිලිබදව අවධානය යොමු කිරීමට පෙර මා ඉහතින් සදහන් කල කාරණය එනම් “මුස්ලීම් සමාජය ආගම දහමින් ඈත්වීම” යන කාරණය ද මෙම තත්වය හා බද්ධව පවතින බැවින් ඒ කෙරෙහි ද කෙටි අවධානයක් යොමු කිරීම මෙම මාතෘකාව වඩාත් හොදින් අවබෝධ කර ගැනීමට පහසු වනු ඇත. එනම් ආගම දහම පිලිබදව පුඑල් වූ අවබෝධයක් නොමැති මුස්ලීම් ප්‍රජාව තමන්ගේ ‍කටයුතු සදහා විවිධ සීමාවන් ඔවුන් විසින් නිර්මාණය කරගෙන ඇත. එනම්,

  • ආගමික ඉගෙන්වීම් වතාවත්වලට පමණක් සීමා කිරීම
  • ලෞකික ජීවිතය ප්‍රධාන අරමුණ කරගැනීම
  • තම වගකීම් තමා හා තම පවුල් ඒකකයට පමණක් සීමා කිරීම

අතීතයේ අපේ මුතුන්මිත්තන් සමාජ තුල ක්‍රියා කල ආකාරය ඔවුනට එය ඉස්ලාමයෙන් ලැබුනු ආභාෂයන් හා ආදර්ශයන් යන්න අවිවාදයකින් ‍ෙතාරව පැහැදිලි වන සත්‍යයකි. ඔවුන්ගේ මෙහෙවර වතාවත්වලට පමණක් සීමා වූ, ලෞකික ජීවිතය අරමුණු කරගත් හා සමාජ වගකීම්වලින් බැහැර වූ එකක් නොවිය. එය ශ්‍රී ලාංකීය ඉතිහාස හෙළිකරන සත්‍යයි. එදා ඔවුන්ට මගපෙන් වූ ඒ ඉස්ලාමීය ආභාෂයන් හා ආදර්ශයන් අදත් අප අත ඇත. නමුත් ඉස්ලාම්ය එහි සැබෑ ස්වරූපයෙන් අවබෝධ කරගන්නවා වෙනුවට එය විවිධ සීමාවන් තුල කොටු කිරීමත්, අංශ කිහිපයකට පමණක් සීමා කිරීමත්, දහමින් බැහැරව නාමිකව පමණක් මුස්ලිම්වරුන් ලෙස ජීවත්වීමත් තුල මෙවන් වූ පසුබෑමකට හා පරිහානියන්ට සමස්ථ මුස්ලීම් ප්‍රජාවම ගොදුරු වී සිටී. මෙවන් මොහොතක බහු ජාතීන් ජීවත්වන අප රටේ මුස්ලිම්වරුන් ක්‍රියා කලයුත්තේ කෙසේද? යන්න නැවතත් ආගමික ඉගෙන්වීමන් පදනම් කරගෙන විමසා බැලීම සෑම මුස්ලීම්වරයෙකුගේම අනිවාර්ය වගකීමකි.

අන්‍ය සමාජය හා කටයුතු කිරීම

අද සමහරක් මුස්ලිම්වරුන් සිතන්නේ මුස්ලීම් නොවන පිරිස සමග මුස්ලිම්වරුන් කිසිදු ආකාරයක සම්බන්ධතාවයන් නොපැවැත්විය යුතු බවටයි. මෙය සම්පූර්ණයෙන්ම ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්ට පටහැනි වූ විශ්වාසයකි. ඔවුන්ගේ එම විශ්වාසය සහමුලින්ම උදුරාදමන ඉගෙන්වීම්න් ශුද්ධ වූ අල්කුර්ආනයේ හා (අල් හදීසය හෙවත්) මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය තුල බහුලව දක්නට ඇත. (මෙය ඉස්ලාමීය මූලාශ්‍රයන් අධ්‍යනය කරන ඕනෑම කෙනෙ‍කුට පහසුවෙන් දැක ගත හැක.) ඉන් කිහිපයක් පිලිබදව කෙටි අවධානයක් යොමු කරන්නේ නම්,

ඉස්ලාම් දහම සෑම මුස්ලීම්වරයෙකුම අනිවාර්යයෙන් පිලිපැදිය යුතු ප්‍රධාන කරුණු පහක් පිලිබදව පවසයි. ඉන් එකක් වන්නේ සzකාත් (හෙවත් සෑම ධනවත් මුස්ලීම්වරයෙකුම තම වත්කමින් 2.5% ක බද්ධක් අනිවාර්යයෙන්ම භාණ්ඩාගාරයට ලබාදිය යුතු (ඉස්ලාමීය පාලනයක් නොමැති අවස්ථාවල (ශ්‍රී ලංකාව වැනි රටවල) තමන් විසින්ම ඉස්ලාම් නම් කරන පිරිසට බෙදාදිය යුතු)) බද්ධකි. මෙම බද්ධ අනිවාර්යයෙන්ම දියයුතු අතර එසේ නොදීම මහා පාපයකි. මෙම බද්ධ අවධාරණය කරන ඉස්ලාම් එම බදුමුදල් බෙදාදිය යුතු පිරිස් එනම් එහි හිමිකරැවන් පිලිබදව ද පැහැදිලිවම පවසයි. එය ශුද්ධ වූ අල්කුර්ආනයේ 9-60 වාක්‍ය මගින් මෙසේ ‍පෙළගසයි,

“දිළිදුන්ට, දුගියන්ට, සzකාත් අයකැමියන්ට, සිත් නැමෙන පිරිසට, වහලුන්ට, ණයකරැවන්ට, ඉස්ලාම් දහමේ උන්නතියට හා ආරක්ෂාවට කටයුතු කල පිරිසට, මගියන්ට…”

එනම්,

  1. දිළිදුන්ට
  2. දුගියන්ට
  3. සzකාත් අයකැමියන්ට
  4. සිත් නැමෙන පිරිසට
  5. වහලුන්ට
  6. ණයකරැවන්ට
  7. ඉස්ලාම් දහමේ උන්නතියට හා ආරක්ෂාවට කටයුතු කල පිරිසට
  8. මගියන්ට

මේ ආකාරයට ශුද්ධ වූ අල්කුර්ආනය සzකාත් හිමි පිරිස් කාණ්ඩ 08 කට පෙළගසයි. මෙහිදී අවධානය යොමු කලයුතු කරුණු කිහිපයක් ඇත. එනම් ඉහත වාක්‍යයේ දිළිදුන්, දුගියන්, සිත් නැමෙන පිරිස්, වහලුන්, ණයකරුවන් හා මගියන් යන පිරිස් මුස්ලිම්වරුන් වියයුතු බව ඉස්ලාම් කිසිවිටෙකත් අවධාරණය නොකරයි. තර්කයක් සදහා එය මුස්ලිම්වරුන් සදහා පමණක් යයි සැලකුව ද එහි සදහන් “සිත් නැමෙන පිරිස්” (ඉස්ලාම් දහමට එදිරිවාදිකම් නොකොට ඉස්ලාම් දහම ගරු කරන පිරිස්) යන්නෙන් පැහැදිලිවම මුස්ලීම් නොවන සමාජය හදුන්වන බව නබිතුමාණන්ගේ ආදර්ශය තුල එනම් “මුස්ලීම්” නම් හදීස් ග්‍රන්ථයේ 4275, 4277 යන හදීසයන් තුලින් මනාව පැහැදිලි කරයි. මීට අමතරව අන්‍ය ආගමිකයන් හා ආගම් භේදයකින් තොරව කටයුතු කරන ලෙස අවධාරණය කරන මෙවැනි තවත් බෝහෝ අල්කුර්ආන් වාක්‍යයන් ගෙන හැර දැක්විය හැක. නමුත් සාධාර්ණ විනිශ්චයක් කරන කෙනෙකු හට මෙම ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයම ප්‍රමාණවත් ඇතැයි සිතමි. මීළගට මෙම ‍විෂය සම්බන්ධයෙන් නබිතුමාණන්ගේ ආදර්ශයන් හෙවත් හදීස් වෙත දැන් අවධානය යොමු කරන්නේ නම්,

  • “නබිතුමාණන් හමුවට කිසිවකු පැමිණ ‘ඉස්ලාම් දහමේ නාමයෙන් උදව්කරන්න’ යයි උපකාරයක් පැතුවේ නම් එවන් කෙනෙකු කිසිවිටෙකත් (නබිතුමාණන්) ප්‍රතික්ෂේප කරන්නේ නැත. දිනක් නබිතුමාණන් හමුවට කෙනෙකු පැමිණ ඉස්ලාම් දහමේ නාමයෙන් උදව් පතන ලදී. එහි දී ඔහුට විශාල සංඛ්‍යාවක් එඑවන් ලබාදෙන ලදී. එයට ඔහු තම ගෝත්‍රය වෙත ගොස් ‘මගේ ජනතාවනී! නුඹලා ඉස්ලාම් දහම වැලදගන්න. මන්ද දිළිදුකමට බිය නොවී මුහම්මද් වස්තූන් පරිත්‍යාග කරනවා’ යයි පවසන ලදී.”

මුස්ලීම් ග්‍රන්ථය 4627

එදා එම සමාජයේ බහුතරය මුස්ලිම්වරුන් ය. එහි ඉතාම සුඑතරයක් තමා අන්‍ය ආගමිකයන් ජීවත් වුයේ. එසේම නබිතුමාණන් එහි ජනාධිපතිවරයාය එතුමාණන් යටතේ තිබෙන්නේ මුස්ලීම් ජනතාවගෙන් එක්රැස් කරන ලද බදු භාණ්ඩ හා මුදල්ය. එසේ තිබිය දී එතුමාණන් හමුවට පැමිණි එම පුද්ගලයාගේ ආගමික විශ්වාසය පිලිබදව කිසිවක් නොවිමසා ඔහුගේ අවශ්‍යතාවය හදුනාගත් එතුමා ඔහුට එම පරිත්‍යාගය ලබාදෙන්නේ එය ඉස්ලාමීය ආදර්ශයක් බව ලෝකයටම අවධාරනය කරමින් බව විශේෂයේන් මුස්ලීම් ප්‍රජාව අවබෝධ කරගත යුතුය. එසේම පහත නබිවදන හෙවත් ”හදීස” ‍වෙත මොහොතක් ඔබේ බුද්ධිමත් අවධානය යොමු කරන්න.

  • “දිනක් අබ්දුල්ලා අම්ර් (රලි) තුමාගේ නිවසේ එඑමස් පිස තිබුණි. ඔහු නිවසට පැමිණී විගස (නිවැසියන්ගෙන්) ‘අසල්වාසි යුදෙව්වරයාට දුනනද? අප අසල්වාසී යුදෙව්වරයාට දුන්නද?’යයි විමසා ‘අසල්වාසියා මාගේ දේපල කොටස්කරුවන් දෝ’ යයි මා සිතන තරමට ජිබ්රීල් (අලෛ) (දෙවියන්ගේ පණිවුඩය නබිතුමාණන් හට ප්‍රකාශ කරන දේව දූතයාණන්). තුමා ඔවුනට කලයුතු යුතුකම් පිලිබදව අවධාරණය කරමින් සිටියා” යයි නබිතුමාණන් පැවසූ බව පවසන ලදී.”

තිර්මිදි ග්‍රන්ථය 1866

මෙම ආදර්ශය තුලින් පැහැදිලි වන්නේ කුමක්ද? අසල්වාසීයා කෙරෙහි කොතරම් ප්‍රබල වගකීමක් සෑම මුස්ලීම්වරයෙකුටම තිබෙනවා යන්න නොවේ ද? මෙහි විශේෂයෙන් අවධාරණය කලයුතු කාරණයක් ද ඇත. එනම් ඉස්ලාම් යුදෙව්වරුන් සමග කටයුතු කිරීම හා ඔවුන් විශ්වාස කිරීම පිලිබදව දැඩිසේ අවවාද කරන දහමකි. මන්ද ඔවුන් අද මෙන්ම එදත් විශ්වාසයන් කඩ කරමින් භයානක කුමන්ත්‍රණකාරී ජන කොට්ඨාශයක් ලෙස ජීවත් වූ නිසාය. එසේ තිබිය දී පවා ඔහු තම අසල් වැසියෙකු නම් ඔහු අසල්වාසියෙකු යන පදනමේ ඔහු වෙනුවෙන් අපට යම් වගකීමක් ඇති බව ඉස්ලාම් අවධාරනය කරයි. එම වගකීම ”තම දේපලවලින් කොටසක් ලබාදීම අනිවාර්ය වේවිදෝ” යයි මුහම්මද් (සල්) තුමාණන් සිතන තරමට ඉස්ලාම් අසැල්වාසියා සම්බන්ධයෙන් කථා කරයි නම් ශ්‍රී ලාංකීය අප අවට ජීව්ත් වන අන්‍ය සමාජය කෙරෙහි අපට කොතරම් වගකීම් තිබෙනවාද?

ඉහත ආකාරයටම තවත් අවස්ථාවක නබිතුමාණන් මෙසේ පවසන ලදී.

  • “ඔබලා පිසින ව්‍යංන්ජනය අසල්වැසියන්ට බෙදන්නට තරම් ප්‍රමාණවත් නොවේ නම් එහි වතුර ස්වල්පයක් වැඩිකර පිස එයින් කොටසක් හරි තම අසල්වැසියන් හට බෙදාදෙන්න.”

මේවා තුලින් පැහැදිලිවම අවධාරණය කරන්නේ ජාතියේ එකමුතුව හා සමගිය නොවේද? අතීතයේ ලාංකීය රජවරුන් තම පුද්ගලික විශ්වාසනීය කටයුතු හා අනිකුත් අවශ්‍යතාවයන් සදහා මුස්ලිම්වරුන් යොදාගත්තා සේම එදා ඉස්ලාමයේ ආරම්භ කාලයේ නබිතුමාණන්ගේ සේවකයන් වශයෙන් මුස්ලීම් නොවන පිරිස් යොදාගත් බව බුහාරි ග්‍රන්ථයේ 1356 වෙනි වාක්‍යයෙන් පැවසේ එසේම නබිතුමාණන් ඝාතනය කිරීමට මක්කා නගරවාසීන් සැලසුම් කල මොහොතේ නබිතුමාණන් එම පිරිසගෙන් මිදී පලායාමට උපකාර කලේත් නබිතුමා සමග විශ්වාසනීයව කටයුතු කල මුස්ලීම් නොවන සහෝදරයකු බව බුහාරි ග්‍රන්ථයේ 3906 යන හදීසයේ සදහන්වේ. එසේ නම් එම් සමාජය කොතරම් විශ්වාසනීයව හා එකින් එකා අතර සුහදත්වයක් හා ගරු ත්වයක් ඇතුව කටයුතු කර තිබෙනවාද?

මෙය වඩාත් හොදින් තහවුරු කරන තවත් හදීසයක් නම්,

  • “නබිතුමාණන් සේනාවක් නජිද් දේශයට යවා එහි ජීවත් වූ (කෲර සෙන්පතියකු වන) සුමාමා නැමැත්තා අත්අඩංගුවට ගෙන මදීනාවට ගෙන විත් නබිතුමාගේ නිවස අසල කුඑණක බැද දමන ලදී. පසුව නබිතුමාණන් ඔහු හමුවට පැමිණ ‘සුමාමා නුඹේ ළග තියෙන්නේ මොනවාද?’ යයි විමසන ලදී. එයට ඔහු ‘මුහම්මද්!, මා ළග දේපල ඕනෑ තරම් තිබෙනවා’ යයි පැවසූ ඔහු තවදුරටත් මෙසේ පවසන ලදී ‘නුඹ මාව ඝාතනය කලේ නම් නුඹ ඝාතනය කිරීමට සුදුස්සෙකුම ඝාතනය කල කෙනෙකු වන්නේය (ඔහු ඒ තරමට ඉස්ලාම් දහමට හා මුස්ලිම්වරුන් ට හිංසනයන් කර ඇත.) නුඹ සමා කලේ නම් විශ්වාසයෙන් කටයුතු කල හැකි කෙනෙකුහට සමා කල තැනැත්තෙකු බවට ඔබ පත්වන්නේය’ යයි පවසන ලදී. පසුව නබිතුමාණන් ඔහුව එසේම තබා පිටත්ව යන ලදී. දෙවැනි දවසේත් නබිතුමාණන් ඔහු හමුවට පැමිණ පෙරදින විමසු ආකාරයටම විමසන ලදී. එයට ඔහුද පෙරදින පිලි තුරු දුන් ආකාරයටම පිලි තුරු දෙන ලදී. තෙවැනි දවසේත් නබිතුමාණන් ඔහු හමුවට පැමිණ පලමු දින විමසූ ප්‍රශ්නයම විමසන ලදී එයට ඔහු ද පලමු දින පැවසූ පිලිතුරම ලබාදෙන ලදී. එවිට නබිතුමාණන් ‘මේ සුමාමාව ලිහාදාන්න’ යයි පවසන ලදී. එසේ ඔහුව මුදාහැරීමෙන් අනතුරුව අසල ස්ථානයකට ගොස් ස්නානය කල සුමාමා නැවත නබිතුමාණන් හමුවට පැමිණ ‘වන්දනයට සුදුසු අල්ලාහ් පමණයි මුහම්මද් අල්ලාහ්ගේ දූතයාය’ යයි පවසා ඉස්ලාම් දහම වැලදගන්නා ලදී. ඉන්පසු ඔහු මෙසේ පවසන ලදී ‘මුහම්මද්! මේ ලෝකයේ අද වනතුරු මාහට පිලිකුල් මුහුණක් තිබුණේ නම් ඒ ඔබගේ මුහුණයි. අද මට ප්‍රියතම මුහුණක් ඇත්නම් ඒ ඔබතුමාගේ මුහුණයි, එසේම මේ ලෝකයේ මාහට අප්‍රිය දහමක් තිබුණේ නම් ඒ ඔබගේ දහමයි. අද මා ලොව ප්‍රියකරන දහමක් ඇත්නම් ඒ මේ ඉස්ලාම් දහමයි. (මෙය දීර්ඝ හදීසයක කොටසකි)…’ යනාදී වශයෙන් පවසන ලදී.”

බුහාරි ග්‍රන්ථය 4372

ඉහත හදීසය හොදින් අධ්‍යනය කරන්නේ නම් බොහෝ කරුණු පැහැදිලිව වටහාගත හැක. එහි මූලිකම කාරණය ඒ වනවිට සුමාමා සිදුකර ඇති අපරාධයන් අනුව ඔහුට හිමිවිය යුත්තේ මරණයම බව ඔහු විසින්ම තහවුරු කර සිටී. එම කාලයේ සමාජය තුල දඩුවම් ක්‍රියාත්මක වුයේ ද ඒ ආකාරයටයි. නමුත් ඔහුට එසේ දඩුවම් නොකොට දින තුනකට මුස්ලිම්වරුන් ගේ ක්‍රියා කලාපයන් නැරඹීමට අවස්ථාව සලසා දෙන ලදී. ඔහුට ඉස්ලාම් දහම දේශනය කලේ නැත. ඔහුට තර්ජනය කලේත් නැත. ඔහු තර්ජනය කලහැකි තත්වයේ සිටියේත් නැත මන්ද ඒ වනවිටත් ඔහු මරණය බලාපොරොත්තු සිටි බව ඔහුගේ ප්‍රකාශයෙන් සනාථ වේ. ඔහුට මිල මුදල් පරිත්‍යාග ද කලේ ද නැත. ඔහුට එහි අවශ්‍යතාවයක් නැත. මන්ද ඔහු ඒ වන විටත් ධන කුවේරයෙකි. එසේ නම් ඔහුගේ සිතෙහි වෙනස් කිරීම් ඇති කල සාධකය කුමක්ද? ඒ අන් කිසිවක් නොව මිලෙඡ්ච සමාජයක්ව පැවතී එම අඥාන සමාජය තුල ඉස්ලාම් ප්‍රකාශවීමත් සමග එකින් එකා අතර හා සමාජය තුල නිර්මානය වූ ගරු ත්වය, සුහදශිලිත්වය හා විශ්වාසනීයව කටයුතු කිරීම පමණි.

මේ ආකාරයටම තවත් අවස්ථාවක එනම්,

  • “යුදෙව් කාන්තාවක් නබිතුමාණන් හට විෂ යොදා පිසින ලද මාංශයක් ගෙනවිත් දෙන ලදී. එය අනුභව කල නබිතුමාණන් එම විෂ හි බලපෑම නිසා රෝගිවිය ඒ මොහොතේ එම කාන්තාව රැගෙන එන ලෙස අන කරන ලදී. ඒ අනුව නබිතුමාණන් හමුවට එම කාන්තාව රැගෙන එන ලදී ඒ අවස්ථාවේ සහාභිවරයෙකු (අනුගාමිකයෙකු) ‘නබිතුමණි! ඇයව මා මරාදමන්නද?’ යයි විමසා සිටින ලදී. එයට නබිතුමාණන් එසේ නොකරන ලෙස අණ කරන ලදී.”

බුහාරි ග්‍රන්ථය 2617

මෙහිදී මෙම සිදුවීම පමණක් නොව එහි පසුබිම ද අවබෝධ කරගැනීම වැදගත් වේ. එනම් මෙය සිදුවන්නේ මුහම්මද් (සල්) තුමාණන් එක් පසකින් රටේ ජනාධිපතිවරයෙකුව එනම් රාජ්‍ය නායකයෙකුව සිටිය දී තවත් පසකින් දෙවියන්ගේ දූතයෙකු හෙවත් වක්තෘවරයෙකු වශයෙන් අධ්‍යාත්මික නායකත්වය දරමින් විශාල අනුගාමික පිරිසක් දිනාගෙන සිටින මොහොතකය. මෙවන් තත්වයක ඇයට මරණ දඩුවම යන්න එදා සමාජයට නොව අද සමාජයටත් ප්‍රතික්ෂේප කල නොහැකි තීන්දුවකි. නමුත් නබිතුමාගේ ක්‍රියා කලාපය කුමක්ද? මෙහි දී අවධානයට ගතයුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම් මා පෙර සදහන් කලාසේ යුදෙව්වරුන් යන්න ඉස්ලාම් මුස්ලිම්වරුන් හට දැඩිව අවවාද කරන ජන කොට්ටාශයක් එවන් සමාජයකින් ලද සංග්‍රාහයක් නබිතුමාණන් පිලිගෙන ඇත. එය තුල නබිතුමාණන්ගේ සමාජ සහයෝගය මනාව ප්‍රදර්ශනය කරයි. එසේම එදා එම සමාජයේ යුදෙව්වරුන් සුඑතරයකි. රටේ සුඑතරයක්ව හිද මෙවැනි ක්‍රියාවක් කලේ නම් එදා නොව අද ඔබ දෙන තීන්දුව කුමක්ද? එදා ඉස්ලාම් නීති තදින්ම ක්‍රියාවට නැංවූ යුගයක්. එහි හොරකමට අත කපන, ඝාතනයට මරණ දඩුවම, අසත්පුරැෂ සෙවනයට මරණ දඩුවම… යනාදී වශයෙන් විය. එවන් සමාජයක රටේ ජනාධිපති, (අන්‍ය ආගමිකයන්ගේ කොණයෙන්) ඉස්ලාම් දහමේ නිර්මාතෘ වෙනුවෙන් කොතරම් තදින් රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුද? නමුත් සිදුවුයේ කුමක්ද? ඇයට සමාව දී නිදහස් කරලීමයි. සමහරක් විට එම දඩුවම ඇයට ක්‍රියාත්මක වුවානම් “මුහම්මද්!. රටේ සුඑතරයක් වන යුදෙව්වරුන් හට හිංසා කරනවා” යන චෝදනාව සමාජය තුල නිර්මාණය වන්නට හේතුවක් වන්නට තිබුණි. මෙහි වැදගත් වන්නේ ආගමික නායකයෙකු වශයෙන් හුදෙක් දේශනයන්ට පමණක් සීමා නොවී එතුමාණන් තුලින්ම සමාජයට ආදර්ශයන් ගෙන හැර දැක්වීමයි. අද ආලංකාර දේශනයන්, අවවාදයන් හා අනුශාසනාවන් ලාංකීය අපට දුලභ නැත. නමුත් ප්‍රායෝගික ආදර්ශමත් චරිත ඉතා විරලය. නමුත් එදා නිර්මාණය කල සමාජයට අවවාදය නොව ආදර්ශයයි නබිතුමාණන් පෙන්වා දුන්නේ. එයට එක් නිදසුනක් තමා මා ඉහතින් පැවසු ”සුමාමා” නැමැත්තා ඉස්ලාම් වැලද ගැනීමේ සිදුවීම. මෙවන් වූ අසමසම ආදර්ශයන් නිසා තමා අපමණ වූ පදනම් විරහිත අපහසයන්, අපවාදයන් හා බාධකයන් මධ්‍යයේ වුවද සැලකිය යුතු ජන සංඛ්‍යාවක් ඉස්ලාම් දහමට ලොව දිනාගැනීම හැකි වුයේ.

මේ ආකාරයට නබිතුමාණන් අන්‍ය සමාජය හා සුහදව කටුයතු කල බව තහවුරු කරන හදීසයන් බොහෝමයක් ආගමික මූලාශ්‍රයෙහි දක්නට ඇත. ඉන් කිහිපයක් පිලිබදව තවදුරටත් කෙටි හැදින්වීමක් කරන්නේ නම්,

  • “නබිතුමාණන් ණය ගනුදෙනු පවා මුස්ලීම් නොවන පිරිස් සමග කලබව බුහාරි ග්‍රන්ථයේ 2386 හදීසය සදහන් වේ.”
  • “සමාජයේ සිදුවන මුස්ලීම් නොවන පිරිසගේ මරණයට පවා නබිතුමාණන් නැගීසිට ගරු කල බව බුහාරි ග්‍රන්ථයේ 1313 හදීසයේ සදහන් වේ.”
  • “මුස්ලිම්වරුන් හිංසනය කරමින් කයිබර් ප්‍රදේශයේ ජීවත් වූ යුදෙව්වරුන් යුද්ධමය වශයෙන් ආක්‍රමණය කර ඔවුනට එහි වගා කටයුතු සදහා ඉඩම් බෙදා දුන් බව බුහාරි ග්‍රන්ථයේ 2499 හදීසයෙන් පැවසේ.”
  • “වරක් නබිතුමාණන් හට ඉස්ලාම් විරෝධින් පැමිණ සලාම් කියන ආකාරයට ‘ඔබ විනාශ වේවා’ යයි පවසන ලදී එයට නබිතුමාණන් ‘ඔබටත් එසේම වේවා’ යයි පවසන ලදී. මෙය අසා සිටී ආයිෂා (නබිතුමාගේ බිරිද) තුමිය ‘නබිතුමණි ඔවුන් ඔබට ශාප කලා’ යයි පවසන ලදී. එයට‍ නබිතුමාණන් ‘කලබල වෙන් එපා ඉවසීමෙන් හා සංසුන්ව කටයුතු කරන්න අල්ලාහ් ප්‍රිය කරන්නේ එයයි…’ යයි පවසන ලදී මෙය බුහාරී ග්‍රන්ථයේ 6024 හි සදහන් වේ.”
  • “අස්මා (රලි) තුමිය නබිතුමාණන් හමුවට පැමිණ ‘නබිතුමණි මගේ මව ඉස්ලාම් දහම වැලද ගන්නේ නොමැතිව මා හමුවට පැමිණ ඇත. මා ඇය පිලිගන්නද?’ එයට නබිතුමාණන් ‘ඔව් අනිවාර්යයෙන්ම ඔබ ඇයව රැකබලාගන්න’ යයි පවසන ලදී මෙය බුහාරී ග්‍රන්ථයේ 2620 හි සදහන් වේ.”
  • “එක්තරා ග්‍රාම වාසියේ නබිතුමාණන් සිටින ප්‍රදේශයට පැමිණ එහි දේවස්ථාන‍ය තුල මූත්‍රා කරන්නට විය. එය දුටු ජනයා ඔහුව එලවන්නටත් බැනවදින්නටත් ඇරඹීය එවිට නබිතුමාණන් ‘ඔහුව අත්හරින්න ඔහු මූත්‍රා කල තැනට වතුර ගසාදාන්න සංසුන්ව කටයුතු කරන්න එසේ කරන ලෙස මමයි ඔබලායි අන ලබා ඇත්තෙමු සැරපරුෂව හා නපුරු ලෙස කටයුතු කිරීමට අප අවසර ලබා නැත’ යයි පවසන ලදී. මෙය බුහාරි හදීස් ග්‍රන්ථයේ 6128 හි සදහන් වේ.”
  • “තවත් අවස්ථාවක එක්තරා කෙනෙකු මුස්ලිම්වරුන් ගේ දේවස්ථානයකට පැමිණ එය තුල මූත්‍රා කරන්නට විය. එය දුටු නබිතුමාණන් ඔහුගේ එම අවශ්‍යතාවය අවසන් කිරීමෙන් අනතුරුව ඔහුව කැදවාගෙන එන ලදී. ඉන් පසු ඔහුට නබිතුමාණන් ‘මෙය අල්ලාහ්ගේ නිවස මෙහි මූත්‍රා කිරීම හෝ වෙනයම් පිලිකුල් සහගත කාර්යක් කිරීම නුසුදුසු ක්‍රියාවක්. මෙහි දෙවියන් වැදීමටත්, සිහිකිරීමත් පමණයි කලයුතු වන්නේ’ යයි අවවාද කරන ලදී. මෙය මුස්ලීම් ග්‍රන්ථයේ 429 හි සදහන් වේ.”

මේ ආකාරයට නබිතුමාණන් සමාජයට පෙන්වා දුන් ආදර්ශයන් පෙළගසාගෙන යාහැක. නබිතුමාණන් අන්‍ය සමාජයත් සමග කොතරම් සුහදව හා ආදර්ශමත් ආකාරයට කටයුතු කර තිබෙනවාද යයි දැන් ඔබට අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. මේවා තුලින් ඉස්ලාම් වතාවත්වලට පමණක් සීමා නොවූ තම අවට සමාජය කෙරෙහි විශාල වගකීම් ප්‍රමාණයක් අවධාරනය කරන දහමක් බව මුස්ලිම්වරුන් පැහැදිලිව අවබෝධ කරගත යුතුය. ඉස්ලාම් අවධාරනය කරන එම ආදර්ශයන්ගෙන් ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන් වන අප යම්දුරකට ඈත්වීම ශ්‍රී ලාංකීය සමාජය තුල මුස්ලීම් ප්‍රජාව පිලිබදව හා ඉස්ලාම් දහම පිලිබදව වැරදි ප්‍රතිරෑපයන් නිර්මාණය වීමට ප්‍රබල හේතුවක් වී ඇති බව අවබෝධ කරගත යුතුවේ.

අධ්‍යාපනය කෙරෙහි දක්වන උදාසීන පිලිවෙත

ඉහත ආකාරයට මුස්ලීම් සමාජයේ පසුබෑමට හා පරිහානියට ඔවුන්ගේ ආගමික දැනුමෙහි පසුබෑම, අනවබෝධය හා නොසැලකිල්ල මෙන්ම වර්ථමානයේ තවත් කරුණක් ද බලපා ඇති බව මුස්ලීම් ප්‍රජාව පැහැදිලිවම අවබෝධ කරගත යුතුය. ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිහීමය. යම් සමාජයක විනාශයට හා පරිහානියට සෘජුවම අධ්‍යාපනය බලපායි. එය ඉස්ලාම් ශුද්ධ වූ අල්කුර්ආන් වාක්‍යයන් මගින් මෙන්ම නබිවදන් තුලින් ද දැඩිව අවධාරණය කරන එසේම වර්ථමාන ලොව ද පිලිගන්නා සත්‍යයකි. එම නිසයි ඉස්ලාම් පහල වූ ප්‍රථම දේව වාක්‍යයෙන්ම අධ්‍යාපනයේ අවශ්‍යතාවය අවධාරනය කලේ. මෙසේ අධ්‍යාපනයේ අවශ්‍යතාවය මෙපමණ දුරට අවධාරනය කල තවත් දහමක් හෝ දර්ශනයක් ලොව පැවතිය නොහැකිය. සමාජය කිවයුතු බොහෝ කරුණු තිබිය දී දෙවියන් ප්‍රථම දේව වාක්‍යයෙන් අධ්‍යාපනය අවධාරණය කරන්නේ නම් එහි වැදගත්කම අප හොදින් අවබෝධ කරගත යුතුය. එවන් වූ දහමකට උරුම කම් කියන මුස්ලිම්වරුන් වන අප අධ්‍යාපනය කෙරෙහි දක්වන උදාසීනත්වය නිසා මුස්ලීම් සමාජයේ අනාගතය අදුරු යුගයක් කරා යොමු වී පැවතීම අවධානය යොමු වියයුතු කාරණයකි. අතීතයේ දී මුළු ලෝකයම මවිත කරවන නව නිර්මාණ හා සොයාගැනීම්වලට උරුම කම් කීවේ මුස්ලිම්වරුන් යන්න අපට අමතක කල නොහැක. මේ පිලිබදව සවිස්තරාත්මක තොරතුරු Wikipedia මගින් ඔබට දැකගත හැක. එසේම ලාංකීය ඉතිහාසය තුල ද ආචාර්‍ය ටී. බී ජායා, මාක්කාන් මරික්කාර්… යන විද්වතුන් අන්‍ය සමාජයට සාපේක්ෂව යම් සැලකිය යුතු ස්ථානයක් ලබා සිටි බව අප හොදින් දන්නා සත්‍යයකි. ඔවුන් ලාංකීය ඉතිහාසයේ ප්‍රෞඩ චරිත බවට පත්වුයේ හුදෙක් ආගම දහමට ලැදිව ජීවත්වීමෙන් හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් පමණක් ඉදිරියට යාමෙන් නොව හොද අධ්‍යාපනයක් ලබා ඉස්ලාම් දහමට අනුකූලව කිසියම් සමාජ මෙහෙවරක් සිදුකල බැවිණී. එම වගකීම එදායින් අවසන් නොවූ බවත් එදාට වඩා එය අද සමාජයට තදින්ම අවශ්‍ය වී තිබෙන බවත් ලාංකීය මුස්ලීම් ප්‍රජාව හොදින් වටහාගත යුතුය.

ලෝකෝත්තර හා ලෞකික දිවිය

මේ ආකාරයට වර්ථමානයේ ලාංකීය මුස්ලීම් ප්‍රජාව ආගමික ඉගෙන්වීම් කුමක්ද? අන්‍ය සමාජ සමග මුස්ලිම්වරුන් වන අප කටයුතු කරන්නේ කෙසේද? අපට ඇති සමාජ වගකීම මොකක්ද? යන දැනුම එක් පසකින් අහිමිව ද, තවත් පසකින් අධ්‍යාපනය කෙරෙහි උදාසීන පිලිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් අධ්‍යාපන කෙෂ්ත්‍රයෙන් පසුබෑමකට ලක්ව ද දැඩි පරිහානියකට පත්ව තීරණ‍ාත්ම තැනකට තල්ලුවී සිටින අප ව්‍යාපාරික කටයුතුවලින් කිසියම් ප්‍රගතියක් අත් කරගෙන සිටින බව ලාංකීය අන්‍ය සමාජය පවා නිතර පවසන කාරණයකි. මෙහි දී ප්‍රථමයෙන් පැවසිය යුතු කාරණය නම් ඉස්ලාම් ලෞකික දිවිය හෝ සැප සම්පත් රැස් කිරීම ප්‍රතිකෙෂ්ප කරන දහමක් නොවේ. නමුත් එහි සීමාවන් හා කොන්දේසි පැහැදිලිවම ඉස්ලාම් පෙන්වා දෙන ආකාරයට විය යුතුය. එම සීමාවන්ගෙන් මිදීම මනුෂ්‍යා නොමග යැවීමට හේතුව කාරණා වන බව ඉස්ලාම් දැඩිව අවධාරණය කරයි. අසීතිම ලෙස ලෞකික දිවිය හා බැදී ජීවත්වීම හේතුවෙන් ඉදිරි කාලයක දී මුස්ලීම් ප්‍රජාව අත්විදින ඉරණමක් පිලිබදව නබිතුමාණන් වරක් සමාජයට දැඩි සේ අවවාද කරන ලදී. එනම්,

“වරක් නබිතුමාණන් මෙසේ අනාවැකියක් පවසන ලදී ‘ඉදිරි කාලයක දී මුස්ලිම්වරුන් කිසිදු හේතුවක් නොමැතිව ඝාතනයට ලක්වේවි. එය කුමණ ආකාරයට ද යයි පවසනවා නම් කෑම බන්දේසියක් තබ‍ාගෙන තම අහල පහල සියල්ල අඩගසාගෙන තමන්ට රිසිසේ අනුභව කරනවා සේ ඉස්ලාම් විරෝධින් මුස්ලිම්වරුන් අල්ලාගෙන තමාට රිසි ආකාරයට වදහිංසා දී ඝාතනය කරාවී’ මෙය අසා සිටී නබිතුමාගේ අනුගාමිකයෙකු (සහාභිවරයෙකු) ‘නබිතුමණි, ඒ කාලයේ මුස්ලිම්වරුන් බහුතරයක්ද? සුඑතරයක්ද?’ යයි විමසන ලදී. එයට නබිතුමාණන් ‘එදාට මුස්ලිම්වරුන් බහුතරයක් තමා නමුත් ඔවුන්ගේ සිත්වල අල්ලාහ් කෙරෙහි බිය ඉවත්වෙලා මෙලොව ජීවිතය කෙරෙහි ආශාව වැඩිවෙලා තියේවී’ යයි පවසන ලදී.”

බලන්න සහෝදරවරුනි නබිතුමාණන් මෙය පැවසුවේ මීට වසර 1400 කටත් පෙර ඉදිරි කාලයේ සිදුවන අනාවැකියක් ලෙසයි. හදවතට අත තියා කියන්න මේ කියන්නේ අපි ගැන නොවේද? ලාංකීය මුස්ලීම් සමාජයට අන්‍ය සමාජයෙන් සෘජුව හා වක්‍රව විවිධ බලපෑම් තිබෙන බව සැබෑය අප ඒවා ඉදිරයේ දී සාකච්ඡා කරමු. නමුත් අප මරණය හා ලෝකොත්තර දිවිය අමතක කොට ලෞකික දිවිය ප්‍රිය කරන පිරිසක් බවටත්, තම වගකීම් පවා තමා හා තම පවුල්ට පමණක් සීමා කරගත් ජන කොට්ඨාශයක් බවට පත්වෙමින් සිටිනවා නොවේද? මෙම තත්වය තවදුරටත් වර්ධනය වේ නම් නබිතුමාණන් ඉහතින් පැවසූ ඉතිරි සලකුණු අපිට වැඩි ඈතක නොවේ. අප, අප තුල වෙනස් කරගත යුතු බොහෝ දෑ ඇත. එසේ නොකොට තවත් පිරිසකට හෝ සමාජයකට ඇගිලි දිගු කිරීමෙන් පමණක් මෙය වෙනස් කල නොහැක.

ඉස්ලාමය උගසට තැබූ දේශපාලඥයන්

ඉහත අවාසනාවන්ත තත්වය මුස්ලීම් සමාජයට උදා කිරීමෙහිලා වගකිවයුතු තවත් වැදගත් පිරිසක් ඇත. ඒ ඉස්ලාමය හා මුස්ලිම්වරුන් ලංසුවට තබා දේශපාලනයේ වැජඹෙන්නට වෙරදරන මුස්ලීම් දේශපාලඥයන්ය. ඔවුන් තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් සදහා මුස්ලීම් සමාජය විවිධ මතවාදයන් ඔස්සේ භේදබින්න කරන ලදී. එයට හොදම නිදසුන 8% වන ලාංකීය මුස්ලීම් ප්‍රජාව ජන ගහනයට සාපේක්ෂව වැඩිම ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාවකට උරුම කම් කීම තුලින් මෙය මනාව තහවුරු කොට ඇත. මෙයින් තහවුරු වන්නේ මුස්ලීම් දේශපාලඥයන් මුස්ලීම් ප්‍රජාව භේදබින්න කරනවාට වඩා යමක් කර නැති බව නොවේද? එසේ පැවසීමට ද නොහැක. මන්ද ඔවුන් කලේ මුස්ලීම් ප්‍රජාව බේදබින්න කිරීම පමණක් නොවේ. දේශපාලන අවශ්‍යතා සදහා ජාතිවා‍දය පෙරට තබා අනිකුත් ජාතීන් හා මුස්ලීම් ප්‍රජාව අතර ද කිසියම් බෙදීමක් නිර්මාණය කිරීමයි. එහි ප්‍රථිපලයක් තමා මහා ජාතීය පසුගිය මැතිවර්ණ ප්‍රථිපලය ඊලාම් සිතියමක් හා සංසන්ධනය කරමින් එම ඊලාම් සිතියම තුලට මුස්ලීම් ප්‍රජාවගේ ඡන්දයත් ගොනු කලේ. එය ඉතා මිලෙච්ඡ ක්‍රියාවක් වුවත් එහි වගකීමෙහි කොටසක් මුස්ලීම් දේශපාලඥයන්ට ද හිමිවිය යුතුය. මුස්ලීම් ප්‍රජාවට ද මෙහි දී යමක් අවධාරනය කලයුතුය. එනම්, දේශපාලනයේ දී ලාංකීය මුස්ලීම්වරයෙකු හට වැදගත් වන්නේ එහි ඉදිරිපත් වී සිටින්නා කව්ද? ඔහු කුමන ජනවර්ගය නියෝජනය කරනවාද?, කුමන ආගම නියෝජනය කරනවාද? යන්න නොවේ. ඔහු කුමක් කරාවිද? යන්නයි. වර්ථමාන මුස්ලීම් දේශපාලඥයන් මුස්ලීම් ප්‍රජාව උගසට තබා දේශපාලනයේ වැජඹෙන්නට වෙර දරනව‍ා මිස ලාංකීය කිසිදු දේශපාලඥයෙක් මුස්ලීම් ජනතාව හෝ ඉස්ලාම් දහම නියෝජනය නොකරන බව පැහැදිලිව මුස්ලීම් ප්‍රජාව අවබෝධ කරගත යුතුය. ඔවුන්ගේ සුරංගනා කථාවලට තවදුරටත් අප හසුනොවීමට ද වගබලා ගතයුතුය. අන්‍ය සමාජයක් මධ්‍යයේ ජීවත් වන මුස්ලීම් ප්‍රජාව රටේ පාලකයන් යටතේ ක්‍රියා කල යුත්තේ ඉස්ලාම් පෙන්වාදෙන ආකාරයට පමණි. එනම් ලාංකීය මුස්ලීම් ජනතාවගේ ආගමික නිදහස හා ජීවත්වීමේ නිදහස පවතින රජයෙන් ආරක්ෂා කර දී තිබේ නම් එම පාලනයට යටත්ව ක්‍රියාකල යුතුය. අද මුස්ලීම් ජනතාව නියෝජනය කලා යයි පැවසු කිසිදු දේශපාලඥයෙකු මුස්ලීම් ප්‍රජාවට මීට වඩා දිනා දුන් අයිතියක් නැත. ඔවුන් කලෙත් ඉස්ලාමය හා මුස්ලිම්වරුන් අපහසයට හා අපවාදයන්ට ලක්වන රෑකඩ හෝ ජෝකර්ලා වීම පමණි. එමනිසා මෙම කාරණයේ දී ද මුස්ලීම් සමාජය ඉතා බුද්ධීමත්ව කටයුතු කලයුතුයි. ඉහත ආකාරයේ දේශපාලඥයන් ප්‍රති‍ක්ෂේප කර දැමිය යුතුයි.

අවසාන සටහන

එසේ නම් ලාංකීය මුස්ලීම් ප්‍රජාව වන අපට නොදැන අතපසු වූ හා හිතාමතා අතපසු කල බොහෝ වගකීම් හා යුතුකම් තිබෙන බව ප්‍රථමයෙන් අවබෝධ කරගත යුතුය. එසේ අවබෝධ කර ගැනීමෙන් නතර නොවී ඉදිරියට ඒවා අප නිවරැදි කරගෙන එක ජාතියක් ලෙස සමගියෙන් අත්වැල් බැද ඉදිරි පියවර තැබිය යුත්ය. එසේ කරනතාක් අපට නිදහස් ජාතියක් ලෙස මේ ලාංකීය සමාජය තුල ජීවත්වීමට නොහැකි වනු ඇත. මෙය ශුද්ධ වූ අල්කුර්ආනයේ ද අල්ලාහ් මෙසේ අවධාරණය කරයි,

“නුඹලා නුඹලාව නිසි ආකාරයට වෙනස් කරගන්නා තුරු අල්ලාහ් ඔවුන්ව වෙනස් නොකරයි.”

එසේනම් අනිකුත් සමාජය කෙරෙහි ඇගිලි දිගු කිරීමට පෙර අප තුල ප්‍රබල වෙනස්වීමන් සිදුවිය යුතු යන්න අවිවාදයෙන් තොරව පැහැදිලි වන කාරණයකි. ඒ සදහා ඉස්ලාම් දහම තුල මෙන්ම අතීත ලාංකීය මුස්ලීම් ප්‍රජාව හමුවේ ද අපට ආදර්ශයන් ඇත. එම ආදර්ශයන් තුලින් අපගේ වර්ථමානය අප නිවරැදි කරගන්නේ නම් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවගේ අනාගතය මුළු මහත් ලාංකීය සමාජයටම ආදර්ශමත් වනු නොඅනුමානය. එසේ නම් ඉස්ලාමීය ඉගෙන්වීම් නිසි අයුරින් අවබෝධ කරගෙන ආදර්ශමත් සමාජයක් ලෙස කටයුතු කිරීමට අප අධිශ්ඨාන කරගනිමු.

මෙහි දී මුස්ලීම් ප්‍රජාව මෙම තත්වයට තල්ලුවීමට බලපෑ තවත් ප්‍රබල හේතුවක් ලාංකීය සමාජයේ පවතී. ඒ මෑතක සිට ලාංකීය සුඑ ජාතීන්ට එරෙහිව ක්‍රියාත්මක වන ජාතිවාදී සංවිධාන ක්‍රියාකාරීත්වය

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *