මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය – 3 වන කොටස

0

redllight-3වර්ථමානයේ අප රට තුල සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන, මුස්ලීම් සමාජය භේද කොට ඒ තුලින් පටු වාසි ලබාගැනීමට කටයුතු කරන,  ඊනියා ඉස්ලාමීය ආගමික සංවිධාන ගණනාවක් පිලිබදව මීට පෙර ‘මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය – 1 කොටස’ හා ‘මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය – 2 කොටස‘ හා යන ලිපිය තුලින් ඉඟියක් ඉදිරිපත් කල අතර ඔවුන්ගේ මුලික ලක්ෂණ කිහිපයක් එනම්,

යනාදීය කරුණු පිලිබදව හා ඒ අතුරින් කිහිපයක් පිලිබදව සවිස්තරව ද කරුණු සාකච්චා කලෙමු. එම ලිපියේ තෙවන කොටස ලෙස ඉහත කරුණු අතුරින් තවත් කරුණු කිහිපයක් මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

  • ජනප්‍රිය විද්වතුන් සිටීම වලංගුභාවයට සහතිකයක් නොවේ.

අද බොහෝ නූතනවාදී සංවිධාන තම මතවාදය සාධාර්ණීකරණය කිරීමටත්, එය කෙරෙහි ජනතා ආකර්ශණය දිනාගැනීමටත් ඉදිරිපත් කරන ප්‍රබල තුරුම්පුව ‘අපිත් එක්ක කොතරම් ප්‍රබල විද්වතුන් සිටිනවාද? ඒ පිරිස ආවාට ගියාට කරුණු පවසයිද?‘ යන කාරණයයි. මෙය අද මුස්ලීම් සමාජයේ අති බහුතරයක් මතු කරණ තර්කයක්ද වන නිසා ඒ පිලිබදව ද තරමක් දුරකට විමසා බැලීම අත්‍යඅවශ්‍යය. ඇත්තෙන්ම මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසු කලින් කලට ලොව බිහිවූ ආගමික නිකායන්, සංවිධාන හා කල්ලීන් සියල්ලෙහිම බොහෝ විට පෙරමුණ ගත්තේ ඉස්ලාම් ආගමික විද්වතුන් යන්නෙහි සැක නැත. එපමණක් නොව ඔවුන්ගේ මතවාද හමුවේ මේ සමාජය භේද වී ගියා යන්නෙහිත් සැක නැත. එදා ශාෆි, හනෆි, හම්බලි, මාලික් ලෙසත්, තබ්ලීක්, ජමාතේ ඉස්ලාම්, අහමදියා, ශියා… යනාදී ලෙසත් මුස්ලීම් සමාජයේ බෙදීමන් තුල ද පෙරමුණ සිටියේ ආගමික විද්වතුන්ය.

මෙලෙස සමාජ බෙදීමන්ට මූලික වූ ඉහත විද්වතුන්ගෙන් සමහරක් පිරිස් කාලයත් සමඟ තම මතවාද වෙනස් කරගනිමින් හා විප්ලවීය මතවාද දහම නමින් සමාජය තුල ප්‍රකාශ කරමින් මුස්ලීම් සමාජයට කල බලපෑම් ද අති ප්‍රබලය. ඒ පිලිබදව ද මෙම මාතෘකාව තුල කථා කිරීම දැඩි අවශ්‍යතාවයක් වී ඇත. මක්නිසාදයත් අද සමහරක් නූතනවාදීන්ගේ ක්‍රියාකලාපයන්, ප්‍රතිපත්ති හා මතවාද දෙස බලන විට මේ නූතනවාදීන් ද භයානක ඉසව්ව කරා ගමන් කරනවාදෝ? යන සැකය මතුවන බැවිණි. මේ පිලිබදව වඩාත් හොදින් වටහාගැනීම පිණිස මෑත ඉතිහාසයෙන් බිඳක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

  • පසුකාලීනව තමාව නබිවරයෙක් (හෙවත් දේව වක්තෘවයෙක්) ලෙස හදුන්වාගත් ‘එල්ජා මුහම්මද්‘ නැමැත්තා මුල්කාලයේ දහම් මෙහෙවර තුල ජනප්‍රිය එසේම විශිෂ්ඨ කථිකයෙකු වූ ‘මැල්කම්එක්ස්‘ නැමැත්තා ඉස්ලාම් දහම වැලදගැනීම සදහා වූ දහම මෙහෙවර සිදු කල ආගමික විද්වතෙකි.
  • පසුකාලීනව තමාව නබිවරයෙක් ලෙස හදුන්වාගත් ‘ගුලාම් මුහම්මද් කාදියානි‘ නැමැත්තා ද ඉස්ලාමයට එරෙහිව ඉස්ලාම් විරොධීන් මතු කරන මතවාදයන්ට නිසි පිලිතුරු දීමේ ක්‍රියාවලියේ පෙරමුණ ගෙන විශාල සංඛ්‍යාවක් ඉස්ලාම් දහම වැලදගැනීම‍ට කටයුතු කල ආගමික විද්වතෙකි,
  • අප රටින්ම නිදසුනක් ගෙන එන්නේ නම්, අද පුත්තලම් දිස්ත්‍රික්කයේ ඒතාල ප්‍රදේශයේ ක්‍රියාත්මක ‘ජමාතුල් මුස්ලිමීන්‘ නිකායවාදීන්ට නායකත්වය දෙන ‘උමර් අලි‘ගැන සදහන් කලහැක. ආරම්භයේ තව්හීද් ප්‍රචාරයේ නිරත වූ ඔහු පසුකාලීනව ජමාතුල් මුස්ලිමීන් නමින් සංවිධානයක් ස්ථාපනය කොට තම සංවිධානය හා එක් නොවන තම නායකත්වය පිලිනොගෙන ප්‍රතික්ෂේප කරන පිරිස් ‘කාෆිර්‘ (ඉස්ලාම් ප්‍රතික්ෂේප කල මුස්ලීම් නොවන්නන් ලෙස) ප්‍රකාශ කලේය,

මේ ආකාරයට ආරම්භයේ යහමඟ කටයුතු කල විද්වත් පිරිස් පසුකාලීනව මේ සමාජය ම නොමඟ යැවීමට හේතුවක් වුවා යන්න තිත්ත වූ ඇත්තයි. ඉහතින් මා එවැනි කිහිපදෙනෙකු පිලිබදව සදහන් කලත් ඉතිහාසය පුරාවට එවැනි චරිත දක්නට ඇත. කලින් කලට මෙවැනි නොමඟ ගිය කල්ලීන්ට හා කණ්ඩායම්වලට නිසි පිලිතුරු ලබාදෙමින් එවන් විනාශකාරී මතවාද සමතයකට පත්කලත්, එම මතවාදයන් තුල අන්ධ භක්තියෙන් කටයුතු කරන පිරිස් අදටත් ලොව නැතුවා නොවේ. මේ නිසා මෙවැනි නූතන මතවාද සමාජගතවීම පිලිබදව මුස්ලීම්වරුන් අවතක්සේරුවෙන් කටයුතු කලයුතු නොවේ. කෙසේ වෙතත් ආගමික විද්වතුන් අන්ධභක්තිකව අනුගමනය කරන ඔවුන් කෙරෙහි ඉස්ලාමීය රාමුවෙන් බැහැරව විශ්වාසය තබන පිරිසගේ අවදානයට මේ ස්ථානයේදී එවැනි පිරිසට කියාමත් (විනිශ්චය) දින අත්වන ඉරණම පවසන ශුද්ධ වූ කුර්ආන් පාඨ කිහිපයක් බුද්ධිමත් විමසුමට තබන්නට කැමැත්තෙමි.

ඔවුන්ගේ මුහුණු පෙරල පෙරලා ගින්නෙන් දවා හරින දින දී ‘අපගේ විනාශයයි! අපි අල්ලාහ්ට අවනත වී සිටියා නම් නොවෙද? (ඔහුගේ) දූතයාටද, අවනත වී සිටියා නම් නොවෙද!’ යයි දොඩවනු ඇත.

‘අපගේ දෙවියනේ! නියත වශයෙන්ම අපි අපගේ ප්‍රධානීන්ටද, අපගේ වැඩිහිටියන්ටද අවනත වුනෙමු. ඔවුන් අපිව වැරදි මාර්ගයෙහි ඇතුළු කර දැමූහ’.

‘(එබැවින්) අපගේ දෙවියනේ! ඔබ ඔවුන්ට දඬුවම දෙගුණයක් වශයෙන් දී ඔවුන් කෙරෙහි ඉමහත් වූ ශාපයද ලබා දෙනු’ යයි පවසන්නාහ.

ශුද්ධ වූ කුර්ආනය 33-66 සිට 68 දක්වා

අවසාන වශයෙන් ඉහත කරුණූ සියල්ල සාරාංශ කොට පවසනවා නම්, කිසියම් සංවිධානයකට නායකත්වයක් තිබීම හෝ ඒ සදහා ජනප්‍රිය ආගමික විද්වතුන් නායකත්වය දී කටයුතු කිරීම එම සංවිධානයේ හෝ එම සංවිධානයේ මතවාද හා ප්‍රතිපත්ති නිවරුදි යන්න තීන්දු කිරීමට හේතුවක් නොවේ. ඔවුන් ඉදිරිපත් කරන මතවාද හා ප්‍රතිපත්ති ඉස්ලාමීය ඉගෙන්වීමන්ට කොතරම් දුරකට ගැලපෙනවාද? යන්නයි මෙහි තීරණාත්මක සාධකය වන්නේ. එයයි ඉහත ශුද්ධ වූ කුර්ආන් පාඨයන් තුලින් ද අවදාරණය කරන්නේ. එසේනම් මේවා පිලිබදව සැලකිල්ලක් දක්වා තීන්දු තීරණ ගැනීමයි සැබෑ මුස්ලීම්වරයෙකුගේ දහම තුල නිවරුදි ක්‍රමවේදය විය යුත්තේ.

  • සංවිධානයක් හෝ කල්ලියක් වටා ඒකරාශිවීම අත්‍යඅවශ්‍ය නොවේ.

මුස්ලීම් සමාජය තුල අද ක්‍රියාකාරීන් වී සිටින නුතනවාදීන් ඉදිරිපත් කරන ජනප්‍රිය මතවාද අතර ‘මුස්ලීම්වරයෙකු සංවිධානයක් (ජමාතයක්) ලෙස කටයුතු කිරීම අනිවාර්‍යයි. එසේ නොවී ඔහුට මුස්ලීම්වරයෙකු ලෙස කටයුතු කල නොහැක.‘ යන්නත් ප්‍රධාන එකකි. මෙම මතවාදයට සරල පිලිතුරක් දෙන්නේ නම් ඒ ‘ඔව්‘ යන්නයි. මන්ද ඉස්ලාම් පවසන ‘උම්මාව‘ ඒකීය ජනසමූහයක් මිස කෑලි කෑලිවලට බෙදීගොස් තර්ක විතර්ක තුලම කල්ගෙවන කල්ලි හෝ කණ්ඩායම් නොවේ. මුහම්මද් (සල්) තුමාණන්ගේ වසර 23 ක දහම් මෙහෙවර තුල ප්‍රධාන කොටසක් වූයේද මේ ජන සමූහය ඒකීය ජනසමූහයක් බවට පරිවර්ථනය කිරීමයි. මුහම්මද් (සල්) තුමාණන් තම දේශනයන් තුල ‘ජමාතුල් මුස්ලිමීන් (මුස්ලීම්වරුන්ගේ සංවිධානය)‘ යන යෙදුම භාවිතා කලේද මේ නිසාමය. හැබැයි මෙලෙස සාමූහිකත්වයේ වටිනාකම අවදාරණය කරන ඉස්ලාම් දහම එවැනි පරිසරයක් නොමැති අවස්ථාවක කුමක් හෝ පිරිසක්, කණ්ඩායමක්, කල්ලියක් වටා ඒකරාශි වීමට අනකලේ ද නැත. එය පහත හදීසය තුලින් හොදින් අවබෝධ කරගත හැක.

එයට නබිතුමාණන් ‘සියළු බෙදීමන්ගෙන් ඔබ දුරස් වන්න. (ඔවුන් වෙත ඇදී නොගොස්) ගසක මුලක් හෝ ඔබේ දත්වලින් හෝ අල්ලාගෙන ඔබ ඔබව ආරක්ෂා කරගන්න. ඒ තත්වය තුල ඔබ මියදුනත් කිසිදු බෙදීමකට ඔබ එක් නොවන්න.’

හුදෙයිෆා බින් යමාන් (රලි) තුමා පවසයි, එක්තරා අවස්ථාවක ‘ජනතාව අල්ලාහ්ගේ දූතයාණන් හමුවේ යහපත් දෑ පිලිබදව විමසමින් සිටියේය’. මම අයහපත දඋ පිලිබදව විමසුවෙමි. මන්ද එයට මා හසුවේදෝ? යන බිය මා තුල පැවතී නිසාමය. මම ‘අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් අපි අඥාන කාලයේ අයහපතෙහි ගිලී සිටියෙමු. එවන් සමයක අල්ලාහ් (දෙවි) ‘ඉස්ලාම්’ නම් යහපත අපහමුවට ගෙන ආවා. මෙම යහපතට පසුව අයහපතක් පැවතීමට හැකි ද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔව්’ යනුවෙන් පිලිතුරු ලබාදෙන ලදී. එයට මම ‘එම අයහපත් තත්වයට පසු කුමක් හෝ යහපතක් තිබෙන්නේද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔව්, නමුත් එහි කැළඹිලි ස්වභාවයක් පවතිනු ඇත’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘එම කැළඹිලි ස්වභාවය කුමක්ද? යනුවෙන් විමසූ විට නබිතුමාණන් ‘එක් පාර්ශවයක් මාගේ මාර්ගයෙන් වෙනස් වූ මාර්ගයකට ජනතාව කැදවමින් ඔවුන්ට මඟපෙන්වයි. ඔවුන් තුල ඔබ යහපතත් අයහපතත් දකිනු ඇත’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘එය යහපතට පසුව අයහපතක් ඇත්තේද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන්  ‘ඔව්, නිරයේ දොරකඩ හිඳ ආරාධනා කරන (කැදවුම්කරුවන්) පිරිසක් බිහිවනු ඇත. ඔවුන්ගේ ආරාධනය පිලිගත් පිරිස් නිරයට විසිවනු ඇත.’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘දූතයාණනි!, ඔවුන්ගේ සලකුණු අපට කියන්න.’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔවුන් අපගේ පරම්පාරාව නියෝජනය කරන අපගේ භාෂාව කථා කරන පිරිසක් වේ’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘මේ පිරිස මා හට හමුවුයේ නම් කුමක් කලයුතුද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ (කොතැනක හෝ පිරිසිදු) ‘මුස්ලීම් ජමාතයක්’ (මුස්ලීම් සංවිධානයක්) හා එහි නායකත්වයක් පැවතුණේ නම් ඔවුන් හා ඔබ අත්වැල් බැදගන්න’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘(මුස්ලීම්වරුන් වන) ඔවුනට එවැනි නායකත්වයක් හෝ සංවිධානයක් නොමැතිව (සීසීකඩව) පැවතුනේ නම් කුමක් කලයුතු ද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘සියළු බෙදීමන්ගෙන් ඔබ දුරස් වන්න. (ඔවුන් වෙත ඇදී නොගොස්) ගසක මුලක් හෝ ඔබේ දත්වලින් හෝ අල්ලාගෙන ඔබ ඔබව ආරක්ෂා කරගන්න. ඒ තත්වය තුල ඔබ මියදුනත් කිසිදු බෙදීමකට ඔබ එක් නොවන්න.’ යනුවෙන් පිලිතුරු දෙන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි

ඉහත හදීසයට අනුව ‘ඔවුනට ජමාතයක් හෝ සංවිධානයක් නොමැතිනම්‘, යන යෙදුම තුලින් එවැනි තත්වයන් මුස්ලීම් සමාජයේ ඇතිවිය හැකි බවත් එවැනි අවස්ථාවල මුස්ලීම්වරුන් ක්‍රියාකලයුත්තේ කෙසේද? යන්නත් ඉස්ලාම් පැහැදිලිව පවසා ඇත. එසේ තිබියදී කිසියම් සංවිධානයක් හෝ කල්ලියක් තමා වටා ඒකරාශි කිරීමට පොදු ජනයාට ආරාධනා කිරීමත් එය ප්‍රතික්ෂේප කරන පිරිස් කාෆිර්, මුෂ්රික්… යනාදී ලෙස තීන්දු දීමත් ඉස්ලාමීය ක්‍රමවේදයක් නොවේ. තමන්ට සංවිධානයක් තිබූ පමණින්, එහි ජනප්‍රිය විද්වත් සිටී පමණින්, තමන්ට කියා ප්‍රත්පත්ති මාලාවක් හෝ මතවාද රාශියක් තිබූ පමණින් මේ සියල්ල ජනතාව පිලිගෙන තමා වටා ඒකරාශි වියයුතු යයි අපේකෂා කිරීම අනවබෝධයකි. මීට ඉහත ලිපියේ සදහන් කලාසේ බහුතරයක් පිරිස් එක් එක් සංවිධානයන් වටා ඒකරාශි වන්නේ එම සංවිධානවල මතවාද හා ප්‍රතිපත්ති පිලිබදව 100% ක අවබෝධයෙන් යුතුව නොවේ. යම් යම් කාරණා (ඉහතින් සදහන් කලාසේ අන් පිරිස කෙරෙහි කලකිරීම, නායකත්වය කෙරෙහි ඇති ආකර්ශනය… වැනි කාරණා) පදනම් කරගෙනය. මේ පිරිසට මෙම සංවිධානයේ ප්‍රතිපත්ති හා මතවාද පිලිබදව පැහැදිලි අවබෝධයක් නැත. මෙවැනි පිරිස් කලයුතු වන්නේ අන්ධභක්තිකව මෙවැනි සංවිධානවලට එක්වීමට වඩා ඔවුන්ගේ ප්‍රතිපත්ති කොතරම් ඉස්ලාම් දහමට අනුකූලද යන්න අධ්‍යනය කිරීමයි. මෙය මාගේ පුද්ගල මතවාදය නොවන අතර ඉස්ලාමීය ඉගෙන්වීම ද එයයි. මේ සදහා ඉස්ලාමීය මූලාශ්‍රයෙන් බිඳක් ඔබේ විමසුමට තබන්නේ නම්,

නුඹට ඒ ගැන දැනුමක් නැති දෑ නොපිළිපදිනු. නියතවශයෙන් ශ්‍රවණයද, දර්ශනයද, සිතද, ඒ සැම දෙයක් ගැනම ප්‍රශ්න කරනු ලබන්නේය.

ශුද්ධ වූ කුර්ආනය 17-36

…වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී. එනම්, ‘(මේ දහම තුල) ‘හලාල්’ යන්නත් පැහැදිලිය, ‘හරාම්’ යන්නත් පැහැදිලිය, මේ දෙක අතර (ජනයාට පූර්ණ දැනුමක් නැති) සැක සහිත දෑ ද ඇත. සැක සහිත දෑ වලින් කවුරුන් වැලකී සිටින්නේද. ඔහු දහමත් තම ගෞරවයත් ආරක්ෂා කරගත් තැනැත්තෙකු වන්නේය…’ යනුවෙන් පවසන ලදී. (මෙය දීර්ඝ හදීසයක කොටසක් පමණි)

මූලාශ්‍ර ග්‍රන්තය – බුහාරී

ඉහත ශුද්ධ වූ මඟපෙන්වීමට අනුව මුස්ලීම්වරයෙකු අන්ධභක්තිකව කටයුතු කිරීමට අවශ්‍ය නැත. තමන් කරන කාර්‍යය හෝ ගනු ලබන තීරණ පිලිබදව පැහැදිලි අවබෝධයකින් කටයුතු කිරීම ඔහු කෙරෙහි ඉස්ලාම් අනිවාර්‍ය කරන වගකීමකි. මෙය ද අවබෝධ කරගෙන කටයුතු කිරීමට මුස්ලීම් සමාජය මෙවැනි නූතන කල්ලීවාදීන්ගේන් ආරක්ෂා වීමට හේතුවක් වනු ඇත.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *