මුස්ලීම්වරුන් යනු කවුරුන් ද? – ඉස්ලාමීය විමසුමක්

0

මුස්ලීම්වරුන් යනු කවුරුන් ද? මෙය වර්ථමාන ශ්‍රී ලාංකීය සමාජය තුල ද කාලීන මාතාකාවක් වී ඇත. මන්ද එක්පසෙකින් සම්ප්‍රදායක මුස්ලීම්වරුන් පිලිබදව ද තවත් පසෙකින් සම්ප්‍රදායක නොවන  මුස්ලීම්වරුන් පිලිබදව ද උණූසුම් සංවාදයන් සිදුවෙමින් ඇත. මේ ‍මතවාද දෙක අතර මුස්ලීම් ජනයාගෙන් තවත් කොටසක් අවුල් වී ගොස් ඇත. මේ අනුව කාලීන වශයෙන් මෙය උණුසුම් මාතෘකාවක් වනවා සේම ‘මුස්ලීම්වරුන් යනු කවුරුන් ද?’ යන්න පිලිබදව වූ සම්ප්‍රදායක පිලිගැනීම ද අද වනවිට ප්‍රශ්න කරන තැනට සමාජය තල්ලුවෙමින් ඇත. අතීතය පටන් අද වනතෙක් මුස්ලීම්වරයෙකු හට සරල හැදින්වීමක් වුයේ, මුස්ලීම් යයි පිලිගත් සම්ප්‍රදායක නමක් පැවතීම, දිග (යටි)රුවුලක් පැවතීම, හිස්වැස්මක් (හෙවත් තොප්පියක්) පැලැද සිටීම, සුදු දිගු වස්ත්‍රයක් හැද සිටිම… යනාදියයි. මේ ආකාරයේ වූ විග්‍රහයන් පුද්ගලයෙකුගේ බාහිර තත්වය ස්වභාවය තීරණය කලහැකි සාධකයන් යන්න සැබෑවකි. නමුත් මේ කිසිවක් කිසියම් පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික තත්වය තීන්දු කල හැකි සාධකයක් නම් විය නොහැක. ඒ අනුව මෙය මුස්ලීම් සමාජයට පමණක් නොව මුස්ලීම් නොවන සමාජයට ද කාලීන වශයෙන් වැදගත් මාතෘකාවකි.

‘මුස්ලීම්වරුන් යනු කවුරුන් ද?’ යන කාරණය සැලකුවිට එය එක් එක් පුද්ගල දෘෂ්ඨියෙන් හෝ නැණ පමණින් තීන්දු කලහැකි විෂයක් නොවේ. මන්ද ‘මුස්ලීම්’ යන්න ඉස්ලාමීය රාමුව තුල ගොඩනැ‍ඟෙන චරිතයකි. එසේනම් එය ඉස්ලාමීය දෘෂ්ඨියෙන් හා ඉස්ලාමීය විග්‍රහයන්ට විවරණයන්ට අනුව විමසා බැලීම අත්‍යඅවශ්‍යය. මේ වගකීම අද මුස්ලීම් නොවන සමාජය පමණක් නොව මුස්ලීම් සමාජයේ ද බහුතරයක් පැහැර හැර තම නැණ පමණින් කටයුතු කරමින් සිටී. එහි අනිසි ප්‍රතිපල අද ශ්‍රි ලාංකීය මුස්ලීම් සමාජය අත්විදිමින් සිටීම හොදම හා සමීපතම නිදසුනයි. අද ශ්‍රී ලාංකීය මුස්ලීම් නොවන සහෝදර ජනතාව මුස්ලීම්වරුන් කෙසේ වියයුතු ද යන්න පිලිබදව ඔවුන්ගේ නැණ පමණි විග්‍රාහයන් ඉදිරිපත් කරන තැනට කටයුතු කරමින් සිටී. නමුත් මුස්ලීම්වරුන් වන අප නමට පමණක් මුස්ලීම්වරුන් වී, එසේත් නැත්නම් වන්දනය හා උපවාසය වැනි සීමිත කාරණාවලට පමණක් සීමා වී ‘අපි තමා මුස්ලීම්වරුන්, අපි තමා යහමඟ ලද්දෝ!, අපි තමා ශුද්ධ වූ දහමේ උරුමක්කාරයන්!, අපේ දහම තමා අසමසම දහම වන්නේ!…’ යනාදී ලෙස පුරසාරම් දොඩමින් ඉස්ලාම් දහමටත් මුස්ලිම් සමාජයටත් විකෘති ප්‍රතිරෑපයක් ගොඩනඟමින් සිටී. ඉස්ලාම් යනු විශ්වාසය මූලික කරගෙන ගොඩනැ‍ඟෙන දහමකි. එය මනුෂ්‍යා තම මනසත් සමඟ කරන ගනුදෙනුවකි. එය බාහිර අංග ලක්ෂණවලින් හෝ ක්‍රියාකාරකම්වලින් තීන්දු කලහැකි කාරණයක් නම් නොවේ. එය හොදින් අවබෝධ කරගැනීම පිණිස දිව්‍යමය අවවාදයන් වන ශුද්ධ වූ කුර්ආන් පාඨ දෙකක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නේ නම්,

(දේව) විශ්වාසවන්තයෙණි!, නුඹලා ඉස්ලාමය තුලට පූර්ණ වශයෙන් ඇතුල් වන්න!,…

ශුද්ධ වූ කුර්ආනය 2-208

(දේව) විශ්වාසවන්තයෙණි!, අල්ලාහ්ට බිය වන්න, බිය වියයුතු ආකාරයෙන් බියවන්න. මුස්ලීම්වරයෙකු ලෙස මිස මියනොයන්න!

ශුද්ධ වු කුර්ආනය 3-102

ඉහත දිව්‍යමය පාඨයන් දෙක තුල මුස්ලීම් සමාජයේ දැඩි අවදානය යොමු වියයුතු තැනක් ඇත. ඒ අල්ලාහ් (දෙවි) කරන ‘විශ්වාසවන්තයෙණි!,…’ නම් ආමාන්ත්‍රණයයි. මෙහි අල්ලාහ් (දෙවි) ආමන්ත්‍රණය කරන්නේ ‘මනුෂ්‍යයණි!’ කියා සමස්ථ මිනිස් සමාජයට නොව දෙවියන් පිලිගෙන ‘අපි මුස්ලීම්’ යනුවෙන් පෙනී සිටින ජනතාවටය. එසේ ආමන්ත්‍රණය කරන දෙවියන් ඉන්පසුව පවසන කාරණය ඉතා වැදගත්ය. ඒ ‘…ඔබ පූර්ණ ලෙස ඉස්ලාමය තුලට ඇතුල් වන්න…’ යන්න හා ‘…මුස්ලීම්වරුන් ලෙස මිස මියනොයන්න’ යන්නයි. මේ වාක්‍යයන් දෙක හොදින් විමසා බලන්නේ නම්, වර්ථමාන මුස්ලීම් සමාජයේ පරිහානිය ඉස්ලාම් එදා පැහැදිලිව දැක අවවාද නඟා ඇති ආකාරය පැහැදිලි වනවා නොවේද?. එසේනම් මේ අවවාදයන් තුලින් අප උගතයුතු පාඩම් ඇත. ජාහිලියාව නම් මිලෙඡ්චත්වය තුල ගිලී පැවතී සමාජයක් මධ්‍යයේ පහල වූ මේ වාක්‍යයන් ඒ සමාජයට කල බලපෑම සුළුපටු නොවේ. මඩවගුරක පිපුණු නෙළුම් මලක් මෙන් ස්වර්ණමය ඉස්ලාමීය යුගයක් බිහිවුයේ ඒ මිලෙඡ්ච සමාජය තුලින්ම යන්න නොරහසකි. එදා ඔවුනට පහල වූ දිව්‍යමය වදන් ඒ ආකාරයටම අදත් අප හමුවේ ඇත. එසේනම් ඒ ඔස්සේ වර්ථමාන මුස්ලීම් සමාජය නැවතත් අතීත ඉස්ලාමීය ස්වර්ණමය යුගය කරා පියනැඟිය යුතුව ඇත. ඒ ස්වර්ණය යුගය තුල පාඩම් ඉගෙන සැබෑ මුස්ලීම්වරුන් ලෙස එතැන් සිට අපගේ ඉදිරි ගමන නැවතත් ඇරඹිය යුතුව ඇත. ඒ ගමන් මඟ තුල තීරණාත්මක සාධකය ‘සැබෑවටම මුස්ලීම් යනු කවුරුන් ද?’ යන්නයි. ඒ සත්‍යය සොයා ගමන් අරඹන්න උනන්දු කරවන ලිපියක් ලෙස මේ තුලින් එම විෂය ඉස්ලාමීය දෘෂ්ඨියෙන් කෙටියෙන් විමසා බැලීමට අදහස් කරමි.

ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව ‘මුස්ලීම්’ යන්න බාහිර අංග ලක්ෂණය මත නොව මූලික වශයෙන් විශ්වාසය මත ගොඩනැ‍‍ඟෙන තත්වයක් යන්න ඉහතින් අවදාරණය කලෙමි. එය ඉස්ලාම් දහම ‘ඊමාන්’ යනුවෙන් හදුන්වයි. ‘ඊමාන්’ යනු මුස්ලීම්වරයෙකුගේ සියළු ක්ෂේත්‍රයක්ම ආවර්ණය කරගත් ජීවන මාර්ගයකි. එම ‘ඊමානයේ’ අදියර ගණනාවක් පිලිබදව ඉස්ලාම් දහම කථා කරන අතර එහි ප්‍රධාන අදියර 06 ක් පිලිබදව දැඩිව කථා කරයි. එනම්,

මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, ‘ඊමාන් යනු ඉහතින් සදහන් කරුණු 06 විශ්වාස කිරීම පමණි’ යන්න අතීතයේ සිට බොහෝ විට මුස්ලිම් සමාජයට ලබදෙන වැරදි ඉගෙන්වීමකි. මෙම ඉගෙන්වීම පාසැල් පොත්පත්වල පවා සදහන් වි ඇති ආකාරයත් ඒ තුලින් වැරදි ඉගෙන්වීමක් කුඩා දරුවන්ගේ මනස තුලට පවා එක් කරන ආකාරයත් අදත් දක්නට ලැබේ. නමුත් ‘ඊමානය’ නම් විෂය එවන් සීමාවකට යටත් කලහැකි විෂයක් නොවේ. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ශුද්ධ වු නබිවදනක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නේ නම්,

මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී ‘ඊමානයේ 70ටත් වඩා අදික ශාඛාවන් පවතින්නේය. එහි පලමුවැන්න ‘ලාඉලාහ් ඉල්ලල්ලාහ්’ (අල්ලාහ් හැර වෙන දෙවියෙක් නැත) යන්නයි. එහි අවසාන අදියර අන්අයට හිංසනයන් ගෙනදෙන දෑ මාර්ගයෙන් ඉවත් කිරිම වන්නේය. ලැජ්ජාව යන්න ද එ(ඊමානයෙ)හි එක් අංගයක් වේ.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

මනුෂ්‍යය දිවිය තුල 70ටත් වඩා අධික ක්ෂේත්‍රයන් ඔස්සේ ‘ඊමානය’ නම් ඉස්ලාමීය විනයක් ගොඩනැ‍ඟීම තුල තමා ‘මුස්ලීම්’ නම් චරිතය ගොඩනැගෙන්නේ. එහි ‘ලාඉලාහ් ඉල්ලල්ලාහ්’ (අල්ලාහ් හැර වෙන දෙවියෙක් නැත) නම් ඒකදේව සංකල්පය මූලික එක් අංගයක් මිස එකම අංගය එය නොවේ. මේ යථාර්තය නිසි ලෙස අවබෝධ කර නොගත් නිසා මේ ‘ඊමානය’ යම් යම් පටු සීමාවන් තුල කොටු කොට කටයුතු කරමින් තමන් ‘මුස්ලීම්’ යයි හදුන්වා ගන්නා ආකාරයක් වර්ථමාන මුස්ලීම් සමාජය තුල බොහෝ විට දක්නට ඇත. මුස්ලීම් සමාජයට ආවේනික මොහොමඩ්, අහමඩ් , අයිෂා, ෆතිමා… යනාදී වශයෙන් නමක් තැබීම තුල කිසිවකුත් පරිපූර්ණ ‘ඊමානයෙන්’ මුස්ලීම්වරයෙකු වන්නේ නැත. එපමණක් නොව ඉස්ලාමීය වගකීමන් 05 වන (‘ලාඉලාහ් ඉල්ලල්ලාහ්’ (අල්ලාහ් හැර වෙන දෙවියෙක් නැත)) කලිමාව, (පස්වේල් වන්දනය) සලාතය, උපවාසය, සකාතය (අනිවාර්‍ය බද්ධ), හජ් වන්දනය නිසි ලෙස ඉටු කරමින් අනිකුත් ඉස්ලාමීය වගකීමන් නොසලකා කටයුතු කිරීම තුල පරිපූර්ණ ‘ඊමානයෙන්’ මුස්ලීම්වරයෙකු වන්නේ ද නැත. එවන් පිරිස් ‘මුස්ලීම්’ නම් බෝඩ්ලෑල්ල දරා සිටින මුස්ලීම්වරයෙකු මිස සැබෑ මුස්ලීම්වරයෙකු නම් නොවන්නේය. නිදසුනක් ලෙස ඉහත කී පංච යුතුකම් ඉටුකරන අතර තුර කිසිවකු හොර, බොරු, වංචාවන් හි නිරත වන්නේ නම්, මත් භාවිතයේ නිරත වන්නේ නම්, විවාහයක දී දෑවැදි ගන්නේ නම්, පොදු ජනතාවට හිංසනයන් සිදු කරනන්නේ නම්… ඔහු හා ඉස්ලාමය අතර බොහෝ දුරය. එවිට ඔහු ලෝකයා ඉදිරියේ නමින් මුස්ලීම් වුවත් දෙවියන් හමුවේ ඔහු සැබෑ මුස්ලීම්වරයෙකු වන්නේ නැත. මෙය ඉහත හදීසය තුල සදහන් වන ‘…එහි අවසාන අදියර අන්අයට හිංසනයන් ගෙනදෙන දෑ මාර්ගයෙන් ඉවත් කිරිම…’ යන පාඨය තුලින් ද මනාව පිළිඹිබු වේ. අන් අයට හිංසනයක් බාධාවක් ගෙනදෙන දෑ මාර්ගයෙන් ඉවත් කිරීම මුස්ලීම්වරයෙකු තුල ගොඩනැඟිය යුතු අත්‍යඅවශ්‍ය ගුණාංගයක් යන්නත් එය ‘ඊමානයේ’ අවසානම තලය බවත් පැහැදිලිව පවසයි. අපි ‘මුස්ලීම්’ යයි හදුන්වා ගන්නා පිරිස් මෙවැනි ගුණාංග තම දිවිය තුල කොතෙක් දුරට ගොඩනඟාගෙන තිබෙනවාද? යන්න තනි තනි වශයෙන් විමසා බැලිය යුතුව ඇත. ඉහත හදීසය තුලින් ‘ඊමානයේ මුල (දේව විශ්වාසය), අග (ජනයාට හිංසා වන දෑ ඉවත් කිරීම) හා මැද (ලැජ්ජාව) යන අදියර තුනක් කථාකලත්, මේ ලිපිය තුලින් ද එම කාරණා තුන පදනම් කරගෙන කරුණූ ඉදිරිපත් වුවත් පරිපූර්න ඊමානයක් අප තුල ගොඩනඟා ගැනීමට නම් මේ විෂය ගැඹුරින් අධ්‍යනය කලයුතුව ඇත. එසේ නොමැතිව අපි ‘මුස්ලීම්’ යයි පැවසූ සැනින් අප කරන සියල්ල ඉස්ලාම් වන්නේ නැත. එපමණක් නොව පරිපූර්ණ ඊමානය අප තුල ගොඩනඟා නොගෙන ඉස්ලාම් දෙන ඉලක්ක අපට දිනාගැනීමට හැකිවන්නේ ද නැත. පහතින් ඉදිරිපත් වන දිව්‍යමය වදන හා එහි උපමාව මොහොතක් බුද්ධිමත්ව සිතා බලන්න.

(‘ලාඉලාහ් ඉල්ලල්ලාහ්’ නම්) යහපත් වදනට අල්ලාහ් (දෙවි) පවසන සහතිකය (නබිතුමණි!) නුඹ විමසා නොබලන්නේද?. එය යහපත් ගසක් මෙනි. එහි මුල් පද්ධතිය (ශක්තිමත් ලෙස) පොළොවේ ගැඹුරටම කිදා බැසත්, අතු ශාඛාවන් අහස පුරාත් විහිදී පවතින්නේය. එම ගස තම (අල්ලාහ්) දෙවි අවසරය ඇතුව සෑම මොහොතකම (ලෝකයාට) පලදාව ලබාදෙන්නේය.

ශුද්ධ වූ කුර්ආනය – 14-24 හා 25

ඊමානීය ගුණාංගයන් ජීවිතය තුල ගොඩනඟාගෙන කටයුතු කරන මුස්ලීම්වරයෙකුගේ ලෞකික දිවිය ‘ජනතාවට යහපත හා ප්‍රයෝජනය ගෙනදෙන අසීමිත ලෙස පලදරන ශක්තිමත් ගසකට අල්ලාහ් (දෙවි) උපමා කොට ඉහත වාක්‍යයෙන් පවසන්නේය. එපමණක් නොව ඊමානය නිසි ලෙස අවබෝධයෙන් පිලිගෙන ක්‍රියා කිරීම තුල පොළොව තුල කිදාබැසගත් ශක්තිමත් මුල් පද්ධතියක් සහිත ගසක් මෙන් කුමණ ආකාරයේ බාධකයක දී පවා තම ප්‍රතිපත්තිය තුල දැඩිව සිට කටයුතු කිරිමට හැකි වන්නේය. එසේනම් ඉහත වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) පවසන උපමාවේ ආකාරයට සියළු බාධක ජයගෙන ජනතාවට යහපත හා ප්‍රයෝජනය ගෙනදෙන ආකාරයට ශක්තිමත් ගසක් මෙන් නැඟී සිටීමට නම්, ඔහු‍ගේ දිවිය තුල ඉහත ‘ඊමානීය’ ගුණාංගයන් වර්ධනය වියයුතුය. ඒ ගුණාංගයන් වර්ධනය කරගත් පුද්ගලයා තමා ‘ඉස්ලාම් පවසන මුස්ලීම්’ වන්නේ.

අද ලොව පවතින බොහෝ ආගම් මෙන් ඉස්ලාම් දහමත් ලෞකික දිවිය ප්‍රතික්ෂේප කොට ලෝකොත්තර දිවිය පමණක් උනන්දු කරන තවත් දහමක් නොවේ. එහි ඉගෙන්වීමන් ලෞකික වශයෙන් මනුෂ්‍යා තුල ගොඩනැඟිය යුතු යහපත් ගුණාංගයන් කෙරෙහි උනන්දු කරවන එය ආගමික නීති හා විනයන් ලෙස පේනවා දෙන දහමකි. එය ඉහත 14-24 හා 25 ශුද්ධ වූ කුර්ආන් පාඨයන් තුලින් ඔබට තරමක් දුරකට හෝ පැහැදිලි වන්නට ඇතැයි සිතමි. මෙසේ සැබෑ මුස්ලීම්වරයෙකු ලෙස ජීවත්වීම තුල එහි ලෞකිකව අපට ඇති යහපත පෙන්වාදෙන ඉස්ලාම් දහම එසේ ජිවත්වීම තුලින් මරණින් මතු දිවියට ඇති යහපත ද ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ පවසයි.

නියත වශයෙන්ම අපගේ දෙවි අල්ලාහ් වන්නේය! යයි පවසා, එහි ස්ථීරව සිටී පිරිස් කෙරෙහි (ඔවුන්ගේ මරණ මංචකයේ) දේවදූතයන් (හෙවත් මලක්වරුන්) පහල වී, ‘නුඹලා බිය නොවන්න! දුක්නොවන්න! නුඹලාට පොරොන්දු වූ ස්වර්ගය පිලිබදව වූ සුභාරංචිය ලබාගන්න! අප නුඹලාගේ ලෞකික දිවියේත් ලෝකොත්තර දිවියේත් සහයකයන් වන්නෙමු. එහි (ස්වර්ගයෙහි) නුඹළාගේ සිත් පතන සියල්ල ඇත්තේය. එහි නුඹලා සොයන සියල්ල ඇත්තේය. ඉතා ක්ෂමා කරන භාග්‍යවන්තයාණන්(වන අල්ලාහ් (දෙවි))ගේ සංග්‍රාහයක් ලෙස (එම ස්වර්ගය) ලබාගන්නේය.’ යයි පවසන්නේය

ශුද්ධ වූ කුර්ආනය – 41- 30 සිට 32

ඇත්තෙන්ම මෙය නොවේ ද මනුෂ්‍යයෙකු තම දිවිය තුල අත්කර ගතයුතු උතුම්ම ම ඉරණම වන්නේ. මෙය නොවේ ද මනුෂ්‍යයෙකු තම දිවිය තුල දිනාගන්නා හොදම ජයග්‍රහණය වන්නේ. එසේනම් පාරම්පරිකව හා උපතින් මුස්ලීම් වූ අප, නමින් මුස්ලීම් වූ අප ඇයි සැබෑවටම මුස්ලීම්වරුන් නොවන්නේ. ඇයි ඉස්ලාමීය ආදර්ශ තුල ජීවිතය ගොඩනඟා නොගන්නේ. මොහොතක් ඔබේ මනස හා ඔබ දොඩමළු වන්න. ඇයි අල්ලාහ් (දෙවි) ප්‍රිය කරන දෑ ඔබේ කැමැත්ත ලෙස ලඟා කරගන්නත්, අල්ලාහ්  (දෙවි) පිලිකුල් කරන දෑ ඔබේ දිවිය තුල පිලිකුලක් ලෙසත් දුරස් කරන්නත් බැරිව ඇත්තේ. ඇයි අල්ලාහ් (දෙවි) ලබාදෙන උත්තරීතර ස්වර්ගය ජීවිතය තුල එකම අදිෂ්ඨානය කරගන්න බැරි වී ඇත්තේ. එසේ නොවුවා නම් ඒ අතීත ඉස්ලාමීය ස්වර්ණමය යුගය අදටත් අපට වැඩි ඈතක නැත. ඒ සදහා අප එක්සත්ව හා එක්සිත්ව ඉස්ලාමීය ඉගෙන්වීම් ඔස්සේ පෙලගැසෙමු. ඒ තුලින් ශුද්ධ වූ කුර්ආනයේ 2-208 හි සදහන් ආකාරයට පූර්ණ වශයෙන් ඉස්ලාමය තුලට සැබෑ මුස්ලීම්වරුන් ලෙස ඇතුල් වෙමු.

 

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *