මුස්ලීම් නොවන පිරිස් ඝාතනය කරන්න ඉස්ලාම් අණ කරනවාද?

4

ඉස්ලාම් දහමට එරෙහිව ජාත්‍යන්තරව එල්ල කරන චෝදනාවන් අතර ශුද්ධ වූ කුර්ආනයේ 9 වන පරිච්ඡේදයේ ඇති 05 වන වාක්‍යය ද එකකි. මෙම වාක්‍යය පදනම් කරගෙන මුස්ලීම් සමාජයට චෝදනා කරන පිරිස් අතර වර්ථමාන ශ්‍රී ලාංකීය සමාජය ද සිටී. පසුගිය දින කිහිපයක විවිධ බ්ලොග් අඩවිවල මෙන්ම යහමඟ අඩවිය තුල ද මෙම වාක්‍යය පදනම් කරගෙන ඉස්ලාම් දහමට එරෙහිව comments ඉදිරිපත් කර තිබුණි. මේ හේතුව නිසා මෙම 9-5 වාක්‍යය පිලිබදව ඉස්ලාමීය විමසුමක් සිදුකිරීමට අදහස් කරමි. එයට තවත් ප්‍රධාන හේතුවක් ඇත. එනම් මෙම වාක්‍යය පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව සමහරක් මුස්ලීම්වරුන්ට පවා තරමක අපැහැදිලිතාවයක් පවතින කාරණයක් වන බැවිණි.

බැලූ බැල්මට “මුස්ලිම් නොවන අනෙකුත් අයවත්, සතුරන්වත්, එකඟ නොවෙන සියල්ලන්වත් මරා දමනු” යනුවෙන් පැවසෙනවා සේ පෙනෙන මෙම ශුද්ධ වූ කුර්ආනයේ 9-5 වාක්‍යය කිසියම් මිලෙඡ්චත්වයක් මුස්ලීම් සමාජයට අවධාරණය කරනවාදෝ? යන්න සිතෙන්නට පුළුවන. මෙහිදී ප්‍රථමයෙන් පැවසිය යුතු කාරණය නම් මෙවැනි වාක්‍යයක් ශුද්ධ වූ කුර්ආනයේ අන්තර්ගතව පවතිනවා යන්න සහා එය දේව වාක්‍යයක් යන්නයි. මෙම කාරණය පිලිබදව කිසිදු මුස්ලීම්වරයෙකුට දෙවැනි මතයක් පැවතීමට නොහැක. එසේ නම් දැන් ඇති ගැටළුව සැබැවින්ම අල්ලාහ් (දෙවියන්) මේ වාක්‍යයෙන් අදහස් කරන්නේ කුමක්ද? යන්නයි.

මෙම කාරණය අවබෝධ කරගැනීම සදහා කලයුතු වන්නේ ඉස්ලාමීය ඉගෙන්වීමන් නිවරුදි ලෙස අධ්‍යනය කිරීමයි. මෙහිදී පාඨක ඔබගේ අවධානයට යොමු කලයුතු විශේෂ කාරණයක් ඇත. ඒ මෙම 9-5 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පහල වූ සමාජ තත්වයයි. එම සමාජ තත්වය දැනගැනීම මෙම 9-5 වාක්‍යය නිවරුදි ලෙස අවබෝධ කර ගැනීමට පිටුවහලක් වනුඇත. ඒ අනුව එම සමාජ තත්වය කෙටියෙන් දැන් විමසා බලමු.

මීට සියවස් 13 කට පෙර මක්කාවේ ජීවත් වූ මුහම්මද් (සල්) තුමාණන් දේව වක්තෘවරයෙකු ලෙස පණිවුඩය ප්‍රකාශ කිරීමේ මෙහෙවර අරඹනවාත් සමඟම එම සමාජය විසින් එතුමාණන් හට විවිධ ආකාරයේ වදහිංසනයන් සිදුකිරීම ඇරඹූණී. ඒ වනවිටත් විවිධ ආකාරයේ පිලිම වන්දනයන් හි නිරත වී සිටී සමාජය ඉදිරියේ මුහම්මද් (සල්) තුමාණන් විසින් ඒක දේව සංකල්පය ප්‍රකාශ කිරීම නිසා මෙලෙස විවිධ වදහිංසනයන්ට එතුමාණන් ගොදුරු විය. එතුමාණන්ට පමණක් නොව එතුමාණන්ගේ මෙහෙවර පිලිගත් පිරිසට ද දැඩි ලෙස හිංසනයන් ට ලක්විය. වදහිංසනයන් පමණක් නොව එවකට ඉස්ලාම් දහම පිලිගත් පිරිස් ඝාතනයන්ට පවා ලක්විය. එය කොතරම් කෘර ආකාරයට සිදුවුවාද යයි පවසනවා නම් සමහරක් මුස්ලීම්වරුන්ගේ කකුල් දෙකේ ඔටුවන් බැද ඒ ඔටුවන් දෙපසට දුවවා ඔවුන් දෙකඩ කොට ඝාතනය කලේය. තවත් සමහර මුස්ලිම්වරුන් අත්දෙකෙන් බැද ඔහුව ඔටුවෙකුගේ කරේ බැද දවසපුරා සෑම වීදියක් වීදියක් පාසා හා කාන්තාරවල ඒ ඔටුවා දුවවමින් දැඩිලෙස හිංසනයන් සිදුකරන ලදී. එපමණක් නොව ඉස්ලාම් දහම වෙනුවෙන් ප්‍රථමයෙන් ජීවිතය පුදකරන “සුමයියා” නම් කාන්තාව ඉතා කෘර ආකාරයට ඔවුන් ඝාතනය කරන ලදී. ඒ ඉස්ලාම් විරෝධීන් විසින් ඇය කිසියම් තැනක බැදදමා ඇයගේ ලිංගික ප්‍රදේශයට හෙල්ල පහරවල් එල්ල කිරීමෙන් ඇය ඝාතනය කලේය. මෙලෙස කෘර වදවේදනා රාශියක් මධ්‍යයේ මක්කාවේ ජීවත් වූ මුස්ලීම්වරුන් තමන්ට ඉස්ලාම් විරෝධින් ලබාදෙන හිංසනයන් දරාගැනීමට නොහැකිව ඔවුන් හා සටන් වැදීමට විටින් විට මුහම්මද් (සල්) තුමාණන්ගෙන් අවසර ඉල්ලා සිටියේය. නමුත් එයට නබිතුමාණන් “ඒ සදහා දෙවියන්ගෙන් මට අවසර ලැබී නැත” යනුවෙන් පවසමින් සියළු වේදනාවන් ඉවසා කටයුතු කරන ලෙස ඔවුනට දේශනා කලේය. මෙලෙස කාලයක් ගෙවීයනවාත් සමඟ ඉස්ලාම් විරෝධින් නොඑසේනම් සමානයන් තබන්නන් (එනම් දෙවියන්ට සමානව පිලිමයන් තබා වන්දනය කිරන්නන්) තම හිංසාකාරී ක්‍රියාවලිය උග්‍ර ලෙස ක්‍රියාත්මක කිරීමට අරඹන්නට විය. මේ හේතුව නිසා මුස්ලීම්වරුන් හට තම මව්බිම වන මක්කාව අතහැර මදීනාවට පලායමට දෙවියන්ගෙන් අවසර ලැබුණි. (මේ වනවිටත් මුස්ලීම්වරුන් ඉතා සුළු පිරිසක් මක්කාවෙන් ඉතියෝපියාවට නබිතුමාණන් විසින් පිටමංක තිබුණි. (මෙය පලමු හිජ්රත් නම් වේ)) ඒ අනුව නබිතුමාණන් හා එතුමාණන්ගේ දහම පිලිගෙන මක්කාවේ ඉතිරිව සිටී පිරිස ඉතා රහසිතව මක්කාවේ සිට මදීනාවට (දෙවන හිජ්රතය) පලාගියේ තම උපන්බිමත්, ඥතීන් පිරිසත්, තම ව්‍යාපාර හා වතුපිටි ද අත්හැර දමමිනි. නබිතුමාණන් ඇතුළු පිරිස මදීනාවට එනවිටත් මදීනාවේ බොහෝ පිරිස් ඉස්ලාම් දහම පිලිගෙන සිටී නිසා නබිතුමාණන් හට මදීනාවේදී හොද පිලිගැනීමක් ලැබුණි. මෙලෙස ජීවිතයේ ගතහැකි දුෂ්කරම හා බැරෑරුම් තීන්දුව ගෙන මදීනාවට පලා ආ මුස්ලීම්වරුන් මදීනාවේ නිදහසේ ජීවත්වීමට අපේක්ෂා කලද (සමානයන් තබන) මක්කාවාසීන් එයට ඉඩහැරියේ නැත. ඔවුන් මදීනාවට එරෙහිව විටින් විට යුධ ප්‍රකාශ කරමින් පහර දෙන්නට විය. මෙවන් වාතාවර්ණයක මුස්ලීම්වරුන් දිගින් දිගටම නබිතුමාණන්ගෙන් ඔවුන් හා යුධ වැදීමට අවසර ඉල්ලා සිටින ලදී. ඒ අනුව ඔවුනට එරෙහිව සටන් කිරීමට අල්ලාහ් (දෙවියන්) අවසර ලබාදෙන ලදී. මුස්ලීම්වරුන්ට එදිරිවාදීන් සිදුකල හිංසනයන් සමඟ මෙම අවසරය සලකා බැලුවේ නම්, “එය මීට පෙර හිමි වියයුතු අවසරයක්” යයි බැලූ බැල්මට ඕනෑම කෙනෙකුට සිතෙනු ඇත. නමුත් දිව්‍යමය දහමක අනපනත් පවතින්නේ කෙටි කාලීන යහපතකට වඩා දීර්ඝ කාලීන යහපත් අරමුණු කරගෙන නිසාත්, (මෙයට “හුදෙයිබියා” නම් ගිවිසුම ද හොද සාක්ෂියකි) මෙවැනි කාරණයන් තුලින් ඉස්ලාම් දිනාගත් ජයග්‍රහණයන් ඉතිහාසය තුල අද අපට දක්නට තිබෙන නිසාත්, එය අවබෝධ කරගැනීම අපහසු නොවේ. කෙසේ වෙතත් ශුද්ධ වු කුර්ආනානයේ 9-5 වාක්‍යය හුවාදක්වමින් මුස්ලීම් නොවන ප්‍රජාව පවසනවා සේ  ‘මුස්ලීම් නොවන පිරිස් කපා කොටා දමන්න’ කියා ඉස්ලාම් පැවසුවේ නැත. ඉස්ලාම් යුද්ධය සදහා මුස්ලීම්වරුන්ට අවසර ලබා දෙන්නේ කොන්දේසි රාශියකට ඔවුන් යටත් කොටය. එයින් ශුද්ධ වූ කුර්ආනයේ සදහන් කොන්දේසි කිහිපයක් පවසනවා නම්,

  • “සටනට එන පිරිස සමඟ තමා සටන් කලයුත්තේ“
  • “උපන් බිමෙන් නෙරපූ පිරිස සමඟ තමා සටන් කලයුත්තේ“
  • “යුද්ධයෙන් මිදුණූ පිරිස හා යුද්ධයක් නැත“
  • “අසාධාරණයට ලක්වන දුර්වල පිරිමීන්, ගැහැණුන් හා දරුවන් (ගේ අයිතීන්) වෙනුවෙන් තමා සටන් කලයුත්තේ“
  • “සමාදානය ප්‍රිය කරන පිරිස හා සටනක් නැත“
  • “යුද්ධයක් මුලින්ම ඇරඹීට (මුස්ලීම්වරුන්ට) අවසර නැත“
  • “දහම පතුරුවාලීම පිණිස යුද්ධයන් නැත“

ඉහතින් දක්වා ඇත්තේ ඉස්ලාම් පවසන කොන්දේසි කිහිපයක් පමණි. මෙවැනි කුර්ආනීය ඉගෙන්වීමන් විවෘත මනසින් බුද්ධිමත් ලෙස විමසා බැලුවේ නම් 9-5 වාක්‍යය පදනම් කරගෙන ඉස්ලාමයට එල්ල කරන චෝදනාව කොතරම් පදනම් විරහිත එකක් ද යන්නත්, ඉස්ලාම් පවසන මෙම කොන්දේසි රාජ්‍ය පාලනයක දී කොතරම් ප්‍රයෝගික ඉගෙන්වීමක්ද? යන්නත් අවබෝධ කරගැනීම අපහසු නොවේ. මෙහිදී සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම්, ඉහත සදහන් කොන්දේසිවලට යටත් වුවද සටන් කිරීමට නම් සැපිරිය යුතු තවත් මූලික කොන්දේසියක් ඇත. ඒ ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් (මෙයින් මුස්ලීම්වරයෙකු සිදුකරන පාලනය යන්න අදහස් නොවන අතර ඉස්ලාම් පවසන ආකාරයේ රාජ්‍ය පාලනයක්) පැවතීම අත්‍යඅවශ්‍ය වේ. එවැනි රාජ්‍ය පාලනයක් නොමැති නම් ඉහත සදහන් යුද්ධය සදහා වූ කොන්දේසි වලංගු නොවේ. ඒ අනුව තනිපුද්ගලයෙකු ලෙස හෝ සංවිධානයක් ලෙස මුස්ලීම්වරුන් ජිහාද් නමින් ඉදිරිපත් වන්නේ නම් (මෙවැනි සංවිධාන ලෝකයේ අද දක්නට ඇත) එය ඉස්ලාමීය ඉගෙන්වීමන්ට පරස්පර වූ ඉස්ලාම් විරෝධි ක්‍රියාවන් බව පැහැදිලි ලෙස වටහා ගතයුතුය.

ඉහත කොන්දේසි හොදින් මතකයේ රදවාගෙන ඉහතින් සදහන් 9-5 වාක්‍යය දෙස අවධානය යොමු කිරීම මඟින් එම වාක්‍යය වඩාත් නිවරුදි ආකාරයට අවබෝධකර ගැනීම පහසුවනු ඇත. ඉස්ලාමීය මූලාශ්‍රයන් අධ්‍යනය කරන විශේෂයෙන් ශුද්ධ වූ කුර්ආනය අධ්‍යනය කරන සියළුදෙනා දැනසිටිය යුතු කාරණයක් ඇත. එය මෙහිදී ද වැදගත් අංගයක් වන නිසා මාතෘකාවට යොමුවීමට පෙර ඒ පිලිබදව ද කෙටියෙන් විග්‍රහයක් කරන්නට අදහස් කරමි. එනම් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් අවබෝධකර ගැනීමට යාමේදී අනුගමනය කලයුතු කොනදේසි කිහිපයක් ඇත. එම කොන්දේසි ද හොදින් දැනසිටීම අත්‍යඅවශ්‍ය වේ. එම කොන්දේසි නම්,

  • කිසියම් වාක්‍යයක කොටසක් පමණක් ගෙන තවත් කොටසත් අත්හැර දැමීම සිදු නොකලයුතුය,
  • කිසියම් වාක්‍යයක් කියවීමේදී ඊට පෙර හා පසු වාක්‍යයන්ද කියවීම,
  • තමා විසින් පදනම් කරගන්නා වාක්‍යයට අදාලව වන කුර්ආනයේ සදහන් අනිකුත් වාක්‍යයන් ද විමසා බැලීම,
  • තමා පදනම් කරගන්නා වාක්‍යය පිලිබදව නබිතුමාණන්ගේ විග්‍රහය විමසා බැලීම,
  • එම වාක්‍යය පහලවීමට පසුබිම් වූ සිදුවීම සොයා බැලීම,

ඉහත කොන්දේසි සියල්ල එකම විට අනිවාර්‍ය අවශ්‍යතාවයක් නොවුවත් ශුද්ධ වූ කුර්ආනය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා එයින් වැඩි සංඛ්‍යාවක් සැපිරී තිබීම අත්‍යඅවශ්‍ය වේ. මෙම තත්වය වඩාත් හොදින් වටහා ගැනීම සදහා එනම් ඉහත කොන්දේසිවල අවශ්‍යතාවය අවබෝධකර ගැනීම සදහා ශුද්ධ වූ කුර්ආනයෙන් නිදසුන් කිහිපයක් දැන් විමසා බලමු.

  • වාක්‍යයක කොටසක් සැලකීම – ශුද්ධ වූ කුර්ආනයේ එක්තරා ස්ථානයක “සලාත් කරන පිරිසට විනාශයයි“ යනුවෙන් සදහන් වේ. මෙම කොටස පමණක් සැලකූවිට සලාත් (පස්වේල වන්දනය) කිරීම මුස්ලීම් සමාජයට භයානක ඉරණමක් උදාකර දෙන්නක් ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් එහි සදහන් කාරණය සම්පූර්ණයෙන් සලකා බැලුවේ නම් කුමණ ආකාරයට සලාතයේ නිරත වන්න සදහා මෙම ඉරණම අත්වෙනවාද? යන්න පැහැදිලිවම සදහන් වේ.
  • වාක්‍යයක පෙර හා පසු වාක්‍යන් නොසැලකීම – මෙම කාරණය මේ ලිපියෙහි ඉදිරියටත් උදාහර්ණ සහිතව සාකච්චා කෙරේ
  • කුර්ආනයේ සදහන් අනිකුත් වාක්‍යයන් සැලකීම – මෙම කාරණය ද මෙහි පහතින් සාක්ච්චා කෙරේ
  • නබිතුමාණන්ගේ විග්‍රහය – ශුද්ධ වූ කුර්ආනයට නබිතුමාණන්ගේ විග්‍රහය අත්‍යඅවශ්‍ය බව කුර්ආනය අවධාරනය කරයි. මෙහි අවශ්‍යතාවය සරලව අවබෝධ කරගැනීම සදහා නිදසුනක් පවසනවා නම්, ශුද්ධ වූ කුර්ආනය “සකාත්“ (ධනවත් මුස්ලීම්වරුන් දිළිදු ජනතාව සදහා ලබාදිය යුතු අනිවාර්‍ය බද්ධ) පිලිබදව අවධාරණය කරමින් පවසයි. නමුත් එය කුමණ ආකාරයට බෙදා දියයුතු ද යන්න ප්‍රතිශතයක් ලෙස සදහන් වන්නේ නබිතුමාණන්ගේ ආදර්ශයේ හෙවත් හදීස්වලය. (මෙවැනි කරුණු රාශියක් ශුද්ධ වු කුර්ආනයේ ඇත) මේ අනුව නබිතුමාණන්ගේ විග්‍රහය ද අත්‍යඅවශ්‍ය සාධකයක් යන්න අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත.
  • වාක්‍යය පහලවීමට පසුබිම් වූ සිදුවීම – මෙම කාරණය ද ඉහත සදහන් හදීස්වලට අන්තර්ගත කාරණයකි. මේ පිලිබදව කෙටි හැදින්වීමක් සිදුකරන්නේ නම්, ශුද්ධ වූ කුර්ආනයේ “වහල්ලුන්“ සම්බන්ධයෙන් විවිධ නීතිරීති කථා කරයි. මනුෂ්‍යයා විසින් සිදුකරන නොයෙක් වැරදි සදහා පිලියම් ලෙස මෙම වහල්ලුන් නිදහස් කිරීම පිලිබදව කථා කරයි. එදා සමාජයේ වහල්ලුන් වෙළද පොළේ විකිණෙන භාණ්ඩයක් ලෙස පැවතුණු අතර එවන් සමාජයකට මෙම වාක්‍යයන් පහල විය. නමුත් වර්ථමාන සමාජයේ වහල්ලු දක්නට නැති නිසා වර්ථමානයේ මෙම (වහල්ලු පිලිබදව කථා කරන) කුර්ආන් වාක්‍යයන් දකින පිරිසට විවිධ ආකාරයේ කුතුහලයන් ඇතිවීමට පුළුවන. එම කුතුහලයන් නිරාකර්ණය කරගැනීමට නම් එම සමාජ පසුබිම අවබෝධ කරගෙන සිටීම අත්‍යඅවශ්‍ය සාධකයක් වේ.

ඉහත පැහැදිලි කිරීමන්ට අනුව ශුද්ධ වූ කුර්ආනය අවබෝධකර ගතයුත්තේ කෙසේද? යන්න පිලිබදව ඔබට දළ අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. එසේනම් දැන් ශුද්ධ වූ කුර්ආනයේ 9-5 වාක්‍යය වෙත දැන් අවධානය යොමු කරමු, කිසියම් විෂයක් පිලිබදව තර්ක විතර්ක ගොඩනැඟීමේ දී හෝ නිගමනයන්ට එළඹීමේ දී එම විෂය පිලිබදව පූර්ණ අවබෝධයකින් යුතුව එය සිදුකිරීම තමා බුද්ධිමත් ක්‍රියාව වන්නේ. නිදසුනක් ලෙස සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේ භාවිතා වන වාක්‍යයක් පදනම් කරගෙන විමසා බැලුවේ නම්,

“මට ගැහුවොත්, මම ඔහුට ගහනවා!“

මෙම වාක්‍යය අපේ සමාජයේ සරලව භාවියේ තිබෙන වාක්‍යයක්. මේ මඟින් පැවසෙන්නේ කිසියම් ක්‍රියාවකට ප්‍රතිචාරයක් ලෙස තමන් ද කිසියම් ක්‍රියාවක් සිදුකරන බවයි. නමුත් මෙම වාක්‍යයේ මුල් කොටස වන “මට ගැහුවොත්“ යන කොටස වසන් කොට ප්‍රකාශ වනවිට  “මම ඔහුට ගහනවා“ යන්න බවට පත්වේ. මෙය ඉහත ප්‍රකාශයට වඩා ප්‍රබල එසේම අසාධාරණ වූ ක්‍රියාවක් යන්න පහසුවෙන් අවබෝධකර ගතහැක. එපමණක් නොව ඉහත වාක්‍යය මඟින් පැවසෙන කාරණයේ අර්ථය සම්පූර්ණයෙන් විකෘති වන ආකාරයට “මම ඔහුට ගහනවා“ යන්න පමණක් ප්‍රකාශ කිරීම කිසිවිට අත්වැරුද්දක් නොවන අතර එය සැලැසුම් සහගත ලෙස හා යටිඅරමුණක් ඇතුව හිතාමතා වසන් කිරීමක් යන්න වටහාගැනීම ද අපහසු නොවේ. මා මෙහිදී මෙම සරල නිදසුනක් ගෙන පැහැදිලි කරන තත්වය තමා ශුද්ධ වූ කුර්ආනයේ 9-5 වාක්‍යයට ද උදාකර ඇත්තේ. ශුද්ධ වූ කුර්ආනයේ සදහන් මෙම වාක්‍යයට පෙර හා පසු වාක්‍යයන් සම්බන්ධ කරගෙන එම විෂය අවබෝධකර නොගෙන තමන්ට වාසිසහගත කොටස පමණක් උපුටාගෙන එම වාක්‍යය සදහා තර්කයන් ගොඩනැඟීම බුද්ධිමත් ක්‍රියාවක් නොව අන්තවාදී ක්‍රියාවකි. මෙහිදී සමහරක් මුස්ලීම්වරුන් පවා නොදන්නා සත්‍යයක් සදහන් කලයුතුව ඇත. එනම් ශුද්ධ වු කුර්ආනයේ වාක්‍යයන් වෙන්කොට ඒ සදහා අංක යෙදීම යන්න ඉස්ලාම් පෙන්වා නොදුන් ආදර්ශයක් වන අතර එය අධ්‍යන පහසුව සදහා පසුකාලීනව කල වෙනස් කිරීමකි. (අදටත් ආරක්ෂා වී පවතින ශුද්ධ වූ කුර්ආන් මුල් පිටපතේ මෙවැනි වාක්‍ය අංක කිරීමක් දක්නට නොලැබේ) මෙම වෙනස් කිරීම තුලින් එහි අන්තර්ගතයට කිසිදු හානියක් නොවුවත් එයින් ඉහත ආකාරයේ සංකීර්ණ තත්වයන් නිර්මාණය වීමට මඟපාද ඇත. මෙම තත්වය වඩාත් හොදින් අවබෝධ කර ගැනීම සදහා ශුද්ධ වූ කුර්ආනයෙන් බොහෝ නිදසුන් ගෙනහැර දැන්වීමට හැක. නමුත් මෙම ලිපිය දීර්ඝ වී සැලකිල්ලට ගෙන එක් නිදසුනක් පමණක් මෙහි ඉදිරිපත් කරමි,

ශුද්ධ වූ කුර්ආනයේ 11 පරිච්ඡේදයේ 96 හා 97 වාක්‍යය වෙත අවධානය යොමු කරමු. ඒ මෙසේය,

96 වාක්‍ය – අපගේ පැහැදිලි ආයාවන් හා ප්‍රතිහාර්‍යයන් සමඟ මුසා (තුමා, මොහු නබිවරයෙකි) අපි යැව්වෙමු.

97 වාක්‍ය – ෆිර්අවුන් (මුසා නබිතුමාගේ කාලයේ ජීවත් වූ කෘර පාලකයෙක් හා ඔහුගේ ප්‍රධානීන් වෙත.

ඉහත වාක්‍යයන් දෙක අතුරින් 96 වාක්‍යය පමණක් සැලකූවිට මුසා (අලෛ) තුමාණන්ව දෙවියන් විසින් යවන ලද බව පැවසුවද ඒ කව්රුන් වෙතද යන්න එහි සදහන් නොවීම තුල එම වාක්‍යය අපහැදිලි වාක්‍යයක් බවට පත්වේ. 97 වාක්‍යය පමණක් සැලකූවිට එහි “ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත“ යන්න පැවසුවත් එයින් කුමක් අදහස් කරනවාද? යන්න පැහැදිලි නොවේ. නමුත් ඉහත වාක්‍යයන් දෙක එකට එක්කොට බැලූවිට “අපගේ පැහැදිලි ආයාවන් හා ප්‍රතිහාර්‍යයන් සමඟ මුසා අපි යැව්වෙමු. ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත.“ (11-96 හා 97) යන්න පැහැදිලි ලෙස වටහාගත හැකි වේ. මේ ආකාරයටම ශුද්ධ වූ කුර්ආනයේ සදහන් ඉහත 9-5 වාක්‍යය ද සලකා බැලුවේ නම්, එනම් එම වාක්‍යය හුදෙකලා කොට හෝ එම වාක්‍යයෙන්ද කොටසත් උපුටාගෙන ඒ තුලින් කිසියම් සංවාදයක් හෝ නිගමනයකට එළඹීමට උත්සාහ කිරීම යන්න නිවරුදි අධ්‍යනයක් නොවන බව දැන් ඔබට පැහැදිලි වනු ඇත. එසේ නම් කලයුතු වන්නේ එම විෂය පිලිබදව කථා කරන සියළු කුර්ආන් වාක්‍යයන් ප්‍රථමයෙන් හොදින් අධ්‍යනය කිරීමයි. අඩුම තරමින් එකම පරිච්ඡේදයේ ඇති වාක්‍යයන් සියල්ල හෝ විමසා බැලීම අත්‍යඅවශ්‍යය. එසේත් නොහැකි නම් එකම පරිච්ඡේදයේ එක ලඟ ඇති එකම විෂය කථා කරන වාක්‍යන් සියල්ලම හෝ විමසා බැලිය යුතුය. එසේත් නොකොට ශුද්ධ වූ කුර්ආනයේ සදහන් කරුණු අවබෝධ කරගන්නවා යන්න මුලාවක් පමණි. අවාසනාවකට අද බොහෝ ඉස්ලාම් විවේචකයන් අතර දක්නට තිබෙන පොදු ලක්ෂණය ද මෙයයි.

දැන් ඉහත 9-5 වාක්‍යය මඟින් පැවසෙන කාරණයට අවධානය යොමු කලේනම්,

ශුද්ධ වූ කුර්ආනයේ “තව්බා“ නම් 09 වන පරිච්ඡේදයේ මුස්ලීම් ප්‍රජාව මුස්ලීම් නොවන පිරිස් සමඟ ක්‍රියා කලයුතු  ආකාරය දිගින් දිගටම විස්තර කරයි. මක්කාවෙන් පලාවිත් මදීනාවේ ජීවත් වූ මුස්ලීම්වරුන්ට එරෙහිව මක්කාවාසී මුස්ලීම් නොවන ප්‍රජාව දිගින් දිගටම යුධ මෙහෙය වන පසුබිමක ඔවුන් සමඟ ගිවිසුමකට යටත් ක්‍රියාකලයුතු ආකාරය 4,5,6 වාක්‍යයන් මඟින් ශුද්ධ වූ කුර්ආනය පහත ආකාරයට විස්තර කරයි. එනම්,

ඔබ ගිවිසුම් ඇති කර ගත් මෙම සමානයන් තබා අදහන්නන්ගෙන් කවුරුන් (තම ගිවිසුමෙන්) කිසිවක් අඩුවක් නොකර ද ඔබට විරුද්ධව කිසිවකුටත් උදව් නොකර සිටියෝද ඔවුනට ඔවුනගේ ගිවිසුම එහි නියමිත කාලය අවසන් වනතුරු (කිසිම අඩුවක් නොකර) පූර්ණ කරනු. ඇත්තෙන්ම අල්ලාහ් (දෙවියන්) බියබැතියන් ප්‍රිය කරන්නේය. (4) ශුද්ධ වූ මාසය ගෙවීගියේ නම් සමානයන් තබා අදහනවුන් දුටුතැන කපා දමනු. ඔවුන්ව සිරගත කරනු. ඔවුන් සැඟවෙන සැම තැනම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිනු. ඔවුන් ඔවුන්ගේ අපරාධයෙන් පසුතැවිලි වී වැළකී. (ඉස්ලාමය පිලිගෙන) සලාතය (පස්වේල වන්දනය) ද සකාතය (දුළිදු ජනයා සදහා ගෙවිය යුතු අනිවාර්‍ය බද්ධ) ද ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි  අත්හරිනු. ඇත්තෙන්ම අල්ලාහ් (දෙවියන්) සමාව දෙන අතර ඉතා කරුණාවන්තය.(5) සමානයන් තබා අදහනවුන්ගෙන් කවුරුන් හෝ (නබිතුමණි) ඔබගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ ආයාවන් (වාක්‍යයන්) ඔහු සවන් දෙනතුරු ඔහුට ආරක්ෂාව දෙනු. (ඔවුන් සවන් දී එය විශ්වාස නොකළහොත්) ඔහුව ඔහුට ආරක්ෂාව දෙන ස්ථානයකට යවනු මැනව!, මන්දයත් ඇත්තෙන්ම ඔවුන් නුවණ නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය. (6)

ශුද්ධ වූ කුර්ආනය 9- 4, 5 හා 6

ඉහත වාක්‍යය පහල වන්නේ මා මෙම ලිපිය ආරම්භයේ පැවසුවා සේ නබිතුමාණන් ඇතුළු පිරිස් ඉස්ලාම් විරෝධීන්ගෙන් දිවි බේරාගෙන තම උපන්බිම, පවුලේ ඥාතීන් හා ජීවිත කාලය පුරාවට රුස්කල සියළු වස්තූන් අතහැර දමා මදීනාවට පලාගොස් එහි ජීවත්වන සමයකය. එනම් මදීනාවට පලාගිය මුස්ලීම්වරුන්ට එරෙහිව මක්කාවේ සිටී ඉස්ලාම් විරෝධීන් ක්‍රියාකරන අවධියකය. මේ වනවිට මදීනාවේ ජීවත්වන නබිතුමාණන් අධ්‍යාත්මික නායකයෙකු පමණක් නොව රාජ්‍ය පාලකයෙකු ද වන්නේය. රාජ්‍ය පාලකයෙකු ලෙස තම රටේ ජනතාවගේ ආරක්ෂාව උදෙසා විවිධ අවස්ථාවල ඉස්ලාම් විරෝධීන් හා ගිවිසුම්ගත වන ලදී. (මේ පිලිබදව මෙම අඩවිය තුල ද සාකච්චා කොට ඇත.) එවැනි එක් සුවිශේෂි ගිවිසුමක් වන්නේ හුදෙයිබියා නම් ගිවිසුමයි. මෙසේ ගිවිසුම්වලට එළඹ නිදහසේ ජීවත්වීමට මුස්ලීම්වරුන් සිතුව ද ඉස්ලාම් විරෝධීන්ගේ එම ගිවිසුම් උල්ලංඝනය කරමින් විවිධ විරුද්ධවාදී ක්‍රියාවන් හි නිරතවීමේ අඩුවක් නොවීය. එවැනි පිරිසට එරෙහිව රාජ්‍ය පාලකයෙකු ගතයුතු පියවර තමා ඉහත වාක්‍යයන් මඟින් අල්ලාහ් (දෙවියන්) පැහැදිලි කරන්නේ. මෙසේ ඉස්ලාම් විරුද්ධවාදීන් ට එරෙහිව සටන් කිරීමට අවසර ලබාදෙන ඉස්ලාම් එය කොන්දේසි රාශියකට යටත්ව ලබාදී ඇති බව ඉහතින් සදහන් කලෙමි. එම කොන්දේසි අතුරින් කිහිපයක් නැවත මතක් කරන්නේ නම්,

  • අනවශ්‍ය ලෙස සටනට එන පිරිස සමඟ තමා සටන් කලයුත්තේ
  • උපන් බිමෙන් නෙරපූ පිරිස සමඟ තමා සටන් කලයුත්තේ
  • යුද්ධයෙන් මිදුණූ පිරිස හා යුද්ධයක් නැත
  • අසාධාරණයට ලක්වන දුර්වල පිරිමීන්, ගැහැණුන් හා දරුවන් වෙනුවෙන් තමා සටන් කලයුත්තේ
  • සමාදානය ප්‍රිය කරන පිරිස හා සටනක් නැත
  • යුද්ධය මුලින්ම ඇරඹීට (මුස්ලීම්වරුන්ට) අවසර නැත
  • දහම පතුරුවාලීම පිණිස යුද්ධයන් නැත

(මේ පිලිබදව වැඩි විස්තර සදහා ත්‍රස්ථවාදය හා ජිහාද් යන ලිපිය කියවන්න)

මෙතෙක් සාකච්චා කල කරුණුවලට අනුව ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ගෙන එම වාක්‍යයේද තමන්ට අවශ්‍ය කොටස ගෙන (අනිකුත් දෑ වසන් කොට) ප්‍රකාශ කිරීම මඟින් ඉස්ලාම් දහමට කිසියම් බලපෑමක් හෝ විවේචනයක් සිදුකරන්නට කිසිවකු සිතන්නේ නම් කොතරම් පහත් ක්‍රියාවක්ද? යන්න සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට පවා පහසුවෙන් වටහාගත හැක. නමුත් වර්ථමාන සමාජය තුල ආගම් සම්බන්ධයෙන් පමණක් නොව දෛනික ජීවිතය තුල පවා සාමාන්‍ය අංගයක් බවට පත්ව නිසා එවන් පිරිසට මෙය සාමාන්‍ය තවත් සිදුවීමක් වන්නට පුළුවන. විශේෂයෙන් අන්තර්ජාලය තුල ඉස්ලාම් දහමට එරෙහිව බ්ලොග් ලිපි මවන ඔස්ර්ලාට නම් මේවා සුපුරුදු කලාවකි. සමහර විට මෙම ලිපියට එරෙහිව පවා ඔවුන්ගේ එම කාලව ඉදිරියේදී රඟ දක්වනු ඇත. නමුත් පොදු ජනතාව බුද්ධිමත් වියයුතුය. “කියන්න කෙසේ වෙතත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය“ එසේ නොවේ නම් පාඨක ඔබ නොමඟ යෑමක් සිදුවන්නට පුළුවන. එපමණක් නොව වර්ථමානයේ ලොව බොහෝ ආගම් එහි ඉගෙන්වීමන් පසෙකලා තමන්ට අවශ්‍ය ආකාරයටත්, ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරන ආකාරයටත් ආගම සකසා ගැනීම සදහා භාවිතා කරන්නේත් මා ඉහත කී මෙම කාලාවයි. මෙයට නිදසුන් ඕනෑ තරම් ගෙනහැර දැක්වීමට හැකි වුවත් මෙම ලිපිය තවදුරටත් දීර්ඝ නොකිරීම පිණිස සරලව එම කාරණය පැහැදිලි කරනවා නම්, වර්ථමානයේ බොහෝ ආගමික විද්වතුන් හා පූජකවරුන් පවසන “ආගමේ එහෙම තියෙනවා තමයි නමුත්…….“ යන්න මෙම අරාජිකත්වය හා ඉහත සදහන් කලාව එහි ක්‍රියාවට නැංවෙන ආකාරය මනාව පිළිඹිබු කරන අවස්ථාවකි. නමුත් ඉස්ලාම් මෙම දුර්වලතාවයෙන් සුවිශුද්ධ වී ඇත. ඒ ඉස්ලාම් මනුෂ්‍ය බුද්ධිය ඉක්ම වූ පූර්ණ ඥානයක් ඇති දිව්‍යමය සැලසුම් කරනයක් බව මුස්ලීම්වරුන් එකසිතින් පිලිගන්නා නිසාය. ඒ අනුව ශුද්ධ වූ කුර්ආනයේ සදහන් සියළු වාක්‍යයන් පටු අරමුණුවල හිද බලන කල කිසියම් අපැහැදිලි හා ව්‍යාකූල තත්වයකින් පෙනුනද එය නිවරුදි ලෙස හා විවෘත මනසින් හා අපක්ෂපාතී නොවී අධ්‍යනය කලේනම් ඉස්ලාම් කාලීන හා ප්‍රායෝගික දහමක් යන්නත් වටහා ගැනීම දුෂ්කර කාර්‍යයක් නොවනු ඇත.

 

අබූ අර්ශද්

 

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 4 යි.

  1. gayan 2013-03-10 at 13:10

    එතකොට මුස්ලිම්වරු ඇෆ්ගනිස්ථානයේ ඉඳල ඉන්දියාව වෙනකල් රටවල බෞද්ධයන් ,භික්ෂුන් වහන්සේලා මැරුවේ ඇයි?නාලන්දාව ගිනි තිබ්බේ ඇයි?එහෙ දානේ වළදමින් ඉන්න භික්ෂුන් වහන්සේලා කපලා මැරුවේ ඇයි? දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේ කෑලී වලට කපලා ගිනි තියලා විනාශ කරේ ඇයි?බෞද්ධයන් මොනවාද කරේ.අරාබියට ගිහින් ගහලා ආවද?අද දකුණු තායිලන්තේ හාමුදුරුවරු මරන්නේ ඇයි?බංග්ලාදේශයේ චිතගොං බෞද්ධයන්ට කරදර කරන්නේ ඇයි?කවුද මේ රටවල් ආක්‍රමණය කරේ බෞද්ධයෝද?අපේ රටට අයිතිව තිබූ මාලදිවයින මුස්ලිම් කරේ කොහොමද?ඉන්දුනීසියාවේ මැලේසියාවේ වුනේ ,වෙන්නේ මොනවද?මේවාට මොකද කියන්නේ ?

    • අබූ අර්ශද් 2013-03-10 at 13:46

      ‍මෙහි පලමුව කිවයුතු කාරණය වන්නේ ඉහත ලිපිය තුලින් මා කථා කොට ඇත්තේ ඉහත විෂය පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවර මිස වර්ථමාන මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපය සාධාරණිකරනය කිරීමක් නම් නොව.
      දෙවන කාරණය වන්නේ ඔබ ඉහතින් මුතුකරණ චෝදනාවලට කිසිදු පදනමක් නැත යන්නයි. කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් මුස්ලීම් සමාජය කෙරෙහි ද්වේෂයෙන් කල ප්‍රකාශයක් ‍නොඑසේ නම් වැරදි තොරතුරක් පදනම් කරගෙන මේ ආකාරයට චෝදනා පෙලගැසීම සාධාර්ණ වූ ක්‍රමවේදයක් නොවේ. අඩුම තරමින් එම චෝදනා සදහා ඔබ පදනම් කරගත් කරුණූ හෝ ඉදිරිපත් කිරීමට කාරෑණික වියයුතු යන්න මාගේ අදහසයි. කෙසේ වෙතත් ඔබ තර්කයක් මතු කලනිසා මෑතක (මීට දින කිහිපයකට පෙර) ගාල්ල නාවික හමුදාව විසින් මුදවාගෙන කරාපිටිය රෝහලට ඇතුල් කල බුරුම මුස්ලීම් ජනයාගේ සැබෑ ඛේදවාචකය කුමක්ද? යන්න විමසා බලන්න යයි ඔබට ආරාධනා කරමි. (මේවා අප රටේ මාධ්‍යයන් කොතරම් දුරකට අනාවර්ණය කලාද? යන්න ප්‍රබල ගැටළුවක්) එපමණක් නොව ඔබේ ඉහත පැනයට අද අප රට තුල ක්‍රියාත්මක සමහරක් බෞද්ධ සංවිධාන හොද පිලිතුරක් ලබාදෙමින් සිටින බව බුද්ධිමත්ව විමසා බලන්නේ ඔබටම අවබෝධ වනු ඇත.

  2. sachin 2013-02-04 at 07:03

    මහමද්තුමා‍ට සතුරන් සිටි නිසා මිනිමැරිම‍ට හා යුධ සේනා සංවිධාන කිරිමට සිදුවු බව කියමින් ඉස්ලාමිය ඉගැන්විම් සාධාරන කිරිමට විශාල උත්සහයක් ගෙන තිබෙනවා .
    නමුත් ඹබ යේසුස් වහන්සේ හා බුදුන් වහන්සේ ගැන අසා තිබෙනවාද ? මෙම ශාථෘවරයන්ටද සතුරූකම් කල කන්ඞායම් සිටියා නමුදු මෙම අගමික නායකයන් කිසිම විටක මනුෂ්‍ය ඝාතන සිදුකරන ලෙස තම අනුගාමිකයන්ට උපදෙස් දි නැත. සාමය හා සහජීවනය අගයන මිනිසුන් ඹවැනි ඉගැන්විම් පිළිගන්නේ නැත.

    • අබූ අර්ශද් 2013-02-06 at 15:12

      ඔබ නිදසුන් ලෙස ඉදිරිපත් කරන දහමන් දෙක නැවත හොදින් අධ්‍යනය කරන්න. අප රටේ වසර 30 ක අරඟලයට යුද්ධයෙන් තොර ඔබ යෝජනා කරන ආගම්වාදී විකල්පය කුමක්ද?

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp