මුස්ලීම් සමාජයේ වර්ථමාන බෙදීම් – ඉස්ලාමීය විමසුමක්

5

පසුගිය දිනවල ලොව පුරා තිබෙන ආගම්වල සිදු වූ හා සිදු වෙමින් පවතින බෙදීම් පිලිබදව ‘ආගමේ නාමයෙන් බෙදීයන මිනිස් සමාජය’ යන ලිපිය තුලින් ද, එම අවාසනාවන්ත තත්වය ඉස්ලාම් දහමට හා මුස්ලීම් සමාජයට බලපෑ ආකාරය ‘ඉස්ලාම් දහම තුල මුස්ලීම්වරුන් බෙදීයාම’ යන ලිපිය තුලින් තරමක් දුරකට සාකච්චා කලෙමු. එහි තවත් පියවරක් ලෙස මෙම ලිපිය තුලින් අවධානය යොමු කිරීමට අදහස් කරන්නේ මෙම විෂය තුල තවත් ප්‍රධාන පැතිකඩක් වන ‘වර්ථමාන මුස්ලීම් සමාජයේ බෙදීම පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය හා ඉගෙන්වීම කුමක්ද?’ යන්න පිලිබවයි.

මා මීට ඉහත ලිපි තුලින් අවධාරණය කලාසේ එකම දෙවි වන අල්ලාහ් (දෙවි) පිලිගෙන ඔහු විසින් දායාද කරන ලද දිව්‍යමය මඟපෙන්වීම ආදර්ශයට ගෙන ඒකීය සමාජයක් ලෙස ජීවත් වියයුතු මුස්ලීම් සමාජය මොහොතින් මොහොත විවිධ වූ මතවාද ඔස්සේ කොටස්වලට බෙදීයාම අද සුලභ දසුනකි. එදා එනම්, මීට වසර 1400 කට (ඉස්ලාම් ප්‍රකාශ වීමට) පෙර විවිධ වූ මතවාද ඔස්සේ සීසීකඩව පැවති ‘ජාහිලියා’ (නම් අඥාන) සමාජය මුහම්මද් (සල්) තුමාණන් විසින් ‘ඉස්ලාම්‘ නම් දහම තුලින් එක්සේසත් කොට ‘මුස්ලීම්’ නම් ඒකීය සමාජයක් නිර්මාණය කල ආකාරය ඉස්ලාමීය මූලාශ්‍ර හා ඉතිහාස අදටත් කියාපායි. එසේ එක්සේසත් කල සමාජය යලිත් වරක් නූතන ‘ජාහිලියාව‘ (අඥානය) කරා පියනඟමින් සිටීම සමස්ථ මුස්ලීම් සමාජයේම දැඩි අවදානයට ලක්විය යුතු අවාසනාවන්ත තත්වයකි. මෙහි පවතින තවත් අවාසනාවන්තම තත්වය වන්නේ එදා ඒකීය සමාජයක් ලෙස ජීවත්වීමට අවශ්‍ය මඟාපන්වීම හා ආදර්ශ ලබාදුන් දහම පදනම් කරගෙන මෙලෙස බෙදීයාමයි. (ඒ පිලිබදව පහතින් කරුණූ දක්වා ඇත) නමුත් ඉස්ලාම් දිව්‍යමය මඟපෙන්වීමක් වූ නිසා ම මෙලෙස කලින් කලට මිනිස් සමාජය තුල සිදුවීමට යන විකෘතිතාවයන් හා විපර්යාසයන් මීට වසර 1400 කට පෙර ම හදුනාගත් ‘ඉස්ලාම්’ ඒ පිලිබදව පැහැදිලි ලෙස මිනිස් සමාජයට අවවාද කොට ඇත. එම නිසා ඉස්ලාමීය මූලාශ්‍රයන් පරිශීලනය කරන මුස්ලීම් සමාජයකට මෙම අවාසනාවන්ත තත්වය විශ්මයට හෝ මවිතයට කාරණයක් නම් නොවේ. නමුත් අවාසනාවකට මෙවන් අවවාද අනුශාසනා මුස්ලීම් සමාජයට නිසි ලෙස නිරාවර්ණය නොවීමත්, එවැනි අවවාද අනුශාසනා සදහා වැරදි විග්‍රාහයන් ලබාදීමත් හේතු කොටගෙන ඉහත පරිහානීය දිනෙන් දින වර්ධනය වෙමින් විකෘති වූ දහමක් ඉස්ලාම් නමින් අද සමාජගත වෙමින් ඇත. මෙවන් මොහොතක ඉහත අවවාද අනුශාසනා මුස්ලීම් සමාජයේ බුද්ධිමත් අවධානයට යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි. ඉස්ලාම් ආගමික විද්වතුන් හා මුස්ලීම් සමාජයේ වගකීම් දරණ පාර්ශවයන් පටු අරමුණුවල කොටු නොවී සත්භාවයෙන් මෙම කාරණය පිලිබදව සිතා බැලීම කාලීන අවශ්‍යතාවයකි. අද ‘යහමඟ‘ අඩවිය මෙම විෂය මෙහි කථා කිරීම තුලින් ද සිදු කරන්නේ ඒ සදහා පුංචි උත්සාහයකි.

ඉහත අවශ්‍යතාවය මනාව අවබෝධ කර ගැනීම පිණිස, වර්ථමාන ලෝක මුස්ලීම් ප්‍රජාව පදනම් කරගෙන ඔවුන් විවිධ වූ මතවාද ඔස්සේ බෙදී ගිය ආකාරය හා බෙදෙමින් ඇති ආකාරය සදහා සරල නිදසුන් කිහිපයක් පවසන්නේ නම්,

  • මුස්ලීම් සමාජයේ එක්තරා කොටසක් – ඉස්ලාම් දහම තුල රාජ්‍ය බලය (කිලාෆත්) ප්‍රබල මුඛ්‍ය අවශ්‍යතාවයක් යයි පවසමින් සමස්ථ දහම ඒ තුල කොටු කොට එම මතවාදයට අවශ්‍ය ආකාරයට ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන්ට හා හදීස (නබිතුමාණන්ගේ ආදර්ශ)යන් විකෘති කොට ඉදිරිපත් කරමින් හා ඒවාට වැරදි විග්‍රාහයන් ලබාදෙමින් ආගමේ නාමයෙන් මුස්ලීම්වරුන් යුදවාදී හා ත්‍රස්ථවාදී ක්‍රියාවන් සදහා මෙහෙයවීමට පිරිසක් ක්‍රියා කරමින් සිටී.
  • මුස්ලීම් සමාජයේ තවත් කොටසක් – ‘දෙවියන් වැඳුම් පිදුම් කිරීම පමණයි ඉස්ලාම් දහම වන්නේ එම නිසා සර්වකාලීනව දෙවියන් ඇදහීම තුලම කල්ගෙවීම කලයුතු වේ. එවිටයි විමුක්තිය ලඟා කරගත හැකි වන්නේ‘ යනුවෙන් දහම පටු ලෙස අවබෝධ කොට ගෙන සමස්ථ දහම ඒ තුල කොටු කොට එයට අවශ්‍ය ආකාරයට ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන්ට හා හදීසයන් (නබිතුමාණන්ගේ ආදර්ශ්‍ය)ට විග්‍රාහයන් ලබාදෙමින් ආගමේ නාමයෙන් කල්ලි ගැසී විවිධ මතවාදයක් සමාජය තුල ගොඩනඟමින් පිරිසක් ක්‍රියා කරමින් සිටී.
  • මුස්ලීම් සමාජයේ තවත් පිරිසක් – ‘ඉස්ලාම් දහම ශුද්ධ වූ කුර්ආනයට හා හදීසයට පමණක් සීමා කරගෙන කටයුතු කලහැකි එකක් නොවේ. ඒ සමඟ අවුලියා, ඉමාම්, ඉජ්මා, කියාස්, සහාභා… යනාදිය ද එක්වීම අවශ්‍ය වේ‘ යනුවෙන් පවසමින් එයට අවශ්‍ය ආකාරයට ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන්ට හා හදීසයන් (නබිතුමාණන්ගේ ආදර්ශ්‍ය)ට විග්‍රාහයන් ලබාදෙමින් ආගමේ නාමයෙන් මතවාදයක් සමාජය තුල ගොඩනඟමින් විවිධ කොටස්වලට බෙදෙමින් සිටී.
  • මුස්ලීම් සමාජයේ තවත් පිරිසක් – ‘ඉස්ලාම් දහම යනු ශුද්ධ වූ කුර්ආනය පමණයි‘ යනුවෙන් පවසමින් (අහ්ලුල් කුර්ආන්වරුන්) හදීසයන් (හෙවත් නබිතුමාණන්ගේ ආදර්ශයන්) ප්‍රතික්ෂේප කරමින් එයට අවශ්‍ය ආකාරයට ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන්ට විග්‍රාහයන් ලබාදෙමින් ආගමේ නාමයෙන් විවිධ වූ මතවාදයක් සමාජය තුල ගොඩනඟමින් සිටී.
  • මුස්ලීම් සමාජයේ තවත් පිරිසක් – වක්තෘ මෙහෙවර මුහම්මද් (සල්) තුමාණන්ගෙන් අවසන් නොවූ බවත්, ඉන්පසු ද වක්තෘවරුන් (නබිවරුන්) පහල වන බවත් පවසන ‘කාදියානිවරුන්’ නම් පිරිස ඒ සදහා ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන්ට හා හදීසයන් (නබිතුමාණන්ගේ ආදර්ශ්‍ය)ට වැරදි විග්‍රාහයන් ලබාදෙමින් ආගමේ නාමයෙන් කල්ලි ගැසී විවිධ මතවාදයක් සමාජය තුල ගොඩනඟමින් මුස්ලීම් සමාජය අවුල්සහගත තැනකට යොමු කරමින් සිටී.
  • මුස්ලීම් සමාජයේ තවත් පිරිසක් – ‘වහී‘ හෙවත් දේව පණිවුඩය පහල වීම අවසාන වක්තෘවරයාණන්ගෙන් අවසන් නොවූ බවත්, මුහම්මද් (සල්) එතුමාගේ බෑණා වන අලි (රලි) තුමාටත් වහී පහල වීම සිදුවන බවත්, නබිතුමාණන්ගේ අභාවයෙන් පසු එතුමාණන්ගේ අනුගාමිකයන් බහුතරයක් ඉස්ලාමය අතහැර ගිය බවත්, පවසමින් ද මීට අමතරව නබිතුමාණන්ගේ බිරින්දෑවරුන්ට හා ශ්‍රේෂඨ සහාභාවරුන්ට (අනුගාමික පිරිසට) නින්දිත චෝදනා ගොඩ නඟමින් ඉස්ලාම් දහම වෙනස්ම දිහාවකට යොමුකල ‘ශියාවරුන්‘ (‘ශියාවරුන් මුස්ලීම්ද ?‘ යන ලිපිය තුලින් වැඩි විස්තර කියවන්න) තම මතවාදය සමාජ ගත කිරීම සදහා ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන්ට හා හදීසයන් (නබිතුමාණන්ගේ ආදර්ශ්‍ය)ට වැරදි විග්‍රාහයන් ලබාදෙමින් ආගමේ නාමයෙන් ක්‍රියා කරමින් සිටී.
  • මුස්ලීම් සමාජයේ තවත් පිරිසක් – ඉස්ලාමීය මූලික විශ්වාසයන් අතුරින් එකක් වන ‘කද්ර්‘ (කර්මය) ප්‍රතික්ෂේප කරන ‘කදිරියාවරුන්‘ තම මතවාදය  සමාජ ගත කිරීම සදහා ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන්ට හා හදීසයන් (නබිතුමාණන්ගේ ආදර්ශ්‍ය)ට වැරදි විග්‍රාහයන් ලබාදෙමින් ආගමේ නාමයෙන් ක්‍රියා කරමින් සිටී.
  • මීට අමතරව ජබරියා, හාරිජියා,  අහමදීයා… යනාදී වශයෙන් විශාල සංඛ්‍යාවක් බෙදීම් දක්නට ඇත. ) සමාජ ගත කිරීම සදහා ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන්ට හා හදීසයන් (නබිතුමාණන්ගේ ආදර්ශ්‍ය)ට වැරදි විග්‍රාහයන් ලබාදෙමින් ආගමේ නාමයෙන් ක්‍රියා කරමින් සිටී.(මෙම ලිපිය දීර්ඝ වීම සැලකිල්ලට ගෙන එම විග්‍රහය මෙතැනට සීමා කරමි)

මේ ආකාරයට මුස්ලීම් සමාජයේ බෙදීම් කිහිපයක් ඉහතින් සදහන් කලද ඉස්ලාම් දහම තුල මුස්ලීම් සමාජය බෙදී ඇති ආකාරය මෙලෙස කිහිපයකට සීමා කලහැකි තරම් සුළු සංඛ්‍යාවක් නම් නොවේ. මෙහි සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් නම් ඉහතින් සදහන් කල ආගමික සංගම් සංවිධාන හා කල්ලි කිහිපය සැලකූවිට එය පුද්ගලයන් කිහිපදෙනෙකු එසේත් නැත්නම් සීයක් දෙසීයක් ජනතාව නීයෝජනය කරන කුඩා කල්ලි නොවේ. එය ලොව ප්‍රබල සංවිධාන වන අතර සමහරක් කල්ලි රාජ්‍ය බලය පවා හිමි ලෝකයට ප්‍රබල බලපෑම් කලහැකි සංවිධානයන්ය. උදාහර්ණයකට පවසනවා නම් ‘ශියාවරුන්’ සැලකූවේ නම්, ඉරානය නම් ප්‍රබල රාජ්‍යයකට උරුමකම් කියන ලොවපුරා තර මතවාදය ඉතා සූක්ෂම අයුරින් (මෑත කාලීනව අප රටේ පවා) ව්‍යාප්ත කරමින් සිටින ප්‍රබල සංවිධානයකි. මෙවැනි මහා පරිමානයෙන් ක්‍රියාත්මක සංවිධානවලට අමතරව කුඩා කුඩා කොටස් වශයෙන් බෙදීගිය ආගමික කල්ලි ගැසීමන් ද ‘ඉස්ලාම්’ නමින් මුස්ලීම් සමාජය තුල අසීමිත ලෙස දක්නට ලැබේ. මේ සියල්ල ඉස්ලාම් නමින් සමාජගත වීම තමා අද ඉස්ලාම් මුහුණූ පා සිටින අවාසනාවන්ත ම ඛේදවාචකය වන්නේ.

අද අප ඉස්ලාම් දහමට එරෙහිව මුස්ලීම් නොවන පාර්ශවයන් සිදුකරන විවේචනයන් හා එදිරිවාදිකම් පිලිබදව නිරන්තරයෙන් කථා කරන්නේමු. නමුත් මුස්ලීම් නම් සළුව පෙරවාගෙන ඉස්ලාම් දහම විනාශ මුඛයට ඇද දමමින් පමණක් නොව ඉහත ඉස්ලාම් විවේචකයන් සදහා ඉස්ලාම් දහම පිලිබදව වැරදි චිත්‍රයක් මවමින් ක්‍රියා කරමින් සිටින මේ පාර්ශවයන් පිලිබදව වැඩිය කථා කිරීමට මැලි වන්නෙමු. බොහෝ විට මුස්ලීම් නොවන සමාජය ‘ඉස්ලාම්’ අවබෝධ කරගන්නට උත්සාහ කරන්නේ මුස්ලීම් සමාජය දෙස බැලීම තුලිනි. (මෙය සම්පූර්ණයෙන් වැරදි ක්‍රමවේදයක් වුවත් අන්තර්ජාලය තුල මෙන්ම මාධ්‍යයන් තුල සිදුකරන ආගම්වලට එරෙහි ප්‍රචාරණයන් දකින විට එය මනාව පැහැදිලි වේ) එවන් පසුබිමක මුස්ලීම් සමාජය තුල මෙලෙස විකෘති වූ ආගමික මතවාද තිබෙන විට ඒවා සියල්ල සමාජගත වන්නේ ‘ඉස්ලාම්’ නමින් මිස ඒ ඒ කල්ලි හෝ සංවිධාන නමින් නම් නොවේ. මේ අවාසනාවන්ත තත්වය ඉස්ලාම් දහම දුටුවේ අද ඊයේ නම් නොවේ. මා ඉහතින් සදහන් කලාසේ වර්ථමාන මේ පරිහානීය එදා දුටු ඉස්ලාම් දහම ඒ පිලිබදව අවවාද අනුශාසන කලේ වර්ථමාන අප දෙස බලමින් දෝ යන්න සිතෙන තරමට එම අවවාදයන් අද අපට සමීප වී ඇත. (එවැනි අවවාද අනුශාසනා විශාල සංඛ්‍යාවක් මෙහි ඉදිරිපත් කල හැකි වුවත් මෙම ලිපිය දීර්ඝ වීම සැලකිල්ලට ගෙන එයින් කිහිපයක් හෝ මෙම ලිපිය තුල ඉදිරිපත් කිරීමට අදහස් කරන අතර එවැනි අවවාදාත්ම ඉගෙන්වීමන් කෙරෙහි මුස්ලීම් සමාජයේ අවදානය දැන්වත් යොමු වීම අත්‍යඅවශ්‍ය බව අවධාරණය කරමිනි.) එවන් අවවාදාත්මක දිව්‍යමය වදනක් වෙත ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ නම්,

හුදෙයිෆා බින් යමාන් (රලි) තුමා පවසයි, ජනතාව අල්ලාහ්ගේ දූතයාණන් හමුවේ යහපත පිලිබදව විමසමින් සිටියේය. මම අයහපත ලිපිබදව විමසුවෙමි. මන්ද එයට මා හසුවේ දෝ? යන බිය මා තුල පැවතී නිසාමය. මම ‘අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් අපි අඥාන කාලයේ අයහපතෙහි ගිලී සිටියෙමු. එවන් සමයක අල්ලාහ් (දෙවි) ‘ඉස්ලාම්’ නම් යහපත අපහමුවට ගෙන ආවා. මෙම යහපතට පසුව අයහපතක් පැවතීමට හැකි ද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔව්’ යනුවෙන් පිලිතුරු ලබාදෙන ලදී. එයට මම ‘එම අයහපත් තත්වයට පසු කුමක් හෝ යහපතක් තිබෙන්නේද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔව්, නමුත් එහි කැළඹිලි ස්වභාවයක් පවතිනු ඇත’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘එම කැළඹිලි ස්වභාවය කුමක්ද? යනුවෙන් විමසූ විට නබිතුමාණන් ‘එක් පාර්ශවයක් මාගේ මාර්ගයෙන් වෙනස් වූ මාර්ගයකට ජනතාව කැදවමින් ඒ ඔස්සේ ඔවුන් මෙහෙයවයි. ඔවුන් තුල ඔබ යහපතත් අයහපතත් දකිනු ඇත’ යනුවෙන් පවසන ලදී…

මූලාශ්‍ර ග්‍රන්ථය බුහාරි

ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ දීර්ඝ එදීසයක එක් කොටසක් පමණි. (මෙහි සම්පූර්ණ හදීසය මෙම ලිපියේ අවසාන කොටසේ ඉදිරිපත් කරමි)  මෙම හදීසය තුල ඉස්ලාම් එදා සමාජයට ඇති කල බලපෑම කවර ආකාරයේ එකක් ද යන්න පමණක් නොව ඉදිරියේ දී ඇති වන කැලඹිලි ස්වභාවය කවර ආකාරයේ එකක් ද යන්නත් මනාව විස්තර කරයි. එහි දී ‘එක් පාර්ශවයක් මාගේ මාර්ගයෙන් වෙනස් වූ මාර්ගයකට ජනතාව කැදවමින් ඒ ඔස්සේ ඔවුන් මෙහෙයවයි. ඔවුන් තුල ඔබ යහපතත් අයහපතත් දකිනු ඇත’ යනුවෙන් නබිතුමාණන් පැවසූ වදන මේ අපි දෙස බලමින් පැවසූ එකක් දෝ යන්න සිතන්නට හැ‍ගේ. අද ඉස්ලාම් දහම තුල කල්ලි ගැසී ක්‍රියා කරන සියළු පාර්ශවයන් පවසන්නේ ‘අප තමා නිවරුදි මාර්ගයේ සිටින්නේ’ යනුවෙනි. නමුත් ඔවුන්ගේ ප්‍රතිපත්ති තුල ඇති ‘සැළඹිලි ස්වභාවය’ ඔවුන් මෙන්ම ඔවුන්ව අන්ධ භක්තිකව අනුගමනය කරන පිරිස් අවබෝධ කරගැනීමට අපොහොසත් වේ. මෙම තත්වය ඉහත හදීසය මනාව කියාපායි. ඉහත හදීසයට අමතරව සමස්ථ මුස්ලීම් සමාජයම නිතර අසා ඇති ජනප්‍රිය හදීසයක් වන ‘මාගේ ජන සමාජය කොටස් 73 කට බෙදෙනු ඇත…‘ යනුවෙන් එදා මුහම්මද් (සල්) තුමාණන් පැවසු හදීසය ද කියාපාන්නේ මේ වර්ථමාන පරිහානියේ තවත් පැතිකඩක් මිස අන් කිසිවක් නම් නොවේ. නබිතුමාණන් මෙලෙස අවවාද අනුශාසනා නඟද්දී එකම දෙවි වන අල්ලාහ් (දෙවි) විසින් පහල කරන ලද දහම තුල එදා එක්සේසත් වූ මුස්ලීම් සමාජය අද එම ආදර්ශයයන් හා ඉගෙන්වීමන් දෝතෙහි තබාගෙන මේ ආකාරයට බෙදීයාම පිලිබදව ශුද්ධ වූ කුර්ආනය කුමක් පවසනවා ද? යන්න අවධානය යොමු කරමින් සාකච්චාව අරඹන්නේ නම්,

…තවද නුඹලා සියල්ල අල්ලාහ් (දෙවි)ගේ ලණුව දැඩිව අල්ලා ගන්න. (එහි) බෙදී නොයන්න

ශුද්ධ වූ කුර්ආනය 3-103

මෙතෙක් ඉදිරිපත් කල සමාජ නිදර්ශනයන් හා නබිතුමාණන්ගේ අවවාද අනුශාසනා තුල මේ මුස්ලීම් සමාජය බෙදුනා යන්නත් බෙදෙනවා යන්නත් කිසිවිට ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. නමුත් ඉහත දිව්‍යමය අවවාදය වන ශුද්ධ වූ කුර්ආනයේ 3-103 වාක්‍යය තුලින් මුස්ලීම් සමාජයේ බෙදීයාම කිසිවිටෙක සිදු නොවිය යුත්තක් යන්නත්, එසේ නොබෙදී ක්‍රියා කිරීමට නම් සමස්ථ සමාජයම අල්ලාහ් (දෙවි) විසින් පහල කල ශුද්ධ වූ දහම දැඩිව අල්ලා ගැනීම අත්‍යඅවශ්‍ය බවත් ඉහත 3-103 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පැහැදිලිව පවසයි. විශේෂයෙන් ඉහතින් සදහන් කලාසේ වර්ථමාන මුස්ලීම් සමාජය ඉස්ලාම් දහම තමන්ට අවශ්‍ය ආකාරයට අවබෝධ කරගෙන ඒ ඔස්සේ කල්ලි ගැසෙද් දී ඉස්ලාම් දහම ‘අල්ලාහ් (දෙවි)ගේ ලණුව අල්ලාගන්න‘ යනුවෙන් හා ‘බෙදී නොයන්න’ යනුවෙන් එම පිරිසට ආරාධනා කිරීම තුල සමස්ථ සමාජයම එකම මඟපෙන්වීමක් ඔස්සේ එකාමෙන් පෙලගැසීමේ අවශ්‍යතාවය මනාව කියාපායි. ‘ඉස්ලාම්‘ යනු මිනිස් බුද්ධිය අභිබවා ගිය සර්ව ඥාන අල්ලාහ් (දෙවි) විසින් සකසා දුන් පරිපූර්ණ දිව්‍යමය සැලසුම්කරණයකි. එය තුල තවදුරටත් මිනිස් චින්තන ගොඩනැඟීමේ හෝ සංශෝධනයන් ඇති කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් ඇති නොවේ යන්න සමස්ථ මුස්ලීම් සමාජයම ඒකමතික ලෙස පිලිගනී. මෙවැනි වූ පැහැදිලි එමෙන්ම සියළු සීමාවන් සලකුණු කොට පෙන්වා දුන් දහමක් තුල මේ මුස්ලීම් සමාජය මේ ආකාරයට සීසීකඩව බෙදී ගොස් කල්ලි ගැසීම කොතරම් අවාසනාවන්ත තත්වයක් ද? යන්න මුස්ලීම් සමාජය පටු සීමාවන් තුල කො‍ටු නොවී සිතා බැලිය යුතුය. මෙහිදී මුහම්මද් (සල්) තුමාණන් පැවසූ තවත් දිව්‍යමය වදනකට අවධානය යොමු කරන්නේ නම්,

මා නූඹලා මේ (ඉස්ලාම්) දහම තුල සුදෝ සුදුවන් (සියල්ල පැහැලි කොට) ඉතා දීප්තිමත් තැනක තබා යන්නෙමි. එහි රාත්‍රියත් දහවල මෙනි. විනාශය පතන්නෙකු හැර අන්කිසිවකු මේ තුල නොමඟ නොයනු ඇත.

අද ලොව බොහෝ ආගමික ශාස්තෘවරුන් හා අනුගාමික පිරිස් තම ආගම ‘ගැඹූරු සාමාන්‍ය බුද්ධියට පහසුවෙන් අවබෝධ කර ගැනීමට නොහැකි තරම් සංකීර්ණයි’ යයි පවසමින් නැති මහිමයක් එහි ආරෑඪ කිරීමට ක්‍රියා කරද්දී මුහම්මද් (සල්) තුමාණන් ‘මේ දහම සරල හා පැහැදිලි එකක්’ යයි මිනිස් සමාජයට හදුන්වාදීම වෙනම කථා කලයුතු කාරණයක් වුවත් මෙහිදී මා මෙය අවධාරණය කරන්නේ මෙතරම් පැහැදිලි දහමක් තුල ‘මුස්ලීම් සමාජය බෙදුනා’ යන්න බුද්ධිමත් අවධානයට ගෙන ඒම පිණිසය. වර්ථමානය වනවිට බෙදීයාම සම්ප්‍රදායක් කොටගෙන සිටින මුස්ලීම් සමාජය ඉස්ලාමීය මූලාශ්‍රයන් හොදින් අධ්‍යනය කරන්නේ නම්, මෙම දහම තුල මෙලෙස බෙදීමන් නිර්මාණය කොට තිබීම කොතරම් ප්‍රබල වරදක් යන්න පහසුවෙන් අවබෝධ කරගැනීම අපහසු නොවේ. බොහෝ ආගමික විද්වතුන්ගේ මතය නම්, එය ‘ශිර්ක්’ නම් මහා පාපයක් යන්නයි. මන්ද දෙවියන් විසින් නිර්මාණය කරදුන් දහම මනුෂයා විසින් සංශෝධනය කරන තැනට අද ‘මුස්ලීම්’ නම් නම් දැරෑ සමාජයේ සමහරක් පිරිස් යොමුව ඇත. මෙය දෙවියන්ට අභියෝග කිරීමක් මිස අන් කිසිවක් නොවේ. තවත් සරලව පවසනවා නම් ‘දෙවියන්ට වගේම අපටත් මෙම දහම තවදුරටත් සැලසුම් කරන්න පුළුවන්’ යන්න එහි නොකියා කියන සත්‍ය යයි. එය ශිර්ක් (මහා පාපයක්) යන්නෙ හි කිසිදු මුස්ලීම්වරයෙකුට දෙවැනි මතයක් පැවතිය නොහැක.

වර්ථමාන සමාජය මේ ඉස්ලාම් දහම තුල ආගමික මතවාද ඔස්සේ විවිධ කොටස්වලට බෙදී අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ පවසන ආකාරයට ‘තම තමන්ගේ බෙදීම් පිලිබදව ආනන්ද (සතුටු) වන විට’ එදා නබිතුමාණන් සැලකිලීමත් වුණේ කවර ආකාරයේ බෙදීමන් පිලිබදව ද යන්නත් මුස්ලීම් සමාජය පහත හදීසය තුලින් ‍බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුය.

දේව වන්දනය ඉටුකිරීම සදහා මස්ජිදයට (දේවස්ථානයට) පැමිණි සහාභාවරුන් (මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීන අනුගාමික පිරිස්) දේවස්ථානයේ එක් එක් ස්ථානයේ කණ්ඩායම් වශයෙන් වාඩි වී සිටිනු දුටු නබිතුමාණන් ‘නුඹලාට කුමක් සිදුවී ද?’ යනුවෙන් විමසා ‘නුඹලා විවිධ කොටස්වලට බෙදී සිටිනු මම දකින්නෙමි’ යනුවෙන් අවවාද කරන ලදී

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

නබිතුමාණන් තම සහාභාවරුන්ට අවවාද කලේ අද අප සමාජය තුල දකිනවා සේ ඉස්ලාම් දහම තුල නිර්මාණය කරගත් බෙදීමන් සම්බන්ධයෙන් නම් නොවේ. ආගමික කාරණයෙන් පරිභාහිර අපි සර්ව සාධාර්ණ ලෙස සලකන කල්ලි ගැසීමන් පිලිබදවය. එසේ නම් ඉහත හදීසය තුලින් මුස්ලීම් සමාජයේ සාමූහිකත්වය කොතරම් දුරකට ඉස්ලාම් සැලකිලීමත් වෙනවාද? යන්න සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට පවා හොදින් අවබෝධ කර ගැනීම අපහසු නොවේ. අද අප දෛනික දිවිය තුල සාමාන්‍ය කාරණයක් ලෙස සලකන ඉහත තත්වයන් පිලිබදව පවා එදා නබිතුමාණන් ඉතා සැලකිලීමත් වී මුස්ලීම් සමාජය ඒකීය සමාජයක් කිරීමට අවශ්‍ය අත්තිවාරම් දැඩිව හා ශක්තිමත් ලෙස ස්ථාපනය කල ආකාරය ඉහත හදීසයන් තුල පැහැදිලිව දක්නට ලැබේ. මෙය තවදුරටත් අවබෝධ කර ගැනීම පිණිස එවැනි තවත් දිව්‍යමය මඟපෙන්වීමකට ඔබේ අවධානය යොමු කරන්නේ නම්,

‘ජිහාදයට’ (මුස්ලීම්වරුන්ට එරෙහිව සටනට පැමිණි පිරිස් සමඟ සටන) ගිය සහාභාවරුන් තම විවේකය ගත කිරීම සදහා තනි තනි වශයෙන් කූඩාරම් සකසා ගත් ආකාරය දුටූ නබිතුමාණන් ‘නුඹලා මේ ආකාරයට බෙදී සිටීම ශෙයිතාන්ගේ කුමන්ත්‍රණවල ප්‍රථිපලයකි’ යනුවෙන් අනතුරු අඟවා දිනක් අවවාද කරන ලදී. මේ කරන ලද අවවාදයෙන් පසු එම සහාභාවරුන් කවර අවස්ථාවක කොතැනක කූඩාරම් යෙදුවත් එහි සාමූහිකව සිටීමත්, එකම පොදියක් ලෙස නිදා විවේක ගැනීමත්, දක්නට තිබූ අතර එය කොතරම් ද යන්න පවසනවා නම්, ඔවුන් සියළු දෙනාම එකම පෙරවනයකින් පෙරවීමට හැකි තරම් විය’ යනුවෙන් මෙම හදීසය දන්වන සහාභිවරයා දන්වයි.

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්

එදා නබිතුමාණන් කල කෙටි අවවාදයන් පවා හිස් මුදුනින් තබා එම සමාජය ක්‍රියා කලේ ඒ තවත් මිනිස් වදනක් යන්න සලකා නොව දිව්‍යමය මඟ පෙන්වීමක් ලෙස සලකාය. මේ නිසාම එම වදන් මුස්ලීම් සමාජයට ප්‍රබල බලපෑම් ඇති කිරීමට සමත් විය. නමුත් එම ආදර්ශය තුලින් ආදර්ශ ලැබිය යුතු වර්ථමාන මුස්ලීම් සමාජය අද ආදර්ශ ලබමින් සිටින්නේ කොහින් ද?. කිසිදු හේතුවක් නිසා හෝ මේ ඒකීය සමාජය කිසිදු ආකාරයකට බෙදී නොයායුතුයි යන කාරණය තුල දැඩිව සිටී නබිතුමාණන් එවන් තත්වයන් නිර්මාණය වීමට හැකි සියළු මාර්ග ඉතා සුපරික්ෂා කාරී ලෙස අවශ්‍ය බාධක යොදා වසා දමමින් ‘උම්මතන් වාහිදා’ නම් එකීය සමාජයක් නිර්මාණය කොට දී ගිය මුත් ‍දිව්‍යමය මඟාපන්වීමන් පසෙකලා පුද්ගල මතවාද හා පටු අරමුණූ තුල දහම කොටු කිරීම නිසා වර්ථමානයේ උදාව ඇති අවාසනාවන්ත තත්වය අප දකින්නෙමු. එදා සීසීකඩව පැවතී මිනිස් සමාජය ‘ඉස්ලාම්’ තුලින් ‘ඒකීය සමාජයක්’ නිර්මාණය කරමින් ඉදිරියට එවන් ඛේදවාචකයන් ඇති නොවීමට අවශ්‍ය අවවාද අනුශාසනා ලබාදී ආදර්ශමත් සමාජයක් අප දෝතෙහි තබා එතුමාණන් ගියද අද වනවිට ඒ සියල්ල උඩුයටිකුරු වී ශියා, කදිරියා, අහමදියා, ජබරියා, කාදියානි, හාරිජියා… යනාදී ප්‍රබල බෙදීමන් ද එහි අභාෂයන් ලබා මද්හබ්, තරීකා, තව්හීද්… යනාදී වශයෙන් අනුබෙදීමන්ද යනාදී වශයෙන් විවිධ සංවිධාන, සංගම් ගොනු වී එහි කල්ලි ගැසීමන් තුලින් ද ප්‍රධාන බෙදීමන් රාශියක් ද මුස්ලීම් සමාජය තුල නිර්මාණය කරමින් ‘බෙදීයාම තමා ඉස්ලාම්’ යන තැනට සමස්ථ සමාජයම යොමු වී ඒ ඔස්සේ ක්‍රියා කරමින් සිටී. මේ පිරිස් මෙලෙස ක්‍රියා කරමින් සිටින්නේ මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් පයට දමා පාගා දමමින් යන්න බුද්ධිමත් ප්‍රජාව දැන්වත් බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුය. සැබෑ මුස්ලීම්වරයෙකු හට ලොව ආදර්ශයට ගතහැකි පුද්ගල චරිතයක් වේ නම් ඒ මුහම්මද් (සල්) තුමාණන් පමණි. එසේ නම් මුස්ලීම් සමාජය ආදර්ශ ලැබිය යුත්තේ එතුමාණන් තුලිනි.

එතුමාණන් ආදර්ශයට ගෙන ක්‍රියා කරන පිරිස් කවර ආකාරයේ ද යන්න අල්ලාහ් (දෙවි) පවසන කාරණය තවදුරටත් බුද්ධීමත් ලෙස විමසා බැලීමට,

නියත වශයෙන්ම ඔබේ ජන සමූහය (බෙදීමන් නොමැති) ඒකීය ජන සමූහයකි

ශුද්ධ වූ කුර්ආනය 21-92

මනුෂ්‍යායන් අතුරින් ශ්‍රේෂ්ඨ ජන සමූහයක් ලෙස ඔබලා සිටින්නේය. (මන්ද) නුඹලා යහපත (අනිකුත් පිරිසට) අණ කරන්නේය. අයහපතින් වැලකී එයින් දුරස් වන්නේය. තවද අල්ලාහ් (දෙවි) කෙරෙහි දැඩිව විශ්වාසය තබා ක්‍රියා කරන්නේය.

ශුද්ධ වූ කුර්ආනය – 3-10

නුඹලා මධ්‍යස්ථ වූ ජන සමූහයක් ලෙස අප නිර්මාණය කොට ඇත්තෙමු. නුඹළා අනිකුත් පිරිසට සාක්ෂිකරුවන් වනු පිණිසත්, රසූල්වරයා (වක්තෘවරයා) සාක්ෂිකරුවකු වනු පිණිසත්ය.

ශුද්ධ වූ කුර්ආනය – 2-143

ඉහත ශූද්ධ වූ කුර්ආන් වාක්‍යයන් තුන මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බලන්න. 21-92 වාක්‍යය මඟින් අප ඒකීය සමාජයක් යයි අවධාරණය කරන අල්ලාහ් (දෙවි) 3-10 මඟින් ශ්‍රේෂ්ඪ වූ ජන සමූහයක් යන්නත්, 2-143 මඟින් මධ්‍යස්ථ එනම් අනිකුත් සමාජයන්ට සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වන ජන සමූහයක් ලෙස ප්‍රශංසාත්මක ලෙස පවසයි. මෙවන් වූ මහිමයන් පැවසෙන වර්ථමාන මුස්ලීම් සමාජය ඒ සදහා උරුමකම් පැවසිය හැකි තත්වයක අද පසුවෙනවා ද? එදා විවිධ කොටස්වලට බෙදී කුලල්කාගත් ජන සමූහයක් ඉස්ලාම් නම් දහම තුලින් අල්ලාහ් (දෙවි) එක්සේසත් කොට ‘යලි බෙදෙන්න එපා අල්ලාහ් (දෙවි) දහම දැඩිව අල්ලා ගන්න’ යයි 3-103 මඟින් අවවාද කර තිබිය දී ඒ සියල්ල පසෙක දමා ‘අපි බෙදෙනවා’ යයි නොකියා කියමින් නොයෙක් මතවාද ඔස්සේ බෙදීයාම බුද්ධීමත් ලෙස විමසා බැලිය යුතු කාරණයකි. අද ලොව පුරා වෙසෙන මුස්ලීම් සමාජයේ පරිහානියට මෙන්ම ඉස්ලාම් දහම වැරදි ආකාරයට සමාජගත වීමට මූලික හේතුව වී ඇත්තේ මේ බෙදීමයි.

එදා ‘හිජ්රත්’ (ඉස්ලාම් විරෝධීන්ගේ හිංසනයන් දරාගත නොහැකිව උපන් බිම වන මක්කාවේ සිට සරණාගතයන් ලෙස මදීනාවට පලායාම) කල අවස්ථාවේ මදීනා වාසී මුස්ලීම්වරුන් සහෝදරත්වයේ දෑත් දිගු කල ආකාරය ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුත්තකි. ‘මක්කාවේ සිට පැමිණි සරණාගතයෙකු හට මදීනාවාසියකු සහෝදරයෙකි’ යනුවෙන් ප්‍රකාශ කල විට මදීනාවාසීන් මක්කාවාසීන් හට සහෝදරත්වයේ දෑත් දිගුකල ආකාරය විශ්මය ජනකය. මදීනාවාසීන් තමන් සතු දේපලින් හරි අඩක් මක්කාවේ සිට පැමිණි සරණාගතයන් හට එදා පරිත්‍යාග කලේ මුහම්මද් (සල්) තුමාණන්ගේ වදනට අවනත වෙමින් ඉස්ලාම් දහම තුල ලද ආදර්ශය නිසාම මිස අන්කිසිවක් නිසා නොවේ. ඒ වදන් ඒ ආදර්ශ ඒ ආකාරයට අදත් අප දෝතෙහි ඇතත් එදා එම වදන් ඇති කල බලපෑම අද මුස්ලීම් සමාජය තුල ඇති නොවන්නේ ඇයි ද?. එසේ නම් වර්ථමාන මුස්ලීම් සමාජය තුල කොතැනක හෝ වරදක් සිදුවෙමින් ඇත. එම වරද අවබෝධ කරගැනීම තමා මෙවැනි ලිපියක් තුලින් මේ උත්සාහ කරමින් සිටින්නේ. ඒ සදහා තවත් දිව්‍යමය ආදර්ශයක් (හදීසයක්) වෙත අවධානය යොමු කරන්නේ නම්,

‘කිසියම් කෙනෙකු මූමීන්වරයෙකු (සැබෑ මුස්ලීම්වරයෙකු) ලෙස සිටින සමයේ (මුස්ලීම්) සමාජය භේද කිරීමට හෝ සමාජයෙන් බෙදී වෙන්ව සිටීමට හෝ කිසිදු විටෙක අදහස් කරන්නේ නැත. මන්ද එක් මූමීන්වරයෙකු තවත් මූමීන්වරයෙකුට කැඩපතක් බඳුය. එසේම එක් මූමීන්වරයෙකු තවත් මූමීන්වරයෙකුගේ ශරීරය බඳුය.’ යනුවෙන් නබිතුමාණන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත හදීසය තුලින් අවධාරණය කරණ තත්වය තමා එදා මදීනාව තුල මක්කාවාසීන් දුටුවේ. කෲරත්වය, මිලෙඡ්චත්වය රජ කල කැලෑනීතිය එකම නීතිය වූ සමාජයක් ඉස්ලාම් දහම තුල ආදර්ශ ලබා එම සමාජය උඩුයටිකුරු වූ ආකාරය අදත් අපව මවිත කරවන්න සුන්දර ඉතිහාසයකි. ‘හිජ්රතය’ තුල එම මක්කා වාසී සරණාගතයන් දෙස මදීනා වාසීන්ගේ සහෝදරත්වයේ දෑත් දිගු වූයේ තමන් දිහා කැඩපතකින් බලන ආකාරයට තමන්ගේ සහෝදර ජනතාව දෙස බැලූ නිසාම පමණි. මෙහිදී නබිතුමාණන් පැවසූ ‘එකම ශරීරයක් බඳුය’ යන්න මුස්ලීම් සමාජය ගැඹූරින් විමසා බැලිය යුතුය. අප ශරීරයේ කිසියම් අවයවයක වේදනාවක් ඇති වූ විට එම වේදනාව එම අවයවයට පමණක් සීමා කොට අප කටයුතු කරන්නේ නැත. සමස්ථ ශරීරයම එම වේදනාව බෙදාගනී. එසේම එම වේදනාව සුවකර ගැනීම පිණිස මුළු ශරීරයම වෙහෙසෙති. මුස්ලීම් සමාජයත් ඒ ආකාරයටම එකම ශරීරයක් ලෙස ක්‍රියා කලයුතු යන්න ඉහත හදීසය තුලින් ඉස්ලාම් අවධාරණය කරන තත්වයයි. මුස්ලීම් සමාජයේ කිසිවකුට ගැටළුවක් නම් ඒ සදහා සෑම මුස්ලීම්වරයෙකුම මැදිහත් වීම ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශයයි. ඔහු කුමණ සංවිධානය, සංගම, කල්ලිය නියෝජනය කරනවා ද? යන්න හෝ ඔහු කුමන තරීකාද?, ඔහු තබ්ලීග් ද?, තව්හීද් ද?, ජමාතේ ඉස්ලාම් ද, ජමාතුල් මුස්ලිමීන් ද? මද්හබ් ද?… යනාදී වශයෙන් විමසා කටයුතු කිරීමට ඉස්ලාම් දහම තුල අවසර නැත. නමුත් මේ සියල්ල තුල ආදර්ශ ලැබිය යුතු සමාජය අද කරමින් සිටින්නේ කුමක් ද?.

මුස්ලීම් සමාජය දෙස ‘කැඩපතක්’ ලෙස හා ‘එකම ශරීරයක්’ ලෙස සිතා කටයුතු කරනවා වෙනුවට එකින් එකා අතර වෛරයක්, ක්‍රෝධය හා නොසතුටක් ඇති කරගෙන එකින් එකා කුලල් කා ගනිමින්, ඒකීය සමාජය විවිධ කොටස්වලට බෙදා තම තමන්ට කියා වෙන වෙනම ඉස්ලාම් දහම කොටස් කරගෙන, ඒකීය දහම තුල නිකායවාදයන් නිර්මාණය කර ගනිමින්, තම තම නිකායට ඔලුගෙඩි රැස් කිරීම සදහා අනිකුත් පාර්ශවයන් ගරහමින් සිටීම මිස අන් කිසිවක් නොවේ. එය සමාජය තුල කොතරම් ඔඩුදුවා ඇද්ද යන්න පවසනවා නම් රටේ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුවේ පවා ඉස්ලාමීය නිකාය වාදයන් කථා කරන තැනට මුස්ලීම් සමාජයේ සමහරක් දේශපාලඥයින් යොමුව සිටීමයි. මෙහිදී සමස්ථ මුස්ලීම් සමාජයම පැහැදිලිව වටහා ගතයුතු එක් කාරණයක් නම්,  මුස්ලීම් සමාජය තුල කුමණ මුහුණුවරින්  නිකායවාදන් ප්‍රකාශ වූවත් ඉස්ලාම් දහම තුල ඒ සදහා කිසිදු ඉඩක් නැත යන්නයි. කිසිවකු එවැනි නිකායක් පිලිබදව මේ දහම තුල කථා කරන්නේ නම් පැහැදිලිව ඔහු අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් ගෙන ආ දහම ප්‍රතික්ෂේප කලා යන්නෙහි සැකයක් නැත. අද ලෝකය පුරා වෙසෙන මුස්ලීම් සමාජය සැලකුව ද අප රටේ වෙසෙන මුස්ලීම් සමාජය සැලකුව ද ඉහත සදහන් ආකාරයේ ඊනියා නිකායවාදයන් අඩුවක් නොමැතිව විහිදී ගොස් ඇත. සමහරක් පාර්ශවයන් ප්‍රසිද්ධියේ තම නිකාය පිලිගන්නා විට තවත් සමහරක් පාර්ශවයන් අප තවත් නිකායක් යන්න ප්‍රකාශ නොකොට ඔවුන්ගේ ක්‍රියා කලාපය තම නිකායට අවාඩන ආකාරයට කරගෙන යයි. මෙහිදී සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම්, ඉහත සියළු පාර්ශවයන් ‘සම්පූර්ණයෙන් ඉස්ලාමයට පරස්පරයි’ යනුවෙන් හෝ ‘සම්පූර්ණයෙන් ඉස්ලාමයට අනුකූලයි’ යනුවෙන් පැවසිය හැකි මට්ටමේ නැත. ඉස්ලාමීය ආදර්ශයන්ට පරස්පර මෙන්ම අනුකූල වූ කරුණූ කාරණා ද බොහෝමයක් ඔවුන්ගේ කටයුතුවල දක්නට ඇත. නිදසුනක් ලෙස පවසනවා නම්,

  • සමහරක් පාර්ශවයන් යම් යම් දෑ කුසල ක්‍රියාවන් යයි ඉස්ලාම් දහමින් පරිභාහිරව වැරදි ආදර්ශ ලබා ඒ තුල ගැඹූරින් ක්‍රියා කරයි. නමුත් ඔවුනට ඉස්ලාමීය ආදර්ශය පිලිබදව මූලික අවබෝධයන් පවා නැත.
  • තවත් සමහර පාර්ශවයන්ට ආගමික ඉගෙන්වීමන් හා ආදර්ශයන් පිලිබදව පූර්ණ දැනුම ඇත. ඒ පිලිබදව වාද විවාද තර්ක විතර්ක ඉදිරිපත් කරයි. නමුත් ඔවුන්ගේ ජීවිත තුල එය දක්නට නැත.
  • තවත් සමහරුන් සමස්ථ දහම පුද්ගල චරිතයන් තුල කොටු කොට විවිධ ‘තරීකාවන්’ (මාර්ගයන්) නිර්මාණය කොටගෙන එයින් පරිභාහිරව දහම පිලිබදව කිසිවක් නොසිතා අන්ධ භක්තිකව කටයුතු කරමින් ඇත.
  • තවත් සමහර පාර්ශවයන් තමන් පමණයි මුස්ලීම් අනිකුත් සියළු දෙනා ‘ජාහිලියත්’ (අඥාන පිරිස්) අපට එරෙහිව ක්‍රියා කලේනම් ඔවුන් ‘කාෆිර්’ යනුවෙන් දහම වෙනමම දිශාවකට යොමු කොට ක්‍රියා කරමින් සිටී.
  • මීට අමතරව ඉහතින් සදහන් ශියාවරුන්, කාදියානිවරුන්, කදිරියාවරුන්, ජබරීයා… යනාදී වශයෙන් ද ඒ තුල තරීකා, මද්හබ්, තබ්ලීග්, තව්හීද්, ජමා‍තේ ඉස්ලාම්, ජමාතුල් මුස්ලිමීන්, ඉහ්වානුල් මුස්ලිමීන්… යනාදී අනුබෙදීමන් රාශියක් ද මේ ‘ඒකීය දහම’ තුල අද බිහි වී මුස්ලීම් සමාජය සීසීකඩ කරමින් සිටී.

ඉහත සියළු පාර්ශවයන් වෙන වෙනම ගෙන ඔවුන්ගේ ප්‍රතිපත්ති මොනවා ද? ඔවුන් ඉස්ලාම් දහමට කොතරම් දුරකට අනුකූල ද?, ඔවුන්ගේ ඉස්ලාමයට එරෙහි ප්‍රතිපත්ති මොනවා ද? යන්නත් කථා කිරීම කාලීන අවශ්‍යතාවයකි. මේ පිලිබදව ‘යහමඟ අඩවිය ඉදිරියේ දී කථා කිරීමට අදහස් කරන අතර එවැනි ලිපි හා වෙනත් ආකාරයේ සමාජ දැනුවත් කිරීමේ වැඩමුළු අපක්ෂපාතී ලෙස සංවිධානය විය යුතු යන්නත් මාගේ අදහසයි. ඒ සදහා ආගමික විද්වතුන්ගේ මනස විවෘත වේවා!, යන්න ප්‍රාර්ථනා කරමින් මෙම විෂයට අදාල තවත් පැතිකඩකට අවධානය යොමු කිරීමට අදහස් කරමි. එනම්,

 

ඒ ‘ඉස්ලාම්’ දහම නමින් නිර්මාණය වී ක්‍රියාත්මක වන සංවිධාන, සංගම් හා කුඩා කල්ලීන් පිලිබදවයි. මෙහිදී ඔබ ඉස්ලාම් දහම තුල සමිති, සමාගම්, සංගම්, සංවිධාන… යන්නට ඉඩක් නැතිදෝ යනුවෙන් වැරදි අදහසක් ඇති කර ගතයුතු නොවේ. යහපත් ‍මෙහෙවරයන් සදහා සමිති සමාගම් නිර්මාණය කර ගැනීමේ හා ඒ සදහා විවිධ නම් භාවිතා කිරීමේ හි වරදක් නැත. මුහම්මද් (සල්) තුමාණන් බිහිකල ‘හිස්බ් අල්ෆුලූල්’ නම් සංවිධානය  එයට හොද නිදසුනකි. නමුත් අද සිදුවෙමින් ඇත්තේ කුමක්ද? විවිධ සංවිධාන, සංගම් බිහිකරගෙන ඒ තුල විවිධ ආගමික මතවාද ප්‍රතිපත්ති ලෙස යොදාගෙන කල්ලි ගැසී එකින් එකා ගරහනවාට වඩා යමක් එහි සිදු නොවේ. එවන් සමිති, සංගම්, සංවිධාන… යනාදීය තුල තවත් පාර්ශවයකට එරෙහිව ඊර්ෂ්‍යාව, වෛරය ඉහවහා ගොසිනි. එකින් එකා අතර කුලල් කා ගැනීම හා සමහරක් අවස්ථාවල ගැටුමන් ඇති කරගෙන ශාරීරික හිංසාවන් මෙන්ම විටෙක ඝාතනයන් පවා සිදු කරගන්නා අමිහිරි මතකයන් අප රට තුලත් අපට නැතුවා නොවේ. පිරිසක් එලෙස ක්‍රියා කරද්දී තවත් නින්දිත පිරිසක් මේ දහම තුල මෑත කාලීනව බිහි වෙමින් පවතී. මේ පිරිස කුමක් හෝ නමකින් ‘දව්වා සෙන්ටර්’ යයි බෝඩ් ලෑල්ලක් යොදාගෙන වෙබ් අඩවියක් (web site) හෝ කිහිපයක් එහි ආරම්භ කරගෙන facebook ගිණූමකුත් එහි නිර්මාණය කරගෙන ඉස්ලාම් දහම පෙරට තියා තම පුද්ගල චරිතය පුම්බමින් ඉහල ආදායම් උපයන ඉස්ලාමීය කඩවල් පවත්වමින් පොරවල් වන්නට (‘දහම් ප්‍රචාරයත් දහමට අනුකූල වියයුතුයි‘ ) උත්සාහ කරමින් සිටී. මේ පිරිස් දැන හෝ නොදැන සමස්ථ මුස්ලීම් සමාජයම අවාසනාවන්ත තැනකට යොමු කරමින් සිටී. ‘දව්වා’ යයි පැවසූ සැනින් ඒ සියල්ල නිවරදි ආගමික මෙහෙවර බවට පත් නොවේ. ආගම විකුණාගෙන කන අවාසනාවන්ත තැනට අප රටේ බොහෝ ‘දව්වා සෙන්ටර්’ මේ වන විටත් පත්වී හමාරය. මේවා පිලිබදව මුස්ලීම් සමාජය විශේෂයෙන් තරුණ පිරිස් අවධියෙන් හා අවබෝධයෙන් කටයුතු කලයුතුය. ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමක් වන්නේ මේ දහම තුල කුමක් කරනවා ද?, දහම වෙනුවෙන් කුමක් කරනවා ද? යන්නට වඩා කුමක් අරමුණින් එය කරනවා ද? යන්නයි. තවත් සරලව පවසනවා නම් ‘යහපත් සිතුවිලිවලින් තොරව කොතරම් කුසල ක්‍රියාවන් හි නිරත වුවත් එයින් කිසිදු පලක් නොවේ’ යන්න ඉස්ලාමීය මූලික ඉගෙන්වීමයි. මේ පිලිබදව ඉස්ලාමීය මූලාශ්‍රවල බොහෝ සේ කථා කොට ඇත. විශේෂයෙන් බුහාරි නම් මූලාශ්‍ර ග්‍රන්ථයේ ප්‍රථම හදීසය ලෙස සදහන් වන්නේ ද එම කාරණය යන්න මෙහිදී ඔබේ අවධානයට ගෙන එන්නෙමි. කෙසේ වෙතත් මෙම තත්වයන් පිලිබදව වඩාත් හොදින් විග්‍රහ කරන දිව්‍යමය මඟපෙන්වීමක් සාරාංශ කොට ඔබේ අවධානයට ගෙන එන්නට මෙහි දී අදහස් කරමි. එනම්,

නබිතුමාණන් වරක් මෙසේ පවසන ලදී. ‘ලෞකික ගරු බුහුමන් අපේක්ෂාවෙන් (ඉස්ලාම් විරෝධීන් සමඟ) සටනට සහභාගි වී ඝාතනයට ලක්වූ (ශහීද් නම්) තැනැත්තා ද, ආගමික දැනුම ජනතාවට බෙදාදුන් විද්වතා ද, දුප්පතුන් සදහා අධීක ලෙස දන්දුන් තැනැත්තා ද ‘කියාමත්’ (මරණින් මතු හොද නරක විනිශ්චය කරන) දිනයේ පොළොව මත දමා ඇදගෙන ගොස් අපාය තුලට විසි කරනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

මෙම හදීසය බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම්, වර්ථමාන සමිති, සංගම්, සංවිධාන තුල කල්ලි ගැසෙමින් ඒ තුල පටු අරමුණූ මුදුන්පත් කරගැනීමට ක්‍රියා කරමින් සිටින බොහෝ පිරිසගේ ඉරණම පහසුවෙන් අවබෝධ කරගත හැක. ඉස්ලාම් දහම වෙනුවෙන් සටන් වැද මියයන පුද්ගලයාගේ ඡේතනාව යහපත් එකක් නොවේ නම් ඔහුගේ නවාතැන අපාය නම් අප සමාජයේ පටු අරමුණූ මුදුන්පත් කරගැනීම සදහා ‘ඉස්ලාම්’ නම් ලෝගුව පෙරවාගෙන ‘දව්වා’ කඩ පවත්වන කඩකාරයන් පිලිබදව කුමක් පවසන්න ද?. මෙම තත්වයන් වෙනස් වියයුතුය විශේෂයෙන් මෙවැනි කඩකාරයන් වටා රොක්වන පිරිස් කල්ලිවාදය තුල වියරු නොවැටී බුද්ධිමත් ලෙස හා ඉස්ලාමීය ආදර්ශය තුල ක්‍රියා කිරීමට පෙළඹිය යුතුය. වර්ථමානයට වඩා දරුණූ ලෙස ඉස්ලාම් විරෝධීන් ක්‍රියාත්මක වූ මීට වසර 1400 කට පෙර අවධියේ මුස්ලීම්වරුන්ගේ එකම ශක්තිය වූයේ දිව්‍යමය මඟපෙන්වීම තුල ලද සාමුහික ක්‍රියා මර්ගයන්ය. එහි ප්‍රථිපලය හොදින් අවබෝධ කරගත් මුස්ලීම් සමාජය අද විවිධ කොටස්වලට බෙදී වියරුවෙන් ක්‍රියා කිරීම විශ්මයට කාරණයකි. මෙම තත්වයන් දැන්වත් වෙනස් වියයුතුය. ඒ සදහා සුදුසුම කාලය තමා මේ රමලාන් මාසය. මේ ‘කුර්ආනීය’ මාසයයි. එම නිසා සංගම්වාද, කල්ලිවාද, නිකායවාද… යනාදී සියල්ල පසෙක දමා ශුද්ධ වූ දහම ඒ ආකාරයට අවබෝධ කොටගෙන දිව්‍යමය මඟපෙන්වීමන් ඉක්මවා නොගොස් ඉස්ලාමීය ආදර්ශයන් තුල ක්‍රියා කිරීමට සමස්ථ මුස්ලීම් සමාජය දැන්වත් පෙළඹිය යුතුය. මෙය ශුද්ධ වූ කුර්ආනය තුලින් අල්ලාහ් (දෙවි) මෙසේ අවධාරණය කරයි.

කවර සමාජයක් වුවද තමන්ව තමා යහපත් ආකාරයට වෙනස් කරගන්නා තුරු එම සමාජය අල්ලාහ් (දෙවි) යහපත් සමාජයක් බවට පරිවර්ථනය කරන්නේ නැත.

ශුද්ධ වූ කුර්ආනය 3-11

මේ අවාසනාවන්ත ඉරණම තමා අද ලොව පුරා වෙසෙන මුස්ලීම්වරුන් ඉදිරයේ ඇති එකම අභියෝගය වන්නේ. වර්ථමාන මුස්ලීම් සමාජය ඉස්ලාම් පසුකොට ආ ගමන් මඟ යලිත් හැරී බැලීම හා ඒ තුලින් ආදර්ශ ලබා නිවරුදි කර ගතයුතු බොහෝ දෑ ඇත. වි‍ශේෂයෙන් අල්ලාහ් (දෙවි)ගේ අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිතය තුල ආදර්ශ ලැබීම සමස්ථ මුස්ලීම් සමාජය කෙරෙහිම කාලීන මෙන්ම අනිවාර්ය අවශ්‍යතාවයක් වී ඇත. එසේ වන්නේ නම්, මේ වර්ථමාන බෙදීමන් පැහැදිලි ලෙස හදුනා ගැනීමටත්, එයින් දුරස්ව යහපත් මූමීන්වරයෙකු ලෙස ක්‍රියා කිරීමටත් අපහසු නොවනු ඇත. මීට වසර 1400 කට පෙර පැවතී ආකාරයේ වූ ‘උම්මතන් වාහිදා’ නම් ඒකීය සමාජයක් බිහිවීමට අවශ්‍ය මෙහෙවර හා ප්‍රාර්ථනය වැඩි වැඩි වශයෙන් කලයුතුව ඇත. විශේෂයෙන් තරුණ පිරිස් කල්ලිවාදී හැඟීමන්ට, අලංකාර දේශනවලට හෝ දේශකයන්ගේ වචනවලට වහල් වී කල්ලිවාදයන් තුල කොටු වී අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ පවසනවා සේ ‘තම තමන්ගේ කල්ලීන් ගැන ආඩම්බර වීමට හෝ සතුටුවීමට’ ඉදිරිපත් නොවිය යුතුය. නමුත් අවාසනාවකට අද සමාජය තුල දකින්නට ඇත්තේ එවන් තත්වයකි. සෑම පාර්ශවයක්ම ‘අප තමා නිවරුදි මාර්ගයේ සිටින්නේ’ යයි පවසමින් පොදු ජනතාව දිනා ගැනීමට අවශ්‍ය විවිධ උපක්‍රම යොදමින් සිටී. ‘ඔලුගෙඩි ප්‍රමාණය’ මත තීන්දු තීරණ ගන්නා පිරිසට මෙම කාරණයන් වැදගත් වුවත්, ඉස්ලාම් දහමට අනුව එය වැදගත් හෝ සැලකිය යුතු සාධකයක් නොවේ. මෙහිදී තීරණාත්මක සාධකය වන්නේ මෙවැනි බෙදීමන් හා කල්ලි ගැසීමන් අතුරින් නිවැරදි මාර්ගය අවබෝධ කරගැනීමට අප කොතරම් ආගමික දැනුමින් පෝෂණය වී ඇත්ද යන්න පමණි.

එහි දී නිවරුදි මාර්ගය අවබෝධ කරගත හැකි තරම් දැනුමක් නොමැති නම් හෝ අපැහැදිලි මෙන්ම ව්‍යාකූල තත්වයන් සමාජය තුල ඔබ දකින්නේ නම්, එහිදී ද ඔබ කුමක් හෝ කල්ලියකට එක් නොවී ක්‍රියා කලයුතු යන්න ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශයයි. එය මෙම ලිපියේ ආරම්භයේ සදහන් කල හදීසය මෙහිදී පූර්ණ වශයෙන් කියවීමෙන් ඔබට පැහැදිලි වනු ඇත.

හුදෙයිෆා බින් යමාන් (රලි) තුමා පවසයි, ජනතාව අල්ලාහ්ගේ දූතයාණන් හමුවේ යහපත පිලිබදව විමසමින් සිටියේය. මම අයහපත ලිපිබදව විමසුවෙමි. මන්ද එයට මා හසුවේද යන බිය මා තුල පැවතී නිසාය. මම ‘අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් අපි අඥාන කාලයේ අයහපත තුල ගිලී සිටියෙමු. එවන් සමයක අල්ලාහ් (දෙවි) ‘ඉස්ලාම්’ නම් යහපත අප හමුවට ගෙන ආවා. මෙම යහපතට පසුව අයහපතක් පැවතීමට හැකි ද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔව්’ යනුවෙන් පිලිතුරු ලබාදෙන ලදී. එයට මම ‘එම අයහපත් තත්වයට පසු කුමක් හෝ යහපතක් තිබෙන්නේද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔව්, නමුත් එහි කැළඹිලි ස්වභාවයක් පවතිනු ඇත’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘එම කැළඹිලි ස්වභාවය කුමක්ද? යනුවෙන් විමසූ විට නබිතුමාණන් ‘එක් පාර්ශවයක් මාගේ මාර්ගයෙන් වෙනස් වූ මාර්ගයකට ජනතාව කැදවමින් ඔවුන් මෙහෙයවයි. ඔවුන් තුල ඔබ යහපතත් අයහපතත් දකිනු ඇත’ යනුවෙන් පවසන ලදී.

එයට මා ‘එය යහපතට පසුව අයහපතක් ඇත්තේද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔව්, නිරයේ දොරකොඩ හිද ආරාධනා කරන (කැදවුම්කරුවන්) පිරිසක් බිහිවනු ඇත. ඔවුන්ගේ ආරාධනය පිලිගත් පිරිස් නිරයට විසිවනු ඇත.’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘දූතයාණනි!, ඔවුන්ගේ සලකුණු අපට කියන්න.’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔවුන් අපගේ පරම්පාරාව නියෝජනය කරන අපගේ භාෂාව කථා කරන පිරිසක් වේ’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘මේ පිරිස මා හට හමුවුයේ නම් කුමක් කලයුතුද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ (කොහේ හෝ පිරිසිදු) ‘මුස්ලීම් ජමාතයක්’ (මුස්ලීම් සංවිධානයක්) හා එහි නායකත්වයක් පැවතුණේ නම් ඔවුන් හා ඔබ අත්වැල් බැදගන්න’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘(මුස්ලීම්වරුන් වන) ඔවුනට එවැනි නායකත්වයක් හෝ සංවිධානයක් නොමැතිව (සීසීකඩව) පැවතුනේ නම් කුමක් කලයුතු ද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘සියළු බෙදීමන්ගෙන් ඔබ දුරස් වන්න. (ඔවුන් වෙත ඇදී නොගොස්) ගසක මුලක් හෝ ඔබේ දත්වලින් හෝ අල්ලාගෙන ඔබ ඔබව ආරක්ෂා කරගන්න. ඒ තත්වය තුල ඔබ මියදුනත් කිසිදු බෙදීමකට ඔබ එක් නොවන්න.’ යනුවෙන් පිලිතුරු දෙන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසය සම්බන්ධයෙන් මෙහිදී විග්‍රහයන්ට මා යොමු නොවෙමි. මන්ද හුදෙයිෆා බින් යමාන් (රලි) සහාභිවරයා ඉදිරිපත් කරන හදීසයන් ඒ තරමට සරලව පවතින නිසාත්, නිරන්තරයෙන් නබිතුමාණන්ගෙන් ප්‍රශ්න කිරීම තුලින් හොද විග්‍රහයක් මුස්ලීම් සමාජයට එතුමාණන් කවදත් ලබාදෙන නිසාත්ය. (මුස්ලීම් සමාජය තුල ඇති වන ‘ෆිත්නා’ කැළඹිලි පිලිබදව බොහෝ හදීසයන් මෙම සහාභිවරයා ඉදිරිපත් කොට ඇත. එම හදීසයන් ද කියවීමට උත්සාහ ගන්න) මෙතැන දී ‘යහමඟ අඩවියේ සම්බන්ධයෙන් බොහෝ පිරිසට පවතින කුතුහලයකට කෙටි පිලිතුරක් ලබාදීමට මෙය අවස්ථාවක් කරගනිමි. එනම්, ‘යහමඟ නියෝජනය කරන්නේ කුමන සංගමයද?, සංවිධානයද?, කල්ලියද? නිකායද, ආගමික බෙදීමද… යන කුතුහලය බොහෝ පාඨක ප්‍රජාවට ආරම්භයේ පටන් ඇත. මේ පිලිබදව සෘජුවම විමසු වාර ගණන ද අප්‍රමාණය. ඒ පැනයන්ට අද දිනයේ දිය හැකි සරලම හා එකම පිලිතුර ‘සියළු බෙදීමන්ගෙන් දුරස්ව, යහපත් වූ හා ඉස්ලාමීය ආදර්ශයන්ට අනුකූලව මුස්ලීම් ජමාතයක් බිහි වනතුරු ඒ සදහා අවශ්‍ය ව්‍යායාමයන් හි නිරත වෙමින් හුදෙකලා මෙහෙවරක නිරතව සිටිනවා’ යන්න පමණි. මේ ව්‍යායාමය තුල සමස්ථ බුද්ධිමත් මුස්ලීම් සමාජය සත්භාවයෙන් නිරත වේ නම්, එදා හිජ්රතය තුල අප ඇසූ විශ්මයන් අපට අද තවදුරටත් විශ්මයක් නොවනු ඇත. එසේම එදා මක්කා ජයග්‍රහණය කල ආකාරය අද අපට පුදුම උපදවන සිදුවීමන් ද නොවනු ඇත. එසේ වන්නට නම්, මුස්ලීම්වරුන් වශයෙන් අප කලයුතු ඉතා සරල කාර්‍යයන් දෙකක් ඇත. එනම්  ආගමික මූලාශ්‍රයන් තුලින් දහම අවබෝධ කරගෙන ඒ තුල සැබෑ මුස්ලීම්වරයෙකු (මූමීන්වරයෙකු) ලෙස ක්‍රියා කිරීම සහා ඉස්ලාමීය ආදර්ශ පූර්ණ ලෙස අනුගමනය කරන දැහැමි සමාජයක් උදෙසා අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා කිරීම යන්න පමණි. එසේ වුවා නම්, මීට වසර 1400 කට පෙර පැවතී ඒ ආදර්ශමත් ඒකීය සමාජය යලිත් මේ මිහිමත ස්ථාපනය කිරීම තවදුරටත් සිහිනයක් නොවනු ඇත. ඒ සදහා මේ රමලාන් මාසය හොද ආරම්භයක් කරගන්නට ඔබ සියළු දෙනාට ආරාධනා කරමින් මෙම ලිපියට විරාමය තබමි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 5 යි.

  1. Hazmath 2012-08-11 at 02:57

    Assalamu Alikum!

    Mema lipiya kaleenawa ithamath wdagath kamak usulanawa…meya siyalu muslim warun ge awadanayata lak wiya youthu bawai mage adahasa…

    • abuarshed 2012-08-11 at 05:43

      වාලෙයිකුම් සලාම්,
      සමස්ථ මුස්ලීම් සමාජය ඒ තැනට යොමු වෙන්න අපි ප්‍රාර්ථනා කරන ගමන් හැකි පමණින් දැනුවත් කරමු.

  2. mohamed 2012-08-02 at 05:02

    ලිපියේ ආරම්භය තරමක් මතභේදකාරී වුවත් අවසානයේ ඔබ විසින් සමාජයට ලබා දෙන උපදේශය වටී. මුස්ලිම් සමාජයේ බෙදීම් ගැන ඔබ කතා කරන නමුදු එයට මුල් වන හේතූන් ඔබ විසින් සඳහන් නොකිරීම ලිපියේ අඩුපාඩුවක් විදියට මං දකිමි. එලෙසෙම බෙදී වෙන්වී සිටින සමාජය එක්සත් කිරීමට ලබා දිය හැකි ‘ප්‍රායෝගික යෝජනාවන්’ සම්බන්ධයෙන්ද ඉඟියක් හෝ පල නොවී තිබිමත් මේ තත්වයෙහි ලා මා විසින් සලකමි. හේතුව අවසන් එක් ‘මුස්ලිම් ජමාතයක්’ ඔබ අපෙක්ෂා කරන්නේ නම් ප්‍රථමයෙන්ම කල යුත්තේ විවිධ ජමාතයන් බිහි වීමට හේතු වූ සමාජීය සාධකයන් මුලින්ම හඳුනා ගැනීම වේ. නිදසුනක් ලෙස ඊජිප්තුවේ ‘ඉහ්වානුල් මුස්ලිමීන්’ යන්නත් ඉන්දියාවෙ ‘තබ්ලීග් ජමාත්’ යන්නත් එකම තලයේ සිට විග්‍රහ නොකර මේ දෙක අතර වෙනස වෙන වෙනම හඳුනා ගැනීමට උත්සහ කිරීමයි. දෙවනුව එම සංවිධානවල චින්තනයන්, න්‍යාය පත්‍රයන් ඉස්ලාමීය ෂරීයාව හා එකඟද නැද්ද යනුවෙන් පුලුල්ව අවබෝධ කර ගැනීමයි. තෙවනුව එකමුතුවක් ඇති වන ආකාරයට අවම වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීමයි. සතරවැන්න මේ එක්සත්බාවය හරහා පුලුල් උපායශීලී සන්ධානයක් බිහි කරගැනීමට උත්සහ කිරීමයි. එසේ නොමැතිව එක්සත් විය යුතුයි යනුවෙන් කට වචනයෙන් කීම නොවේ. වර්තමානයේ එක්සත් වීමට හැම සංවිධානයක්ම අවංකව බලාපොරොත්තු වුවත් මතවාදීමය බාධාවක් එයට පවතින නිසා මීට වැඩිය ප්‍රායෝගික විසඳුමක් මා හට නම් නොපෙනේ.

    • abuarshed 2012-08-02 at 11:36

      ඔබේ අදහස් දැක්වීම පිලිබදව මා ප්‍රථමයෙන් ස්තූතිවන්ත වෙනවා. එසේම ඔබ පවසන ආකාරයට එක් එක් බෙදීමන් ගෙන වෙන වෙනම සාකච්චා නොකිරීම මෙහි අඩුවක් ලෙස දැකීමෙහි ද වරදක් නැත. වර්ථමානයේ පවතින සියළු ආගමික බෙදීමන් පිලිබදව ප්‍රබල විවේචන මට නැතුවා නොවේ. නමුත් මෙම ලිපිය තුල ‘ඉස්ලාම් පවසන නිවරුදි මාර්ගය කුමක්ද?’ යන්න පිලිබදව විග්‍රහයක් නැතැයි පැවසීම එකඟවිය හැකි කාරණයක් නොවේ. මෙහිදී මා වැඩි බරක් ලබාදෙන හුදෙයිෆා (රලි) තුමාණන්ගේ හදීසය එයට ‍හොද නිදසුනකි. අද අප රටේ වෙසෙන විවිධ බෙදීමන්ට ආවඩන බුද්ධිමත් මුස්ලීම් ප්‍රජාව ඉහත හදීසයේ සදහන් ආකාරයට සියළු බෙදීමන්වලින් බැහැරව ප්‍රථමයෙන් මධ්‍යස්ථ තැනකට පැමිණිය යුතුයි. ඒ සදහා මුස්ලීම් සමාජය උනන්දු කිරීම තමා මෙම ලිපියෙහි ප්‍රධාන අරමුණ. එතැන් සිට නැවතත් ඒකීය ජමාතයක් කරා ඉස්ලාමීය ආදර්ශය (වන ශූද්ධ වූ කුර්ආනයට හා හදීසයට) අනුව ගමන් ඇරඹිය යුතුයි. මේ ව්‍යායාමය එතැනට මුස්ලීම් සමාජය යොමු කිරීමයි.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *