මුහම්මද් (සල්)තුමාට එරෙහි චෝදනා හා එහි වලංගු අවලංගුතා

0

මීට වසර 1400කට පෙර අරාබි දේශයේ අරාජිකව පැවතී, නුගත්, කැලේ නීතිය රජකල ජන සමාජයක එතුමා වක්තෘවරයෙකු ලෙස දෙවියන් විසින් තෝරාපත් කරන ලදී. එතුමා මඟින් එම ජන සමාජය යහමග ගැන්වීම සදහා දේව පණිවුඩ පහල විය. ඒ නීතිරීති, මානව අයිතින්, අවවාද, අනුශාසනා, අතීත සිදුවීම්, වර්ථමාන සිදුධීන්, අනාවැකි… යනාදීය. ඉන් කිහිපයකි. මෙසේ එතුමාණන් කල දේශනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙන අතර එතුමාගේ ආදර්ශයන් (නියෝග, අනුමත කිරීම් හා ක්‍රියාවන්) අදටත් “හදීස්” නමින් ආරක්ෂා වී පවතී. එ‍සේම එතුමාහට දෙවියන් විසින් පවසන ලද දේව පණිවුඩය “කුර්ආනය” නමින් ආරක්ෂා වී පවතී. සරලව පවසනවා නම් එතුමාගේ මුවින් ප්‍රකාශ වූ සියල්ල ආරම්භයේ සිට අද දක්වා ලිඛීතව ආරක්ෂා වී පවතී. මෙය ඉතා වැදගත් කාරණයකි. යම් ආගමක් හෝ දර්ශනයක් පිලිබදව බුද්ධිමත් ආකාරයට කථා කිරීමට නම් එය ආරම්භයේ සිට ආරක්ෂා වී පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. එසේ නොවේ නම් එසේ නොවේ නම් ඕනෑම කෙනෙකුට එයට පක්ෂව හා විපක්ෂව ඕනෑම මතයක් ප්‍රකාශ කල හැක. එම ඉරණමින් ඉස්ලාම් ආරක්ෂා වී ඇත. කිසිවකු අල්ලාහ් (දෙවියන්) පවසා ඇති බවට කිසිවක් පවසයි නම් එය ඔහු “කුර්ආනයේ” පෙන්විය යුතුවේ. එසේම නබිතුමාණන් පවසා ඇති බවට කිසිවක් කිසිවකු පවසයි නම් එය “හදීසය” තුල පෙන්වීම අත්‍ය අවශ්‍ය වේ. මෙය තමා නිවරැදි හා සධාචාරාත්මක කුමය වන්නේ මෙය ඉස්ලාම් දහමට පමණක් නොවේ ඕනෑම ආගමක අනුලමනය කලයුතු නිවරැදි ක්‍රියා පිලිවතයි. ඒ පදනමේ සිට අපගේ මාතෘකාවට දැන් අවධානය යොමු කරමු.

ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව දේව පණිවුඩය සෑම මනුෂ්‍යයෙකුටම පහල නොවන අතර මිනිසුන් අතුරින් තොරාපත් කරගත් නියෝජිතයෙකු (වක්තෘවරයෙකු) මගින් සමස්ථ මිනිස් සමාජයට දේව පණිවුඩය ප්‍රකාශ වේ. ඒ අනුව මේ පොළොව මත තොරාපත් කරන ලද අවසාන නියෝජිතයා (වක්තෘවරයා) වන්නේ මුහම්මද් (සල්) තුමාණන්ය. එතුමා හරහා තමා මුළු මිනිස් සමාජයටම ඉස්ලාම් ප්‍රකාශ වන්නේ. මා මෙසේ පවසන විට මුස්ලීම් නොවන ඔබට ගැටඑවක් මතුවිය හැක. එනම්,

“මේවා දේව පණිවුඩ” යයි පවසන්නේ මුහම්මද් තුමා නොවේද? ඇයි මේක එතුමාගේම කල්පිතයක් වන්නට බැරිද?

යන්නයි. මෙය බැලූ බැල්මට සාධාර්ණ වූ තර්කයක් ලෙස පෙනේ. මන්ද දේව පණිවුඩ (කුර්ආනය) ප්‍රකාශවන්නේත් එතුමාගේ මුවින්. එතුමාගේ දේශනයන් හා ක්‍රියාකලාපයන් (හදීස්) සමාජයට ප්‍රකාශ වන්නේත් එතුමා තුලින් එසේ නම් ඉහත තර්කයේ යම් සාධාර්ණයක් පෙනෙ‍්. මෙවැනි ප්‍රශ්නයක් මතුකල ප්‍රථම අවස්ථාව මෙය නොවේ. එදා නබිතුමාණන් ජීවමානව සිටී ඒ ආවධියෙත් විවිධ පිරිස් මෙවැනි ප්‍රශ්න බොහෝමයක් මතු කල බව ශුද්ධ වූ කුර්ආනය පවසයි. ඉන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • “මේ මුහම්මද් පෙර ආගම්වලින් උපුටා දක්වනවා…”
  • “මේ මුහම්මද් දේව වක්තෘවරයෙක් නම් ඇයි අපිවගේ කන්නේ බොන්නේ දෙවියන් ඇයි දේව දුතයෙක් නොයවා මනුෂ්‍යයෙක් යැව්වේ.”
  • “මේ මුහම්මද් බොරුකාරයෙක් මිස වෙන නැත.”

ඔවුන් පැවසූ ආකාරයටත් වර්ථමානයේ පවසන ආකාරයටත් මුහම්මද් (සල්) තුමා පැවසු කරුණු කල්පිතයක්, උපුටා දැක්වීමක් හෝ මූසාවක් නම් ඒ සමගම මතු වන ප‍්‍රශ්නයක් ඇත. ඒ “එවැනි බොරැ කුමක් සදහාද?” යන්නයි. මෙයටත් අතීතයේ මෙන්ම වර්ථමානයේත් සමහරක් පිරිස් විවිධ හේතු ඉදිරිපත් කරයි. එනම්,

  • සමාජයෙන් ප‍්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන්
  • මුදල් හම්බකිරීමේ අරමුණින්
  • සමාජයෙන් විශේෂ සැලකිල්ලක් ගෞරවයක් බලාපොරොත්තුවෙන්
  • පාලන බලයක් ලබාගැනීමේ අරමුණින්
  • තවත් සමහරුන් “එතුමාට පටුඅරමුණු තිබුනේ නැහැ නමුත් මානසික ආබාධයක් නිසා මේවාගේ කරුණු පැවසුවා” යයි පවසයි.

ඉහත සදහන් වාදයන් පිලිබදව බුද්ධිමත් අයුරින් අවදානය යොමු කලේ නම්, ඔවුන්ගේ පලමු තර්කය මේ මුහම්මද් පෙර දහමන්වලින් උපුටා දක්වනවා යන්නයි. මෙහි සත්‍යයක් තිබේද? මේ ප‍්‍රශ්නයට පිලිතුරු ලබාදීමට ප‍්‍රථම මෙවැනි තර්කයක් ඉදිරිපත් කරන්නට හේතුව කුමක්ද? යන්න පිලිබදව අවදානය යොමු කිරීම සුදුසුයයි හැගේ. මන්ද එම කරුණ පැහැදිලි කර ගැනීමේදී ඉහත ප‍්‍රශ්නයටද එයතුල පිලිතුරු ලැබෙන බැවිණී. මේ ආකාරයේ තර්කයක් ඉදිරිපත් කරන්න හේතුව ශුද්ධ වු කුර්ආනයේ මුහම්මද් තුමාට පෙර පැමිණී වක්තෘවරුන් වන ඉබ‍්‍රාහීම්, ඉස්මායිල්, ඉසහාක්, යාකුබ්, ලූත් දාවුද්, නුහ්, මොසස්, ඊසා… යන ආකාරයට වක්තෘවරුන් 25ක ගේ නම් සදහන් වේ. මේ ඉහත සදහන් නම් ක‍්‍රිස්තියානිවරුන්ගේ බයිබලයේද, යුදෙවිවරුන්ගේ ආගමික මූලාශ්‍රයන්වලද අඩුවැඩි වශයෙන් සදහන් වේ. (මෙයට හේතුව මේ ලිපිය අවසාන දක්වා කියවීමේදී ඔබට පැහැදිලි වනු ඇත) මේ දෙස මතුපිටින් බලන ඕනෑම කෙනෙකුට ඉහත සැකයන් මතුවීම සාධාර්ණය. නමුත් ඉහත නම් සදහන් ඒ වක්තෘවරැන් සම්බන්ධයෙන් බයිබලය හා අනිකුත් ආගමික මූලාශ්‍රයන් පවසන්නේ කුමක්ද? යන්නත් අල්කුර්ආනය පවසන්නේ කුමක්ද? යන්නත් බුද්ධිමත් අවදානයක් යොමු කලේ නම් එම ප්‍රශ්නයට පැහැදිලි පිලි තුරු ලැබෙනු ඇත. බයිබලය හා අන්කුත් මූලාශ්‍රයන් මෙම වක්තෘවරුන්ගේ නම් ඔවුන්ගේ පරම්පරාවන් පැවසීම සදහා බොහෝ විට උපයෝගි කරගෙන ඇත. නමුත් ශුද්ධ වූ කුර්ආනය එම තත්වයෙන් බැහැර වී ඔවුන් ඔවුන්ගේ කාලයේ ජනතාව යහමග ගැනීම සදහා කල මෙහෙවරත් එහි දී ඔවුන් එම ජන සමාජයට කල අවවාද, අනුශාසනාවන් හා උපදේශයන් ඉදිරිපත් කරයි. එසේම කිතුණු භක්තිකයින් උත්තමයින් ලෙස ගරු කරන සමහරක් වක්තෘවරුන් පිලිබදව බයිබලයේ ඉතා පහත් අයුරින් සදහන් වේ. උදාහර්නයක් ලෙස (ලෝත් වක්තෘවරයෙකි ඔහු) ඔහුගේ දුවරු දෙදෙනා ම පියාට දාව දරුවන් පිලිසිද ගත්තාහ. (උත්පත්ති 19:36) හි සදහන් වේ. මීට අමතරව (සාමුවෙල්11:2-5), (උත්පත්ති 9:23,24), (රාජාවලිය 11:1-10), (සාමුවෙල් 29:28) තවත් බොහෝ ස්ථානයන් හි මෙවැනි නින්දිත අපචාර චෝදනා වක්තෘවරුන් සම්බන්ධයෙන් පවසයි. මෙය පැහැදිලිවම එම වක්තෘවරුන්හට කරන අපහසයකි. ශුද්ධ වු කුර්ආනය පෙර දහමන්වල උපුටා දැක්වීමක් නම් කුර්ආනයේද තිබිය යුත්තේ ඉහත සදහන් බයිබලයේ හා අනිකුත් මූලාශ්‍රයන් හි සදහන් කරුණුය. නමුත් ශුද්ධ වු කුර්ආනය ඊට වඩා ඉදිරියට ගොස් ඉහත නින්දිත අපචාර චෝදනා වැරදි හා අසත්‍ය බවත්, එම වක්තෘවරැන් උත්තමයින් බවත්, පවසයි. එසේම බයිබලය හා අනිකුත් ආගමික මූලාශ්‍රයන් පවසන වැරදි කරුණු නිවරැදි කරයි. එසේ කිරීමට කුර්ආනයට හැකි වුයේ මෙය මිනිස් චින්තනයන්ගෙන් බැහැර වූ දිව්‍යමය පණිවුඩයක් වූ නිසාම මිස උපුටා ගැනීමන් නිසා නොවේ.

ඉස්ලාම් දහමට හා මුහම්මද් තුමාට විරුද්දව මතු කරන මීළඟ තර්කය. “ඇයි දෙවියන් විසින් මනුෂ්‍යන්ගෙන් මගපෙන්වන්නෙකු හෙවත් වක්තෘවරයෙක් අප වෙත යැව්වේ. ඇයි දේවතාවක් හෝ දේවදුතයෙක් (මලාඉකාවරුන්ගෙන්) නොයවන්නේ.” යන්නයි. මෙසේ එදා සමාජය ප්‍රශ්න කල බව ශුද්ධ වු කුර්ආනය 25-7 වාක්‍යයෙන් මෙසේ පවසයි.

“වක්තෘ යයි පවසන (මුහම්මද්) මොහුට කුමක් සිදුවෙලාද? මොහු ආහාර අනුභව කරති, වීතිවල ඇවිදිති, ඔහු සමග මලාඉකාවරයෙක් (දේව දුතයෙක්) පහල කොට ඔහු මගින් (දෙවියන් අපට) අවවාද අනුශාසනා නොකලේ මන්ද?”

මෙය සම්පූර්ණයෙන්ම වැරදි තර්කයකි. මන්ද වක්තෘවරයෙක් යනු ඔහු විසින් ජනතාවට දේශනා කරන දහම හා දර්ශනය තමා ජීවිතය තුල ක්‍රියාවට නංවා එය ජනතාවට ප‍්‍රායෝගිකව පෙන්විය යුතුය. එසේ නම් මෙම කාර්යය දේවදුතයින් මගින් සිදු කල නොහැක. මන්ද මනුෂ්‍යයෙකු නොවන කෙනෙකු මගින් එම දේශනයන් ක්‍රියාවට නැංවුයේ නම් “මනුෂ්‍යයන් වන අපට දේව දුතයන් මෙන් ක‍්‍රියාකල නොහැක මෙය අපට ප‍්‍රායෝගික නැත” යයි තර්ක කරණු ඇත. එසේ කිසිවකු විසින් තර්ක කරයි නම් එහි වරදක් ද නැත. මන්ද දේව දුතයන් මිනිසුන්ට වඩා ශක්ති සම්පන්න යන්න ඉස්ලාමීය විශ්වාසයයි. ඒ පිරිසට ප්‍රායෝගික සියල්ල අපට ප්‍රායෝගික විය නොහැක. එසේම මනුෂ්‍යා වෙනුවෙන් පහල වූ දහම සෑම අතින්ම ප්‍රායෝගික බව මනුෂ්‍යෙයකු මගින්ම තහවුරු කලයුතුය. ඒ අනුව මනුෂ්‍යාහට මඟ පෙන්වන කෙනා මනුෂ්‍යයකුවීම අනිවාර්ය අවශ්‍යතාවයකි. ඒ අනුව මුහම්මද් (සල්) තුමා වක්තෘවරයෙකු ලෙස දහම සමාජයට දේශනා කිරීම හා ක්‍රියාවට නැංවීම තමා වඩාත් නිවරැදි හා ප්‍රායෝගික වන්නේ.

ඉස්ලාම් දහමට හා මුහම්මද් තුමාණන්ට විරුද්දව මතු කරන මීළඟ තර්කය වන්නේ මේ මුහම්මද් බොරුකාරයෙක් යන්නයි. මෙය සත්‍යයක් නම් ඒ සමඟ මතුවන ගැටළුවක් ඇත. එනම් “එසේ බොරු කීවේ කුමක් සදහාද?” යන්නයි. මන්ද එතුමාණන් තමන් වක්තෘවරයෙකු බව සමාජයට ප්‍රකාශ කිරීමට පෙර එනම් වයස අවුරුදු 40 දක්වා වු කාලය තුල කාගෙත් ආදරයට, විශ්වාසයට හා ගෞරවයට පාත‍්‍ර වූ ඒ සමාජයේ ජීවත් වූ යහපත් කෙනෙකි. මේ නිසාම එදා සමාජය එතුමාට “අස්සිද්දීක්, අල්අමීන්” (සත්‍යවන්තයා, විශ්වාසවන්තයා) යන ගෞරව නාමයන් පවා ලබාදී තිබුණි. එවන් උතුම් වු ගෞරවයකට පාත‍්‍ර වී සිටී එතුමා මෙම දේව පණිවුඩයන් ජනතාවට ප්‍රකාශ කිරීම නිසා ජනතාවගෙන් අපහසයන්ට හා හිංසනයන්ට ලක් වන්නට සිදුවිය. එතුමාණන් එදා පැවසුවේ බොරුවක් නම්, මෙපමණ ආදරයක් හා ගෞරවයක් දිනා සිටී එතුමාණන් ඇයි බොරුවක් පවසන්නේ ඒ කුමක් සදහාද? යන ගැටළුව මතු වීම වැලැක්විය නොහැක. මෙම ප‍්‍රශ්නයටත් සමහරක් පිරිස් විවිධ හේතුන් ඉදිරිපත් කරයි. එනමි,

  • ජනතාවගෙන් ප‍්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන්
  • මුදල් හා වස්තූන් රැස්කිරීමේ අරමුණින්
  • ජනතාවගෙන් විශේෂ සැලකිල්ලක් ගෞරවයක් බලාපොරොත්තුවෙන්
  • පාලන (දේශපාලන) බලය ලබාගැනීමේ අරමුණින්
  • තවත් (අන්තවිදීන්) සමහරුන් “එතුමාට පටු අරමුණු තිබුනේ නැහැ නමුත් මානසික ආබාධයක් නිසා මේවාගේ කරුණු පැවසුවා” යයි පවසයි.

මේ ආකාරයට විවිධ හේතු පවසයි. මෙසේ ඉදිරිපත් කරන චෝදනාවන් කොතරම් දුරට සාධාර්ණද? ඒවා කොතරම් දුරට එතුමාණන්ට ගැලපෙනවාද? යන්නත් වෙන වෙනම දැන් අවදානය යොමු කරමු.

ජනතාවගෙන් ප‍්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන්

තමන් වක්තෘවරයෙකු යයි සමාජයට ප්‍රකාශ කිරීමේ අරමුණ එම සමාජයේ ප‍්‍රසිද්ධියක් ජනප්‍රියත්වයක් ලබා ගැනීම නම් එය නබිත්වය හෙවත් වක්තෘවරයෙකුවීමට පෙර ද එම සමාජයේ ජනතාව එතුමාණන්ට නොඅඩුව ලබාදී තිබුණි. එය ඉහතින් මා පැවසූ ආකාරයට එතුමාණන් හට “අස්සිද්ධික්” සත්‍යවන්තයා යනුවෙන් ඇමතීම තුලින් ද තහවුරු වේ. මීට අමතරව එදා එම “ජාහිලයා” (ඉස්ලාමය ප්‍රකාශවීමට පෙර සමාජය) සමාජයේ තීරණාත්මක ගැටළුකාරී අවස්ථාවල තීරණ ගැනීමේ අවස්ථාව මුහම්මද් (සල්) තුමාණන් හට ලබාදීම (උදාහරණයක් ලෙස කව්බතුලා හි හජ්රැල් අස්වද් ගල සවිකිරීමේ දී ඇති වූ ගැටළුකාරී .තත්වයට විසදුම් සපයාදීම) තුලින් එතුමාට තිබුණු ප්‍රසිද්ධිය මෙන්ම ගෞරවය ද මනාව තහවුරු වේ. මේවා තුලින් තහවුරු වන්නේ එතුමා වක්තෘභාවය ප්‍රකාශ කිරීමට පෙර සමාජය තුල දිනාගෙන සිටී ප්‍රසිද්ධියයි. එසේ ඉහල ප්‍රසිද්ධියක් දිනා සිටී එතුමාණන් මෙම දහම සමාජයට දේශනා කිරීම ආරම්භ කරනවාත් සමඟ ඒ සියළු දෙනා එතුමාණන්ට බොරුකාරයා, වංචාකාරයා, හුනියම්කාරයා… යනාදී වශයෙන් චෝදනා කරන්නට විය. මේ සියලූ චෝදනා මධ්‍යයේ වුවද එතුමාණන් දේව වාක්‍යයන් ජනතාවට ප‍්‍රකාශ කලේ එය තමාගේ පුද්ගලික කාරණයක් හෝ අවශ්‍යතාවයක් නොවන දේව නියෝගයන් නිසාම පමණී. එතුමාට අවශ්‍ය වී තිබුනේ ජනප‍්‍රියත්වය හා ප්‍රසිද්ධීය නම්, එම සමාජයේ පැවතී බහුදේව සංකල්පය හා මිත්‍යා විශ්වාසයන්ට පක්ෂව අදහස් පලකරමින් ඔවුන් තවදුරටත් දිනාගන්නට තිබුණි. එසේ වුවානම් එදා ආරම්භයේ හිමිව පැවතී ගෞරවය හා ජනප‍්‍රියතාවය තව තවත් වැඩි කරගන්නට තිබුණි. නමුත් ඒ සියල්ල පසෙකලා තමන් විසින් අවබෝධ කරගත් සත්‍ය දහම විවිධ බාධක මධ්‍ය යේ එඩිතරව ප‍්‍රකාශ කිරීම තුල ඉහතින් පවසන ආකාරයේ පටු අරමුණ නොතිබිණු බව පැහැදිලි වේ.

වස්තූන් රැස්කිරීම හා පාලන බලය ලබා ගැනීම අරමුණයි

තමන් වක්තෘවරයෙකු යයි සමාජයට ප්‍රකාශ කිරීමේ අරමුණ ඒ තුලින් වස්තූන් රැස්කිරීම හා බලය ලබාගැනීම නම්, මෙම දේව පණිවුඩය ජනතාවට පැවසීමට පෙර එනම් වයස අවුරුදු 40 දක්වා වූ කාලයේ එම සමාජයේ ජීවත් වූ ධනවත්ම පුද්ගලයන් අතුරින් මුහම්මද් (සල්) තුමාණන් ද කෙනෙකි. නමුත් මේ තමන් අවබෝධ කරගත් දෙවියන් විසින් පහල කල සත්‍ය දහම පිලිගැනීමත් පිලිපැදීමත් හේතුවෙන් එතුවක් තමන් සතුව තිබූ සියළු ධනයන් දුගී ජනයා හට බෙදා දෙන ලදී. මේ හේතුවෙන් එම සමාජයේ අන්ත දුගී තත්වයට එතුමාණන් පත්විය. කොතරමි දුගී තත්වයට පත්වුවද යන්න පවසනවා නමි අනිවාර්ය ආහාර වේල පවා සපයා ගැනීමට නොහැකි තත්වයට පත්වීය. මේ තත්වය පිලිබදව එතුමාගේ බිරිද වන ආයිෂා (රලි) තුමිය පැවසීමේ දී

“අප නිවසේ මාසයක පමණ කාලයක් ලිප ඇවිළුනේ නැහැ. හේතුව උයන්න කිසිවක් නිවසේ තිබුණේ නැහැ”

තවත් අවස්ථාවක එතුමාගේ බිරිද වන ආයිෂා තුමිය ප‍්‍රකාශ කලා

“අපේ නිවසේ රාත‍්‍රී කාලයේ පහනක් දැල්වුයේ නැහැ හේතුව පහනට යොදන්න අවශ්‍ය තෙල් මිලදී ගන්න අපට වත්කමක් තිබුණේ නැහැ”

මේ ආකාරයට එතුමාගේ දිළිදු අසරණ ජීවිතය මතු කර පෙන්විය හැක. එතුමා ධනය රැස්කිරීම අරමුණ කර නොගත් බව තහවුරු කිරීමට මේ ආකාරයේ බොහෝමයක් සාක්ෂි ඉදිරිපත් කල හැක. නමුත් එම තත්වය අවබෝධ කර ගැනීමට මෙය ප්‍රමාණවත් වනු ඇතැයි සිතමි.

එසේම එතුමාට එල්ල කරන තවත් චෝදනාවක් වන්නේ බලය පිලිබදව ආසාවක් එතුමාට තිබුණා යන්නයි. මෙය ද ඉහත චෝදනාවන් මෙන්ම පදනම් විරහිත අසත්‍ය වු චෝදනාවකි. මන්ද එදා එතුමාණන් එම සමාජයේ ඉහලම කුලයේ ඉහලම තන තුරු දරණ පවුලක කාගෙත් සිත්දිනාගත් චරිතයකි. ඔහුට එහි අවශ්‍යතාවයක් පැවතුණේ නම් ඒ මොහොතේම එය ලබාදීමට එදා සමාජය සැදී පැහැදී සිටියේය. එපමණක් නොවේ එතුමාණන් මේ දහම සමාජයට පැවසීම අරභනවාත් සමඟ ම ඒ සමාජයේ ප්‍රභූවරැන් එතුමා හමුවට පැමිණ මෙසේ පවසන ලදී.

“ඔබ මේ දේශනා කරන දහම සමාජයට පැවසීමේන් වලකින්න ඔබ එසේ කරන්නේ නම් ඔබට මේ රටේ කිරුළ පැළදවීමටත්, සියඑම සම්පත් ඔබ පාමුල ගොඩගැසීමටත්, අවශ්‍යනම් රටේ සිටින සුන්දරම කාන්තාව සරණපාවාදීමටත් අප කටයුතු කරමු”

මේ ආකාරයේ වූ සියළු වරප්‍රසාද අහිමි කරමින් එතුමාණන් අවබෝධ කරගත් දහම සමාජයට ප්‍රකාශ කිරීම තුල ඉහතින් සදහන් කල ආකාරයේ පටු අරමුණ එහි නොතිබුණු බව පැහැදිලිය. එපමණක් නොවේ මෙවන් වූ වරප්‍රසාදයන් ප්‍රතික්ෂේප කරමින් සමාජය තුල සත්‍ය දහම ප්‍රචාරය කිරීම නිසා කෝපයට පත් ඉහත සදහන් ප්‍රභූවරැන් අවසානයේ එතුමාණන්ව උපන්බිමින් නෙරපන ලදී. ඔවුන්ගෙන් අමාරැවෙන් දිවි ගලවාගත් නබිතුමාණන් තම උපන්බිම වන මක්කාව අතහැර මදීනාවට පලායන ලදී. එතුමාගේ දහම අවබෝධ කරගත් මදීනා වාසීන් මක්කාවේ සිට දිවිගලවා ගැනීමට පැමිණි මුහම්මද් (සල්) තුමාණන් හට මදීනාවේ පාලන බලය තම කැමැත්තෙන්ම භාර කරන ලදී. එය භාරගත් නබිතුමාණන් එහි ජනාධිපති වරයා වශයෙන් ඉතා සාර්ථක පාලනයක් නිර්මාණය කල නමුත් එතුමාගේ දිවිය දිළිදු මට්ටමින්ම පැවතුණි. කුඩා කටුමැටි පැල්පතකට සීමා වූ එතුමාගේ නිවසේ රාත‍්‍රියට දැල්වීමට පහනට තෙල් පවා නොතිබුණි, කුසගින්නට නිසි ආහාර පවා නොතිබුණි. මෙවන් දුක්බර ජීවිතයක් එතුමා ගතකලේ ඉන් මිදීමට අවස්ථාවක් නොමැතිව නොවේ. එදා එතුමා වචනයක් පැවසුවේ නම් තමන් සතු සියළු සම්පත් එතුමාගේ පාමුල ගොඩගැසීමට එතුමාගේ පරිවාරකයින් (සහාභාවරැන්) බලා සිටියේය. නබිතුමාණන්ගේ දුක්බර ජීවිතය දුටු සහාභාවරුන් (පරිවාරකයින්) විටින් විට ඒ සදහා අවසරය ද අයද සිටියේය. නමුත් නබිතුමාණන් ඒ සදහා අවසර ලබා දුන්නේ නැත. එසේ ප්‍රතික්ෂේප කලා පමණක් නොවේ තමාගේ පවුලේ (බිරිද, දරැවා, ඥාතීන් යන) සියළු දෙනාටත් එවන් වූ වරප්‍රසාද ලබාගැනීම සම්පූර්ණයෙන් තහනම් කරන ලදී. එපමණක් නොවේ තමාට දැනට උරුම ව පවතින සම්පත් පවා තම මරණයෙන් පසු උරුම විය යුත්තේ මහා භාණ්ඩාගාරයට බව ද නීතියක් පනවන ලදී. මෙවන් වූ ආදර්ශයක් පාලකයෙක් ලෝක ඉතිහාසයේ කොතන හෝ දකින්න පුලවන්ද?. රටේ පාලකයින් තම දේපල පමණක් නොවේ රටේ දේපලත් තමාට, තමාගේ පවුලට, තමාගේ දරැවාට, තමන්ගේ ඥාතීන්ට යනුවෙන් බෙදා ගන්නා කාල වකවානුවක මේ පාලකයා (මුහම්මද් (සල්) තුමාණන්) අපේක්ෂා කලේ කුමක්ද? මා මෙසේ පවසන කරුණු ඉදිරිපත් කරන විට ඔබට මෙලෙසද සිතෙන්නට පුළුවනි එනම්,

“දිළිදු දිවියක් ගතකලත්, වස්තූන් රුස් නොකලත් ගෞරවයක් සමාජයෙන් බලාපොරොත්තු වන්නට ඇති”

මෙයද සත්‍යයක් නොවන මනක්කලිපිතයක් පමණි. මන්ද තමන් දේව නියෝජිතයෙකු යයි පවසමින් සමාජයෙන් යම් ගෞරවයක් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම්, එවන් කෙනෙකු කිසිදු විටෙක තම ගෞරවයට හානිදායක ආකාරයේ ප්‍රකාශනයන් කිසිදු අවස්ථාවක නොපවසනු ඇත. නමුත් ශුද්ධ වූ කුර්ආනය හොදින් විශ්ලේෂණය කලේ නම් එවැනි ප්‍රකාශනයන් එනම් දෙවියන් විසින් මුහම්මද් (සල්) තුමාණන්ව දැඩි ලෙස අවවාද කරන අවස්ථාවන් බොහෝමයක් දක්නට ලැබෙනු ඇත. එවැනි අවස්ථා කිහිපයක් ඔබේ අවදානයට ඉදිරිපත් කරන්නේ නම්,

  • “තම දෙවියන්ගේ සොමිනස පතා උදය සවස තම දෙවියන් හඩගසන ඔවුන් පලවා නොහරිව්. නුඔ එසේ කලේ නම් නුඔද අපරාධකරුවන්ගෙන් කෙනෙකු වන්නේය.”(6-52)
  • “…ඔවුනට සමාවදීම හෝ නොදීම නුඔට අයිති දෙයක් නොව…”(3-128)
  • “නුඔට (මුහම්මද්ට) සිතු කෙනෙකු හරි මඟට ගත නොහැක. අල්ලාහ් සිතු කෙනෙකුට පමණි නිවරුදි මාර්ගය පෙන්වන්නේය.”(28-56)

මීට අමතරව ශුද්ධ වු කුර්ආනයේ 8-68, 66-1, 28-56, 15-88, 20-131, 18-28 සහා 80-1 සිට 10 දක්වා ඇති වාක්‍යයන් උදාහර්ණ වශයෙන් ගෙනහැර දැක්විය හැක. ඉහත කුර්ආන් වාක්‍යයන්ට අමතරව තමාට එවැනි විශේෂිත වූ ගෞරවයක් අනවශ්‍ය බවත්, එසේ කිරීම පාපයක් බවත් පැවසූ එතුමාණන්ගේම වදන් (හදීස්) බෙහෝමයක් ද දක්නට ලැබේ. එවැනි අවස්ථා කිහිපයක් පිලිබදව අවධානය යොමු කරන්නේ නම්,

  • අන්‍ය ආගමිකයන් සේ දෙපා වැද නමස්කාර කිරීම නුඹලා මාහට නොකරන්න. එය මහා පාපයකි,
  • මා වෙනුවෙන් නුඹ සිටී තැනින් නැඟිට ගෞරව නොකරන්න.
  • යේසුස් වහන්සේට (ඊසා (අලෛ) තුමාණන්ට) කිතුණුවන් සීමාව ඉක්මවා ගරු කරමින් වර්ණනා කලාසේ මාහට එසේ නොකරන්න,
  • මා ද නුඹලා මෙන්ම සාමාන්‍ය මනුෂ්‍යයෙකි මා හට සැගවුණු කරුණු පිලිබදව විශේෂ ඥානයක් හෝ ශක්තියක් නොමැත විශේෂත්වය වන්නේ දෙවියන්ගේ පණිවුඩය මට ලැබෙනවා එපමණයි.

මේ ආකාරයේ බොහෝ තැන් එතුමාණන්ගේ ජීවිතය තුලම ගෙනහැර දැක්විය හැක. මේ සියල්ල තුලින් එතුමාණන් අනවශ්‍ය ආකාරයේ වූ ගෞරවයක් අංශු මාත්‍රයකින් හෝ ඇති නොවන ආකාරයේ සමාජයක් නිර්මාණය කලා මිස එතුමාණන්ගේ දහම් ප්‍රචාරය තුල තමන්ට සුවිශේෂි වූ තත්වයන් ගොඩ නඟාගැනීම් දක්නට නොලැබේ. කෙටියෙන්ම පවසනවා නම් එදා සමාජයේ ජිවත් වූ මිනිසුන් අතර තවත් මනුෂ්‍යයකු ලෙස පමණක් ජීව්ත් වන ලදී. මෙය වඩාත් හොදින් තහවුරු කරන ප්‍රකාශනයක් එතුමාගේ පරිවාරකයෙකු (සහාභාවරයෙකු) මෙසේ පවසයි. එනම්,

“මුහම්මද් (සල්) තුමාණන් සිටින සභාවකට (තැනකට) එතුමාව නාදුනන කෙනෙකු පැමිණියේ නම් ඔවුන්ගේ පළමු ප‍්‍රශ්නය වුනේ ‘නුඔලාගෙන් මුහම්මද් කව්රුද?”‘යන්නයි.”

මෙයින් එතුමාණන් එම සමාජයේ ක්‍රියා කල ආකාරය මනාව පිලිඹිබු වේ. ඒ අනුව එතුමාණන්ගේ ජීවිතය තුල ජනතා ගෞරවයක් පිලිබදව කිසිදු අපේක්ෂාවක් නොතිබුණා යන්න මනුව පැහැදිලි වන අතර එවන් වූ අපේක්ෂාවන් හෝ රටේ පාලන බලය පිලිබදව සිහිනයක් ආශාවක් පැවතුනා යන්න ඉස්ලාම් දහම පිලිබදවත් එතුමාණන් පිලිබදවත් දළ අවබෝධයක් පවා නොමැතිව සිදු කරන අන්තවාදී ප‍්‍රකාශනයන් පමණි.

මානසික ආබාධයක් හේතුකොටගෙන කරනලද දෙඩවිල්ලකි.

මෙවන් වූ චෝදනාවක්ද සමහරක් පිරිස් ඉස්ලාම් දහමට හා මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහිව ඉදිරිපත් කරයි. මෙවැනි චෝදනාවක් ඉදිරිපත් කිරීම තුලම ම ඒ පිරිසට මේ විෂය කෙරෙහි තිබෙන අනවබෝධය හා ඔවුන්ගේ තිබෙන අන්තවාදීත්වය මනාව පිළිඹිබු කරයි. එපමණක් නොවේ මෙවන් චෝදනාවන් ඉදිරිපත් කරන පිරිස් කෙරෙහි හාස්‍යයක් මෙන්ම අනුකමිපාවක්ද ඇති වේ. මන්ද මානසික අබාධයකින් පෙලෙන කෙනෙකු කල දේශනයන් එනම්,

  • සැමකලටම ප්‍රායෝගික සමාජ සාධාර්ණ වු නීතීන්
  • විද්‍යාත්මික සත්‍යයන්
  • අවවාද, අනුශාසනා හා උපදෙස්
  • අතීතයේ (වැලලී ගිය) සිදුවීම් අඩංගු යටපත් වු ඉතිහාසයන්
  • අනාගත අනාවැකි
  • මනූෂ්‍ය දිවියට වැදගත් මරණින් මතු දිවිය පිලිබදව කරුණු

මේ ආකාරයට සියළු ක්ෂේත්‍රයන් ආවර්ණය කරමින් සැම කලටම හා සැම ප්‍රදේශයකටම එකසේ ප්‍රායෝගික කරුණු ප‍්‍රකාශ කිරීම මානසික ආබාධයක් නම්, මානසික අබාධයක් නිසා කරන ලද දෙඩවිල්ලක් නම්, එසේ චෝදනා කරන පිරිසට පවසන්නට ඇත්තේ එම දෙඩවිලි තුල අභියෝගයන් ඇත. ඒවා ජය ගැනීමට මේ දක්වා නොහැකි වුයේ ඇයි?, එනම්,

  • එම දෙඩවිලි තුල විද්‍යාත්මක සත්‍යයයන් ඇත මේවා අසත්‍ය බව විද්‍යාවට ඔප්පුකිරීමට නොහැකි වුයේ ඇයි?
  • එම දෙඩවිලි තුල දේශපාලන හා නීති උපදෙස් ඇත මේවා ප්‍රායෝගික නොවන බව ඔප්පු කිරීමට නොහැක්කේ ඇයි?
  • එම දෙඩවිලි තුල මානව අයිතීන් විශේෂයෙන් කාන්තා අයිතීන් පිලිබදව පුළුල්ව පවසා ඇත. මේවා ප‍්‍රායෝගික නොවන බව පැවසීමට නොහැක්කේ ඇයි?

මේ ආකාරයට ප්‍රශ්න ගනනාවක් පෙලගැසිය හැක. නමුත් ලිපියෙහි දීර්ඝ වීම සැලකිල්ලට ගෙන අවසාන වශයෙන් අසන්නේ මෙපමණය, එනම්,

“මානසික ආබාධිතයන් දොඩවන්නේ පවසන්නේ මේ ආකාරයේ සැමකලටම ප‍්‍රායෝගික, කිසිවකු විසින් අසත්‍ය කල නොහැකි, එදා එනම් මීට වසර 1400 කට පෙර විද්‍යාවට පවා උපකල්පනය කල නොහැකි වු විද්වත් අදහස්ද?”

එසේ නම් මාහට පවසන්නට ඇත්තේ ඔබේ මානසික තත්වය පිලිබදව වහ වහා වෛද්‍ය පරීක්ෂණයන් ආරම්භ කල යුතු බවයි. මන්ද මීට වසර 1400 කට පෙර පැවසූ කරුණු කාරණයන් වර්ථමාන සමාජය දෙස බලාගෙන ඊයේ අද පැවසුවා සේ මේවා ගැලපෙන විට ඉහත චෝදනාවන් හාස්‍යයක් නොවේද?. මෙය තවත් වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ඉදිරිපත් කරමි. එනම්,

මෑතකදී 20 වන සියවසයේ අනාවර්ණය කරගත් විද්‍යාත්මක සත්‍යයක් මීට වසර 1400කට පෙර අල්කුර්ආනයේ පවසා තිබීම ඔබගේ අවධානයට යොමු කරමි,

“පහත්ම භූමියෙහි ඔවුහු ඔවුන්ගේ පරාජයෙන් පසු පරාජය කරන්නේය.”

මෙහි ඉහතින් දක්වා ඇත්තේ ශුද්ධ වු කුර්ආනයේ 30-3 වාක්‍යයයි. ඉහත වාක්‍යයෙන් රෝමය හා පාරසියවරුන් අතර පැවතී යුද්ධයේදී රෝමය පරාජ වු මොහොතේ ඉහත පරාජයෙන් පසු නැවත රෝමය පහත්ම භූමියක දී ජයගන්නා බවට ශුද්ධ වූ කුර්ආනය අනාවැකියක් පවසයි. ඒ මීට වසර 1400 කට පෙරය. ඒ පැවසූ ආකාරයටම වසර ගනනාවකට පසුව (මුහම්මද් (සල්) තුමාණන් අභාවයට පත්වී වසර ලනනාවකට පුසව) නැවත ඔවුන් දෙපිරිස අතර මළමුහුද ආසන්න භූමියෙහි යුද්ධයක් ඇති වී එහි දී පාරසීයවරැන් පරාජය කරමින් රෝමවරුන් ජයගන්නා ලදී. මෙය ශුද්ධ වූ කුර්ආනය පවසන ලද අනාවැකියක් සත්‍ය වීමකි. මෙයට පැහැදිලි සාක්ෂි ඉතිහාස ග්‍රන්ථයන් හි සදහන්ව ඇත. මෙහි වැදගත්ම කාරණය වන්නේ එය නොවේ. ඉහත 30-3 වාක්‍යය මගින් දෙවියන් අනාවැකි දෙකක් පවසයි. ඉන් එකක් වන්නේ මා ඉහතින් සදහන් කල ආකාරයට රෝමාවරැන් යලි ජය ගැනීමයි. මෙහි දෙවන අනාවැකිය වන්නේ මේ සටන සිදුවන තැන පැහැදිලිවම ශුද්ධ වු කුර්ආනය පැවසීමයි. ඒ “පහත්ම භූමියක දී” යයි පැවසීමයි. මෙම ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයත් සමඟ 20 වන සියවසයේ අගභාගයේ නැවත පරියේෂණ ඇරඹු ගවේශකයන් හට අනාවර්ණය කරගැනීමට හැකි වුයේ මෙම මළමුහුද පිහිටි භූමිය ලොව ගොඩබිම අතුරින් පහත්ම භූමිය බවයි. එය මුහුදු මට්ටමින් මීටර් 395ක් පහතින් පිහිටා ඇති භූමියක් (වැඩි විස්තර) බවත් අදට අනාවර්ණය කරගෙන ඇත. මෙතරම් විශාල සත්‍යයක් ශුද්ධ වූ කුර්ආනය මීට වසර 1400ට පෙර පැවසුව ද විද්‍යාවට මෙය අනාවර්ණය කර ගැනීමට හැකි වුයේ වසර 1400කට පසුවයි. එසේ නමි මෙවන් වූ ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් මානසික අබාධ නිසා පැවසෙන දෙඩවිල්ලක ප‍්‍රථිපලයක්ද?

මෙවැනි නුතන විද්‍යාව අනාවර්ණය කරගත් බොහෝ කරුණු ශුද්ධ වු කුර්ආනයේ මීට වසර 1400කට පෙර පවසා ඇතිබව සාක්‍ෂි ඇතිව පෙලගැස්සීය හැක. නමුත් මානසික අබාධයක් නොමැති පැහැදිලි මනසින් දකින කෙනෙකු හට එක් උදාහර්ණයක් වූවද ප්‍රමාණවත් යයි සිතමි. එසේම මෙම චෝදනාවට ඉහත ආකාරයට පැහැදිලි කරමින් මෙය අවසන් කරන්නේ මෙවැනි චෝදනාවන් ඉදිරිපත් කරන විද්වතුන්ගේ බුද්ධිය හා මානසික තත්වය පිලිබදව සාධාර්ණ වු සැකයක්, කුතුහලයක් මතු කරමිනි.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ඉස්ලාම් දහමේ මුලික විශ්වාසයන්ගෙන් 04වන විශ්වාසය වන වක්තෘවරැන් පිලිබදව විශ්වාසය වන අතර එහි දී මුහම්මද් (සල්) තුමාණන් අවසාන වක්තෘවරයා යයි විශ්වාස කිරීම ද අනිවාර්ය අංගයක් වේ. එසේ පවතින අප විශ්වාසයට එරෙහිව මතු කරන ඉහත ආකාරයේ චෝදනා ඉතාමත් බොළද මෙන්ම පදනම් විරහිත ඒවා වන බව ද දැන් ඔබට පැහැදිලි වනු ඇත. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මෙම විශ්වාසය තුල අනිකුත් ආගම් හා දර්ශණයන්වල මෙන් එම ශාස්තෘවරුන්ට දේවත්වයක් හෝ දිව්‍යමය ස්වභාවයක් මුස්ලිම්වරුන් වන අප කිසිසේත් ආදේශ නොකරමු. ඒ සදහා ඉස්ලාමයේ අවසරයක් ද නැත. ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් (දෙවියන්ගේ) අවසාන දූතයා බවටත්, එතුමාණන් සමාජයට දේශනා කලේ දේව පණිවුඩ පමණක් බවත්, එය තුල පටු අරමුණු හෝ පහත් මට්ටමේ අපේක්ෂාවන් නොතිබුණු බවටත් සාක්ෂි දරමින් මෙම ලිපිය අවසන් කරමි.

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *