මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය -1 වන කොටස

0

redllightඅද ‘යහමඟ‘ අඩවිය තුලින් සාකච්චා කිරීමට යන්නේ කාලීන වශයෙන් මුස්ලීම් සමාජයට ඉතා වැදගත් වූ මාතෘකාවක් පිලිබදවයි. ඒ මීට වසර 1400 කට පෙර මිහිමත ස්ථාපනය වූ ‘මුස්ලීම් උම්මාවට‘ අද අත්ව ඇති ඉරණම කුමක්ද? යන්න පිලිබදවයි.  එදා අවනීතිය හා අමනුෂ්‍යත්වය පමණක්ම රජකල නොදියුණු මෙන්ම විකෘති මානසිකත්වයන් යුතුව සීසීකඩව පැවතී සමාජයක් හමුවේ මුහම්මද් (සල්) තුමාණන්ට දහම් ප්‍රචාරය කරන්නට සිදුවිය. එහිදී දිව්‍යමය මඟපෙන්වීම මත පදනම් ව මුහම්මද් (සල්) තුමාණන් කල දහම් ප්‍රචාරය නිසා එම විකෘති සමාජය ‘උම්මතන් වාහිදා’ නම් ඒකීය සමාජයක් ලෙස සහෝදරත්වයෙන් ගොඩනැඟුණු ආකාරය අදටත් ලෝකයා විශ්ම කරවන්නකි. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට පහත විද්වත් ප්‍රකාශය ඔබට පිටුවහල් වනු ඇත. එනම්,

තොල්ස්තොයි මෙසේ පවසයි – “ලේ පිපාසිත දර දඩු ජන කොට්ටාශයක් ඔවුන්ගේ නපුරු චාරිත්‍රවලින් මුදවා ලෝකයේ දියුණුම සමාජයක් බවට පත්කල ජයග්‍රහණයට වඩා වෙනත් හේතුවක් මුහම්මද් තුමාගේ කීර්තියට අවශ්‍ය නොවේ. එතුමාගේ ව්‍යවස්ථා හා අනපනත් එහි බුද්ධිගෝචර ස්වභාවය සමගින් ලොවේ අධිකාරිය බවට පත්වනු ඇත.”

ලේ පිපාසිත දර දඩු ජන කොට්ටාශයක් ඔවුන්ගේ නපුරු චාරිත්‍රවලින් මුදවා ලෝකයේ දියුණුම සමාජයක් බවට පත්කල ජයග්‍රහණයට වඩා වෙනත් හේතුවක් මුහම්මද් තුමාගේ කීර්තියට අවශ්‍ය නොවේ

අඳුරු යුගයක ජීවත් වූ ඒ ජන සමාජය ලොව අසමසම ජාතියක් ලෙස එදා ගොඩනැඟුණේ ඉස්ලාම් දහම ඔවුන්ගේ හඳවත් තුල සහෝදරත්වයේ හැඟීම දහමේ මූලික අංගයක් ලෙස පරිපූර්ණ කල නිසාය. ඒ සදහා සරල නිදසුනක් ලෙස ‘හිජ්රත්’ (ඉස්ලාම් විරෝධින්ගේ කුමණ්ත්‍රන හමුවේ තම දිවි බේරාගැනීමට උපන් බිම වන ‘මක්කා’ව අතහැර ‘මදීනා’වට මුස්ලීම්වරුන් සරණාගතයින් ලෙස) ගිය අවස්ථාවත් එහිදී මදීනාවාසීන්ගේ සහෝදරත්වයේ දෑත් දිගු වූ ආකාරයත් සදහන් කලහැක. එදා එකීය සමාජයක් ලෙස ඒකදේව සංකල්පය යටතේ එකම අරමුණක් ඔස්සේ පෙලගැසුණු සමාජය අද ඒ දිව්‍යමය දහම මූලික කරගෙන භේදබින්න වී විරසකයන් ගොඩනඟාගෙන එකින් එකාහට කාෆීර්, මුෂ්රික්, මුනාෆික්, මුර්තද්… යනාදී ලෙස චෝදනා නඟන තත්වයට‍ පත්ව සිටීම අවාසනාවන්ත තත්වයක් මෙන්ම ඛේදවාචකයකි. මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසුවිවිධ අවස්ථාවල මුස්ලීම් සමාජයේ විවිධ වූ මතවාද මතගැටුම් කලින් කලට පැවතුණත් වර්තමානයේ එහි සීඝ්‍ර වර්ධනයක් මෙන්ම දැඩි මතවාදී ස්වභාවයක් දක්නට ඇත. ජාත්‍යන්තරයේ පමණක් නොව අප රට තුල ද මෙම තත්වයේ සීඝ්‍ර වර්ධනයක් දක්නට තිබෙන නිසා ඒ පිලිබදව ඉස්ලාමීය දෘෂ්ඨියෙන් විමසා බැලීම කාලීන අවශ්‍යතාවයක් ද වී ඇත.

ඉහතින් මා සදහන් කල තත්වය කිසිසේත් සුළුකොට තැකිය හැකි තත්වයක් නොවේ. ඉස්ලාම් දහමට පරිභාහිරව හිඳ ඉස්ලාම් දහමටත්, මුස්ලීම් සමාජයටත් වින කරන පිරිස් මෙන් නොව මුස්ලීම්වරුන් ලෙස පෙනීසිට ඉස්ලාමයටත්, මුස්ලීම්වරුන්ටත් වින කිරීම ඉතා භයානක තත්වයකි. එහිද දහමේ සැබෑ ආරක්ෂකයන්, නියමුවත්, මඟපෙන්වන්නන් හෝ විද්වතුන් ලෙස සමාජයේ පෙනීසිට දහමටත්, මුස්ලීම් සමාජයටත් කරන හානීය ඉතා ප්‍රබලය. මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවය පසු මුස්ලීම් සමාජය තුල නිර්මාණය වූ ආගමික නිකායන් හා කල්ලිවාදයන් පිලිබදව සාමාන්‍ය ජනයාට පවා කිසියම් දැනුමක් අවබෝධයක් ඇත. මුස්ලීම් සමාජය තුල ක්‍රියාත්මක එවැනි නිකායන් හා කල්ලීන් සියගණනින් පෙලගැසීමට ද හැක.මේවා කිහිපයක් පිලිබදව ‘යහමඟ’ අඩවිය මීට ඉහත අවස්ථා ගණනාවකදී සාකච්චා කොට ද ඇත.

නිදසුන් දෙකක් පවසනවා නම්,

මේ ආකාරයට ශුද්ධ වූ ඉස්ලාම් දහම විකෘති කරමින් කලින් කලට සමාජගත වූ ඊනියා ආගමික නිකායන් හා කල්ලීන් පිලිබදව මීට ඉහත ද විවිධ මාතෘකා ඔස්සේ මෙම අඩවිය තුල කරුණූ සාකච්චා කොට ඇත. නිදසුනක් ලෙස ‘ආගමේ නාමයෙන් බෙදීයන මිනිස්සු‘ යන මාතෘකාව යටතේ සාකච්චා කල ලිපි පෙල සදහන් කල හැක. නමුත් මෑත කාලයේ ඉතා භයානක ප්‍රතිපත්ති මා මතවාද රාශියක් පෙරදැරි කරගෙන මුස්ලීම් සමාජය හමුවේ කරලියට පැමිණ සිටින ‘ආගමික නූතනවාදීන්‘ ගණනාවක් පිලිබදව නැවත ‘යහමඟ‘ අඩවිය තුල කථා කිරීම දැඩි  අවශ්‍යතාවයක් වී ඇත. ඉහතින් සදහන් නිකායවාදීන් හෝ කල්ලිවාදීන් මෙන් නොව මේ ‘නූතන කල්ලිවාදීන්‘ තම මතවාද හා තර්ක සාධාර්ණීකරණය කිරීම සදහා යෝදාගන්නා ක්‍රම ඉතා උපක්‍රමශීලිය. තමන් අද ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය හමුවේ ශුද්ධ වූ දහම දේශනා කරන බවත්, අද ‘අප පමණයි පිරිසිදු දහමට උරුමකම් කියන්නේ‘ බවත් පවසමින් මුස්ලීම් සමාජය භේදබින්න කරමින් හා  ශුද්ධ වූ ඉගෙන්වීමන් වන ඉස්ලාමීය මූලාශ්‍රයන් (වන ශුද්ධ වූ කුර්ආනය හා හදීසයන්) හි වලංගුභාවය ප්‍රශ්නාර්ථයක් කරමින් ඊනියා ආගමික ව්‍යාපාරයක මොවුන් නියලී සිටිති. පිරිසිදු දහම ජනයාට දේශනා කරනවාට වඩා ඔලුගෙඩි රුස්කිරීමේ ව්‍යාපාරයේ නියලී සිටින, ඒ සදහා ම පහත් අන්දමේ න්‍යායපත්‍රයන් තුල කටයුතු කරන මේ ඊනියා ඉස්ලාම් සංවිධානයන් පිලිබදවත්, ඔවුන්ගේ මතවාදයේ වලංගු අවලංගුතාවය කොතරම්ද? යන්න පිලිබදවත් මුස්ලීම් සමාජයට අවබෝධයක් ලබාදීම පිණිසත්, එසේම මෙවැනි විකෘති සංවිධානයට හෝ එවැනි මතවාදයට අනුබල දෙන පිරිසගේ දැනගැනීම පිණිසත් මේ ඊනියා සංවිධානවල මතවාද, ප්‍රතිපත්ති, හා ක්‍රියාකලාපයන් කොතරම් සාධාර්ණද?, එය ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හා කොතරම් දුරකට ගැලපෙනවාද?… යනාදී කරුණු මූලික කරගෙන මේ ඊනියා සංවිධාන හා කල්ලිවල මූලික ලක්ෂණ පිලිබදව වඩාත් සරලව හා අනුමාතෘකා ගණනාවක් ඔස්සේ මෙතැන් සිට සාකච්චා කිරීමට අදහස් කරමි. එනම්,

ඉහතින් මා පෙලගසා ඇත්තේ අද අප රට තුල ක්‍රියාත්මක ඊනියා ආගමික කල්ලිවාදීන් තම ව්‍යාපාරය සාධාර්ණීකරනය කිරීම සදහා මුස්ලීම් ජනයා හමුවේ තබන ජනප්‍රිය මතවාද කිහිපයකි. මේවා එකින් එක මෙතැන් සිට විමසා බලමු.

  • පුද්ගල විවේචන හා අපහස

ඉහතින් හැදින් වූ ඊනියා ආගමික කල්ලීන් අතුරින් එක්තරා ජනප්‍රිය ඊනියා ආගමික කල්ලියක් පිලිබදව අප රටේ ප්‍රසිද්ධ ආගමික දේශකයෙකු දැක්වූ හැදින්වීමකින් මෙම විෂය පිලිබදව වූ සාකච්චාව අරඹන්නේ නම්, එය මෙසේය.

…ඔබට ‘තව්බා’ (තමන් කල වැරදි වෙනුවෙන් අල්ලාහ් (දෙවි) හමුවේ පාපොච්චාරණය) කිරීමට අවශ්‍ය නම්, ‍ඔබේ විසින් දැන හෝ නොදැන මෙතෙක් කල වැරදි පෙලගැසීමට ඔබ වෙහෙසිය යුතු නැත. ඔබ කලයුතු වන්නේ ‘——-‘ යන සංවිධානයට (මා එම ඊනියා ආගමික කල්ලියේ නම මෙහි සදහන් නොකරමි) ඔබේ නම ලබාදීම පමණි. එවි‍ට ඔවුන් ඔබ උපන්දා පටන් කල සියළු වැරදි අන්තර්ජාලයේ පෙලගසනු ඇත. ඉන්පසු ඔබ කලයුතු වන්නේ ඒ පෙලගැසීම අනුව අල්ලාහ් (දෙවි)ගෙන් තව්බාව හෙවත් පාපොච්චාරණය කිරීම පමණි…

ඉහත ප්‍රකාශය තරමක් හාස්‍ය උපදවන්නක් වුවත් මා මෙම ලිපියට වස්තු බීජය කොට ඇති කල්ලීන් අතුරින් එක්තරා කල්ලියක ප්‍රධාන ලක්ෂණය මෙම ගුණාංගයයි. එනම්, පුද්ගල විවේචන හා මඩ ව්‍යාපාරයන් හි දැඩිව නිරතවීමයි. අප රටතුල මොවුන් හදුනාගැනීම එතරම් දුෂ්කර නැත. මොවුන්ගේ දේශන පුරාවට තිබෙන්නේ පුද්ගල විවේචන පමණි. තමන් ශුද්ධ වූ කුර්ආනය හා හදීසය පමණක් අනුගමනය කරන ශ්‍රී ලංකාවේ එකම ‘තව්හීද්’ සංවිධානය බව නිරන්තරයෙන් ප්‍රකාශ කරන, යහපත් දහම් මෙහෙවරක නිරත වන බවට තමන්ව හදුන්වන මොවුන්ගේ දේශන හොදින් සවන් දුන්නේ නම් ඒ තුල සමකාලීන පුද්ගල විවේචන, අපහස, නින්දා… කිරීම සුලභව දැකිය හැක. පසුගිය දිනක (2014/02/16) ඔවුන්ගේ දේශනයකට සහභාගි වූ මා මේ දුර්වලතාවය එනම්, ‘තමන් ඉතා පහත් අන්දමින් විවේචනය කරන පුද්ගලයන් මේ ස්ථානයේ නොමැති නිසා එවැනි විවේචන සාධාර්ණ නොවන බවත්, එය යහපත් කථිකයෙකුට නොසුදුසු දෙයක් බවත් පැවසූ විට (අවේශ වූ ස්වභාවයෙන්) එයට ඔහුගේ ප්‍රතිචාරය වුයේ පහත ආකාරයටය.

‘එතකොට මුහම්මද් (සල්)තුමා, අබූබක්කර (රලි) තුමා, අබූ ජහ්ල්, අබූලහබ්… යනාදී පිරිස ගැන කථා කරන්නත් බැහැ නේ?, ඒ අයත් මෙතැන නැහැනේ…’

බැලූ බැල්මට සාධාර්ණ හා බුද්ධිමත් තර්කයක් ලෙස ඉහත තර්කය පෙනුනත්බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, ඒ තුල පෙනීයන්නේ ඉහත ඊනියා කල්ලියේ දහම් ප්‍රචාරයේ ක්‍රමවේදය කුමක්ද? යන්න හා ඔවුන්ගේ ආගමික මෙහෙවර තුල පුද්ගල වියරුව කොතරම්ද? යන්න පමණි. දිව්‍යමය වදන් ලෙස පැහැදිලිව ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය ලෙසත්, හදීස් ලෙසත් ආරම්භයේ පටන් ලේඛනගතව ඇති කරුණු ජනයාට පැවසීමත් සමකාලීනව ජීවත් වන පුද්ගලයෙකු ඔහු නොමැති තැනක විවේචනය කිරීමත් එකසේ සමාන කිරීම කොතරම් සාධාර්ණද? යන්න මා මෙහි විග්‍රහ කිරීමට අවශ්‍ය ‍නොවේ යයි සිතමි. කෙසේ වෙතත් තමන් ශුද්ධ වූ කුර්ආනය හා හදීසය පමණක් අනුගමනය කරන බව නිරන්තරයෙන් පවසා ගන්නා ඒ පිරිසගේ අවදානයට ශුද්ධ වූ නබිවදන් දෙකක් ඉදිරිපත් කරන්නට අදහස් කරමි. එනම්,

වරක් නබිතුමාණන් තමඅනුගාමිකයන් (සහාභාවරන්)ගෙන් ‘(ඕපාදූප හෙවත්)කේලම් පැවසීම යනු කුමක්ද? යන්න නුඹලාදන්නෙහිද?’ යනුවෙන් විමසා අනතුරුව මෙසේ එනම්, ‘නුඔගේ සහෝදරයා (නුඹ කථා කරන දෑඅතුරින්) කවරක් පිලිකුල් කරයිද?. එය ඔහු නොමැති අවස්ථාවක පැවසීම’ යනුවෙන් පවසනලදී. එයට (අනුගාමික) සහාභිවරයෙකු ‘අප පවසන කාරණය ඔහු තුල පැවතුනත්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඔබ පවසන කාරණය ඔහු තුල පැවතුණු නිසාමය එය කේලමක් වන්නේ (එසේ නොවේ නම් එය මුසාවක්)” යනුවෙන් පවසන ලදී.’

 මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

‘කේලම් පවසන පිරිස් (මරණින් මතු උදාවන) විනිශ්චය දිනයේ දී ඉතා දැඩිව දඬුවම් ලබනු ඇත. තම අතින්මතමාව දඬුවම් කරගනු ඇත.’ යනුවෙන් නබිතුමාණන් පවසන ලදී. (තවදුරටත් එතුමාණන්පැවසීමේ දී) ‘(දෙවියන් හමුවට ගිය ගමන) ‘මිහ්රාජ්’හිදී මා එක්තරාපිරිසක් පසුකර ගියෙමි. එම පිරිසට උල්නිය තිබුණි ඒ නියවලින් ඔවුන් තම මුහුණහා පපුව තුවාල කරමින් සිටියේය.’ එය දුටු මා ((දේවදූත) ජිබ්රීල් (අලෛ) ගෙන්) ‘ජිබ්රීල් අර පිරිස කවුරුන්ද?’ යනුවෙන් විමසුවෙමි. එයට ජිබ්රීල් ‘ඒ පිරිස්මනුෂ්‍යන්ගේ මාංශ අනුභව කල (කේලම් පැවසූ) පිරිස් එනම් මනුෂ්‍යන්ගේ ගෞරවයටඅතතැබූ පිරිස්’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද්

අද අප රටේ ක්‍රියාත්මක සමහරක් ජාතිවාදී ව්‍යාපාරයන් මෙන් කේලම් හා බොරුවෙන් සියල්ල දිනාගැනීමට ඉහත සංවිධානය ද අදහස් කරන්නේ නම් ඒ පිරිස මෙම අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කල ‘හොද නරක දෙකටම කටය‘ යන ලිපිය මෙන්ම ඉහත ශුද්ධ වූ නබිවදන් දෙක ද බුද්ධිමත්ව විමසා බැලිය යුතුව ඇත. නමුත් තමන්ගේ මතවාදයට හරස් වන සියළු ‘හදීස්’ එලෙස හරස්වීම පමණක්ම පදනම් කරගෙන ප්‍රතික්ෂේප කලයුතු හදීස් බවට ප්‍රකාශ නිකුත් කරන ඉහත කල්ලීන්ට මෙහි සදහන් හදීසයන් දෙක ද කොතරම් දුරකට වලංගුවේද? යන්න සැක සහිතය.

ඔබ පවසන කාරණය ඔහු තුල පැවතුණු නිසාමය එය කේලමක් වන්නේ (එසේ නොවේ නම් එය මුසාවක්)” යනුවෙන් පවසන ලදී.’

කෙසේ වෙතත් මෙවැනි ඊනියා මෙන්ම වියරුවාදී ආගමික කල්ලීන් පිලිබදව මුස්ලීම් සමාජය අවබෝධයෙන් පසුවිය යුතුයි යන රතු එලිය දල්වමින් මෙම ලිපියට විරාමය තබන්නේ ‘මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය‘ යන ලිපි පෙලේ‘ජනතා ආකර්ශනය හිමිවීම තම ව්‍යාපාරයේ වලංගුභාවයට සහතිකයක්ද?‘ යන තවත් අනුමාතෘකාවකින් ලඟදීම හමුවීමේ බලාපොරොත්තුවෙනි.

මෙම ලිපියේ ඉතිරි කොටස පහතින් කියවන්න

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *