මේ උපවාසය අර්ථවත් කරමූ

0

මුස්ලීම් සමාජයට සුවිශේෂි කාලවකවානුවක් වන මේ රමලාන් මාසයේ උදාවත් සමඟ යහමඟ පාඨකයින් බොහෝදෙනෙකු උපවාස සමයේ මුස්ලීම්වරුන් ක්‍රියා කලයුත්තේ කෙසේද? යන්න පිලිබදව ලිපියක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කර තිබූ නිසාත්, මෙවැනි ලිපියක් මුස්ලීම් සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයේ දැනගැනීම පිණිසත් කාලීන අවශ්‍යතාවයක් වන නිසාත් එම විෂය පිලිබදව කරුණු දැක්වීමක් සිදුකරන්න අදහස් කරමි. ඉස්ලාම් යනු ලොව අනිකුත් දහමන් හා දර්ශනයන් මෙන් තවත් ආගමික දර්ශනයක් නොවන බව මීට ඉහත කරුණු සහිතව මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත. මිනිස් සමාජයේ යහපත උදෙසා ඔවුනට මඟපෙන්වන දිව්‍යමය ජීවන සැලැස්ම තමා ඉස්ලාම් දහම වන්නේ. එම ජිවන සැලැස්ම තුල මුස්ලිම් සමාජය උදෙසා කරන උපදේශයන් තුල (ඉස්ලාමීය ක්‍රමයට “රමලාන්” නම් මාසය පුරාවට ඉටුකරන) “උපවාසය” ද එවන් එක් මඟපෙන්වීමකි.

නමුත් එම මඟපෙන්වීමේ යථාර්ථය නිසි ආකාරව හදුනා නොගත් බහුතරයක් මුස්ලීම් ප්‍රජාව මේ උපවාසය පිලිබදව සමස්ථ සමාජයට දෙන්නේ සංකීර්ණ වූ ගැටළු රාශියක් පමණි. මේ නිසා මෙම උපවාසය මුස්ලීම් නොවන සමාජය බොහෝ විට අවබෝධ කොට සිටින්නේ “මුස්ලීම්වරුන් බඩගින්නේ තබන ඉස්ලාම් පනවන කෘර හිංසාවක්” ලෙසටයි. මේ ආකාරයට මෙම උපවාසය ඔවුන් අවබෝධකර ගැනීමට ප්‍රධාන හේතුව මා පෙර සදහන් කලාසේ ඉස්ලාම් ලබාදුන් උපවාසය ඉටුකරන මුස්ලීම් සමාජය දෙස ඔවුන් නිරීක්ෂණය කරන විට ඔවුනට පෙනී යන්නේ මුස්ලීම්වරුන් කුසගින්නව හා පිපාසිතව ඉන්නවාට වඩා යමක් ඉන් ලබාගෙන නොමැති වීමයි. මෙවන් හේතූන් රාශියක් නිසා මෙම උපවාසය පිලිබදව මෙම යහමඟ අඩවිය තුල මීට ඉහත දී විටින් විට සාකච්චා කොට ඇත එවන් ලිපි කිහිපයක් සදහන් කරන්නේ නම්,

යනාදීය සදහන් කල හැක.

අදත් මෙම මාතෘකාව තවත් කාලීන පැතිකඩක් ඔස්සේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. උපවාසය යන්න දිව්‍යමය මඟපෙන්වීමක් යන්න මුස්ලීම්වරුන් වන අපගේ විශ්වාසයයි. අල්ලාහ් (දෙවියන්) මිනිස් සමාජයේ යහපත උදෙසා කල උපදේශයන් අතර මෙය ද එකකි. මෙම උපදේශයන් පිලිපැදීම තුලින් මනුෂ්‍යයන් වන ‘අප තුල කුමණ ආකාරයේ වෙනස්වීමන් සිදුවිය යුතුද’ යන්නත් ඉස්ලාම් පැහැදිලිව පෙන්වා දී ඇත. ඒ අනුව මෙම ‘උපවාසය’ මඟින් ද ඉස්ලාම් බලාපොරොත්තු මිනිස් සමාජයේ යහපත් වෙනස්වීමකි. දැන් මෙහි ඇති වන ගැටළුව ඉස්ලාම් අපේක්ෂිත එම වෙනස්වීම උපවාසය මඟින් සිදුවෙනවාද? යන්නයි. වර්ථමාන මුස්ලීම් සමාජය දෙස බලනවිටත්, එම සමාජය පදනම් කරගෙන මෙවන් ලිපිය ඉදිරිපත් කිරීම තුලත් ඉස්ලාම් අපේක්ෂා කරන එම ඉලක්ක වෙත බහුතරයක් මුස්ලීම්වරුන් ලඟා නොවනවා යන්න පැහැදිලිය. මීට ඉහත මෙම අඩවිය තුල උපවාසය අනිවාර්‍ය වූ ආරම්භක මුස්ලීම් සමාජය පිලිබදව අප එදා පහල වූ එම 2-183 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පදනම් කරගෙන “ඔවුනටම බියබැතියන් වනු පිණිස නම්” යන මාතෘකාව ඔස්සේ දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකරමින් අවධාරණය කලේ ඉස්ලාම් එම සමාජයට කල බලපෑම කොතරම්ද? යන්නයි. එදා එම සමාජයට එවන් බලපෑමක් සිදුකල එම දිව්‍යමය පුස්තකය හා අසමසම ආදර්ශය වන මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය ඒ ආකාරයටම අදටත් පැවතුන ද එම සමාජයට ඇති වූ බලපෑම වර්ථමාන සමාජයට ඇති නොවන්නේ ඇයිද? යන්න මුස්ලීම් සමාජයට බුද්ධිමත්ව විමසා බැලිය යුතුය. එසේ නිසි ඉලක්ක වෙත අපට ලඟාවීමට නොහැකි වී ඇත්තේ දහමේ පවතින දුර්වලතාවයක් නිසා නොව එය පිලිපදින අප තුල පවතින දුර්වලතාවයන් නිසා බව ස්වයං අධ්‍යනයක් සිදු කලේනම් ඔබට පැහැදිලි වනු ඇත. එනම් අල්ලාහ් (දෙවියන්) අපට කුමණ කාර්‍යයන් හි නිරතවීමට අණකලේද? ඒම කාර්‍යයන් හි අප නිරත වුවාද? නිරත වන්නේද? යන්නත්, අල්ලාහ් (දෙවියන්) අපට කුමණ ක්‍රියාවන්ගෙන් වැලකෙන්න අණකලේද අණකලාද ඒ සියල්ලෙන්ම අප වැලකුණේද? යන්න විමසා බැලුවේ නම් එය පැහැදිලි වනු ඇත.

මාතෘකාව පදනම් කරගෙන විමසා බලන්නේ නම්, මෙම උපවාසය කුමණ ඉලක්කය දිනාගැනීම පිණිස ඉස්ලාම් අපට ලබාදුන්නේද? ඒ ඉලක්කය කරා අප පියමැන ඇත්තේද? සැබැවින්ම ඒ උත්තරීතර ඉලක්කය අප නිසිලෙස පසක් කරගෙන ඇත්තේද? යන කරුණු ස්වයං විමසුමක් කලේනම් බහුතරයක් මුස්ලීම් ප්‍රජාවගේ පිලිතුර “නැත” යන්න පමණි. “සමස්ථ ලෝකවාසී මුස්ලීම් ප්‍රජාව මේ මාසයේ උපවාසයේ නිරත වනනිසා අපද උපවාසයේ නිරත වන්නෙමු” යන්න සිතා උපවාසය රකින බහුතර මුස්ලීම් ප්‍රජාව මාසයක් පුරාවට කුසගිනේ හා පිපාසයේ නිරත වුවාට වඩා කිසිවක් දිනාගෙන නැත. එසේ නම් මෙවර උපවාසයත් එවැනි තවත් උපවාසයක් බවට පත්කරගන්නවාද? නොඑසේ නම් දෙවියන් බලාපොරොත්තු වන ආකාරයේ නිවරැදි ඉලක්කය දිනාගත් අපගේ ජීවිතවලට යහපත් වූ යමක් එක්කරගත් උපවාසයක් බවට මේ උපවාසය පත්කරගන්නවාද? යන්න තීරණය කිරීමේ කාලය දැන් නැවත එළඹි ඇත. එක් මූමීන්වරයෙකු (එනම් දහම නිසිලෙස අනුගමනය කරන මුස්ලීම්වරයෙකු) තම ජීවිත කාලය පුරාවට ඔහු ගෙවා දමන සෑම විනාඩියක්ම අල්ලාහ් (දෙවියන්)ට බියබැතිව ජීවිත් වියයුතු යන්න ඉස්ලාමීය මඟපෙන්වීමයි. එහිදී (පාපකාරී) වැරදි ක්‍රියාවන්වලින් හා (කුසල් ගෙන නොදෙන) නිශ්පල ක්‍රියාවන්ගෙන් වැලකී සිටිය යුතු යන්න ඉස්ලාමීය ආදර්ශයයි. එය පහත නබිවදන මඟින් ද ඔබට පැහැදිලි ලෙස අවබෝධකර ගතහැක. එනම්,

“කවුරුන් මුසාවන් පැවසීමත්, නිශ්පල ක්‍රියාවන්ගෙන් වැලකීමත් සිදු නොකරන්නේ ද ඔවුන් කුසගින්නේ සිටිමෙහි හා පිපාසයෙන් නිරතවීමෙහි අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවයක් නැත. යනුවෙන් මුහම්ම්ද් (සල්) තුමාණන් පවසන ලදී.”

අහ්මද්, තිර්මිදි, අබූදාවූද්

ඉහත හදීසයට අනුව මුසාව, අපවාදය, කේලම, මුලාව හා එවන් වූ අනිකුත් වැරදි ක්‍රියාවන් වලින් වැලකිය යුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීම බව මීට ඉහත “හොදට නරකට දෙකටම…?” යන ලිපිය තුලින් ද සාකච්චා කලෙමි. උපවාස සමයේ මේ සියල්ලෙන්ම මිදී සිටීම අනිවාර්‍ය බව ඉහත හදීසය අවධාරණය කරයි. “මුස්ලීම්වරුන් වන අප එම අවවාදයට නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් අපගේ උපවාසය මඟින් අපට දිනාගතහැකි කිසිවක් නැත” යන්න ඉස්ලාමීය ස්ථාවරයයි. වර්ථමාන මුස්ලීම් සමාජයේ බොහෝ පිරිස් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ උපවාසයේ නිරත වන්නේ උපවාසය බිදෙන කරුණූවල ද නිරත වෙමිනි. ඒ ඔවුන් උපවාසය අවබෝධ කරගෙන සිටින්නේ “අළුයම කාලයේ සිට ගොම්මන් කාලය දක්වා ආහාර පානවලින් වැලකී සිටීම” තමා උපවාසය යන්න අවබෝධ කරගෙන සිටීම හේතුවෙනි. එවන් වූ උපවාසයන් ඔහුගේ මානසික සතුටටත්, ඔහු අවට සමාජයටත් වලංගු මෙන්ම සිමා වුවකි. එය දෙවියන් හමුවේ කුසගින්නේ හා පිපාසිතව සිටියා යන්න මිස ඉන් ඔබ්බට එහි කිසිදු වටිනාකමක් නැත. කවර අවස්ථාවක වුවද අල්ලාහ් (දෙවියන්)ගේ අනපනත් හා ඔහුගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් මුස්ලීම් සමාජයට මඟපෙන්වීමක් නොවන්නේද? එවන් ක්‍රියාවන් ඉස්ලාම් නම් බෝඩ් ලෑල්ල දරාගත් පමණින් ඉස්ලාම් නොවේ. එවන් ක්‍රියාවන් විටෙක අකුසල් පවා ලඟා කරවන නිෂ්පල ක්‍රියාවන් පමණි. එය දෙවියන් හමුවේ ප්‍රතික්ෂේප වෙනවා යන්නෙ හි දෙවැනි මතයක් නැත. එය ඉහත හදීසය තුලින් ද අවධාරණය කරන තවත් සත්‍යයකි. දෙවියන් කෙරෙහි බියබැතියක් නොමැති ඉටුකරන කිසිදු කුසල ක්‍රියාවක් දෙවියන් හමුවේ වලංගු නොවනවා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එසේම “ඉටුකරන කුසල ක්‍රියාව ඉතා අල්ප ප්‍රමාණයේ එකක් වුවත් එය දෙවියන් කෙරෙහි බියබැතියක් ඇතුව පරිපූර්ණව ඉටුකලයුතුයි” යන්න ඉස්ලාමීය තවත් මුඛ්‍ය වූ ඉගෙන්වීමකි. තවද “අල්ලාහ් (දෙවියන්)ගේ කැමැත්ත, ආදරය හා අශිර්වාදය පමණක් අපේක්ෂාවෙන් ඉටු කලයුතු නැමදුම් ලෞකික ඉතා සුළුකාරණයන් පදනම් කරගෙන විනාශ කර නොගතයුතුයි” යන්න ශුද්ධ වූ කුර්ආනය පවා මුස්ලීම් සමාජයට කරන අවවාදයකි. ඉහත ආකාරයට මිනිස් සමාජයට අවවාද කරන අල්ලාහ් (දෙවියන්) මේ උපවාසය පදනම් කරගෙන සිදුකරන බොහෝ අවවාදයන් ද ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ තැන්වල දක්නට ලැබේ. එම කාරණය වෙත අවධානය යොමු කිරීමේ දී විශේෂයෙන් මා ඉහතින් සදහන් කල උපවාසය මුස්ලීම් සමාජයට අනිවාර්‍යය කරමින් පහල වූ 2-183 වාක්‍යය සදහන් නොකරම බැරි වාක්‍යයකි. එනම්,

“(අල්ලාහ් දෙවියන් කෙරෙහි) විශ්වාසවන්තයණී! නුඹලාට පෙර විසූ පිරිස් කෙරෙහි උපවාසය අනිවාර්‍යය කලාසේ ම නුඹලා කෙරෙහිද (උපවාසය) අනිවාර්‍යය කොට ඇත. ඒ නුඹලා (දෙවියන් කොරහි) බියබැතියන් වනු පිණිසය.”

ඉහත වාක්‍යයයෙන් අල්ලාහ් (දෙවියන්) මිනිස් සමාජයට උපවාසය අනිවාර්‍යය කිරීමට හේතුව පැහැදිලිවම “…බියබැතියන් වනු පිණිස…” යන්න අවධාරණය කරයි. බියබැතියන් වනු පිණිස ලබාදුන් උපවාසයේ නිරත වන අප උපවාස සමයේ කොතරම් කුසගින්නක් පැවතුණද කොතරම් ප්‍රණීත ආහාර අප ඉදිරියේ තිබුණ ද ඒ සියල්ල ප්‍රතික්ෂේප කොට අපගේ ආශාවන් මැඩගෙන හා ඉවසාගෙන ආහාර පානවලින් වැලකී සිටින්නෙමු. උගුර කට වේලී පිපාසය කොතරම් උග්‍රලෙස පැවතුණද ජලය නොව කොතරම් ප්‍රණීත පානයන් අප ඉදිරියේ පැවතුණද ඒ සියල්ල ප්‍රතික්ෂේප කොට උපවාසය රකින්නෙමු. මෙලෙස ආහාර පාන කොතරම් තිබුණද? ඒවා අප්‍රසිද්ධියේ අනුභව කිරීමට කොතරම් අවස්ථාව තිබුණද? ඒ සියල්ලෙන්ම මුස්ලීම්වරුන් වන අප වැලකී උපවාසයේ නිරත වන්නේ සකල ලෝකවාසී සියල්ලන්ටම වසන් වී “මා අහාර පාන ගත්තද සර්ව බලධාරී දෙවියන් ඒ සියල්ල හොදින් බලා සිටිනවා” යන විශ්වාසය නිසාම මිස අන් කිසිදු කාරණයක් නිසා නොවේ. මෙය අවබෝධ කරගැනීම පිණිස සරල නිදසුනක් සදහන් කල හැක. දිනපතා පස්වතාවක් සලාත් (වන්දනය)යේ නිරත වන සෑම මුස්ලීම්වරයෙකුම එම වන්දනයට පෙර “වූළු” නම් දොවනයක් සිදු කරයි. එහිදී තෙවරක් මුව සේදීමක් සිදුකිරීම අනිවාර්‍යය. මේ මුව සොදන මොහොත සැලකූවිට ඔහුට පහසුවෙන් වතුරු උඟුරු කිහිපයක් ලෝකයාට රහසින් ගිලදැමිය හැක. සරලව පවසනවා නම් ඔහුගේ උපවාසය හා ජලය අතර ඇත්තේ අඟලක තරම් පරතරයක් පමණි. මොහොතක් උපකල්පනය කර බලන්න අධික පිපාසිතව සිටින කෙනෙකු හට ජලය දැකීම කොතරම් සතුටට කාරණයක්ද? එය පානය කිරීමට ලැබීම ඊටත් වඩා කොතරම් සතුටුමත් අවස්ථාවක්ද? එවන් වූ පිපාසයෙන් පෙලෙන කෙනෙකු මුවටගත් වතුර බින්දුවක් නෑඇර නැවත පිටතට හැලීම දෙවියන් උදෙසා මිස ලෝකයා හමුවේ තමන් උපවාසය රකින්නෙකු යන්න පෙන්වා ගැනීම සදහා නොවන දෙවියන් කෙරෙහි තිබෙන අවනතභාවය නිසාම පමණක් බව අවබෝධකර ගැනීම සදහා ගැඹුරු අධ්‍යනයන් සිදුකිරීමට අවශ්‍ය නොවේ. උපවාසය තුලින් රමලාන් මාසය පුරාවට අප ලබන මේ (රමලාන් – උපවාසය නොමැති) අනිකුත් මාසවල දී ද තම ජිවිතය තුල ප්‍රායොගිකව ක්‍රියාවට නැංවීම ඉස්ලාම් මිනිස් සමාජයට ලබාදෙන එක් ආදර්ශයකි. රමලාන් මාසය තුල දෙවියන් බලාහිදින නිසා ආහාර පානවලින් පමණක් නොව පාපක්‍රියාවන්වලින් ද වැලකුණු අප එම දෙවියන්ම රමලාන් නොවන මාසවලදි ද එලෙසම අපව නිරීක්ෂණය කරනවා යන්න හොදාන් අවබෝධ කරගත්තේ නම් අප ජීවිතය තුල බොහෝ වෙනස්වීමන් අපට දැකීමට හැකිවනු. උපවාස සමයේ අප ඉදිරියේ “හලාල්” ආහාර පාන පැවතුනත් එයින් වැලකුණෙමු. අප අසලින්ම අපට “හලාල්” වූ ආදරණීය බිරිද සිටියත් අපගේ හැඟීම් මැඩගෙන උපවාසය ආරක්ෂා කලෙමු. මෙලෙස දිව්‍යමය ආදර්ශය වන ඉස්ලාම් මිනිස් සමාජයට කියාදෙන පාඩම් අපමණය. එම ආදර්ශයන් තුලින් ඉස්ලාම් අපේක්ෂා කරන්නේ යහපත් මිනිස් දිවියක් යන්න මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට තහවුරු වනු ඇත. එහිදී මුහම්මද් (සල්) තුමාණන් පැවසූ ඉහත හදීසය නැවතත් ඔබගේ අවධානයට යොමු කරන්නේ නම්,

“කවුරුන් මුසාවන් පැවසීමත්, නිශ්පල ක්‍රියාවන්ගෙන් වැලකීමත් සිදු නොකරන්නේ ද ඔවුන් කුසගින්නේ සිටිමෙහි හා පිපාසයෙන් නිරතවීමෙහි අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවයක් නැත.”

ඉහත හදීසයේ පලමු කාරණය වන “මුසාවන් පැවසීම…” යන්න අවධානය යොමු කලේනම්,

උපවාසය පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම වන්නේ එය කුසගින්න හා පිපාසය යන්නට පමණක් සීමා වූ උපවාසයක් නොව මිනිස් සිරුරේ සමස්ථ අංගයන් (මුළු සර්වාංගය) ම මෙම උපවාසය ඉටු කලයුතු යන්නයි. එහිදී ඇස, කන, දිව, අත, පය… යනාදී සෑම අවයවයක්ම තම අවයවය තුලින් උපවාසය පිළිඹිබු කලයුතුයි යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එනම් ඇස් මඟින් නොබැලිය යුතු දසුවලින් වැලකී සිටීම, කන් මඟින් නොඇසිය යුතු දෑ වලින් වැලකී සිටීම, දිව මඟින් කථා නොකලයුතු අනවශ්‍ය හා පාපකාරී වදන්වනලින් වැලකී සිටීම… යනාදී වශයෙන් පෙලගැසීමට හැක. ඒ ආකාරයට අන කරන ඉස්ලාම් ඉහත නබිවදන මඟින් කරුණු දෙකක් දැඩිව අවධාරණය කරයි. ඒ පිලිබදව අවධානය යොමු කලේනම්,

ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව “මුසාව” යන්න මහා පාපයන් කිහිපය අතුරින් එකකි. ඒ පිලිබදව ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනයේ පැවසීමේ දී,

“ෆිර්අවුන්ගේ පවුල තුල ඊමානය (දේව විශ්වාසය) වසන් කොට ජීවත් වූ කෙනෙකු ‘මගේ දෙවියන් අල්ලාහ්ය!’යනුවෙන් පැවසීම හේතු කොටගෙන නුඹලා ඔහුව ඝාතනය කරන්නේද?. තවද සත්‍ය වශයෙන්ම ඔහු දෙවියන්ගේ සැබෑ දහම නුඹලා හමුවට ගෙනවිත් ඇත. ඔහු මුසාවක් පවසන්නෙකු නම් එම මුසාව ඔහුටම නිගාවක් (ගෙන දෙනු) ඇත. ඔහු සත්‍යවන්තයෙකු නම් ඔහු අනාවැකි පවසන යම් යම් මඟපෙන්වීම් (අනාගතයේ දී) ඔබ හමුවට පැමිණෙනු ඇත! නියත වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්ම වූ බොරුකාරයන් යහමඟ නොගන්වන්නේය.”

ශුද්ධ වූ කුර්ආනය 40-28

“(නබිවරයාණනි!) නුඹ විමසන්න ‘මනුෂ්‍යයන් නොමඟ යැවීම පිණිස අඥානයෙන් අල්ලාහ් සම්බන්ධයෙන් මුසාවන් ගෙතූවන්ට වඩා අපරාධකරුවන් කවුරුන්ද? නියත වශයෙන්ම අල්ලාහ් මෙවන් අපරාධකාරී පිරිසට යහමඟ පෙන්වන්නේ නැත.”

ශුද්ධ වූ කුර්ආන් 6-144

ඉහත වාක්‍යයන් දෙක හොදින් විමසා බලන්න “මුසාව” සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය තුමක්ද? යන්න එවිට ඔබට පහසුවෙන් අවබෝධ වනු ඇත. මෙම උපවාස මාසයේ දැඩි සැලකිලීමත්ව හා උනන්දුවෙන් ආහාර පානවලින් වැලකීම උපවාසය රුකගන්නට උත්සාහ කරන බොහෝ පිරිස් විශේෂයෙන් තරුණ පිරිස් මෙම මුසාවෙන් කොතරම් දුරකට වැලකී කටයුතු කරනවාද? එක් පසෙකින් දවස ගෙවාදැමීමට කල්ලි ගැසී කථා කරන මුසාවන් සමස්ථ සමාජයේ උපවාසය ගිල ගනිද්දී තවත් පසෙකින් ඉස්ලාම් දහමේ ආරක්ෂකයින් ලෙස හදුන්වන ආගමික විද්වතුන් හා පූජකවරුන් ආගම නමින් “ඉස්ලාම් දහමට කිසියම් මහිමයක් ගොඩනැඟීම පිණිස” යයි සිතාගෙන මුසාවන් ගොතමින් මුස්ලීම් සමාජයේ උපවාසය ගිල ගනිමින් සිටී. අවාසනාවන්ත ලෙස මුස්ලිම් සමාජය විවිධ කොටස්වලට බෙදා තම කොටස පුළුල් කර ගැනීම පිණිස මුස්ලීම් ජනතාව හමුවේ මුසාවන් ගොතන පූජකවරුන් හා විද්වතුන් මේ පිලිබදව මෙම රමලානයේ පටන් හෝ සැලකිලීමත් වියයුතුය. විවිධ ආකාරයේ මුසාවන් ගොතමින් තම දහම වෙත ජනතාව ආකර්ශණය කිරීමට ගන්නා උත්සාහයන් වර්ථමාන ලොව තුල සුළභ දසුනක් යන්න සැබෑවකි. නමුත් ඉස්ලාම් දහම තුල ඒ සදහා කිසිදු ඉඩක් නැති බව තරයේ මතකයේ රදවා ගැනීම අත්‍යඅවශ්‍ය වේ. එය තමා මුහම්මද් (සල්) තුමාණන් මෙසේ දේශනා කලේ,

“සත්‍යයයේ පිහිටා ක්‍රියා කරන්න. එය යහමඟ වෙත මඟ පෙන්වනු ඇත. කිසිවකු සත්‍යය කථා කොට එය මතම පිහිටා ක්‍රියා කරයි නම්, අල්ලාහ් (දෙවියන්) හමුවේ ඔහු “සත්‍යවන්තයෙකු” යනුවෙන් සටහන් වන්නේය. මුසාවට බියවන්න. මන්ද මුසාව අකුසල වෙත මඟ පෙන්වන්නෙය. කිසිවකු මුසාවන් පවසමින් එය තුලම ජීවත් වන්නේද? (ඔහුට) අල්ලාහ් හමුවේ “බොරුකාරයා” යනුවෙන් සටහන් වන්නේය.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්

තවත් අවස්ථාවක නබිතුමාණන් මෙසේ පැවසූවේය…

“කවුරුන් හමුවේ ගුණාංග 04ක් පවතින්නේ ද ඔහු ‘මුනාෆික්’ (යනු මුස්ලීම් ලෙස සමාජයට බොරුවට රඟ දක්වන්නා) වන්නේය. හතරින් එකක් පැවතුනත් මුනාෆික්වරයෙකුගේ අංගයන් ඔහු තුල පවතින්නේය. එයත් අත්හරිනතාක් මුනාෆික්වරයෙකු වන්නේය. එනම් (එම අංගයන් නම්),

  • කථා කලේනම් මුසාවන්ම කථා කරන්නේය
  • පොරොන්දූ දුන්නේ නම් එය කඩකරන්නේය
  • නඩු කථා කලේනම් අසාධාරණයන් සිදුකරන්නේය
  • ගිවිසුම් ගතවුයේ නම් එම ගිවිසුම් නොපිලිපදින්නේය

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්

ඉහත හදීසයන් හොදින් විශ්ලේෂණය කලේනම් “මුසාව” යන්න ඉස්ලාම් කොතරම් බරපතල වූ වරදක් ලෙස දකිනවාද? යන්න අවබෝධ කරගැනීම තවදුරටත් අපහසු නොවනු ඇත. වර්ථමාන සමාජය සැලකූ විට බොරුව යන්න සමාජ පැවැත්මේ අත්‍යඅවශ්‍ය අංගයක් බවට පත්වෙමින් පවතී. ව්‍යාපාරය, ගනුදෙනු, පවුල් තුල හා අසල්වැසියන් සම්බන්ධයෙන්… යනාදිය සම්බන්ධයෙන් මුසාව නැතුවම බැරි තැනකට සමාජය පරිවර්ථනය වෙමින් සිටී. මෙම මුසාව කෙමෙන් කෙමන් සමාජ පැවැත්මේ මූලික අවශ්‍යතාවයක් බවට පරිවර්ථනය වෙමින් පවතින අවධියක දිව්‍යමය මඟාපන්විම මත පිහිටා ආදර්ශමත් ලෙස කටයුතු කිරීමේ මහඟු අවස්ථාව මුස්ලීම් සමාජයට පවතී. මීට වසර 1400 කට පෙර මෙම සමාජ තත්වය අවබෝධ කරගත් ඉස්ලාම් ඉහත ආකාරයට ගුණාංග 04 ක් සදහන් කොට මිනිස් සමාජයට අවවාද කරන්නේ අතීත සමාජය දෙස බලා නොව අප දෙස බලාහිද ද යන්න සිතන්නට හැඟේ. ඒ තරමට එම අංග 04 එනම් “කථා කලේනම් මුසාවන්ම කථා කිරීම, පොරොන්දූ දුන්නේ නම් එය කඩ කිරීම, නඩු කථා කලේනම් එහි අසාධාරණයන් සිදුකිරීම හා ගිවිසුම් ගතවුයේ නම් එම ගිවිසුමට එරෙහිව වීම” යනාදීය අපේ ජීවිතවලට සමීප වෙලා නොවේද? මෙවන් වූ මුසාවන් ජීවිතය තුල පුරවාගෙන උපවාසය නමින් කුසගින්නේ සහා පිපාසිතව හිදීම තුල දිනා ගතහැකි කිසිවක් අපට තිබෙනවාද? ඉහත හදීසයෙන් පවසනවා සේ “…කුසගින්නේ සිටිමෙහි හා පිපාසයේ නිරතවීමෙහි අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවයක් නැත…” යන්න තුලින් මුස්ලිම් සමාජයට කුමක් අවධාරණය කරනවාද යන්න ඔබට වැටහෙනවාද? තවදුරටත් මෙය අවබෝධ කරගැනීම පිණිස එනම් කාලය ගෙවා දැමීමට හෝ වෙනයම් ලෞකික අරමුණක් උදෙසා සමාජය තුල මුසාව වපුරන පිරිසට මෙන්ම ආගම නමින්ම මුසාව වපුරවමින් තම දහමට කිසියම් මහිමයක් එක් කරන්නට වෙර දරණ සෑම පිරිසකගේ ම අවධානයට තවත් හදීසයන් කිහිපයක් යොමු කරන්නේ නම්,

“අසන්නට (හා දැනගන්නට) ලැබෙන සියල්ල කථා කිරීම ඔහු මහා බොරුකාරයෙක් යන්නට ප්‍රමාණවත් සාක්ෂියක් වේ.”
මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

“මහා කුමණ්ත්‍රනය කුමක්ද? යත්, අන් පිරිස් සත්‍ය යයි පිලිගන්නා ආකාරයට (විශ්වාස කරන ආකාරයට) මුසාවන් පැවසීමයි.”
මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද්

බොරුව එනම්, බොරු සාක්ෂි, බොරු පොරොන්දුව, බොරු වාද… යනාදීය අද වනවිට ඉස්ලාම් දහමින් පිට නොව දහම තුල පවා සමාන්‍ය අංගයක් බවට පත්වී හමාරය. තරඟකාරී ලෝකය තුල අනිකුත් ආගමික මතවාද අභිබවා තම මතවාදය සමාජය තුල වැපිරීම පිණිස තම දහම පිලිබදව පමණක් නොව අනිකුත් දහමන්ට එරෙහිව මේ බොරුව සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක කිරීම නිරන්තරයෙන් දකින කාරණයකි. අවසාන වශයෙන් එක් හදිසයක් ඔබගේ අවධානයට යොමු කරමින් මීලඟ කාරණයට යොමු වෙමි.

“කවරෙකු අල්ලාහ් (දෙවියන්) හා (මරණින් මතු උදාවීමට නියමිත) විනිශ්චය දිනය විශ්වාස කරන්නේද ඔහු කථා කලේනම් යහපත් දෑ කථා කරත්වා!, නොඑසේනම් නිහඩව සිටිත්වා!”
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්

ඉහත හදීසය මඟින් අවධාරනය කරන දෙවන කාරණය වන “…නිශ්පල හා නොමනා ක්‍රියාවන්ගෙන් ගෙන් වැලකි ජීවත් වීම…” යන්න පිලිබදව අවධානය යොමු කලේනම්,

උපවාසය තුලින් අල්ලාහ් (දෙවියන්) අපේක්ෂා කරන්නේ මිනිස් සමාජය පාපකාරී අයහපත් ක්‍රියාවන්ගෙන් වැලකී ජීවත් වියයුතු යන්නයි. මේ රමලාන් මාසය තුලින් එය එසේ සිදු නොවන්නේ නම් අප රකින උපවසාය පිලිබදව ස්වයං විපරමක් කර බැලීමේ අනිවාර්‍ය වගකීමක් අපට පැවරේ. මන්ද අප රකින උපවාසයේ කිසියම් තැනක වරදක් පැවතීමට හැකි බැවිණි. සත්ක්‍රියාවන් සදහා වූ මහඟු අවස්ථාවක් වන උපවාස සමය තුල එහි නිසි ප්‍රයෝජනය අප ලඟාකර නොගන්නවා නම් එය දෙවරක් සිතා බැලිය යුතු කාරණයකි. මේ උපවාසය තුල යහපත් හැදියාවන් අප තුල නිර්මාණය වියයුතුය. මේ නිසා තමා නබිතුමාණන් වරක් මෙලෙස ප්‍රකාශ කලේ,

“නුඹලාගෙන් කෙනෙකු උපවාසයේ නිරතව සිටිය දී කිසිවකු මොඩකමින් ක්‍රියා (රණ්ඩුවට) කලේනම් ‘මම උපවාසයේ නිරතව සිටිමි’ යනුවෙන් පවසන්න.”
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි, තිර්මිදි

ඉහත හදීසය හොදින් විමසා බැලුවේ නම්, උපවාසය තුලින් මුස්ලීම් සමාජය “නිශ්පල ක්‍රියාවන්ට නැඹුරු නොවී” එවන් අවස්ථාවල පවා ඉවසීමෙන් ක්‍රියාකලයුතු බව අවධාරණය කරයි. මෙවන් වූ මහඟු ගුණාංගය ඉතා අලංකාර ලෙස මිනිස් සමාජයට කියාදෙන මේ උපවාසය තුල එම ගුණාංගයන් අප ප්‍රගුණ කර නොගන්නේ නම් අපගේ උපවාසය තුල අප කුසගින්නේ හා පිපාසයෙන් සිටියාට වඩා කිසිවක් ලබානොගත් පිරිසක් බවට ඒකාන්තයෙන්ම පත්වනු ඇත.

ඉහත හදීසය මඟින් අවධාරනය කරන තෙවන කාරණය වන “…අල්ලාහ් සියළු අවශ්‍යතාවයන්ගෙන් සුවිශුද්ධය…” යන්න පිලිබදව අවධානය යොමු කලේනම්,

මෙතෙක් අප සංවාදයට බදුන් කල හදීසයේ අවසාන කොටසේ සදහන් “…අල්ලාහ් සියළු අවශ්‍යතාවයන්ගෙන් සුවිශුද්ධයි…” යන්න පිලිබදව කෙටි අවධානයක් යොමු කලේනම්, ඉස්ලාමීය මූලික ඉගෙන්වීමන් අතුරින් ප්‍රධාන විෂයක් වන මෙය ශුද්ධ වූ කුර්ආනයේ 112-2 මඟින් අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි.

අල්ලාහ් (දෙවියන්) සියළු අවශ්‍යතාවයන්ගෙන් සුවිශුද්ධය

මීට අමතරව ඒ ආකාරයටම බොහෝ හදීසයන් මෙන්ම ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් තුලින් ද අල්ලාහ් දෙවියන් අවධාරණය කරන මෙම කාරණය ඉහත හදීසය තුලින් අවධාරණය කිරීම මඟින් මිනිස් සමාජයට කියාපාන්නේ “නුඹලා උපවාසය රැකීම මඟින් අල්ලාහ් (දෙවියන්)ට කිසිවක් නොලැබෙන බවත්, නුඹලා උපවාසයේ නිරත නොවීම මඟින් අල්ලාහ් (දෙවියන්)ට කිසිවක් අහිමි නොවන බවත්”ය. මෙය ශුද්ධ වූ කුර්ආනයේ පහත ආකාරයට පැහැදිලිව පවසයි. අප අල්ලාහ් (දෙවියන්)ගේ අනපනත් පිලිගෙන පිලිපදින්නේ අපගේම යහපත උදෙසා පමණි. සමස්ථ ලෝකවාසීන් සියල්ල අල්ලාහ් දෙවියන් තම අවශ්‍යතාවයන් ඉල්ලා සිටියේ ද එයින් අල්ලාහ් (දෙවියන්)ගේ භාග්‍යයන් අතුරින් අංශු මාත්‍රයක් හෝ අඩු නොවේ. එසේම සමස්ථ මිනිස් සමාජයම අල්ලාහ් (දෙවියන්) පිලිගෙන ඔහු වැදුම් පිදුම් කල ද එයින් ඔහුට කිසිවක් වැඩි වන්නේ ද නැත. එසේම සමස්ථ ලෝකවාසී ජනයා සමූහිතව දෙවියන් ප්‍රතික්ෂේප කල ද එයින් ඔහුට අංශුමාත්‍රයක බලපෑමක් ඇති වන්නේත් නැත. මේ අනුව උපවාසය තුලින් දෙවියන් අපෙක්ෂා කරන්නේ යහපත් මනුෂ්‍ය සමාජයක් මිස “දෙවියන්ට කිසියම් මහිමයක් හෝ වරප්‍රසාදයක් දිනාදෙන හෝ ලඟාකරවන මිනිස් සමාජයක් නොවේ” යන්න පැහැදිලිය. එසේනම් උපවාසය තුලින් අපේක්ෂා කරන එම ඉලක්කයන් මේ උපවාසයේ පටන් හෝ සමස්ථ මුස්ලීම් ප්‍රජාව දිනාගැනීමට අධිෂ්ඨාන කරගත යුතුය. ඒ සදහා උපවාසය මුළු මිනිස් සමාජයට ලබාදීමේ අරමුණු පවසන දිව්‍යමය වාක්‍යය ඔබට මහඟු පිටුවහලක් වනු ඇත. ඒ ශුද්ධ වූ කුර්ආනයේ 2-183 මඟින් අල්ලාහ් (දෙවියන්) පවසන පහත වාක්‍යයි. එම වාක්‍යය ඔබගේ අවධානයට නැවත නැවතත් යොමු කරමින් අවසාන වශයෙන් ඉස්ලාම් අපේක්ෂිත අරමුණු කරා ලඟා වූ මුස්ලීම් ප්‍රජාවක් උදෙසා මේ රමලානය අපට මඟපෙන්වා දෙත්වා! යන්න ප්‍රාර්ථනා කරමි.

“විශ්වාසවන්තයිණි! නුඹලාට පෙර විසූ සමාජයට අනිවාර්‍ය කලාසේම නුඹලාටත් උපවාසය අනිවාර්‍ය කර ඇත. (ඒ මඟින්) නූඹලා බියබැතියන් වනු පිණිසය.”

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *