මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය – 2 වන කොටස

0

redllight-2වර්ථමානයේ අප රට තුල සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන, මුස්ලීම් සමාජය භේද කොට ඒ තුලින් පටු වාසි ලබාගැනීමට කටයුතු කරන,  ඊනියා ඉස්ලාමීය ආගමික සංවිධාන ගණනාවක් පිලිබදව මීට පෙර ‘මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය – 1 වන කොටස’ යන ලිපිය තුලින් ඉඟියක් ඉදිරිපත් කල අතර ඔවුන්ගේ මුලික ලක්ෂණ කිහිපයක් එනම්,

  • දහම් ප්‍රචාරය නමින් පුද්ගල විවේචනයේ යෙදීසිටීම,
  • ජනතා ආකර්ශනය තම වලංගුභාවයට සහතිකයක් කරගෙන සිටීම,
  • කලින් කලට අරමුණූ ප්‍රතිපත්ති හා ස්ථාවර වෙසන් වීම,
  • ජනප්‍රිය විද්වතුන් තමා වටා සිටීම පුරසාරම් දෙඩවීම,
  • තමන් විදේශ ආධාර ලබා නොගන්නා බව සහතික වීම,
  • තම සංවිධානය වටා ජනයා ඒකරාශි වීම අනිවාර්‍ය බවට ප්‍රචාරණයන් සිදුකිරීම,
  • තම ප්‍රතිපත්ති නොපිලිගන්නා පිරිස් කාෆිර්, මුෂ්රික්, මුර්තද්… යනාදී ලෙස තීන්දුදීම,
  • ඉස්ලාමීය ශුද්ධ වූ මූලාශ්‍ර සම්බන්ධයෙන් දෙබිඩි පිලිවෙතක් අනුගමනය කිරීම,

යනාදීය කරුණු පිලිබදව හා ඒ අතුරින් කිහිපයක් පිලිබදව සවිස්තරව ද කරුණු සාකච්චා කලෙමු. එම ලිපියේ දෙවන කොටස ලෙස ඉහත කරුණු අතුරින් තවත් කරුණු කිහිපයක් මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

  • ජනයා ආකර්ශණය වලංගුභායට සහතිකයක් නොවේ.

මෙහිදී ඉහත අනුමාතෘකාවට යොමුවීමට ප්‍රථම සදහන් කලයුතු යථාර්තයක් ඇත. එනම් අද ජාත්‍යන්තරය සැලකුවත්, වර්ථාමාන ශ්‍රී ලාංකීය සමාජය සැලකුවත් ඒ තුල ක්‍රියාත්මක ඉස්ලාම් ආගමික සංවිධාන, එහි නියමුවන් ලෙස කටයුතු කරන විද්වතුන් හා ඔවුන්ගේ ක්‍රියා කලාප සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයේ බහුතරයකට ඇත්තේ දැඩි කලකිරීමක් හා නොසතුටකි. (මේ පිලිබදව ද ‘යහමඟ’ අඩවිය ‘මුස්ලීම් සමාජයේ බෙදීම්‘ යන ලිපිය තුලින් මීට ඉහත දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත) මෙවැනි අවස්ථා‍වල තම ස්ථාවරය දරණ පිරිස නොඑසේ නම්, ඉහත පිරිසට එරෙහිව ක්‍රියා කරන පිරිස් වටා ජනයා ඒකරාශී වීම මනුෂ්‍ය ස්වභාවයකි. (එය අද අප රටේ දේශපාලන ව්‍යාපාරය තුල සරලව දකින කාරණයකි. එනම් කිසිදු දේශපාලන පසුබිමක් නොමැති පිරිස් අද දේශපාලන ව්‍යාපාරය තුල ඉහල ජනවරම් දිනාගැනීම එහි ප්‍රතිපලයයි.) ඒ අනුව පසුගිය කාලවල අප රටේ සමහරක් ඉස්ලාම් ආගමික සංවිධාන හා එහි නියමුවන් ඉස්ලාමීය රාමුවෙන් පිට තම පටු න්‍යාය පත්‍රයන් තුල දිගින් දිගටම කටයුතු කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඔවුන්ගේ සැබෑ ස්වරූපය ජනයාට එලි කරන විකල්ප බලවේගයක් සම්බන්ධ ජනතා පැතුම සමාජය තුල නිර්මාණය වන්නට විය. එවැනි අවස්ථාවක ආකර්ශණීය බෝඩ් ලෑලි හා තේමාපාඨ පෙරදැරි කරගෙන එසේම ජනප්‍රිය හා ජනතා ආකර්ශනය ඇති විද්වතුන් මූල් කරගෙන ජනතාව ඉදිරියට පැමිණෙන සංවිධානවලට ජනතා ආකර්ශනය හිමිවන්නට විය. මෙම තත්වය සූක්ෂම ලෙස හදුනාගත් සමහරක් ඊනියා ඉස්ලාමීය කල්ලීන්ද මෙය අවස්ථාවක් කරගෙන විවිධ වූ ආකර්ශණීය ප්‍රතිපත්තීන් ජනතාව ඉදිරියේ තබමින් නව ජවයකින් සමාජගත වන්නට විය. .

මේ අනුව අද කිසියම් ආගමික සංවිධානයක් වටා ජනතාව ඒකාරාශී වීම ප්‍රධාන හේතු 03 ක් ඔස්සේ සිදුවන බව සාරාංශ කොට පැවසිය හැක. එනම්,

  • වගකිවයුතු පාර්ශවයන්ගේ ක්‍රියාකලාපයන් පිලිබදව තිබෙන නොසතුට හා කලකීරීම,
  • කිසියම් සංවිධානයක ප්‍රතිපත්ති, ක්‍රියාකලාප හා එම සංවිධානය වටා සිටින විද්වතුන් කෙරෙහි තිබෙන විශ්වාසය හා ආකර්ශනය,
  • එම සංවිධානයේ ප්‍රතිපත්ති හා ඉගෙන්වීමන් හොදින් අධ්‍යනය කොට ලබාගත් අවබෝධය,

ඉහත අවස්ථා 03 සැලකූවිට එහි අති බහුතරය අයත් වන්නේ ඉහත පලමු හා දෙවන ගොනුවලටය. වෙනත් අකාරයකට පවසනවා නම්, කිසියම් මතවාදයක් ප්‍රතිපත්තියක් අවබෝධයෙන් යුතුව පිලිගැනෙන පිරිස සැමවිටම ඉතා සුළුතරයකි.මේ අනුව කිසියම් සංවිධානයක් වටා ඒකරාශි වී සිටින ඔළුගෙඩි ගණනින් එම සංවිධානය හරි/වැරදි යයි තීන්දු කිරීම නිවරුදි ඉස්ලාමීය ක්‍රමවේදය නොවේ. මෙය ශුද්ධ වූ කුර්ආනය පවා බොහෝ ස්ථානවල දැඩිව අවධාරණය කරන කාරණයකි. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස අල්ලාහ් (දෙවි) විසින් ඔහුගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට කරන අවවාදය ඔබේ විමසුමට ශුද්ධ වූ කුර්ආනයේන් ගෙන එන්නේ නම්,

තවද (නබි මුහම්මද්!) නුඹ මෙලොව (වෙසෙන) අයගෙන් බහුතරයන්ට කීකරු වුවහොත් ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයෙන් නුඹ නොමඟට පමුණු වන්නෝය. ඔවුහු අනුමානය අනුගමනය කරන්නෝ මිස නැත. තවද ඔවුහු ප්‍රලාප දොඩන්නෝ මිස නැත.

ශුද්ධ වූ කුර්ආනය – 6-116

බහුතරය බලා ඒ අනුව තීන්දු තීරණවලට එ‍ළඹෙන මුස්ලීම් ප්‍රජාව ඉහත වාක්‍යය බුද්ධිමත්ව විමසා බැලිය යුතු නොවේද?.

අද ආගම දහම සංකීර්ණ විෂයක් ලෙස සමාජය ඉදිරියේ මතවාදයක් නිර්මාණය කරමින් ඇත. අතීතයේ මෙන් නොව අද එකම දහම තුල විවිධ වූ මතවාද නිර්මාණය කරමින් සරල දහමට සංකීර්ණ මුහුණුවරක් ලබාදෙමින් පොදු ජනයා ව්‍යාකූල තැනකට ‍යොමු කරමින් ඇත. මෙවැනි පසුබිමක සාමාන්‍ය ජනයා මේ දහම තෝරා බේරා ගැනීමට ඉතා සරල ක්‍රමවේදයන් භාවිතා කරමින් ද ඇත. එනම්,

  • මාපියන් අනුගමනය කල නොඑසේ නම් උපතින් උරුම මාර්ගයේ තවදුරටත් රුදීසිටීම,
  • බහුතරය පිලිපැදීම,
  • ජනප්‍රිය චරිත අනුගමනය කිරීම,

එවැනි සරල ක්‍රමවේදයන් කිහිපයකි. ඉහතින් මා ජනප්‍රිය කාරණා 03ක් පමණක් ඉදිරිපත් කලත් මෙවැනි කාරණා ගණනාවක් පදනම් කරගෙන පොදු ජනයා මේ දහම සම්බන්ධයෙන් සරල ලෙස තීන්දු තීරණ ගන්නා තැනට  අද යොමුව සිටීම අවාසනාවන්ත තත්වයකි. මේ සියළු ක්‍රමවේද නිවරුදි නොවන බව හෝ වලංගු නොවන බව මා මෙහි විග්‍රහ කිරීමට අවශ්‍ය නොවේ යයි සිතමි. මන්ද ඉහත සදහන් කල්ලීන් වටා ඒකරාශි වන පිරිස් පවා මා ඉහතින් සදහන් ක්‍රමවේදය නිවරුදි ක්‍රමවේදය නොවන බව පැහැදිලිව අවබෝධ කොට සිටින බැවිණි. ඒ අනුව මෙවැනි කල්ලීන් වටා ඒකරාශිව මුස්ලීම් ජනතාව ඉහත කරුණු නැවත වරක් බුද්ධිමත්ව විමසා බැලීම අත්‍යඅවශ්‍ය වේ.

  • කාලයත් සමඟ අරමුණු, ප්‍රතිපත්ති හා ස්ථාවර වෙනස්වීම,

කාලයත් ඊට සාපේකෂව ජනතාවගේ සිතුම් පැතුම් වෙනස්වීමත් සමඟ තම ප්‍රතිපත්ති හා ස්ථාවරයන් වෙනස් කරමින් ඉදිරියට ගමන් කිරීම ලොව ඕනෑම සංවිධානයක පොදුවේ දකින්නට තිබෙන ලක්ෂණයකි. මන්ද මනුෂ්‍ය බුද්ධිය මූලික කරගෙන නිර්මාණය කරන නීති, ප්‍රතිපත්ති කිසිකලෙක සර්වකාලීන නොවන බැවිණි. මෙය අප රටේ විෂය පිලිබදව හසල දැනුමක් ඇති පිරිස් විසින් නිර්මාණය කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 18 වාරයක් සංශෝධන කිරීම වඩාත් හොදින් කියාපාන සත්‍යයකි. මේ අනුව සෑම මුස්ලීම්වරයෙකුම පැහැදිලිව හා දැඩිව විශ්වාස කලයුතු කාරණයක් ඇත. එනම්, දිව්‍යමය අණපනත් තුල හා දේව වක්තෘවරයෙකුගේ මඟපෙන්වීම තුල මිස ලොව සර්වකාලීන නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කලහැකි වෙන කිසිවකු මේ විශ්වය තුල නොමැත යන්නයි. එසේ තිබියදී කිසිවකු විසින් තම බුද්ධියෙන් සර්වකාලීන නීතියක් ප්‍රතිපත්තියාක් සමාජයට හදුන්වා දෙන්නේ නම් ඔහු දේව ගුණාංග හෙබි මනුෂ්‍යයෙකු බවට පත්වේ. මෙසේ විශ්වාස කිරීම පවා ඉස්ලාම් දහමට අනුව ‘ශිර්ක්‘ නම් මහා පාපයක් යන්න මුස්ලීම් සමාජය දැඩිව සිහියේ තබාගත යුතුවේ.

සෑම මුස්ලීම්වරයෙකුම පැහැදිලිව හා දැඩිව විශ්වාස කලයුතු කාරණයක් ඇත. එනම්, දිව්‍යමය අණපනත් තුල හා දේව වක්තෘවරයෙකුගේ මඟපෙන්වීම තුල මිස ලොව සර්වකාලීන නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කලහැකි වෙන කිසිවකු මේ විශ්වය තුල නොමැත යන්නයි.

ඉහත සරල පැහැදිලි කිරීම මා මෙහි ඉදිරිපත් කලේ මේ ලිපියට මූලික වී තිබෙන ‘මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදීන්‘ සැලකූවිට ඔවුන්ගේ අද ප්‍රතිපත්තිය නොව ඊයේ ඔවුන් තුල පැවතුණේ, ඊයේ ප්‍රතිපත්තිය නොව ගිය සතියේ ඔවුන් තුල පැවතුණේ, ගිය සතියේ ප්‍රතිපත්තිය නොව ගිය මාසයේ ඔවුන් තුල පැවතුණේ, ගිය මාසයේ ප්‍රතිපත්තිය නොව ගිය අවුරුද්දේ ඔවුන් තුල පැවතුනේ, ගිය අවුරුද්දේ ප්‍රතිපත්තිය නොව මීට වසර 05කට පෙර ඔවුන්ගේ ප්‍රතිපත්තිය ලෙස පැවතුණේ… මේ ආකාරයට කලින් කලට ප්‍රතිපත්ති වෙනස් කරමින් ඉදිරියට ගලායාම මොවුන්ගේ එක් මූලික ලක්ෂණයක්. මෙහි වරදක් ඇතැයි මා මෙහි නොපවසමි. නමුත් ස්ථීර නොවන ප්‍රතිපත්තියක හිඳ අනිකුත් සමාජයන්, සංවිධාන හා කල්ලි පිලිබදව ආගමික තීන්දුදීම කිසිසේත් සාධාර්ණ ක්‍රමවේදයක් විය නොහැක. එය ඉහත කල්ලිවාදීන් අවබෝධ කරගන්නට මැලි වෙති. මෙතැනදී සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් ද ඇත. එනම්, කිසියම් පුද්ගලයෙකු ආගමික කාරණයක් අධ්‍යනය කොට සම්ප්‍රදායක පිලිගැනීමට වඩා වෙනස් මතවාදයකට එළඹීම වරදක් නොවේ. එම මතවාදය සමාජයට දේශනා කිරීමත් වරදක් නොවේ. නමුත් තමන් එළඹුනු නිගමනයේ සිට තවත් කෙනෙකු සම්බන්ධයෙන් ‘මුෂ්රික්, මුනාෆික්, කාෆිර්… යනාදී ලෙස අගමික තීන්දු ලබාදීම සාධාර්ණ නොවේ. මන්ද මනුෂ්‍යයෙකු ගනු ලබන තීන්දු තීරණ හා නිගමනයන් තුල  100% ක නිවරුදිතාවයක් සැමවිට නොපවතින බැවිණි. ආගමික හෝ ආගමික නොවන ඕනෑම තීන්දුවක් ගැනීමේ දී ඒ විෂය පිලිබදව පවතින දැනුම, සමාජ භාවිතය හා සම්ප්‍රදාය, බුද්ධි මට්ටම, තමන් පුද්ගලිකව දරණ මතවාදය, තීන්දු ගැනීමේ හැකියාව… යනාදී කාරණයන් මත තමන් ගනුලබන තීන්දුවට බලපෑමන් ඇති වේ. එපමණක් නොව තමන් වර්ථමාන මතවාදයට එළඹිමට පදනම් කරගත් කරුණූ කාරණාවල වැරදීම් ද තිබෙන්නට පුළුවන. මෙයට සරල හා සමීපතම නිදසුනක් මුස්ලීම්වරුන්ගේ බුද්ධිමත් විමසුමට මා මෙහි පවසන්නම්,

‘ඇස්වහ‘ යන්න මුස්ලීම්වරුන් සෑම කෙනෙකුම වාගේ විශ්වාස කරන කාරණයකි. මෙම ඇස්වහින් මිදීමට, ආරක්ෂා වීමට හා එයින් ඇති වන බලපෑමෙන් මිදීමට මුස්ලීම් සමාජය විවිධ වූ ක්‍රමවේදයන් අනුගමනය කිරීමත් සමාජය තුල සුලභව දක්නට ඇත. මේ පිලිබදව ශුද්ධ වූ මඟපෙන්වීමන් තුල ද බොහෝ ඉගෙන්වීමන් දක්නට ඇත. ‘යහමඟ‘ අඩවිය තුල මීට ඉහත පලකල දෛනික ප්‍රාර්ථනා-ඇස් වහ උවදුරින් ආරක්ෂාවට හා දෛනික ප්‍රාර්ථනා – ඇස් වහ උවදුරින් ළමුන්ගේ ආරක්ෂාව යන ලිපි දෙක ද මීට හොද නිදසුන් දෙකකි. එවන් වූ මේ ‘ඇස්වහ‘ සම්බන්ධයෙන් නූතන මතවාදයක් අද මුස්ලීම් සමාජය තුල ප්‍රකාශ වෙමින් ඇත. එනම්, ‘ඇස්වහ‘ යනුවෙන් කිසිවක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පැවසෙන කිසිදු හදීසයක් විශ්වාස නොකලයුතු බවත්, එසේ කිසිවකු විශ්වාස කරන්නේ නම් ඔහු ((ඉස්ලාමයේ මහා පාපයක් වන) ශිර්ක් කරන) ‘මුෂ්රික්‘ කෙනෙකු බවට පත්වන‘ බවත් මතවාදයක් සමාජගත වෙමින් ඇත.

මෙම ප්‍රකාශය හරිද? වැරදිද? යන කාරණයට මා මෙතැනදී යොමු නොවෙමි. මෙතැනදී ඔබේ අවදානයට ගෙන එන්නට මා උත්සාහ කරන්නේ මේ නූතනවාදීන් කොතරම් සරල ලෙස මුස්ලීම් ජනයා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නවාද යන්න පැහැදිලි කිරීමටයි. ඉස්ලාමීය මූලාශ්‍රවල පැහැදිලි ලෙස එසේම පිලිගත හැකි (‘සහීහ් ‘ වූ) හදීස් ලෙස ‘ඇස්වහ‘ සම්බන්ධයෙන් ‘හදීස්‘ හෙවත් නබිතුමාණන්ගේ ආදර්ශ සදහන්ව තිබියදී එය මුස්ලීම්වරයෙකු පිලිගැනීම ඔහු ‘මුෂ්රික්‘ තත්වයට පත්වීමට හේතුවක් ලෙස කිසිදු පදනමකින් තොරව නූතනවාදීන් ප්‍රකාශ කිරීම කොතරම් සාධාර්ණ ද යන්න බුද්ධිමත් ඔබ බුද්ධිමත්ව විමසා බැලිය යුතුව ඇත.

මේ නූතනවාදීන් තමන්ගේ මතවාදය සාධාර්ණය කිරීම සදහා සමාජය හමුවේ තබන එකම මතවාදය තම බුද්ධියට එය ගෝචර නොවේ යන්න හා දේව ගුණාංගවලට එය පරස්පර යන්නයි. මෙහි හාස්‍යජනකම කාරණය වන්නේ මීට කලකට ඉහත (2003 දී) එක්තර සහෝදරයෙකු ඉස්ලාමීය මාසික සඟරාවක ප්‍රශ්න විචාරක තීරුවේ 9-51 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පෙන්වමින් මෙම ඇස්වහ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී ඉහත නූතනවාදී කල්ලියේ සමහරක් විද්වතුන් එදා පිලිතුරු දෙන ලද්දේ ‘මේ සම්බන්ධයෙන් පැහැදිලි හදීසයන් ඇති නිසා ඒවා එලෙසින්ම පිලිගතයුතු මිස අපේ බුද්ධිය යොදවා මේවාට තීන්දු තීරණ නොගතයුතුයි‘ යනුවෙනි. නමුත් එදා එලෙස තීන්දු දුන් පිරිස අද ඉහත කුර්ආන් වාක්‍යයම පෙන්වමින් පවසා සිටින්නේ ‘ඇස්වහ‘ විශ්වාස කිරීම ‘ශිර්ක්‘ නම් මහා පාපයට අයත් වන බවත් එය විශ්වාස කිරීම නොඑසේ නම් නූතන මතවාදය ප්‍රතික්ෂේප කිරීම මුස්ලීම්වරයෙකු ‘මුෂ්රික්‘වරයෙකු බවට පත්කිරීමට සමත් වන බවයි.

‘තවත් වසර 100 ක් ගෙවීගියත් මේ කිසිවක් වෙනස් නොවේ‘ යනුවෙන් සහතිකයක් දියහැකිද?. මේ ප්‍රශ්නයන්ට නූතනවාදීන් අවංකව පිලිතුරු දෙන්නේ නම්, මෙහිදී ඔවුනට දියහැකි එකම පිලිතුර ‘නොහැක‘ යන්න මිස අන්කිසිවක් නොවේ. එසේනම් එම ස්ථාවරයේ හිඳ පොදු ජනයාට තීන්දු තීරණ ලබාදීම කොතරම් දුරකට සාධාර්ණද?

කෙසේ වෙතත් මෙවැනි නූතන මතවාදයන් දරන පිරිසගෙන් සාධාර්ණ වූ ප්‍රශ්නයක් විමසන්නට කැමැත්තෙමි. එනම්, වාදයකට ඔබලාගේ මතවාදයන් හා ප්‍රතිපත්තීන් අද සිට මා පිලිගැනීමට සූදානම් වෙනවා යයි සිතන්න. ඔබලා මේ අද දරණ මතවාදයෙන් කීයෙන් කීයක් හෙට දිනයේ ස්ථීරවම පවතීද? කීයෙන් කීයක් මීළඟ වර්ෂය එළඹෙන විට නොවෙනස්ව පවතීද? තවත් සරලව විමසනවා නම්, ‘තවත් වසර 100 ක් ගෙවීගියත් මේ කිසිවක් වෙනස් නොවේ‘ යනුවෙන් සහතිකයක් දියහැකිද?. මේ ප්‍රශ්නයන්ට නූතනවාදීන් අවංකව පිලිතුරු දෙන්නේ නම්, මෙහිදී ඔවුනට දියහැකි එකම පිලිතුර ‘නොහැක‘ යන්න මිස අන්කිසිවක් නොවේ. එසේනම් එම ස්ථාවරයේ හිඳ පොදු ජනයාට තීන්දු තීරණ ලබාදීම කොතරම් දුරකට සාධාර්ණද? යන්න තීන්දු තීර්ණ ගැනීම බුද්ධිමත් ඔබට ම බාරය. කෙසේ වෙතත් අවසාන වශයෙන් නැවතත් අවදාරණය කලයුතුව ඇත්තේ ඉස්ලාමීය මූලාශ්‍රයන් අධ්‍යනය කොට ඒ අනුව තීන්දු තීරණවලට එළඹීම, තමන් අවබෝධකරගත් කාරණය සමාජයට ප්‍රකාශ කිරීම හෝ ඒ අනුව ක්‍රියා කිරීම වරදක් නොවේ. නමුත් තමන් දරණ මතවාදයේ හිඳ සමාජයකට හෝ පුද්ගලයෙකුට තීන්දු ලබාදීම ඉස්ලාම් අනුමත නොකරන පහත් ක්‍රමවේදයක් බව පැහැදිලිව අවබෝධකර ගතයුතු වේ.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *