යහගුණ – ඉස්ලාමීය විමසුමක්

0

ඉස්ලාම් දහම එහි අනුගාමිකයන් හට නිරන්තරයෙන් දේව වන්දනය පමණක් අණ කරන ජීවිත කාලයම ඒ වෙනුවෙන් පමණක් කැප කරන්න උගන්වන ලොව තවත් දහමක් නොවේ. මෙය ලෝකොත්තර දිවිය තරමටම විටෙක ඊටත් වඩා ඉදිරියට ගොස් ලෞකික දිවිය පිලිබදව හා එහි මනුෂ්‍යා සතු  යුතුකම් හා වගකීම් පිලිබදව ගැඹුරින් කථා කරන දහමකි. එය ‘යහමඟ’ අඩවිය තුල මීට ඉහත සාකච්චා කල ‘ලෞකික දිවිය හා ලෝකොත්තර විමුක්තිය’ යන ලිපිය කියවීම තුලින් ද තරමක් දුරකට අවබෝධ කරගත හැක. මේ ආකාරයට ලෞකික දිවිය තුල මනුෂ්‍යා සතු වගකීම් පිලිබදව ඉස්ලාම් දහම කථා කිරීමේ දී ‘යහගුණ’ එහි ප්‍රධාන අංගයක් ලෙස විටක ‘ඉස්ලාම් දහමේ එකම අරමුණ මනුෂ්‍යා තුල ‘යහගුණ’ ගොඩනැඟීම ද?’ යන්න සිතෙන තරමට ඒ විෂය පිලිබදව ගැඹුරින් කථා කරයි. එය ‘යහමඟ’ අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කල  ආගම් හා මනුෂ්‍යත්වය, ගතිගුණ අතින් අපි තවමා…, යනාදි ලිපි තුලින් මෙන්ම ‘යහගුණ‘ නම් පෙලගැසීම තුලින් ද ඔබට තරමක් දුරකට හෝ අවබෝධයක් ලබාදුන් බව මා විශ්වාස කරමි.

ඉස්ලාම් දහම ‘මනුෂ්‍යා තුල වර්ධනය කර ගතයුතු යහගුණ’ පිලිබදව වැදගත්කමක් ලබාදී කථා කරන බව මා පැවසුවත් ‘යහඟුණ පිලිබදව කථා කරන එකම දහම ඉස්ලාම්’ යයි මෙතැන දී වැරදි වැටහීමක් මුස්ලීම් සමාජය ඇති කරගත යුතු නැත. මන්ද ලොව බොහෝ දහමන් හා දර්ශනයන් මනුෂ්‍යා තුල වර්ධනය කරගත යුතු ‘යහගුණ’ පිලිබදව කථා කරයි. එසේ තිබියදී මා මේ ලිපි මාලාව තුලින් ‘යහගුණ’ පිලිබදව කථා කිරීමට අදහස් කරන්නේ ‘ඉස්ලාම් දහමත් එය කථා කරනවා යන්න’ සමාජයට ඒත්තු ගැන්වීමට නම් නොව, ලොව අනිකුත් දහමන් දර්ශනයන්ට සාපේක්ෂව ඉස්ලාම් එය කොතරම් ගැඹුරින් හා සවිස්තරව කථා කරනවාද? යන්නත්, එම ඉගෙන්වීමන් කාලීනව නොව සර්වකාලීනව කොතරම් වලංගු ‍වෙනවාද? යන්නත් පිලිබදව සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම පිණිසය. විශේෂයෙන් දහමක් දර්ශනයක් කාලීනද? සර්වකාලීනද? යන්න ලොවපුරා සංවාදයට ගැනෙන එසේම අභියෝගාත්මක මෙන්ම උණූසුම් මාතෘකාවක් වී ඇති මේ යුගයේ සමයාන්තර අධ්‍යනය තුලින් සර්වකාලීන දහම සොයා යන බුද්ධිමතුන්‍ට ප්‍රබල නිර්ණායකයක් පිලිබදව ඉඟි ලබාදීම පිණිස මේ විෂය මෙලෙස සාකච්චාවට ගැනෙන අතර එය ‘යහමඟ’ මීට පෙර ඉදිරිපත් කල ‘ඔබේ දහම කාලීන ද? සර්වකාලීන ද?’ යන ලිපිය තුලින් පාඨක ඔබට ලබාදුන් පොරොන්දුවක් ද වේ.

ඒ අනුව ඉස්ලාමීය දිව්‍යමය වදනක් තුලින් මාතෘකාව සදහා ප්‍රවේශයක් ලබා ගන්නේ නම්, ශුද්ධ වූ කුර්ආනය තුලින් අල්ලාහ් (දෙවි) මිනිස් සමාජයට මෙසේ පවසයි.

නුඹලාගෙන් කවුරුන් කාර්‍යයන්ගෙන් ඉතා අලංකාර වන්නේද යන්න පරීක්ෂා කර බැලීම පිණිස, ඔහු නුඹලාට මරණය හා ජීවිතය දායාද කොට ඇත.

ශුද්ධ වූ කුර්ආනය 67-2

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුලින් මනුෂ්‍යාගේ පෘථිවි සම්භවයේ අරමුණ ඉතා සරලව හා පැහැදිලි සදහන් කරයි. ඔහුව විනිශ්චය කරනු පිණිස ජීවයක් හා මරණයක් ලබාදුන් අල්ලාහ් (දෙවි) විනිශ්චයේ තීරණාත්මක සාධකය ලෙස ‘කාර්‍යයන්ගෙන් අලංකාර’ බව නොඑසේ නම් ‘යහක්‍රියා’ යන්න පවසයි. මේ ආකාරයට මනුෂ්‍යාගේ ‍ලෞකික දිවියේ අරමුණ ශුද්ධ වූ කුර්ආනයේ සරල වාක්‍යයක් තුලින් මනාව විග්‍රාහ කරන විට අල්ලාහ් (දෙවි)ගේ අවසාන දූතයාණන් හෙවත් වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ද තම දහම් මෙහෙවර ඉතා සරලව හා පැහැදිලිව මෙසේ පවසයි.

යහගුණ පරිපූර්ණ කරනු පිණිසම, අල්ලාහ්(දෙවි) හමුවේ සිට මාව (මෙලොවට) එවා ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුඅත්තා

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුලින් මිනිසාගේ පෘථිවි සම්භවයේ අරමුණ වන ‘කාර්‍යයන්ගෙන් ඉතා අලංකාර වුවන් කවුරුන්ද?’ යන්න තීරණය කිරීම පිණිස, යනුවෙන් මනුෂයාගේ ලෞකික දිවියේ ඒකායන පරමාර්ථය අවදාරණය කරන ඉස්ලාම් දහම ඊට පසුව නබිතුමාණන්ගේ පහලවීමේ අරමුණ පැවසීමේ දී ‘යහගුණ පරිපූර්ණ කරනු පිණිස’ යයි නොපවසා ‘යහගුණ පරිපූර්ණ කරනු පිණිසම’ යයි එතුමාණන්ගේ ඒකායන මෙහෙවර ද පැහැදිලි කරයි. ලෝකයේ පවතින බොහෝ ආගම් හා දර්ශන ඇදහිලි, වතාවත්, පූජාවන්… තුලින් හා දෙවියන් වෙනුවෙන් තම දිවිය තුල සියල්ල කැපකොට ලබාගන්නා විමුක්තියක් පිලිබදව කථා කරන විට දිව්‍යමය මඟපෙන්වීම වන ශුද්ධ වූ කුර්ආනය හා හදීසය (නම් මුහම්මද් (සල්) තුමාණන්ගේ (වදන්, ක්‍රියාවන්, අනුමත කිරීමන් යනාදී ආදර්ශ)) මත ගොඩනැගුණූ ඉස්ලාම් දහම මනුෂ්‍යා තුල වර්ධනය කර ගතයුතු ‘කාර්‍යයන්ගෙන් අලංකාර බව’, එසේත් නැත්නම් ‘යහක්‍රියාව’ නොඑසේ නම් ‘පරිපූර්ණ යහගුණ’ පිලිබදව මෙතෙරම් අවදාරණය කරමින් ඒ කෙරෙහි මනුෂ්‍යා උනන්දු කරනවා නම්, මේ ඉස්ලාම් දහමේ මූලික අරමුණ කුමක්ද? යන්නත්, එය මනුෂ්‍යා මෙහෙය වන්නේ කුමන ඉසව්වක් කරාද? යන්නත්, එම අවශ්‍යතාවය කාලීන ද? සර්වකාලීන ද? යන්නත් විවෘත මනසින් බලන සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට පවා තීරණය කිරීම අපහසු නොවේ.

වර්ථමාන ලෝකය සැලකූවිට විශේෂයෙන් අපේ රට සැලකූවිට මනුෂ්‍යා තුල වර්ධනය කරගත යුතු ‘යහගුණ’ පිලිබදව අවවාද අනුශාසනා, සංවාද මණ්ඩප, මාධ්‍ය සාකච්චා, පුවත්පත් ලිපි, හා කෘති එලිදැක්වීමන්… යනාදියෙහි කිසිදු අඩුවක් නැත. නමුත් ඒවා සියල්ල තුලින් සමාජයට කර ඇති බලපෑම විමසා බලන්නේ නම්, බොහෝ විට වාග් මාලාවන්ට හා අකුරුවලට පමණක් සීමා වී තිබෙනවා මිස ඉන් ඔබ්බට එයින් කිසිදු පලක් වී නැත. මන්ද ඒ තරමට අද සමාජය තුල යහගුණ පිරිහී හා පිරිහෙමින් ඇත. මෙය සමාජය හොදින් විපරම් කර බලන ඕනෑම කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගත හැක. දිනෙන් දින දියුණූවේ ඉනිපෙත්තට ගමන් කරන මිනිසා යහගුණ වර්ධනය කරගැනීම තුලද කිසියම් දියුණූවක් ලබා ගතයුතුව ඇතත් අද සිදුව ඇත්තේ දිනෙන් දින මනුෂ්‍යා තුල සාරධර්ම එහි යහගුණාංග පිරිහෙමින් අඳුරු යුගයක් කරා පියමැනීමයි. විශේෂයෙන් නූතන මිනිසා තරඟකාරී ජීවිතයකට හුරුවීමත් ඒ තුල කෙසේ හෝ තාන්නමාන්න, මිලමුදල්, සැපසම්පත්… යනාදීය දිනාගැනීම අරමුණ කරගෙන එය හඹායාම නිසා සමාජය තුල යහගුණාංග පිරිහීයාම සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ඇත. මෙය කොතරම් අවාසනාවන්ත තැනකට යොමුව තිබෙනවාද? යන්න පවසනවා නම්, මේ යහගුණ මිනිස් සමාජයට දේශනා කරන ආගමික විද්වතුන්, පූජකවරුන් හා ශාස්තෘවරුන්ගේ ක්‍රියා කලාපයන් තුල පවා අද යහගුණ වෙනුවට තවත් ආගමක්, එහි නිකායක් නොඑසේ නම් වෙනත් ජන සමූහයක් කෙරෙහි වූ වෛරය, ඊර්ෂ්‍යාව, වියරුව… වැනි දුර්ගුණාංගයන් ආදේශ වී ඇත. අපේ රට පදනම් කරගෙන මෙම කාරණය විමසා බලන්නේ නම්, මෙහි තවත් භයානක තත්වයක් අප දකින්නෙමු. එනම්, මෙවැනි දුර්ගුණාංග සාමාන්‍ය මිනිස් ස්වභාවයන් ලෙසත්, ඒවා පාලනය කල නොහැකි තත්වයන් ලෙසත් මතවාද ගොඩනඟමින් ඒවා සාධාර්ණීකරන කරන තැනකට රටේ පාලකයින්, බුද්ධිමතුන් හා ආගමික නායකයින් ක්‍රියා කරන තැනට යොමුව ඇත. මෙතැන දී මීට වසර 1400 කට පෙර අරාබි දේශයට පහල වු ශ්‍රේෂ්ඨ පාලක, ආගමික නායක මෙන්ම දේව වක්තෘවරයාණන් ද වන මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් (දෙවි) හමුවේ කල ප්‍රාර්ථනාවක් සිහියට නැ‍‍ගේ. එනම්,

‘මාගේ දෙවියනේ !, මාව අලංකාර ලෙස නිර්මාණය කලාසේ මාගේ ගුණාංග ද අලංකාර කරනු මැනව‘

දන්වන්නේ – ඉබුනු මස්වූද් (රලි) තුමා දන්වයි.

මූලාශ්‍ර ග්‍රන්ථය – ඉබුනු හිෆ්ෆාන්

පෙර පසු පව් සමාන ලද එසේම ස්වර්ගය පිලිබදව සුභාරංචි ලද අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් පවා දෙවියන් හමුවේ මේ ආකාරයට නිතර යහගුණ ප්‍රාර්ථනා කලා නම්, එය මනුෂ්‍යා හට ඒ තරම් පහසු කාර්‍යයක් නොවන බව පැහැදිලිය. විශේෂයෙන් නූතන ලෝකයේ ලෞකික සැපසම්පත් තුල ගිලීගිය සමාජයට එය ප්‍රබල අභියෝගයකි. එසේනම් මනුෂ්‍යත්වයට වඩා සියල්ල මිලමුදලට තීරණය වන නූතන සමාජය තුල ජීවත් වන ඔබ අප මේ පිලිබදව කොතරම් නම් සැලකිලීමත් වියයුතුද?. මොහොතක් මුහම්මද් (සල්) තුමාණන්ගේ වක්තෘ මෙහෙවර විමසා බලන්න. එහි මුහම්මද් (සල්) තුමාණන් රාජ්‍ය නායකයෙකු ලෙසත්, ආගමික ශාස්තෘවරයෙකු ලෙසත්, සමාජයේ වංශවත් කුලයක හිමිකරුවකු ලෙසත්, විටෙක වෙළද කටයුතුවල ජනප්‍රිය ව්‍යාපාරිකයෙකු ලෙසත්, තම බිරින්දෑවරුන් හමුවේ සාර්ථක ස්වාමිපුරුෂයකු ලෙසත්, දරුවන් හමුවේ සාර්ථක පියෙකු ලෙසත්, විටෙක යුධ පෙරමුණේ හා සිරකරුවන් හමුවේ සේනාධි නායකයෙකු ලෙසත්, පොදු ජන සමාජයේ සියළු ජනයා‍ගේ ආකාර්ශනය දිනාගත් පුද්ගලයෙකු ලෙසත්… වසර 23 ක කාර්‍ය බහුල දහම් මෙහෙවර තුල එතුමාණන්ගේ ගුණාංග සම්බන්ධයෙන් උතුම් වර්ණනාවන් මිස කිසිදු විටෙක විවේචනයක් දක්නට නැත. එවකට පැවති ඉස්ලාම් විරෝධි සමාජය එතුමාණන්ට එරෙහිව නොයෙක් වූ කුමණ්ත්‍රන හා බොරු ප්‍රචාරයන් දියත් කරන සමාජයක් වුවද එතුමාණන්ගේ ගුණාංග මූලික කරගෙන කිසිදු විටෙක විවේචනයන් ඉදිරිපත් කිරීමක් ඔවුනට හැකි වී නැත. මෙයට ‘යහමඟ’ අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කල  ‘මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහි වූ සමකාලීනයෙකු නිරුත්තරයි යන ලිපිය ද හොදම නිදසුනකි. අද යහගුණාංග පිලිබදව පැය ගණන් දේශනා කරන නොඑසේ නම් පොත් පිටු ගණන් ලියූ පිරිස් ඔබට සමාජය තුල අඩුවක් නැතුව දැකිය හැක. නමුත් ඒ කියූලියූ දෑ ඔවුන්ගේ දිවිය තුල කොතරම් ප්‍රායෝගික වී තිබෙනවාද? යන්න විමසුම් ඇසින් බලන්නේ නම්, ඔවුන් බොහෝ පිරිසකගේ ඉගෙන්වීමන් වැදිබණ පමණක්ම බව ඔබට ම අවබෝධ වනු ඇත. නමුත් මුහම්මද් (සල්) තුමාණන්ගේ ඉගෙන්වීම එසේ වචනයට පමණක් සීමා වූ එකක් නොවූ බව ඉහත කරුණූවලින් මෙන්ම මීට පෙර ‘යහමඟ‘ අඩවිය තුල ‘යහගුණ’ සම්බන්ධයෙන් ලියවුනු ලිපි තුලින් ද තරමක් දුරකට අවබෝධ වනු ඇත. කෙසේ වෙතත් මේ ‘යහගුණ’ නම් විෂය යටතේ මෙතැන් සිට ලියවෙන මෙම ලිපි පෙල එයට හොදම සාක්ෂියක් වනු නොඅනුමානය.

ඊටත් ප්‍රථම වර්ථමාන සමාජය තුල යහපත් මනුෂ්‍යාට අත්ව ඇති ඉරණම පිලිබදව කෙටි විමසුමක් කිරීම මෙම විෂය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට හේතු වනු ඇතැයි සිතමි. එහිදී වර්ථමාන සමාජයේ ජනප්‍රිය කියමනක් සිහියට නැඟේ එනම්, ‘අද හොද මිනිහට ඉඩක් නැහැ‘ යන්නයි. මීට අමතරව ‘යහපත්‘, ‘හිත හොද‘ මිනිසුන් සම්බන්ධයෙන් උපහාසාත්මක කියමන් රාශියක් ද වර්ථමාන සමාජය තුල නිතර අසන්නට ලැබේ. එපමණක් නොව සමහරක් අවස්ථාවල මනුෂ්‍යාගේ යහගුණාංග සමාජය තුල කපටිකම්, නිවටකම්, බියගුලුකම්, මොඩකම්… යනාදී ලෙසත් හදුන්වාදෙන හා හදුනාගන්නා නරුම තත්වයන් ද අනන්තවත් දක්නට ඇත. නිදසුනක් ලෙස කිසියම් ආයතනයක සේවය කරන සේවකයෙකු එහි රාජකාරී කටයුතු උනන්දුවෙන් ඉටුකරන විට එසේ කටයුතු නොකරන පිරිස් ඔහු ‘මෝඩයෙකු‘ ලෙසත්, එහි සේවකයින් සමඟ සුහඳව වැඩ කරන විට එසේ නොකරන පිරිස් ඔහු ‘නිවටයෙකු‘ ලෙසත්, නොඑසේ නම් යටි අරමුණක් ඇතුව කටයුතු කරන ‘කපටියෙකු‘ ලෙසත් මේ යහගුණාංග තක්සේරු කිරීම අද සුලභ දසුනක් වී ඇත. මෙවන් සමාජ පසුබිමක ‘යහගුණ’ තුලින් සාර්ථක දිවියක් අපේකෂා කරනවා මිස අප තුල ගොඩනඟාගත් උතුම් ගුණාංගයන් අහිමි කර ගතයුතු නැත. මන්ද අපගේ ඉලක්කය සාර්ථක ලෞකික දිවයික් පමණක් නොව ලෝකොත්තර විමුක්තියක් ද වන බැවිණි. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් නැවතත් මාතෘකාවට යො‍මු වන්නේ නම්,

‘යහඟුණ‘ කෙරෙහි මිනිස් සමාජය උනන්දු කරන ඉස්ලාම් දහම එවැනි ගුණාංග මනුෂ්‍යා තුල වර්ධනය කර ගැනීම තුලින් ඔහුට අත්වන යහපත කුමක්ද? යන්නත් ඉස්ලාම් දහම පුළුල්ව කථා කරයි. ඒ පිලිබදව ද කෙටියෙන් හෝ මෙහිදී විමසා බලන්නේ නම්,

(මරණින් මතු උදාවන විනිශ්චය දිනය හෙවත්) ‘කියාමත්‘ දිනයේ (කුසල් අකුසල් කිරා බලන) තරාදියෙහි යහපත් ගුණාංගවලට වඩා කිසිවක් බරින් වැඩි නොවනු ඇත

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

නබිතුමාණන් පැවසූ බවට අබූ උමාමා (රලි) තුමා දන්වයි. ‘කෙනෙකු සත්‍ය (මාර්ගය) දරා සිටිය දී පවා වාද විවාද නොකර සිටින්නේ නම්, ඔහු වෙනුවෙන් ස්වර්ගයේ එක් මුල්ලක මාලිගාවක් ලබාදීමේ වගකීම මා භාරගන්නෙමි. කවට කථා පවසන්නෙකු ඔහු මුසාවන් පැවසීමෙන් වලකින්නේ නම්, ඔහු වෙනුවෙන් ස්වර්ගය මධ්‍යයේ මාලිගාවක් ලබාදීමේ වගකීම මා භාරගන්නෙමි. තම ගුණාංග යහපත් ආකාරයට සකසාගත් තැනැත්තෙකු හට ස්වර්ගයේ ඉහලම තැනක මාලිගාවක් ලබාදීමේ වගකීම මා භාරගන්නෙමි‘

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්

ඉහත හදීසයන් තුලින් මනුෂ්‍යයෙකු තුල වර්ධනය කර ගතයුතු ‘යහගුණාංග‘ වල මහිමය හා එහි අවශ්‍යතාවය අවබෝධ කරගැනීම ඔබට අපහසු නොවනු ඇත. විශේෂයෙන් මුස්ලීම්වරයෙකු ‘ලාඉලාහ් ඉල්ලල්ලාහ් මුහම්මදුර් රසූල්ලුල්ලහ්‘ (අල්ලාහ් (දෙවි) හැර වෙනත් දෙවියෙක් නැත. මුහම්මද් (සල්) ඔහුගේ දූතයාය) යයි ‘කලිමාව‘ පැවසූ පමණින් මුස්ලීම් වන්නේ නැත. අල්ලාහ් (දෙවි)ගේ නියෝගයන් හා මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟපෙන්වීන් තම ජීවිතයට හැකි පමණින් ගලපා ක්‍රියා කිරීම ද අනිවාර්‍යය. මනුෂ්‍යාගේ උපතේ පටන් ඔහු මියදෙන මොහොත දක්වා ඔහුගේ සෑම සියළු චලිතයකදීම ඔහුගේ ගතිගුණ කවර ආකාරයට පැවතිය යුතු ද යන්න ඉස්ලාම් පැහැදිලිව හා සවිස්තරව පවසා පමණක් නොව නබිතුමාණන් තුලින් ප්‍රායෝගික කොට ආදර්ශ ද ලබා දී ඇත. (මේ පිලිබදව මෙම ලිපි පෙල තුල පියවරින් පියවර ඉදිරියට සාකච්චා කෙරේ) මේ සියල්ල හෝ කිහිපයක් ප්‍රතික්ෂේප කොට එසේත් නැත්නම් නොසලකා හැර කථා කලහැකි ඉස්ලාමයක් මුස්ලීම්වරයෙකුගේ දිවිය තුල පැවතිය නොහැක. එම යථාර්තය මුස්ලීම් සමාජයට පමණක් නොව මුස්ලීම් නොවන සහෝදර ජනයාටත් අවබෝධ කරදීම පිණිස මෙවැනි විෂයක් ‘යහමඟ’ තුල සාකච්චා කෙරේ. මේවා තේරුම් ගැනීමට ගැඹුරු හැදෑරීම් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අවංක මෙන්ම විවෘත වූ මනසක් පමණි. නමුත් පටු මතවාදයන් හා ආකල්ප තුල කොටු වී ජීවත් වන මිනිසා එලෙස විවෘත මනසින් මෙම ඉගෙන්වීමන් දෙස බැලීමට තවම සූදානම් නොවීම අවාසනාවකි. එය ශුද්ධ වූ කුර්ආනය තුලින් අල්ලාහ් (දෙවි) අවවාදාත්මක ලෙස මෙසේ පවසයි.

ඔවුනට හඳවත් ඇත්තේය, නමුත් ඒ තුලින් ඔවුන් යහපත් දෑ අවබෝධ කර නොගන්නේය. ඔවුනට නේත්‍ර තිබෙන්නේය, නමුත් ඒ තුලින් ඔවුන් (දෙවියන් ලබාදී ඇති සාක්ෂීන්) නොබලන්නේය. ඔවුනට කන් ඇත්තේය, නමුත් ඒ මඟින් (යහපත් දෑ) සවන් නොදෙන්නේය. මොවුන් සිවුපා සතුන් මෙනි, නැත (නැත) ඔවුනට වඩා පහත් තත්වයෙනි. මොවුන් තමා අපගේ වදන්  නොසලකා හරින්නන්

ශුද්ධ වූ කුර්ආනය 7-179

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය කෙරෙහි සමස්ථ සමාජයේම බුද්ධීමත් අවදානය යොමු වියයුතුව ඇත. විශේෂයෙන් මුස්ලීම් සමාජයේ අවධානය යොමු වියයුතුව ඇත. මිට වසර 1400 කට පමණ ලොව එක්තරා මුල්ලක තවත් පසෙකින් කාන්තාරයක් මධ්‍යයේ එපමණක් ද නොව මනුෂ්‍යත්වය වෙනුවට තිරිසන් මිලෙච්ඡත්වය ආදේශ වී පැවතී ‘ජාහිලායා‘ නම් අඥාන සමාජයක් මධ්‍යයට පහල වූ ඉස්ලාම් දහම සීඝ්‍රයෙන් ලොවපුරා ව්‍යාප්ත වුයේ, එය ඉහත දිව්‍යමය වදන්වල බලපෑමට වඩා එය දරා සිටී චරිතවල බලපෑම නිසාය. ‘ඉස්ලාම්‘ නම් සුභාරංචිය රුගෙන ලොවපුරා විසිර ගිය සහාභාවරුන් (නබිතුමාණන්ගේ සමකාලීනයන්)ට ඒ ඒ ප්‍රදේශවල ඉහල පිලි ගැනීමක් මෙන්ම යහපත් ප්‍රතිචාරයන් ද හිමිවුයේ ඔවුන් තුල පැවතී ඉස්ලාමීය සාරධර්ම නිසාය. සහාභාවරුන් තුල පමණක් නොව ඔවුන්ගෙන් ආදර්ශ ලද ඊට පසුකාලීන සමාජයන් තුලත් මේ ඉස්ලාමීය සාරධර්ම වර්ධනය වීමේ ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල පවා මුස්ලීම්වරුන් ව්‍යාප්ත වීමට හේතුවිය. (මෙය මීට ඉහත යහමඟ අඩවිය තුල ඉදිරිපත් කල ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් යන ලිපිය තුලින් සාකච්චා කොට ඇත) නමුත් අද තත්වය ඊට වෙනස්ය. අද මුස්ලීම්වරුන් දැක ඉස්ලාමය කරා පැමිණෙන්න තරම් ඉස්ලාම් දහම තුල මුස්ලීම්වරුන් ආදර්ශමත් වී නැත. එය කොතරම් අවාසනාවන්ත තැනකට යොමුව තිබෙනවාද? යන්න පවසනා නම්, වර්ථමානයේ ඉස්ලාම් දහම වැලද ගන්නා බොහෝ පිරිස් පවසන ජනප්‍රිය පාඨයක් ඇත. ඒ  ‘අපි මුස්ලීම්වරුන් දෙස බලා ඉස්ලාම් අවබෝධ කරගන්නට උත්සාහ කර තිබුණේ නම් කවදාවත් අපට ඉස්ලාම් නොලැබෙන්නට තිබුණි‘ යන්නයි.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ‘ඉස්ලාම් දහමේ පැවසෙන යහගුණාංග‘ නම් ලිපි පෙලකට පිවිසුමක් ලෙස ඉදිරිපත් කල මෙම ලිපිය තුල මුස්ලීම් සාමාජයට සිතන්න බොහෝ දෑ ඉතිරි කර ඇත. ‘ලොව කිසිදු මිනිසෙක් නොකියූ තරමට අපේ දහම යහඟුණ පිලිබදව පවසනවා‘ යයි වහසිබස් පවසන මුස්ලීම් සමාජය මේ ඉගෙන්වීමන් තම ජීවිතයට කොතරම් දුරකට ගලපාගෙන තිබෙනවාද? යන්න විමසා බැලිය යුතුව ඇත. එසේම ‘අපේ දහම නොඑසේ නම්, දර්ශනය ලොව එකම සර්වකාලීන දහම‘ බව පවසන මුස්ලීම් නොවන සමාජය ද මේ ලිපි මාලාව තුල බුද්ධිමත්ව විමසා බැලිය යුතු බොහෝ දෑ ඇත. ඉස්ලාම් දහම ඇදහිලි, වතාවත්… යනාදී ආගමික ඉගෙන්වීමන්වලින් ඔබ්බට ගොස් මිනිස් දිවියට ලෞකික වශයෙන් වැදගත් වන විෂයන් කොතරම් සවිස්තරව හා‍ ප්‍රායෝගිකව කථා කරනවාද? යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුතුව ඇත. එවිට ඉස්ලාම් දහම කාලීනද? සර්වකාලීනද? යන්න ඔබට ම පහසුවෙන් තීන්දු කිරීමට හැකි වන ඇත.

එම තීන්දුව පහසු කිරීම පිණිස මෙතැන් සිට පියවරින් පියවර පහත මාතෘකාවන් තුලින් ඉස්ලාම් පවසන යහගුණාංග පිලිබදව විමසුමක් සිදු කෙරේ…

•           පොරොන්දු ඉටුකිරීම,

•           රුවැට්ටුවීම හෙවත් මුලාව,

•           සත්‍ය කථා කිරීම,

•           ඊර්ෂ්‍යා නොකරන්න,

•           සිනාමුසු මුහුණින් කටයුතු කිරීම,

•           ලැජ්ජාශීලීත්වය,

•           අන් පිරිසගේ යහපත උදෙසා කටයුතු කිරීම,

 

(මෙවැනි මාතෘකාවන් ගණනාවක් යටතේ ඉදිරියට පෙලගැසෙන ලිපි මාලාවක් කියවන්න මෙහි click කරන්න)

 

අබූ අර්ශද්

 

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp